අත්‍රිච්ඡතා – තමා ලද දෙය ගැන සෑහීමට පත් නොවී ඊට වඩා යමක් ලබා ගැනීමට ඇති ආශාව
පාපිච්ඡතා – තමා තුළ නොමැති ගුණ පෙන්වා යමක් ලබා ගැනීමේ ආශාව
මහිච්ඡතා – තමා තුළ වූ ගුණයන්ට වඩා වැඩි ගුණයන් පෙන්වා යම් ලාභ සත්කාර ලබා ගැනීමේ ආශාව
අල්පේච්ඡතා – තමා තුල ඇති ගුණ පවා පිටතට නොපෙන්වා ශ්‍රද්ධා ශීල ගුණයන්ගෙන් යුතුව තම උගත් කම තම හැකියාව තමාම වර්ණනා නොකොට නිහතමානී වීම.
මේ අනුව කෙනෙකුගේ අල්පේච්ඡතාව හඳුනාගැනීම සඳහා ද ප්‍රඥාවක් තිබිය යුතුය. එහෙත් සාමාන්‍ය කෙනෙකුට වුව ද අල්පේච්ඡතාවෙන් හෙබි පුද්ගලයාගේ ගුණවත්කම හඳුනාගත හැකිය. මේ අල්පේච්ඡ පුද්ගලයා කීර්තිය, ප්‍රශංසාව, තනතුරු පසුපස හඹා නොය යි. තනතුරු ලාභ සත්කාර පසුපස හඹායන්නන් අල්පේච්ඡ පුද්ගලයන් දකින්නේ අඥානයන් ලෙස ය. නැතහොත් ආත්ම ශක්තියක් නොමැති පුද්ගලයන් ලෙසය. එසේ නමුත් ලාභ සත්කාර, තනතුරු පසුපස හඹා යන්නා තමාගේ නියම තත්වය වටහා නොගෙන තමා සමාජයේ වෙසෙන වැදගත් ම පුද්ගලයා ලෙස කල්පනා කරයි. නමුත් ඉහත දැක්වූ අත්‍රිච්ඡතා, පාපිච්ඡතා, මහිච්ඡතා යන ගති ලක්ෂණ ඇති පිරිස ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා, තනතුරු ලබා ගැනීමෙහි ලා ඕනෑම පහත් ක්‍රියාවක් කරති. බොරු ලියවිලි, බොරු සහතික පෙන්වා, අල්ලස් දීම් හෝ ගැනීම් වැනි අයථා ක්‍රම අනුගමනය කරමින්, ලාභ සත්කාර, කීර්ති, ප්‍රශංසා, තනතුරු ලබා ගනිති. ඒව එසේ ලබා ගත් පසු මහ තොරණ පෙරහැර පවත්වා පදවි ප්‍රාප්ති පිළිබඳ උද්දාමයට පත් වේ. එසේ නමුත් හිස් වූ තම ජීවිතය පිළිබඳ පසුතැවෙන්නට ඔවුනට සිදුවේ යයි නොසිතති. අල්පේච්ඡ පුද්ගලයෝ තම සියලු ගුණ නුවණ උගත්කම් හා හැකියාවන් ස්වාර්ථය හා පරාර්ථය සඳහා යොදවමින්, අන්‍යන්ට ඊර්ෂ්‍යා නොකරමින් අධ්‍යාත්මික සුවය වින්දනය කරත්.
අත්‍රිච්ඡතාවෙන් හෙවත් අධික ආශාවන්ගෙන් යුත් මිනිසා තමන් ලබන්නා වූ යම් යම් දේවල් පිළිබඳ ව කිසිවිටකත් සෑහීමකට පත් නොවේ. මෙසේ තමා ලබා ලද දෙය පිළිබඳ නොසතුටු වන හේ අන්‍යන්ගේ සාර්තකත්වයත්, ඔවුන් ලබන යසඉසුරු පිළිබඳවත් දුක් වේ. තමාගේ තත්වය හා අනෙකාගේ තත්වය නිරන්තරයෙන් සසඳමින් කාලය ගත කරයි. එකම අච්චුවෙන් සමාන පිටි ප්‍රමාණයකින් සැකසූ කැවුම අනෙකාගේ පිඟානෙහි තිබෙනු බලා එය තමගේ කැවුමට වඩා ලොකු යැයි සිතයි. මේ ආකාරයෙන් හේ තමා ලැබූ දේ අඩු පාඩු සහිත යැයි සිතයි. එබඳු ස්ත්‍රියක් නම් තම සැමියා අන්‍ය පුරුෂයන් හා සසඳමින් රූපවත් බව පුරුෂ හැකියාව ආදිය ගැන සිතයි. පුරුෂයෙක් නම් අන් බිරියන්ගේ රුව ගුණ තම බිරිඳට වඩා උසස් යැයි සලකයි. මෙබඳු අය ලද දේ ගැන සැහීමට පත් නොවන නොලද දේ ගැන දුක් වන, හැමවිට ම අසහනයෙන් සිටින අත්‍රිච්ඡතාවෙන් යුතු පුද්ගලයන් ය.
පාපිච්ඡතාවෙන් යුත් තැනැත්තාගේ ස්වභාවය වන්නේ තමා තුල නොමැති ගුණ පෙන්වා යමක් ලබා ගැනීමේ ආශාවත් ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා, තනතුරු ලබා ගැනීමේ අපේක්ෂාවෙන් නිති කටයුතු කිරීම යි. ශ්‍රද්ධාවක් නොමැති නමුත් සැදැහැවතෙක් ලෙස පෙනී සිටින මොහු කිසිදු සිල්වත් කමක් නැතත් සිල්වතෙක් ලෙස ක්‍රියා කරයි. අභ්‍යන්තර සංවරයක් නැත්තේ බාහිරින් සංවර බව පෙන්වා සිටී. ඉතා සෙමින් කතා බස් කරන්නේ සෘජුව මුහුණ බලා කතා නොකරයි. එය එසේ වුවත් ඉතා සිල්වත් ගුණවත් වූ ශාන්ත හැසිරීම් අති මහණ බමුණෝ ද වෙති. මෙනිසා දුසිල්වත් වූයේ සිල්වත්සේ හැසිරෙන්නා එම සිල්වතුන්ගේ ශීලගුණයට නිගා දෙන්නෝ වෙති.
මහිච්ඡතාවයෙන් යුතු තැනැත්තා තමාතුළ වූ ගුණයන්ට වඩා ගුණයන් පෙන්වා වැඩි ලාබ සත්කාරයන් ලබාගැනීමේ ආශාවෙන් හෙවත් කිසිදෙයකින් තෘප්තියට පත් නොවන ස්වභාව ලක්ෂණයෙන් යුත් කෙනෙකි. මහ සයුරට කෙතරම් ගංගා ජලය ගලා බැස්ස ද සයුරු ජලය නොවැඩි වන්නා සේ, (පිටාර නොයන්නා සේ) ගින්නට කෙතරම් දර දැම්ම ද නොසෑහෙන්නා සේ, වැදූ මවටත් මොහුව සැනසිය නොහැකිය. මේ ඉහත දැක්වූ ඉච්ඡාවන් තුනම අපගේ මාතෘකාව වන අල්පේච්ඡතාවට පටහැනි වූ ආශාවන් ය.
අල්පේච්ඡතාවද සතරාකාරව බෙදා දක්වා ඇත. ඒ පහත පරිදිය.
- පච්චය අල්පේච්ඡතාව
- ධූතාග අල්පේච්ඡතාව
- පරියත්ති අල්පේච්ඡතාව
- අධිගම අල්පේච්ඡතාව
, යනුවෙනි.
මේ අල්පේච්ඡතා ලක්ෂණ ශික්ෂාකාමි භික්ෂුවකගේ ගති ලක්ෂණ වන අතර මේවා ගිහි සමාජය කෙරෙහි බලපාන ආකාරය ද පරීක්ෂා කර බලමු. මෙයින් පළමු අවස්ථාව වන පච්චය අල්පේච්ඡතාව මගින් කෙරෙනුයේ භෞතික අවශ්‍යතාවයන් සීමා කර ගනිමින් සරල සැහැල්ලු ලෙස ජීවත් වීමය. දෙවැනි අල්පේච්ඡතා අවස්ථාව වන ධූතාංග අල්පේච්ඡතාව මගින් කෙරෙනුයේ හෙවත් කියැවෙනුයේ පැවිද්දන් විසින් අනුගමනය කරන දහතුන් වැදෑරුම් රුක්ෂ ප්‍රතිපදාවන් ය. මෙම ප්‍රතිපදාවන් දිවි හිමියෙන් ආරක්ෂා කළ යුතු වන අතර ධූතාංග අල්පේච්ඡතාව පූරණය කරනවුන් එවැන්නක් තමා පූරණය කරන බව අන්‍යන්ට දැන ගන්නට හෝ ඉඩ නොතබයි. එසේ ඔවුන් තම ධූතාංග පූරණය අන්‍යන්ට නොපෙන්වන්නේ ඒ තුලින් ජනයා තමා කෙරෙහි පැහැදී තමාට ලාබ සත්කාර වැඩේය යන බිය නිසාවෙනි.
පරියත්ති අල්පෙච්ඡතාව යනු තමන් උගත් ධර්මය ගැන, උද්දාමයෙන්(ආඩම්බරයෙන්) ඒ උගත් කම අනුන්ට ප්‍රදර්ශනය වන ආකාරයෙන් නොහැසිරීමයි. එබන්දෝ තමන් බහුශ්‍රැතයන් වුවත් කිසිවක් නොදන්නා කෙනෙකු මෙන් බොහෝ නිහතමානීව කටයුතු කරති. මේ පරියත්ති අල්පේච්ඡතාවෙන් යුතු පුද්ගලයන් ගිහි පැවිදි දෙපිරිසම අතර සිටිති. ඔවුන්ට ජනතාව හදවතින්ම ගරු කරති.
අධිගම අල්පේච්ඡතාව යනුවෙන් හැඳින්වෙන්නේ තම ශීලාදී ගුණයන්ද, තමා ලැබූ සෝවාන් ආදී ආධ්‍යාත්මික ගුණයන්ද අන්‍යන්ට විශේෂයෙන් පෙන්වා ක්‍රියා නො කිරිමයි. වර්තමානයේ තමන් සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පත් වූවේ යැයි ප්‍රචාරය කරන පිරිසක් ලංකාවේද බිහිවී ඇත. ඒ පිළිබදව දැන්විම් පළ කරන අවස්ථාද දැකිය හැක. එසේම තනතුරු, උපාධි ලබා දෙන්නාසේ මේ මාර්ගඵල අන්‍යයන්ට ලබාදෙන විගඩම් විහිළු ද අසන්නට දකින්නට ලැබේ. ඇත්තෙන් ම තමන් ලැබූ මාර්ගඵලයන් ගන තම කල්‍යාණ මිතුරන්ට දන්වා සිටීමේ තහනමක් නැත. එසේ නමුත් අධිගම ලාභයෙන් තොර ව කෙරෙන ආත්ම වංචනික, ලාභ සත්කාරාපේක්ෂාවෙන් කරන සාවද්‍ය ප්‍රචාර මඟින් ඔහු නො දැනුවත්වම තම නිරුවත පෙන්වන්නෙකු බවට පත්වේ. අධිගමයට පත්වුවෙක් එබඳු ලාභ සත්කාර අපේක්ෂා නො කරන බැවින් සැබයින්ම අල්පේච්ඡ වුයේ, නිහඬ ව වාසය කරයි. මන්ද යත් සෝවාන් වීමේ දී සක්කාය දිට්ඨිය හෙවත් ආත්ම දුෂ්ඨිය, ආත්ම මානය ක්ෂය වන බැවිනි. මේ අනුව අධිගම අල්පේච්ඡතාව යනුවෙන් හැඳින්වෙන්නේ තම අධ්‍යාත්මික උසස්බව අන්‍යන් වෙත හුවා නො දැක්වීමයි.
අපිස් භික්ෂුවකගේ මේ අල්පේච්ඡ ගුණය ලෞකික ජීවිතයක් ගතකරන ගිහි ජනතාවට යෝග්‍ය දෙයක් දැයි, යමෙකුට ප්‍රශනයක් මතුවිය හැක ය. සැබවින්ම මෙම අල්පේච්ඡ ගුණය ලෞකික ජීවිතයක් ගත කරන ගිහි ජනතාඅවට ද යෝග්‍ය දෙයකි. අල්පේච්ඡ වූ තරමට ම ගිහියාට වුවත් සැනසීම සහනය උදාකරගත හැක ය. සරල සැහල්ලු දිවියක් උදෙසා මෙම අල්පේච්ඡතාව ගිහි පැවදි කාට වුවත් වැදගත් වන දෙයකි. අල්පේච්ඡතාව ඇති ගිහියාගේ සිත අන් ගිහියන්ගේ සිතට වඩා ප්‍රභාශ්වර, අල්පේච්ඡතාව පුරුදු කරන්නා අන්‍යන්ට වඩා සැහල්ලු සරල බවින් යුතු අල්ප කෘත්‍යතා සහිත ව වෙසෙනු ඇත. එබන්දන් තම ධනය, බලය , නිලය, කුලය, ශීල ගුණය හෝ ආභරණයක් කර නො ගනිමින් ඉතා සරල ලෙස ජීවත් වන්නේ කිසිවෙකුට හෝ අල්ප මාත්‍ර හිංසාවක් හෝ නොකරමිනි.
දිනක් බුදුරජාණන් වහන්සේ පිටිසර පෙදෙසක රුක් සෙවණක භික්ෂුන් පිරිවරා විවේකීයව වැඩහුන්නාහ. මේ අතරතුර එක්තරා ජරාපත් හිවලෙක් එක් තැනකින් තවත් තැනකට මාරු වෙමින්, ටිකවේලාවක් එක් තැනක ලැග, ඊළග මොහොතෙහි තවත් තැනකට ගොස් ලැග සිටියේය. ඒ හැම විටෙකම කෙඳිරි ගාමින් මැසිවිලි නගමින් ස්ථාන මාරුකරන මේ හිවලා විටෙක දිරා වැටුනු ගස් බෙනෙයක රිංගා ලැග සිටියි. තවත් මොහොතක කැලෑ රොදකට රිංගා ලැග සිටියි. විටෙක එළියට විත් හිරුඑළිය වැටුනු තණ පඳුරක ලගියි. අතුරු පාරක ලගියි. මෙ අසහනකාරී හිවලා මාරුකරන්නේ ඒ ස්ථානයට දොස් පවරමින් මැසිවිළි නඟමිනි. මේ දසුන බලාසිටි භික්ෂූන්ට බුදුරදුන් වදාළේ, මහණෙනි මේ හිවලා තමන් ලැගසිටි තැනට දොස් නඟමින් තවත් ස්ථානයකට ගොස් ලගීයි. උගේ අසහනයට හේතුව එම ස්ථාන නොව උගේ ශරීරයේ තිබෙන කිෂ්ටය බව ඌ නොදනී. ඌ ස්ථාන මාරුකරමින් සහනය සොයයි. පුද්ගල මනසේ ඇති අසහනයන්ට හේතුව සොයා පිළියම් නො කොට, ස්ථාන මාරු කිරීමෙන් ස්ථිර සහනයක් නොලැබෙන බව බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කළෝය.
අතෘප්තිකර මිනිසාට තම ආශාවන් පාලනය කොට අල්පේච්ඡතාව පුරුදු පුහුණු කිරීමේන් සැමවිට ම සහනයක් ලබා ගතහැකි බව වටහාගැනීම වැදගත්ය. සමාජයේ වැඩි පිරිසක් අල්පේච්ඡතාවට වඩා මහිච්ඡතාවයෙන් යුක්ත වූවෝ වෙති. සම්පත් ගොඩගසා ගැනීම සැපතක් ලෙස ඔවුහු සලකති. එවැන්නෝ තමන්ට වාහනයක් තිබිය යුතු ම යැයි කල්පනා කරති. එසේත් නොමැතිනම් ලක්ෂ හැට හැත්තෑවක් වටිනා වාහනයක් ඇති ඥාතියෙකු හෝ සිටීම, ඔහු තම නිවසට පැමිණීම, මහත් ආඩම්බරයක් සේ සලකති. එවැනි වාහනයක් හිමිකර ගැනීමට වෙර දරති. අල්පේච්ඡ පුද්ගලයාට එවැනි ආශාවක් නොමැත. ඇති වූවේද වහා එම සිතිවිල්ල යටපත් කරගෙන සිත සංවර කරගනී. ඒසේ වුවත් එවැනි වාහනයක් භාවිතා කිරීම අල්පෙච්ඡ පුද්ගලයාට අකැප නොවන බවත් එවැන්නක් තුළින් අනවශ්‍ය කරදර තම ජීවිතයට පැමිණෙන බව හේ වටහා ගනී. මෙයින් අප වටහා ගත යුතු වන්නේ සැප සම්පත් විදීම සහ අල්පේච්ඡතාව පරස්පර සංකල්පයන් නො වන බවයි. අල්පේච්ඡතාව ප්‍රගුණ කරන්නා එවැනි සැප සම්පත් අතිරේක සම්පත් වශයෙන් සලකා කටයුතු කරයි.
අල්පේච්ඡතාව සහ මහිච්ඡ්තාව පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අපගේ පුද්ගලික අත්දැකීමක් උපුටා දක්වමු. පසු ගිය වසරක අගනුවර ප්‍රසිද්ධ විහාරස්ථානයක ධර්ම දේශනාවක් සඳහා ආරාධනාවක් මා වෙත ලැබිණි. මා සැවිටම දුරබැහර ගමන් වඩිනුයේ ද ත්‍රී රොද රථයක් කුලියට ගනිමිනි. ඒ මාගේ ද පහසුව සඳහා ය. ඒබව තත් විහාරයේ විහාරාධිපති හිමියෝ ද දනිති. එසේ නමුත් උන්වහන්සේ මාගෙන් ඉල්ලා සිටියේ ‘අනේ හාමුදුරුවනේ ධර්ම දේශනාවට වඩිනවිට, ත්‍රීවීලරයකින් නම් වඩින්න එපා, වෑන් එකක්වත් කුලියට ගෙන වඩින්න’ යනුවෙනි. එම ප්‍රසිද්ධ විහාරස්ථානයේ අධිපති හිමියන් තම දායක පිරිසගේ මහේච්ඡතාව පිලිබඳව තේරුම්ගත් නිසා දේශකයන් වහන්සේ ත්‍රීවීලරයකින් පැමිණීම ඔවුන්ට මඳිකමක් යැයි උන්වහන්සේ සිතන්නට ඇතැයි මට හැගුණි. එසේ නමුත් ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමක් පානදුර ප්‍රදේශයේ සිල් මාතාවන්ගේ ආරාමයක ධර්ම දේශනාවකට වැඩම කළ කල්හි සිදුවිය. මා එහි වැඩම කළේ ත්‍රිවීලරයකිනි. එහි ප්‍රධාන සිල් මාතාව ධර්ම දේශනාවට ප්‍රථම උපාසක උපාසිකාවන්ට මා හඳුන්වා දුන්නේ, ‘විශ්ව විද්‍යාලයක අංශාධිපතිවරයෙක් වූ අපේ හාමුදුරුවෝ මෙළෙස ත්‍රී රෝද රථයකින් වඩිනවා දුටුවිට ඇතිවුයේ පුදුම ගෞරවයෙකි’ වශයෙන්ද ප්‍රකාශ කරමිනි. එකම සිදුවීම කෙරෙහි ඒ ලෝකයේම ජනයා බලන දෙයාකරය ඔවුන්ගේ ඉච්ඡාවේ තරම මොනවට ප්‍රකාශ වන අවස්ථාවකි.
අල්පෙච්ඡතාව නම් වූ සැහැල්ලු පැවැත්ම ජීවිතයට සුවදායක බව වටහා ගන්නට නම් ප්‍රථමයෙන් ම තණ්හා, මාන තරමක්වත් පාලනය කරගත යුතුව ඇත.