මෙම ලිපියෙන් සාකච්ඡා කරනුයේ උන් වහන්සේ තෙවන බුදු ගුණය වන විජ්ජාචරණ සම්පන්න නම් වූ බුදු ගුණය පිළිබඳවයි. විද්‍යා යනු ලොව ඇති යම් යම් විෂය කරුණු පිළිබඳව නිවැරදිව දන්නා නුවණයි. එහෙත් මෙම බුදු ගුණය තුලින් කියැවෙන්නේ භෞතික ලෝකය තුළ ඇති එබඳු විෂය පිළිබඳ නුවණ නොව ආර්ය විද්‍යාව බුදුරදුන් තුල ඇති නුවණයි. ආර්ය විද්‍යාව යනු පුහුදුන් සත්වයාට නැති බුද්ධාදී ආර්ය උතුමන්ට හා එකී උත්තම මාර්ගයේ ගමන් කරන්නා වූ උතුමන්ට පමණක්ම විෂය වන චතුරාර්ය සත්‍යාදිය පිළිබඳ ඇති කර ගන්නා වූ ශ්‍රේෂ්ඨතම ගුණයයි.
එවන් ආර්ය විද්‍යාවන් අටක් පිළිබඳ සූත්‍ර පිටකයෙහි විස්තර කෙරේ. එය හඳුන්වනු ලබන්නේ අෂ්ඨ විද්‍යාව ලෙසයි. විජ්ජා යන්නෙන් අදහස් කරන්නේ එයයි.
චරණ යනු පාදයට නමකි. එහෙත් මෙකී බුදු ගුණ විවරණයේදී චරණ යන්නෙන් අදහස් කරන්නේ ඉහත කී උත්තරීතර විද්‍යා ඥානයන් කරා ගමන් කරන මාර්ගයෙහි හැසිරීම යන්නයි. එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි හැසිරීමයි. තවත් ලෙසකින් ගතහොත් ශීලය, සමාධිය තුළින් ප්‍රඥාව කරා ගමන් කිරීමයි. එනම් ත්‍රිශික්ෂාවේ හැසිරීමයි.
මෙකී විජ්ජාචරණ සම්පන්න ගුණය බුදුවරුන්ට පමණක්ම ආවේණික වූවක් නොවේ.මෙය රහතුන් කෙරෙහිද පිහිටයි. එහෙත් ඒ බුදුවරුන්ගේ තරමටම නොවේ. බුදුවරුන් තුළ පිහිටන ‘විජ්ජාචරණ ගුණය’ අන් කිසිවකුට සම කළ නොහැකිය. මෙම ගුණය දැක්වීමේදී ‘විජ්ජා’ යන්න පෙරට දමා ‘චරණය’ දෙවනුව දැක්වුවද සැබවින්ම පෙරටු වන්නේ ‘චරණය’ යි. මන්ද යත් ‘චරණයේ’ ප්‍රථිඵලයක් ලෙස ‘විද්‍යාව’ පිහිටන බැවිනි. උදාහරණ ලෙස ගතහොත් අපගේ ගෞතම බුදුරදුන් දීපංකර නියත විවරණයේ පටන් සම්බුද්ධත්වය දක්වා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් බෝසත් ආත්මයන් හි පැමිණි ගමන් මග හා එහිදී පුරුදු පුහුණු කර ගත් දේ චරණයට සියල්ල ‘චරණය’ ට අයත් වේ. එකී චරණය තුළින් ලද ඵලය වන්නේ උන්වහන්සේ ලද ‘අෂ්ඨ විද්‍යා සම්පත්තිය’ යි. එකී අෂ්ට විද්‍යාවට ‘ත්‍රිවිද්‍යාව’ ද ඇතුල් වේ. සූත්‍ර පිටකයෙහි දැක්වෙන ‘අම්බට්ඨ සූත්‍රයේදී’ බුදුරදුන් තුළ පිහිටි මෙකී අෂ්ඨ විද්‍යාව මෙසේ දක්වා ඇත.
පළමු ඥානය නම් විදර්ශනා ඥානයයි. නාම රූප ධර්මයන්ගේ හෙවත් පංචස්කන්ධයේ ඇති අනිත්‍ය ආදී ලක්ෂණයන් අවබෝධ කර ගැනීමේ නුවණයි. සාමාන්‍ය යෝගාචරයකු විදර්ශනාව තුළදී දකින්නේ පංචස්කන්ධයක අවම ප්‍රමාණයයි. එහෙත් බුදුවරයකුට සිය රූපකාය විනිවිද දැකිය හැකිය. එවිට එහි ඇති රූප කොටස් වෙන් වෙන්ව පෙනෙනවා සේම ඒවා ක්ෂණයක් පාසා බිඳි බිඳී විපරිණාමීය ධර්මතාවට ලක් වන ආකාරයද පෙනේ. එපමණක් නොව මැනවින් ඔප දැමූ මැණිකක් මැදින් යවන ලද නූලක් විනිවිද හොඳින් පෙනෙන්නා සේ එකී රූප කාය තුළ පවත්නා සිතද මැනවින් පෙනෙන්නට වේ. තවද ක්ෂණයකින් ඇතිව නැතිව යන සිතිවිලිද පෙනේ. මේ බුදුවරයකු සතු විදර්ශනා ඥානහෙහි ස්වාභයයි.
දෙවන විද්‍යා ඥානය වන්නේ මනෝමය ඍද්ධි ඥායනයි. එනම් සිය සිරුර තුළ තමා හා සමාන සියලු අංගයන්ගෙන් පරිපූර්ණ වූ සිරුරක් නිර්මාණය කොට කොපුවක් තුළ තිබූ දෙයක් පිටතට ගන්නාක් මෙන් එහි මවා ගත් සිරුර තම කයින් පිටතට ගෙන එහෙ මෙහෙ සැරි සැරිය හැකි වීමයි. මෙහිදී තමා අභියස සිටින්නන්ටත් ඒ පිළිබඳ දැනීමක් ඇති නොවේ.
තෙවන ඥාන විද්‍යාව වන්නේ ‘ඍද්ධිවිධ ඥානය’යි.මෙය බුදුවරුන්ට මෙන්ම රහතුන්ටද පිහිටයි. එහි ස්වභාවය නම් තනි සිරුරකින් බොහෝ ශරීර නිර්මාණය කොට එක හා සමාන බොහෝ දෙනෙකු සේ පෙනී සිටිය හැකි වීමයි. නැවත එක් අයකු සේ පෙනී සිටීමටද ක්ෂණයකින් හැකියාව ඇත. නොපෙනෙන තැනක පෙනෙන අයුරින්ද, පෙනෙන තැනකදී නොපෙනෙන අයුරින්ද සිටිය හැකිය. ප්‍රාකාර , බිත්ති ආදිය තුළින් ඒවායේ නොගැටී විනිවිද යා හැකිය. පිහිටි පොළවෙහි ජලයෙහි මෙන් ගිලිය හැකිය. ජලයෙහි පිහිටි පොළවක මෙන් ඇවිදිය හැකිය. අහසෙහි පවා පොළවක මෙන් පා තබා ඇවිදිය හැකිය. ඉර හඳ ස්පර්ෂ කළ හැකිය. අපාය, දෙව්ලොව , බඹලෝ කරා ඇසිල්ලකින් ගමන් කල හැකිය. උදාහරණ ලෙස දැක්වුවහොත් ‘චුල්ලපන්ථක’ හිමියන් තමන් වහන්සේගේ රහත් ඵලයෙහි මහිමය පෙන්වන්නට තමන් වහන්සේට සමාන බොහෝ රූප මවාගෙන සිය වෙහෙරෙහි වැඩ සිටියේද , මුගලන් මහ රහතන් වහන්සේ විවිධ අවස්ථා වල බොහෝ ප්‍රාතිහාර්ය පෑවේද බුදුරදුන් ‘ඛේමා’ බිසවගේ මානය දුරු කරන්නට රූමත් කාන්තා රූප මවා පෑවේද ‘නන්ද’ කුමරු ගේ ජනපද කල්යාණිය කෙරෙහි තිබූ ආශාව දුරු කරන්නට විවිද මැවීම කළේද මෙකී ඍද්ධි විධ ඥාන බලයෙනි. මෙම බලය ඇති කල අවැසි නම් සත්ව වේෂයන් ද මවා ගත හැකිය. ‘මුගලන් මහ තෙරුන්’ නන්දෝපනන්ද දමනයේදී නාග හා ගුරුලු වේශ මවා ගත්තේ මෙකී ඥාන බලයෙනි.
සිව්වන ඥාන විද්‍යාව වන්නේ ‘දිබ්බසෝත ඥානය’ යි. විදර්ශනාව තුළින් සිත දියුණු කර ගත් තැනැත්තාගේ එකී සිත පිරිසිඳු බවට මෘදු බවට හා කර්මන්‍ය බවට පැමිණේ. එවිට සිය ශුද්ධ වූ චිත්ත බලයද සමගින් පියවි කනකට නොඇසෙන සියුම් දේ පවා සිය කනින් ශ්‍රවණය කිරීමට තරම් ශක්තියක් ගොඩ නගා ගනී. ඉතා දුරක සිදුවන දේ පවා අත ලඟ සිදු වන දෙයක් සේ ශ්‍රවණය කළ හැකිය. දෙව්ලොව, බඹ ලොව සිදුවන දේ පවා මෙලොව සිට ළඟ සිදුවන දෙයක් සේ ශ්‍රවණය කළ හැකිය.
අෂ්ඨ විද්‍යාවන්හි දැක්වෙන ඊළඟ විද්‍යා ඥානය වන්නේ ‘පරිචිත්ත විජානන ඥානය’ යි. එනම් අනුන්ගේ සිත් කියවීමේ හැකියාවයි. ධ්‍යාන බලයෙන් සිත පිරිසිඳු කරගත් උතුමන්ට එකී යහපත් සිත අනුන්ගේ සිත් දැන ගැනීම සඳහා ඔවුන්ගේ සිත් කරා යොමු කරවීමට හැකිය. එවිට එකී සිත් වල ස්වභාවය දැනෙන්නට පටන් ගනී. සරාගී සිත්, විරාගී සිත්, සදෝස සිත්, වීථ දෝෂ සිත්, සමෝහ සිත්, අමෝහ සිත් ආදී වශයෙන් වූ දොළොස් වැදෑරුම් පුද්ගල සිත්හි ස්වභාවයන් එමගින් කියැවිය හැකිය. බුදුරදුන් කරා එන ඇතැම් ශ්‍රාවකයන්ට දහම් දෙසිය යුතු ආකාරය කුමක්දැයි උන්වහන්සේ පූර්ව නිගමනයන්ගෙන් වටහා ගන්නේ මෙකී පරචිත්ත විජානන ඥානයෙනි.
‘පුබ්බේ නිවාසානුස්සති ඥානය’ යනු බුදුරදුන්ගේ සවන ඥාන බලයයි. තමන්ගේ ද සෙසු අයගේ ද පෙර ජාතීන් හිම ලබා තිබූ උප්පත්තීන් එකල ඔවුන්ගේ නම්ගොත් විවිධ චර්යා ගති සිරිත් සිය දෙනෙත් අභියස රඟ දක්වන්නා මෙන් කීමේ හැකියාව ඇත්තේ ඉහත සඳහන් කළ පුබ්බේනිවාසානුස්සති ඥාන බලයෙනි. ‘ජාතක පාලියෙහි’ එන ජාතක කතා වල විස්තර කෙරෙන්නේ එසේ බුදුරදුන් යම් යම් අවස්ථා වලදී මෙකී ඥාන බලයෙන් ස්මරණය කරගන්නා ලද දේශනාවන්ය.
සත් වන ඥාන බලය ලෙස හඳුන්වන්නේ ‘දිබ්බචක්ඛු ඥානය’ යි. යම් යම් සත්වයන් ඒ ඒ සුගති සහ දුගති භවයන්ගෙන් ඉවත්ව කර්මානුරූප බලවේග අනුව ඒ ඒ භවයන් කරා ගමන් කරන්නේ කෙසේද ඒවායෙහි උප්පත්තියෙන් පසු මුහුණ දෙන ස්වාභාවයන් ආදිය බුදුරදුන් විස්තර කරන්නේ මෙකී ඥාන බලයෙනි. උදාහරණ ලෙස ‘සැරියුත්-මුගලන්’ දෙනමට නින්දා කළ කෝකාලික නම් භික්ෂුව බොහෝ දුක් විඳ මිය පරලොව ගොස් පදුම නම් නරකයේ උපත ලබා ඇති සැටිත් එහිදී ඔහු විඳින අනන්ත දුක් පිළිබඳවත් තමන්ට සතුරුව පළිගන්නට විවිධ දෑ කළ දෙව්දත් මරණින් මතු අවීචි මහා නරකාදියෙහි උපත ලබා දුක් විඳින ආකාරයත් බොහෝ පින් දහම් සිදු කළ ධම්මික උපාසක වැන්නවුන් සුගති භව වල උපත ලබා සැප විඳින අයුරුත් බුදුරදුන් සිය ශ්‍රාවකයන්ට විස්තර කලේ මෙකී ඥාන බලයෙනි.
අටවන ඥාන බලය වන්නේ ‘ආසවක්ෂයකර ඥානය’ යි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරර්ය සත්‍යාවබෝධයෙන් කාමාදී සියලු ආශ්‍රවයන් ක්ෂය කර උතුම් වූ නිර්වාණාවබෝධය ලබා ගත්තේ මෙම උතුම් ඥාන බලයෙනි.
මෙම ලිපියෙන් විස්තර කෙරෙන ‘විජ්ජාචරණ සම්පන්න’ නම් වූ බුදු ගුණයෙහි ඊළඟ හඳුනා ගත් යුතු කොටස වන්නේ ‘චරණ ධර්ම’ යනු මොනවාද යන්නයි. එහෙත් බුදුවරයකු සතු ශ්‍රේෂ්ඨ චරණ ධර්ම මේවා යැයි ගෞතම බුදුරදුන් නිශ්චිතව කළ දේශනාවක් ඇතුලත් සූත්‍රයක් හමු නොවේ. එහෙත් සිය ශ්‍රාවකයන් තුළ තිබිය යුතු යැයි දක්වමින් ශ්‍රාවකයන් ලවාම දේශනා කරවූ චරණ ධර්ම සමූහයක් පිළිබඳ සූත්‍ර පිටකයෙහි ඇතැම් තැනක විස්තර වේ. මජ්ඣිම නිකායෙහි මජ්ඣිම පණ්ණාසකයෙහි එන සේඛ සූත්‍රයෙහි සහ දීඝ නිකායේ අම්බට්ඨ සූත්‍රයේ මෙකී චරණ දර්මයෝ දක්වා ඇත. ‘සේඛ’ සූත්‍රයේ චරණ ධර්ම 15ක් දක්වා ඇති නමුදු ‘අම්බට්ඨ’ සූත්‍රයෙහි දක්වන්නේ චරණ ධර්ම 09 කි. ‘සේඛ සූත්‍රයෙහි’ එන චරණ ධර්මයෝ දේශනා කරවන්නේ අනඳ තෙරුන් ලවාය. කලිප වස්තු පුරයෙහි රැස්වීම් ශාලාවක් ඉදි කළ ශාක්‍යයෝ එය පළමුව බුදුරදුන්ට පූජා කළ යුතු යැයි තීරණය කොට ඒ සඳහා ආරාධනා ලැබ භික්ෂු සංඝයා සමඟ වැඩම කළ අවස්ථාවෙහි බුදුරදුන් රැස්ව සිටි පිරිසට පලැමුව දහම් දෙසා වෙහෙසට පත්ව සිටි මොහොතේ අනඳ තෙරුන් අමතා පිරිසට ‘සේඛ ප්‍රතිපදාව’ දේශනා කරන්නැයි පවරන ලදි. එහිදී අනඳ තෙරුන් මහානාම ශාක්‍යා ප්‍රමුඛ කොට ගත් පිරිසට මෙකී චරණ ධර්මයෝ දේශනා කළ අතර ඒවා නම්,
-
ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය
-
ඉන්ද්‍රිය සංවර ශීලය
-
භෝජනයෙහි මාත්‍රඥතාව
-
ජාගරියානු යෝගය
-
ශ්‍රද්ධාව
-
හිරිය
-
ඔත්තප්පය
-
බහුශ්‍රැත භාවය
-
වීර්යය
-
ස්මෘතිය
-
ප්‍රඥාව
-
ප්‍රථම ධ්‍යානය
-
ද්විතීය ධ්‍යානය
-
තෘතීය ධ්‍යානය
-
චතුර්ථ ධ්‍යානය
මෙහි ඉහතින් දක්වන ලද චරණ ධර්මයෝ ගිහි පැවිදි ලොකු කුඩා, ස්ත්‍රී පුරුෂ භේදයකින් ද අතීත වර්තමාන අනාගත යන කාල භේදයකින් තොරව සැමට එක සේ ජීවිත වලට ළං කරගත යුතු වැදගත් කම ගෙන දේන කරුණුය.