Pace a tutti coloro che entrano qui....


තුන්වන ධර්ම සංගායනාව

15.11.2012 14:38

 

ධර්මාශෝක රජතුමා බෞද්ධයකු බවට පත් විය. රජතුමා හා බෞද්ධ ජනතාව ප්‍රතිපත්තිකාමී භික්ෂුන්ට මැනැවින් ප්‍රත්‍ය පහසුව සැලසූහ. මේ වන විට බුද්ධ වර්ෂ 220 ක් ඉක්මී ගොසිනි. ජනතා ප්‍රසාදයට  අවශ්‍ය ප්‍රතිපත්තිවලින් බොහෝ දුරට ඈත් ව සිටි බ්‍රාහ්මණ, ආජීවක, ආදී පිරිස්වලට ආහාරපානාදියෙන් දුෂ්කරතා ඇති විය. එහෙයින් ප්‍රත්‍යලාභය සඳහා ඔවූහු බුදුසසුනට ඇතුල් වූහ. බුදුසසුනට ඇතුල් වූ ඔවූහු තම තමන්ගේ පරණ පුරුදුවලටම අනුව ගිනි පිදීම . හිරු පිදීම ආදිය සිදු කළහ. තම තමන්ගේ ධර්මය ම දෙසූහ. එසේ කරමින් ම නියම බෞද්ධ භික්ෂුන්ගේ විනය කටයුතු වලටද සහභාගි වීමට පටන් ගත්හ. ඔවුන්ගේ මේ ක්‍රියා නිසා නිර්මල බුදුසසුන කිළිටි විය. ප්‍රතිපත්තිකාමී භික්ෂුහු පොහොය කිරීමේ ආදි විනය කටයුතු පිරිසිදු ව කල නොහැකි හෙයින් නවතා දැමූහ. මේ නිසා ශාසනය තුළ බලවත් අර්බූදයක් ඇති විය.

අපිරිසිදුවූ භික්ෂූ පිරිස, ඉවත් කොට සසුන පිරිසිදු කිරීමට ධර්මාශෝක රජතුමා මැදිහත් විය. එවකට අහෝගංග පර්වතයෙහි මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ වැඩ සිටියහ. රජතුමා ශාසන ශුද්ධියක් කිරීමට වඩින ලෙස දන්වා උන්වහන්සේ වෙත භික්ෂූන් හා ඇමතිවරුන් යැවීය. උන්වහන්සේ ආරාධනය පිළිගෙන පැළලුප් නුවරට වැඩියහ. රජතුමාට සතියක් පමණ උන්වහන්සේ බුදුදහම ඉගැන්වූහ.

ඉන් පසු රාජ්‍ය අනුග්‍රහය ඇතිව සැට දහසක් පමණ දුසිල් මහණුන් සිවුරු හරවා ගිහි බවට පත් කෙරිණි. පිරිසිදු වූ භික්ෂූ පිරිස වසර ගණනාවක් නවත්වා තිබූ පොහොය ආදී විනය කටයුතු ඇරඹූහ. ථෙරවාදී භික්ෂුන් නොවන අයගේ මාර්ගයෙන් බුදු සසුනට එක් වී තිබූ වැරදි අදහස් හෙවත් පරවාද බිඳ දැමීමට මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ කථාවත්ථුප්පකරණය නම් ග්‍රන්ථය සම්පාදනය කළහ. අවසානයේදී ධර්ම -විනය සංගායනාවට සුදුසු මහරහතන් වහන්සේලා දහසකගේ සහභාගිත්වයෙන් පැළලුප් නුවර අශෝකාරාමයේදී නව මසක් තිස්සේ තෙවන වරට ධර්ම – විනය සංගායනා කිරීම සිදු විය. මේ උතුම් ක්‍රියාව සිදු වූයේ බුද්ද වර්ෂ 236 දී පමණි.

සංගායනාව අවසානයේදී මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ අනාගතයෙහි බුදුසසුන ආරක්ෂා වීම සඳහා විශේෂ පියවරක් ගත්හ. ඒ අනුව දඹදිව මධ්‍ය ප්‍රදේශයෙන් බැහැර රටවල් නවයකට උපසම්පදා භික්ෂූන් පස් නම බැගින් පිටත් කර යැවීම සිදු විය.

මිහිඳු මාහිමියන් ඇතුළු පිරිස ලක්දිවට වැඩම කළේ ඒ අනුවය. දඹදිව මධ්‍ය ප්‍රදේශයෙන් පසු කාලයේ බුදුසසුන නැති වී යද්දී බුදුසසුන රැකුනේ එම රටවලය.

මේ අනුව තෙවන වරට ශාසන චිරස්ථිතිය පිණිස අනුගමනය කෙරුණු ක්‍රියාමාර්ග කිහිපය මෙසේ වෙන් කර දැක්විය හැකිය.

• දුසිලු මහණුන් 60,000 ක් ගිහියන් බවට පත් කිරීම
• සුසිල් මහණුන්ට බුදුසසුනේ ආයුෂය වන විනය ආරක්ෂා කරමින් පොහොය ආදී විනය කර්ම සිදුකිරීමට අවස්ථාව සැලසීම.
• මොග්ගලීපුත්තතිස්ස මහරහතන් විසින් පරවාද බිඳීමට කථාවත්ථුප්පකරණය සම්පාදනය කිරීම.
• ධර්ම – විනය සංගායනා කිරීම.
• නවරට සසුන් පිහිටුවීම.

—————

Indietro