Pace a tutti coloro che entrano qui....


දෙවන ධර්ම සංගායනාව

15.11.2012 14:36

 

තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් සිය වෙනි වසර උදා විය. මේ වන විට විශාලා මහනුවර වජ්ජි පුත්තක භික්ෂූහු විනය විරෝධී කරුණු දහයක් විනයානුකූලයයි සම්මත කොට ගෙන ඒ අනුව කටයුතු කරන්නට පුරුදුව සිටියහ. කුඩා අනුකුඩා සිකපද ගැන ගන්නා ලද සම්මුතියට මෙය විරුද්ධ ව යාමකි.

දිනක් කාකණ්ඩ පුත්ත යස මහරහතන් වහන්සේ විසාලාවට වැඩම කළහ. සිදුවෙමින් පවතින විනය විරෝධී ක්‍රියාව දුටහ. මේ ශාසන විනාශය වැළැක්වීමට අවශ්‍ය පියවර ගත යුතු යයි උන්වහන්සේ තීරණය කළහ. මේ සඳහා සුදුසු භික්ෂූන් රැස් කිරීමේ දුෂ්කර වූත් භාරදූර වූත් ක්‍රියාවට උන්වහන්සේ ඉදිරිපත් වූහ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස පාවා නුවරින් හා අවන්ති දක්ඛිණා පථයෙන් එකසිය හතළිහක් පමණ රහතන් වහන්සේලා අහෝගංග පර්වතයට රැස් වූහ. උන්වහන්සේලාත් සෝරෙය්‍ය නුවර රේවත මහරහතන් වහන්සේත් දුරු මඟ ගෙවා සහජාත නුවරට රැස් වූහ. එහි දී යස තෙරුන් වහන්සේ විසින් විමසන ලදුව රේවත තෙරුන් වහන්සේ දස වස්තුව අකැප බව විනිශ්චය කළහ. ඉන්පසු සියලු දෙනා වහන්සේ මෙම ශාසන අර්බූදය විසාලා මහනුවරදී ම විසඳීමට තීරණය කොට එහි වැඩම කළහ. වජ්ජි පුත්තක භික්ෂූන්ගේ පක්ෂය ගෙන ක්‍රියා කළ කාලාශෝක රජුගේ සහාය රහතන් වහන්සේලාට ලබාදීමට නන්දා රහත් තෙරණින් වහන්සේ ක්‍රියා කළහ. විසාලාවට රැස් වූ රහතන් වහන්සේලාගේ සංඛ්‍යාව 700 කි. රේවත මහ තෙරුන් වහන්සේ විසින් දස වස්තුව වෙන් වෙන් ව විමසන ලදුව සබ්බකාමී මහරහතන් වහන්සේ ඒ සියල්ල විනය විරෝධී බව කරුණු සහිතව ඔප්පු කළහ. ඉන්පසුව ධර්මය හා විනය සංගායනා කොට ශාසනා චිරස්ථිතිය තහවුරු කළහ. මේ සඳහා අට මසක් ගත විය.

දෙවන සංගායනාවෙන් පසු විනය සිකපද වෙනස් කර ගෙන ජීවත් වීමට පුරුදුව සිටි වජ්ජි පුත්තක භික්ෂූහු මහා සංඝික නමින් වෙනම නිකායක් හෙවත් කොටසක් හැටියට කටයුතු කරන්නට වූහ. එහෙයින් පළමු සංගායනාවේ සිට මේ වන තුරු එක්ව සිටි භික්ෂූ පිරිස දෙපිරිසක් බවට පත් විය. මේ නිසා සංගායනා සිදු කළ රහතන් වහන්‍සේලාගේ හෙවත් ස්ථවීර භික්ෂූන්ගේ පක්ෂය ස්ථවිරවාද නිකාය ථෙරවාද නිකාය යන නමින් ප්‍රසිද්ධියට පත් විය. ස්ථවීර භික්ෂූන් වහන්සේ අනුගමනය කළ දහම ථෙරවාද බුදුදහම විය.

වජ්ජි පුත්තක භික්ෂුන් වෙනම නිකායක් ඇති කර ගැනීම නිසා ස්ථවීරවාද භික්ෂූන්ට නියම බුදුදහම ආරක්ෂා කර ගැනීමට අවස්ථාව උදා විය. මේ අනුව දෙවන වරට සිදු කළ ශාසන ශුද්ධිය නිසා උදා වූ ප්‍රතිඵල ලුහුඪින් මෙසේය.

• දස වස්තුව අකැප බව තීරණය වීම.

• ධර්ම – විනය දෙවන වරට සංගායනා කිරීම.

• ථෙරවාද භික්ෂූන්ට පිරිසිදු බුදුදහම ඉදිරියට පවත්වා ගෙන යාමට හැකි වීම.

  

 

—————

Indietro