Pace a tutti coloro che entrano qui....


ධර්මය

12.11.2012 14:40

ධර්මය යනු කුමක් ද? ධර්මය යනු පැවැත්මයි. පැවැත්ම ස්වභාවයෙන් සිදුවන්නකි. ඒ අනුව ස්වභාවික පැවැත්මේ විලාශය “ධර්මය” නොහොත් ධර්මතාවය ලෙස හැඳින්විය හැකිය.

ලෝකය දෙස බැලූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ භෞතික වශයෙන් ඇසට පෙනෙන ස්වභාවයේ ධර්මතාවය දැක ඇත. මේ භෞතික ධර්මතාවය ප්‍රකාශ කරන විටම පෙනෙන දේ ඇසෙන දේ හා දැනෙන දේ නිසාවෙන් සාමාන්‍ය හිතකට දරාගත හැකි වේ.

භෞතික දර්ශනය පෙනුනත් ඇසුනත් දැනුනත් ඊට වඩා ඈත් වූ පැවැත්මේ ධර්මතාවක් ඇත. මෙය අධ්‍යාත්මික දැනුමට දැකුමට හා පෙනුමට ලක්වන ධර්මතාවකි. සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කළේ මේ අධ්‍යාත්මික පැවැත්ම හුවා දැක්වන ධර්මය වේ. අපි බුදු දහම ලෙස සලකන්නේ මේ නොපෙනෙන අධ්‍යාත්මික සොබා දහමයි.

ධර්මය කොටස් කීපයකින් දැක්විය හැක. ලෝක ධර්මය නොහොත් ලෝකයට පොදු වූ ධර්මතාවය ඉන් එකකි. රටකට ආවේනික වූ ධර්මතාවක් ඇත. රටකින් රටකට ආවේනික වූ ධර්මතාවක් ඇත. රටකින් රටක පවත්නා වූ ධර්මතා ඒ අනුව වෙනස් වේ. නීතිය පදනම් වූ ධර්මතාවක් ද ඇත. මිනිසා ක්‍රියා කළ යුතු අන්දම නීතියේ ධර්මතාවයි. ආගම පදනම් වූ ධර්මතාවක් ද ඇත. එය ලෝක ධර්මතාවය මත පදනම් වූ කාගේත් හිත සුව පිණිස පවත්වාගෙන යනු ලබන ධර්මතාවකි.

ධර්මය නොහොත් පැවැත්ම තමාගේ ද අනුන්ගේ ද යහපත හෝ අයහපත දක්වා සකස් කරගත හැක. බුදු දහමේ පදනම වන්නේ පවත්නා ධර්මතාවය තුළින් තමාටත් අනුන්ටත් යහපතක් සිදුවන හා සිදුකරන ක්‍රියාවලිය පෙන්වන ධර්මතාවයක් ලෙසටය. හොඳ පල ලබාදෙන ධර්මය සද්ධර්මය ලෙස ද, නරක පල දෙන ධර්ම අසුද්ධර්මය ලෙසටද සලකනු ලැබේ. මෙයින් සද්ධර්මය තුළ සැප හා සතුට ලැබීමේ මාර්ගයන් සටහන්ව ඇත.

ලෝක ධර්මතාවය දකිද්දී හා බලද්දී කාටත් පෙනෙන, කාටත් දැනෙන ධර්මතාවකි ඉපදීම නොහොත් ඇතිවීම. ඉපදීමෙන් පසු නිතර නිතර සිදුවන දෙයකි වෙනස් වීම. මේ වෙනස්වීම සමඟ ඇතිවන්නකි ලෙඩ රෝග. ඉන්පසු මරණින් කෙළවර වන ධර්මතාවය අපට පෙනෙන හා දැනෙන ධර්මතාවකි. උපතේ සිට මරණය දක්වා ඇතිවන මේ ධර්මතාවය කිසිවෙකුට වෙනස් කළ නොහැක.

ඔබත් ඉපදී ඇත. මමත් ඉපිද සිටිමි. මෙසේ ඉපදී සිටින, වෙනස් වෙමින් සිට මැරීයන ඔබත් මමත් අයිති කාට ද? ඒ අයිති අයගෙන් ගැලවීමේ මඟක් සොයාගත නොහැකි ද? ඔබ ඔබේ නම්, ඔබ ලබන මේ ධර්මතාවන් වෙනස් කරවා ගත නොහැකි ද? එසේ වෙනස් කරවා ගත නොහැකි බවයි නිගමනය වන්නේ. එසේ නම් ඔබ ඔබේ විය නොහැකි බවයි. ‘මමය’, ‘මාගේය’ යයි කිසිවක් නොමැති බව ඔබ නිවැරදි සිතුවිලි ඇත්තෙක් නම් වැටහේවි.

ඉපදීම නොහොත් ඇතිවීම ද එතැන් පටන් මරණය නොහොත් නැතිවීම දක්වා වූ සියලු දේ වල අනියත ස්වභාවය ද ලෝක ධර්ම වේ. මේ ලෝක ධර්මතාවය වෙනස් කළ හැකි කිසිවෙක් නැත. එය සොබා දහමේ යථා ස්වභාවයයි.

 

—————

Indietro