Pace a tutti coloro che entrano qui....


ප්‍රථම ධර්ම සංගායනාව.

15.11.2012 14:31

 

ඇවැත්නි, ශෝක කරන්න එපා. වැළපෙන්න එපා. දැන් අපි බුදුරජාණන් වහන්සේගෙන් නිදහස්ව සිටිමු. මෙය ඔබට සුදුසු ය. මෙය ඔබට නුසුදුසුය. යනුවෙන් උන්වහන්සේ නිති පැනවීම නිසා අපි වෙහෙසට පත් වුනෙමු. දැන් අපි කැමති දේ කරමු. අපට අකමැති දේ නොකරමු.

මෙය තථාගත පරිනිර්වාණය නිසා සතුටට පත් සුභද්‍ර භික්ෂුව විසින් කළ ප්‍රකාශයයි. මෙය සිදු වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් සත් වැනි දිනයෙහිය. ශ්‍රී දේහය ආදාහන කිරීමටත් කළින් භික්ෂූන් මේ අදහස් පළ කිරීමෙන් අනාගතයෙහි සසුනට බරපතල විපත් සිදු විය හැකි බව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවබෝධ කොට ගත්හ.

ආයුෂ්මතුනි, අපි ධර්මය විනය සංගායනා කරමු. අනාගතයෙහි අධර්මය හා අවිනය බබලන්නේය. ධර්මය හා විනය නොබබලන්නේය. අධර්මවාදීහු හා අවිනයවාදීහු බබලන්නෝය. ධර්මවාදීහු හා විනයවාදීහු නොබබලන්නාහ.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු මහ කසුප් තෙරුන් වහන්සේ මෙම ප්‍රකාශය කළේ එහෙයිනි.සංගායනාව පිණිස අවශ්‍ය මූලික කටයුතු ඉක්මණින්ම ක්‍රියාත්මක විය.

ඒ අනුව

• රහතන් වහන්සේලා 500 ක් සහභාගි වීම.
• උන්වහන්සේලා පමණක් රජගහනුවර වස් එළඹීම.
• රජගහනුවර දී සංගායනාව පැවැත්වීම සිදු විය.

අජාසත් රජු විසින් සත්තපණ්නී ගුහා දොරකඩ දර්ශනීය මණ්ඩපයක් ඉදි කරවනු ලැබීය. සංගායනාවට පෙර දින ආනන්ද හිමියෝ රහත් වූහ. සියලු දෙනා වහන්සේ මණ්ඩපයට රැස් වූහ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පළමුවෙන්ම උපාලි මහරහතන් වහන්සේගෙන් විනය විමසූහ. උන්වහන්සේ ඒවා විසඳුහ. සියලු දෙනා වහන්සේ ධර්ම -විනය එක්ව සංගායනා කිරීමෙන් ධර්මයට හා විනයට විවිධ මත ඇතුලත් වීම උන්වහන්සේලා වැළැක්වූහ.

ඉන් පසු ඉදිරියට බුදුදහම පවත්වා ගෙන යාම සඳහා උන්වහන්සේලා පියවර ගත්හ. විනය උගන්වමින් එය ආරක්ෂා කිරීමේ වගකීම විනයධර උපාලි මහරහතන් වහන්සේට පැවරුණි. ධර්මය උගන්වමින් එය ආරක්ෂා කිරීමේ වගකීම භාරදී ඇත්තේ මෙසේය.

දීඝ නිකාය

-

ආනන්ද මහරහතන් වහන්සේට

මජ්ඣිමනිකාය

-

සැරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය
පිරිසට

සංයුක්ත නිකාය

මහා කාශ්‍යප මහරහතන් වහන්සේට

අංගුත්තර නිකාය

-

අනුරුද්ධ මහරහතන් වහන්සේට

පිරිනිවීමට ආසන්නයහි බුදුරදුන්  විසින් සංඝයා කැමති නම් මගේ ඇවෑමෙන් පසු කුඩා අනුකුඩා සිකපද ඉක්මවීමට පුළුවනැයි කළ ප්‍රකාශයද සංගායනාව අවසානයේදී සාකච්ඡාවට ගැනුණි. එහිදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මෙසේ පැවසූහ.

• සංඝයා බුදුරදුන් නොපැණවූ සිකපද නොපණවති.
• පැණවූ සිකපද නොඉක්මවති.
• පැණවූ සිකපද සමාදන්ව ඒ වූ පරිදි පිළිපදිති

සංගායනාවට රැස් වූ පන්සියයක් පමණ රහතන් වහන්සේලා විසින් බුදුදහමේ චිරස්ථිතිය පිණිස අනුගමනය කෙරුණු ක්‍රියාමාර්ග දැන් අපි සැකෙවින් හඳුනා ගනිමු.

• ධර්ම – විනය සංගායනා කිරීම
• ඒවා ආරක්ෂා කර ගැනීමේ පහසුව පිණිස කොටස් කර බෙදා ගැනීම.
• කුඩා, අනුකුඩා සිකපද ඉක්මවීම පිළිබඳ සංඝයා තීරණයක් ගැනීම.

මේ සංගායනාවේ ඇතැම් ප්‍රතිඵල සියවසක් පමණ ගත වන තුරු දක්නට ලැබිණි. ක්‍රමයෙන් සසුනේ පැවැත්මට බාධා එල්ල වන්නට විය. එහෙයින් තවත් සංගායනාවක් කිරීමේ අවශ්‍යතාව ඇති විය.

 

—————

Indietro