Pace a tutti coloro che entrano qui....


බෞද්ධ කොඩිය

02.08.2013 18:35
                                                                   

ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩියක් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔසවනු ලැබුවේ  1885 අප්‍රේල් මස 28 වන දිනය.

මෙම කොඩිය, 1884 ජනවාරි  28 දින පිහිටවු බෞද්ධාරක්‍ෂක සභාව මගින්, 1885 මාර්තු 27 දින ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයෙහි වෙසක් පොහෝ දින මින් පසු රජයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කල ප්‍රීතිය නිමිත්තෙන් එළඹෙන වෙසක් පොහොය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සදහා පත කල දස දෙනෙකුගෙන් යුත් කමිටුව මගින් නිර්මාණය කරන ලදී.

                                     එම දස පුද්ගල කමුටුවේ

 01.පූජ්‍ය හික්කඩුවේ ශ්‍රි සුමංගල හිමි (සභාපති)

02. පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි

03.දොන් කරෝලිස් හේවා විතාරණ (අනගාරික ධර්මපාලගේ පියා) 

04.අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන (අනගාරික ධර්මපාලගේ මව් පාර්ශවයේ මුත්තා)

05.විලියම් ද ආබෲ

06.චාර්ලිස් ඒ ද සිල්වා

07.පීටර් ද ආබෲ

08.එච්.විලියම් ප්‍රනාන්දු

09. එන්.එස්.ප්‍රනාන්දු

10.කරෝලිස් පූජිත ගුණවර්ධන (ලේකම්) යනාදි අයගෙන් සමන්විත වී ඇත.

මෙමගින් නිර්මාණය වූ කොඩිය 1885 අප්‍රේල් මස 17 වන දින සරසවි සඳරැස් පත්‍රයෙන් පළමු වරට ප්‍රසිද්ධ කරන ලදී. මෙහි නිර්මාතෘ වරයා පිළිබද විවධ මත ද පවතී. පළමුව කොඩිය එසවීම කොළඹට තදාසන්න විහාරස්ථාන කිහිපයක එම වර්ෂයේ වෙසක් දිනයේ දී එනම් තිබූ අප්‍රේල් මස 28 වැනි දින සිදු කෙරිණි. ඒ අනුව කොටහේන දීපදුත්තාරාමය, මාළිගාකන්ද පිරිවෙන, පරමවිඥානාර්ථ මූලස්ථානය හුණුපිටිය ගංගාරාමය හා කැලණිය රජමහාවිහාරය යන ස්ථානයන්හි පළමුවෙන් බෞද්ධ ධජය ඔසවන ලද අතර පසුව ලක්දිව අනෙකුත් ස්ථානවල ද එසවීමට අවස්ථාව ලබාදුනි. 1885 දීම පළමුවතාවට සෑම නිවසකම එය එල්ලා ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු යෙදීය.

බෞද්ධ කොඩියට යොදන ලද දිග පළල ගැන ඕල්කොට් තුමාගේ ප්‍රසාදයක් නොවීය. එය අපේ පුරාණ කොඩි අනුව යමින් දිගටි හැඩේට නිර්මාණය කර තිබූ එකක් විය.ඒ අනුව එවකට පැවැති ඉංග්‍රීසි ධජයට සමාන ආකාරයෙන් එම ප්‍රමිතියට සකසන ලද බෞද්ධ කොඩිය පළමුවෙන් 1886 වෙසක් පුන් පොහෝ දින සිට භාවිතයට ගැනිණි. අද ද දක්නට ලැබෙන්නේ එලෙසින් සකසන ලද කොඩිය වේ.

1950 දී ලක්දිව දී පවත්වන ලද ලෝක බෞද්ධ සම්මේලනයේ දී එවකට එහි සභාපතිව සිටි ගුණපාල මලලසේකර ශූරින් විසින් ලක්දිව නිර්මාණය කළ බෞද්ධ කොඩිය ලෝක බෞද්ධ කොඩිය ලෙසින් පිළිගැනීමට කළ යෝජනාව ඒකමතිකව තීරණය කරනු ලැබූ අතර අද දක්වා ම එම අන්තර්ජාතික පිළිගැනීම එලෙසින් ම පවත්වාගෙන යනු ලැබේ.

බෞද්ධ කොඩිය නිර්මාණය වී ඇත්තේ නීල (නිල්) පීත (කහපාට) ලෝහිත (රතු පාට) ඔදාත (සුදු පාට) මාංජෂ්ට (මදටිය පාට) ප්‍රභාස්වර (සියලු පාටයන්ගේ එකතුව) යන වර්ණයන්ගෙන් යුත් තීරු සයකිනි. බුදුරජාණන්වහන්සේට ඇති වන අතිමාත්‍ර පී‍්‍රති සහගත අවස්ථාවන්හි බුදු සිරුරින් සවනක් රැස් විහිදෙයි. එම රැස් පදනම් කොට ඉහත සඳහන් වර්ණ හෙවත් පාට භාවිතා කොට ඇත. එම නිසා බෞද්ධ කොඩියෙන් පිළිබිඹු වන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරුරෙන් නික්මුණ රශ්මි මාලා ය. තව ද 

>නීල වර්ණය තුළින් කරුණාව, විශ්ව කෙරෙහි පැතිරුණ මෛත්‍රීයත් සාමයත්,

>කහ වර්ණය මධ්‍යම ප්‍රතිපදාව, අන්තගාමිත්වයෙන් වැළකීම හා පිරිපුන් බව,  

>රතු වර්ණයෙන් පාටින් ආශිර්වාදාත්මක ප්‍රායෝගික කාර්යසාඵල්‍ය බව, ප්‍රඥාව, සදාචාරය හා උදාරත්වය‍, 

>සුදු පාටින් ධර්මයේ පාරිශුද්ධ බව කාලයට සහ අවකාශයට සීමා නොවූ අපරිමිත නිදහසත්,

>තැඹිලි පාටින් ප්‍රඥාව හා බෞද්ධ දේශනයත් 

>වර්ණ පහෙන් සමන්විත තීරුව තුළින් එකම සත්‍යත් අර්ථ ගැන්වෙන බව දැක්වේ.

ශ්‍රී ලංකා ප්‍රමිති කෙටුම්පතේ ලක්දිව ස්වභාවිකව වැඩෙන මල්වර්ග කීපයකට ද බෞද්ධ කොඩියේ වර්ණය ගලපා තිබේ. 

>නීල වර්ණය නිල්මානෙල්, 

>පීත කිණිහිරියා මල්, 

>ලොහිත වදමල, 

>ඕදාත ඉද්ද හා සමන් මල් වලට ද ගැලපුම් කොට ඇත. 

මෙහි හැඩය ඍජූකොණාශ්‍රාකාර විය යුතු වන අතර කොඩියේ දිග පළල 2 : 3 විය යුතු බවත් දිග මැනිය යුතුවන්නේ විල්ල ඇතුළත් නොවන පරිදි බවත් ප්‍රමිති කෙටුම් පතේ දක්වා තිබේ.

අප  බුදුරජාණන් වහන්සේගේ කරුණාව, මෛත්‍රිය, මහා ප්‍රඥාව, උදාරත්වය සහ ධර්මයේ පාරිශුද්ධත්වය පිළිඹිබු කෙරෙන ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය බෞද්ධ විහරස්ථාන ඇතුළු බොදුනුවන්ගේ බිම්හි ලෙලදෙන්නට වී වසර 127 කි. එවකට විසූ පඬිවරුන්, උගතුන් හා සාඩම්බර බෞද්ධයන් විසින් මෙම ධජය නිර්මාණය කිරීමට අමතරව ඒ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක්ද ලබා දෙන ලදී.  ඔවුන් විසින් එදා ඉටු කරන ලද මෙහෙවර සිහි තබාගෙන, ඔවුන් විසින් අපට උරුම කරදුන්, රැකදුන් සම්බුද්ධ ශාසනය දිවිහිමියෙන් රැකගැන්ම වත්මන් පරපුරේ  යුතුකම මෙන්ම වගකීමද වෙයි.

—————

Indietro