Pace a tutti coloro che entrano qui....


සත්‍ය වචනය පිළිබඳ බෞද්ධ විවරණය

12.11.2012 14:50

කිසි දා පා පැදියක් පැද නැති කෙනෙකුට එක්වරම පාපැදියක් පැදීම අපහසු වේ.කිසිදා පිහිනා නැති කෙනෙකුට එකවර පිහිනීමද අපහසු වේ.එහෙත් සත්‍ය වචන කථා කිරීමට එබඳු පුරුද්දක් අවශ්‍ය නොවේ.මක් නිසාද යත්, නුපුරුදු පාපැදියේ ගියොත් වැටෙවි යන බියත් නුපුරුදු පිහිනීමෙන් ගිලේවි යන බියත් ඇති වුවත් සත්‍ය වචනය කතා කරන කෙනෙකුට එබඳු හැඟීමක් ඇති නොවේ. එබැවින් ඔබට දැඩි අවශ්‍යතාවයක් ඇති නම් මේ මොහොතේ සිටම ඔබට මුසාවෙන් මිදී සත්‍ය වචනයම කතා කිරීමේ හැකියාවක් ඇත. ඊට අවශ්‍ය වන්නේ ඔබ කථා කරන වචනය පිළිබඳ දැඩි අවධානයකින් සිටීමයි. සත්‍ය වචනය කතා කිරීමට නොව ඔබට පුරුද්දක් අවශ්‍ය වන්නේ බොරු කීමෙන් වැලකී සිටීමටයි. මක් නිසාද යත් බොරු කීම සමාජයේ බොහෝ දෙනා පුරුද්දක් කරගෙන සිටීම නිසයි. මුසාවේ ආදීනව දන්නේ නම්, සත්‍යයේ ආනිසංස දන්නේ නම් ඔබ කිසිදා බොරු නොකියනු ඇත. මම බොරු නොකියා සිටීමට මින් පසු උත්සාහ දරමි යන අධිෂ්ඨනය ඇති කර ගැනීම, ඔබගේ ඉදිරි ගමන් මාර්ගයේ තීරණත්මක අධිෂ්ඨානයක් වනු නිසැකය.

බෞද්ධ අබෞද්ධ කවරෙකුට වුව පංච ශීලයට එකඟ විය හැක. එසේම ආගම් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට තම ආගමික ඉගැන්වීම් වලට අනුකූලව පංච ශීලය ආරක්ෂා කල හැක. පන්සිල් රක්නා කෙනෙකු තමා හා අන්‍යන් යන දෙපක්ෂයට ම යහපත් ආනිසංස රැසක් මෙලොවදීම ලබා දෙයි. අප සාකච්ඡා කරන මුසාවාදයෙන් වැළකී සිටින තැනැත්තා සමාජයේ විශ්වසනීයත්වයට භාජනය වේ. කවර ආගමක් ඇදහුවත් ඔහුට ආගම් වෙනසකින් තොරව විශිෂ්ටයකු විය හැකිය.

බෞද්ධයෝ බොහෝ දෙනා උදේ හවස පන්සිල් ගනිති. භික්ෂුවක් සිටින උත්සවය පංචශීලය සමාදන් වීමෙන් ආරම්භ වේ. පංච ශීලයෙන් අදහස් වන්නේ ‘මම මේ මොහොතේ පටන් සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන්, කාමයේ වරදවා හැසිරීමෙන්, බොරු කීමෙන්, රහමෙර පානයෙන් වැළකී සිටිමි’ යි තමාට තමාම පොරොන්දු වීමකි. අන්‍යන් හමුවේද එය හඬ නගා ප්‍රකාශ කිරීමකි.එහෙත් කිසියම් ශික්ෂා පදයක් ඔබ අතින් කැඩේ නම් ඒ සමඟ මුසාවාදා ශික්ෂා පදයද ඛණ්ඩනය වේ.බොරු පොරොන්දු දී ඒවා නැවත නැවතත් කඩ කිරීමක් මෙහි දක්නට ඇත.

සතුන් නොමරමි, සොරකම් නොකරමි, බොරු නොකියමි යැයි පොරොන්දු වෙමින් එය කඩ කරන හැම විටම මුසාවාද ශික්ෂා පදය කඩ වේ නම් පන්සිල් ගැනීමෙන් පව් දෙකක් සිදු වේ යැයි දැන් ඔබට තර්ක කළ හැක. තර්ක කොට පන්සිල් නොගෙන සිටීමට ඔබ තීරණය කරනු ඇත. මා මෙයින් අදහස් කරන්නේ ඔබ පන්සිල් ගැනීමෙන් වැළැක්වීමට නොවේ. අඩුම වශයෙන් ඔබ පුරුද්දක් වශයෙන් ගන්නා පංච ශීලය හා එහි අරමුණ හොඳින් වටහා ගත යුතුය යන්න අවධාරණය කිරීමටය. එසේම පංච ශීලය ප්‍රායෝගිකත්වයට ගෙන ආ යුතු දෙයක් බව සිහිපත් කිරීමටය.

අප සමාජයේ සියයට එකක් නොව දෙසීයකට එක් අයෙක් වත් මුසාවාදයෙන් වැළකී සිටීමේ ශික්ෂා පදය ආරක්ෂා කරන බවක් නොපෙනේ.මා එසේ පවසන්නේ ඇතම් ධර්ම දේශනාවකදී මෙම මාතෘකාවෙන් ධර්මය දේශනා කරන විට ‘මේ පිරිස අතරින් බොරු නොකියා සිටින අය සිටිනවා නම් අත ඔසවන්න, යයි ඉල්ලූ විට ඉතාමත් කලාතුරකින් කෙනෙක් බියක් සැකක් නැතිව අත ඔසවා දක්වන බැවිනි.’බොරු නොකියා සිටීමට උත්සාහ ගන්නා අය සිටිනවා නම් අත ඔසවන්න’ යයි ඇරයුම් කළ විට නම් ඒ පිරිස අතර කිහිප දෙනෙක් අත ඔසවා දක්වන නිසා අප බෞද්ධ යයි කියන මේ සමාජයේ ඉතාමත් ටික දෙනෙක් පමණක් වත් මුසාවාද ශික්ෂා පදයේ බැරෑරුම් කම වටහා ගෙන තිබීම සතුටට හේතුවකි.

මේ නිසා අද අප සාකච්ඡා කරන මාතෘකාව ඉතාමත් වැදගත් එකකි.සමාජ දේහයේ අස්සක් මුල්ලක් නෑර පැතිරී තිබෙන බොරුව ඉවත් කරන්නේ කෙසේද? මෙය ඉතාමත් බැරෑරුම් කටයුත්තකි. එහෙත් එකිනෙකා මේ ශික්ෂා පදය අකුරටම ආරක්ෂා කිරීමට පටන් ගත්තොත් එය අපහසු දෙයක් නොවේ. දුම් බීම, මත් පැන් පානය වර්තමානයේ තරුණ පරපුර අතින් ඈත් වීමක් දක්නට ලබේ. බොරු නොකීමේ ආනිසංස පිළිබඳව දත් සත්‍යම ප්‍රකාශ කිරීමේ සංවිධාන මේ සඳහා ගොඩ නැගීම අවශ්‍ය වේ.ගව ඝාතනයට එරෙහි සංවිධාන , අමද්‍යප සංවිධාන මෙන් ‘සත්‍ය භාෂී’ සංවිධාන ද රටට අවශ්‍ය වී ඇත.

බෞද්ධයෝ දන් දෙති. ශීල සමාදාන පවත්වති. එහෙත් මේ වැදගත් වූ ශික්ෂා පදය ගැන වැඩි අවධානයක් නැත්තේ ඇයි? මුසාවාදා ශික්ෂා පදයත් අන් හැම ශික්ෂා පදයක් වගේම වැදගත්. එක අතකින් එය අන් හැම ශික්ෂා පදයකටම වඩා වැදගත් එකක් බව බෞද්ධ සූත්‍ර දේශනා වල දක්වා ඇත. මුසාවාදයෙන් නොවැළකී ශීල,සමාධි ප්‍රඥ්ඥා වැඩිය නොහැකි බව අප වටහා ගත යුතුයි. අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයට අනුව මුසාවාදයෙන් යුත් භික්ෂුවක්, සැබෑ භික්ෂුවක් නොවන අතර මහානාම සූත්‍රයට අනුව ඔහුට උපාසකයකු නොහොත් සැබෑ බෞද්ධයකු ද විය නොහැකිය. අප සුලුවෙන් තැකුවද මේ ශික්ෂා පදය බරපතල අකුසලයක් ලෙස සැලකිය යුතුය.

අප සමාජයේ බොහෝ දෙනෙක් කියන කතාවකි ‘පංච ශීලයේ සිල් පද හතරක් මා රකිනවා. බොරු කීමෙන් වැලකී සිටීම තමා අපහසු’. මේ සඳහා දිය හැකි හොඳම පිළිතුර රාහුල පොඩි හාමුදුරුවන්ට බුදුරදුන් මුසාවාදය පිළිබඳ කළ පැහැදිලි කිරීමයි.

ඒක ධම්මං අතීතස්ස – මුසාවාදස්ස ජන්තුනෝ

විතින්න පරලෝ කස්මිං – නත්ථි පාපං අකාරියං

රාහුල බොරු කියන කෙනෙකු සෙසු සිල්පද ආරක්ෂා කරනවා යැයි සිතිය නොහැක. එකම වටිනා ධර්මය වන සත්‍යයෙන් වැළකී සිටින තැනැත්තාට කළ නොහැකි පවක් නැත්තේය.

මෙයින් පැහැදිලි වන්නේ බොරු කියන්නාට ඕනෑම අපරාධයක් කළ හැකි බවය. එසේම යමෙක් බොරු නොකියයි නම් ඔහුට සෙසු අකුසල කර්ම වලින් ද වැළකී සිටීම ඉතා පහසු දෙයකි.

අද සමාජයේ බොරු කීම කෙතරම් පැතුරුණු රෝගයක් වී තිබේද? දෙමව්පියෝ දරුවා කුසේ සිටියදීම ලොකු පාසලකට ඇතුලත් කර ගැනීම සඳහා බොරු ලියාපදිංචි සහතික ඉදිරිපත් කරති. නිවාඩු ලබා ගැනීමට බොරු වෛද්‍ය සහතික ඉදිරිපත් කරති. අපේ බෞද්ධයෝ බොරුවට කෙතරම් පුරුදු වී ඇත්ද යන්න භික්ෂූන් වහන්සේ ගෙන් පවා බොරු සහතික ඉල්ලා සිටිති. දරුවකු නළවා ගැනීමට මාපියෝ කෙතරම් බොරු කියත් ද? දරුවාට බත් කටක් කැවීමට කියන බොරු මුසා වාද ගණයෙහි ලා නොසැළකීමට පුරුදුව සිටිති. බොරුවක් නොකියා ඇත්තක් කියා දරුවන්ට බත් කැවීමට ඔවුන් නැලවීමට අප පුරුදු පුහුණු විය යුතුය. මෙසේ හැම විටම බොරු කියන බැවින් මුසාවාදය බරපතල පවක් ලෙස නොසිතීමට අප හුරු වී ඇත. මෙය අපගේ අවාසනාවකි.

යහලු මිත්‍රයෝ එක් රැස් වූ විට බොරු කියති. බොරු නොකියා කෙනෙකුට සිනාසීමට නොහැකිද? බොරු නොකියා විහිලු කිරීමට, හාස්‍යය උපහාසය ප්‍රිය භාෂණ සතුටු සාමීචි කතා පැවත්වීමට නොහැකිද? ඔබ මේ කිසිම අවස්ථාවක ඒ සඳහා උත්සාහයක් නොගන්නා බැවින්, හැම තැනම බොරුව රජ කරන බවද වටහා ගත යුතුය.

දිනපතා රූපවාහිනියෙන් විකාශනය වන නාට්‍ය සංඛ්‍යාව බොහෝය.ඒ සියලුම නාට්‍ය වල එකිනෙකා රවටන බොරුව අසන්නට දකින්නට ලැබේ. ඇතැම් සම්භාව්‍ය නාට්‍ය කරුවෝ ද ‘සකිසඳ එලියෙස්’ වැනි චරිත පණ ගන්වති. එබඳු චරිත බොරුවේ උල්පත් බව හැඳින්විය හැක. පුංචි දරුවන්ට ද, වැඩිහිටියන්ට ද, බොරු කීම ලජ්ජා නොවිය යුතු දෙයක් ලෙස මේ නිසා නිරායාසයෙන් වැටහේ.අඩුම වශයෙන් මේ කතාවලින් බොරුවේ ආදීනව එනම් බොරු කීමෙන් මිනිහෙකු පිරිහෙන ආකාරයේ පණිවිඩ ඉදිරිපත් කල හැක.එසේ නොකිරීම ජාතියේ අභාග්‍යකි.

අපේ පැරණි ජනකථා දෙස බලන්න. දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘නරිබෑණා’ නාට්‍ය මගින් පෙන්නුම් කරන්නේ පෙර ගැමියා බොරු නොකී බවයි. ගම මහගේ තම දියණිය සමඟ තරහෙන් යුතුව ‘මම තෝ දෙන්නෙ කවද හරි නරියකුට තමයි’. මේ ගම හාමිනේ ගෙන් පිට වූ වචනය ඇසූ හිවලෙක් මනුෂ්‍ය දුවක් සරණ පාවා ගැනීමේ කතාවෙන් පෙන්නුම් කරන්නේ අප සමාජයේ එකල තිබුණු සත්‍ය කතා කිරීමේ සාරධර්මය නොවේ ද?

අප මුසා බසින් වැළකී සිටිය යුත්තේ එයින් සමාජයේත්, පුද්ගල සම්බන්ධයේත් විශ්වසනීයත්වය බිඳ වැටෙන නිසාය. ‘විශ්වාසා පරමා ඥාතී’. විශ්වාසය උතුම් ඥාතියාය. එහෙත් අද සමාජයේ මව,පියා සැක කරයිනම්, පියා මව සැක කරයි නම් දෙමව්පියන් දූ දරුවන් ගැනත්, දූ දරුවන් දෙමව්පියන් ගැනත් සැකයෙන් සිතයි නම් සහෝදර සහෝදරියෝ ඔවුනොවුන් රවටා බොරු කියත් නම්, විශ්වාසයක් ගොඩ නැගෙන්නේ කෙසේද? අඹු සැමි, දූ දරු සම්බන්ධය තහවුරු වන්නේ විශ්වාසය මතයි. ලේ නෑයන් වුවද විශ්වාසයක් නොමැති නම් ඔහු දුරස්ථයෙකි. ලේ නැයෙක් නොවූවද විශ්වාසවන්තයෙක් නම් සත්‍ය ගරු කරන කෙනෙක් නම් ඔහු සමීපතම ඥාතියෙක් වේ. විශ්වාසවන්ත සැබෑ ඥාතියෙකු වේ.

සත්‍යයේ සමාජමය ක්‍රියාකාරිත්වය පෙන්වන සත්‍යය පිළිබඳ විශ්ලේෂණ වචන කීපයක් ඇත.

‘ථෙතො ,පච්චායිකෝ, සච්චසන්ධෝ, අවිසංවාදකො’

මෙහි පළමු වචනය වන ‘ථෙතො’ යනු ස්ථිර නොහොත් තිරසාර යන්නය.සත්‍ය වචනයම කතා කරන තැනැත්තා ස්ථිර අදහස් ඇති කෙනෙකි. ඔහු යහපත් තීරණ ගැනීමේදී නොතැවෙයි. ඔහු පක්ෂග්‍රාහී නොවේ. මනා පෞරුෂයකින් යුක්ත වේ. ඔහු ගැන කිසිවෙක් සැකයක් විචිකිච්ඡාවක් ඇති කර නොගනී.

‘සච්ඡසන්ධො’ වචන කතා කරන තැනැත්තා කිසි දිනක අසත්‍යයේ පැත්ත නොගනී. ඔහු කිසිදු අසත්‍යකට උදව් නොකරයි. සත්‍යයේ පැත්ත ගෙන සත්‍යය වෙනුවෙන් පෙනී සිටී.

‘පච්චයිකො’ යන විශේෂණ වචනයෙන් දැක්වෙන්නේ ඔහු කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ හැකි කෙනෙක් බවය. එබඳු තැනැත්තෙක් වාසියට ලාභයට තම ප්‍රතිපත්ති පාවා නොදෙයි. ඔහු කෙරෙහි යැපිය හැකිය. එනම් බියක් සැකක් නැතිව එබඳු පුද්ගලයකු නායකත්වයෙහි තැබිය හැක.

‘අවිසංවාදකෝ’ යනු සත්‍යය වචනය කතා කරන තැනැත්තාගේ කතාවේ කතාවේ හා ක්‍රියාවේ විසංවාදී බවක් පරස්පර විරොධී බවක් නැත. ඔහු කියන දෙය කරයි, කරන දෙය කියයි.(යථාවාදී තථාකාරී – යථාකාරී තථාවාදී) මෙබඳු සත්‍යය වචන කතා කරන තැනැත්තාගේ ලක්ෂණ සතර විසින් කියා පාන්නේ සත්‍යයේ ඇති ප්‍රායෝගික වටිනාකම ය. එබඳු ලක්ෂණ ඇති නායකයකු ඇති රටක් කොතරම් ලස්සන වේද? එබඳු මිනිසුන් ඇති සමාජයක් මොන තරම් උසස් එකක් වේද? යන්න වටහා ගත හැකිය.

මුසාවාදයෙන් වැළකී සිටීම බොහෝ අපහසු දෙයක් ලෙස සිතුවත්, එය එසේ නොවන බව පැහැදිලි කරන උදාහරණයක් දැක්විය හැක. අප බුදුන් වහන්සේ පෙර සසර අකුසල කර්ම රැසක් කර තිබිණ. ඒවායේ විපාකයන්ට බුදු වුවද මුහුණ පෑමට සිදු විය. මිනිස් ඝාතනයකට උන් වහන්සේ බෝසත් කාලයෙහි සම්බන්ධ වී තිබිණ. දේවදත්ත හිමියන් පෙරලූ ගලක් නිසා බුදුන් වහන්සේගේ ඇඟිල්ලක් පවා තුවාල වුනේ එබඳු පාප කර්මයක් නිසාය. ස්ත්‍රී දූෂණයක් පිළිබඳවද උන්වහන්සේ වෙත චෝදනා එල්ල විය.නමුත් පෙර සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තුල උන් වහන්සේ බොරුවක් නොකී හෙයින් උන් වහන්සේට බුද්ධත්වයට පත් වීමෙන් පසු කිසිවකු විසින් ‘ගෞතමයන් වහන්සේ බොරු කාරයෙකි, මුසාවාද ගොතමො’ යනුවෙන් බුදුරදුන්ට චෝදනා නොකළ බව බෞද්ධ සාහිත්‍යයෙන් සනාථ වේ. මේ නිසා බොරු නොකීමේ ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීමට අපහසුය යන අදහස ඔබේ සිතෙන් ඉවත් කර ගැනීමට හැකි වනු ඇත.

බොරු කීම මහත් අකුසලයක් බව පෙන්වා දෙන සූත්‍රයකි මඣ්ජිම නිකායේ අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය. යම් භික්ෂුවක් බොරු කියන්නේ නම් එම භික්ෂුව හිස් බඳුනක් ලෙසත් පැවිදි ශීලයෙන් හිස් කෙනෙක් බවත් අවධාරණය කෙරෙයි. එසේම පංච ශීලයෙහි වැදගත් වූ මේ සිල් පදය උල්ලංඝනය කරන ගිහියා, සැබෑ උපාසකයකු නැතහොත් සැබෑ බෞද්ධයකු නොවන බවත් මහානාම සූත්‍රයෙන් අවධාරණය කෙරෙයි.

අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය ඓතිහාසික බෞද්ධ දේශනාවකි. මෙම සූත්‍රය පිළිබඳව අශෝක චක්‍රවර්තීන්ගේ ‘බාභ්‍රෑ’ සෙල් ලිපියෙහි ගිහි පැවිදි දෙපක්ෂය විසින්ම පරිහරණය කළ යුතු දේශනාවක් ලෙස නිර්දේශ කොට ඇත. රාහු හිමියන්ට බුදුරදුන් පළමුව පැහැදිලි කළේ ‘රාහුල ඇත් සේනවක නායක ඇතා යුද්ධ කරන විට ඌ තම කුම්බස්තලය , පෙර පාද හා පසු පාදත්, කන් හා වලිගය පවා සතුරන්ට පහර දීමටත්, ප්‍රාකාර බිඳ දැමීමටත් යොදා ගනී. එහෙත් ඌ සටන් කරන හැම විටම හොඬ වැල ආරක්ෂා කර ගනී. මක් නිසාද යත් රාහුල හොඬය කැඩුණු හස්තියකුගෙන් කිසිදු ඵලක් නොවන බැවිනි.’ මේ අනුව හස්තියාගේ හොඬය උගේ බලයයි. ඒ අනුව කෙනෙකුගේ ශීලයහි මුසාවාද බිඳුනු කෙනෙකුගේ සීලයෙහි වටිනා කමක් නැත. මේ නිසා මුසා වාදයෙන් වැළකීමේ ශික්ෂා පදය ආරක්ෂා කර ගැනීමට බෞද්ධයා මීට වඩා වැඩි අවධානයක්යොමු කළ යුතුය.

 

 

—————

Indietro