Pace a tutti coloro che entrano qui....


1-සුත්‍ර පිටකය

10.12.2013 18:51

මේ මහා භද්‍ර කල්පයේ සිව්වනුවට ලොව පහල වූ අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් අවබෝධ කොට දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයෙහි සූත්‍ර පිටකයට අයත් දේශනාවන්ගේ එකතුවයි.

1-දීඝ නිකාය
2-මජ්ඣිම නිකාය
3-සංයුත්ත නිකාය
4-අංගුත්තර නිකාය
5-ඛුද්දක නිකාය
 
1-දීඝ නිකාය
දීඝ නිකාය සූත්‍ර පිටක පාළියෙහි එන පලමු වැනි ග්‍රන්ථයයි. එය සීලක්ඛන්ධ වර්‍ගය, මහා වර්‍ගය, පාඨික වර්‍ගය යයි කොටස් තුනකින් සමන්විත ය. එයින් සීලක්ඛන්ධ වර්‍ගයේ සූත්‍ර දේශනාවන් 13ක් ද, මහා වර්‍ගයේ සූත්‍ර දේශනාවන් 10ක් ද, පාඨික වර්‍ගයේ සූත්‍ර දේශනාවන් 10ක් දැයි දීඝනිකායට අයත් සූත්‍ර දේශනාවන් ගණන 33ක් වේ. සාධු සිත් ඇත්තෝ සැදැහයෙන් යුතු ව මේ උතුම් ධර්මය කියවා ධරත්වා.
 
1-සීලක්ඛන්ධ වර්‍ගය
 
1-1. බ්‍රහ්මජාල සූත්‍රය
 
1.මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණ වු මහත් බික්සඟන සමඟ රජගහනුවරටත් නාලන්දා නුවරටත් අතරෙහි දීර්ඝමාර්ගයට පිළිපන්සේක් වෙති. සුප්පිය නම් පිරිවැජියාත් බඹදත් නම් තරුණ අතැවැස්සා සමඟ රජගහ නුවරටත් නාලන්දා නුවරටත් අතරැ වු දික් මඟට පිළිපන්නේ වේ. එහි දී සුප්පිය පිරිවැජි නොයෙක් කරුණින් බුදුරජාණන් වහන්සේට දොස් කියයි, ධර්මයට දොස් කියයි, සංඝයාට දොස් කියයි. එහෙත් ඔහුගේ අතැවැසි තරුණ බඹදත් තෙමේ නොයෙක් කරුණින් බුදු රජාණන් වහන්සේ පසසයි. ධර්මය පසසයි, සංඝයා පසසයි. මෙසේ ඒ ඇදුරු අතැවැසි දෙදෙන එකෙක් අනෙකාට ඉඳුරාම විරුද්ධවාද ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේත් භික්සඟපිරිසත් අනුව ගියෝ වෙත්.
 
2.ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රාජාගාරයෙහි (රජ ගෙහි) බික්සඟන සමඟ එක් රැයක් නවාතැනට එළැඹිසේක. බඹදත් නම් තරුණ අතැවැස්සා හා සුප්පිය පිරිවැජ්ජාත් එක් රැයක් විසීමට එහි ම එළැඹියේ ය. එහි දී ද සුප්පියපියපිරිවැජ්ජා නොයෙක් කරුණින් බුදු රජාණන් වහන්සේට නින්දා කෙරෙයි. ධර්මයට නින්දා කෙරෙහි, සංඝයාට නින්දා කෙරෙයි.  ඔහුගේ අතවැසි තරුණ බඹදතා නොයෙක් කරුණින් බුදුගුණ කියයි, දහම් ගුණ කියයි. සඟගුණ කියයි. මෙසේ  ඒ ඇදුරු අතැවැසි දෙනා එකෙක් අනෙකාට ඉඳුරා ම විරුද්ධවාද ඇත්තේ වැ වෙසෙත්.
 
3.ඉක්බිති රෑ අළුයම්හී නැගී සිටි, නිෂීදන ශාලායෙහි රැස් වැ හුන් බොහෝ භික්ෂුන් අතරැ මේ කථාව පහළ විය:  “ඇවැත්නි සත්තවයන්ගේ ආශයානුශයයන් දක්නා අර්හත් වු සම්‍යග්සම්බුද්ධ වු ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සත්වයන්ගේ එකකු අනෙකකුට වෙනස් අදහස් ඇති නියාව කොතරම් මැනවින් සියල්ල දන්නා ලද්දේ ද යන මෙය අශ්චර්ය ය. අද්භූත ය. මේ සුප්පියපිරිවැජියා වනාහි නොයෙක් කරුණින් බුදු රජාණන් වහන්සේට දොස් කියයි, ධර්මයට දොස් කියයි, සංඝයාට දොස් කියයි. එහෙත් මොහු තරුණ අතැවැසි බඹදත් තෙමේ නොයෙක් කරුණින් බුදු ගුණ කියයි, දහම් ගුණ කියයි, සඟ ගුණ කියයි. මෙසේ මේ ඇදුරු අතැවැසි දෙදෙන එකෙක් අනෙකාට ඉඳුරා විරුද්ධකථා ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේත් භික්ෂුසංඝයාත් පසුපස්සෙහි ගියෝ වෙති.” යනු යි.
 
4.එ කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුන්ගේ මේ කථාව දැන, නිෂිදනශාලාව කරා එළැඹිසේක. එළැඹ පණවන ලද අස්නෙහි හිඳගත් සේක. හිඳ ගෙන ම, භික්ෂුන් අමතා “මහණෙනි තෙපි දැන් කවර කථාවෙකින් හුන්නෝ වහුද ? කවර නම් අතුර කථාවෙක් තොප විසින් අඩාල කරන ලද දැ ?” යි විචාරා වදාළ සේක. මෙසේ වදාළ කල්හී, ඒ භික්ෂුහු  “වහන්ස, මෙහි රෑ අළුයම්හි නැගී සිටි, නිෂීදන ශාලායෙහි රැස් වැ හුන් අප අතරැ මේ කථාව  පහළ විය:  “ඇවැත්නි සත්ත්වයන්ගේ ආශයානුශයයන් දක්නා  සියල්ල දක්නා, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යග් සම්බුද්ධයන් වහන්සේ විසින් සත්වයන් එකකු අනෙකකුට වෙනස් අදහස් ඇති නියා කොතරම් මැනවින් දන්නා ලදද ,  යන මෙය අශ්චර්ය ය. අද්භූත ය. මේ සුප්පියපිරිවැජියා  නොයෙක් කරුණින් බුදු රජාණන් වහන්සේට දොස් කියයි, ධර්මයට දොස් කියයි, සංඝයාට දොස් කියයි. එහෙත් ඔහු තරුණ අතැවැසි බඹදතා නොයෙක් කරුණින් බුදු ගුණ කියයි, දහම් ගුණ කියයි, සඟ ගුණ කියයි. මෙසේ මේ ඇදුරු අතැවැසි දෙදෙනා එකෙක් අනෙකාට ඉඳුරා විරුද්ධකථා ඇතිවැ  භාග්‍යවතුන් වහන්සේත් භික්ෂුසංඝයාත් පසුපස්සෙහි ගියෝ වෙති.” යි.  වහන්ස, අප අතරැ මේ කථාව අඩාළ විය.  එවිට භාග්‍යවතුන් වහන්සේ මෙහි එළැඹි සේකැ"යි  භාග්‍යවතුන් වහන්සේට සැල කළහ.
 
5.(ඒ භික්ෂුන්ගේ කථාව අසා භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්) “මහණෙනි, අනුන් මට දොස් කියතොත් , ධර්මයට හෝ දොස් කියතොත් සංඝයාට හෝ දොස් කියතොත් ඒ තන්හි දී තොප විසින් කෝප නො ඉපැදැවිය යුතු ය. නොසතුට නො ම ඉපැදැවිය යුතු ය. සිතැ අමානාප බව නොකට යුතු ය. මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්මයට හෝ දෝස් කියතොත්, සංඝයාට හෝ දොස් කියතොත් ඒ දෝස් කීමෙහි තොපි කිපෙන්නහු නම්, නොසතුටු හෝ වන්නහු නම්, එයින් තොපට ම තොපගේ ම ධ්‍යානලාභාදියට) අන්තරාය (බාදා) වන්නේ ය.
මහණෙනි, අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් නගතොත්, එහි තෙපි කුපිත වන්නහු නම්, එසේ කල්හී තෙපි ඒ අනුන් කී දෑ සුභාසිත ද(සත්‍ය කථාවෙක් ද) නැත හොත් දුර්භාෂිත ද (අසත්‍ය කථාවෙක් දැ) යි  දැන ගත හැකි වන්නහු දැ?” යි.  ප්‍රශ්න කළ සේක. “වහන්ස, මෙය නොවන්නේ ම යැ (කිපුණොත් කියන කථාවේ ඇත්ත නැත්ත දැන ගත හැකි නොවන්නමෝ මැ යැ)” යි ඒ භික්ෂුහු උත්තර දුන්හ.(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ) “මහණෙනි, අනුන් මට හෝ ධර්මයට හෝ සංඝාට හෝ දොස් කියතොත්, එහි තොප විසින්  මේ කාරණයෙනුත්  මෙය අභූතයෙකි. මේ කාරණයෙනුත් මෙය අසත්‍යෙයකි. මේ කියන දෝෂය අප කෙරෙහි නැත. මෙය අප කෙරෙහි අවිද්‍යාමාන යැ' යි නැති දොස් නැති සැටියටම ලිහා ඉවත් කළ යුතු ය”.
 
6.”මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියතොත්, එහි තොප විසින් ප්‍රීතිය  නො ඉපදවිය යුතු ය. සොම්නස නොකළ යුතු ය. සිතෙහි ප්‍රීතියෙන් ඉල්පුණුබව නොකළ යුතු ය. මහණෙනි, අනුන් මාගේ හෝ ගුණ කියතොත්, ධර්මයේ හෝ ගුණ කියතොත්, සංඝයාගේ හෝ ගුණ කියතොත්, එහි තෙපි ප්‍රීති වන්නහු නම් සතුටු වන්නහු නම්, තොපට ම එයින් අන්තරාය වේ. (තොපගේ ම ධ්‍යානාදීගුණ ලාභයට එය බාධක වේ.)  මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියතොත් එහි තොප විසින්  'මේ කරුණිනුත් මෙය ඇත්ත ය. මේ කරුණිනුත් මෙය එසේ ම ඇති එකෙක. මෙය අප කෙරෙහි ඇත්තේ වේ. මෙය අප තුළ විද්‍යාමාන ම යැ” යි. ඇති ගුණ ඇති වශයෙන් පිළිණ කට යුතුයි.
 
7.මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ යමෙකින් (ඔහුන් වහන්සේ කෙරෙහි වු යම් ගුණයක් කරණ කොට ගෙන) කියන්නේ නම්, ඔහු කියන ඒ ගුණය අල්පමාත්‍ර එකෙක. ස්වල්ප මාත්‍ර එකෙක. ආචාරශිලගුණ පමණක් ම වු මද දැයෙක. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ යමෙකින් කියන්නේ නම් ඔහු කියන ඒ අල්පමාත්‍ර වු ස්වල්ප මාත්‍ර ශීලමාත්‍ර වු ගුණය කවරේ ද? යත්:-
 
8.“ශ්‍රමණගෞතම තෙමේ පණිවා හැර දමා, පණිවායෙන් වැළැක්කේ ය. බහා තැබූ දඬුමුඟුරු  ඇත්තේ ය. (දඬු මුගුරු නොදරන්නේ ය) බහා තැබූ ආයුධ ඇත්තේ ය. (ආයුධ නොදරන්නේ ය.) පවට පිළිකුල් කරන්නේ ය. මෛත්‍රියට පැමිණියේ ය. (මෛත්‍රියෙන් යුක්තය.) සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති ව වෙසේ යැ” යි මෙසේ මහණෙනි, තථාගතයන් වහන්සේගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
 
9.“ශ්‍රමණගෞතම තෙමේ අයිනාදන් හැර දමා අයිනාදනින් වැළකුණේ ය. දුන් දැයම පිළිගන්නාසුලු ය. දුන් දැයම සිතිනුත් කැමැති වැ ඉවසන සුලු ය. නොසොර වු පිරිසිදුසිතින් යුතු වැ වෙසේ යැ" යි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
 
10.“ශ්‍රමණගෞතම තෙමේ අබ්රම්සර දුරු කොට බඹසර හැසිරෙන්නේ ය. ගැමි දහමක් වු මෙවුන්දමින් දුරු වැ හැසිරෙන්නේ එයින් වැළැක්කේ යැ” යි  මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
 
11.“ශ්‍රමණගෞතම තේමේ බොරු කීම දුරැලා, බොරු කිරීමෙන් වැලැක්කේ ය. ඇත්ත කියන්නේ ය. ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නේ ය. තහවුරු පිහිටි කථා ඇත්තේ ය. ඇදැහිය යුතු කථා ඇත්තේ ය. ලොව නො  රවටන්නෙකැ” යි  මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
 
12.“ශ්‍රමණ ගෞතම තෙමේ පිසුණු බස් දුරැ ලා, පිසුණු බිණීමෙන්  වැලෑක්කේ ය. මේ තැනින් අසා ගෙන මොවුන් බිඳුවනු පිණිස එ තන්හි නො කියන සුලු ය. එතැනින් අසා ගෙන ඔවුන් බිඳුවනු පිණිස මේ තන්හි නොකියන සුලු ය. මෙසේ බිඳුණවුන් ගලපන්නේ (සමග කරන්නේ) ද වෙයි. එකට ගැළපුණවුන්හට (සමඟියට පැමිණ සිටිනවුන් හට) රුකුල් දෙන්නේ ද වෙයි. සමගියෙන් සිටිනවුන් හා වාසය කැමැත්තේ ය. සමගියෙන් වසනවුන්ට කැමැත්තේ ය.  සමගිව සිටිනවුනට සතුටු ය. සමගිය ඇති කරන බස් කියන්නේ යැ” යි මේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
 
13.“ශ්‍රමණ ගෞතම තෙමේ රළුබිණුම් දුරැ ලා, රළු බිණුම්වලින් වැළැක්කේ ය. නිදොස් කන්කලු, පෙම් උපදවන, පහසුයෙන් සිතැ වැදැගන්නා නොගැමි (මොළොක්) වු බොහෝ දෙනාට ප්‍රිය, බොහෝ දෙනාට මනාප යම් බසක් වේ නම්, එ බඳු බස් කියන්නේ  යැ” යි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියණ පුහුදුන් තෙමේ කියන්නේ ය.
 
14.“ශ්‍රමණ ගෞතම තෙමේ හිස් දෙඬුම් හැරැ දමා, හිස් දෙඬුමෙන් වැළැක්කේ ය. සුදුසු කාලයෙහි කථා කරන්නේ ය. ඇත්තක් ම කියන්නේ ය. වැඩ සලසන බසක් ම කියන්නේ ය. නවලොවුතුරාදහම් ඇසුරු කොට ම කියන්නේ ය. සිතැ තබා ගන්නට සුදුසු වු, කරුණු සහිත වූ, සීමාවක් ඇති (ප්‍රමාණවත් වු),  දෙ ලෝ වැඩ පසස්නා වු ම  බසක්  සුදුසු කාලයෙහි කියන්නේ යැ” යි  මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
 
15.“ශ්‍රමණගෞතම තෙමේ බීජසමූහ (පැළ වන දෑ) ද, භූත සමූහ (පැළවුණ දෑ) ද, සිඳුමෙන් බිඳුමෙන් වැළැක්කේ ය. එක් වේලේ (පෙරවරු) වළඳන බත් ඇත්තේ ය. රෑබොජුනෙන් වැළැක්කේ ය. නොකල්බොජුනෙන් වැළැක්කේ ය. නටනු- ගයනු-වයනු- විසුළුදස්සනෙන් වැළැක්කේ ය. ඇඟ අඩු තැන් පිරවීමට, ඇඟ සැරැසීමට කරුණු වන මල් ගඳ විලෙවුන් දැරුමෙන් වැළැක්කේ ය. පමණ ඉක්මැවු උසසුන් ද, නොකැප මහසුන් ද, යන දෙකින් ම වැළැක්කේ ය. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළැක්කේ ය. අමු (නොපිසු) ධාන්‍ය පිළිගැන්මෙන් වැළැක්කේ ය. අමුමස් පිළිගැන්මෙන් වැළැක්කේ ය. ස්ත්‍රින් කුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැක්කේ ය. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැක්කේ ය. එළුබැටෙළුවන් පිළිගැන්මෙන් වැළැක්කේ ය. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැළැක්කේ ය. ඇතුන් ගෙරින් අසුන්, වෙළෙඹුන් පිළිගැන්මෙන් වැළැක්කේ ය. කෙත්වතු පිළිගැන්මෙන් වැළැක්කේ ය. ගිහියනට දූතමෙහෙවර කැරැමෙහි ද, ගෙන් ගෙට පණිවිඩ පණත් ගෙනයෑමෙහි ද යෙදීමෙන් වැළැක්කේ ය. වෙළෙඳ ගනුදෙනුයෙන් වැළැක්කේ ය. හොරතරාදියෙන් කිරුමෙන්, බොරු රන් ආදිය පෑමෙන්, හොර මිනුම්වලින් මිනුමෙන් වැළැක්කේ ය. අල්ලස් ගෙන හිමියන් නොහිමි කෙරුමෙන්, නානාඋපායෙන් අනුන් රැවැටුමෙන්, අගනා දැයට හුරු නොඅගනා දැයක් පෙන්නා කරන මායාවෙන්, මෙකී නොකී හැම කෛරාටික කම්වලින් ම වැළැක්කේ ය.  අත්පා ආදිය සිඳුමෙන්, මැරුමෙන්, රැහැන් ආදියෙන් බඳිමින්, මං පැහැරුමෙන්, ගම් පැහැරුමෙන්, සැහැසිකම් කැරුමෙන් වැළැක්කේ ය” යි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
 
                                                                                     චුලසීලය නිමි.
 
16.“තව ද, යම් සේ සමහර භවත් මහණබමණු කෙනෙක්( ගිහියන්) සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මූලබීජ ද (හිඟුරු ඈ පැළවන මුල් ද) ස්කන්ධබීජ ද (නුග ඈ පැළවන කඳද) පරුබීජ ද (උක් උණ බට ඈ පැළවන පුරුක් ද) අග්‍රබීජ ද (ඉරිවේරියා ඈ පැළවන දළු ද) පස් වන බීජබීජ ද (වී ඈ පැළ වන ඇට ද) යන මෙ කී බිජසමුහුය ද (පැළවන දෑ ද ) භූතසමූහ ද (පැළ වුණු දෑ ද) පෙළිමෙහි (සිඳුම් බිඳම් තැලුම් තැවුම් යැ යි කියන ලද සමාරම්භයෙහි) යෙදුණෝ වැ වෙසෙත් ද, මේ ආදී  වු හෝ මේ බඳු වු බීජග්‍රාම භූතග්‍රාම සමාරම්භයෙන් ශ්‍රමණ ගෞතම තෙමේ වැළැක්කේ ය” යි , මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන ලෞකික ජන තෙමේ කියන්නේ ය.
 
17.“යම් සේ වනාහී සමහර පින්වත් මහණබමුණු කෙනෙක් (ගිහියන්) සැදැහැයෙන් දුන් බොජුන් වළඳා අන්නසන්නිධි (කෑම රැස් කොට තබාගැන්ම), පාන සන්නිධි (බොන දැ රැස්කොට තබා ගැන්ම) , වස්ත්‍රසන්නිධි (වස්ත්‍ර රැස්කොට තබා ගැන්ම), යානසන්නිධි(රියගැල් ආදිය ද රැස් කොට තබාගැන්ම),  ශයනසන්නිධි(යහන්රැස්කොට තබා ගැන්ම),  ගන්ධසන්නිධි(සුවඳ දෑ රැස්කොට තබා ගැන්ම), ආමිසසන්නිධි(ඉහත කී දෑ හැර තවත් තල සහල් ඈ වුවමනා පසය රැස්කොට තබා ගෙන වැළඳීම) යන මෙසේ වු සන්නිධිකාරපරිභොගයෙහි (පසය රැස් කොට තබාගෙන වැළඳීමෙහි) යෙදී වෙසෙත් ද, ශ්‍රමණගෞතම තෙමේ මේ ආදී වු හෝ මේ බඳු වු සන්නිධිකාර පරිභෝගයෙන් (පසය රැස් කොට තබාගෙන වැළඳීමෙන් ) වැළෑක්කේ යැ” යි , මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
 
18.“යම් සේ සමහර පින්වත් මහණබමුණෝ ගිහියන් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, නැටුම් ගැයුම් වැයුම්, නටසමජ්ජා (නළුවන් සමූහයක් එක් වැ ජන සමූහයා ඉදිරියෙහි දක්වන නැටුම්) ආඛ්‍යාත (මහා භාරත රාමායණාදී කථා කීම හෝ ඇසීම) පාණිස්වර (අතින් ලොහොබෙර ගැසීම් හෝ අත්තල ගැසීම), වේතාල (ලීමුවා තාලම්පට ගැසීම් හෝ මතුරු දපා මලසිරුරු නැගිටුවීම්) කුම්භථූන (සිවුරස් බෙර වැයීම්) ශෝභනක (රංගබලිකරණය හෙවත් රඟමඬලෙහි දී දේවතාවනට ස්ත්‍රෝත්‍රවසයෙන් නාන්දීගීත ගායන නොහොත් ප්‍රතිභානචිත්‍ර කිරීම්) සණදොවුන් කෙළිය(හෝ අයෝගුඩ ක්‍රිඩාව), උණගස් ඔසොවා ගෙන කැරෙන ක්‍රිඩාව, අස්ථිධාවනය (මළවුන්ගේ ඇට සුවඳ කවා තබා නකත්සෙමෙහි ඊ වටා සිට උත්සව කැරුම), ඇත් යුද (ඇතුන් පිට නැග යුද කෙරුම), අස් යුද (අසුන්පිට නැග යුද කෙරුම) ඇත්පොර, අස්පොර, මියුපොර, ගොන්පොර එළුපොර බැටෙළුපොර, කුකුළුපොර, වටුපොර, පොලුහරඹ, මිටුයුද, මල්ලපොර, යුද පවත්නා තැන් දක්නට යාම,  බලසෙන් ගණින තැන් දක්නට යෑම, බලසෙන් බෙදන තැනට යෑම, අත්ඇනි අස්ඇනි ඈ බල ඇනි දක්නට යෑම, යන  විසුළුදස්නෙහි යෙදී වෙසෙත් ද, මහණගොයුම් තෙමේ මේ ආදී වු හෝ මේ බඳු වු විසුළු දස්සනයෙන් වැළැක්කේ යැ” යි මහණෙනි, මෙසේ හෝ තාථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
 
19.“යම් සේ සමහර පින්වත් මහණබමුණෝ (අනුන්) සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අටපාකෙළිය, අහස්දූකෙළිය, මඬුලුපැනුම, සන්තිකාක්‍රිඩාව, දාදුකෙළිය, කල්ලිගැසුම, ලහඅත් කෙළිය, ගුළකෙළිය, කොළතළා පිඹීම, කෙළි නගුලින් සෑම, කරණම්පැනුම, කන්නංගුරුවා කෙළිය, කොළ නැළියෙන් වැලි ආදිය මැනුම, කුඩා රිය පැදවීම, කුඩා දුනුයෙන් විදුම, අකිරි කෙළිය, සිතු දෑ කීම, විකලාංගානුකරණය යන ආදී වු හෝ මේ බඳු වු, පමාවට කරුණු වු දූකෙළියෙහි යෙදී වෙසෙත් ද , මහණගොයුම් තෙමේ එසේ පමාවට කරුණු වු දූ කෙළිවලැ යෙදීමෙන් වැළැක්කේ යැ” යි, මහණෙනි, මේ පරිද්දෙන් හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
 
20.“යම් සේ වනාහී සමහර පින්වත් මහණබමුණෝ සැදැහයෙන් දුන් බොජුන් වළඳා, දික්සඟළා පුටු ය. පලඟය, මහකොඳුපලස ය, වියමනින් විසිතුරු කළ එළුලොම් ඇතිරිය, එළුලොම්මුවා සුදුඇතිරිය, ගන මල් යෙදූ එළුලොම්ඇතිරිය, තිලිය (පුලුන් මෙත්තය) සිංහාදී රූපවලින් විසිතුරු කළ එළු ලොම් ඇතිරිය, දෙ පැත්තේ ම ලොම් ඇති එළුලොම් ඇතිරිය, එක් පැත්තේ ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, රන්කසුකම් කොට තැනූ පසතුරුණ, කෝසෙය්ය නූලින් වියූ පසතුරුණ, සොළොසක් නිළියනට සිටැ නටන්නට තරම් දිග පුලුල ඇති එළුලොම්මුවා ඇතිරිය, ඇතුන් පිටැ එළන ඇතිරිය, අසුන් පිට එළන ඇතිරිය, රියවලැ එළන ඇතිරිය, ඇඳට සරිලන සේ අඳුන් දිවිසමින් මසා කළ පසතුරුණ, ඉස්දොරැ පාමුලැ රතුකොට්ට තබා ඇති රතු උඩුවියන් සහිත මහඟු යහන යන ආදි වු හෝ මේ බදු වු උස්යහන් මහයහන් පරිහරණය කැරුමෙහි යෙදී වෙසෙද්ද, මහණගොයුම් තෙමේ මේ ආදී වු හෝ මේ බඳු වු උස්යහනින් වැළැක්කේ යැ” යි, මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
 
21.“යම් සේ සමහර පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බෝජුන් වළඳා සුවඳසුණුයෙන් ඇඟ ඉලීම, අත්පා ආදියෙහි මනා සටහන් ගන්වනු පිණිස තෙල් ගා මැඩීම, සුවඳ දියෙන් නෑවීම, උරහිස් ආදියේ මස් වැඩනුවට මුගුරින් තැලීම, කැඩපතින් මුහුණ බැලීම, ඇග ඔප්ගන්වනුවට අඳුන් ගෑම, මල් පැලැඳීම හා විලෙවුන් දැරීම,  හිසැ කුඩුම්භිය බැඳීම, විසිතුරු සැරයටි දැරීම, විසිතුරු බෙහෙත් නළ දැරීම, කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම,විසිතුරු පාවහන් දැරීම, නළල්පට බැඳීම, සිළුමිණි පැලැඳීම,  විසිතුරු සෙමෙර වල්විදුනා දරීම, දික් දවලු ඇති සුදු රෙදි හැදීම, යන ආදී ඇග උනු තැන් පිරැවීමටත් ඇඟ සැරසීමටත්, කරුණු වන දෑ පරිභෝග කෙරුමෙන්, වැළැක්කේ යැ” යි, මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
 
22.“යම්සේ සමහර පින්වත් මහණබමුණෝ (අනුන්) සැදැහෙන් දුන් බොජුන් වළඳා,  රාජ කථා, චෝරකථා, මහාමාත්‍යකථා, සේනාකථා, භයකථා, යුද්ධකථා, ආහාරකථා, පානකථා, වස්ත්‍රකථා, ශයනකථා, මාලාකථා, ගන්ධකථා, ඥාතිකථා, යානකථා, ග්‍රාමකථා, නිගමකථා, නගරකථා, ජනපදකථා, ස්ත්‍රීකථා, ශූරකථා, වීථිකථා, කුම්භස්ථානකථා, පූර්ව ප්‍රේතකථා, නානාත්වකථා, ලෝකාඛ්‍යායිකා කථා, සමුද්‍රඛ්‍යායිකා කථා, ඉතිභවාභවකථා, යන මේ කී හෝ අන් මෙබඳු වු තිරශ්චීනකථාවල යෙදී වෙසෙත් ද, මහණගොයුම් තෙමේ මේ ආදී හෝ මෙබඳු කථාවලින් වැළැක්කේ යැ” යි මහණෙනි,  මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.‍
 
23.“යම් සේ අතැම් පින්වත් මහණබමුණෝ අනුන් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා ' තෝ මේ දහම් විනය නොදන්නෙහි. මම ම මේ දහම් විනය දනිමි. ' මේ දහම් විනය කිමැ' යි තෝ දනිහි ද ?   තෝ වරදවා පිළිපන්නෙහි ය. මම මැනවින් පිළිපන්නෙම් වෙමි. මා බස කරුණු සහිත ය. තා බස කරුණු රහිත ය. තෝ පලමුවෙන් කියැ යුත්ත පසු වැ කියෙහි ය. පසුව කියැ යුක්ත පලමුවෙන් කියෙහි ය. තා කලක් ම පුහුණු කළ දැය මගේ එකම වචනයෙන් ම පෙරැළී ගියේ ය. මා විසින් තට  දොස් නැගිණි. මා විසින් නිගන්නා ලද්දෙහි.  මා නැඟූ දොසින් මිදෙන්නට හැසිරෙව (ඒ ඒ තැන ගොස් උගනුව) හැක්කෙහි නම් එය විසඳව'   යන ආදීන්  මේ බඳු වු උනුන් බැණ දොඩා ගැනුමෙහි යෙදෙත් ද, මහණගොයුම් තෙමේ මේ බඳු බැණුමෙන් දෙඩුමෙන් වැළෑක්කේ යැ” යි කියා හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
 
24.“යම් සේ ඇතැම් පින්වත් මහණබමුණෝ අනුන් සැදැහෙන් දුන් බොජුන් වළඳා 'මෙහි යන්නැ. අසෝ තැනට එන්නැ. මෙය ගෙනැ යන්නැ අසෝ තැනට මෙය ගෙනෙන්නැ යි (කළ නියෝග පිළිගෙන) රජුන් ගේ , රජමහමැතියන් ගේ, කෂත්‍රියයන් ගේ, බ්‍රාහ්මණයන්ගේ, ගෘහපතියන්ගේ, රජකුමරුවන්ගේ මේ බඳු වු දූතමෙහෙවරෙහි, පණිවුඩ ගෙනැ යෑමෙහි යෙදී වෙසෙත් ද, මහණගොයුම් තෙමේ මේ බඳු දැයෙන් වැළැක්කේ යැ” යි, මහණෙනි, මෙසේ හෝ තථගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
 
25.“යම් සේ ඇතැම් පින්වත් මහණ බමුණෝ අනුන් සැදැහෙන් දුන් බොජුන් වළඳා, කුහකකම් කරන්නෝ වෙත් ද, ලාභ සත්කාර තකා අනුන් සිත් ඇදෙන සේ වු චාටු බස් දොඩන්නෝ වෙත් ද, පිවුපසය ලබනු සඳහා කයින් හෝ බසින් ඇඟැවීම් කරන්නෝ වෙත් ද, ලාභාපේකෂායෙන් අනුනට ගරහන්නෝ වෙත් ද, ලාභයෙන් ලාභය සොයන්නෝ වෙත් ද, මහණගොයුම් තෙමේ මෙ කී හෝ මේ බඳු වු හෝ කුහනලපනවලින් වැළැක්කේ යැ” යි මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
 
                                                                                   මජ්ඣිමසීලය නිමි.
 
26.“යම් සේ වනාහී ඇතැම් පින්වත් මහණ බමුණෝ අනුන් සැදැහෙන් දුන් බොජුන් වළඳා, අංගශාස්ත්‍රය, නිමිත්ත ශාස්ත්‍රය, උත්පාතලක්ෂණය, ස්වප්නශාස්ත්‍රය, පුරුෂලක්ෂණශාස්ත්‍රය, මූෂකච්ඡින්න විද්‍යාව, අග්නිහෝමය, දර්වීහෝමය, මුඛහෝමය, ලෝහිතහෝමය, අංගවිද්‍යාව, වාස්තුවිද්‍යාව, කෂාත්‍රවිද්‍යාව, ශීවවිද්‍යාව, භූතවිද්‍යාව, භූරිවිද්‍යාව, අහිවිද්‍යාව, විෂවිද්‍යාවය, වෘශ්චිකවිද්‍යාව මූෂකවිද්‍යාව, ශාකුනවිද්‍යාව, වායසවිද්‍යාව, පක්වධ්‍යානය, ශරපරිත්‍රාණය, මෘගපක්ෂය යන මෙකී හෝ මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන් මිත්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, මහණගොයුම් තෙමේ මෙ කී හෝ මේ බඳු තිරශ්චීණ විද්‍යායෙන් මිත්‍යාජීවිකායෙන්  වැළැක්කේ යැ” යි මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
 
27.යම් සේ වනාහි ඇතැම් පින්වත් මහණ බමුණෝ (අනුන්) සැදැහෙන් දුන් බොජුන් වළඳා, මිණිලකුණු ය, දඬුලකුණුය, වත්ලකුණුය, කඩුලකුණුය, ඊ ලකුණුය, දුනු ලකුණුය, අවිලකුණුය, ඉතිරිලකුණුය, පුරිස්ලකුණුය, කුමරලකුණුය, කුමරිලකුණුය, දස්ලකුණුය, දැසිලකුණුය, ඇත්ලකුණු ය, අස්ලකුණුය, මියුලකුණුය, වහප්ලකුණුය, ගොන්ලකුණුය, එළුලකුණුය, බැටෙළුලකුණු ය, කුකුළුලකුණු ය, මුවලකුණුය, යන ආදි වු මෙ බඳු තිරශ්චීණ විද්‍යායෙන්, මෙබඳු වු මිත්‍යා ආජිවයෙන් වැළැක්කේ යැ” යි මහණෙනි, මෙසේ හෝ තථාගතයන් හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියයි.
 
28.”යම් සේ වනාහි ඇතැම් පින්වත් මහණ බමුණෝ (අනුන්) සැදැහෙන් දුන් බොජුන් වළඳා, 'අසෝ දිනැ (අසෝ නැකැතින්) අසෝ රජුන්ගේ සිය නුවරින් (යුද සඳහා) නික්මීම වන්නේ ය. අසෝ නැකැතින් පෙරළා සිය නුවරට ඊම වන්නේ ය. අසෝ නැකතින් රට ඇතුලත වු රජුන්ගේ පිටත සිටින සතුරුරජුන් හමුවට යෑම වන්නේ ය. (අසෝ නැකතින්) පිටත සිටින සතුරු රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ  ය. (අසො නැකතින්)පිටත සිටින සතුරුරජුන්ගේ රට ඇතුලත සිටින රජුන් කරා පැමිණීම වන්නේ ය. (අසෝ නැකතින්)ඇතුලත සිටින රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය. රට ඇතුලත සිටින රජුනට ජය වන්නේ ය. පිටත සිටින සතුරු රජුනට පරාජය වන්නේ ය. (අසො නැකතින් ) පිටත සිටින සතුරුරජුනට ජය වනනේ ය. රට ඇතුලත සිටින රජුනට පරාජය වන්නේ යැ යි මෙසේ ' මොහුට  ජය වන්නේ ය. මොහුට පරාජය වන්නේ යැ” යි කියමින් මේ බඳු වු තිරශ්චීන විද්‍යායෙන්, මෙබඳු වු මිත්‍යාජීවිකායෙන් දිවි පවත්වත් ද, ශ්‍රමණගෞතම තෙමේ මේ හෝ මෙබඳු වු තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජිවිකායෙන් වැළැක්කේ යැ” යි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
 
29.“යම් සේ වනාහි ඇතැම් පින්වත් මහණ බමුණෝ (අනුන්) සැදැහෙන් දුන් බොජුන් වළඳා, "අසෝ දිනැ චන්ද්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දින සූර්‍යග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ නක්ෂත්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දින සඳ හිරු දෙදෙනාගේ නිසි මගින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන්ගේ නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ නකත් තරුන් නිසි මඟින් යෑම වන්නේ ය. අසෝ දින ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දින උල්කාපතනය වන්නේ ය. දිග්දාහය වන්නේ ය. භූමිකම්පනය වන්නෙ ය. වැසි නැති වැ අහස් ගෙරවුම් වන්නේ ය. සඳ හිරු දෙදෙනාගේ ද නකත් තරුවල ද උදාව බැසීම කෙලෙසීම පිරිසිදුව වන්නේ ය. සුර්‍යග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. චනද්‍රග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නක්ෂත්‍රග්‍රහණය මෙබඳු  පල ගෙනැ දෙන්නේ ය. සඳු හිරු දෙදෙනාගේ පථගමනය (නිසි මඟ යෑම) මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳහිරු දෙදෙනාගේ උප්පථ (අනියම් මඟ) ගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නකත්තරුවල පථගමනය මෙබඳු විපාක දෙන්නේ ය. ඔවුන්ගේ උප්පථගමනය මෙබඳු විපාක දෙන්නේ ය.  උල්කාපතනය මෙබඳු විපාක ගෙනැ දෙනනේ ය. දිග්දාහය මෙබඳු  පල දෙන්නේ ය. භූමීකම්පනය මෙබඳු පල දෙන්නේ ය. සඳහිරු දෙදෙනාගේ ද නකත්තරුවල ද උදාවත් බැසීමත් කෙලෙසීමත් පිරිසිදුවීමත් මෙබඳු මෙබඳු පල දෙන්නේ යැ” යි කියමින් මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවිකායෙන් දිවි පවත්වත් ද, මහණගොයුම් තෙමේ මේ හෝ අන් බෙමඳු වු තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ යැ" යි තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ මෙසේ හෝ කියන්නේ ය.
 
30.”යම් සේ වනාහි ඇතැම් පින්වත් මහණ බමුණෝ (අනුන්) සැදැහෙන් දුන් බොජුන් වළඳා, 'මේ සමයෙහි වැසි වස්නේ ය. මෙසමයෙහි නියං වන්නේ ය. මෙසමයෙහි රට සුභික්ෂ වන්නේ ය. මෙසමයෙහි රට දුර්භික්ෂ වන්නේ ය. මෙසමයෙහි රටට උවදුරු නැතිවන්නේ ය. මෙසමයෙහි රටට උවදුරු ඇති වන්නේ ය. මෙ කලැ රෝග වන්නේ ය. මෙ කලැ රෝග දුරු වන්නේ යැ' යි පලාපල කීම් ද, මුද්‍රාව (අඟිලි පුරුක්හි සංඥා තබා ගිණීම) ද, ගණනාව (එක දෙක යන ආදීන් දිගටම කියා ගෙන යමින් ගිණීම) ද, සංඛ්‍යානය (පිණ්ඩ ගණනාව) ද, කාව්‍ය ශාස්ත්‍රය, ලෝකායත ශාස්ත්‍රය, යන මෙබඳු වු තිරශ්චීන විද්‍යායෙන්,  මිථ්‍යාආජිවයෙන් දිවි පවත්වත් ද, මහණගොයුම් තෙමේ මේ හෝ අන් මෙබඳු වු තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ යැ” යි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
 
31.“යම් සේ වනාහි ඇතැම් පින්වත් මහණ බමුණෝ අනුන් සැදැහෙන් දුන් බොජුන් වළඳා,  ආවාහ සඳහා නකත් කීම, විවාහ සඳහා නැකත් කීම, වෙන් වු අඹු සැමියන් සමග වන්නට නකත් කීම, අඹුසැමියන් වෙන් වන්නට නැකත් කීම, දුන් ණය රැස් කිරීමට නකත් කීම, මුදල් ණයට පොලියට දීමට නකත් කීම, සෞභාග්‍යය ඇති කරනුවට යන්ත්‍ර මන්ත්‍රාදිය කැරැ දීම, නැසෙන්නට යන දරු ගැබ් රැකෙන්නට  පිළියම් කිරීම, මන්ත්‍රාදි බලයෙන් දිවගුළු බැඳීම,  මන්ත්‍රාදියෙන් හනු තද කිරීම, අත් පෙරැළෙන්නට මතුරා දැපීම, කන් අගුළු වැටෙන්නට මතුරා දැපීම, කැඩපතෙහි දේවතාවේශය කරවා ප්‍රශ්න ඇසීම, (අංජනම් බැලීම) , කුමරියකට දේවතාවේශය කරවා ප්‍රශ්ණ ඇසීම, (කුමරියක ලවා පේන කියැවීම) ජිවිකා පිණිස හිරු වැඳීම, හා පිදීම, බහබඹු පිදීම, මතුරා දපා මුවින් ගිනි ජල් විහිදුවීම, මතුරා දපා සිරි කත කැඳවීම, යන මෙබඳු තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාජිවිකායෙන් දිවි පවත්වත් ද, මහණගොයුම් තෙමේ මේ හෝ මෙබඳු අන්‍ය ව තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාජිවයෙන් වැළැක්කේ යැ” යි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
 
32.“යම් සේ ඇතැම් පින්වත් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා ශාන්තිකර්ම (දෙවියනට බාර වීම) ප්‍රණිධිකර්ම (බාර ඔප්පු කිරීම) භූරිකර්ම (බිමගෙහි ඉඳ පිරවැහු මන්ත්‍රයට උපචාර කිරීම) , පණ්ඩකයා (බෙහෙත් බලයෙන් )පිරිමියෙකු කිරීම, පිරිමියා පණ්ඩකයෙකු කිරීම, වාස්තු කර්මය (අළුත් බිම්හි ගෙවල් නැංවීම), වාස්තු පරිකිරණය (ගෙබිම්හි උවදුරු දුරැ ලන්නට බිලියම් කිරීම), මතුරු දපා මුව  සේදීම, මතුරා දපා අනුන් නැටවීම, අනුනට සෙත් පතා ගිනි පිදීම, වමන කැරැවීම, විරේක කැරැවීම,  ඌර්ධව විරේචනය, අධෝ විරේචනය(වස්ති කිරීම), ශීර්ෂ විරේචනය, ගිහියන්ගේ කන් ලෙඩට තෙල් පිසීම, ඇස සිසිල් කරන බේත් තෙල් පිසීම, නස්‍ය කිරීම, ඇස පටල කැපෙන්නට කාරම් අඳුන් සාදා දීම, ඇසැ සිසිල ගන්වන අඳුන් සාදා දීම, අනුන් ඇසැ උල් ඇන ලෙඩට බේත් කිරීම, ශල්‍යකර්ම කිරීම, ළදරුවන්ගේ ලෙඩවලට  පිළියම් කිරීම, මුල් බෙහෙත් දීම (කාය චිකිත්සාව), කාරම් බෙහෙත් බැඳ වණ සුව වු පසු ඒවා ගලවා දැමීම යැ යි මෙසේ වු තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, මේ හෝ මේබඳු අන් සියලු තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් මහණගොයුම් තෙමේ වැළැක්කේ යැ” යි මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
 
33.මහණෙනි, තථාගයන් ගේ ගුණ කියන පුහුදුන් තෙමේ යමෙකින් එය කියන්නේ නම්, මේ (ඔහු කියන) ඒ ගුණය වනාහී මඳ වු සුළු වු හුදෙක් සිල් පමණක් ම වු එකෙක.
 
                                                                                     මහාසීලය නිමි.
 
34.මහණෙනි තථාගත තෙමේ යම් දහම් කෙනෙකුන් අනුන්ගේ උපදෙස් නැති වැ විශිෂ්ට නුවණීන් දැන පසක් කොට ලොවට දන්වා ද, තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණ කියනු කැමැත්තෝ යම් දහම් කෙනෙකුගෙන් එය මොනොවට කිය හැකි වන්නේ ද, එසේ වු, ගැඹුරු වු, ඒ හෙයින් ම දුක සේ දැක්ක යුතු වු, දුක සේ දැනගත යුතු, ශාන්ත වු, උතුම් වු, තර්කයෙන් බැසගත නොහැකි වු, (හෙවත් ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් ම බැස ගත යුතු වු) සියුම් වු, නුවණෑත්තන් විසින් ම දතයුතු වු , අන්‍ය වූම ධර්ම කෙනෙක් ඇත්තාහ. මහණෙනි, තථාගත බුදු රජ තෙමේ යම් දහම් කෙනෙකුන් අනුන්ගේ උපදෙස් නැති වැ විශිෂ්ඨ නුවණීන් දැන පසක් කොට ලොවට දන්වා ද, තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණ කියනු කැමැත්තෝ යම් දහම් කෙනෙකුගෙන් එය මොනොවට කිය හැකි වන්නේ ද, එසේ වු, ගැඹුරු වු, ඒ හෙයින් ම දුක සේ දැක්ක යුතු වු, දුක සේ දැනගත යුතු, ශාන්ත වු, උතුම් වු, තර්කයෙන් බැසගත නොහැකි වු, (හෙවත් ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් ම බැස ගත යුතු වු) සියුම් වු, නුවණෑත්තන් විසින් ම දතයුතු වු ඒ ධර්මයෝ නම් කවුරු ද ? යත්:
 
35.මහණෙනි, පූර්වාන්තකල්පික වූ (අතීත ආත්මභාවසංඛ්‍යාත ගත වු ස්කන්ධපරම්පරා කොටස තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් වරදවා කල්පනා කොට ගත්), ඒ අතීත ස්කන්ධපරම්පරා කොටස අනුවැ පහළ කොටගත් දෘෂ්ඨි ඇති සමහර මහණබමුණු කෙනෙක් ඇත්තාහ. ඔහු අතීතස්කන්ධපරම්පරා කොටස වරදවා කල්පනා කොට ගත්තෝ, අතීත ස්කන්ධපරම්පරා කොටස අනුවැ පහළ කොට ගත් දෘෂ්ඨි ඇත්තෝ අතීත ස්කන්ධ පරම්පරා කොටස  ඇරැබැ අටලොස් කරුණකින් නොයෙක් වැදෑරූම් දෘෂ්ඨිප්‍රකාශකවචන කියත් ද ? යත්:
 
36.මහණෙනි යම් කෙනෙක් ආත්මයත් ලෝකයත් ශාස්වත යැ යි (සදාභාවී යැ යි) කරුණු සතරෙකින් පණවත් (උගන්වත්) ද, එසේ වු ශාස්වත දෘෂ්ටි ගත් ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්තාහ. ඒ භවත් මහණබමුණෝ කුමක් ඇසුරු කොට, කිමෙකැ එල්බැ, ශාස්වතදෘෂ්ටි ගත්තෝ ආත්මයත් ලෝකයත් ශාස්වත යැ යි කරුණු සතරෙකින් ලොවට කියා පාත් ද ? යත්:
 
37.මහණෙනි, මෙහි කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ වීර්‍යය ප්‍රත්‍යය කොට ගෙන (වැර වඩා) උත්සාහය ප්‍රත්‍යය කොට ගෙන (උත්සහ වඩා) , යලි යලි වීර්‍යයයෙහි යෙදීමට පැමිණ (පුන පුනා වැර වඩා) නොපමා බවට පැමිණ (එළඹැ සිටි සිහිය නිසා) නුවණ නිසා, යම් සමාධියෙකින් සිත මනා වැ පිහිටි කල්හි අනේකවිධ වු පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරේ ද, එසේ වු චිත්තසමාධියක් ලබයි. ඒ මෙසේ යි: "අසෝ තැන වීමි,  එහි මෙ නම් ඇතියෙම් විමි, මෙ නම් ගෝත්‍ර ඇතියෙම් විමි, මෙබඳු පැහැ ඇතියෙම් විමි, මේබඳු ආහාර ඇතියෙම් විමි,  මේ බඳු සුව දුක් විඳින්නනෙම් විමි, මෙ තෙක් වයස් සීමාවක් ඇතියෙම් විමී, ඒ මම එයින් සැව අසෝ තැන උපනිමි, එහි ද මෙ නම් ඇතියෙම් විමි, මෙ නම් ගෝත්‍ර ඇතියෙම් විමි, මෙබඳු පැහැ ඇතියෙම් විමි, මේබඳු ආහාර ඇතියෙම් විමි,  මේ බඳු සුව දුක් විඳින්නනෙම් විමි, මෙ තෙක් ආයු සීමාවක් ඇතියෙම් විමි. ඒ මම එයින් සැව මෙහි උපනිමි" යි  මෙසේ එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දශයක් ද, ජාති විස්සක් ද, ජාති තිහක් ද, ජාති සතලිහක් ද, ජාති පනහක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සියදහසක් ද, නොයෙක් සිය ගණන් ජාතීන් ද, නොයෙක් දහස් ගණන් ජාතීන් ද, නොයෙක් සියදහස් ගණන් ජාතීන් ද, මෙසේ පැහැ සටහන් ආදී ආකාර සහිත කොට, නාමගෝත්‍ර වශයෙන් උද්දේශ සහිත කොට නොයෙක් වැදෑරුම් පෙර වුසු කඳ පිළිවෙළ සිහි කෙරෙයි.
මෙසේ ධ්‍යානානුභාවයෙන් යුක්ත හෙ තෙමේ දෘෂ්ටිගතික වුයේ මෙලෙස කියයි: “ආත්මයත් ලෝකයත් සාස්වත ය (සදාභාවී ය) වඳය (අඵල ය හෙවත් කිසිවක් නො උපදවන්නේ ය) ගිරිකුලක් සේ නිශ්චලව සිටියේ වෙයි. ගැඹුරු වළ කැන සිටුවන ලද ඉන්ද්‍රකීලයක් සේ ස්ථීර වැ සිටියේ වෙයි. ඒ සත්ත්වයො ම මෙයින් අන් තැනට යෙති. භවයෙන් භවයට හැසිරෙති, මැරෙති, මැරී උපදිති, (මහා පෘථිවි ආදී) සදාභාවී වස්තූන් මෙන්  ඒ ආත්මය ද ලෝකය ද සදාභාවී වැ විද්‍යාමාන ම ය. එසේ (මා) කියනුයේ කවර හෙයින ? යත්: මම් වනාහි වීර්‍යය වඩා උත්සාහය උත්සහ වඩා , පුන පුනා  වැර වඩා නොපමා බව නිසා  නුවණ නිසා, යම් සමාධියෙකින් සිත මනා වැ පිහිටි කල්හි නොයක් වැදෑරුම්  පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරෙම්  ද, එබඳු වු චිත්ත සමාධියක් ලැබීමි. ඒ මෙසේ ය: "අසෝ තැන වීමි,  එහි මෙ නම් ඇතියෙම් විමි, මෙ නම් ගෝත්‍ර ඇතියෙම් විමි, මෙබඳු පැහැ ඇතියෙම් විමි, මේබඳු ආහාර ඇතියෙම් විමි,  මේ බඳු සුව දුක් විඳින්නනෙම් විමි, මෙ තෙක් වයස් සීමාවක් ඇතියෙම් විමී, ඒ මම එයින් සැව අසෝ තැන උපනිමි, එහි ද මෙ නම් ඇතියෙම් විමි, මෙ නම් ගෝත්‍ර ඇතියෙම් විමි, මෙබඳු පැහැ ඇතියෙම් විමි, මේබඳු ආහාර ඇතියෙම් විමි,  මේ බඳු සුව දුක් විඳින්නනෙම් විමි, මෙ තෙක් ආයු සීමාවක් ඇතියෙම් විමි. ඒ මම එයින් සැව මෙහි උපනිමි" යි  මෙසේ එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාතා පසක් ද, ජාති දශයක් ද, ජාති විස්සක් ද, ජාති තිහක් ද, ජාති සතලිහක් ද, ජාති පනහක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සියදහසක් ද, නොයෙක් සිය ගණන් ජාතීන් ද, නොයෙක් දහස් ගණන් ජාතීන් ද, නොයෙක් සියදහස් ගණන් ජාතීන් ද, මෙසේ පැහැ සටහන් ආදී ආකාර සහිත කොට, නාම ගෝත්‍ර වශයෙන් උද්දේශ සහිත කොට, නොයෙක් වැදෑරුම් පෙර වුසු කඳපිළිවෙළ සිහි කෙරෙමි. මේ කාරණයෙනුත් මම, යම්සේ ආත්මයත් ලෝකයත් ශාස්වත ද, වඳ ද, ගිරිකුළයක් සේ තහවුරු වැ සිටියේ ද, ඉන්ද්‍රකීලයක් සේ නිසල වැ සිටියේ ද, ඒ සත්ත්වයෝ ම මෙයින් අන් තැනකට යෙතැ යි, මැරී යලි උපදිතැයි මෙසේ ආත්මයත් ලෝකයත් පොළොව ආදී නොනැසී පවත්නා වස්තුනට සම වැ හැම කල්හි ම විද්‍යාමාන යහ යි මෙය දනිමි”
මහණෙනි, යමක් අරමුණු කොට ඇතැම් මහණබමුණෝ ශාස්වත දෘෂ්ටි ඇත්තෝ, ආත්මයත් ලෝකයත් ශාස්වත කොට පණවත් ද, මේ  ඒ පලමු කාරණයයි.
 
38.දෙවෙනි කාරණයෙහි භවත් මහණබමුණෝ කුමක් නිසා කුමක් අරමුණු කොට ශාස්වතදෘෂ්ටික වුවෝ ආත්මයත් ලෝයත් සාස්වත කොට පණවත් ද ? යත්:
මහණෙනි, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ උත්සාහ කොට, වීර්‍යය කොට, පුන පුනා වැර වඩා, සමෘතිසම්ප්‍රයුක්ත බව නිසා, සම්‍යග්මනස්කාරය (සම්මාමනසිකාරො‘ති උපායමනසිකාරො පථමනසිකාරො. අත්ථෝ ඤාණන්ති වුත්තං හෝති. ටීකා)  නිසා, යම් සමාධියකින් සිත මනා වැ පිහිටි කල්හී අනේකවිධ වු පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරේ ද, එසේ වු චිත්ත සමාධියක් ලබයි. ඒ මෙසේ ය. "අසෝ තැන වීමි,  එහි මෙ නම් ඇතියෙම් විමි, මෙ නම් ගෝත්‍ර ඇතියෙම් විමි, මෙබඳු පැහැ ඇතියෙම් විමි, මේබඳු ආහාර ඇතියෙම් විමි,  මේ බඳු සුව දුක් විඳින්නනෙම් විමි, මෙ තෙක් ආයු සීමාවක් ඇතියෙම් විමී, ඒ මම එයින් සැව අසෝ තැන උපනිමි, එහි ද මෙ නම් ඇතියෙම් විමි, මෙ නම් ගෝත්‍ර ඇතියෙම් විමි, මෙබඳු පැහැ ඇතියෙම් විමි, මේබඳු ආහාර ඇතියෙම් විමි,  මේ බඳු සුව දුක් විඳින්නනෙම් විමි, මෙ තෙක් ආයු සීමාවක් ඇතියෙම් විමි. ඒ මම එයින් සැව මෙහි උපනිමි" යි මෙසේ එක් සංවර්තවිවර්තයක් ද, සංවර්තවිවර්ත දෙකක්ද, සංවර්තවිවර්ත තුනක් ද, සංවර්තවිවර්ත සතරක් ද, සංවර්තවිවර්ත පහක් ද, සංවර්ත දශයක් ද, පැහැ සටහන් ආදී ආකාර සහිත කොට, නම් ගොත් විසින් උදෙසුම් සහිත කොට නොයෙක් වැදෑරුම් පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරෙයි.
මෙබඳු ධ්‍යානානුභාව ඇති හේ දෘෂ්ටිගතික වුයේ මෙසේ කියයි. “ආත්මයක් ලෝකයත් සදාකාලික ය, වඳ ය, ගිරි කුලක් සේ නිසල ය, ඉන්ද්‍රකීලයක් සේ තහවුරු ය, ඒ සත්ත්වයෝ ම මෙයින් අන් තැනකට යෙති, භවයෙන් භවයට හැවිදිති, මැරෙති , මැරී උපදිති, (මහා පෘථිව්‍යාදී)  සදාකාලික වස්තූන් මෙන් ආත්මය ද ලෝකය ද හැම කල්හි විද්‍යාමාන මය. " මෙසේ මා කියනුයේ කවර හෙයින ? යත්:  මම් වනාහි වීර්‍යය වඩා උත්සහ වඩා , පුන පුනා  වැර වඩා නොපමා බව නිසා  නුවණ නිසා, යම් සමාධියෙකින් සිත මනා වැ පිහිටි කල්හි නොයක් වැදෑරුම්  පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරෙම්  ද, එබඳු වු චිත්ත සමාධියක් ලැබීමි. ඒ මෙසේ ය: “අසෝ තැන වීමි,  එහි මෙ නම් ඇතියෙම් විමි, මෙ නම් ගෝත්‍ර ඇතියෙම් විමි, මෙබඳු පැහැ ඇතියෙම් විමි, මේබඳු ආහාර ඇතියෙම් විමි,  මේ බඳු සුව දුක් විඳින්නනෙම් විමි, මෙ තෙක් වයස් සීමාවක් ඇතියෙම් විමී, ඒ මම එයින් සැව අසෝ තැන උපනිමි, එහි ද මෙ නම් ඇතියෙම් විමි, මෙ නම් ගෝත්‍ර ඇතියෙම් විමි, මෙබඳු පැහැ ඇතියෙම් විමි, මේබඳු ආහාර ඇතියෙම් විමි,  මේ බඳු සුව දුක් විඳින්නනෙම් විමි, මෙ තෙක් ආයු සීමාවක් ඇතියෙම් විමි. ඒ මම එයින් සැව මෙහි උපනිමි” යි  මෙසේ එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දශයක් ද, ජාති විස්සක් ද, ජාති තිහක් ද, ජාති සතලිහක් ද, ජාති පනහක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සියදහසක් ද, නොයෙක් සිය ගණන් ජාතීන් ද, නොයෙක් දහස් ගණන් ජාතීන් ද, නොයෙක් සියදහස් ගණන් ජාතීන් ද, මෙසේ පැහැ සටහන් ආදී ආකාර සහිත කොට, නාම ගෝත්‍ර වශයෙන් උද්දේශ සහිත කොට, නොයෙක් වැදෑරුම් පෙර වුසු කඳපිළිවෙළ සිහි කෙරෙමි. මේ කාරණයෙනුත් මම, යම්සේ ආත්මයත් ලෝකයත් ශාස්වත ද, වඳ ද, ගිරිකුළයක් සේ තහවුරු වැ සිටියේ ද, ඉන්ද්‍රකීලයක් සේ නිසල වැ සිටියේ ද, ඒ සත්ත්වයෝ ම මෙයින් අන් තැනකට යෙතැ යි, මැරී යලි උපදිතැයි මෙසේ ආත්මයත් ලෝකයත් පොළොව ආදී නොනැසී පවත්නා වස්තුනට සම වැ හැම කල්හි ම විද්‍යාමාන යහ යි මෙය දනිමි”
මහණෙනි, සමහර මහණ බමුණෝ යමක් නිසා යමෙක එල්බැ ගෙන ශාස්වතදෘෂ්ටිගතික වුවෝ ආත්මයත් ලෝකයත් ශාස්වත කොට පණවත් නම්, මේ ඒ දෙවෙනි කාරණයයි.
 
39.තෙවෙනි කාරණයෙහි ද භවත් මහණ බමුණෝ කුමක් නිසා, කිමෙක එල්බැ ගෙන ශාස්වත දෘෂ්ඨි ගත්තෝ ආත්මයත් ලෝකයත් ශාස්වත කොට පණවත් ද ? යත් :
මහණෙනි, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක්  උත්සාහය නිසා, වීර්‍යය නිසා, පුන පුනා වැර වැඩුම් නිසා, අප්‍රමාදය නිසා, සම්‍යග්මනස්කාරය නිසා, යම් සමාධියෙකින් සිත මොනවට පිහිටි කල්හි නන් වැදෑරුම් පෙරැ වුසු කඳපිළිවෙල සිහි කෙරේ ද, එසේ වූ චිත්ත සමාධියක් ලබයි. එය (සිහි කරනුයේ) මෙසේ ය.  “අසෝ තැන විමි, එහි මේ නම් ඇතියෙම් වීමි, මේ නම් ගොත්‍ර ඇතියෙම් වීමි, මෙබඳු පැහැ ඇතියෙම් වීමි , මෙබඳු ආහාර ඇතියෙම් වීමි, මෙබඳ සුවදුක් විඳින්නෙම් වීමි, මෙතෙක් ආයු සීමවක් ඇතියෙම් වීමි, ඒ මම එයින් සැව අසෝ තැන උපනිමි, එහිද මේ නම් ඇතියෙම් වීමි, මෙනම් ගෝත්‍ර ඇතියෙම් වීමි, මෙබඳු පැහැ ඇතියෙම් වීමී, මෙබඳු ආහාර ඇතියෙම් වීමි, මෙබඳු සුවදුක් විඳින්නෙම් වීමි. මෙතෙක් ආයු සීමා ඇතියෙම් වීමි. ඒ මම් එයින් සැව මෙහි උපනිමි” යි සංවර්තවිවරත දශයක් ද, සංවර්තවිවර්ත විස්සක් ද, සංවර්තවිවර්ත තිසක් ද, සංවර්තවිවර්ත සතලිසක් දැයි මෙසේ ආකාර සහිත වු උද්දේශ සහිත වු නොයෙක් වැදෑරුම් පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරෙයි.
හේ මෙසේ කියයි:  “ආත්මයත් ලෝකයත් සදාකාලික ය, වඳ ය, ගිරි කුලක් සේ නිසල ය, ඉඳුකිලක් සේ තරය, ඒ සත්හු ම මෙයින් අන් තැනකට යෙති, භවයෙන් භවයට යෙති, මැරෙති මැරී උපදිති, මහා පෘතිව්‍යාදී ශාස්වත වස්තුනට සම ව හැම කල්හිම ඇත්තාහු ය. මෙසේ  මා කියනුයේ කවර හෙයින ? යත්:   මම් වනාහී උත්සාහ නිසා වීර්‍ය්‍යය නිසා, පුන පුනා වැර වැඬුම් නිසා, නොපමා බව නිසා, මනාසේ මෙනෙහි කැරුම් නිසා, යම් සමාධියෙකින් සිත මොනවට පිහිටි කල්හී නොයෙක් වැදෑරුම් පෙර වුසු කඳ පිළිවෙල සිහි කෙරෙම් ද , එසේ වු චිත්තසමාධියක් ලැබීමි. එ මෙසේ ය. “අසෝ තැන විමි, එහි මේ නම් ඇතියෙම් වීමි, මේ නම් ගොත්‍ර ඇතියෙම් වීමි, මෙබඳු පැහැ ඇතියෙම් වීමි , මෙබඳු ආහාර ඇතියෙම් වීමි, මෙබඳ සුවදුක් විඳින්නෙම් වීමි, මෙතෙක් ආයු සීමාවක් ඇතියෙම් වීමි, ඒ මම එයින් සැව අසෝ තැන උපනිමි, එහිද මේ නම් ඇතියෙම් වීමි, මෙනම් ගෝත්‍ර ඇතියෙම් වීමි, මෙබඳු පැහැ ඇතියෙම් වීමී, මෙබඳු ආහාර ඇතියෙම් වීමි, මෙබඳු සුවදුක් විඳින්නෙම් වීමි. මෙතෙක් ආයු සීමා ඇතියෙම් වීමි. ඒ මම් එයින් සැව මෙහි උපනිමි” යි සංවර්තවිවර්ත දශයක් ද, සංවර්තවිවර්ත විස්සක් ද, සංවර්ථවිවර්ථ තිහක් ද, සංවර්තවිවර්ත හතලිසක් දැයි  මෙසේ ආකාර සහිත, උද්දේස සහිත, නොයෙක් වැදෑරුම් පෙරැ වුසු කඳපිළිවෙළ සිහි කෙරෙමි. මේ කරුණින් මම් යම්සේ ආත්මයත් ලෝකයත් ශාස්වත ද , වඳ ද, ගිරි කුළක් සේ නිසල ද, ඉඳුකිලක් සේ තහවුරු ද, ඒ සත්හුම ම මෙයින් අන් තැනට යෙත් ද, භවයෙන් භවයට හැවිදිත් ද , මැරෙත් ද , මැරී උපදිත් ද, මහාපෘථිව්‍යාදී ශාස්වත වස්තූන් හා සම වැ හැමදාම ඇත්තාහු ද , එසේ මේ කාරණය දනිමි”  යනුයි.
මහණෙනි, ඇතැම් මහණබමුණෝ ශාස්වතදෘෂ්ටි ඇත්තෝ, යමක් නිසා, යමෙක එල්බෑ ගෙන, ආත්මයත් ලෝකයත් ශාස්වත කොට පණවත් නම්, මේ ඒ තෙවෙනි කාරණයයි.
 
40.සිවු වන කාරුණෙහි ද, භවත් මහණබමුණෝ කුමක් නිසා කිමෙක එල්බැ ගෙන ශාස්වතවාදී වුවෝ, ආත්මයත් ලෝකයත් ශාස්වත කොට පණවත් ද ? යත් :
මහණෙනි, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ තර්ක කරන්නේ වෙයි, විමසන්නේ වෙයි, හේ ඒ ඒ කරුණින් තර්ක කොට, විමැසුම් නුවණ පමණින් ම කාරණය මැන “ආත්මය් ලෝකයත් සදාකාලික ය, වඳ ය, ගිරිකුලක් සේ නිසල ය, ඉඳුකිලක් සේ  තර වැ සිටියේ ය, ඒ සත්හු ම මෙයින් අන් තැනකට යෙත්, භවයෙන් භවයට යෙත්, මැරෙත්, මැරී උපදිත්, මහාපෘථිව්‍යාදී ශාස්වතීනට (සදාකාලික වස්තූන්හට) සම වැ හැමදා ම ඇත්තාහ” යි. මෙසේ තමාගේ හුදු වැටහීම කියයි.
මහණෙනි, ඇතැම් මහණබමුණෝ යමක් නිසා යමක් ඇරැබැ, ශාස්වත දෘෂ්ටි ගත්තෝ ආත්මයත් ලෝකයත් ශාස්වත කොට පණවත් නම් මේ ඒ සිව්වන කාරණයයි.
 
41.මහණෙනි, ශාස්වතදෘෂ්ටි ගත් ඒ මහණබමුණෝ මේ සතර කරුණින් ආත්මයද ලෝකය ද ශාස්වත කොට පණවත්. මහණෙනි, ශාස්වත දෘෂ්ටි ගත් යම් මහණ බමුණු කෙනෙක් ආත්මයත් ලෝකයත් ශාස්වත කොට පණවත් නම්, ඒ සියල්ලෝ මේ කරුනු සතරින් ම හෝ මොවුන් අතුරෙනන් එකෙකින් හෝ එසේ පණවත් මේ සතර කරුණින් පිටත අන් කරුණක් ඔවුනට නැත.
 
42.මහණෙනි, මේ දෘෂ්ටීහු (හෝ දෘෂ්ටිකාරණයෝ) මෙසේ ගන්නා ලද්දෝ, මෙ සේ පරාමෘෂ්ට වුවෝ, මෙබඳු වු නිරයාදී විපාකගති ඇත්තෝ වන්නාහ. මෙබඳු පරලොවක් ඇතියෝ වන්නාහ' යි ඒ මේ සතර දෘෂ්ටිගතය ම තථාගත තෙමේ නන් අයුරින් දනී. තථාගත තෙමේ එයත් දනී. එයින් මත්තෙහි වු (ශීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්තිඥානදර්ශන සර්වඥතාඥාන යන මේ) සියල්ලත් දනී. එය දන්නේ , ' මෙය මම් දනිමි' යි තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් පරාමර්ශනය නො කෙරෙයි, එය පරාමර්ශනය නොකරන ඒ තථාගත බුදුහු විසින් තමා ම කෙලෙස් නිවීම දන්නා ලද්දේ ය. (මෙහි සුව පත් වමු යි අසෝ තැන සුව පත් වමු යි සිතමින් යම් සැප වේදනාවන් හී ඇළුණු අන් තොටුවො නානාවිධ දෘෂටිගහනයට වදිත් ද) , තථාගත තෙමේ ඒ වේදනාවන්ගේ උත්පත්තිය ද  විනාශයද  ආස්වාදය ද ආදීනවය ද ඒ වේදනාවන්ගේ නික්මීම ද තත් වු පරිදි දැන, ඡන්දරාගය දුරු වු බැවින් උපාදාන රහිත ව මිදුණේ වෙයි.
 
43.මහණෙනි, තථාගත තෙමේ යම් ධර්ම කෙනෙකුන් තෙමේ ම විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරේ නම්, යම් ධර්ම කෙනෙකුන් කරණ කොට ගෙන තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණ කියන්නට තැත් කරන්නෝ කියන්නාහු නම්, මේ - ගැඹුරු වූ, සර්වඥ බුදු කෙනෙකුන් විසින් ම විනා සෙස්සවුන් විසින් නොදැක්ක හැකි වූ, එ හෙයින් ම සෙස්සවුන් විසින් අවබෝධ නො කට හැකි වූ, ශාන්ත වූ ප්‍රණීත වූ, තර්කයෙන් බැස නොගත හැකි වූ, සියුම් වූ, ප්‍රාඥයන් විසින් ම දත හැකි වූ ඒ ධර්මයෝ ය.
 
                                                                                       පලමු බණවර යි.                                                                                    
 
44.මහණෙනි යම් කෙනෙක් ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාස්වත කොට ද එක් කොටසක් අශාස්වත කොට ද කරුණු සතරෙකින් පණවත් නම්, එසේ වු ඒකත්‍යශාස්වතික වූ ද ඒකත්‍යඅශාස්වතික වූ ද ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත්තාහ.
ඒ භවත් මහණබමුණෝ කුමක් නිසා කිමෙක එල්බැ එකත්‍යශාස්වතික ද එකත්‍යආශාස්වතික ද වූවාහු (එක් කොටසක් සදාකාලික යැයි ද එක් කොටසක් සදාකාලික නොවේ යැයි ද යන දෘෂ්ටි ඇත්තාහු) ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාස්වත යැ යිත් එක් කොටසක් අශාස්වතැ යිත් කියා සතර කරුණෙකින් පණවත් ද ? යත්:
 
45.මහණෙනි, දික් කලක් ඇවෑමෙන් කිසි සමයෙක මේ ලොව නස්නේ ද, එබඳු වු කාලයෙක් වේ ම ය. එසේ ලොව නැසෙන කල්හී සත්හු බෙහෙවින් ආභස්සර බඹලොවැ උපදින්නෝ වෙති. ඔහු එහි ධ්‍යානචිත්ත බලයෙන් උපන්නෝ වෙති, ප්‍රීතිය ම ආහාර කොට ඇත්තෝ වෙති, තුමූ ම බැබලෙන්නෝ වෙති, අහසෙහි හැසිරෙන්නෝ වෙති, සිත්කළු වස්ත්‍රාභරණ හැඳ පැළඳ සිටින්නෝ වෙති. එහි ඔහු ඉතා බොහෝ කලක් සිටිත්.
මහණෙනි, දික් කලක් ඉක්මීමෙන් යම් කිසි සමයෙක මෙලොව නැවත හටගන්නේ නම් එසේ වූ කාලයෙක් වෙයි. එසේ ලොව හට ගන්නා කල්හී හිස් බඹවිමනෙක් පහළ වෙයි. ඒ කල්හී එක්තරා සත්ත්වයෙක් ආයු ගෙවී යෑමෙන් හෝ පින් ගෙවී යෑමෙන් ආභස්සර බඹ ලොවින් සැව ඒ හිස් බඹවිමනෙහි උපදී. හෙතෙමේ එහි ධ්‍යාන සිතින් උපන්නේ ප්‍රීතියම ආහාර කොට ඇත්තේ වෙයි. සිය සිරුර එළියෙන්  බබළන්නේ වෙයි, ආකාශචාරී වෙයි, සිත්කළු වස්ත්‍රාභරණ ඇති වැ සිටින්නේ වෙයි. හේ එහි ඉතා බොහෝ කලක් සිටියි.  එහි ඔහු  හුදකලා වැ බොහෝ කලක් වුසූ හෙයින්  'අන්  සත්හු ද මේ අත් බවට එන්නාහු නම් යෙහෙකැ' යි ප්‍රාර්ථනාවෙක් තෘෂ්ණාවෙක් ඔහුට  පහළ වෙයි. ඉක්බිති එක්තරා සත්ත්ව කෙනෙක් ද, ආයු ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන් හෝ ආභස්සර ලොවින් සැව ඒ බඹවිමනට , ඔහුගේ  සහභාවයට පැමිණෙත්, ඔහු ද එහි ධ්‍යානමනසින් උපන්නෝ ප්‍රීතිය ම ආහාර කොට ඇත්තෝ වෙත්, ස්වයම්ප්‍රභ වෙත්, ආකාශචාරී වෙත්, සිත්කළු උයන් විමන් ආදියෙහි සිටින්නෝ (නොයෙක් සිත්කළු වස්ත්‍රාභරණ හැඳ පැලැඳ සිටින්නෝ )වෙත්. ඔහු එහි ඉතා දික් කලක් සිටිත්.  මහණෙනි, එහි යම් සත්ත්වකෙනෙක් පලමු වැ උපන්නේ ද, ඔහුට මෙසේ සිතෙක් වෙයි. “මම බ්‍රහ්ම වෙමි, මහා බ්‍රහ්ම වෙමි. අන් හැම මැඩපවත් වා සිටින්නෙම් වෙමි. අනුන් විසින් නොමඩනා ලදුයෙම් වෙමි, ඒකාන්තයෙන් සියල්ල දක්නෙම් වෙමි, සියල්ලන් වශයෙහි පවත්වන්නෙම් වෙමි,  ඊශ්වර වෙමි, කර්තෘ වෙමි, මවන්නා වෙමි, ලොවට උත්තම වෙමි, ලොව සකස් කරන්නා වෙමි, පුරුදු කළ වශිතා ඇත්තෙමි, උපන්නවුන්ගේ ද, උපදින්නවුන්ගේ ද පියා වෙමි. මා විසින් මේ සත්ත්වයෝ මවන ලදහ. ඒ (එසේ සිතනුයේ ) කවර හෙයින ? යත්: 'අන් හැම සත්ත්ව කෙනෙකුත් මෙහි මේ අත්බවට එන්නාහු නම් යෙහෙකැ'යි  පූර්වයෙහි  මට මේ සිත පහළ විය.  මෙසේ මාගේ ප්‍රාර්ථනාව ද විය. මේ සත්ත්වයෝත් මගේ ඒ ප්‍රාර්ථනාව අනු ව  මේ අත්බවට ආහ" යනු යි.  යම් සත්ත්ව කෙනෙක් පසුව උපන්නෝ ද  ඔවුනට මේ සිත වෙයි. 'මේ භවත් තෙමේ බ්‍රහ්ම ය, මහා බ්‍රහ්ම ය, අනුන් මැඩ පවත්වා සිටින්නේ ය, අනුන් විසින් නොමැඩුණේ ය, ඒකාන්තයෙන් සියල්ල දක්නේ ය, ලොව තමා වශයෙහි පවත්වන්නේ ය, ඊශ්වර ය, කර්තෘ ය, නිර්මාතෘය, උත්තමයා ය, ලොව සකස් කරන්නා ය,  පුරුදු කළ වශිතා ඇත්තා ය, උපන් උපදනා සියල්ලන්ගේ පියා ය. මේ භවත් බඹහු විසින් අප මවන ලද්දමෝ වමු. ඒ කවර හෙයින ? යත්:  මොහු වනාහී අපට පලමු ව මෙහි උපන්නහු අපි දුටුවමු. අපි වනාහී පසු වැ උපන්නම්හ” යනුයි.
 
46.මහණෙනි, එහි යම් සත්ත්වයෙක් පලමු වැ උපන්නේ ද, හේ සෙස්සනට වඩා දීර්ඝායුෂ්ක වෙයි, සෙස්සනට වඩා වර්ණවත් වෙයි, සෙස්සනට වඩා මහායශස් ඇත්තේ වෙයි, යම් කෙනෙක් වනාහී පසු වැ උපන්නෝ ද ඔහු පළමු උපන්නහුට වඩා මන්දායුෂ්ක ද වෙති, ඔහුට වඩා වර්ණයෙන් හීන ද වෙති, ඔහුට වඩා අල්පයශස් ඇත්තෝ ද වෙති, මහණෙනි, යම් හෙයෙකින් ඔවුන් අතුරෙන් කිසි සත්ත්වයෙක් ඒ බ්‍රහ්මනිකායයෙන් සැව මේ මිනිසත්බවට පැමිණේ ය යන කාරණයෙක් ඇද්ද මෙය විද්‍යාමාන  ය(වන එකෙක). එසේ හේ මේ මිනිසත්බවට ආයේ ම ගිහි ගෙයින් පැවිදි බිමට වදී. ගිහි ගෙයින් පැවැදි බිමට වන්නේ ම, හේ උත්සාහ වඩා වැර වඩා පුන පුනා වෑයම් කොට නොපමා බව නිසා නුවණ නිසා, යම් සමාධියෙකින් සිත මනා වැ පිහිටි කල්හි මෙයින් පෙරැ වූ ජාතිය සිහි කෙරේ ද, එයින් ඔබ්බෙහි සිහි නොකෙරේ ද, එසේ වු චිත්තසමාධියක් ලබයි. හේ තෙම මෙසේ කියයි. "යම් ඒ භවත් බ්‍රහ්මයෙක් මහාබ්‍රහ්ම ද, අනුන් මැඩ පවත්වන්නේ ද, ඊශ්වර ද, කාරක ද, නිර්මාපක ද, උත්තම ද, ලොව සකස් කරන්නේ ද, පුරුදු කළ වශීතා ඇත්තේ ද, උපනුන්හටත් උපදනාවුන්හටත් පීතෘ ද, යම් භවත් මහබඹක්හු විසින් අප මවන ලදුමෝ ද, ඒ මහ බඹ තෙමේ නිත්‍ය ය, ධ්‍රැව ය,(නොමැරෙන්නේ ය) සදාකාලික ය, නොවෙනස් වන ස්වභාව ඇත්තේ ය. මහාපෘථිවි ආදී ශාස්වත වස්තුන් හා සම වැ එසේ ම නොවෙනස් වැ සිටින්නේ ය. යම් බඳු අපි ඒ භවත් බඹහු විසින් මවන ලදුමෝ ද,  ඒ අපි අනිත්‍යම්හ, අධ්‍රැවයම්හ, අල්පායුෂ්කයම්හ, මැරෙන ස්වභාවය ඇත්තම්හ, එ බැවින් බඹ ලොවින් සැව මෙහි මේ මිනිසත් බවට ආම්හ " යනු යි.
මහණෙනි, යමක් නිසා යමක් ඇරැබැ ඇතැම් මහණ බමුණෝ එකත්‍යශාස්වතිකත් ඒකත්‍යඅශාස්වතිකත් වුවෝ ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාස්වත කොටත් එක් කොටසක් අශාස්වත කොටත් පණවත් නම්, මේ ඒ පලමු කාරණය යි.
 
47.දෙවෙනි කාරණයෙහිත්__පින්වත් මහණ බමුණෝ කුමක් නිසා කිමෙක එල්බැ ඒකත්‍යශාස්වතික ද ඒකත්‍යඅශාස්වතික ද වුවෝ ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාස්වතත් එක්කොටසක් අශාස්වතත් කොට පණවත් ද ? යත්:
මහණෙනි, ඛිඩ්ඩාපදෝසික නම් දෙවි කෙනෙක් ඇත්තාහ. ඔහු ආහාරෝපභෝගකාලය ඉක්මවා මෙවුන්දම්හි ද කායික වාචසික ක්‍රීඩායෙහි ද යෙදුනෝ වැ වෙසෙත්. බොජුන් ගන්නා කාලසීමාව ද ඉක්මවා මෙවුන්දම්හි ද කායික වාචසික ක්‍රිඩායෙහි ද ඇලෙන ස්වභාවයට පැමිණ වසන ඔවුන්ගේ බොජුන් ගැන්මෙහි සිහි නැති වේ. එසේ සිහි නැති වීමෙන් ඒ දෙවියෝ ඒ දේවනිකායයෙන් ච්‍යුත වෙත්.
මෙසේ වු එක්තරා සත්ත්වයෙක් ඒ දේවනිකායෙයෙන් සැව මේ මිනිස් බවට පැමිණේ ය යන යමක් ඇද්ද, මෙය ඇති එකෙක. එසේ මේ මිනිසත්බවට පැමිණියා වූ ම හේ ගිහිගෙන් නික් ම පැවිදි වේ. පැවිදී වුයේ ම උත්සාහ වඩා, වැර වඩා, පුනපුනා වැර වඩා, එළැඹ සිටි සිහිය වඩා, නුවණ වඩා, යම් සමාධියෙකින් සිත මනා වැ පිහිටි කල්හී ඒ පෙරැ අත්බව සිහි කෙරේ ද, එයින් යට සිහි නොකෙරේ ද, එබඳු වු චිත්ත සමාධියක් ලබයි.
හේ මෙසේ කියයි. " යම් පින්වත් දෙවි කෙනෙක් ඛිඩ්ඩාපදෝසික නො වෙත් ද , ඔහු බොජුන් වේලාව  ඉක්මවා මෙවුන්දම්හිත් කායික වාචසික ක්‍රිඩායෙහිත් ඇලෙන ස්වභාවයට පැමිණියෝ වැ නො වෙසෙත්. එසේ වේලාව ඉක්මවා වෙමුන්දම්හිත් සෙසු කායික වාචසික ක්‍රිඩායෙහිත් ඇලෙන ස්වභාවයට පැමිණ නොවසන ඔවුනට බොජුන් ගැන්මෙහි සිහි නැති නොවේ. එසේ සිහි නැති නොවනුයෙන් ඒ දෙවියෝ ඒ දේව නිකායයෙන් ච්‍යුත නො වෙත්. ඔහු නිත්‍ය හ. ඒකාන්ත හ. සදාකාලික හ. නො පෙරැළෙන සුලු හ. ශාස්වතිනට (පෘථිවි ආදී සදාකාලික වස්තුනට) සම වැ එසේ ම සිටුනාහ. යම් බඳු වු අපි වනාහී ඛිඩ්ඩාපදෝසික වමෝ ද, ඒ  අපි වේලාව ඉක්මවා හර්ෂක්‍රිඩාරතිධර්මයට පැමිණියො වැ වුසුමෝ වේලාව ඉක්මවා හර්ෂක්‍රිඩාරතිධර්මයට පැමිණියෝ වැ වසන ඒ අපට බොජුන් ගැන්මෙහි සිහි නැති විය. සිහි නැති වීමෙන් මෙසේ අපි ඒ දිව්‍යනිකායයෙන් ච්‍යුත වූවමෝ එ හෙයින් ම අනිත්‍ය වූවමෝ අධ්‍රැව වූවමෝ අල්පායුෂ්ක වූවමෝ මැරෙන ස්වභාවය ඇත්තමෝ මේ මිනිසත්බවට පැමිණියම්හ" යනුයි.
මහණෙනි, යමක් නිසා යමෙක එල්බැ ඇතැම් මහණබමුණෝ ඒකත්‍යශාස්වතික ද ඒකත්‍යඅශාශ්වතික ද වුවෝ ආතමයත් ලෝකයත් එක් කොටසක් ශාස්වත ද එක් කොටසක් අශාශ්වතද කොට පණවත් නම්, මේ ඒ දෙවෙනි කාරණය යි.
 
48.තෙවෙනි කරුණෙහි ද __පිනවත් බමුණබමුණෝ කුමක් උදෙසා කුමක් ඇරැබැ ඒකත්‍යශාශ්වතික ද, එක්ත්‍යඅශාශ්වතික ද, වූවෝ ආත්මයත් ලෝකයත් කොටසක් ශාශ්වත වශයෙනුත් කොටසක් අශාශ්වත වශයෙනුත් පණවත් ද ? යත්:
මහණෙනි, මනෝපදෝසික නම් දෙවි කෙනෙක් අත්හ. ඔහු කිපුණු සිතින් බොහෝ වේලා උනුන් බලත්. ඔහු කිපුණු සිතින් උනුන් බලන්නෝ, උනුන් කෙරෙහි හිත් දූෂිත කෙරෙත්. මෙසේ උනුන් කෙරෙහි දූෂිත කළ සිත් ඇති ඔහු (එ හෙයින් ම) මිරිකුණු කය ඇත්තෝ මිරිකුණු සිත් ඇත්තෝ ඒ දේවනිකායයෙන් ච්‍යුත වෙත්.
එක්තරා සත්ත්වයෙක් ඒ දේවනිකායෙන් සැව මේ මිනිසත් බවට පැමිණේ ය යන යමක් ඇද්ද, මහණෙනි, මේ කාරණය ඇති එකෙකි. එසේ හේ මේ මිනිසත්බවට පැමිණියේ ම ගිහිගෙන් නික්ම පැවැදි බිමට පැමිණේ. පැවිදි බිමට පැමිණි හෙ තෙමේ උත්සාහය නිසා වීර්‍ය්‍යය නිසා නැතව නැවත වැර වැඩුම් නිසා නොපමාව නිසා නුවණ නිසා,   යම්සේ සිත මොනවට පිහිටි කල්හි ඒ පෙර අත්බව සිහි කෙරේ ද, එයින් යට සිහි නොකෙරේ ද, එබඳු වූ චිත්ත සමාධියක්  ලබයි.
හේ මෙසේ කියයි. "යම් පින්වත් දෙවි කෙනෙක් මනෝපදෝසික නොවෙත් ද, ඔහු බොහෝ වේලාවක් උනුන් කිපි සිතින් නොබලත්. ඉතා බොහෝ වේලාවක් කිපි සිතින් උනුන් නොබලන ඔහු උනුන් කෙරෙහි  සිත් රිදුවා නොගනිත්. උනුන්කෙරෙහි සිත් රිදුවා නොගත් ඔහු ක්ලාන්ත නොවූ කය ඇත්තෝ, ක්ලාන්ත නොවූ සිත් ඇත්තෝ, ඒ දිව්‍ය නිකායයෙන් ච්‍යුත නොවෙත්. යම් බඳු වු අපි වනාහී මනෝපදෝසික වූමූ ද, ඒ අපි බොහෝ වේලාවක් උනුන් කිපී සිතින් බැලුම්හ. ඒ අපි බොහෝ වේලා උනුන් කිපි සිතින් බලන්නමෝ උනුන් කෙරෙහි සිත් රිදුවා ගතුම්හ.ඒ අපි උනුන් කෙරෙහි රිදුවා ගත් සිත් ඇත්තමෝ ක්ලාන්ත වූ කය ඇත්තමෝ ක්ලාන්ත වු සිත් ඇත්තමෝ මෙසේ ඒ දේවනිකායයෙන් ච්‍යුත වූවමෝ (එහෙයින් ම) අනිත්‍යයම්හ. අධ්‍රැවයම්හ. අල්පායුෂ්කයම්හ. මැරෙන ස්වභාවය ඇත්තමෝ මේ මිනිසත් බවට ආම්හ" යනු යි.
මහණෙනි, ඇතැම් මහණබමුණෝ යමක් උදෙසා යමක් ඇරැබැ එකත්‍යශාශ්වතික ද ඒකත්‍යඅශාශ්වතික ද වූවෝ ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාස්වත ද එක් කොටසක් අශාස්වත ද කොට පණවත් නම්, මේ ඒ තෙවෙනි කාරණය යි.
 
49.මහණෙනි, සතර වන කරුණෙහි __භවත් මහණ බමුණෝ කුමක් උදෙසා කුමක් ඇරැබැ ඒකත්‍යශාශ්වතික ද ඒකත්‍යඅශාශ්වතික ද වූවෝ ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත  කොටත් එක් කොටසක් අශාශ්වත කොටත් පණවත් ද ? යත් :
මහණෙනි, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ තර්ක විතර්ක කරන්නේ වෙයි. අයෝනිසොමනස්කාරයෙන් විමසන්නේ වෙයි. හේ තර්ක කොට ගන්නා ලද, නොනුවණින් විමසා ගැන්ම අනුවැ පැවැති, තමාගේ හුදු වැටැහීම් මෙසේ පවසයි:  "  ඇස යැ යි ද, කණ යැ යි ද, දිව යැ යි ද, කය යැ යි ද, කියා මේ යමක් කියනු ලැබේ නම් එසේ වු මේ ආත්මය අනිත්‍ය ය, අධ්‍රැව ය, අශාශ්වත ය, පෙරැළෙනසුලු ය. සිත ය කියා හෝ මනසය කියා හෝ විඥාණය කියා හෝ යමක් කියනු ලැබේ නම්, එසේ වූ මේ ආත්මය වනාහී නිත්‍ය ය. ධ්‍රැවය, ශාශ්වත ය, නොපෙරැළෙනසුලු ය, (මහාපෘථිව්‍යාදී) සදාකාලික වස්තූන් හා සම වැ එසේ ම නො වෙනස් වැ සිටුනේ ය" යනු යි.
මහණෙනි යම්ක් උදෙසා යමක් ඇරැබැ ඇතැම් මහණබමුණෝ ඒකත්‍යශාශ්වතික ද ඒකත්‍යඅශාශ්වතික ද වූවෝ ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාස්වත කොට ද එක් කොටසක් අශාශ්වත කොටද පණවත් නම්, මේ ඒ සතරවන කාරණය යි.
මහණෙනි, ඒ මහණබමුණෝ ඒකත්‍යශාශ්වතික ද ඒකත්‍යආශාශ්වතික ද වූවෝ මේ සතර කරුණින් ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත ද එක් කොටසක් අශාශ්වත ද කොට පණවත්.
මහණෙනි, යම් මහණකෙනෙක් හෝ යම් බමුණුකෙනෙක් හෝ ඒකත්‍යශාශ්වතික ද ඒකත්‍යඅශාශ්වතික ද වූවෝ ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත ද එක් කොටසක් අශාශ්වත ද කොට පණවත් නම්, ඒ සියල්ලෝ මේ සතර කරුණින් ම හෝ මොවුන් අතුරෙන් එක් කරුණෙකින් හෝ එසේ පණවත්. මෙයින් පිටත් අන් කරුණක් නැත.
 
50.මහණෙනි, ' මේ දෘෂ්ටිකාරණයෝ මෙසේ ගන්නා ලද්දෝ, මෙසේ පරාමර්ශනය කරන ලද්දෝ මෙබඳු නිරයාදී විපාක ගති ඇත්තෝ වෙත්, මෙබඳු පරලොව් ඇතියෝ වෙත් යැ' යි මේ සතර දෘෂ්ටිගතය ම තථාගත තෙමේ දන්නේ ය. තථාගත තෙමේ එයද එයින් මත්‍තෙහි වූ  සියල්ල ද දනී. එය දන්නේ, 'මෙය මම් දනිමි ' යි ඒ දැක්ම තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් පරාමර්ශනය නො කෙරෙයි. එය පරාමර්ශණය නොකරන්නා වු ඔහු විසින් ම තමාගේ කෙලෙස් නිවීම දන්නා ලද්දේ ය. (සුව ඇති තැන් පතපතා අන්‍යතීර්ථකයෝ නානාදෘෂ්ටිගහනයට පිවිසෙත් නම්) තථාගත තෙමේ ඒ වේදනාවන්ගේ උපත ද නැස්ම ද රසය ද දොස ද නික්මුම ද  ඇති සැටි දැන උපාදාන රහිතව මිදුණේ වෙයි.
 
51.මහණෙනි, තථාගත බුදුරජ යම් ධර්ම කෙනෙකුන් තෙමේ ම විශිෂ්ට ඥාණයෙන් දැන පසක් කොට පවසා නම්, තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණ කියන්නට තැත් කරන්නෝ යම් ධර්ම කෙනෙකුන් කරණ කොට ගෙන කියන්නෝ නම් මේ වනාහී ගැඹුරු වූ දූර්දර්ශ වූ දුරනුබෝධ වූ ශාන්ත වූ ප්‍රණීත වූ අතර්කාවචර වූ සියුම් වූ පණ්ඩිතවේදනීය වූ ඒ ධර්මයෝ ය.                                                                                 
 
52.මහණෙනි, ඇතැම් මහණබමුණු කෙනෙක් ලොව කෙළවරක් ඇති නැතිබව පිළිබඳ උපදවා ගත් දෘෂ්ටි ඇත්තෝ කරුණු සතරෙකින් ලොවෙහි අන්තය හෝ අනන්තය පණවත්. ඒ භවත් මහණ බමුණෝ කුමක් නිසා කුමක් ඇරැබැ අන්තානන්තකවාද ඇත්තෝ කරුණු සතරෙකින් ලොවැ අන්තානන්තය පණවත් ද? යත්:
මහණෙනි,  මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් උත්සාහය නිසා වීර්‍ය්‍යය නිසා පුනපුනා වැර වැඩුම් නිසා අප්‍රමාදය නිසා නුවණ නිසා, යම් සමාධියකින් සිත මොනවට පිහිටි කල්හි ලොවෙහි අන්තසඥී වැ වෙසේ නම්, එසේ වු චිත්තසමාධියක් ලබයි.  හේ මෙසේ කියයි:  "මෙලොව අන්තවත් ය, හාත්පසින් ම වට ය. ඒ කවර හෙයින යත් : මම් වනාහි උත්සාහය නිසා වීර්‍ය්‍යය නිසා පුනපුනා වැර වැඩුම් නිසා අප්‍රමාදය නිසා නුවණ නිසා, යම් සමාධියෙකින් සිත මොනවට පිහිටි කල්හී ලොවෙහි අන්තසංඥී ව වෙසෙම් ද, එසේ වූ චිත්තසමාධියක් ලැබීමි. මේ කරුණින් මෙලොව යම්සේ අන්තවත් ද, හාත්පසින් වටද, එසේ මෙය මම් දනිමි" යනුයි.
මහණෙනි, යමක් නිසා යමක් ඇරැබැ ඇතැම් මහණ බමුණෝ අන්තානන්තිකදෘෂ්ටි ඇත්තෝ ලොවෙහි අන්තානන්තය පණවත් නම්, මේ ඒ පලමු වන කාරණය යි.
 
53.දෙවෙනි කරුණෙහි ද ___ භවත් මහණබමුණෝ කුමක් නිසා කිමෙක එල්බැ අන්තානන්තිකදෘෂ්ටි ගත්තෝ ලොවෙහි අන්තානන්තය පණවත් ද? යත්:
මහණෙනි, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ උත්සාහය නිසා පුන පුනා වැර වැඩුම් නිසා නොපමාව නිසා නුවණ නිසා, යම් සමාධියෙකින් (ධ්‍යානයෙකින්) සිත මනා වැ පිහිටි කල්හි ලොවෙහි අනන්තසංඥි වැ වෙසේ ද, එසේ වු චිත්තසමාධියක් උපදවයි. හේ මෙසේ කියයි:  "මේ ලොව අනන්ත යැ, අපරියන්ත ය, යම් ඒ මහණබමුණු කෙනෙක් 'මේ ලෝකය කෙළෙවරක් ඇත්තේ ය. හාත්පසින් වට යැ' යි මෙසේ කීහු ද, ඔවුන්ගේ කීම බොරු ය. මේ ලෝකය අනන්ත ය, අපරියන්ත ය. කවර හෙයින ? යත්:  මම් වනාහී උත්සාහය නිසා පුන පුනා වැර වැඩුම නිසා නොපමාව නිසා නුවණ නිසා, යම් සමාධියෙකින් සිත මනා වැ පිහිටි කල්හි ලොවෙහි අනන්තසංඥී වැ වෙසෙම් ද, එබඳු වූ චිත්තසමාධියක් ලැබීමි. ලෝකය යම් සේ අනන්ත ද අපර්‍යන්ත ද, මම් මේ කාරණයෙන් මෙය එසේ දනිමි " යනුයි.
මහණෙනි, යමක් නිසා යමෙක එල්බැ ඇතැම් මහණබමුණෝ අන්තානන්තිකදෘෂ්ටි ගත්තෝ ලෝකය පිළිබඳ අන්තානන්තය පණවත් නම්, මේ ඒ දෙවෙනි කාරණය යි.
 
54.මහණෙනි, තෙවෙනි කරුණෙහි ද __ මහණබමුණෝ කුමක් නිසා කුමක් ඇරැබ අන්තානන්තිකදෘෂ්ටි ඇත්තෝ ලොවැ අන්තානන්තය පණවත් ද? යත්:
මහණෙනි, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ උත්සාහය නිසා විර්‍ය්‍යය නිසා පුන පුනා වැර වැඩුම් නිසා නොපමාබව නිසා නුවණ නිසා, යම් සමාධියෙකින් සිත මොනවට පිහිටි කල්හි, 'ලොවෙහි උඩින් යටින් කෙළවරක් ඇතැ'යි යන සංඥා ඇති වැ , එහෙත්  'ලොවෙහි සරසින් කෙළවරක් නැතැ'  යි යන සංඥා ඇතිව වෙසේ ද, එසේ වූ චිත්තසමාධියක් ලබයි. හේ මෙසේ කියයි:  "මේ ලොව කෙළවරක් ඇත්තේ ද කෙළවරක් නැත්තේ  ද වේ. යම් මහණබමුණුකෙනෙක්  'මෙලොව කෙළවරක් ඇත්තේ ය , වටැ යැ' යි කීහු ද, ඔවුන්ගේ වචනය හිස් ය. යම් මහණබමුණු කෙනෙක්  වනාහි මේ ලොව කෙළවරක් නැත්තේ ය. සීමාවක් නැත්තේ යැ'යි කීහු ද, ඔවුන්ගේ වචන ද හිස් ය. මේ ලොව අන්තවත් ද අනන්ත ද වේ. ඒ කවර හෙයින ? යත්: මම් වනාහී උත්සාහය නිසා විර්‍ය්‍යය නිසා පුන පුනා වැර වැඩුම නිසා නොපමාබව නිසා නුවණ නිසා, යම් සමාධියෙකින් සිත සමාහිත කල්හි ලොවෙහි උඩින් යටින් කෙළෙවරක් ඇතැයි ද සරසින් කෙළවරක් නැතැ යි ද යන සංඥා ඇති වැ වෙසෙම් ද, එසේ වු චිත්තසමාධියක් ලැබීමි. ලෝකය යම් සේ කෙළෙවරක් ඇත්තේත් නැත්තේත් වේ ද, මේ කරුණින් එසේ මෙය මම් දනිම් " යනු යි.
මහණෙනි,  යමක් නිසා යමෙක එල්බැ ඇතැම් මහණබමුණෝ අන්තානන්තිකදෘෂ්ටි ගත්තෝ ලෝකයේ අන්තානන්තය පණවත් ද, මේ ඒ තෙවෙනි කාරණය යි.
 
55.සිවුවන කාරණයෙහි ද __ භවත් මහණබමුණො කුමක් නිසා, කුමක් ඇරැබැ අන්තානන්තිකදෘෂ්ටි ගත්තෝ ලොවේ අන්තානන්තය පණවත් ද? යත්:
මහණෙනි, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ තර්ක කරන්නේ වෙයි, විමසන්නේ වෙයි. හේ ඒ ඒ කරුණින් තර්ක කළ, විමැසුම්නුවණ පමණින් ම මැන ගන්නා ලද සිය වැටහීම මෙසේ පවසයි:  මේ ලොව අන්තයක් (කෙළෙවරක්) ඇත්තේත් නොවෙයි. අන්තයක් නැත්තේත් නොවෙයි. යම් මහණබමුණු කෙනෙක් ' මේ ලොව අන්තවත් ය, වට යැ' යි කියත් නම්, ඔවුන්ගේ වචනය හිස් ය. යම් මහණබමුණුකෙනෙක් 'මේ ලොව අන්තයක් නැත්තේ යැ යි, කොණක් නැත්තේ යැ' යි කීහු නම්, ඔවුන්ගේ ද වචන හිස් ය. යම් මහණබමුණුකෙනෙක් ' මේ ලොව අන්තවත් ද වේ, අනන්ත ද වේ' යැ යි කියත් නම්, ඔවුන්ගේ ද වචන හිස් ය. මේ ලොව අන්තයක් ඇත්තේත් නොවේ ම ය. අන්තයක් නැත්තේත් නො වේ ම ය." යනුයි.
මහණෙනි, යමක් නිසා යමක් ඇරැබැ ඇතැම් මහණබමුණෝ අන්තානන්තික වූවෝ ලොවේ අන්තානන්තය පණවත් නම්, මේ ඒ සිව්වන කාරණය යි.
 
56.මහණෙනි, ඒ මහණබමුණෝ අන්තානන්තික දෘෂ්ටි ගත්තෝ මේ සතර කරුණින් ලෝකයේ අනතානන්තය පණවත්. මහණෙනි, යම් මහණකෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ අනතානන්තික දෘෂ්ටිගත්තෝ ලෝකයේ අන්තානන්තය පණවත් නම්, ඒ සියල්ලෝ ම මේකී සතර කරුණින් ම හෝ මොවුන් අතුරෙන් එක්තරා කරුණෙකින් හෝ එය පණවත්. මෙයින් පිටත්හි කරුණෙක් එයට නැත.
 
57.මහණෙනි, "මේ දෘෂ්ටීහු හෝ දෘෂ්ටිකාරණයෝ මෙසේ ගන්නා ලද්දෝ මෙසේ පරාමෘෂ්ට වූවෝ මෙබඳු නිරයාදීවිපාකගති ඇත්තෝ වන්නාහ. මෙබඳු වු පරලොව් ඇතියෝ වන්නාහ" යි තථාගත තෙමේ ඒ මේ සතර දෘෂ්ටිගතය ම නන් අයුරින් දනී. තථාගත තෙමේ එය ද දනී. එයින් මත්තෙහි වු (ශීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්තිඥානදර්ශන සර්වඥතාඥාන යන මේ ) සියල්ලත් දනී. එය දන්නේ, මෙය 'මෙය මම දනිමි' යි තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ඒ දැනීම පරාමර්ශණය නොකෙරෙයි. එය පරාමර්ශනය නොකරන ඒ තථාගත බුදුහු විසින් ම තමාගේ කෙලෙස් නිවීම දක්නා ලද්දේ ය.( මෙහි සුවපත් වමු යි, අසෝ තැන සුවපත් වමුයි සිතමින් යම් සැප වේදනාවන්හි ඇලුණු අන්තොටුවො නානාවිධදෘෂ්ටිගහනයට වදිත් ද,) තථාගත තෙමේ ඒ වේදනාවන්ගේ උත්පත්තිය ද විනාශය ද ආශ්වාදය ද ආදීනවය ද නික්මීම ද තත් වු පරිදි දැන උපාදාන රහිත වැ මිදුණේ වෙයි.
 
58.මහණෙනි, තථාගත තෙමේ  යම් ධර්ම කෙනෙකුන් පරෝපදේශ රහිතැ වැ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරේ නම්, යම්  ධර්ම කෙනෙකුන් කරණ කොට ගෙන තථාගත බුදුහුගේ ඇති පරිදි වූම ගුණ කියන්නට තැත් කරන්නෝ කියන්නාහු නම්, මේ ගැඹුරු වු සර්වඥ බුදු කෙනෙකුන් විසින් ම විනා සෙස්සවුන් විසින් නො දැක්ක හැකි වු , සෙස්සවුන් විසින් අවබෝධ නො කට හැකි වූ ශාන්ත වු ප්‍රණීත වු තර්කයෙන් බැස ගත නොහැකි වු සියුම් වු ප්‍රාඥයන් විසින් ම දත හැකි වු ඒ ධර්මයෝ යි.                                                                                        
 
59.මහණෙනි, අමරාවික්ෂේපක වූ සමහර මහණබමුණුකෙනෙක් ඇත්තාහ. ඔහු ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරණ ලද්දෝ ම වස්තු සතරෙකින් වාග්වික්ෂේපයට අමාරාවික්ෂේපයට පැමිණෙත්. ඒ භවත් මහණබමුණෝ කුමක් නිසා කුමක් ඇරැබැ අමරාවික්ෂෙපක වූවෝ, ඒ ඒ තන්හි ප්‍රශ්න විචාරන ලද්දෝ ම වස්තු සතරෙකින් වාග්වික්ෂේපයට අමරාවික්ෂේපයට පැමිණෙත් ද ? යත්:
 
60.මහණෙනි, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ ' මේ කුසලැ' යි ඇති සැටි නො දනී. ' මේ අකුසලැ' යි ඇති සැටි නොදනී. ඔහුට "මේ කුසලැ'යි මම ඇති සැටි නොදනිමි. ' මේ අකුසලැ'යි ඇති සැටි නො දනිමි. මම වනාහී '' මේ කුසලැ 'යි ඇති සැටි නො දන්නේම්, 'මේ අකුසලැ'යි ඇති සැටියෙන් නො දන්නෙම්, ' මේ කුසලැ'යි කියා හෝ පවසන්නෙම් නම්, ' මේ අකුසලැ'යි කියා හෝ පවසන්නෙම් නම්, ඒ පැවසුමෙහි මට ඡන්දයක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ පටහැණිබවෙක් හෝ වන්නේ ය. යම් කරුණෙක්හි මට ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ පටහැණිබව හෝ වන්නේ නම්, ඒ මගේ ප්‍රකාශය බොරුවෙක් වන්නේ ය. මගේ යම් ප්‍රකාශයෙක් බොරු වන්නේ නම්, එය මට දුකෙක් වන්නේ ය. මට යම් දුකෙක් වන්නේ නම්, එය මට ස්වර්ග මෝක්ෂ දෙකට බාධක වන්නේ යැ" යි මෙසේ සිතෙක් වෙයි.
මෙසේ හෙතෙම මුසාවාදයට බියෙන් මුසාවාදයට පිළිකුලෙන් ' මෙය කුසලැ'යි නොම පවසයි. 'මෙය අකුසලැ' යි නොම පවසයි. ඒ ඒ කරුණෙහි ප්‍රශ්ණ විචාරණ ලද්දේ ම " මෙසේත් මාගේ පිළිගැන්මෙක් නැත. එසේත් මාගේ පිළිගැන්මෙක් නැත, ඒ දෙකින් ම අන් පරිද්දකිනුත් පිළිගැන්මෙක් මට නැත. ' නො පිළිගනිමි' යි කියා එකෙකුත් මට නැත. ' නොම නො පිළිගනිමි' යි කියා එකෙකුත් මට නැතැ " යි වාග්වික්ෂේපයට අමරාවික්ෂේපයට පැමිණේ.
මහණෙනි, යමක් නිසා යමක් ඇරැබැ ඇතැම් මහණබමුණෝ අමාරාවික්ෂේපක වුවෝ, ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරන ලද්දෝ ම වාග්වික්ෂේපයට අමරාවික්ෂේපයට පැමිණෙන්නාහු නම්, මේ ඒ පලමු කරුණ යි.
 
61.මහණෙනි, දෙවෙනි කරුණෙහි ද __ භවත් මහණබමුණෝ කුමක් නිසා කුමක් ඇරැබැ අමරාවික්ෂේපක වූවෝ, ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරන ලද්දෝ ම වාග්වික්ෂේපයට අමරාවික්ෂේපයට පැමිණෙත් ද ? යත්:
මහණෙනි, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ ' මේ කුසල් යැ'යි ඇති සැටියෙන් නො දනියි. ' මේ අකුසල් යැ'යි ඇති සැටියෙන් නොදනියි. ඔහුට මෙසේ සිතෙක් වෙයි. " මම් වනාහි ' මේ කුසල් යැ'යි ඇති සැටියෙන් නොදනිමි, ' මේ අකුසල් යැ'යි ඇති සැටියෙන් නො දනිමි,  ' මේ කුසලැ'යි ඇතිසැටියෙන් නොදන්නෙම් ' මේ කුසලැ'යි පැවසුයෙම් නම්,  ' මේ අකුසලැ'යි ඇතිසැටියෙන් නොදන්නෙම් ' මේ අකුසලැ' යි පැවසුයෙම් නම්  එ කරුණෙහි මට ඡන්දයක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ ප්‍රතිඝයෙක් හෝ වියැ හැක්කේ ය. යමෙක දී මට ඡන්දයක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ ප්‍රතිඝයෙක් වන්නේ නම්, එය මට උපාදානයෙක් වන්නේ ය. යමෙක් මට උපාදානයෙක් වන්නේ නම්, එය මට සවර්ග මෝක්ෂ දෙකට බාධක වන්නේ ය" යනු යි.
 
62.මහණෙනි, තෙවෙනි කාරණයෙහිත් - භවත් මහණබමුණෝ කුමක් නිසා කිමෙක එල්බැ අමරාවික්ෂේපක වුවෝ, ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරණ ලද්දෝ ම වාග්වික්ෂේපයට අමරාවික්ෂේපයට පැමිණෙත් ද? යත්:
 මහණෙනි, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ ' මේ කුසලැ' යි ඇති සැටියෙන් නො දනී. ' මේ අකුසලැ' යි ඇති සැටියෙන් නො දනී. ඔහුට මෙසේ සිතෙක් වෙයි:  " මම් වනාහී මේ කුසලැ යි තත් වු පරිදි නො දනිමි. ' මේ අකුසලැ' යි තත් වු පරිදි නො දනිමි. මම ද ' මේ කුසලැ' යි තත් වු පරිදි නොදන්නේම් ' මේ අකුසලැ' යි තත් වු පරිදි නොදන්නෙම්   ' මේ කුසලැ' යි කියා හෝ පවසන්නෙම් නම්, ' මේ අකුසලැ' යි කියා හෝ පවසන්නෙම් නම්, නුවණැති සියුම් බුද්ධි ඇති මෙරමා හා කළ වාද ඇති අස්ලොමක් ඊයෙන් විද පළා ලන දුනුවාවන් බඳු වු, තමන්ගේ තියුණු නුවණින්  අනුන්ගේ ලබ්ධීන් බිඳ ලන්නවුන් බඳු වැ  යම් කෙනෙ ක් හැසිරෙත් ද, එසේ වු මහණබමුණු කෙනෙක් ඇත්හ,ඔහු ඒ කුශලාකුශලයෙහි මගේ ලබ්ධිය මා අතින් විචාරන්නාහ. ' කවර කරුණෙකින් මේ අර්ථය ගනී දැ ? ' යි කරුණු විචාරන්නාහ. මා කරුණු කී කළ්හි එහි දොස් දකවා තර්ජනය කරන්නාහ. මම් ඔවුනට කරුණු දක්වා මගේ මතය ස්ඵුට කොට කියන්නට සමත් නො වෙම් ද, එය මට පිඩාවෙක. මට යම් පීඩාවෙක් වේද , එය මට සවර්ග මෝක්ෂ දෙකට බාධක වන්නේ ය." යනුයි.  මෙසේ හෙතෙම ප්‍රශ්න කරණුවට බියෙන්, ප්‍රශ්න කළ හොත් උත්තර දීමට බැරි වෙතැ'යි ලජ්ජායෙන් ' මේ කුසලැ' යි සෘජු වැ (ඉඳුරා) නොම කියයි.  ' මේ අකුසලැ' යි කියා හෝ සෘජු ව නො කියයි. ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරණ ලද්දේ ම, " මාගේ මෙසේත් ගැන්මෙක් නැත. මාගේ එසේත් ගැන්මෙක් නැත. අන් පරිද්දෙකිනුත් මගේ ගැන්මෙක් නැත. 'නැතැ'යි කියා මගේ ගැන්මෙක් නැත. ' එසෙ නැත්තේත් නැතැ' යි කියාත් මාගේ ගැන්මෙක් නැතැ " යි වාග්වික්ෂේපයට අමරාවික්ෂේපයට පැමිණෙත්.
මහණෙනි, ඇතැම් මහණබමුණෝ යමක් නිසා යමෙක එල්බැ අමාරාවික්ෂේක වූවෝ, ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරණ ලද්දෝ ම වාග්වික්ෂේපයට අමරාවික්ෂේපයට පැමිණෙත් නම්, මේ  ඒ තුන්වෙනි කාරණය යි.
 
63.සතර වැන්නෙහි ද - භවත් මහණබමුණෝ කුමක් නිසා කිමෙක එල්බැ 'අමරාවික්ෂෙපක වුවෝ, ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචරන ලද්දෝ ම වාක්වික්ෂේපයට අමරාවික්ෂේපයට පැමිණෙත් ද? යත්:
මහණෙනි, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මද නුවණැත්තේ වෙයි. බොහෝ මූඪ වෙයි. හේ නුවණ මඳ බැවින්, බොහෝ සේ මූඪ බැවින්, ඒ ඒ කරුණෙහි ප්‍රශ්ණ විචාරන ලද්දේ ම, වාග්වික්ෂේපයට අපර්යන්ත වික්ෂේපයට පැමිණෙයි. ඒ මෙසේ ය: 
' පරලොවක් ඇද්දැ'යි මෙසේ මා අතින් විචාරයි නම්, 'පරලොවෙක් ඇතැ' යි මෙසේ මට හැගීමෙක් වී නම්, 'පරලොවක් ඇතැ' යි මෙසේ එය තට විසඳන්නෙමි. එහෙත් ' මට මෙසේත් හැගීමක් නැත. අන් පරිද්දෙකිනුත් හැගීමක් නැත. මට හැගීමෙක් නැත්තේත් නොවෙයි. මට හැගීමක් නැති නොවන්නේත් නොවෙයි.
' පරලොවක් නැද්දැ' යි විචාරයි නම්'පරලොවෙක් නැතැ' යි මෙසේ මට හැගීමෙක් වී නම් ' පරලොවක් නැතැ' යි මෙසේ එය තට විසඳන්නෙමි. එහෙත් ' මට මෙසේත් හැගීමක් නැත. අන් පරිද්දෙකිනුත් හැගීමක් නැත. මට හැගීමෙක් නැත්තේත් නොවෙයි. මට හැගීමක් නැති නොවන්නේත් නොවෙයි.
' පරලොවක් ඇත්තේත් නැත්තේත් වේදැ' යි විචාරයි නම්'පරලොවෙක් ඇත්තේත් නැත්තේත් වේදැ' යි මෙසේ මට හැගීමෙක් වී නම් ' පරලොවක් ඇත්තේත් නැත්තේත් වේ යැ' යි මෙසේ එය තට විසඳන්නෙමි. එහෙත් ' මට මෙසේත් හැගීමක් නැත. අන් පරිද්දෙකිනුත් හැගීමක් නැත. මට හැගීමෙක් නැත්තේත් නොවෙයි. මට හැගීමක් නැති නොවන්නේත් නොවෙයි. 
' පරලොවෙක් නොම ඇත්තේත් නොම නැත්තේත් වේ දැ' යි විචාරයි නම් 'පරලොවෙක් නොම ඇත්තේත් නොම නැත්තේත් වේ දැ' යි මෙසේ මට හැගීමෙක් වී නම් ' පරලොවක් නොම ඇත්තේත් නොම නැත්තේත් වේ දැ' යි මෙසේ එය තට විසඳන්නෙමි. එහෙත් ' මට මෙසේත් හැගීමක් නැත. අන්පරිද්දෙකිනුත් හැගීමක් නැත. මට හැගීමෙක් නැත්තේත් නොවෙයි. මට හැගීමක් නැති නොවන්නේත් නොවෙයි. 
'උප්පාදුක(=මැරීඋපදනා) සත්වයෝ ඇත්තෝ දැ? ' යි විචාරයි නම්'උප්පාදුක සත්ත්වයෝ ඇත්තෝ යැ' යි මෙසේ මට හැගීමෙක් වී නම් ' උප්පාදුක සත්ත්වයෝ ඇත්තෝ  යැ' යි මෙසේ එය තට විසඳන්නෙමි. එහෙත් ' මට මෙසේත් හැගීමක් නැත. අන්පරිද්දෙකිනුත් හැගීමක් නැත. මට හැගීමෙක් නැත්තේත් නොවෙයි. මට හැගීමක් නැති නොවන්නේත් නොවෙයි. 
'උප්පාදුක සත්වයෝ නැත්තෝ  දැ' යි විචාරයි නම්  'උප්පාදුක සත්ත්වයෝ නැත්තෝ යැ' යි මෙසේ මට හැගීමෙක් වී නම් ' උප්පාදුක සත්ත්වයෝ නැත්තෝ යැ' යි මෙසේ එය තට විසඳන්නෙමි. එහෙත් ' මට මෙසේත් හැගීමක් නැත. අන්පරිද්දෙකිනුත් හැගීමක් නැත. මට හැගීමෙක් නැත්තේත් නොවෙයි. මට හැගීමක් නැති නොවන්නේත් නොවෙයි. 
.'උප්පාදුක සත්ත්වයෝ ඇත්තොත් නැත්තොත් වෙත් දැ? 'යි විචාරයි නම් 'උප්පාදුක සත්ත්වයෝ ඇත්තෝත් නැත්තෝ ත්  වේයැ' යි මෙසේ මට හැගීමෙක් වී නම් ' උප්පාදුක සත්ත්වයෝ ඇත්තෝ ත් නැත්තෝ ත් වේයැ' යි මෙසේ එය තට විසඳන්නෙමි. එහෙත් ' මට මෙසේත් හැගීමක් නැත. අන්පරිද්දෙකිනුත් හැගීමක් නැත. මට හැගීමෙක් නැත්තේත් නොවෙයි. මට හැගීමක් නැති නොවන්නේත් නොවෙයි. 
'උප්පාදුක සත්ත්වයො නොම ඇත්තොත් නොම නැත්තෝත් වෙත් දැ?'යි විචාරයි නම් 'උප්පාදුක සත්ත්වයෝ නොම ඇත්තෝත් නොම නැත්තෝත් වේයැ' යි මෙසේ මට හැගීමෙක් වී නම් ' උප්පාදුක සත්ත්වයෝ නොම ඇත්තෝත් නොම නැත්තෝ ත් වේයැ' යි මෙසේ එය තට විසඳන්නෙමි. එහෙත් ' මට මෙසේත් හැගීමක් නැත. අන්පරිද්දෙකිනුත් හැගීමක් නැත. මට හැගීමෙක් නැත්තේත් නොවෙයි. මට හැගීමක් නැති නොවන්නේත් නොවෙයි. 
'සුක්කෘතදුෂ්කෘතකර්මයන්ගේ ඵළ විපාක ඇද්දැ ? 'යි විචාරයි නම්  'සුක්කෘතදුෂ්කෘතකර්මයන්ගේ ඵළ විපාක ඇතැ' යි මෙසේ මට හැගීමෙක් වී නම් 'සුක්කෘතදුෂ්කෘතකර්මයන්ගේ ඵළ විපාක ඇතැ'යි මෙසේ එය තට විසඳන්නෙමි. එහෙත් ' මට මෙසේත් හැගීමක් නැත. අන්පරිද්දෙකිනුත් හැගීමක් නැත. මට හැගීමෙක් නැත්තේත් නොවෙයි. මට හැගීමක් නැති නොවන්නේත් නොවෙයි. 
'සුක්කෘතදුෂ්කෘතකර්මයන්ගේ ඵළ විපාක  නැද්දැ? 'යි? විචාරයි නම්  'සුක්කෘතදුෂ්කෘතකර්මයන්ගේ ඵළ විපාක නැතැ' යි මෙසේ මට හැගීමෙක් වී නම් 'සුක්කෘතදුෂ්කෘතකර්මයන්ගේ ඵළ විපාක නැතැ'යි මෙසේ එය තට විසඳන්නෙමි. එහෙත් ' මට මෙසේත් හැගීමක් නැත. අන්පරිද්දෙකිනුත් හැගීමක් නැත. මට හැගීමෙක් නැත්තේත් නොවෙයි. මට හැගීමක් නැති නොවන්නේත් නොවෙයි. 
'සුක්කෘතදුෂ්කෘතකර්මයන්ගේ ඵළ විපාක  ඇත්තේත් නැත්තේත් වේදැ? ? 'යි විචාරයි නම්  'සුක්කෘතදුෂ්කෘතකර්මයන්ගේ ඵළ විපාක ඇත්තේත් නැත්තේ ත් වේ යැ' යි මෙසේ මට හැගීමෙක් වී නම් 'සුක්කෘතදුෂ්කෘතකර්මයන්ගේ ඵළ විපාක ඇත්තේත් නැත්තේ ත් වේ යැ'යි මෙසේ එය තට විසඳන්නෙමි. එහෙත් ' මට මෙසේත් හැගීමක් නැත. අන්පරිද්දෙකිනුත් හැගීමක් නැත. මට හැගීමෙක් නැත්තේත් නොවෙයි. මට හැගීමක් නැති නොවන්නේත් නොවෙයි. 
'සුක්කෘතදුෂ්කෘතකර්මයන්ගේ ඵළ විපාක නොම ඇත්තේත් නොම නැත්තේ ත් වේ දැ?? 'යි විචාරයි නම්  'සුක්කෘතදුෂ්කෘතකර්මයන්ගේ ඵළ විපාක නොම ඇත්තේත් නොම නැත්තේ ත් වේ යැ' යි මෙසේ මට හැගීමෙක් වී නම් 'සුක්කෘතදුෂ්කෘතකර්මයන්ගේ ඵළ විපාක නොම ඇත්තේ ත් නොම නැත්තේ ත් වේ යැ'යි මෙසේ එය තට විසඳන්නෙමි. එහෙත් ' මට මෙසේත් හැගීමක් නැත. අන්පරිද්දෙකිනුත් හැගීමක් නැත. මට හැගීමෙක් නැත්තේත් නොවෙයි. මට හැගීමක් නැති නොවන්නේත් නොවෙයි. 
'සත්ත්වයා මරණින් මතු වන්නේ දැ?‍ 'යි විචාරයි නම්  'සත්වයා මරණින් මතු වන්නේ යැ' යි මෙසේ මට හැගීමෙක් වී නම් ' සත්ත්වයා මරණින් මතු වන්නේ යැ'යි මෙසේ එය තට විසඳන්නෙමි. එහෙත් ' මට මෙසේත් හැගීමක් නැත. අන්පරිද්දෙකිනුත් හැගීමක් නැත. මට හැගීමෙක් නැත්තේත් නොවෙයි. මට හැගීමක් නැති නොවන්නේත් නොවෙයි. 
'සත්ත්වයා  මරණින් මතු නොවන්නේ දැ?' 'යි විචාරයි නම්  'සත්වයා මරණින් මතු නොවන්නේ යැ' යි මෙසේ මට හැගීමෙක් වී නම් ' සත්ත්වයා මරණින් මතු නොවන්නේ යැ'යි මෙසේ එය තට විසඳන්නෙමි. එහෙත් ' මට මෙසේත් හැගීමක් නැත. අන්පරිද්දෙකිනුත් හැගීමක් නැත. මට හැගීමෙක් නැත්තේත් නොවෙයි. මට හැගීමක් නැති නොවන්නේත් නොවෙයි. 
.'සත්ත්වයා  මරණින් මතු වන්නේත් නොවන්නේත් වේදැ? 'යි  විචාරයි නම්  'සත්වයා මරණින් මතු වන්නේත් නොවන්නේ ත් වේ යැ' යි මෙසේ මට හැගීමෙක් වී නම් ' සත්ත්වයා මරණින් මතු වන්නේත් නොවන්නේ ත් වේ යැ'යි මෙසේ එය තට විසඳන්නෙමි. එහෙත් ' මට මෙසේත් හැගීමක් නැත. අන්පරිද්දෙකිනුත් හැගීමක් නැත. මට හැගීමෙක් නැත්තේත් නොවෙයි. මට හැගීමක් නැති නොවන්නේත් නොවෙයි. .
'සත්ත්ව තෙමේ මරණින් මතු නොම වන්නේත් නොම නොවන්නේත් වේදැ'? 'යි විචාරයි නම්  'සත්වයා මරණින් මතු නොම වන්නේත් නොම නොවන්නේත් වේ යැ' යි මෙසේ මට හැගීමෙක් වී නම් ' සත්ත්වයා මරණින් මතු නොම වන්නේත් නොම නොවන්නේත් වේ යැ'යි මෙසේ එය තට විසඳන්නෙමි. එහෙත් ' මට මෙසේත් හැගීමක් නැත. අන්පරිද්දෙකිනුත් හැගීමක් නැත. මට හැගීමෙක් නැත්තේත් නොවෙයි. මට හැගීමක් නැති නොවන්නේත් නොවෙයි.  
මහණෙනි, යමක් නිසා යමක් ඇරැබැ ඇතැම් මහණබමුණෝ අමරාවික්ෂේපක වුහු, ඒ ඒ කරුණෙහි ප්‍රශ්න  විචාරන ලද්දෝ  ම වාග්වික්ෂේපයට අපර්යන්ත වික්ෂේපයට පැමිණෙත් නම්, මේ ඒ සතර වන කාරණය යි.
 
64.මහණෙනි, ඒ මහණබමුණෝ අමරාවික්ෂේපයට වූවෝ, ඒ ඒ කරුණෙහි ප්‍රශ්ණ විචාරන ලද්දෝ  ම මේ සතර වස්තුයෙන් වාග්වික්ෂේපයට, අපර්‍යන්ත වික්ෂේපයට පැමිණෙත්. මහණෙනි, යම් මහණ කෙනෙක් යම් බමුණුකෙනෙක් හෝ අමරාවික්ෂේපක වූවො, ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරන ලද්දෝ ම වාග්වික්ෂේපයට පැමිණෙත් නම්, අපර්‍යන්ත වික්ෂේපයට පැමිණෙත් නම්, ඒ සියල්ලෝ  මේ වස්තු සතරින් ම හෝ මොවුන් අතුරෙන් එක්තරා වස්තුවෙකින් හෝ වාග් වික්ෂේපයට අපර්‍යන්තවික්‍ෂේපයට පැමිණෙත්. මෙයින් පිටත් හි වස්තුවෙක් ඔවුනට නැත.
 
65.මහණෙනි, ' මේ  දෘෂ්ටිස්ථානයෝ මෙසේ ගන්නා ලද්දෝ, මෙසේ පරාමෘෂ්ට වූවෝ, මෙබඳු විපාකගති ඇත්තෝ වන්නාහ, මෙබඳු පරලොව් ඇතියෝ වන්නාහ '  යි තථාගත තෙමේ ඒ කාරණය දනී. තථාගත  තෙමේ එයද එයින් මත්තෙහි දෑ ද දනී. එහෙත් ඒ දැන්ම ' මම මෙය දනිමි' යි තෘෂ්ණාමානදෘෂ්ටි වශයෙන් පරාමර්ශනය නො කෙරෙයි. එසේ පරාමර්ශනය කොකරන ඔහු විසින් පරෝපදේශ නැත වැ (තමා විසින් ම) තමාගේ කෙ‍ලෙස් නිවීම දන්නා ලද්දේ වෙයි. (' මෙහි සුවපත් වම්හ' යි ' අසෝ තැන සුවපත් වම්හ' යි සිතමින් යම් සැප වේදනාවන්හී ඇලුණු අන්තොටුවෝ නානාවිධ දෘෂ්ටිගහනයට වදිත් ද, ) තථාගත තෙමේ ඒ වේදනාවන්ගේ උත්පත්තිය ද විනාශය ද ආශ්වාදය ද ආදීනවය ද නික්මීම ද තතු වු පරිදි දැන ඡන්දරාගය දුරු වූ බැවින් උපාදාන රහිත ව මිදුණේ වෙයි.
මහණෙනි, තථාගත තෙමේ යම් ධර්ම කෙනෙකුන් තෙමේ ම විශිෂ්ටඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරේ නම්, යම් ධර්ම කෙනෙකුන් කරණ කොට ගෙන තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණ කියන්නට තැත් කරන්නෝ කියන්නාහු නම්, මේ - ගැඹුරු වූ , සර්වඥ බුදු කෙනෙකුන් විසින් ම විනා සෙස්සන් විසින් නොදැක්කැ හැකි වු, එහෙයින් ම සෙස්සන් විසින් අවබෝධ කට නොහැකි වූ, ශාන්ත වූ, ප්‍රණීත වු, තර්කයෙන් බැස ගත නොහැකි වූ , සියුම් වූ ප්‍රාඥයන් විසින් ම දතහැකි වූ ඒ ධර්මයෝ ය.
 
66.මහණෙනි, අධිච්චසමුප්පන්න දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත්තාහ. ඔහු ආත්මය ද ලෝකය ද අකාරණෝත්පන්න කොට (හේතු ප්‍රත්‍යය නැති ව උපන්නවුන් කොට) කරුණු දෙකෙකින් පණවත්. ඒ භවත් මහණබමුණෝ කුමක් නිසා කුමක් ඇරැබැ අධිච්චසමුප්පන්නවාද ඇත්තෝ දෙ කරුණෙකින්  ආත්මයත් ලෝකයත් අකාරණොත්පන්න කොට (ඉබේ පහළ වූවන් කොට) පණවත් ද ? යත්:
මහණෙනි, අසංඥසත්ව නම් දේව  කෙනෙක් ඇත්හ. ඒ දෙවියො අන් සසංඥ භවයෙක ප්‍රතිසන්ධිසංඥාවගේ පහළ වීමෙන් ම ඒ බ්‍රහ්මනිකායෙන් ච්‍යුත වෙත්. ' එක්තරා සත්ත්වයෙක් ඒ බ්‍රහ්මනිකායයෙන් සැව මේ මිනිසත්බවට පැමිණේ. හේ මේ මිනිසත් බවට ආයේ ම ගිහිගෙයින් නික්ම පැවිදි බිම් වදී. ගිහි ගෙයින් පැවිදි බිමට වන්නේ ම උත්සාහය නිසා වීර්‍ය්‍යය නිසා පුන පුනා වැර වඩුම් නිසා සිහිය නිසා සම්‍යක්මනස්කාරය නිසා යම් සමාධියෙකින් සිත මොනවට පිහිටි කල්හි ඒ ප්‍රතිසන්ධිසංඥාවගේ උත්පත්තිය සිහි කේරේ ද, එයින් යට සිහි නොකෙරේද , එසේ වූ චිත්තසමාධියක් ලබයි'  යන යමක් ඇද්ද , මේ කාරණය ඇත්තේ ම ය. (මෙය සිදු වන දැයෙකි.) හෙතෙමේ "ලෝකය ද ආත්මය ද කාරණ රහිත ව (ඉබේ) පහළ විය. ඒ එසේ මා කියනුයේ කවර හෙයින ? යත්: මම් වනාහී පෙර නොවිමී. ඒ මම පෙරැ නො ඇති වී දැන් ඇති බවට පිරිනැමුණෙමි " යි මෙසේ කිය යි.
මහණෙනි, ඇතැම් මහණබමුණෝ යමක් නිසා යමක් ඇරැබ අධිච්චසමුප්පන්නවාද ඇත්තෝ ආත්මයත් ලෝකයත් අකාරණොත්පන්න කොට පණවත් නම්, මේ ඒ පළමුවන කාරණය යි.
 
67.දෙවෙනි කාරුණෙහි - භවත් මහණබමුණෝ කුමක් නිසා කුමක් ඇරැබැ අධිච්චසමුප්පන්න දෘෂ්ටි ඇත්තෝ ආත්මයත් ලෝකයත් අකාරණෝත්පන්න කොට පණවත් ද? යත්:
මහණෙනි, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ තර්ක විතර්ක කරන්නේ වෙයි. අයෝනිසෝමනස්කාරයෙන් විමසන්නේ වෙයි. හේ තර්ක කොට ගන්නා ලද, නොනුවණින් විමසා ගැන්ම අනුවැ පැවති, ' ආත්මයත් ලෝකයත් අකාරණෝත්පන්න ය' යන තමාගේ හුදු වැටහීම මෙසේ කියයි.
මහණෙනි ඇතැම් මහණබමුණෝ යමක් නිසා යමක් ඇරැබැ අධිච්චසමුප්පන්නවාද ඇත්තෝ ආත්මයත් ලෝකයත් අකාරණෝත්පන්න කොට පණවත් නම්, මේ ඒ දෙවෙනි කාරණය යි.
 
68.මහණෙනි, ඒ මහණ බමුණෝ අධිච්චසමුප්පන්න වාද ඇත්තෝ මේ දෙකරුණින් ම ආත්මයත් ලෝකයත් අකාරණොත්පන්න කොට පණවත්.
 මහණෙනි, යම් මහණබමුණු කෙනෙක් අධිච්චසමුප්පන්නවාද ඇත්තෝ ආත්මයත් ලෝකයත් අකාරණෝත්පන්න කොට පණවත් නම්, ඒ සියල්ලෝ  මේ දෙ කරුණින් ම හෝ මොවුන්ගෙන් එක්තරා කරුණකින් හෝ එසේ පණවත්. මේ දෙකින් පිටත්හි කරුණෙක් ඔවුනට නැත.
 
69.මහණෙනි, මේ දෘෂ්ටීහු (හෝ දෘෂ්ටිකාරණයෝ) මෙසේ ගන්නා ලද්දෝ, මෙ සේ පරාමෘෂ්ට වුවෝ, මෙබඳු වු නිරයාදී විපාකගති ඇත්තෝ වන්නාහ. මෙබඳු වූ පරලොවක් ඇතියෝ වන්නාහ' යි තථාගත තෙමේ මේ දෙවැදෑරුම් දෘෂ්ඨිගතය නන් අයුරින් දනී. තථාගත තෙමේ එයත් දනී. එයින් මත්තෙහි වු (ශීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්තිඥානදර්ශන සර්වඥතාඥාන යන මේ) සියල්ලත් දනී. එය දන්නේ , ' මෙය මම් දනිමි' යි තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් පරාමර්ශනය නො කෙරෙයි, එය පරාමර්ශනය නොකරන ඒ තථාගත බුදුහු විසින් තමා ම කෙලෙස් නිවීම දන්නා ලද්දේ ය. (මෙහි සුව පත් වමු යි අසෝ තැන සුව පත් වමු යි සිතමින් යම් සැප වේදනාවන් හී ඇළුණු අන් තොටුවො නානාවිධ දෘෂටිගහනයට වදිත් ද) , තථාගත තෙමේ ඒ වේදනාවන්ගේ උත්පත්තිය ද  විනාශයද  ආස්වාදය ද ආදීනවය ද ඒ වේදනාවන්ගේ නික්මීම ද තත් වු පරිදි දැන, ඡන්දරාගය දුරු වු බැවින් උපාදාන රහිත ව මිදුණේ වෙයි.
මහණෙනි තථාගත තෙමේ යම් ධර්ම කෙනෙකුන් තෙමේ ම විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරේ නම්, යම් ධර්ම කෙනෙකුන් කරණ කොට ගෙන තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණ කියන්නට තැත් කරන්නෝ කියන්නාහු නම්, මේ - ගැඹුරු වු, සර්වඥ බුදු කෙනෙකුන් විසින් ම විනා සෙස්සවුන් විසින් නො දැක්ක හැකි වු, එ හෙයින් ම සෙස්සවුන් විසින් අවබෝධ නොකට හැකි වු, ශාන්ත වු ප්‍රණීත වු , තර්කයෙන් බැස නො ගත හැකි වු, සියුම් වු , ප්‍රාඥයන් විසින් ම දත හැකි වු ඒ ධර්මයෝ ය.
 
70.මහණෙනි, ඒ මහණබමුණෝ පුර්වාන්තකල්පික වූවෝ, පුර්වාන්තය අනු වැ පහළ කැරැ ගත් දෘෂ්ටි ඇත්තෝ මේ කරුණු අටලොසින් පුර්වාන්තය ඇරැබැ අනේකප්‍රකාර දෘෂ්ටිප්‍රකාශක වචන (දර්ශන වාද හඟවන වචන ) කියත්. මහණෙනි, යම් මහණ කෙනෙක් හෝ යම් බමුණුකෙනෙක් හෝ පුර්වාන්තකල්පික වූවෝ, පුර්වාන්තය අනුව  පහළ කොට ගත් දෘෂ්ටි ඇත්තෝ පුර්වාන්තය ඇරැබැ අනේකප්‍රකාර දෘෂ්ටිප්‍රකාශක වචන කීයත් ද, ඒ සියල්ලෝ මේ කරුණු අටළොසින් ම හෝ මොවුන් අතුරෙන් එක්තරා කරුණෙකින් හෝ කියන්නාහ. මෙයින් පිටත කරුණෙක් ඔවුනට නැත.
 
71.මහණෙනි, "මේ දෘෂ්ටීහු (හෝ දෘෂ්ටිකාරණයෝ) මෙසේ ගන්නා ලද්දෝ මෙසේ පරාමෘෂ්ට වූවෝ, මෙබඳු නිරයාදී විපාකගති ඇතියෝ වන්නාහ, මෙබඳු පරාලොව් ඇතියෝ වන්නාහ" යි මේ අටොලොස් දෘෂ්ටිගතය ම තථාගත තෙමේ දන්නේ ය. තථාගත තෙමේ එයත් දනී. එයින් මත්තෙහි වු සියල්ලත් දනී. ඒ දැන්ම තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් පරාමර්ශනය නො කෙරෙයි. එය පරාමර්ශනය නොකරන ඒ තථාගත බුදුහු විසින් පරෝපදේශ රහිත වැ (තමා විසින් ම ) කෙලෙසුන්ගේ නිවීම දන්නා ලද්දේ ය. (යම් සැප වේදනාවන් හී ඇලුණු අන්තොටුවෝ නන් වැදෑරුම් දෘෂ්ටිගහනයට වදිත් නම්) තථගත තෙමේ ඒ වේදනාවන්ගේ උත්පත්තිය ද විනාශය ද  ආස්වාදය ද ආදීනවය ද නික්මීම ද තත් ව පරිදි දැන උපාදාන රහිත වැ මිදුණේ වේ.
මහණෙනි, තථාගත තෙමේ යම් ධර්ම කෙනෙකුන් තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට පවසා නම්, යම් ධර්ම කෙනෙකුන් කරණ කොට ගෙන තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණ කියන්නට තතනන්නෝ කියන්නාහු නම්,  මේ - ගැඹුරු  වු, සර්වඥ බුදු කෙනෙකුන් විසින් ම විනා සෙස්සවුන් විසින් නොදැක්ක හැකි වු, සෙස්සන්වුන් විසින් අවබෝධ නො කට හැකි වූ, ශාන්ත වූ, ප්‍රණීත වු, තර්කයෙන් බැස ගත නොහැකි වූ , සියුම් වූ ප්‍රාඥයන් විසින් ම දතහැකි වූ ඒ ධර්මයෝ ය.
                                                                                     
72.මහණෙනි, අපරාන්තකල්පික වු, අනාගත ස්කන්ධපරම්පරාව තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් වරදවා කල්පනා කොට ගත්, ඒ අනාගත ස්කන්ධපරම්පරා කොටස අනුවැ පහළ කොට ගත් දෘෂ්ටි ඇති, ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්හ. ඔහු අනාගත ස්කන්ධපරම්පරා කොටස ඇරැබැ කරුණු සූසාළිසෙකින් නොයෙක් වැදෑරුම් දෘෂ්ටිප්‍රකාශක වචන කියත්. ඒ භවත් මහණබමුණෝත් කුමක් නිසා කිමෙකැ එල්බැ අපරාන්තකල්පික වූවෝ, අපරාන්තය අනුවැ ගිය දෘෂ්ටි ඇත්තෝ සූසාලිස් කරුණෙකින් අපරාන්තය ඇරැබැ නොයෙක් වැදෑරුම් දෘෂ්ටිප්‍රකාශන වචන කියත් ද ? යත්:
 
73.මහණෙනි, උද්ධමාඝාතනික වූ (' මරණින් මතු ආත්මය ඇතැ'යි කියන) ' ඒ ආත්මය සංඥා ඇත්තෙකැ'යි දෘෂ්ටි ගත් ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්හ. ඔහු මරණින් මත්තෙහි වු ආත්මය සංඥා ඇත්තක්හු කොට කරුණු සොළොසකින් පණවත්, ඒ භවත් මහණබමුණෝ කුමක් නිසා කුමක් අරැබැ 'මරණින් මත්තෙහි ආත්මය සංඥියැ' යි දෘෂ්ටි ඇත්තෝ වස්තු සොළොසකින් මරණින් මත්තෙහි ආත්මය සංඥාවත් කොට පණවත් ද? යත්:
      1.කෙනෙක් 'ආත්මය රූපවත් ය, මරණින් මතු නිත්‍ය ය, සංඥා ඇත්තේ යැ'යි පණවත්.
      2.ඇතැම් කෙනෙක් 'ආත්මය රූපවත් නොවේ,  මරණින් මතු නිත්‍ය ය, සංඥා ඇත්තෙකැ'යි පණවත්.
      3.අන් කෙනෙක් 'ආත්මය රූපිත් වේ, අරූපිත් වේ , මරණින් මතු නිත්‍ය ය, සංඥා සහිත යැ' යි පණවත්.
      4.සමහරු 'ආත්මය රූපයක් ඇත්තෙක් ද නොවේ, රූපයක් නැත්තෙක් ද නොවේ, මරණින් මතු නිත්‍ය ය, සංඥා සහිත යැ යි පණවත්.
      5.තවත් කෙනෙක්  ' ආත්මය (එය පැතිරැ ඇති ප්‍රදේශ වශයෙන්) කෙළවරක් ඇත්තෙක, එහෙත් මරණින් මතු නිත්‍ය ය, සංඥා සහිත යැ'යි පණවත්.
      6.තවත් කෙනෙක් ' ආත්මය (පැතිරැ පැවැති ප්‍රදේශ වශයෙන්) කෙළෙවරක් නැත්තෙක,  මරණින් මතු නිත්‍ය ය, සංඥා සහිතයැ'යි පණවත්. 
      7.අන් කෙනෙක් ' ආත්මය (උඩු යැටි දෙදිගින්) සීමාසහිත ය, සරසින් සීමා රහිත ය, මරණින් මතු නිත්‍ය ය සසංඥයැ' යි පණවත්.
      8.අන් කෙනෙත් 'ආත්මය (ප්‍රදේශ වශයෙන්) සීමාවක් ඇත්තෙක් ද නොවේ  ‍නැත්තෙක් ද නොවේ, මරණින් මතු නිත්‍ය ය, සසංඥ යැ'යි පණවත්.
      9.සමහරු ආත්මය ඒකාකාර සංඥා ඇත්තේ ය, මරණින් මතු නිත්‍ය ය. සසංඥ යැ යි පණවත්.
     10.සමහරු 'ආත්මය නානා විධ සංඥා ඇත්තේ ය මරණින මතු නිත්‍ය ය, සසංඥ යැ'යි පණවත්.
     11.සමහරු 'ආත්මය ප්‍රමාණ වශයෙන් නොමහත් සංඥා ඇත්තෙක, මරණින් මතු නිත්‍ය ය, සසංඥ යැ'යි පණවත්.
     12.සමහරු 'ආත්මය අප්‍රමාණසංඥා ඇත්තෙක, මරණින් මතු නිත්‍ය ය, සසංඥ යැ'යි පණවත්
     13.ඇතැම්හු  'ආත්මය ඒකාන්ත සැප ඇත්තෙක, මරණින් මතු නිත්‍ය ය, සසංඥ යැ 'යි පණවත්.
     14.ඇතැම්හු 'ආත්මය ඒකාන්ත දුක් ඇත්තේ ය, මරණින් මතු නිත්‍ය ය , සසංඥ යැ' යි පණවත්.
     15.සමහර කෙනෙක් 'ආත්මය සුව ද දුක් ද ඇත්තෙක, මරණින් මතු නිත්‍ය ය,  සසංඥ යැයි පණවත්.
     16.සමහරු 'ආත්මය සුවද දුක් ද යන දෙකම නැත්තෙක ,මරණින් මතු නිත්‍ය ය, සසංඥ යැ 'යි පණවත්.
 
74.මහණෙනි, ' මරණින් මතු ආත්මය ඇතැයි එය සසංඥ යැ' යි දෘෂ්ටි ගත්  ඒ මහණබමුණෝ මේ සොළොස් කරුණින් මරණින් මතු සංඥා සහිත වු ආත්මයක් පණවත්.
මහණෙනි, යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ 'මරණින් මතු සංඥා සහිත ආත්මයක් ඇතැ' යි දෘෂ්ටි ගත්තෝ සංඥා ඇති ආත්මයක් පණවත් ද, ඒ සියල්ලෝ ම මේ වස්තු සොළසින් ම හෝ මොවුන් අතුරෙන් එක්තරා වස්තුවෙකින් හෝ එය පණවත්. මෙයින් පිටත් කරුණෙක් ඔවුනට නැත.
 
75.මහණෙනි, 'මේ දෘෂ්ටිස්ථානයෝ මෙසේ ගන්නා ලද්දෝ, මෙසේ පරාමෘෂ්ට වූවෝ, මෙබඳු විපාක ගති ඇත්තෝ, මෙබඳු පරලොව් ඇත්තෝ  වන්නාහ ' යි ඒ කාරණය තථාගත තෙමේ දනී. තථාගත තෙමේ එයත් දනී. එයින් වැඩි තරම් දෑත් දනී. හේ ඒ තමාගේ දැන් ම ද තෘෂ්ණාදීන් දැඩි කොට නොගනී. එසේ දැඩි කොට නොගන්නා ඔහු විසින් තමා ම කෙලෙස් නිවීම දන්නා ලද්දේ ය. (අන් තොටුවෝ යම් සැප වේදනා පතා දෘෂ්ටි ගනිත් නම් ඔවුන්ගේ ඒ ) වේදනාවන්ගේ හට ගැන්ම ද විනාශය ද ආශ්වාදය ද  ආදීනවය ද නිශ්සරණය ද තත් වු පරිදි දැනීමෙන් ඒ තථාගත තෙමේ උපාදාන රහිත වැ මිදුණේ වෙයි.
 
76.මහණෙනි, තථාගත තෙමේ යම් ධර්ම කෙනෙකුන් තෙමේ ම දැන පසක් කොට පවසා නම්, යම් ධර්ම කෙනෙකුන් කරණ කොට ගෙන තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණය මොනවට කියන්නට තැත් කරනුවෝ කියන්නෝ නම්, මේ ඒ  ගැඹුරු වූ දූදීර්ශ වු දුරනුබෝධ වු ශාන්ත වු ප්‍රණීත වු අතර්කාවචර වූ ,නිපුන වූ පණ්ඩිතවේද්‍ය වු ධර්මයෝ ය.
                                                                        
                                                                                 දෙවෙනි බණවර නිමියේ ය.
 
77.මහණෙනි, උද්ධමාඝාතනික අසඤ්ඤීවාද ඇති (මරණින් මතු ආත්මය අසංඥි යැයි පණවන) ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්තාහ. ඔහු මරණින් පසු සංඥාරහිත ආත්මයක් කරුණු අටෙකින් පණවත්. ඒ භවත්හු කුමක් නිසා කුමක් ඇරැබැ උද්ධමාඝාතනික අසංඤ්ඤීවාද ඇත්තෝ මරණින් පසු සංඥාරහිත ආත්මයක් කරුණු අටෙකින් පණවත් ද? යත්  :
 
78.මහණෙනි,
     1. ඇතැම්හු "ආත්මය රූපවත් ය, මරණින් පසු නො බිඳෙන්නේ ය  හෙවත් නිත්‍ය ය, අසංඥී යැ "යි පණවත්.
     2. ඇතැම් කෙනෙක් "ආත්මය අරූපී ය, මරණින් පසු නිත්‍ය ය, අසංඥී යැ "යි පණවත්.
     3. ඇතැම්හු "ආත්මය රූපවත් ද රූපරහිත ද වෙයි, මරණින් පසු නිත්‍ය ය, අසංඥී ය"යි පණවත්.
     4. ඇතැම්හු "ආත්මය රූපවත් ද නොවේ, අරූපී ද නො වේ, මරණින් පසු නිත්‍ය ය අසංඥී යැ" යි පණවත්.
     5. සමහරු "ආත්මය අන්තයක් ඇත්තේ වෙයි, මරණින් පසු නිත්‍ය ය, අසංඥී ය " යි පණවත් .
     6. සමහරු "ආත්මය අන්තයක් අන්තරහිතය යැයි, මරණින් පසු නිත්‍ය ය, අසංඥී ය"යි පණවත්.
     7.සමහරු "ආත්මය අන්තවත් ද  ,අනන්ත ද වේ,  මරණින් පසු නිත්‍ය ය, අසංඥී යැ "යි පණවත්.
     8.සමහරු  "ආත්මය අන්තවත් ද නොවේ, අනන්ත ද නොවේ, මරණින් පසු නිත්‍ය ය, අසංඥීයැ "යි පණවත්.
 
79.මහණෙනි, උද්ධමාඝාතනික  අසඤ්ඤීවාද ඇති ඒ මහණබමුණෝ මේ  අට කරුණින් මරණින් මතු සංඥා රහිත අත්මයක් පණවත්. මහණෙනි, යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් උද්ධමාඝාතනික අසංඤ්ඤීවාද ඇත්තෝ මරණින්  මතු අසංඥී ආත්මයක් පණවන්නෝ නම්, ඒ සියල්ලෝ ම මේ අට කරුණකින් ම හෝ මොවුන් අතුරෙන් එක්තරා කරුණෙකින් හෝ එය පණවත්. මෙයින් පිටත් කරුණෙක් ඔවුනට නැත.
 
80.මහණෙනි, තථාගත බුදුහුගේ ඇති පරිදිම වු ගුණය මොනවට කියනු කැමැත්තෝ කියන්නාහු නම්, .... මේ ඒ ගැඹුරු වූ දුදීර්ශ වූ...කරුණු යි.
 
81.මහණෙනි, උද්ධමාඝාතනික නේවසඤ්ඤිනාසඤ්ඤී  වාද ඇති ඇතැම් මහණබමුණු කෙනෙක් මරණින් මතු සංඥා නොමැති වූත් අසංඥ නොවූත් ආත්මයක් අට කරුණෙකින් පණවත්.
ඒ භවත් මහණබමුණෝ කුමක් නිසා, කුමක් අරමුණු කොට, උද්ධමාඝාතනික නේවසඤ්ඤිනාසඤ්ඤීවාද ඇත්තෝ, මරණින් මතු අසංඥත් නො වූ සසංඥත් නො වූ ආත්මයක් අට කරුණෙකින් පණවත් ද? යත්:
 
82. 1. "ආත්මය රූපවත් වේ, මරණින් මතු නිත්‍ය ය, අසංඥත් නො ම වේ, සසංඥත් නො වේ යැ " යි. සමහරු පණවත්.
       2.සමහරු "ආත්මය අරූපී වේ, මරණින් මතු නිත්‍ය ය, සසංඥ ද අසංඥ ද නො වේ යැ " යි පණවත්.
       3.සමහරු "ආත්මය රූපීත් අරූපිත් වේ, මරණින් මතු නිත්‍ය ය, සසංඥත් අසංඥත් නො ම වේ යැ" යි පණවත්.
       4.සමහරු "ආත්මය රූපී ම ද අරූපී ම ද නොවේ, මරණින් මතු නිත්‍ය ය, සසංඥ ම ද අසංඥ ම ද නොවේ යැ" යි පණවත්.
       6. සමහරු "ආත්මය සසීම (සීමාසහිත) වේ, මරණින් මතු නිත්‍ය ය, සසංඥ ද අසංඥ ද නො ම වේ යැ" යි පණවත්.
       7.සමහරු "ආත්මය සසීම ද අසීම ද නොවේ, මරණින් මතු නිත්‍ය ය, සසංඥ ද අසංඥ ද නො ම වේ යැ" යි පණවත්.
       8. සමහරු "ආත්මය සීමාසහිත මත් නොවේ සීමා රහිත මත් නොවේ, මරණින් මතු නිත්‍ය ය, සසංඥත් අසංඥත් නොම වේ යැ "යි පණවත්.
 
 
83.මහණෙනි, උද්ධමාඝාතනික නෙවසඤ්ඤීනාසඤ්ඤීවාද ඇති, ඒ මහණබමුණෝ මේ අට කරුණකින් මරණින් මතු සසංඥ ද අසංඥ ද නොවූ ආත්මයක් පණවත්. මහණෙනි, යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික නේවසඤ්ඤීනාසඤ්ඤීවාද ඇත්තෝ, මරණින් මතු සංඥා සහිත ම නො වූත් සංඥා රහිත ද නොවූත් ආත්මයක් පණවන්නෝ නම්, ඒ සියල්ලෝ මේ අට කරුණින් ම හෝ මොවුන් අතුරෙන් එක්තරා කරුණෙකින් හෝ එය පණවත්. මෙයින් පිටත්හී කරුණක් ඔවුනට නැත.
 
84.මහණෙනි, 'මේ දෘෂ්ටිස්ථානයෝ මෙසේ ගන්නා ලද්දෝ, මෙසේ පරාමෘෂ්ට වූවෝ, මෙබඳු විපාක ගති ඇත්තෝ, මෙබඳු පරලොව් ඇත්තෝ වන්නාහ ' යි ඒ කාරණය තථාගත තෙමේ දනී. තථාගත තෙමේ එයත් දනී. එයින් වැඩි තරම් දෑත් දනී. හේ ඒ තමාගේ දැන් ම ද තෘෂ්ණාදීන් දැඩි කොට නොගනී. එසේ දැඩි කොට නොගන්නා ඔහු විසින් තමා ම කෙලෙස් නිවීම දන්නා ලද්දේ ය. (අන් තොටුවෝ යම් සැප වේදනා පතා දෘෂ්ටි ගනිත් නම් ඔවුන්ගේ ඒ ) වේදනාවන්ගේ හට ගැනීම ද විනාශය ද ආශ්වාදය ද  ආදීනවය ද නිශ්සරණය ද තත් වු පරිදි දැනීමෙන් ඒ තථාගත තෙමේ උපාදාන රහිත වැ මිදුණේ වෙයි.
මහණෙනි, තථාගත තෙමේ යම් ධර්ම කෙනෙකුන් තෙමේ ම දැන පසක් කොට පවසා නම්, යම් ධර්ම කෙනෙකුන් කරණ කොට ගෙන තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණය මොනවට කියන්නට තැත් කරනුවෝ කියන්නෝ නම්, මේ ඒ  ගැඹුරු වූ දූදීර්ශ වු දුරනුබෝධ වු ශාන්ත වු ප්‍රණීත වු අතර්කාවචර වූ පණ්ඩිතවේද්‍ය වු ධර්මයෝ ය.
                                                                                           
85.මහණෙනි, උච්ඡේදදෘෂ්ටික වූ ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්හ. ඔහු විද්‍යාමාන වූ සත්ත්වයාගේ මුලසුන් වීම, විනාශය, භව විගමය, කරුණු සතෙකින් පණවත්.  ඒ භවත් මහණ බමුණෝ කුමක් නිසා කුමක් කරණ කොට උච්ඡේදදෘෂ්ටික වූවෝ ඇති සත්හුගේ සීඳීම් , වැනැස්ම, නො පැවැත්මට පැමිණීම සත් කරුණෙක් පණවත් ද? යත්:
 
86.මහණෙනි, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වේ. (කෙසේ ද යත්:) "පින්වත, යම් හෙයකින් මේ ආත්මභාවය රුපවත් ද,  සතර මහා භූතයන්ගෙන් නිපන්නේ වේ ද, මාපියන්ගේ ශුක්‍රශෝනිතයෙන් හටගත්තේ වේද, කරජ කය බිඳීමෙන් මරණින් මතු සිඳේ ද , වැනසේ ද , මරණින් මත්තෙහි නොවේ ද, පින්වත, මේ පමණෙකින් ම මේ ආත්මභාවය මුළු මනින් ම සිඳී ගියේ වේ" යනුයි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය පණවත්.
 
87.ඔහුට අනෙකෙක් මෙසේ කිය යි:  "භවත, තා කියන ඒ ආත්මය ඇත්තේ ම ය. එය නැතැ යි නො කියමි. භවත මේ ආත්මය මෙතෙකින් මුළු මනින් සුන් නොවේ. භවත රූපී වූ කාමාවචර දෙවලෝ සයට ඇතුලත්, කබලීකාර ආහාර වළඳන දිව්‍ය වු අන් ආත්මයෙක් ඇත. තෝ එය නො දනී. නො දකී. එය මම් දනිමි, දකිමි. භවත, එකී දිව්‍යාත්මය යම් හෙයෙකින් කය බිඳීමෙන් මරණින් මතු සිඳී යන්නේ ද, වැනසෙන්නේ ද, මරණින් මතු නොවන්නේ ද,  මෙ පමණින් ම මේ ආත්මය මුළුමනින් සුන් වේ"  යනු යි. මෙසේ සමහරු විද්‍යාමාන වූ සත්ත්වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය පණවත්.
 
88.ඔහුට අනෙකෙක් මෙසේ කියයි: "භවත, තා කියන මේ ආත්මය ඇත්තේ  ම ය. මෙය නැතැයි නො කියමි. භවත, මේ ආත්මය මෙතෙකින් මුළු මනින් සුන් නො වෙයි. භවත, රූපී වූ(ධ්‍යාන) සිතින් උපන්, සියලු අඟපසඟ ඇති, නො පිරිහුණු ඉඳුරන් ඇති, දිව්‍ය වූ අන් ආත්මයෙක් ඇත්තේ ම ය. එය තෝ නො දනී. නො දකී. එය මම් දනිමි, දකිමි. භවත, ඒ ආත්මය යම් හෙයෙකින් ඒ කය බිඳීමෙන් සිඳීයේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, භවත, එතෙකින් ම මේ ආත්මය මුළු මනින් සුන් වූයේ වේ" යනුයි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය පණවත්.
 
89.ඔහුට අනෙකෙක් මෙසේ කියයි:  "භවත තා කියන මේ ආත්මය ඇත්තේ ම ය. එය නැතැයි නො කියමි. එතෙකුදු වුවත් මේ ආත්මය මෙතෙකින් මුළු මනින් සුන් නො වේ. භවත, හැම ලෙසින් ම රූප සංඥා ඉක්මීමෙන්, ප්‍රතිඝසංඥා නිරුද්ධ වීමෙන්, නානාත්වසංඥා නො මෙනෙහි කිරීමෙන්, 'අහස අනන්ත යැ' යි ධ්‍යාන වඩා ආකාශානන්තායතන භූමියට පැමිණි අන්‍ය ආත්මයෙක් ඇත. එය තෝ  නො දනී, නො දකී. එය මම් දනිමි, දකිමි. භවත, එ කී ආත්මය වනාහී ඒ (නාම ) කය බිඳීමෙන් සිඳී යේ, වැනසේ, මරණින් මතු නො වේ. යනු යි. මෙසේ සමහරු විද්‍යාමාන වූ සත්ත්වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය, පණවත්.
 
90.ඔහුට අනෙකෙක් මෙසේ කියයි:  "භවත, තා කියන මේ ආත්මය ඇත්තේ ම ය,  එය නැත්තේ යැ යි නො කියමි. භවත එතෙකුදු වුවත් මේ ආත්මය මෙතෙකින් මුල්සුන් නො වෙයි. භවත, හැම ලෙසින් ම අනන්ත ආකාශ අරමුණු ඉක්මැ 'විඥානය අනන්තයැ' යි සමාධි වඩා විඥානන්තායතනභූමියට පැමිණැ සිටින අන් ආත්මයෙක් ඇත. තෝ එය නො දනී. නො දකී.  එය මම් දනිමි, දකිමි. භවත, එකී ආත්මය යම් හෙයකින් ඒ (නාම) කය බිඳී යෑමෙන් මුල් සිඳී යේ ද, වැනසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, භවත, මෙතෙකින් මේ ආත්මය මුළු මනින් සුන් වේ" යනු යි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය පණවත්.
 
91.ඔහුට අනෙකෙක් මෙසේ කියයි:  "භවත, තා කියන ඒ ආත්මය ඇත්තේ ම ය. එය නැත්තේ යැ යි නො කියමි. භවත, එතෙකුදු වුවත් ඒ ආත්මය මෙතෙකින් මුළු මනින් සුන් නො වේ. භවත හැම ලෙසින් විඥානන්තායතනය ඉක්මැ, 'කිසිත් නැතැ' යි  සමාධි වඩා ආකිඤ්චන්‍යායතනභූමියට පැමිණ සිටින අන්‍ය ආත්මයෙක් ඇත. එය තෝ නො දනී. නො දකී. එය මම් දනිමි,  දකිමි. භවත, ඒ ආත්මය ඒ නාම කය බිඳීමෙන් සිඳෙන බැවින්, වැනැසෙන බැවින්, මරණින් මත්තෙහි නො වන බැවින් භවත, මෙතෙකින් මේ ආත්මය මුළුමනින් සුන් වේ" යනුයි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්වයාගේ උච්ඡේදය, විනාශය භවවිගමය පණවත්.
 
92.ඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත තා කියන ඒ ආත්මය ඇත්තේ ම ය. එය නැතැයි නොකියමි. වැලි දු භවත, මේ ආත්මය මෙතෙකින් මුළුමනින් සුන් නොවේ. භවත, හැම පරිද්දෙන් ආකිංචන්‍යායතනය ඉක්මැ, මෙය ශාන්තය මෙය උතුමැ යි සමාධි වඩා නේවසංඥනාසංඥභූමියට පැමිණ සිටින අන්‍ය ආත්මයෙක් ඇත්තේ ම ය. එය තෝ නො දනී. නො දකී. එය මම් දනිමි, දකිමි. භවත ඒ ආත්මය ඒ නාම කය බිඳීමෙන් සිඳී යන බැවින්, වැනසෙන බැවින්, මරණින් මත්තෙහි නොවන බැවින් මෙතෙකින් ම, භවත, මේ ආත්මය මුළුමනින් සුන් වේ.  යනු යි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය, පණවත්.
 
93.මහණෙනි, ඒ මහණබමුණෝ උච්ඡේදදෘෂ්ටි ඇත්තෝ මේ කරුණු සතෙකින් විද්‍යාමාන සත්ත්වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය පණවත්. මහණෙනි, යම් උච්ඡේදදෘෂ්ටික මහණබමුණු කෙනෙක් විද්‍යාමාන සත්ත්වයාගේ උච්ඡේදය, විනාශය, විභවය, පණවත් නම් ඒ සියල්ලෝ මේ කරුණු සතින් ම හෝ මොවුනතුරෙන් එක්තරා කරුණෙකිනහෝ එය පණවත්. මෙයින් පිටත කරුණෙක් ඔවුනට නැත.
 
94.මහණෙනි, 'මේ දෘෂ්ටිස්ථානයෝ මෙසේ ගන්නා ලද්දෝ, මෙසේ පරාමෘෂ්ට වූවෝ, මෙබඳු විපාක ගති ඇත්තෝ, මෙබඳු පරලොව් ඇත්තෝ වන්නාහ' යි ඒ කාරණය තථාගත තෙමේ දනී. තථාගත තෙමේ එයත් දනී. එයින් වැඩි තරම් දෑත් දනී. හේ ඒ තමාගේ දැන් ම ද තෘෂ්ණාදීන් දැඩි කොට නොගනී. එසේ දැඩි කොට නොගන්නා ඔහු විසින් තමා ම කෙලෙස් නිවීම දන්නා ලද්දේ ය. (අන් තොටුවෝ යම් සැප වේදනා පතා දෘෂ්ටි ගනිත් නම් ඔවුන්ගේ ඒ ) වේදනාවන්ගේ හට ගැනීම ද විනාශය ද ආශ්වාදය ද  ආදීනවය ද නිශ්සරණය ද තත් වු පරිදි දැනීමෙන් ඒ තථාගත තෙමේ උපාදාන රහිත වැ මිදුණේ වෙයි.
 
95.මහණෙනි, දෘෂ්ටධර්මනිර්වාණදෘෂ්ටි ගත් සමහර මහණබමුණු කෙනෙක් ඇත්හ. ඔහු  විද්‍යාමාන සත්ත්වයාගේ පරමදෘෂ්ටධර්මනිර්වාණය කරුණු පසෙකින් පණවත්. ඒ භවත් මහණ බමුණෝ කුමක් නිසා කුමක් ඇරැබැ දෘෂ්ටධර්මනිර්වාණදෘෂ්ටි ගත්තෝ විද්‍යාමන සත්ත්වයාගේ පරමදෘෂ්ටධර්මනිර්වාණය කරුණු පසෙකින් පණවත් ද? යත්:
 
96.මහණෙනි මෙහි එක්තරා මහණෙක් හෝ බුමුණෙක් හෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙයි. (කෙසේ ද ? යත්:)  භවත, යම් හෙයකින් මේ අත්බව පස්කම්කොටසින් සමර්පිත වැ (මොනවට පිහිටා, ඇලී), සමන්විත වැ ඉඳුරන් පිණවා ද, භවත, මෙතෙකින් ම මේ ආත්මය පරමදෘෂ්ටධර්මනිර්වාණය ලැබුයේ වෙයි යනුයි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්වයා පිළිබඳ පරමදෘෂ්ටධර්මනිර්වානය පණවත්.
 
97.ඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තා කියන මේ ආත්මය ඇත්තේ ම ය. එය නැතැයි නොකියමි. එතෙකුදු වුවත්, භවත එය මෙතෙකින් පරමදෘෂ්ටධර්මනිර්වාණයට පැමිණියේ නො වෙයි. ඒ කවර හෙයින ? යත්: භවත පස්කම්හු වූ කලී අනිත්‍ය හ, දුක් හ, පෙරැළෙන සුලු හ, ඔවුන්ගේ පෙරැලීමෙන්, අන් පරිද්දකින් වීමෙන් හෝ හැඬුම් වැලැපුම්, දුක් දොම්නස්, සිත තුළෑ දැඩී පෙළුම් උපදී. භවත යම් විටෙක මේ ආත්මය කාමයන්ගෙන් වෙන් ව ම අකුසල දහමුන්ගෙන් වෙන ව ම, විතර්කසහිත විචාරසහිත, විවේකයෙන් උපන් ප්‍රීතියත් සුවයත් ඇති ප්‍රථමධ්‍යානයට ලැබ වෙසේ ද, භවත මේ පමණෙකින් ම මේ ආත්මය පරමදෘෂ්ටධර්මනිර්වාණය ලැබුයේ වේ. යනුයි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්වයාගේ පරමදෘෂ්ටධර්මනිර්වාණය පණවත්.
 
98.ඔහුට අනෙකෙක් මෙසේ කිය යි: භවත තා කියන මේ ආත්මය ඇත්තේ ම ය. මෙය නැතැයි නො කියමි. එතෙකුදු වුවත්, භවත, මේ ආත්ම ය, මෙතෙකින් පරමදෘෂ්ටධර්මනිර්වාණය ලැබුයේ නො වෙයි. ඒ කවර හෙයින? යත්: යම් බඳු වූ ම විතර්කයෙක් විචාරයෙක් වේද , එයින් මෙය ඖදාරික වැ වැටහෙයි එහෙත් යම් විටෙක මේ ආත්මය විතර්කවිචාරයන්ගේ සංසීඳීමෙන් සිය සිත්සතන් වෙසෙසින් පහදවන, සිතැ එකඟ බව ඇති, විතර්ක විචාර රහිත, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුවය ඇති දෙවෙනි ධ්‍යානය ලැබ වෙසේ ද, භවත මෙ පමණකින් මේ ආත්මය පරමදෘෂ්ටධර්මනිර්වාණය ලැබුයේ වේ. යනුයි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්වයාගේ පරමදෘෂ්ටධර්මනිර්වාණය පණවත්.
 
100.ඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තා කියන මේ ආත්මය ඇත්තේ ම ය. මෙය නැතැයි නොකියමි. එහෙත් භවත මේ ආත්මය මෙතෙකින් පරමදෘෂ්ටධර්මනිර්වාණය ලැබුයේ නො වේ. ඒ කවර හෙයින? යත්: එහි සුව යැ යි(ධ්‍යානයෙන් නැගී සිටියහුගේ ඒ සුවයෙහි) සිතේ නැමුණුබවෙක් වේ ද, මෙයින් මේ ධ්‍යාන ඖදාරික වැ (දළ වැ) වැටහේ. භවත යම් විටෙක වනාහී මේ ආත්මය සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුක්ඛයාගේ ද ප්‍රහාණයෙන්, පළමුවෙන් ම (කලින් ම) සොම්නස් දොම්නස් දුරු වී යෑමෙන්, දුක් නැති සුව නැති උපෙක්ෂාස්මෘති දෙකේ පිරිසිදු බව ඇති, සිව්වන ධ්‍යානය ලැබ වෙසේ ද, භවත මෙතෙකින් ම මේ ආත්මය පරමදෘෂ්ටධර්මනිර්වාණය ලැබුයේ වේ. යනුයි මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්වයාගේ පරමදෘෂ්ටධර්මනිර්වාණය පණවත්.
 
101.මහණෙනි, ඒ මහණබමුණෝ දෘෂ්ටධර්මනිර්වාණ වාද ඇත්තෝ මේ කරුණු පසින් විද්‍යාමාන සත්ත්වයෝ පරමදෘෂ්ටධර්මනිර්වාණය පණවත්.
මහණෙනි, යම් මහණකෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ දෘෂ්ටධර්මනිර්වාණවාද ඇත්තෝ විද්‍යාමාන සත්ත්වයාගේ පරමදෘෂ්ටධර්මනිර්වාණය පණවත් නම්, ඒ සියල්ලෝ මේ කරුණු පසින් ම  හෝ මොවුනතුරෙන් එක්තරා කරුණෙකින් හෝ එය පණවත්. මෙයින් පිටත් හී කරුණෙක් ඔවුනට නැත.
 
102.මහණෙනි, 'මේ දෘෂ්ටිස්ථානයෝ මෙසේ ගන්නා ලද්දෝ, මෙසේ පරාමෘෂ්ට වූවෝ, මෙබඳු විපාක ගති ඇත්තෝ, මෙබඳු පරලොව් ඇත්තෝ වන්නාහ' යි ඒ කාරණය තථාගත තෙමේ දනී. තථාගත තෙමේ එයත් දනී. එයින් වැඩි තරම් දෑත් දනී. හේ ඒ තමාගේ දැන් ම ද තෘෂ්ණාදීන් දැඩි කොට නොගනී. එසේ දැඩි කොට නොගන්නා ඔහු විසින් තමා ම කෙලෙස් නිවීම දන්නා ලද්දේ ය. (අන් තොටුවෝ යම් සැප වේදනා පතා දෘෂ්ටි ගනිත් නම් ඔවුන්ගේ ඒ ) වේදනාවන්ගේ හට ගැනීම ද විනාශය ද ආශ්වාදය ද  ආදීනවය ද නිශ්සරණය ද තත් වු පරිදි දැනීමෙන් ඒ තථාගත තෙමේ උපාදාන රහිත වැ මිදුණේ වෙයි.
මහණෙනි, තථාගත තෙමේ යම් ධර්ම කෙනෙකුන් තෙමේ ම දැන පසක් කොට පවසා නම්, යම් ධර්ම කෙනෙකුන් කරණ කොට ගෙන තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණය මොනවට කියන්නට තැත් කරනුවෝ කියන්නෝ නම්, මේ ඒ  ගැඹුරු වූ දූදීර්ශ වු දුරනුබෝධ වු ශාන්ත වු ප්‍රණීත වු අතර්කාවචර වූ පණ්ඩිතවේද්‍ය වු ධර්මයෝ ය.
 
103.මහණෙනි. ඒ මහණබමුණෝ අපරාන්තකල්පික වූවෝ (තෘෂ්ණාදෘෂ්ටි) වශයෙන් අනාගත ස්කන්ධ කොටස කල්පනා කොට ගත් ලබ්ධි ඇත්තෝ), අපරාන්තය  (අනාගත ස්කන්ධ කොටස) අනුව ඇති කැරැ ගත් දෘෂ්ටි ඇත්තෝ මේ කරුණු සූසාළිසෙකින් අනාගත ස්කන්ධ කොටස අරමුණු කොට අනේකවිධ අධ්‍යුක්තිපද (දර්ශනවාදප්‍රකාශකවචන) කියත්. මහණෙනි, යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ අපරාන්තකල්පික වූවෝ අපරාන්තානුදෘෂ්ටික වූවෝ අපරාන්තය (අනාගත ස්කන්ධ කොසට) අරමුණු කොට දර්හනවාදප්‍රකාශක වචන) කියත් නම්, ඔහු හැම මේ කරුණු සූසාළිසෙන් ම හෝ මොවුනතුරෙන් එක්තරා කරුණෙකින් හෝ එසේ කියත්. මෙයින් පිටත්හි කරුණෙක් ඔවුනට නැත.
 
104.මහණෙනි, 'මේ දෘෂ්ටිස්ථානයෝ මෙසේ ගන්නා ලද්දෝ, මෙසේ පරාමෘෂ්ට වූවෝ, මෙබඳු විපාක ගති ඇත්තෝ, මෙබඳු පරලොව් ඇත්තෝ වන්නාහ' යි ඒ කාරණය තථාගත තෙමේ දනී. තථාගත තෙමේ එයත් දනී. එයින් වැඩි තරම් දෑත් දනී. හේ ඒ තමාගේ දැන් ම ද තෘෂ්ණාදීන් දැඩි කොට නොගනී. එසේ දැඩි කොට නොගන්නා ඔහු විසින් තමා ම කෙලෙස් නිවීම දන්නා ලද්දේ ය. (අන් තොටුවෝ යම් සැප වේදනා පතා දෘෂ්ටි ගනිත් නම් ඔවුන්ගේ ඒ ) වේදනාවන්ගේ හට ගැනීම ද විනාශය ද ආශ්වාදය ද  ආදීනවය ද නිශ්සරණය ද තත් වු පරිදි දැනීමෙන් ඒ තථාගත තෙමේ උපාදාන රහිත වැ මිදුණේ වෙයි.
මහණෙනි, තථාගත තෙමේ යම් ධර්ම කෙනෙකුන් තෙමේ ම දැන පසක් කොට පවසා නම්, යම් ධර්ම කෙනෙකුන් කරණ කොට ගෙන තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණය මොනවට කියන්නට තැත් කරනුවෝ කියන්නෝ නම්, මේ ඒ  ගැඹුරු වූ දූදීර්ශ වු දුරනුබෝධ වු ශාන්ත වු ප්‍රණීත වු අතර්කාවචර වූ පණ්ඩිතවේද්‍ය වු ධර්මයෝ ය.
 
105.මහණෙනි, පුර්වාන්තකල්පික වූ ද අපරාන්තකල්පික වූ ද ඒ මහණබමුණෝ අතීත ස්කන්ධ පරම්පරා කොටස ද අනාගත ස්කන්ධ පරම්පරා කොටස ද අරමුණු කොට මේ කරුණු දෙසැටින් අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන (දෘෂ්ටිවාද හඟවන වචන) කියා පාත්. මහණෙනි, පුර්වාන්තාපරාන්තානුදෘෂ්ටික  ද වූ යම් මහණබමුණුකෙනෙක් පුර්වාන්ත අපරාන්ත දෙක අරමුණු කොට අනේක විධ දෘෂ්ටිප්‍රකාශක වචන කියාපාත් නම්, ඒ සියල්ලෝ ම මේ දෙසැට කරුණින් ම හෝ මොවුනතුරෙන් එක්තරා කරුණෙකින් හෝ එය කියා පාත්. මෙයින් බැහැර කරුණෙක් ඔවුනට නැත.
 
106.මහණෙනි, 'මේ දෘෂ්ටිස්ථානයො මෙසේ ගන්නා ලද්දෝ මෙසේ පරාමෘෂ්ට වූවෝ මෙ බඳු (පරලො වැ ) ගති ඇත්තෝ වන්නාහ. මෙබඳු පරලොව් ඇතියෝ වන්නාහ හැ යි මේ කාරණය තථාගත තෙමේ දනී. එය ද තථාගත තෙමේ දනී. එයින් වැඩි දෑ ද තථාගත තෙමේ දනී. ඒ දැන්ම ද තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් පරාමර්ශනය නො කෙරෙයි. එසේ පරාමර්ශනය නොකරන ඔහු විසින් පරෝපදේශ රහිත වැ තමා කෙරෙහි ම නිර්වාණය දක්නා ලද්දේ ය. වේදනාවන්ගේ ඉපැද් ම ද වැනැස්ම ද රසය ද දොස ද නික්මුම ද තතු වූ පරිදි දැන තථාගත තෙමේ උපාදාන රහිත වැ මිදුණේ වේ.
 
107.මහණෙනි, තථාගත තෙමේ යම් දහම් කෙනෙකුන් තෙමේ ම  වෙසෙසා දැන පසක් කොට ලොවට පවසා ද, යම් දහම් කෙනෙකුන් කරණකොට ගෙන තථාගත බුදුහුගේ ඇති පරිදී ම වූ ගුණ මොනවට කියනු කැමැතියෝ කියන්නාහු ද, මොහු වනාහී ගැඹුරු වූ, දුක් සේ දැක්ක යුතු වූ, දුක් සේ අනුබෝධ කටයුතු වූ, ශාන්ත වු, ප්‍රණීත වු, තර්කයෙන් බැස ගත නොහෙන, සියුම් වූ නුවණැතියන් විසින් දත යුතු වූ ඒ ධර්මයෝ ය.
 
108.මහණෙනි,  එහි (ඒ දෘෂ්ටිවාදීන් අතුරෙහි ) යම් මහණ බමුණු කෙනෙක් ශාශ්වතවාද ඇත්තෝ කරුණු සතරෙකින් ආත්මය ද ලෝකය ද ශාශ්වත කොට පණවත් නම්, එය ද තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණ බමුණන්ගේ විඳීමෙක්, තෘෂ්ණාවට පැමිණි( තෘෂ්ණායෙන් සමන්විත) ඒ දෘෂ්ටිගතිකයන්ගේ (දෘෂ්ටතෘෂ්ණා හුලින් විදුනා ලද බැවින් වූ) පරිත්‍රාසයෙක්, චංචල බවෙක් ම ය.
 
109.මහණෙනි, එහි ඒකත්‍යශාස්වතික වූ ද ඒකත්‍යඅශාශ්වතික  ද වූ යම් මහණබමුණු කෙනෙක් කරුණු සතෙරකින් ආත්මය ද ලෝකය ද එක් කොටසක් ශාස්වතත් එක් කොටසක් අශාශ්වතත් කොට පණවත් නම්, එය ද (එහි තතු) නොදන්නා නොදක්නා ඒ භවත් මහණබමුණන්ගේ විඳීමෙක්, තෘෂ්ණාවට පැමිණි ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, සැලීමෙක්  ම ය.
 
110.මහණෙනි, එහි යම් මහණ බමුණු කෙනෙකු තුමූ අන්තානන්තික වාද ඇත්තෝ ලොව අන්තවත් බව හෝ අනන්තවත්බව සතර කරුණකින් පණවත් ද , එය ද එහි තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණබමුණන්ගේ වේදනාවෙක්, තෘෂ්ණාවට පැමිණි ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, සැලෙනබවෙක් ම ය.
 
111.මහණෙනි, හි යම් මහණබමුණු කෙනෙක් අමාරාවික්ෂේපක වාද ඇත්තෝ ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරන ලදුවෝ සතර කරුණෙකින් වාග් වික්ෂේපයට අමරාවික්ෂේපයට පැමිණෙත් ද, එයත් එහි තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණබමුණන්ගේ විඳීමෙක්, තෘෂ්ණාගත වු ඔවුන්ගේ පරිත්‍රාසයෙක් චංචලතවෙක් ම ය.
 
112.මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් අධිච්චසමුප්පන්නවාද ඇත්තෝ ආත්මයත් ලෝකයත් අධිච්චසමුප්පන්න යැ (හේතු රහිත ව උපනැ) යි කරුණු දෙකෙකින් පණවත් ද, එය ද එහි තතු නොදන්නා නොදක්නා   ඒ භවත් මහණබමුණන්ගේ දෘෂ්ටිවේදනාවෙක්, තෘෂ්ණාගත වු ඔවුන්ගේ පරිත්‍රාසයෙක් චංචලතාවෙක් ම ය.
 
113.මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් පුර්වාන්තකල්පික වූවෝ, පුර්වාන්තානුදෘෂ්ටික වූවෝ අටළොස් කරුණෙකින් අතීතස්කන්ධපරම්පරා කොටස අරමුණු කොට අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියා පාත් ද, එයත් එහි තතු නොදන්නා නොදක්නා  ඒ භවත් මහණබමුණන්ගේ වේදනාවෙක් ම ය, තෘෂ්ණාගත වු ඔවුන්ගේ පරිත්‍රාසයෙක් සසලබවෙක් ම ය.
 
114.මහණෙනි, යම්  මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික සඤ්ඤීවාද ඇත්තෝ මරණින් මතු සංඥී වූ ආත්මයක් සොළොස් කරුණෙකින් පණවත් ද, එයත්  එහි තතු නොදන්නා නොදක්නා  ඒ භවත් මහණබමුණන්ගේ වේදනාවෙක් ම ය, තෘෂ්ණාගත වු ඔවුන්ගේ පරිත්‍රාසයෙක් විෂ්පන්දනයෙක් ම ය.
 
115.මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික අසංඥීවාද ඇත්තෝ කරුණු අටෙකින් මරණින් මත්තෙහි සංඥාරහිත ආත්මයක් පණවත් ද, එයත් එහි තතු නොදන්නා නොදක්නා  ඒ භවත් මහණබමුණන්ගේ වේදනාවෙක් ම ය, තෘෂ්ණාගත වු ඔවුන්ගේ පරිත්‍රාසයෙක් සසැලුමෙක් ම ය.
 
116.මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික නේවසඤ්ඤීනාසඤ්ඤීවාද ඇත්තෝ කරුණු අටෙකින් සංඥි නොම වූත් අසංඥී නොම වූත් ආත්මයක් පණවත් ද, එයත් එහි තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණබමුණන්ගේ වේදනාවෙක් ම ය. තෘෂ්ණාගත වූ ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, විෂ්පන්දනයෙක් ම ය.
 
117.මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් උච්ඡේදවාදී වූවෝ විද්‍යාමාන වු සත්ත්වයාගේ උච්ඡේදය , විනාශය, භවවිගමය, කරුණු සතෙකින් පණවත් ද, එයත් එහි තතු නොදන්නා නොදක්නා  ඒ භවත් මහණබමුණන්ගේ වේදනාවෙක් ම ය, තෘෂ්ණාගත වු ඔවුන්ගේ පරිත්‍රාසයෙක් විෂ්පන්දනයෙක්  ම ය.
 
118.මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් දෘෂ්ටධර්මනිර්වාණවාද ඇත්තෝ විද්‍යාමාන සත්ත්වයාගේ පරමදෘෂ්ටනිර්වාණය කරුණු පසෙකින් පණවත් ද, එයත් එහි තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණ බමුණනගේ වේදනාවෙක් ම ය. තෘෂ්ණොපගත වූ ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, චංචලතාවෙක් ම ය.
 
119.මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් අපරාන්තකල්පික වූවෝ, අපරාන්තානුදෘෂ්ටික වූවෝ කරුණු සූසාළිසෙකින් අනාගත ස්කන්ධ පරම්පරා කොටස ඇරැබැ අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියා පාත් ද , එයත් එහි තතු නොදන්නා නොදක්නා ඒ භවත්  මහණබමුණන්ගේ වේදනාවෙක් ම ය. තෘෂ්ණොපගත වූ ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, චංචල බවෙක් ම ය.
 
120.මහණෙනි, එහි පූර්වාන්තකල්පික වූ ද, අපරාන්තකල්පික වූ ද, පුර්වාන්තාපරාන්තකල්පික වූ ද පූර්වාන්තාපරාන්තදෘෂ්ටික වූ ද, යම් මහණබමුණු කෙනෙක් දෙසැටක් කරුණින් පුර්වාන්ත අපරාන්ත දෙක අරමුණු කොට අනේක විධ දෘෂ්ටිප්‍රකාශක වචන කියා පාත් නම්, එය ද එහි තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණ බමුණන්ගේ වේදනාවෙක් ම ය. තෘෂ්ණෝපගත වූ ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, විෂ්පන්දනයෙක් ම ය.
 
121.මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් ශාශ්වතදෘෂ්ටි ඇත්තෝ සතර  කරුණෙකින් ආත්මයත් ලෝකයත් ශාස්වත කොට පණවත් ද, (එසේ පැණවීමට කරුණු වු) ඒ (දෘෂ්ට්‍යාස්වාද) වේදනාව ද (ෂඩායතනයන් නිසා සිතැ උපදනා) ස්පර්ශයාගේ ප්‍රත්‍යයයෙන් වේ.
 
122.මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් ඒකත්‍යශාශ්වතික ද එකත්‍යඅශාශ්වතික ද වුවෝ ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත ද, එක් කොටසක් අශාශ්වත ද කොට කරුණු සතරෙකින් පණවත් නම්, එයට කරුණු වූ ඒ වේදනා ව ද, සපර්ශප්‍රත්‍යයයෙන් වේ.
 
123.මහණෙනි, එහි යම් මහණ බමුණු කෙනෙක් අන්තානන්තිකවාද ඇත්තෝ ලෝකය පිළිබඳ සසීම අසීම බව කරුණු සතරෙකින් පණවත් ද, එයට කරුණු වූ දෘෂ්ටිවේදනාව ද ස්පර්ශප්‍රත්‍යයයෙන් වේ.
 
124.මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් අමරාවිකේෂපක වූවෝ ඒ ඒ කරුණෙහි ප්‍රශ්ණ විචාරන ලදුවෝ ම සතර කරුණෙකින් වාග්වික්ෂේපයට අමරාවික්ෂේපයට පැමිණෙත් ද, එයට කරුණු වූ දෘෂ්ටිවේදනාව ද ස්පර්ශප්‍රත්‍යයයෙන් ම වේ.
 
125.මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් අධිච්චසමුප්පන්නික වූවෝ ආත්මයත් ලෝකයත් ඉබේ ම පහළ වූවන් කොට කරුණු දෙකෙකින් පණවත් ද, එසේ පැණැවීමට කරුණු වූ දෘෂ්ටිවේදනාව ද සපර්ශප්‍රත්‍යයයෙන් වේ.
 
126.මහණෙනි, එහි යම් මහණ බමුණු කෙනෙක් පුර්වාන්තකල්පික වූවෝ පූර්වානානුදෘෂ්ටික වූවෝ පුර්වාන්තය අරමුණු කොට අටළොස් කරුණෙකින් අනේක විධ දෘෂ්ටිප්‍රකාශක වචන කියා පාත් ද , එයට කරුණු වූ දෘෂ්ටිවේදනාව ද ස්පර්ශප්‍රත්‍යයයෙන්  වේ.
 
127.මහණෙනි, එහි යම් මහණ බමුණු කෙනෙක් උද්ධමාඝාතනික සඤ්ඤීවාද ඇත්තෝ, මරණින් මත්තෙහි සොළොස් කරුණෙකින් සංඥාවත් වු ආත්මය පණවත් ද, එයට කරුණු වූ දෘෂ්ටිවේදනාව ද ස්පර්ශප්‍රත්‍යයයෙන්  වේ.
 
128.මහණෙනි එහි යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික අසංඥීවාද ඇත්තෝ මරණින් මත්තෙහි සඥාරහිත ආත්මයක් කරුණු අටෙකින් පණවත් ද, එයට කරුණු වූ දෘෂ්ටිවේදනාව ද සපර්ශප්‍රත්‍යයයෙන් වේ.
 
129.මහණෙනි,  එහි යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික නේවසඤ්ඤීනාසඤ්ඤීවාද ඇත්තෝ මරණින් මත්තෙහි සඥීත් නො ම වූ අසංඥීත් නො ම වූ ආත්මයක් කරුණු අටෙකින් පණවත් ද, එයට කරුණු වු දෘෂ්ටිවේදනාව ද ස්පර්ශප්‍රත්‍යයයෙන් වේ.
 
130.මහණෙනි,  එහි යම් මහණබමුණු කෙනෙක් උච්ඡේදවාද ඇත්තෝ විද්‍යාමන සත්ත්වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය, කරුණු සතෙකින් පණවත් ද , එයට කරුණු වු දෘෂ්ටිවේදනාව ද ස්පර්ශප්‍රත්‍යයයෙන් වේ.
 
131.මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් දෘෂ්ටධර්මනිර්වාණවාද ඇත්තෝ විද්‍යාමාන සත්ත්වයාගේ පරමදෘෂ්ටධර්මනිර්වාණය පස් කරුණෙකින් පණවත් ද, එයට කරුණු වු දෘෂ්ටිවේදනාව ද ස්පර්ශප්‍රත්‍යයයෙන් වේ.
 
132.මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් අපරාන්තකල්පික වුවෝ, අපරාන්තානුදෘෂ්ටික වූවෝ අපරාන්තය (අනාගත ස්ඛන්ධ පරම්පරා කොටස) ඇරැබැ, කරුණු සූසාළිසෙකින් අනේක විධ දෘෂ්ටිප්‍රකාශක වචන කියා පාත් ද, එයට කාරණ වු දෘෂ්ටිවේදනාව ද ස්පර්ශ ප්‍රත්‍යයයෙන් වේ.
 
133.මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් පුර්වාන්තකල්පික ද , අපරාන්තකල්පික ද පුර්වාන්තාපරන්තකල්පික ද වූවෝ, පූර්වාන්ත අපරාන්ත අනුවැ පහළ කළ දෘෂ්ටි ඇත්තෝ අතීත ස්කන්ධ පරම්පරා කොටසත් අනාගත ස්න්ධ පරම්පරා කොටසත්, අරමුණු කොට දෙසැටක් කරුණු වලින් අනේක විධ දෘෂ්ටිප්‍රකාශක වචන කියත් ද, එයට කරුණු වු දෘෂ්ටි වේදනා ව ද ස්පර්ශප්‍රත්‍යයයෙන් වේ.
 
134.මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් ශාශ්වතදෘෂ්ටික වූවෝ කරුණු සතරෙකින් ආත්මයත් ලෝකයත් ශාශ්වත කොට පණවත් ද, ඔහු වු කලී ඒ දෘෂ්ට්‍යාස්වාදය ස්පර්ශයෙන් තොර වැ විඳින්නාහ යන් මේ කරුණ විද්‍යාමාන නොවේ.
 
135.මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් ඒකත්‍යශාශ්වතික ඒකත්‍යඅශාශ්වතික වූවෝ සතර කරුණෙකින් ආත්මයත් ලෝකයත් කොටසක් ශාශ්වතත් කොටසක් අශාශ්වතත් කොට පණවත් නම්, ඔහු කලී ස්පර්ශයෙන් තොර වැ ඒ දෘෂ්ටාස්වාදය විඳින්නාහ යන මේ කාරණය විද්‍යාමාන නොවේ.
 
136.මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් අන්තානන්තික වාද ඇත්තෝ කරුණු සතරෙකින් ලෝකය පිළිබඳ  සසීම අසීම බව පණවත් ද, ඔහු කලී ස්පර්ශයෙන් තොර වැ ඒ දෘෂ්ටිවේදනාව විඳින්නාහ යන මේ කාරණය විද්‍යාමාන නො වේ.
 
137.මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් අමරාවික්ෂේපක වූවෝ ඒ ඒ විෂයයෙහි ප්‍රශ්න විචාරන ලදුවෝ ම සතර කරුණෙකින් වාග්වික්ෂේපයට අමරාවික්ෂේපයට පැමිණෙත් ද, ඔහු කලී ස්පර්ශයෙන් තොර වැ දෘෂ්ටි වේදනාව විඳීන්නාහ යන මේ කාරණය නැත්තේ ය.
 
138.මහණෙනි, එහි යම් මහණබමුණෙක් අධිච්චසමුප්පන්නවාද ඇත්තෝ, කරුණු දෙකෙකින් ආත්මයත් ලෝකයත් ඉබේ උපනැ යි පණවත් ද ඔහු කලී ඒ දෘෂ්ටිවේදනාව ස්පර්ශයෙන් තොර වැ විඳින්නාහ යන කාරණය නැත්තේ ය.
 
139.මහණෙනි, පූර්වාන්තකල්පික වූවෝ, පූර්වානතය අනුව පශළ කැරැගත් දෘෂ්ටි ඇත්තෝ, කරුණු අටළොසෙකින් පූර්ව ස්කන්ධපරම්පරා කොටස ඇරැබ අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියා පාත් ද, ඔහු සපර්ශයෙන් තොර වැ ඒ දෘෂ්ටාස්වාදය විඳීන්නාහ යන මේ කරුණු නොමැත්තේ ය.
 
140.මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික සඤ්ඤීවාද ඇත්තෝ, මරණින් මතු සංඥා ඇති ආත්මයක් සොළොස් කරුණෙකින් පණවත් ද, ඔහු කලී සපර්ශයෙන් තොර වැ ඒ දෘෂ්ට්‍යාස්වාදය විඳීන්නාහ යන මේ කරුණු නොමැත්තේ ය.
 
141.මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික අසඤ්ඤීවාද ඇත්තෝ, මරණින් මතු සංඥා නැති ආත්මයක් කරුණු අටෙකින් පණවත්  ද, ඔහු කලී එයට කරුණු වූ දෘෂ්ටිවේදනාව සපර්ශයෙන් තොර වැ විඳීන්නාහ යන මේ කාරණය නැත්තේ ය.
 
142.මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික නේවසඤ්ඤීනාසඤ්ඤීවාද ඇත්තෝ මරණින් මත්තෙහි සංඥී නොම වූත් අසංඥී නො ම වූත් ආත්මයක් පණවත් ද, එයට කාරණ වූ දෘෂ්ටිවේදනාව ස්පර්ශයෙන් තොරැව විඳීන්නාහ යන මේ කාරණය නැත්තේ ය.
 
143.මහණෙනි, එහි යම් මහණබමුණු කෙණෙක් උච්ඡේදවාදී වූවෝ විද්‍යාමාන සත්ත්වයාගේ උච්ඡේදය, විනශය, භවවිගමය, කරුණු සතෙකින පණවත් ද, ඔහු කලී එයට කාරණ වු දෘෂ්ටිවේදනාව සපර්ශයෙන් තොර වැ විදින්නාහ යන මේ කරුණ නැත්තේ ය.
 
144.මහණෙනි, එහි යම් මහණබමුණු  කෙනෙක් දෘෂ්ටධර්මනිර්වාණවාද ඇත්තෝ ,  විද්‍යාමාන සත්ත්වය පිළිබඳ පරමදෘෂ්ටධර්මනිර්වාණය කරුණු පසෙකින් පණවත් ද, ඔහු කලී  එයට කරුණු වූ දෘෂ්ට්‍යාස්වාදය ස්පර්ශයෙන් තොර වෑ විඳින්නේ ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ.
 
145.මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් අපරාන්තකල්පික වූවෝ අපරාන්තය අනුවැ පශල කැරැගත් දෘෂ්ටි ඇත්තෝ කරුණු සූසාළිසෙකින් අපරාන්තය ඇරැබැ අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියා පාත් ද, ඔහු කලී එයට කරුණක් වූ දෘෂ්ටිවේදනාව ස්පර්ශයෙන් තොර වැ විඳීන්නාහ යන මේ කාරණය විද්‍යාමාන නොවේ.
 
146.මහණෙනි, යම් මහණබමුණු කෙනෙක් පූර්වාන්තකල්පීකත් වූවෝ, අපරාන්තකල්පිකත් වුවෝ, පුර්වාපරාන්තකල්පිකත් වූවෝ , පුර්වානත අපරාන්ත ඇරැබැ පහළ කරගත් දෘෂ්ටි ඇත්තෝ කරුණු දෙසැටෙකින්  පූර්වාන්ත අපරාන්ත දෙක අරමුණු කොට අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියත් ද , ඔහු කලී එසේ දෘෂ්ටිගැන්මට කාරණ වූ දෘෂ්ට්‍යාස්වාදය ස්පර්ශයෙන් තොර වැ විඳීන්නාහ යන මේ කරුනු විද්‍යාමාන නොවේ.
 
147.මහණෙනි, එහි යම් මහණ බමුණුකෙනෙක් ශාශ්වතදෘෂ්ටි ගත්තෝ සතර කරුණෙකින් ආත්මයත් ලෝකයත් ශාශ්වත කොට පණවත් ද, යම් මහණ බමුණු කෙනෙක් ඒකත්‍යශාශ්වතිකත් ඒකත්‍යඅශාශ්වතිකත් වූවෝ ද, යම් මහණබමුණු කෙනෙක් අන්තානන්තික වාද ඇත්තෝ ද, යම් මහණ බමුණු කෙනෙක් අමරාවික්ෂේප වාද ඇත්තෝ ද, යම් මහණ බමුණු කෙනෙක් අධිච්චසමුප්පන්නික වාද ඇත්තෝ ද, යම් මහණබමුණු කෙනෙක් පුර්වාන්තකල්පික ද, යම් මහණ බමුණු කෙනෙක් උද්ධමාඝාතනික සඤ්ඤීවාද ඇත්තෝ ද, යම් මහණ බමුණු කෙනෙක්  උද්ධමාඝාතනික අසඤ්ඤීවාද ඇත්තෝ ද, යම් මහණබමුණු කෙනෙක් උච්ඡේදවාද ඇත්තෝ ද, යම් මහණබමුණු කෙනෙක් දෘෂ්ටධර්මනිර්වාණයවාද ඇත්තෝ ද, යම් මහණබමුණු කෙනෙක් අපරාන්තකල්පික ද, යම් මහණබමුණු කෙනෙක් පුර්වාන්තකල්පිකත් අපරාන්තකල්පිකත් පූර්වාන්තාපරාන්තකල්පිනත් වූවෝ පූර්වාන්තාපරාන්තානුදෘෂ්ටික වැ  දෙසැටක් කරුණුවලන් අනෙකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියත් ද , ඒ සියල්ලෝ  ස්පර්ශායතන සයින් උපන් ස්පර්ශයෙන් රූපාදී අරමුණු ස්පර්ශකොට දෘෂ්ට්‍යාස්වාදය විඳිත්. ඔවුන්ගේ දෘෂ්ටිවේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරා මරණ ශෝකපරිදේව දුක්ඛ දෝමනස්‍ය උපායාසයෝ යන මොහු පහළ වෙත්. මහණෙනි, යම් කලෙක් වනාහි මහණ තෙමේ ස්පර්ශායතන සදෙනාගේ හේතුව ද නිරෝධය ද ආස්වාදය ද ආදීනවය ද ප්‍රහාණිය ද තතු වු පරිදි දැන ගනී ද, මේ තෙමේ මෙකී හැම දෘෂ්ටිගතයනට වැඩියක් ම (ශිලසමාධිප්‍රඥා ප්‍රඥාවිමුක්ති යන් මේ සියල්ල ම) දැනැ ගනී.
 
148.මහණෙනි, පුර්වාන්තකල්පික වූ හෝ අපරාන්තකල්පික වූ හෝ පුර්වාන්තාපරානතකල්පික වු හෝ යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පූර්වාන්ත අපරාන්ත අරමුණු කොට පහළ කැරැ ගත් දෘෂ්ටි ඇත්තෝ , අතීතානාගත ස්කන්ධ පරම්පරා කොටස් අරමුණු කොට අනේක විධ දෘෂ්ටිප්‍රකාශක වචන කියා පාන්නෝ ද, ඒ සියල්ලෝ ම මේ දෙසැට කරුණින් ම (මගේ මේ ) දේසනාදැල තුලට හසු කරන ලදුවෝ, මේ දේසනා දැලෙහි බැඳුණෝ ම , මෙහි තුළ ම ඉපිලෙන්නාහු, ඉපිලෙත්. ගැලෙන්නාහු  ගැලෙත්. මෙයට ඇතුළත් වූහු ම ඉපිලෙන්නාහු ඉපිලෙත්, ගැලෙන්නාහු ගැලෙත්. මහණෙනි, යම් සේ දක්ෂ වු කෙවුළෙක් හෝ කෙවුළෙකුගේ අතැවැස්සෙක් හෝ සියුම්  ඇස් ඇති දැලින් මඳ  දිය ඇති දියවළක් කිබිසිනි කොටැ අතුරන්නේ ද, මේ දියවළෙහි යම් කිසි මහත් ප්‍රාණි කෙනෙක් වෙත් නම්, ඒ සියල්ලෝ ම මේ දැලට හසු කැරැ ගන්නා ලද්දෝ ම මතු වන්නෝ මතුවෙත්. ගැලෙන්නාහු ගැලෙත්. මෙහි ඇතුලත් වූවෝ දැල තුලට හසු වූවො ම මතු වන්නෝ මතුවෙත්. ගැලෙන්නෝ ගැලෙත් යැ යි ඔහුට මෙසේ සිතක් වන්නේ ද, මහණෙනි, එපරිද්දෙන් ම පුර්වාන්ත කල්පික වු හෝ අපරාන්තකල්පික වූ හෝ පූර්වාන්තාපරාන්තකල්පික වූ  හෝ පූර්වාන්ත අපරාන්ත දෙක අනුවැ පහළ කැරැගත් දෘෂ්ටි ඇති මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක්  දෙසැටක් කරුනින්  දෙක අරමුණු කොට පූර්වාන්ත අපරාන්ත දෙක අරමුණු කොට අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියාපාත් ද, ඒ සියල්ලෝ මේ දෙසැට කරුණින් ම (මගේ) දේශනාදැලට හසු වූවෝ ම, මේ දේශනාදැලෙහි බැඳුණෝ, මෙහි ම මතු වන්නෝ මතු වෙති. ගැලෙන්නෝ ගැලෙති. මෙහි ම ඇතුලත් වූවෝ මේ දේශනා දැල තුලට හසුවූවෝ ම, මතු වන්නෝ මතු වෙති. ගැලෙන්නෝ ගැලෙති.
 
149.මහණෙනි, තථාගත බුදුහුගේ ශරීරය මුලින් සිඳිනා ලද භව තෘෂ්ණා ඇත්තේ සිටී. යම් තාක් කල් ඔහුගේ කය සිටින්නේ ද ඒ තාක් දෙවිමිනිස්සු ඔහු දක්නාහ. කය බිඳීමෙන් ජිවිතයාගේ පරික්ෂීණවීමෙන් මත්තෙහි දෙවිමිනිස්සු ඒ බුදුහු නොදක්නාහ. මහණෙනි, යම් සේ අඹකැන නටුවෙන් ගිලිහුණු කල්හි, නටුව හා බැඳුණු යම් අඹ පල කෙනෙක් වූහු නම්, ඔහු හැම එය අනුව යන්නෝ වෙත් ද, එ පරිද්දෙන් ම තථාගත බුදුහුගේ කය මුල් සුන් වූ භවතෘෂ්ණා ඇත්තේ සිටී. යම් තාක් කල් ඒ බුදුහුගේ කය සිටුනේ ද, ඒ තාක් දෙවිමිනිස්සු ඔහු දක්නාහ. කය බිඳීමෙන් ජිවිතය පරික්ෂීණ වීමෙන් මත්තෙහි දෙවිමිනිස්සු ඔහු නොදක්නාහ.
 
150.භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවීර තෙමේ. ‘‘ වහන්ස , ආශ්චර්‍ය ය! වහන්ස, අද්භූතය! වහන්සේ මේ ධර්මක්‍රමය කිනම් වේදැයි” යි මෙය භාග්‍යවතුන් වහන්සේට සැළකළේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාරණ සේක්, ‘‘ ආනන්දය එසේ නම්, මෙහි ලා මේ ධර්මපරියාය අත්ථජාල, නමැයි ද සලකා ගනුව. ධර්මජාල නමැයි ද සලකා ගනුව. බ්‍රහ්මජාල නැමැයි ද සලකා ගනුව. දෘෂ්ටිජාල නැමැයි ද සලකා ගනුව. නිරුත්තරසංග්‍රාමවිජය යැයි ද සලකා ගනුව.” යි වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ආරාධිත සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.
මේ නිර්ගාථක සුත්‍රය වදාරනු ලබන කල්හි දස දහසක් ලෝ දා කම්පිත වීය.
 
                                                                                    පලමුවන බ්‍රහ්මජාල සූත්‍රය නිමියේ ය.
 
1-2සාමඤ්ඤඵල සූත්‍රය
 
1.මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ එක් දහස් දෙසියපණසක් පමණ වු මහත් භික්ෂුසඞ්ඝයා සමඟ රජගහ නුවර සමිපයේ කෝමාරභච්ච ජීවකයාගේ අඹවෙනෙහි වසන සේක. එ සමයෙහි වනාහි මගධ රටට අධිපති වු, වෛදේහීපුත්‍ර වු අජාසත් රජ තෙමේ එ දවසට පැමිණි පුණු පොහෝ දිනයෙහි සිවු මසක්හුගේ අවසන් වු සුපිපි කුමුදු ඇති පුරා සඳ කැල්මෙන් බබළන රැයෙහි (ඉල්මස පසොළොස්වක් දා රැයෙහි) රජපහයෙහි මතු මහල්තලයට නැඟුණේ, රජ ඇමැතියන් විසින් පිරිවැරුණේ (එසැවුණු සේසත් ඇති මහඟු කසුන් අස්නෙහි) හුන්නේ වෙයි. ඉක්බිති වෛදේහීපුත්‍ර  අජාසත් රජ ඒ පුණුපොහෝ දිනැ මෙසේ උදන් ඇනී ය:
‘‘ භවත්නි, ආශ්චර්‍ය යි! රාත්‍රිය සඳ රැසින් සිත්කළු වෙයි (අභ්‍රම්භිකාදිදෝෂයන්ගේ පහ වු රාත්‍රිය රමණී ය)! භවත්නි, රාත්‍රිය සඳරැසින් විශේෂයෙන් ශෝභන ය.! භවත්නි, රාත්‍රිය සඳරැසින් දැකුම් කළු ය! භවත්නි, රාත්‍රිය සඳ රැසින් ප්‍රසාදජනකය! භවත්නි, රාත්‍රිය සඳ රැස කරණ කොට ගෙන ලක්ෂණීය ය!  යමක්හු ඇසුරු කරන අපගේ සිත පහදනේ නම් එසේ වු කවර නම් මහණකු බමුණකු අද ඇපි එළැඹ ඇසුරු කරන්න මෝ ද ! ” යනු යි.
 
2.රජහු මෙසේ කී කල්හි, එක්තරා රජ ඇමැතියෙක් වෛදේහීපුත්‍ර වු මගධාධිපති අජාසත් රජහට  “දේවයන් වහන්ස, මේ කාශ්‍යප ගෝත්‍රික පූරණයෝ පැවිදි මුළුවක් ඇත්තෝ ද, පැවිදි ගණයා ඇත්තෝ   ද වෙති. ගණාචාර්‍ය ද වෙති. ප්‍රකටයහ. කීර්තිමත්හ. බොහෝ දෙනා විසින් සත්පුරුෂයෙකැ යි සම්මත වූ තීර්ථංකර කෙනෙක. චිරරාත්‍රඥ හ. පැවිදි වූ බොහෝ කල් ඇත්තෝ ය. දෙතුන් රජ පරපුරක් තරම් කල් ඉක්මවා සිටියෝ ය. මහළු වියට පැමිණියෝ ය. දේවයන් වහන්සේ ඒ කාශ්‍යපගෝත්‍රික පූරණයන් වෙත එලැඹ ඇසුරු කරණ සේක්වා.  කාශ්‍යපීය පූරණයන් වෙත එලැඹ ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදනේ නම් ඉතා යෙහෙකැ” යි මේ වචනය කීය. මෙසේ කී කල්හි වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ තුෂ්ණීම්භූත විය.
 
3.අන් කිසි රජ ඇමැත්තෙක් ද වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජු හට “දේවයන් වහන්ස, මේ ගෝසාල මක්ඛලීහු පැවිදි පිරිසක් ඇත්තෝ ද, පැවිදි ගණයා ඇත්තෝ ද, ගණාචාර්‍ය ද වෙති. ප්‍රකට යහ. කීර්ථිමත් හ. තීර්ථංකර කෙනෙක. බොහෝ දෙනා විසින් සාධු යැ යි සම්මත හ. රාත්‍රඥ හ. පැවිදිවූ බොහෝ කල් ඇත්තෝ ය. රජපරපුර දෙක තුනක් ඉක්මැ යන තරම් දික් කලක් ගෙවුවෝ ය. පැසිම් වයසට පැමිණියෝ ය. දේවයන් වහන්සේ ඒ ගෝසාල මක්ඛලීන් ඇසුරු කරන සේක් වා. ගෝසාල මක්ඛලීන් වෙත එලැඹ ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදනේ නම් , ඒ ඉතා යෙහෙකැ” යි මේ බස් කීය. මෙසේ කී කල්හි වෛදේහිපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ තූෂ්ණීම්භූත විය.
 
4.අන් එක්තරා රජඇමැත්තෙක් ද වෛදේහිපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජුට “  දේවයන් වහන්ස, මේ කේශකම්බල අජිතයො සංඝී ද, ගණී ද, ගණාචාර්‍ය ද වෙති. ප්‍රකට වූ කීර්තිමත් වු බොහෝ දෙනා විසින් සාධුසම්මත වු, රාත්‍රඥ වු, දික් වයස් ගිය, මහළු විය පැමිණි තීර්ථංකර කෙනෙක. දේවයන් වහන්සේ  ඒ කේශකම්බල අජිතයන් ඇසුරු කරන සේක් වා. කේශකම්බල අජිතයන් වෙත එලැඹ ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදින්නේ නම් ඉතා යෙහෙකැ” යි. මෙසේ බස් කීය. මෙසේ කී කලැ වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ මුවෙන් කිසිත් නො බැණ හුන්නේ ය.
 
5.අන් එක් ඇමැතියෙක් ද  වෛදේහීපුත්‍ර  මගධේශ්වර අජාතශත්‍රැ රජුට “දේවයන් වහන්ස, කෘත්‍යායනගෝත්‍රික මේ පකුධයෝ සංඝී ද, ගණී ද, ගණාචාර්‍ය ද, වෙති. ප්‍රකට වූ, කීර්ථිමත් වු, බොහෝ දෙනා විසින් සාධුසම්මත වූ, රාත්‍රඥ වු, පැවිදි වූ බොහෝ කල් ඇති, දික්වයස් ගිය, මහළු වියට පැමිණි, තීර්ථංකර කෙනෙක. දේවයන් වහන්සේ ඒ කෘත්‍යායන පකුධයන් වෙත එලැඹ ඇසුරු කරන සේක් වා. කෘත්‍යායනපකුධයන් ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදනේ නම් ඉතා යෙහෙකැ” යි මේ බස් කීය. මෙසේ කී කල්හී වෛදේහිපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ කිසිත් නො බැණ හුන්නේ ය.
 
6.අන් රජ ඇමැත්තෙක් ද  වෛදේහිපුත්‍ර මගධාධිපති අජාතශත්‍රැ රජුට “දේවයන් වහන්ස, මේ වෛරාටිපුත්‍ර සංජයෝ සංඝී ද ගණී ද ගණාචාර්‍ය ද වෙති. බොහෝ දෙනා විසින් සාධු සම්මත වූ, රාත්‍රඥ වු, පැවිදි වු බොහෝ කල් ඇති, දික් වයස් ගිය, පැසීම් වයසට පැමිණි, ප්‍රකට වු, කීර්තිමත් වූ තීර්ථංකර කෙනෙක. දේවයන් වහන්සේ ඒ වෛරාටිපුත්‍ර සංජයයන් ඇසුරු කරන සේක් වා. වෛරාටිපුත්‍ර සංජයන් ඇසුරු කරන දේවහන් වහන්සේගේ සිත පැහැදෙන්නේ නම් ඒ ඉතා යෙහෙකැ” යි මේ බස් කීය. මෙසේ කී කල්හී වෛදේහීපුත්‍ර  මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ කිසිත් නොබැණ හුන්නේ ය.
 
7.අන් රජ ඇමැත්තෙක් ද වෛදේහිපුත්‍ර වූ මගධාධිපති අජාතශත්‍රැ රජුට “ දේවයන් වහන්ස,  මේ ඥාතපුත්‍ර නිර්ග්‍රන්ථයෝ සංඝී ද ගණී ද ගණාචාර්‍ය ද වෙති. බොහෝ දෙනා විසින් සාධුසම්මත වූ, රාත්‍රඥ වූ, පැවිදි වු බොහෝ කල් ඇති, දික් වයස් ගත කළ, මහළු විය පත්, ප්‍රකට වූ, කීර්තිමත් තීර්ථංකර කෙනෙකි. දේවයන් වහන්සේ ඒ ඥාතපුත්‍ර නිර්ග්‍රන්ථයන් ඇසුරු කරන සේක් වා. ඥාතපුත්‍ර නිර්ග්‍රන්ථයන් ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදින්නේ නම් ඒ ඉතා යෙහෙකැ” යි. කීය මෙසේ කී කල්හී වෛදේහිපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ කිසිත් නො බැණ හුන්නේ ය.
 
8.ඒ වේලෙහි වනාහි කෝමාරභච්ච ජීවක තෙමේ වෛදේහි පුත්‍ර මගධාධිපති අජාතශත්‍රැ රජුට නොදුරෙහි නිහඬ වැ හුණ්නේ වෙයි. ඉක්බිත්තේන් වෛදේහීපුත්‍ර මගධාධිපති අජාතශත්‍රැ රජ තෙමේ කෝමාරභච්ච ජිවිකයා අමතා,  “යහළු ජීවකය, යුෂ්මතා වූ කලී කවර හෙයින් කිසිත් නොබැණ ඉදින්නේ හි ද ?” යි කී ය.
එ විට කෝමාරභචච ජීවක කියුයේ, “දේවයන් වහන්ස, මේ භාග්‍යවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ එක් දහස් දෙසිය පණසක් පමණ භික්ෂුන් ඇති මහත් භික්ෂුසමූහයක් හා අපේ අඹවනයෙහි වැඩ වසන සේක. ‘ ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අර්හත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණ සම්පන්න ය, සුගත ය, ලෝකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථී ය, දෙවිමිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ‘යි ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ වැ මෙසේ කල්‍යාණ වූ කීර්තිශබ්දයෙක් උස් වැ නංඟේ ය. මහරජ තෙමේ ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ඇසුරු කෙරේ වා. ඒ භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරණ මහරජුගේ සිත පැහැදෙන්නේ නම් ඒ ඉතා යෙහෙකකි” යි කීයේ ය.
“ යහළු, ජීවකය, එසේ නම් හස්තියාණයන් සරසව”යි රජ කී ය.
 
9.‘දේවයිනි, එසේ යැයි කියා, කෝමාරභච්ච ජීවක තෙමේ වෛදීහපුත්‍ර වූ මගධේශ්වර අජාතශත්‍රැ රජුට පිළිවදන් දී (පිරිවර ස්ත්‍රීන් සඳහා) පන්සියයක් පමණ ඇතින්නන් සරසවා, රජුට ද නැගීමට සුදුසු ඇතකු සදවා, වෛදේහීපුත්‍ර වූ මගධේශ්වර අජාතශත්‍රැ රජුට ‘‘දේවයිනි, ඔබට හස්ථියාන සරසවන ලදි. යම් ගමනකට දැන් කැලැ යි ඔබ සිතත් නම් එය කරනැනැ”යි දැන් වීය.
 
එ විට වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ පන්සියයක් ඇතින්නන් මතැ එක් එක් ස්ත්‍රිය බැගින් නංවා, තෙමේ තමාට නැඟීමට සුදුසු ඇතු පිට නැඟ, දඬුවැට පහන් දරනු ලබන කල්හී, මහත් රාජර්ද්ධියෙන් රජගහ නුවරින් නික්මුණේ ය. නික්මැ කෝමාරභච්ච ජීවකයාගේ අඹවනය කරා ගියේ ය.
 
10.ඉක්බිත්තෙන් අඹවනයට නොදුරෙහිදී වෛදේහීපුත්‍ර වු මගධාධිපති අජාතශත්‍රැ රජුට බියෙක් වූයේ ම ය, ඇඟ වෙවුලුමෙක් වූයේ ම ය, ලොමුදැහැ ගැන්මෙක් වූයේ ම ය, එවිට .....අජාතශත්‍රැ රජතෙමේ බිය ගත්තේ, තැතිගත්තේ, හටගත් ලොමුදහ ගැනුම් ඇත්තේ, කෝමාරභච්ච ජීවකයා අමතා “ කිමෙක් ද? යහළු ජීවකය, මට වංචා නොකෙරෙයි ද, කිමෙක් ද යහළු ජීවකය, මා නො රවටයි ද? කිමෙක් ද, යහළු ජීවකය මා සතුරනට පාවා නොදෙයි ද? භික්ෂුන් එක්දහස් දෙසිය පණහක් පමණ වූ ඒ සා මහත් භික්ෂුසමූහයකගේ කිවිසුම් හඬෙක් කෙසේ නම් නො වන්නේ ද ? උකැසි හඬෙක් හෝ කෙසේ නම් නොවන්නේ ද ? කටහඬෙක් හෝ කෙසේ නම් නොවන්නේ දැ ? ” යි ඇසී ය.
එ විට  “මහ රජාණෙනි, බිය නො ගන්නැ. දේවයිනි, ඔබට වංචා නොකරමි. දේවයිනි, ඔබ නො රවටමී. දේවයිනි, ඔබ සතුරනට පාවා නොදෙමි. මහරජාණනි, ඉදිරියට වඩින්නැ. මහරජාණෙනි, ඉදිරියට වඩින්නැ. තෙල, මණ්ඩලමාළයෙහි (වට හලෙහි හෙවත් හිඳුනා හලෙහි) පහන් දැල්වේ.” යැ යි කෝමාරභච්ච ජීවක කීය.
 
11.එක්බිති වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ ඇතුපිටින් යා හැකි තෙක් දුරැ ඇතුපිටින් ගොස්, ඇතුගෙන් බැස, පාගමන් ඇතියේ ම (පයින් ම) මණ්ඩලමාලද්වාරය (වට හල් දොර) කරා එළැඹීයේ ය. එලැඹැ කෝමාරභච්ච ජීවකයාගෙන් ‘යහළු ජීවකය, භාග්‍යවත් තෙමේ කොහි දැ? ’යි ඇසී ය.
“ මහ රජාණෙනි, තෙල භාග්‍යවතුන් වහන්සේ ය. මැදුම් ටැඹ නිසා (මැද කණුවට පිටු දී) පෙර දිගට මුහුණ ලා, භික්ෂුසමූහයා විසින් පෙරටු කරන ලදු වැ තෙල වැඩ ඉන්නෝ භාග්‍යවතුන් වහන්සේ යැ” යි කෝමාරභච්ච ජීවක කීය.
 
12.එ විට වෛදේහිපුත්‍ර වු මගධේශ්වර වු අජාතශත්‍රැ රජ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ පසෙක සිටියේ ය. එසේ සිටි රජ තෙමේ වෙසෙසින් පහන් වූ, කැළැඹුම් නැති විලක් සේ බැලූ බැලූ පැත්තෙහි තුෂ්ණීම්භූත වැ හුන් භික්ෂු සංඝයා දෙස නැවත නැවත බලා,  “දැන් මේ භික්ෂුසංඝයා යම් සංහුන්බවෙකින් යුක්ත ද මගේ උදායිභද්‍ර කුමාර තෙමේ ද මෙබඳු වූ ම සංහුන්බැවින් සමන්විත වේ වා” යි උදන් ඇනී ය.
එවිට, භාග්‍යවතුන් වහන්සේ “ මහරජ , තොප සිත ප්‍රේමය ඇති දෙසට ගියේ වේදැ” යි වදාළ සේක.
“වහන්ස, උදායිභද්‍ර කුමාර තෙමේ මට ප්‍රිය ය. වහන්ස, භික්ෂුසංඝයා දැන් යම් බඳු සංහිදීමෙකින් සමන්විත ද, මගේ උදායිභද්‍ර කුමාර තෙමේ මේ බඳු වූ සංහිඳීමෙන් සමන්විත වේවා” යි රජ කීය.
 
13.එක්බිති  වෛදේහිපුත්‍ර මගධාධිපති අජාතශත්‍රැ රජ භාග්‍යවතුන් වහන්සේ  ආදරයෙන් වැඳ, භික්ෂුසංඝයා ද ඇඳිලි බැඳ, පසෙක ඉඳ ගත්තේ ය. පසෙක හිඳගත් රජ තෙමේ “වහන්ස, ඉදින් භාග්‍යවතුන් වහන්සේ පැණයක් විසඳන්නට කිසි ලේශමාත්‍ර අවකාශයක් ගන්නා සේක් නම්, මම විචාරන්නෙමි” යි භාග්‍යවතුන් වහන්සේට කීය.
“ මහරජ, ඉඳින් කැමැත්තෙහි නම් විචාරන්නැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
 
14.“වහන්ස, යම්සේ අතැරුවෝ ය, අසරුවෝ ය, රියරුවෝ ය, දුනුවායෝ ය, දියදද දරනුවෝ ය, සෙන් විදහනුවෝ ය, සැහැසි මහ සෙබළෝ ය, යුද වදිනා උසස් රජපුත්තු ය, යුද මැදට පැන වදුනා යෝධයෝ ය, ඇතුන් බඳු මහ සෙබ‍ළෝ ය, හුදෙකලා වැ යුද වදිනා සෙබළෝ ය, සම්සැට්ටයෙන් වැසී හෝ පලිහත් දරා යුද කරන්නෝ ය, ගෙහි ම වූ ගෘහදාස යෝධයෝ ය මේ වඩන්නෝ ය, ඇම්බැට්ටයෝ ය, නාවන්නෝ ය, සූපකාරයෝ ය, මලාකාරයෝ ය, රජකයෝ ය, පෙහෙරු ය, කුලුපොත්තෝ ය, කුඹල්ලු ය, අච්ඡිද්‍ර ගණකයෝ ය, හස්තමුද්‍රා ගණකයෝ ය, යන මොවුන් පුරුදු පුහුණු කරන ශිල්ප කෙනෙක් වෙත් ද,  මෙබඳු වු යම් අන්‍ය බොහෝ ශිල්පයෝ හෝ වෙත් ද, ඔහු හැම මේ අත්බව්හි ම තම තමන් විසින් ම දැක්කැ හැකි ඵල ඇති ශිල්ප නිසා දිවි රකිත්, ඔහු එයින් තමන් සුවපත් කෙරෙත්, පිනවත්. මාපියන් සුවපත් කෙරෙත්, පිනවත්. අඹුදරුවන් සුවපත් කෙරෙත්, පිනවත්. මිත්‍රාමාත්‍යයන් (සග යහළුවන් ) සුවපත් කෙරෙත් පිනවත්. මත්තෙහි පල දෙන සග සැපතට සුදුසු වු සුඛ විපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා  දන් මහණ බමුණු කෙරෙහි පිහිටුවත්. වහන්ස, මෙසේ ම මහණ දමෙහි සාන්ද්‍රෘෂ්ටික (මෙහි ම අත්දැකිය හැකි) ඵලවිපාකයක් පණවන්නට (දක්වන්නට) හැකිදැ” යි රජ විචාළේ ය.
 
15.“මහරජ, ඔබ මේ පැණය අන් මහණබමුණන් අතින් විචාළා දන්නෝ ද (මතෙක ඇද්දැ)?” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“ වහන්ස, මේ පැණය අන් මහණබමුණන් අතින් විචාළා දනිමි (මතෙක ඇතැ)”යි රජ කීය.
“මහරජ, කෙසේ නම් ඔබට ඔහු මෙය විසැඳුවෝ ද ? ඉදින් ඔබට බරෙක් නොවේ නම් එය කියන්නැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ හෝ භාග්‍යවතුන් වහන්සේ වැන්නකු හෝ ඉන්නා තැනෙක එය කීම මට බරෙක් නොවේ” යැ යි රජ කීය.
“ මහරජ, එසේ නම් කියන්නැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
 
16.(එවිට රජ මේසේ කී ය:) “වහන්ස, මම් එක් වරෙක කාශ්‍යපපූර්ණයන් කරා එළඹියෙමි. එළැඹ ඔහු හා සතුටු වීමි. සතුට උපදවන සිතැ රැඳවිය යුතු කතාබස් අවසන් කොට පසෙක ඉඳ ගතිමි. වහන්ස, එසේ පසෙක ඉදැගත් මම් කාශ්‍යප පූර්ණයන් අමතා ‘ භවත කාශ්‍යපයිනි, යම්සේ අතැරුවෝ ය, අසරුවෝ ය, රියරුවෝ ය, දුනුවායෝ ය, දියදද දරනුවෝ ය, සෙන් විදහනුවෝ ය, සැහැසි මහ සෙබළෝ ය, යුද වදිනා උසස් රජපුත්තු ය, යුද මැදට පැන වදුනා යෝධයෝ ය, ඇතුන් බඳු මහ සෙබ‍ළෝ ය, හුදෙකලා වැ යුද වදිනා සෙබළෝ ය, සම්සැට්ටයෙන් වැසී හෝ පලිහත් දරා යුද කරන්නෝ ය, ගෙහි ම වූ ගෘහදාස යෝධයෝ ය මේ වඩන්නෝ ය, ඇම්බැට්ටයෝ ය, නාවන්නෝ ය, සූපකාරයෝ ය, මලාකාරයෝ ය, රජකයෝ ය, පෙහෙරු ය, කුලුපොත්තෝ ය, කුඹල්ලු ය, අච්ඡිද්‍ර ගණකයෝ ය, හස්තමුද්‍රා ගණකයෝ ය, යන මොවුන් පුරුදු පුහුණු කරන ශිල්ප කෙනෙක් වෙත් ද, ඔහු හැම මේ අත්බව්හි ම තම තමන් විසින් ම දැක්කැ හැකි ඵල ඇති ශිල්ප නිසා දිවි රකිත්, ඔහු එයින් තමන් සුවපත් කෙරෙත්, පිනවත්. මාපියන් සුවපත් කෙරෙත්, පිනවත්. අඹුදරුවන් සුවපත් කෙරෙත්, පිනවත්. මිත්‍රාමාත්‍යයන් (සග යහළුවන් ) සුවපත් කෙරෙත් පිනවත්. මත්තෙහි පල දෙන සග සැපතට සුදුසු වු සුඛ විපාක ඇති සවර්ගය පිණිස පවත්නා දන් මහණ බමුණු කෙරෙහි දන් පිහිටුවත් ද, භවත් කාශ්‍යපයිනි, එසේ ම මහණදමෙහි මෙහි ම අත් දැක්කැ හැකි ඵල විපාකයක් දක්වන්නට හැකිදැ” යි  විචාළෙමි.
 
17.‘වහන්ස, මෙසේ කී කල්හි කාශ්‍යප පූරණයෝ මට මෙය කීහ:
“මහරජ, තමා ම කරන්නහුට අනුන් ලවා කරවන්නහුට ද, අනුන්ගේ අත් ආදිය සිඳිනහුට ද, සිඳුවන්නහුට ද, අනුන් දඬු ආදියෙන් පෙළන්නහුට ද, පෙළවන්නහුට ද, පරා සතු දෑ පැහැරැ ගැනුම් ආදියෙන් මෙරමා තවන්නහුට ද, අනුන් ලවා තවවන්නහුට ද, අහර වැළැක්වීම් ආදියෙන් අනුන් වෙහෙසන්නහුට ද, මෙරමා ලවා වෙහෙසන්නහුට ද, මෙරමා කම්පිත කරන්නහුට ද, අනුන් ලවා කම්පිත කරවන්නහුට ද, පණ නසන්නහුට ද, නසවන්නහුට ද, නොදුන් දෑ ගන්නහුට ද,  ගෙවල් බිඳින්නහුට ද, බිඳුවන්නහුට ද, කිසිත් නො ඉතිරි කොට සියල්ල පැහැරැ ගන්නහුට ද, පැහැර ගන්වන්නහුට ද, එක් ගෙයක් වටා සිට එහි ඇති බඩුමූට්ටු පැහැර ගන්නහුට ද ගන්වන්නහුට ද, මඟැ රැක සිට එහි යනෙනුවන්ගේ බඩු පැහැරැ ගන්නහුට ද, පරඹුවන් කරා යන්නහුට ද, මුසවා තෙපලන්නහුට ද, පවක් කරමි යි සිතා කරන්නහුට ද, පවක් නොකැරෙයි. යමෙක් කරකැත්තක් සේ තියුණු නිම්වලල්ලක් ඇති චක්‍රයකින් මේ පොළොවෙහි සතුන් මරා එක් මස්ගොඩක් එක් මස්රැසක් කරන්නේ නම්, ඒ හේතුවෙන් වන පවක් නැත, පාපයාගේ පැමිණීමක් නැත. සතුන් මරමින් මරවමින්, සිඳිමින් සිඳුවමින්, පෙළමින් පෙළවමින්, ගංගා නදියේ උතුරු තෙරට නමුදු යන්නේ නම් , ඒ හේතුවෙන් පවෙක් නැත. පවේ පැමිණිමෙක් නැත. දෙමින් දෙවමින්, යාග කරවමින්, ගංගා නම් නිදියේ උතුරු තෙරට නමුදු යන්නේ නම් ඒ හේතුයෙන් පිනෙක් හෝ පින් පැමිණීමෙක් නැත. දීමේන් ඉඳුරන් දැමීමෙන් (හෝ පෙහෙවස් වීසීමෙන්) ශිලසංයමයෙන්, සබවස් රැකීමෙන් පිනෙක් නැත. පින් පැමිණිමෙක් නැත ” යනු යි.
වහන්ස, මෙසේ කෘශ්‍යප පූර්ණයෝ මා විසින් සන්දෘෂ්ටික ශ්‍රාමණ්‍ය ඵලය විචාරන ලදුවෝ ම අක්‍රියවාදය දැක්වූහ. වහන්ස, අඹ කෙබඳු දැ ? යි විචාරණ ලදුයේ දෙල් මෙබඳු යැ යි කියන්නේ දෙල් විචාරණ ලදුවැ අඹ මෙබඳු යැ යි කියන්නේත් යම් සේ ද, එසේ ම වහන්ස, කාශ්‍යප පූර්ණයෝ මා විසින් සන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය විචාරන ලදුවෝ ම අක්‍රියවාදය පැවැසූහ.
වහන්ස, ඒ මට ‘මා වැන්නෙක් සිය රටෙහි වසන මහණකු හෝ බමුණකු පෙළිය යුතු කොට කෙසේ නම් සිතනු හැක්කේ දැ? ‘ යි මේ සිත විය. වහන්ස, ඒ මම් කාශ්‍යප පූර්ණයන්ගේ වචනය නො පැසසීමි. විරුද්ධ බසකුදු නො කීමි. නො පසසා විරුදු බසක් ද නො කියා, නො සතුටු සිතැත්තෙම්, නොසතුටු බසක් නොනික්මවා, ඔවුන් බස සාරවශයෙන් නොගන්නෙම්, සාර වශයෙන් සිතැ නො තබන්නෙම්, උනස්නෙන් නැගී නික්මිණිමි.
 
18.වහන්ස, අන් එක් වරෙක මම් ගෝසාල මක්ඛලී වෙත එළෑඹියෙමි. එලැඹ ඔහුන් හා සතුටු වීමි. සතුටට කරුණු වු සිතැ රැඳැවිය යුතු වු කතා බස් කොට අවසනැ පසෙක ඉඳ ගතිමි. පසෙක ඉඳ ගත්තෙම් වහන්ස, මම ගෝසාල මක්ඛලීහු අමතා ‘ භවත් ගෝසාලයිනි, යම්සේ අතැරුවෝ ය, අසරුවෝ ය, රියරුවෝ ය, දුනුවායෝ ය, දියදද දරනුවෝ ය, සෙන් විදහනුවෝ ය, සැහැසි මහ සෙබළෝ ය, යුද වදිනා උසස් රජපුත්තු ය, යුද මැදට පැන වදුනා යෝධයෝ ය, ඇතුන් බඳු මහ සෙබ‍ළෝ ය, හුදෙකලා වැ යුද වදිනා සෙබළෝ ය, සම්සැට්ටයෙන් වැසී හෝ පලිහත් දරා යුද කරන්නෝ ය, ගෙහි ම වූ ගෘහදාස යෝධයෝ ය මේ වඩන්නෝ ය, ඇම්බැට්ටයෝ ය, නාවන්නෝ ය, සූපකාරයෝ ය, මලාකාරයෝ ය, රජකයෝ ය, පෙහෙරු ය, කුලුපොත්තෝ ය, කුඹල්ලු ය, අච්ඡිද්‍ර ගණකයෝ ය, හස්තමුද්‍රා ගණකයෝ ය, යන මොවුන් පුරුදු පුහුණු කරන ශිල්ප කෙනෙක් වෙත් ද, ඔහු හැම මේ අත්බව්හි ම තම තමන් විසින් ම දැක්කැ හැකි ඵල ඇති ශිල්ප නිසා දිවි රකිත්, ඔහු එයින් තමන් සුවපත් කෙරෙත්, පිනවත්. මාපියන් සුවපත් කෙරෙත්, පිනවත්. අඹුදරුවන් සුවපත් කෙරෙත්, පිනවත්. මිත්‍රාමාත්‍යයන් (සග යහළුවන් ) සුවපත් කෙරෙත් පිනවත්. මත්තෙහි පල දෙන සග සැපතට සුදුසු වු සුඛ විපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා  දන් මහණ බමුණු කෙරෙහි පිහිටුවත්. භවත් ගෝසාලයිනි, මෙසේ ම මහණ දමෙහි මෙහි ම අත්දැකිය හැකි ඵලවිපාකයක් දක්වන්නට හැකිදැ” යි මෙය  විචාළෙමි.
 
19.වහන්ස, මෙසේ විචාළ කල්හි ගෝසාල මක්ඛලීහු මට මෙය කීහ: “  මහරජ, සත්ත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් ප්‍රත්‍යයයෙක් නැත. හේතුවක් නැති වැ ප්‍රත්‍යයක් නැතිවැ (ඉබේ ම) සත්ත්වයෝ කෙලෙසෙත්. සත්ත්වයන්ගේ පිරිසිදු වීමට ද  හේතුවෙක් නැත., ප්‍රත්‍යයයෙක් නැත. හේතුව නැති වැ ප්‍රත්‍යය නැති වැ සත්ත්වයෝ පිරිසිදු වෙත්, තමාගේ යහපත  සඳහා කළයුතු අවවාදානුශාසනාදී කර්මයෙක් ද නැත. සැපත් ලබනුවට ඉවහල් වන බලය කියා එකෙක් නැත. පුරුෂ පරාක්‍රමය කියා එකෙක් නැත. හැම සත්තුම හැම ප්‍රාණීහු හැම භූතයෝ හැම ජීවයෝ තමන්ගේ ශක්තියක් බලයක් වීර්‍යයක් නැත්තෝ ම නියමය, සංගතිය (තම තමා අයත් වර්ගයට පැමිණීම), ස්වභාවය යන මේ තුනින් පරිණාමයට පැමිණීයෝ අභිජාති සයෙක්හිම සැප දුක් විඳිත්.
මේ ප්‍රමුඛ යෝනීහු තුදුස් ලක්ෂ හදහස් හසියෙකි. කර්ම පන්සීයෙකි.(අන් සැටියෙකින් ) කර්ම පසෙක් ද කර්ම තුනෙක් ද වෙත් (කායවාක්කර්ම වූ) පූර්ණ කර්ම ද, (මනක්කර්ම වූ) අර්ධ කර්ම ද වේ. ප්‍රතිපත්ති දෙසැටෙකි. අන්තක්කල්ප දෙසැටෙකි. අභිජාති සයෙකි. පුරුෂභූමි අටෙකි. ජිවිකාවෘත්ති සාරදහස් නවසියෙකි. පරිබ්‍රාජකයන් පිළිබඳ ප්‍රව්‍රජ්‍යා සාරදහස් නවයෙකි. නාගමණ්ඩල සාරදහස් නවයෙකි. ඉන්ද්‍රියයො දෙදහසෙකි. නිරයයො තුන්දහසෙකි. අත්පිටු පාපිටු ආදි ධුලි තැවැරෙන තැන් සතිසෙකි. සංඥී ගර්භ සතෙකි. නිර්ග්‍රන්ථගර්භ සතෙකි. (පුරුකින් පැල වෙන උක් හුණු ආදී ගර්භ සතෙකි.) දේව වර්ග සතෙකි. මනුෂ්‍ය වර්ග සතෙකි. පිශාච ජාති සතෙකි. මහවිල් සතෙකි. මහ පර්වත සතෙකි. කුඩා පර්වත සත්සියෙයකි. මහා ප්‍රපාත සතෙකි. කුඩා ප්‍රපාත සත්සියෙයකි. මහා ස්වප්න සතෙකි. කුඩා ස්වප්න සත්සියෙයකි. අනුවණයනුත් නුවණැත්තනුත් සසරැ දිවැ හැවිදැ දුක් කෙළෙවර කිරීමට ගෙවියැ යුතු කල්ප අසූහාර ලක්ෂයකි.
එහි මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ නොමුසු කළ කර්මය මුහුකුරුවන්නෙමි යි කියා කළ යුත්තක් නැත. මුහුකළ කර්මය විඳ විඳ ක්ෂීණ කරන්නෙමි යි කියා හෝ මෙසේ කළයුතු දැයෙක් නැත. ද්‍රෝණයක් මැන ප්‍රමාණවත් කරන ලද්දක් සේ  සුව දුක් දෙක (කියන ලද කාලසීමාව ගෙවුනු කල්හි) කෙළවර කෙරුණේ වෙයි. සසර ගමනෙහි අඩුවීමෙක් වැඩීවීමෙක් නැත. නැගීමෙක් බැසීමෙක් නැත. යම් සේ දමාලූ හූවටෙක් ලිහෙමින් දිග ඇති තෙක් යේ ද, එයින් මතු නොයේ ද , එ පරදිමි අනුවණයෝත් නුවණැත්තොත් (සසරැ) දිව හැවිද දුක් කෙළෙවර කරන්නාහ’ යනු යි.
වහන්ස, මෙසේ ගෝසාල මක්ඛලීහූ මා විසින් සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය විචාරණ ලදුවෝ ම සංසාර ශුද්ධිවාදය පැවසූහ.
වහන්ස, ඒ මට ‘මා වැන්නෙක් සිය රටැ වසන මහණකු හෝ බමුණෙකු පෙළිය යුතු කොට කෙසේ නම් සිතියැ හැකිදැ’ යි මේ සිත විය. වහන්ස, ඒ මම ගෝසාල මක්ඛලීගේ වචනය නොපැසැසිමි, එයට විරුද්ධ බසකුත් නො කීමි. මෙසේ නො පසසා, නොද විරුදු බසක් කියා, නො සතුටු සිතැත්තෙම් නුමුදු, නො සතුටු බසක් නො නික්මවා,  එ ම බස සාර වශයෙන් නො ගන්නෙම්, සාර වශයෙන් සිතැ ද නො තබන්නෙම්, හුනස්නෙන් නැඟී නික්මිණිමි.
 
20.වහන්ස, මම් එක් විටෙක කේශකම්බල අජිතයන් කරා එළැඹියෙමි. එලැඹ ඔහු හා සතුටු විමි. සතුටට කරුණු වු සිතැ රැඳවිය යුතු කතා බස් නිමවා එක් පසෙක හිඳගතිමි. එසේ හිඳ ගත්තෙම්, ඔහු අමතා ‘භවත් අජිතයෙනි, යම්සේ අතැරුවෝ ය, අසරුවෝ ය, රියරුවෝ ය, දුනුවායෝ ය, දියදද දරනුවෝ ය, සෙන් විදහනුවෝ ය, සැහැසි මහ සෙබළෝ ය, යුද වදිනා උසස් රජපුත්තු ය, යුද මැදට පැන වදුනා යෝධයෝ ය, ඇතුන් බඳු මහ සෙබ‍ළෝ ය, හුදෙකලා වැ යුද වදිනා සෙබළෝ ය, සම්සැට්ටයෙන් වැසී හෝ පලිහත් දරා යුද කරන්නෝ ය, ගෙහි ම වූ ගෘහදාස යෝධයෝ ය මේ වඩන්නෝ ය, ඇම්බැට්ටයෝ ය, නාවන්නෝ ය, සූපකාරයෝ ය, මලාකාරයෝ ය, රජකයෝ ය, පෙහෙරු ය, කුලුපොත්තෝ ය, කුඹල්ලු ය, අච්ඡිද්‍ර ගණකයෝ ය, හස්තමුද්‍රා ගණකයෝ ය, යන මොවුන් පුරුදු පුහුණු කරන ශිල්ප කෙනෙක් වෙත් ද, ඔහු හැම මේ අත්බව්හි ම තම තමන් විසින් ම දැක්කැ හැකි ඵල ඇති ශිල්ප නිසා දිවි රකිත්, ඔහු එයින් තමන් සුවපත් කෙරෙත්, පිනවත්. මාපියන් සුවපත් කෙරෙත්, පිනවත්. අඹුදරුවන් සුවපත් කෙරෙත්, පිනවත්. මිත්‍රාමාත්‍යයන් (සග යහළුවන් ) සුවපත් කෙරෙත් පිනවත්. මත්තෙහි පල දෙන සග සැපතට සුදුසු වු සුඛ විපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා  දන් මහණ බමුණු කෙරෙහි පිහිටුවත්. වහන්ස, මෙසේ ම මහණ දමෙහි සාන්ද්‍රෘෂ්ටික (මෙහි ම අත්දැකිය හැකි) ඵලවිපාකයක් පණවන්නට (දක්වන්නට) හැකිදැ” යි  විචාළෙමි.
වහන්ස, මෙසේ මා විචාළ කල්හී, කේශකම්බල අජිතයො මට මෙය කීහ: “ මහරජ, දුන් දැයෙහි පල නැත. කල මහායාගයෙහි පල නැත. කුශලාකුශල කර්මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත. පරලොවැ සිටියා හට මෙ ලොව නැත. මෙලොව සිටියා හට පරලොවෙක් නැත. මවට උපකාර අපකාර කිරිමෙහි ඵල විපාක නැත. පියාට උපකාර අපකාර කිරීමෙහි ඵල විපාක නැත. උප්පාදුක(මෙයින් සැව නැවත උපදනා ) සත්ත්වයෝ නැත. සම්‍යග් (නිවැරදි මඟින් ගිය) සම්‍යග් ප්‍රතිපන්න, (නිසි මඟ පිළිපන්,) මේ ලොවත් පරලොවත් තුමු ම වෙසෙසින් දැන පසක් කොට (ලොවට ) හෙළි කරන මහණබමුණු කෙනෙක් නැත. සතර මහාභූතයන්ගෙන් නිපන් මේ පුරුෂ තෙමෙ යම් විටෙක කළුරිය කෙරේ නම්, එ විටැ (මොහුගේ කයෙහි වු) පෘථවිධාතුව බාහිර පෘථුවිධාතු රැස කරා යයි. එය අනුගමනය කරයි. ආපෝධාතුව බාහිර ආපෝධාතු රැස කරා යයි, එය අනුගමනය කරයි. තේජොධාතුව බාහිර තේජොධාතු රැස කරා යයි, එය අනුගමනය කරයි. වායොධාතුව බාහිර වායෝධාතුව කරා යයි, එය අනුගමනය  කරයි. ඇස් ආදී ඉන්ද්‍රිෙයා් අහසට පැන යෙත්. වැදහොත් ඇඳ පස්වනු කොටැති පුරුෂයෝ මළ සිරුර ගෙන යෙත්. සොහොන තෙක් පමණක් පදයො (ගුණාගුණ වචනයෝ) පැණෙත්. ඇට පරෙවිවන් වේ. ආගන්තුකසත්කාරාදී වශයෙන් දුන් දන් මළ සිරිරෙහි අළු කිස නිමහම් තෙක්ම වේ. (එයින් පසු එහි කිසිත් ඉතිරි නොවේ) දාන යනු අඥයන් විසින් පණවන ලද්දකි. යම් කෙනෙක් ආස්තික වාදය (පරලොවක් ඇතැයි කර්ම විපාක ඇතැයි යන ආදි වූ වාදය ) කියත් නම්, එය ඔවුන්ගේ හිස් බොරුවොකි, ප්‍රලාපයෙකි. අනුවණයෝ ද නුවණැත්තෝ ද යන හැම කය බිඳීමෙන් මුල සුන් වෙත්, වැනසෙත්, මරණින් මතු ඇති නොවෙත්” යනුයි.
වහන්ස, මෙසේ කේශකම්බල අජිතයො මා විසින් සන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය විචාරණ ලදුවෝ ම උච්ඡේදවාදය පැවැසූහ. වහන්ස, යම්සේ අඹ විචාරණ ලද්දේ දෙල් කියන්නේ ද, දෙල් හෝ විචාරණ ලද්දේ අඹ හෝ කියන්නේ ද, එසේ ම, වහන්ස, කේශකම්බල අජිතයෝ සන්දෘෂ්ටික සාමාණ්‍යඵලය විචාරණ ලදුවෝ ම උච්ඡේදවාදය පැවසූහ.
වහන්ස, ඒ මට ‘ මා වැන්නෙක් සිය රටෙහි වසන මහණ හෝ බමුණකු වෙහෙසිය යුතු කොට කෙසේ සිතිය හෙන්නේදැ? ’ යි මේ සිත විය. වහන්ස, ඒ මම් කේශකම්බල අජිතයන්ගේ බස නොම පැසැසීමි, එයට විරුද්ධ බසක් ද නො කීමි. එය නොම පසසා, විරුදු බසකුත් නො නික්මවා, ඔවුන්ගේ ඒ වචන සාර වශයෙන් නො ගන්නෙම්, සාර වශයෙන් සිතැ නො පිහිටුවන්නෙම්, හුනස්නෙන් නැගී නික්මිණීමි.
 
21.වහන්ස, අන් එක් වරෙක මම් කාත්‍යායනග්‍රෝත්‍රික පකුධයන් වෙත ගියෙමි. ගොස් ඔවුන් හා සතුටු විමි. සතුටට කරුණු වූ සිතැ රැදවිය යුතු වු කතාබස් නිමවා පසෙක ඉඳගතිමි.  එසේ ඉඳගත් මම් කාත්‍යායන පකුධයන් අමතා  “ භවත් කාත්‍යායනයිනි, යම්සේ අතැරුවෝ ය, අසරුවෝ ය, රියරුවෝ ය, දුනුවායෝ ය, දියදද දරනුවෝ ය, සෙන් විදහනුවෝ ය, සැහැසි මහ සෙබළෝ ය, යුද වදිනා උසස් රජපුත්තු ය, යුද මැදට පැන වදුනා යෝධයෝ ය, ඇතුන් බඳු මහ සෙබ‍ළෝ ය, හුදෙකලා වැ යුද වදිනා සෙබළෝ ය, සම්සැට්ටයෙන් වැසී හෝ පලිහත් දරා යුද කරන්නෝ ය, ගෙහි ම වූ ගෘහදාස යෝධයෝ ය මේ වඩන්නෝ ය, ඇම්බැට්ටයෝ ය, නාවන්නෝ ය, සූපකාරයෝ ය, මලාකාරයෝ ය, රජකයෝ ය, පෙහෙරු ය, කුලුපොත්තෝ ය, කුඹල්ලු ය, අච්ඡිද්‍ර ගණකයෝ ය, හස්තමුද්‍රා ගණකයෝ ය, යන මොවුන් පුරුදු පුහුණු කරන ශිල්ප කෙනෙක් වෙත් ද, ඔහු හැම මේ අත්බව්හි ම තම තමන් විසින් ම දැක්කැ හැකි ඵල ඇති ශිල්ප නිසා දිවි රකිත්, ඔහු එයින් තමන් සුවපත් කෙරෙත්, පිනවත්. මාපියන් සුවපත් කෙරෙත්, පිනවත්. අඹුදරුවන් සුවපත් කෙරෙත්, පිනවත්. මිත්‍රාමාත්‍යයන් (සග යහළුවන් ) සුවපත් කෙරෙත් පිනවත්. මත්තෙහි පල දෙන සග සැපතට සුදුසු වු සුඛ විපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා දන් මහණ බමුණු කෙරෙහි පිහිටුවත්. වහන්ස, මෙසේ ම මහණ දමෙහි සාන්ද්‍රෘෂ්ටික (මෙහි ම අත්දැකිය හැකි) ඵලවිපාකයක් පණවන්නට (දක්වන්නට) හැකිදැ” යි  විචාළෙමි.
වහන්ස, මෙසේ මා විචාළ කල්හි කාත්‍යායන පකුධයෝ මට මෙය කීහ:
“මහරජ, කිසිවෙකු විසින් නො කරන ලද, නො කළ විධාන ඇති ඉඳු බෙලෙනුදු නො මවන ලද, අන් කිසිදු ලෙසෙකින් නොම මවන ලද වඳ වු (කිසිවෙක් නො උපදවන), පවුකුළක් සේ ස්ථීර (හෙවත් පරිණාම රහිත) ඉන්ද්‍රඛීලයක් සේ තරැ වැ සිටිනුයෙන් තහවුරු වූ, කය (සමූහ) සතෙක් වෙත්. කවර සතෙක් ද?  යත්:  පඨවිකාය, ආපෝකාය, තෙජෝකාය, වායොකාය, සුඛ දුක්ඛ සත්වන ජීවය ද වෙත්. ඔහු නො සැලෙත්. නො පෙරැළෙත්. උනුනට බාධක නො වෙත්. උනුනට සුවය හෝ දුක හෝ සුව දුක් දෙකම හො දීමට සමත් නො වෙත්. ඒ කාය සතෙහි නසන්නෙක් හෝ නස්වන්නෙක් හෝ, අසන්නෙක් හෝ අස්වන්නෙක් හෝ දැන ගන්නෙක් හෝ දන්වන්නෙක් හෝ නැත. යමෙක් තියුණු සැතෙකින් හිස සිඳින්නේ නම්, එහි කිසිවෙක කිසිවකු දිවියෙන් තොර නොකරයි. වැලි, සප්තකායයන් අතරින් ආයුධය විවරයට වැද ගනී” යනුයි.
වහන්ස, මෙසේ මා විසින් සන්දෘෂ්ඨික ශ්‍රාමණ්‍යඵලය විචාරන ලද කාත්‍යායන පකුධයෝ අනෙකකින් අනෙකක් (ඉඳුරාම  එයට විරුද්ධ දැයක්) පැවසූහ. වහන්ස, අඹ විචාරන ලද්දේ දෙල් ගැන කරුණු කියන්නේත් දෙල් විචාරණ ලද්දේ අඹ ගැන කරුණු කියන්නේත් යම් සේ ද, එසේම, වහන්ස කාත්‍යායන පකුධයෝ මා විසින් සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය විචාරන ලදුවෝ ම අනෙකෙන් අනෙකක් (ඉඳුරාම වෙනස් දැයක්) පැවසී ය.
වහන්ස, ඒ මට “ සිය රටෙහි වසන මහණෙකු හෝ බමුණෙකු වෙහෙසිය යුතු කොට මා වැන්නෙක් කෙසේ නම් සිතන්නේ දැ? ” යි මේ සිත විය. වහන්ස, ඒ මම් කාත්‍යායන පකුධයන්ගේ වචනය නො පැසසිමි. නොද විරුද්ධ බසක් කීමි. නො පසසා, විරුද්ධ බසක් ද නො කියා, නොසතුටු සිතැත්තෙම්, නො සතුටු හඟවන බසක් නො කියා, ඒ ඔවුන්ගේ බස සාර වශයෙන් නොගන්නෙම්, සාර වශයෙන් සිතැ නො තබා ගන්නෙම්, හුනස්නෙන් නැගී නික්මිණිමි.
 
22.වහන්ස, තවත් එක් විටෙක මම ඥාතපුත්‍රනිර්ග්‍රන්ථයන් කරා එළැමුණෙමි. එලැඹ ඔවුන් හා සතුටු වීමි. සතුටට කරුණු වු සිත රැඳවිය යුතු වු කතාබස් නිමවා එක් පසෙක හුන්නෙමි. වහන්ස, පසෙක හුන් මම් ඔවුන් අමතා
“ භවත් අග්නිවෙශ්‍යායනයෙනි, යම්සේ අතැරුවෝ ය, අසරුවෝ ය, රියරුවෝ ය, දුනුවායෝ ය, දියදද දරනුවෝ ය, සෙන් විදහනුවෝ ය, සැහැසි මහ සෙබළෝ ය, යුද වදිනා උසස් රජපුත්තු ය, යුද මැදට පැන වදුනා යෝධයෝ ය, ඇතුන් බඳු මහ සෙබ‍ළෝ ය, හුදෙකලා වැ යුද වදිනා සෙබළෝ ය, සම්සැට්ටයෙන් වැසී හෝ පලිහත් දරා යුද කරන්නෝ ය, ගෙහි ම වූ ගෘහදාස යෝධයෝ ය, මේ වඩන්නෝ ය, ඇම්බැට්ටයෝ ය, නාවන්නෝ ය, සූපකාරයෝ ය, මලාකාරයෝ ය, රජකයෝ ය, පෙහෙරු ය, කුලුපොත්තෝ ය, කුඹල්ලු ය, අච්ඡිද්‍ර ගණකයෝ ය, හස්තමුද්‍රා ගණකයෝ ය, යන මොවුන් පුරුදු පුහුණු කරන ශිල්ප කෙනෙක් වෙත් ද, ඔහු හැම මේ අත්බව්හි ම තම තමන් විසින් ම දැක්කැ හැකි ඵල ඇති ශිල්ප නිසා දිවි රකිත්, ඔහු එයින් තමන් සුවපත් කෙරෙත්, පිනවත්. මාපියන් සුවපත් කෙරෙත්, පිනවත්. අඹුදරුවන් සුවපත් කෙරෙත්, පිනවත්. මිත්‍රාමාත්‍යයන් (සග යහළුවන් ) සුවපත් කෙරෙත් පිනවත්. මත්තෙහි පල දෙන සග සැපතට සුදුසු වු සුඛ විපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා  දන් මහණ බමුණු කෙරෙහි පිහිටුවත්. වහන්ස, මෙසේ ම මහණ දමෙහි සාන්ද්‍රෘෂ්ටික (මෙහි ම අත්දැකිය හැකි) ඵලවිපාකයක් පණවන්නට (දක්වන්නට) හැකිදැ” යි  විචාළෙමි.
වහන්ස, මෙසේ මා විචාළ කල්හි ඥාතපුත්‍ර නිර්ග්‍රන්ථයෝ මට මෙය කීය:
“ මහරජ, මේ නිර්ග්‍රන්ථශාසනයෙහි නිර්ග්‍රන්ථ තෙමේ යාම (භාග) සතරක් ඇති ශීලසංවරයෙන් වැසුණේ වේ. මහරජ කෙසේ නම් නිර්ග්‍රන්ථ තෙමේ යාම සතරක් ඇති සංවරයෙන් සංවෘත වේ ද ? යත්:  මහරජ, මෙහි නිර්ග්‍රන්ථ තෙමේ වැළැකුනු සියලු සිසිල් දිය ඇත්තේ වේ. සර්වප්‍රකාර සංවරලක්ෂණයෙන් සමන්විත වේ. පිඹ හළ සියලු චාර්‍යයන් (හෙවත් පව්) ඇත්තේ වේ. (කර්මක්ෂය ලක්ෂණ වු ) සියලු පාපවාරණයෙන් (මෝක්ෂය) ස්පර්ශ කොට සිටියේ වේ. මහරජ, මෙසේ නිර්ග්‍රන්ථ තෙමේ චාතුර්යාමසංවරයෙන් සංවෘත වූයේ වේ. මහරජ, යම් හෙයෙකින් නිර්ග්‍රන්ථ තෙමේ මෙසේ චාතුර්යාමසංවරයෙන් සංවෘත වේ ද, එහෙයින් (මෝක්ෂාධිගමයෙන් ම කෙළෙවරට ) පත් සිතැත්තේ ද, (කායාදි ඉන්ද්‍රියයන්හි තව දුරටත් සංයම කළ යුත්තක් නැති බැවින්) සංයත ආත්ම ඇත්තේ ද, (මොනවට) පිහිටි සිතැත්තේ ද වේ යැ යි කියනු ලැබේ.”
වහන්ස, මෙසේ ඥාතපුත්‍ර නිර්ග්‍රන්ථයන් තෙමේ මා විසින් සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය විචාරන ලද්දේ ම චාතුර්යාමසංවරය පැවසී ය. යම්සේ අඹ විචාරණ ලද්දේ දෙල් දක්වන්නේ ද, දෙල් විචාරණ ලද්දේ අඹ දක්වන්නේ ද, එසේ ම, වහන්ස, ඥාතපුත්‍ර නිර්ග්‍රන්ථයෝ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵල විචාරන ලදුවෝ ම චාතුර්යාමසංවරය පැවසූහ.
වහන්ස, ඒ මට “ කෙසේ නම් මා වැන්නෙකු සිය රටෙහි වසන මහණකු හෝ බමුණෙකු වෙහෙසියැ යුතු කොට සිතන්නේ දැ” යි මේ සිත විය. වහන්ස, ඒ මම් වනාහි ඥාතපුත්‍ර නිර්ග්‍රන්ථයන්ගේ වචනය මැනැවැයි නො පැසසිමි, විරුද්ධ බසකුදු නො කීමි. නොම පසසා, නො ද විරුදු බසක් කියා, නො සතුටු සිතැතියෙම්, නොසතුට හඟවන වචනයක් ද නොකියා, ඔවුන් කී ඒ බස් සාරවශයෙන් ද නො පිළිගත්තෙම්, සිතැ ද නො ම තබා ගත්තෙම්, හුනස්නෙන් නැඟී නික්මැ ගියෙමි.
 
23.නැවත ද වහන්ස, එක් වරෙක මම් වෛරාටිපුත්‍ර සංජයන් කරා ගියෙමි. ගොස් ඔවුන් හා සතුටු වීමි. සතුටට කරුණු වූ සිතැ රැඳැවිය යුතු  වු කථාව නිමවා පසෙක ඉඳ ගතිමි. වහන්ස, එසේ ඉඳගත්තෙම් ඔවුන් අමාතා, “භවත් සංජයයෙනි, යම්සේ අතැරුවෝ ය, අසරුවෝ ය, රියරුවෝ ය, දුනුවායෝ ය, දියදද දරනුවෝ ය, සෙන් විදහනුවෝ ය, සැහැසි මහ සෙබළෝ ය, යුද වදිනා උසස් රජපුත්තු ය, යුද මැදට පැන වදුනා යෝධයෝ ය, ඇතුන් බඳු මහ සෙබ‍ළෝ ය, හුදෙකලා වැ යුද වදිනා සෙබළෝ ය, සම්සැට්ටයෙන් වැසී හෝ පලිහත් දරා යුද කරන්නෝ ය, ගෙහි ම වූ ගෘහදාස යෝධයෝ ය මේ වඩන්නෝ ය, ඇම්බැට්ටයෝ ය, නාවන්නෝ ය, සූපකාරයෝ ය, මලාකාරයෝ ය, රජකයෝ ය, පෙහෙරු ය, කුලුපොත්තෝ ය, කුඹල්ලු ය, අච්ඡිද්‍ර ගණකයෝ ය, හස්තමුද්‍රා ගණකයෝ ය, යන මොවුන් පුරුදු පුහුණු කරන ශිල්ප කෙනෙක් වෙත් ද, ඔහු හැම මේ අත්බව්හි ම තම තමන් විසින් ම දැක්කැ හැකි ඵල ඇති ශිල්ප නිසා දිවි රකිත්, ඔහු එයින් තමන් සුවපත් කෙරෙත්, පිනවත්. මාපියන් සුවපත් කෙරෙත්, පිනවත්. අඹුදරුවන් සුවපත් කෙරෙත්, පිනවත්. මිත්‍රාමාත්‍යයන් (සග යහළුවන් ) සුවපත් කෙරෙත් පිනවත්. මත්තෙහි පල දෙන සග සැපතට සුදුසු වු සුඛ විපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා  දන් මහණ බමුණු කෙරෙහි පිහිටුවත්. වහන්ස, මෙසේ ම මහණ දමෙහි සාන්ද්‍රෘෂ්ටික (මෙහි ම අත්දැකිය හැකි) ඵලවිපාකයක් පණවන්නට (දක්වන්නට) හැකිදැ” යි  මෙය කීමි.
වහන්ස, මෙසේ මා කී කල්හී වෛරට්ටීපුත්‍ර සංජයෝ මට මෙය කීහ:
පරලොවක් ඇත්දැ යි ඉඳින් මා විචාරයි නම්, පරලොවෙක් ඇතැයි මට අදහස් වී නම්, පරලොවෙක් ඇතැ යි යුෂ්මත්හට එය විසඳන්නෙමි. එහෙත් මෙසේත් මගේ අදහසෙක් නැත. පරලොවක් ඇතැයි එ පරිදි වු අදහසෙකුත් මට නැත. අන් පරිද්දෙකිනුත් මගෙ අදහසෙක් නැත. පරලොවක් නොමැත්තේ නොවේ  කියාත් මගෙ අදහසෙක් නැත.
‘පරලොවක් නැත්දැ’යි ඉඳින් මා විචාරයි නම්, ........
‘පරලොවක් ඇත්තේත් නැත්තේත් වේ දැ’ යි මා විචාරයි නම්,....................
‘පරලොවෙක් නො ම ඇත්තේත් නැත්තේත් වේ දැ’ යි  මා විචාරයි නම්,......................
‘පරලොවෙක් නො ම ඇත්තේ නැත්තේත් නො ම වේ දැ’ යිත් මා විචාරයි නම්, ..........
‘මෙයින් සැව පරලොවැ උපදනා සත්තු ඇත්දැ’යි,.............
‘මෙයින් සැව පෙරලොවැ උපදනා සත්තු නැත් දැ’ යි ,...........................
‘මෙයින් සැව පරලොවැ උපදනා සත්තු ඇත්තේත් නැත්තේත් වෙත් දැ’ යි...................
‘මෙයින් සැව පෙරලොවැ උපදනා සත්තු ඇත්තෝත් නොම වෙත් ද , නැත්තෝත් නො ම වෙත් දැ’ යි................
‘කුශලාකුශලකර්මයන්ගේ ඵල විපාක ඇද්දැ’යි ........................
‘කුශලාකුශලකර්මයන්ගේ ඵල විපාක නැත්දැ’යි.................................
‘කුශලාකුශලකර්මයන්ගේ ඵල විපාක ඇත්තේත් නැත්තේත් වේ දැ’යි.....................
‘කුශලාකුශලකර්මයන්ගේ ඵල විපාක ඇත්තේත් නැත්තේත් නොවේ දැ’යි...........................
‘සත්ත්වයා මරණීන් මත්තෙහි වන්නේ දැ’ යි..................
‘සත්ත්වයා මරණීන් මත්තෙහි නො වන්නේ දැ’ යි.......................
‘සත්ත්වයා මරණින් මත්තෙහි වන්නේත් නො වන්නේත් වේ දැ’ යි...........
‘සත්ත්වයා මරණින් මත්තෙහි  වන්නේත් නොවන්නේත් නො වේ දැ’ යි මෙසේ මා විචාරයි නම් සත්ත්වයා මරණින් මත්තෙහි නො ම වන්නේ ය නො වන්නේ නොවේ’ යි කියා යුෂ්මත්හට එය විසඳන්නෙමි. ‘මේ කාරණය මෙසේ ම යැ’ යිත් මට අදහසක් නොවේ. එසේම ‘මේ කාරණය වෙතැ’යිත් මට අදහසක් නොවේ. අන් සැටියකින් ‘මේ කාරණය වෙතැ’යිත් මට අදහසක් නොවේ ‘මේ කාරණය මෙසේ නො වෙතැ’යිත් මට අදහසක් නොවේ ‘මෙය මෙසේ නො වන්නේ නැතැ’ යි ද මට අදහසක් නොවේ යනු යි.
වහන්ස, මා විසින් වෛරට්ටීපුත්‍ර සංජයෝ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය විචාරන ලදුවෝ ම අපර්‍යන්තවික්ෂේපය (ඉමක් කොණක් නැති සේ වචනයන්ගෙන් ප්‍රශ්ණය ඉවත් කිරීම) පැවසූහ. වහන්ස, අඹ විචාරණ ලද්දේ දෙල් ගැන කියනුයේත් දෙල් විචාරන ලදුයේ අඹ ගැන කියනුයේත් යම් සේ ද, එසේ ම, වහන්ස, වෛරට්ටීපුත්‍ර සංජයෝ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵල විචාරන ලදුවෝ ම වික්ෂේපය පැවසූහ.
වහන්ස, ඒ මට ‘‘මේ තෙමේ මහණබමුණන් අතුරෙන් හැම ගෙන් ම බාලතම ය, මූඩතම ය, සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵල විචාරන ලදුයේ ම කෙසේ නම් වික්ෂේපය කියා පාන්නේදැ?’’  යි මේ අදහස විය. වහන්ස, ඒ මට ‘‘ කෙසේ නම් මා වැන්නෙක් මා රටවැසි මහණකු හෝ බමුණකු හෝ වෙහෙසිය යුතු කොට සිතන්නේ දැ?’’ යි මේ සිත විය. වහන්ස, ඒ මම වෛරට්ටීපුත්‍ර සංජයයන්ගේ වචනය නො ම පැසැසීමි. එයට විරුද්ධ බසකුත් නො කීමි. නො පසසා, විරුදු බසකුත් නො කියා, නො සතුටු වූයෙම් නමුදු නො සතුට හඟවන බසක් නො නික්මවා, ඒ ඔහුගේ සාර විසිනුත් නො පිළිගනුයෙම්, සිතැ ද නො තබනුයෙම්, හුනස්නෙන් නැගී නික් මැ ගියෙමි.
 
24.වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද විචාරමි. වහන්ස, යම්සේ අතැරුවෝ ය, අසරුවෝ ය, රියරුවෝ ය, දුනුවායෝ ය, දියදද දරනුවෝ ය, සෙන් විදහනුවෝ ය, සැහැසි මහ සෙබළෝ ය, යුද වදිනා උසස් රජපුත්තු ය, යුද මැදට පැන වදුනා යෝධයෝ ය, ඇතුන් බඳු මහ සෙබ‍ළෝ ය, හුදෙකලා වැ යුද වදිනා සෙබළෝ ය, සම්සැට්ටයෙන් වැසී හෝ පලිහත් දරා යුද කරන්නෝ ය, ගෙහි ම වූ ගෘහදාස යෝධයෝ ය මේ වඩන්නෝ ය, ඇම්බැට්ටයෝ ය, නාවන්නෝ ය, සූපකාරයෝ ය, මලාකාරයෝ ය, රජකයෝ ය, පෙහෙරු ය, කුලුපොත්තෝ ය, කුඹල්ලු ය, අච්ඡිද්‍ර ගණකයෝ ය, හස්තමුද්‍රා ගණකයෝ ය, යන මොවුන් පුරුදු පුහුණු කරන ශිල්ප කෙනෙක් වෙත් ද, ඔහු හැම මේ අත්බව්හි ම තම තමන් විසින් ම දැක්කැ හැකි ඵල ඇති ශිල්ප නිසා දිවි රකිත්, ඔහු එයින් තමන් සුවපත් කෙරෙත්, පිනවත්. මාපියන් සුවපත් කෙරෙත්, පිනවත්. අඹුදරුවන් සුවපත් කෙරෙත්, පිනවත්. මිත්‍රාමාත්‍යයන් (සග යහළුවන් ) සුවපත් කෙරෙත් පිනවත්. මත්තෙහි පල දෙන සග සැපතට සුදුසු වු සුඛ විපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා  දන් මහණ බමුණු කෙරෙහි පිහිටුවත්. වහන්ස, මෙසේ ම මහණ දමෙහි සාන්ද්‍රෘෂ්ටික (මෙහි ම අත්දැකිය හැකි) ඵලවිපාකයක් පණවන්නට (දක්වන්නට) හැකිදැ” යි  රජ විචාළේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: මහරජාණෙනි, හැක්කේ ය. එසේ නම් තොප පිළිවිසමි. තොප රිසි ලෙසකින් උත්තර දෙන්නැ.
 
25.මහරජාණෙනි, මතු දැක්වෙන කරුණු තෙපි කිමැ යි (කෙසේ) සිතන්නහු ද? මෙහි තොපගේ වැඩ පල කරන, පලමුවෙන් නැගී සිටින ස්වාමීයාට කළයුතු වතාවත් හැම කොට නිමවා පසු වැ හෝනා සුලු, කීකරු වැ හැසිරෙන, තොප මනාප දෑ ම කරන, ප්‍රිය කථා ඇති, තොපගේ තුටුපහටු මුහුණ ම බලමින් හැසිරෙන(=මුහුණ සතුටු කරන්නට ම උත්සාහ කරන) දාසයෙක් ඇත්තේ නම්, ඔහුට ‘‘පිනෙහිගතිය, පිනෙහි ඵල විපාක අහෝ ආශ්චර්‍ය යි! අහෝ පුදුම යි! මේ වෛදේහීයපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ වනාහි මිනිසෙකි. මම් ද මිනිසෙක්මි. මේ රජ වූ කලී පස්කම්ගුණයෙන් යුක්ත වූයේ සමන්විත වූයේ දෙවියකු මෙන් ඉඳුරන් පිණවයි. මම් වු කලී ඔහුගේ වැඩ පල කරන, පලමුවෙන් නැඟී සිටින, සියළු කටයුතු නිමවා හැමට ම පසුව වැදැ හෝනා, කීකරු වැ පවත්නා, ඔහුට මනාප සේ හැසිරෙන, ප්‍රිය වචන කියන, ඔහු සතුටු මුහුණ දක්නට බලා සිටින දාසයෙක්මි. පින් කෙළම් වීම් නම්, ඒ මමත් මොහු සේ වන්නෙමි. එබැවින් කෙහෙරවුලු බහවා කසාවත් හැඳ ගිහිගෙන් පැවිදිබිමට වදින්නෙම් නම්, ඉතා යෙහෙකැ’’ යි මෙසේ සිතෙක් වෙයි.
හේ පසු කලෙක කෙහෙ රවුලු බහවා කසාවත් හැඳ ගිහිගෙන් පැවිදි බිමට වදනේ නම්, මෙසේ පැවිදි වුයේ දැහැමින් ලබන කන බොන දෑ හා හඳනා පොරෝනා සිවුරු ම පරම කොටැති බැවින් (එයින් මත්තෙහි අන්කිසි ආමිසයක් නොසොයන බැවින්) තෘප්ත වූයේ, කායචිත්තවිවේක දෙක්හි ඇලුණේ, කායද්වාරයෙන් සංවෘත වැ (අකුසල් නො කැරෙන සේ කය රැක ගෙන) වසන්නේ නම්, වාග්ද්වාරයෙන් සංවෘත වැ (වාග්ද්වාරයෙන් අකුසල් නො කැරෙන සේ වචනය රැක ගෙන) වසන්නේ නම්, මනෝද්වාරයෙන් සංවෘත වැ (සිතෙන් අකුසල් නො කැරෙන සේ සිත රැක ගෙන) වසන්නේ නම් -
ඉඳින් තොපගේ රාජපුරුෂයෝ තොපට ‘අවසර! දේවයන් වහන්ස, දැනගන්න: ඔබ වහන්සේගේ වැඩ කටයුතු කරන, කලින් නැගී සිටින, හැමට ම පසුවැ සැතැපෙන, කීකරු වැ හැසිරෙන, ඔබ වහන්සේට මනාප දෑ ම කරන, පිය බස් ඇති, ඔබ වහන්සේගේ තුටු පහටු මුහුණ ම බලමින් හැසිරෙන, ඔබ වහන්සේගේ  යම් දාසපුරුෂයෙක් වී නම්, දේවයන් වහන්ස, හෙ තෙමේ කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ ගිහිගෙන් පැවිදිබිමට වන්නේ ය. හේ මෙසේ පැවිදි වූයේ, දැහැමින් ලැබෙන ආහාර පාන වස්ත්‍ර ම පරම කොටැති බැවින් තෘප්ත වැ වෙසෙයි. ප්‍රවිවේකයෙහි ඇලුණේ, කයින් සංවෘත වැ වෙසෙයි. වචනයෙන් සංවෘත වැ වෙසෙයි. සිතින් සංවෘත වැ, වෙසේ යැ’ යි දන්වන්නෝ නම් - ‘භවත්නි ඒ මගේ පුරුෂ තෙමේ ඒවා. නැවත ද මගේ වැඩපල කරන, පලමුවෙන් නැගී සිටින, හැමට ම පසු වැ සැතපෙන, කීකරු වැ හැසිරෙන, මනාපචාරී ප්‍රියවාදී, මා මුහුණ සතුටු කරන්නට බලා සිටින, මගේ දාසයෙක් වේවා  යි තෙපි මෙසේ කියන්නහුදැ?’’  යි. (භාග්‍යවතුන් වහන්සේ ඇසූ සේක.)
වහන්ස, එය එසේ නොවෙයි. වැලි, අපි ම ඔහු ආදරයෙන් වඳින්නමෝ ද වමු. දැක හුනස්නෙන් නැඟී සිටින්නමෝ ද වමු. අස්නෙන් නිමතන්නමෝ ද වමු. සිවුරු බොජුන් සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් ආදරයෙන් නිමතන්නමෝ ද, වමු ඔහුට ධාර්මික රක්ෂාවරණ ගුප්තිය (දැහැමි රකවල) ද සලසන්නමු’’ යි රජ කීය.
“ මහරජාණෙනි, එය කිමැයි සිතන්නවු ද? ඉඳින් මෙසේ ඇති කල්හී මහණදම් පිරීමේ සාන්දෘෂ්ටිඵලයෙක් ඇත්තේ වේද? නොවේ ද?”යි (භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.)
“ වහන්ස, මෙසේ ඇති කලැ ඒකාන්තයෙන් සාන්දෘෂ්ටිකශ්‍රාමණ්‍යඵලය වේ” යි (රජ කීය.)
“ මහරජ මේ වනාහී තොපට මා විසින් පණවන ලද මේ අත්බව්හි ම ලැබෙන පලමු වන සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය වේ.” යි (භාග්‍යවතුන් වහන්සේ වාදළ සේක.)
 
26.“ වහන්ස, මෙසේ ම අනෙකුදු මේ අත්බව්හි වූ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයක් පණවන්නට හැක්කේදැ?” යි (රජ පුළුවුත.)
හැක්කේ ය, මහරජාණෙනි, එසේ වී නම්, මහරජාණෙනි, තොප ම මෙහි ලා පිළිවිසිමි. තොපට රිසියෙන පරිදි එය කියන්නැ. මහරජාණෙනි, ඒ කිමැයි හඟනාහු ද? මෙහි ගොවිතැන් කරන, එක් ගෙයකට අධිපති වූ, තොප අයබදු සපයන ධනධාන්‍ය වඩාලන, තොපගේ පුරුෂයෙක් ඇත්තේ නම්, ඔහුට ‘පින්වත්නි, පිනෙහි ගතිය, පිනෙහි ඵලය ආශ්චර්‍ය ය!අද්භූතය! මේ වෛදේහීයපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ වනාහි මිනිසෙකි. මම් ද මිනිසෙක්මි. මේ...... රජ වූ කලී පස්කම්ගුණයෙන් යුක්ත වූයේ සමන්විත වූයේ දෙවියකු මෙන් ඉඳුරන් පිණවයි. මම් වු කලී  එක් ගෙයකට ම අධිපති, අයබදු පසයන, ධනධාන්‍ය වඩා ලන, ඔහුගේ ගොවියෙක් වෙමි.  ඒ මම් ඉඳින් පින් කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මොහු බඳු වන්නෙමි. ඒ මම් කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ, ගිහිගෙන් පැවිද්දට වදනෙම් නම්, ඉතා යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ නම් -
හේ පසු කලෙක මඳ වූ හෝ සම්පත්රැස හැර දමා, මහත් වූ හෝ සම්පත් රැස හැරදමා මඳ වූ හෝ ඥාතිවර්ගයා හැර දමා, මහත් වූ හෝ ඥාතිවර්ගයා හැරදමා, කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ, ගිහිගෙන් පැවිද්දට වදින්නේ නම්, මෙසේ පැවිදි වූ ම හේ දැහැමින් ලත් ආහාර පාන චීවර පමණෙකින් ම සතුටු වැ, කයචිත්ත විවේකයෙහි ඇලුණෙක් වැ, කයින් සංවෘත වැ වචනයෙන් සංවෘත වැ මනසින් සංවෘත වැ වෙසෙන්නේ නම්-
තොපගේ පුරුෂයෝ තොපට  “ අවසර! දේවයන් වහන්ස, කාරණයක් දැන ගන්න. ගෘහපතික වූ, අයබදු සපයන, ධනධාන්‍ය වඩාලන, ඔබ වහන්සේගේ ගොවියෙක් වූ යම් පුරුෂයෙක් වී ද, හේ කෙහෙරවුලු බහවා කසාවත් හැඳ ගිහිගෙන් පැවිද්දට වන්නේ ය. හේ  මෙසේ පැවිදි වූයේ ම, දැහැමින් ලත් ආහාරපානචීවර පමණෙකින් තෘප්ත වැ ප්‍රවිවේකයෙහි ඇලුණේ, කයින්......වචසින්.......මනසින් සංවෘත වැ වෙසේ යැ’යි  මෙසේ දන්වන්නෝ නම් - ‘ භවත්නි ඒ මගේ පුරුෂ තෙමේ ඒවා. නැවැතත් ගෘහපතික වූ, අයබදු සපයන, ධනධාන්‍ය වඩාලන මගේ ගොවියෙක් වේවා’යි තෙපි කියන්නහු දැ?” යි (භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.)
“වහන්ස, එය එසේ නො වන්නේ ය. වැලි, අපිම ඔහු ආදරයෙන් වඳින්නමෝ ද වමු. දැක හුනස්නෙන් නැගී සිටින්නමෝ ද වමු. අස්නෙන් නිමතන්නමෝද වමු. සිවුරු බොජුන් සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් ආදරයෙන් නිමතන්නමෝ ද වමු. ඔහුට ධාර්මික රක්ෂාවරණ ගුත්තිය (දැහැමි රැකවල) ද සලසන්නෙමු”යි රජ කීය.
“ මහරජාණෙනි,  එය කිමැයි සිතන්නවු ද? ඉඳීන් මෙසේ ඇති කල්හි මහණදම් පිරීමේ සාන්දෘෂ්ටිකඵලයෙක් ඇත්තේ වේද? නොවේ ද?”යි (භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.)
“ වහන්ස, මෙසේ ඇති කලැ ඒකාන්තයෙන් සාන්දෘෂ්ටිකශ්‍රාමණ්‍යඵලය වේ” යි (රජ කීය.)
“මහරජ, මේ වනාහී තොපට මා විසින් පණවන ලද මේ අත්බව්හි ම ලැබෙන දෙවෙනි සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය යැ” යි(භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
 
27.“ වහන්ස, මේ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයට වඩා මනාප වූ, වඩා උතුම් වූ මේ අත්බව්හි ම ලැබෙන අනෙකුදු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙක් පැනවිය හැක්කේ දැ” යි (රජ පුළුවුත.)
“හැකි යි මහරජාණෙනි. එසේ නම් අසන්නැ. මොනවට සිත යොමු කරන්නැ. කියන්නෙමි ” යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
“ එසේ ය වහන්සැ” යි කියා වෛදේහිපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ පිළිවදන් දුන්නේ ය.
 
28.භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“ මහරජාණෙනි, මෙහි අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ විද්‍යාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිත් වූ නිරුත්තරපුරුෂදම්මසාරථී වු දෙව්මිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භගවත් වූ තථාගත තෙමේ ලොවැ පහළ වෙයි. හේ දෙවියන් සහිත මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ ලෝකය ද, මහණබමුණන් සහිත, සම්මත දෙවියන්(රජුන්) හා සෙසු මිනිසුන් හා සහිත සත්ත්වප්‍රජාව ද තෙමේ විශිෂ්ට නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඔවුනට අවබෝධ කරවයි. හේ දහම් දෙසනුයේ ආදියෙහි භද්‍රක (නිවරද)කොට, මධ්‍යෙයහි භද්‍රක( නිවරද)කොට, අවසන භද්‍රක (නිවරද) කොට  අර්ථ සහිත කොට, ව්‍යඤ්ජනයෙන් සහිත කොට, සර්වප්‍රකාරයෙන් පූර්ණ කොට, පිරිසිදු කොට, දහම් දෙසයි. (එසේ දෙසනුයේ ශික්ෂාත්‍රයයෙන් සංගෘහීත වූ සියලු) ශාසනබ්‍රහ්මචර්‍යය ප්‍රකාශ කෙරෙයි.
ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ අන් එක්තරා කුලයක උපන්නෙක් හෝ ඒ ධර්මය අසයි. හේ ඒ දහම් අසා තථාගත බුදුහු කෙරෙහි සැදැහැ ඇති කෙරෙයි. හේ ඒ ශ්‍රද්ධාලාභයෙන් මන්විත වූයේ,  ‘ගිහිගෙයි විසීම් සම්බාධයෙකි (අවහිරයෙකි). (රාගාදී රජස් නැගෙන) රජස් පථයකි. පැවිද්ද (සම්බාධ නැති) අභ්‍යවකාශය (එළි මහන) වැන්න. ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරසිදු කොට, ශංඛලිඛිතයක් සේ මේ බඹසර සරන්නට පහසු නොවේ. (එබැවින්) මම කෙහෙරවුලු බහවා කසාවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් පැවිදිබිමට වදනෙම් නම් යෙහෙකැ’ යි මෙසේ නුවණින් සලකයි.
හේ පසු කලෙක අල්ප වූ හෝ සම්පත් රැස හැර, මහත් වූ හෝ සම්පත් රැස හැර, මඳ වු හෝ නෑ පිරිස හැර, මහත් වූ හෝ නෑ පිරිසි හැර, කෙහෙරැවුලු බහවා, කසාවත් හැඳ පෙරෙවැ, ගිහිගෙන් පැවිදිබිමට වදී. හේ මෙසේ පැවිදි වූයේ ම ප්‍රාතිමෝක්ඛසංවරයෙන් සමන්විත වූයේ, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වූයේ, ස්වල්පමාත්‍ර වූද වරදෙහි බිය දක්නේ, නිවැරද වූ කායවාග්කර්මයෙන් සමන්විත වූයේ, එහෙයින් ම පිරිසිදු ආජීව ඇතියේ, සිල්වත් වූයේ ඉන්ද්‍රියයන්හි වැසූ දොර ඇතියේ, බොජුන්හි පමණ දන්නේ( සත් තන්හි) සිහියෙන් හා නුවණීන් හා යුක්ත වූයේ සිව්පසයෙහි තුන්වැදෑරුම් සතුටින් සතුටු වූයේ. ශික්ෂාපදයන්හී සමාදන් වැ හික්මෙයි.
 
29.මහරජ, මහණ තෙමේ කෙසේ නම් සිල්වත් වේද ? යත්: මහරජ, මෙහි මහණ තෙමේ ප්‍රණඝාතය හැරැ දමා, ප්‍රාණඝාතයෙන් වෙසෙසින් වැළැක්කේ වෙයි. බහා තැබූ දඬුමුගුරු ඇත්තේ (දඬුමුගුරු නොදරන්නේ), බහා තැබූ ආයුධ ඇත්තේ (ආයුධ නොදරන්නේ) පවට පිළිකුල් කරන්නේ, මෛත්‍රියට පැමිණියේ (මෛත්‍රියෙන් යුක්ත වූයේ), සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති වැ වෙසේ. මේ ද ඔහුගේ එක් ශීලයෙක් වේ.
හේ අදත්තාදානය දුරැ ලා බඹසර සරන්නේ වෙයි. ගැමිදහමක් වූ මෙවුන්දමින් දුරු වැ හැසිරෙන්නේ, එයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
හේ අබ්රම්සර දුරැලා බඹසර සරන්නේ වෙයි. ගැමිදහමක් වූ මෙවුන්දමින් දුරු වැ ඉවසනසුලු වූයේ, නොසොර වූ පිරිසිදුසිතින් යුතු වැ වෙසේ. මේ ද ඔහුගේ ශිලයෙක් වේ.
හේ බොරු කීම දුරැ ලා, බොරු කීමෙන් වැළැක්කේ වෙයි. ඇත්ත කියනසුලු වූයේ, ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නේ, තහවුරු වැ පිහිටි කථා ඇත්තේ, ඇදහිය යුතු කථා ඇත්තේ, ලොව නො රවටන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
හේ කේළාම් කීම් දුරැ ලා, කේලාම් කීමෙන් වැළැක්කේ වේ. මේ තැනින් අසා මොවුන් (ඔවුන් ගෙන්) බිඳවනු පිණිස එතැන්හි නො කියනසුලු වූයේ, එ තැනින් අසා ඔවුන් (මොවුන්ගෙන්) බිඳුවනු පිණිස මෙතන්හි නො කියන සුලු වූයේ,  මෙසේ බිඳුනවුන් ගළපන්නේ (සමඟකරන්නේ) ද, එකට ගැළැපුනවුන් (සමඟියටපැමිණියවුන්) හට රුකුල් දෙන්නේ ද වෙයි. සමඟිය ඇති කරන බස් කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
හේ රළු බිණුම් දුරැ ලා, රළු බස් දෙඩුමෙන් වැළැක්කේ වෙයි. නිදොස්, කන්කලු, පෙම් උපදවන, පහසුවෙන් සිතැ වැදැගන්නා, නො ගැමි, බොහෝ දෙනාට ප්‍රිය, බොහෝ දෙනාගේ මන වඩන යම් බසෙක් වේද, එබඳු වූ බස් කියන්නේ වෙයි. මේ ද ඔහුගේ සීලයෙක් වේ.
හේ බොල් හිස් දෙඩැවිලි හැරැදමා, බොල් දෙඩැවිල්ලෙන් වැළැක්කේ වෙයි. සුදුසු කාල වේලායෙහි කථා කරන සුලු වූයේ, ඇත්තම කියන සුලු වූයේ, වැඩ සලසන බසක් ම කියන සුලු වූයේ,  නව ලොවුතුරුදහම් ඇසුරු කොට ම කියනසුලු වූයේ, හික්මීම ඇති කරන බසක්ම කියනසුලු වූයේ, සිතැ තබා ගන්නට සුදුසු වූ, කරුණු සහිත වූ, ඉමක් කොනක් ඇති (ප්‍රමාණවත් වූ), දෙලෝ වැඩ හා සම්බද්ධ වූ ම බසක් සුදුසු කාලයෙහි කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
 
30.හේ බීජසමූහ(=පැළ වන දෑ) ද, භූතසමූහ (පැළ වුණු දෑ) ද, සිඳුමෙන් බිඳුමෙන් වැළැක්කේ වෙයි. රෑ බොජුනෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන බත් ඇත්තේ, නොකල් බොජුනෙන් වැළැක්කේ වෙයි. නටනු ගනු වයනු විසුළුදසුන් යන මෙයින් වැළැක්කේ වෙයි. ඇඟැ සැරැසීමට කරුණු වන මල්ගඳවිලෙවුන් දැරීමෙන් වැළැක්කේ වෙයි. පමණ ඉක්මැවූ උසසුන් ද, නොකැප වූ මහසුන් ද යන දෙකින් ම වැළැක්කේ වෙයි. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු ධාන්‍ය පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ස්ත්‍රීන් කුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. එළුවන් බැටෙළුවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැළෑක්කේ වෙයි. කෙත්වතු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ගිහියනට දූතමෙහෙවර කිරීමෙහි ද ගෙන් ගෙට පණිවිඩ පණත් ගෙන යෑමෙහි ද යෙදීමෙන් වැළැක්කේ වෙයි. වෙළෙඳ ගනුදෙනුයෙන් වැළැක්කේ වෙයි. හොරතරාදියෙන් කිරුමෙන්, බොරු රන් පෑමෙන්, හොර මිනුම්වලින් මිනුමෙන් වැළැක්කේ වෙයි. අල්ලස් ගෙන හිමියන් නොහිමි කිරීමෙන්, නානා උපායෙන් අනුන් රැවැටුමෙන්, අගනා දැයට හුරු නො අගනා දැයක් පෙන්නා කරන මායායෙන්, මේ කී නොකී හැම කෛරාටිකකම්වලින් ම වැළැක්කේ වෙයි. අත් පා ආදිය සිඳීමෙන් ද, මැරීමෙන් ද, රැහැන් ආදියෙන් බැඳීමෙන් ද, සැහැසිකම්වලින් ද වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
චූල්ලසීලය නිමියේ ය.
 
31.යම්සේ වනාහී සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මූලබීජ, (හිඟුරු ආදී පැළ වන මුල් ද), ස්කන්ධබීජ ද(නුග ආදී පැළ වන කඳ ද), පරුවීජ ද (උක් උණ බට ආදී පැළ වන පුරුක් ද), අග්‍රවීජ (ඉරිවේරිය හා පැළවන දළු ද), පස් වනු වීජ වීජ ද(වී ආදී පැළ වෙන ඇට ද) යන මේ කී වීජසමූහ ද (පැළ වන දෑ ද) භූතසමූහ ද (පැළැවුණ දෑ ද) පෙළීමෙහි (සිඳුම් බිඳුම් තැලුම් තැවුම් යැ යි)කියන ලද සමාරම්භයෙහි යෙදුණෝ වෙසෙත් ද, හෙ තෙමේ මේ බඳු වීජග්‍රාම භූතග්‍රාම සමාරම්භයෙන් වැළැක්කේ වෙයි.  මේ ද ඔහු ගේ ශීලයෙක් වේ.
 
32.යම්සේ වනාහී ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, කෑම රැස් කොට තබා ගැන්ම, බොන දෑ රැස් කර තබා ගැන්ම,  වස්ත්‍ර රැස්කොට තබා ගැන්ම, රිය ගැල් ආදිය ද පාවහන් ආදිය ද යන යාන රැස් කොට තබා ගැන්ම, ඉහතැ කී දෑ හැර තවත් තල සහල් ඈ වුවමනා පසය රැස් කොට තබා ගැන්ම යන මෙසේ වූ සන්නිධිකාරපරිභොගයෙහි (පසය රැස් කොට තබාගෙන වැළඳීමෙහි) යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙබඳු වූ හෝ සන්නිධිකාර පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
 
33.යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා නැටුම් ගැයුම් වැයුම්, නටසමජ්ජා (නළුවන් සමූහයක් එක්ව ජන සමූහයා ඉදිරියේ දක්වන නැටුම්), ආඛ්‍යාන (මහාභාරතාදිය කීම හෝ ඇසීම), පාණිස්වර (අතින් ලොහොබෙර ගැයුම් හෝ අත්තල ගැසීම), වේතාල (දඬුමුවා තාළම්පට ගැසීම හෝ මතුරු දපා මළසිරුරු නැගිටුවීම), කුම්භථූන (සිව්රස් බෙර වැයුම්), ශෝභනක (රංගබලිකරණය හෙවත් රඟමඩුල්ලෙහි දී දේවතාවනට ස්තෝත්‍ර වශයෙන් නාන්දීගීත ගායනය හෝ ප්‍රතිභානචිත්‍ර කිරීම), සනදොවුන් කෙළිය (හෝ ආයොගුඩක්‍රීඩාව), උණගස් ඔසොවා ගෙන කරන ක්‍රීඩාව, අස්ථිධොවනය (මලවුන්ගේ ඇට සුවඳ කවා තබා නකත්සෙමෙහි ඊ වටා සිට උත්සව කිරීම), ඇත්පොර, අශ්පොර, මියුපොර, ගොන්පොර, එළුපොර, බැටෙළුපොර, කුකුළුපොර, වටුපොර, පොලුහරඹ, මිටුයුද, මල්ලපොර, යුද පවත්නා තැන් දක්නට යෑම, බළසෙන් ගණිනා තැන් දක්නට යෑම යන මෙබඳු විසුළු දස්නෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයක් වේ.
 
34.යම්සේ වනාහී සමහර භවත් මහණබමුණෝ සදැහැයෙන් දුන් බොජුන් වළඳා, අටපාකෙළිය, දසපාකෙළිය, අහස්දූකෙළිය, මඩුලු පැනුම, සන්තිකාක්‍රිඩාව, දාදුකෙළිය, කල්ලි ගැසුම, සලාඅත්කෙළිය, ගුළකෙළිය, කොළ නළා පිඹුම, කෙළිනගුලින් හෑම, කරණම් ගැසුම, කන්නංගුරුවා කෙළිය, කොළ නැළියෙන් වැලි ඈ මැනුම, ක්‍රිඩාරථ පැදැවීම, කුඩා දුන්නෙන් විදීම, ඇකිරිකෙළිය, (පිටේ හෝ අහසේ අකුරු ඇඳ කියැවීම), සිතු දැය කීමේ ක්‍රීඩාව, විකලාංගානුකරණය (කනුන් කොරුන්  ආදීන් සේ ඉරියව් පැවැත්වීම.)  යන මෙබඳු වූ පමාවට කරුණු වූ දූ කෙළියෙහි යෙදී වෙසෙත් ද, හේ තෙමේ මේ හෝ මේ බඳු වූ පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදීමෙන් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ.
 
35.යම්සේ වනාහී ඇතැම් භවත් මහනබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, දික්සඟලා පුටුය, මහ කොඳුපලසය, වියමනෙන් විසිතුරු කළ එළුලොම්මුවා ඇතිරිය, දෙපැත්තේ ම ලොම් ඇති එළුලොම් ඇතිරිය, ගනමල් යෙදූ එළුලොම් ඇතිරිය. තිලිය(පුළුන් මෙත්තය), සිංහාදිරූපවලින් විසිතුරු කළ එළුලොම් ඇතිරිය, දෙපැත්තේ ම ලොම් ඇති එළුලොම් ඇතිරිය එක් පැත්තේ පමණක් ලොම් ඇති එළුලොම් මුවා ඇතිරිය, අසු පිටැ එලන ඇතිරිය, රිය එලන ඇතිරිය, ඇඳට සරලන සේ අදුන් දිවිසමින් මසා කළ ඇතිරිය, කෙහෙල්මුවසමින් කළ මහඟු පසතුරුණ, ඉස්දොර පාමුල රතු කොට්ට තබා ඇති රතු උඩුවියන් සහිත මහඟු යහන යන බෙමඳු වූ උස් යහන් මහ යහන් පරිහරණය කිරීමෙහි යෙදී වෙසෙද්ද, හේ තෙමේ මේ හෝ මේ බඳු වූ උස් යහන් මහ යහන් පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ.
 
36.යම්සේ වනාහි සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, සුවඳ සුණුයෙන් ඇඟ ඉලීම්, අත්පා ඇහි මනා සටහන් ගන්වනුවට තෙල් ගා මැඩීම, සුවඳ දියෙන් නෑවීම, උරහිසඈහි මස් වැඩෙනුවට මුඟුරින් තැළීම, කැඩපතින් මුහුණ බැලීම, අලංකාර වශයෙන් අඳුන් ගෑම, මල් පැලැඳීම හා විලෙවුන් දැරීම, මුවසුණු මුවවිළෙවුන් දැරීම, හස්තාභරණ දැරීම, හිසැ කුඩුම්බිය බැදීම, විසිතුරු සැරයටි දැරීම, විසිතුරු බෙහෙත්නළ දැරීම, කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නලල්පට බැඳීම, සිළුමිණ පැලැඳීම, විසිතුරු සෙමෙර විදුනා දැරීම, දික් දාවලු ඇති සුදු රෙදි හැදීම යන ආදී ඇඟ අඩු තැන් පිරවීමටත් ඇග සැරසීමටත්, කරුණු වන දෑ පරිභෝගකිරීමෙහි යෙදී වෙසෙත් ද, හේ මහණ තෙමේ මේ හෝ මේ බඳු දෑ පරිභෝග කිරීමෙන් වැළෑක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
 
37.යම්සේ වනාහී සමහර භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, රාජකථා, චෝරකථා, මහාමත්‍ය කථා, සේනා කථා, භය කථා, යුද්ධ කථා, ආහාර කථා, පානකථා, වස්ත්‍රකථා, ශයනකථා, මාලා කථා, ගන්ධකථා, ඥාති කථා, යාන කථා, ග්‍රාම කථා, නිගම කථා, නගර කථා, ජනපද කථා, ස්ත්‍රී කථා, පුරුෂ කථා, කුමාර කථා, කුමාරී කථා, ශූර කථා, වීථි කථා, කුම්භස්ථාන කථා, නානාත්ව කථා, ලෝකාඛ්‍යායිකා කථා, සමුද්‍රාඛ්‍යායිකා කථා, ඉතිභවාභව කථා යන මේ බඳු වූ තිරශ්චින කථාවල යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ මෙයින් අන්‍ය වූ හෝ මේ බඳු කථාවලින් වැළැකකේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
 
38.යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “තෝ මේ දහම් විනය නො දනිහි. මම ම මේ දහම් විනය දනිමි. ‘මේ දහම් විනය කිමැය‘යි  තෝ දනිහි ද? තෝ වරදවා පිළිපන්නෙහි. මම් මැනවින් පිළිපන්නෙම් වෙමි. මා බස කරුණු සහිත ය. තා බස කරුණු රහිත ය. තෝ පලමුයෙන් කියැ යුත්ත පසු වැ කීයෙහි ය. පසු වැ කියැ යුත්ත පළමුයෙන් කීයෙහි ය. තා කලක් ම පුහුණු කළ දැය මගේ එක වචනයෙන් ම පෙරැළී ගියේ ය. මා විසින් තට දොස් නැගිණ. මා විසින් නිගන්නා ලද්දෙහි. මා නැගු දොසින් මිදෙන්නට හැසිරෙව (ඒ ඒ තැන ගොස් උගනුව). හැකි නම් එය විසඳව” යන ආදීන් මේ බඳු වූ උනුන් බැණ දොඩා ගැනුම්හි යෙදෙත් ද, ඒ මහණ තෙමේ මෙකී හෝ අන් මෙබඳු වූ හෝ බැණුම්දෙඩුම්වලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
 
39.යම්සේ සමහර භවත් මහණබමුණෝ “මෙහි යන්නැ, අසෝ තැනට එන්නැ, මෙය ගෙනැ යන්න, අසෝ තැනට මෙය ගෙනෙන්නැ” යි කළ නියෝග පිළිගෙන, රජුන්ගේ රජමහඇමතියන්ගේ ක්ෂත්‍රියයන්ගේ පණිවුඩ ගෙන යෑමෙහි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මේ කී හෝ අන් මේ වැනි වූ දූත මෙහෙවරින්, පණිවිඩ ගෙන යෑමෙන් වැළෑක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ.
 
40.යම්සේ සමහර පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළදා, කුහකකම් කරන්නෝ වෙත් ද, ලාභසත්කාර පතා අනුන් සිත් ඇදෙන සේ වූ චාටු බස් දොඩන්නෝ වෙත් ද, සිවු පසය ලබනු සඳහා කයින් හෝ බසින් ඇඟැවීම් කරන්නෝ වෙත් ද, ලාභාපේක්ෂායෙන් අනුනට ගරහන්නෝ වෙත් ද, ලාභයෙන් ලාභය සොයන්නෝ වෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ මෙබඳු වූ හෝ කුහනලපනවලින් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ.
 
                                                     මධ්‍යමශීලය නිමියේ ය.
 
41.යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අංගශාස්ත්‍රය, නිමිත්තශාස්ත්‍රය, උත්පාතලක්ෂණය, ස්වප්නශාස්ත්‍රය, ලක්ෂණශාස්ත්‍රය, මූෂකච්ඡින්නවිද්‍යාව, අග්නිහෝමය, දර්වීහෝමය, තුෂහෝමය, කණහෝමය, තණ්ඩුලහෝමය, සර්පිෂ්හෝමය, තෛලහෝමය, මුඛහෝමය, ලෝහිතහෝමය, අංගවිද්‍යාව, වාස්තුවිද්‍යාව, ක්ෂාත්‍රවිද්‍යාව, ශිවවිද්‍යාව, භූතවිද්‍යාව, භූරිවිද්‍යාව, අහිවිද්‍යාව, විෂවිද්‍යාව, වෘශ්චිකවිද්‍යාව, මූෂකවිද්‍යාව, ශාකුනවිද්‍යාව, වායසවිද්‍යාව, පක්වධ්‍යානය, ශරපරිත්‍රාණය, මෘගපක්ෂය යන මෙකී හෝ මෙබඳු වූ හෝ තීරශ්චීනවිද්‍යායෙන්, මිත්‍යාජීවයෙන් දිවි පවත්වත්ද, ඒ මහණ තෙමේ එයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
 
42.යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මිණිලකුණුය, වත්ලකුණුය, දඬුලකුණුය, කඩුලකුණුය, ඊලකුණුය, දුනුලකුණුය, අවිලකුණුය, ඉතිරිලකුණුය, පුරිස්ලකුණුය, කුමරලකුණුය, කුමරිලකුණුය, දස් ලකුණු ය, දැසිලකුණුය, ඇත්ලකුණුය, අස් ලකුණුය, මියුලකුණුය, වහප්ලකුණුය, ගොන්ලකුණුය, එළුලකුණුය, බැටෙළුලකුණුය, කුකුළුලකුණුය, වටුලකුණුය, ගොය්ලකුණුය, කැණිලකුණුය, කසුබුලකුණුය, මුවලකුණුය, යන ආදී මෙබඳු තිරශ්චීන විද්‍යායෙන්,  මෙබඳු මිත්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ එයින් වැළෑක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
 
43.යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “අසෝ දිනැ අසෝ නැකැතින් (යුද සඳහා) සිය නුවරින් අසෝ රජුන්ගේ නික්මීම වන්නේ ය, අසෝ නැකැතින් පෙරළා සිය නුවරට ඊම වන්නේ ය, අසෝ නැකතින් පිටතැ සිටින සතුරු රජුන් හමුවන්නට රට තුල සිටින සතුරු රජුන්ගේ යෑම වන්නේ ය, අසෝ නැකැතින් පිටතැ සිටින සතුරු රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය, අසෝ නැකතින් රට තුළැ සිටින රජුන් කරා පිටතැ සිටින සතුරු රජුන්ගේ පැමිණීම වන්නේ ය, අසෝ නැකතින් ඇතුළතැ සිටින රජුන්ගේ ඉවත් ව යෑම වන්නේ ය, රට ඇතුළතැ සිටන රජුනට ජය වන්නේ ය, පිටතැ සිටින සතුරු රජුනට ජය වන්නේ ය, රට තුළ සිටින රජුනට පරාජය වන්නේ යැ” යි මෙසේ ‘මොහුට ජය වන්නේ ය, මොහුට පරාජය වන්නේ යැ’යි කියමින් මේ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මෙබඳු වු මිත්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මේ මෙබඳු වූ තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
 
44.යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළදා “අසෝ දිනැ චන්ද්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සූර්‍යග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සඳ හිරු දෙදෙනා නිසි මඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ නකත් තරුන් නිසිමඟින් යෑම වන්නේ ය. අසෝ දින ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දින උල්කාපතනය වන්නේ ය. දිග්දාහය වන්නේ ය. භූමිකම්පනය වන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් වන්නේ ය. සඳහිරුන්ගේ ද, නකත් තරුන්ගේ ද, උදාව බැසීම කෙලෙසීම පිරිසිදුබව වන්නේ ය.චන්ද්‍රග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සුර්‍යග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නක්ෂත්‍රග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරුන් නිසි මඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරු දෙදෙනාගේ නොමඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නකත්තරුවල පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. ඔවුන්ගේ උප්පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. උල්කාපතනය මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය. දිග්දාහය මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය. භූමිකම්පනය මෙබදු පල ගෙන දෙන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් මෙබඳු පල දෙන්නේ ය. සඳහිරුන්ගේ ද නකත් තරුවලද උදාවත් බැසීමත් කෙළෙසීමත් පිරිසිදු වීමත් මෙ බඳු මේ බඳු පල දෙන්නේ යැ” යි කියනුවෝ මෙ බඳු තිරශ්චීන විද්‍යායෙන්, මෙ බඳු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහන තෙමේ මේ හෝ මෙ බඳු තිරශ්චින විද්‍යායෙන්, මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
 
45.යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “මේ සමයෙහි වැසි වස්නේ ය. මේ සමයෙහි නියං වන්නේ ය. මේ සමයෙහි රට සුභික්ෂ වන්නේ ය. මේ සමයෙහි රට දුර්භික්ෂ වන්නේ ය. මේ සමයෙහි රටට උවදුරු වන්නේ ය. මේ සමයෙහි රටට බිය වන්නේ ය. මේ කලැ රෝග වන්නේ, මෙ කලැ රෝග නැති බව වන්නේ යැ” යි පලාපල කීම ද, මුද්‍රාව(ඇඟිලි පුරුක්හී සංඥා තබා ගිණීම )ද, ගණනාව (එක දෙක යන ආදීන් ගිණීම) ද, කාව්‍යශාස්ත්‍රය, ලෝකායත ශාස්ත්‍රය යන මේ හෝ මේබඳු තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාආජිවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ අන් මෙ බඳු වු හෝ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
 
46.යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ආවාහ සඳහා නකත් කීම, විවාහ සඳහා නකත් කීම, වෙන් වූ අඹුසැමියන් එක් වන්නට නකත් කීම, අඹුසැමියන් වෙන් වන්නට නකත් කීම, දුන් ණය රැස් කිරීමට නකත් කීම, මුදල් ණයට පොලියට දීමට නකත් කීම, සෞභාග්‍ය ඇති වනුවට යන්ත්‍ර මන්ත්‍රාදිය කැරැ දීම, බිම් පාලු වන්නට හදි හූනියම් කිරීම, නැසෙන්නට යන දරු ගබ් රැකෙන්නට පිළියම් කිරීම, දිවගුලු බැඳිම, මන්ත්‍රාදියේ බලයෙන් හනු තද කිරීම, අත් පෙරැළෙන්නට මතුරු දැපීම, හනු පෙරැළෙන්නට මතුරු දැපීම, කන් අගුලු වැටෙන්නට මතුරු දැපීම, කැඩපතෙහි දේවතාවේශය කොට ප්‍රශ්න ඇසීම, කුමරියක ලවා පේන කියැවීම, දෙව්දැස්සක ලවා පේන කියැවීම, ජිවිකා පිණිස හිරු පිදීම, මහබඹු පිදීම, මතුරු දපා මුවින් ගිනිජල් විහිදුවීම, මතුරු දපා සිරිකත කැඳවීම, යන මේ හෝ අන් මේ බඳු  වූ තිරශ්චීනවිද්‍යයෙන්, මිථ්‍යාජීවයෙන් දිවිපවත්වත් ද, ඒ මහණ තෙමේ මේ ද, අන් මෙබඳු වූ ද තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
 
47.යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ශාන්තිකර්ම, ප්‍රණිධිකර්ම, භූරිකර්ම, පණ්ඩකයා පිරිමියෙකු කිරීම, පිරිමියා පණ්ඩකයෙකු කිරීම, වාස්තුකර්ම, වාස්තු පරිකිරණ, මතුරු දපා මුව දෙවුම, මතුරු දපා අනුන් නෑවිම, සෙත් පතා ගිනිපිදීම, ගිහියනට වමන කරවීම, බඩ විරේක කරවීම, ළය විරේකයට බේත් දීම, වස්ති කිරීම, ශිර්ෂවිරේචන බේත් දීම, කන් ලෙඩට තෙල් පිසැදීම, ගිහියන් සඳහා ඇස පටලයට සිහිල ගන්වන නෙත් තෙල් පිසීම, ගිහියනට නස්‍ය දීම, කාරම් අඳුන් සාදා දීම,  ඇස සිසිල ගන්වන අඳුන් සාදා දීම, ගිහියන්ගේ ඇසැ උල්ඇන ලෙඩට පිළියම් කිරීම, මුල් බෙහෙත් දීම( කාය චිකිත්සාව) , කාරම් බේත් බැඳ වණ සුව වූ පසු ඒවා ගවා දැමීම යැ” යි මේ ආදී වූ හෝ මෙබඳු වූ තිර්ශචීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන්, දිවි පවත් වත් ද, ඒ මහණ තෙමේ ඒ සියල්ලෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශිලයෙක් වේ.
 
48.මහරජාණෙනි, ඒ මහණ තෙමේ මෙසේ ශීලසම්පන්න වූයේ ශීලසංවරහෙතුයෙන් කිසිම එක ද අසංවරතායෙකින් පහළ වියැ හැකි බියක් නො දකී. මහරජාණෙනි, කෂ්ත්‍රියාභිෂේකයෙන් අභිෂේක ලත්, වැනසූ සතුරන් ඇති ක්ෂ්ත්‍රියයෙක් කිසි ම එකද සතුරෙකුගෙන් වියැ හැකි කිසිදු බියකුත් යම්සේ නොදක්නේ ද, මහරජාණෙනි, එසේ ම මහණ තෙමේ මේ පරිද්දෙන් ශීලසම්පන්න වූයේ ශීලසංවරහේතුයෙන් කිසිම එක ද අසංවරයෙකින් ඉපැදිය හැකි බියක් නොදකී.  හේ මේ ආර්‍ය ශීලස්ඛන්ධයෙන් සමන්විත වූයේ, සිය සතන්හි නිදොස් වූ කායික චෛතසික සුවය විඳී. මහරජ, මෙසේ වනාහී මහණ තෙමේ ශීලසම්පන්න වේ.
 
49.මහරජාණෙනි, මහණ තෙමේ කෙසේ නම් ඉඳුරන්හී වැසූ දොර ඇත්තේ වේ ද? යත්: මහරජාණෙනි, මේ  සස්නෙහි මහණ තෙමේ ඇසින් රූපයක් දැක ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශූභාදිවශයෙන් අත් පා ආදී අවයවයන්ගේ ආකාර සිතට නොගන්නේ වේ. යම් කරුණෙකින් චක්ෂුරින්ද්‍රිය වසා නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ චක්ෂුරින්ද්‍රියයාගේ ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ චක්ෂුරින්ද්‍රියය රකී. ඒ චක්ෂුරින්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
කනින් හඬ අසා ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශූභාදිවශයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් සෝතඉන්ද්‍රිය වසා නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ සෝතඉන්ද්‍රියයාගේ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ සෝතඉන්ද්‍රිය රකී. ඒ සෝතඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
නාසායෙන් ගඳ ආඝ්‍රාණය කොට ශුභාදීවශයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදීවශයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් ඝාණඉන්ද්‍රිය වසා නොගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද) එහි (ඒ ඝාණඉන්ද්‍රියයාගේ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ ඝාණඉන්ද්‍රියය රකී. ඒ ඝාණඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
දිවෙන් රස ආස්වාද කොට ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදීවසයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් ජිව්හින්ද්‍රිය වසා නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ ජිව්හින්ද්‍රියයාගේ ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ ජිව්හින්ද්‍රියය රකී. ඒ ජිව්හින්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
කයින් ස්ප්‍රෂ්ටව්‍යය (ඇඟට හැපෙන දෑ) ස්පර්ශ කොට ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදීවසයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් කායින්ද්‍රිය වසා  නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ කායින්ද්‍රියයාගේ ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ කායින්ද්‍රියය රකී. ඒ කායින්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
සිතින් ධර්මාලම්බන දැන, ශුභාදී වසයෙන් එහි ලකුණු ගන්නේ නො වේ. ශුභාදීවසයෙන් ආකාර ගන්නේ නො වේ. යම් ආකාරයෙන් මනින්ද්‍රිය සංවර කර නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ මනින්ද්‍රියයාගේ ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ මනින්ද්‍රියය රකී. ඒ මනින්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
හේ මේ ආර්‍ය වූ ඉන්ද්‍රියසංවරයෙන් සමන්විත වූයේ සිය සතන්හි අව්‍යාසේක සුඛය (කෙලෙසුන් ගෙන් තෙත් නොවීමෙන් වූ පිරිසිදු අධිචිත්ත සුඛය) විඳී. මහරජාණෙනි,  මෙසේ වනාහී මහණ තෙමේ ඉන්ද්‍රියයන්හී වැසූ දොර ඇත්තේ වේ.
 
50.මහරජාණෙනි, මහණ තෙමේ කෙසේ නම් ස්මෘතිසම්ප්‍රජානනයෙන් (සිහිනුවණින්) සමන්විත වේ ද? යත්:
මහරජාණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි (ආපසු හැරීමෙහි) මනා නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. ඉදිරි බැලීමෙහි, අනුදික් බැලීමෙහි, (වටපිට බැලීමෙහි) මනා නුවණින් දැනම (එය) කරනුයේ වෙයි. අත් පා ආදිය හැකිලීමෙහි, දිගු කිරීමෙහි නුවණීන් දැන ම (එය) කරනුයේ වෙයි.  සඟළසිවුර ද පාත්‍රය ද සෙසු සිවුරු ද දැරීමෙහි නුවණින් දැන ම කරන්නේ වෙයි. ආහාර ගැන්මෙහි, පැන් පීමෙහි, පිටි කැවිලි ආදිය කෑමෙහි, මී ආදිය රස විඳීමෙහි, නුවණීන් දැන ම කරනුයේ වෙයි. මල මූ පහ කිරීමෙහි නුවණීන් දැන ම කරනුයේ වෙයි. ගමනෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි කථා කිරීමෙහි, නො බිණීමෙහි නුවණින් දැන කරනුයේ වෙයි. මහරජාණෙනි, මෙසේ වනාහී මහණ තෙමේ සිහි නුවණින් සමන්විත වෙයි.
 
51.මහජරාණෙනි, කෙසේ නම් මහණ තෙමේ ලද පමණෙහි සතුටු වේද ? යත්:
මහරජාණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට නික් මැ යේ ද, අට පිරිකර පමණක් ගෙන ම නික්මෙයි. මහරජාණෙනි, (පියා හඹනුවට තරම්) අත්තටු ඇති කුරුලු තෙමේ යම් යම් තැනක පියා හඹා යේ නම්, පියාපත්බර සහිත ව ම යම් සේ පියාහඹා යේ ද, එසේ ම, මහරජාණෙනි, ඒ මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට යේ ද පා සිවුරු (ආදී අට පිරිකර පමණක්) රැගෙන ම යෙයි. මහරජාණනි, මෙසේ වනාහි තෙමේ ලද පසයෙහි සතුටු වේ.
 
52.මහරජාණෙනි, ඒ මහණ තෙමේ මේ ආර්‍ය ශීලස්ඛන්ධයෙන් ද සමන්විත වූයේ, මේ ආර්‍ය ඉන්ද්‍රියසංවරයෙන් ද සමන්විත වූයේ, මේ ආර්‍ය ස්මෘතිසම්ප්‍රජන්නයෙන් ද සමන්විත වූයේ, මේ ආර්‍ය සන්තුෂ්ටියෙන් ද සමන්විත වූයේ, අරණ්‍ය වෘක්ෂමූල පර්වත කඳුරැලි ගිරිගුහා සොහොන් වනපෙත් (වනප්‍රස්ථ) අභ්‍යවකාශ (එළිමහන්) පිදුරුලෙන් යන මෙ කී ජනශූන්‍ය කිසි සෙනස්නක් භජනය කෙරෙයි. හේ පිඬු  සෙවීමෙන් පෙරළා ආයේ, පසුබත් සෙමෙහි, පලක් බැඳ උඩු කය කෙළින් පිහිටුවා, කමටහනට අභිමුඛ කොට සිහිය එළවා හිඳී.
 
53.හේ ලොවැ (පඤ්ච උපාදානස්කන්ධය කෙරෙහි) ඇල් ම හැර, විෂ්කම්භණප්‍රහාණයෙන් (යට පත් කිරීමෙන්) පහ වූ අභිජඣායෙන් යුත් සිතින් වෙසෙයි.  අභිජ්ඣාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාදප්‍රද්වේෂය (ක්‍රෝධය) හැර, ව්‍යාපාද රහිත සිතැත්තේ, සියලු පණ ඇති සතුන් කෙරේ හිතානුකම්පා ඇති වැ වෙසෙයි. ක්‍රෝධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය  හැර, පහ වූ ස්ත්‍යානමිද්ධය ඇත්තේ දිව රෑ දෙක්හි ම දුටු එළිය හඳුනනු හැකි පිරිසිදු සංඥාව ඇත්තේ, සිහියෙනුත් නුවණිනුත් යුක්ත වූයේ වෙසෙයි. ස්ත්‍යානමිද්ධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. උදහසත් (සිතැ නොසංහුන් බවත්) කුකුසත්(කළ නො කළ දැයෙහි පසුතැවිල්ලත්) සිතින් දුරැ ලා, අනුද්ධත වැ (නොසංහුන් බැවින් තොර වැ) සංසිඳුනු ස්වකීය චිත්තසන්තානය ඇත්තේ, උදහස් කුකුස් දෙක කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. සැකය දුරැ ලා, පහ වූ සැක ඇත්තේ, කුසල් දහම්හි සැක  නො කරනුයේ, සැකය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.
 
54.යම්සේ පුරුෂයෙක් (පොලියට)ණය මුදලක් ගෙනැ කර්මාන්ත කරන්නේ ද, ඔහුගේ ඒ කර්මාන්ත සමෘද්ධ වන්නේ නම්, හේ යම් පරණ ණය මුදල් වී නම්, ඒ සියල්ල ගෙවා අවසන් කරන්නේ ද, මත්තෙහි ඉතිරි වූ යමක් ඇත් නම් එය අඹුදරුවන් රක්නා පිණිස වන්නේ ද, එසේ වූ ඔහුට “මම් පලමුයෙන් ණයට මුදල් ගෙන කර්මාන්ත කළෙමි. ඒ මගේ කර්මාන්ත සමෘද්ධ විය. ඒ මම්, යම් පරණ ණය මුදල් වී නම් එය ගෙවා අවසන් කෙළෙමි. අඹුදරුවන් රක්නට වැඩිපුර ඉතිරි වූ මුදලෙක් ද මට ඇතැ” යි. මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ ණයනැතිබව කරණ කොට ගෙන සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද-
 
55.මහරජාණෙනි, යම් සේ පුරුෂයෙක් රෝගී වූයේ, දුකට පැමිණියේ, දැඩි ලෙස ගිලන් වන්නේ ද, ඔහුට බතුත් නො රිසියෙන්නේ ද, ඔහුගේ ඇඟපත ශක්ති පමණකුත් නො වන්නේ ද, හේ මෑත කාලයෙහි ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට බතුත් රිසියේ නම්, ඔහු ඇඟපත ශක්තිය ද වන්නේ නම්, “මම් වූ කලී පෙරැ දුකට පත්, දැඩිව ගිලන් බව් ඇති ලෙඩෙක් වීමි. මට ආහාර ද රිසි නොවී ය. මා ඇඟපත ශක්තිය ද නො වී ය. ඒ මම් දැන් ඒ ලෙඩින් මිදුනෙම් වෙමි. ඒ මට ආහර ද රිසියෙයි. මා ඇඟ පත ශක්තිය ද ඇතැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ නම්, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
 
56.මහරජාණෙනි, යම් සේ පුරුෂයෙක් හිර ගෙහි බැඳුණේ වන්නේ ද, හේ පසු කලෙක ධනය වියදම් නො කොට පහසුවෙන් ඒ හිර ගෙන් මිදෙන්නේ ද, (ඒ හේතුයෙන්) ඔහුගේ කිසි භෝග විනාශයෙක් නො වන්නේ ද, “මම් වූ කලී පෙරැ හිර ගෙහි බැඳුණෙම් වීමි. ඒ මම් දැන් ධන වියදම් නො කොට පහසුවෙන් ඒ හිර ගෙන් මිදුණෙම් වෙමි. මගේ භෝගයනට කිසි විනාශයෙක් ද නැතැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
 
57. මහරජාණෙනි, යම්සේ තමා අයත් පැවැතුම් නැති, අනුන් අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යන්නට අවසර නැති දාස පුරුෂයෙක් වන්නේ ද, හේ මෑත භාගයෙහි තමා අයත් පැවැතුම් ඇතියේ, පරා අයත් පැවැතුම් නැත්තේ, නිදහස් වූයේ , කැමැති අතෙක යා හැකි වූයේ ඒ දාසභාවයෙන් මිදෙන්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලී පෙරැ තමා අයත් පැවැතුම් නැති, පරා අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යා නොහැකි නොහැකි දාසයෙක් විමී. ඒ මම් දැන් ඒ දාසභාවයෙන් මිදුණෙම්, මා අයත්. පැවැතුම් ඇතියෙම්, පරා අයත් පැවැතුම් නැතියෙම්, නිදහස් වූයෙම් කැමැති අතෙක යා හැකියෙම් වෙමි” යි මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද-
 
58.මහරජාණෙනි, යම්සේ ධනවත් වූ භෝගසම්පත් ඇති පුරුෂයෙක් දුර්ලභ වූ ආහාර ඇති, උවදුරු ඇති, දිය නැති දික් කතරමඟකට බස්නේ ද, හේ පසු කෙලක සුවසේ ඒ නිරුදක පෙදෙස ඉක් මැ යන්නේ ද, උවදුරු නැති විපත් නැති ගම්මානයකට බස්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලී පෙර ධන ඇතියෙම්, භෝග සම්පත් ඇතියෙම්, දිය නැති, ආහාර දුර්ලභ, ප්‍රතිභය සහිත දික් මඟකට බටුයෙමි. ඒ මම් දැන් සුවසේ ඒ කාන්තාරය තරණය කෙළමි. නිරුපද්‍රැත භය රහිත ගමකට පැමිණෙයෙම් වෙමි” යි සිතෙක් වන්නේ ද, හේ ඒ කරුනින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද-
 
59.මහරජාණෙනි, එසේ ම මහණ තෙමේ ණයක් මෙන් ලෙඩක් මෙන් හිරගෙයක් මෙන් වහල් බවක් මෙන් දිය නැති දික් මඟක් මෙන් (පිළිවෙලින්) මේ පහ නොවූ නීවරණ පස තමා කෙරෙහි දකී. මහරජ ණය නැති බව යම්සේද, ලෙඩ නැති බව යම්සේ ද, උවදුරු නැති බිම යම්සේ ද, එසේම (පිළිවෙලින්) මේ පහ වූ නිරවණ පස(හෙවත් නීවරණ පසේ දුරු වීම) තමා කෙරෙහි දකී.
 
60.තමා කෙරෙහි පහවු මේ නීවරණ පස දක්නා ඔහුට සතුට උපදී.  සතුටු වූවහුට ප්‍රීතිය උපදී. සිතැ ප්‍රීතිය ඇත්තහුගේ නාම කය සංහිඳේ. සංහුන් නාම කය ඇත්තේ සුව විඳී. සුවැතියහු සිත සමාධිගත වේ. (එකඟ වේ.)
 
61.හේ කාමයන්ගෙන් වෙන් ව ම, සෙසු අකුසල දහමුන් ගෙන් ද වෙන් ව ම, විතර්කසහිත, විචාරසහිත, විවේකයෙන් (නීවරණ පහවීමෙන්) උපන් ප්‍රීතියත් සුවයත් ඇති පලමු ධ්‍යානය ලැබ වෙසේ, හේ මේ කරජ කය ම විවේකයෙන් උපන් ප්‍රීති සුඛයෙන් තෙමයි. මුළුල්ල ම තෙමයි. පුරා ලයි, මුළුල්ල ම ස්පර්ශ කෙරෙයි සියලු අඟ පසඟ ඇති ඔහුගේ මුළු කයෙහි ඒ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් පැතිරැ වැද නොගත් (නොපහස්නා ලද) කිසි ද තැනෙක් නො වෙයි.
 
62.මහරජාණෙනි, යම් සේ කපුවෙක් (කිලිඟෙක්) හෝ කපුවකුගේ (කිලිඟකුගේ) අතැවැස්සෙක් හෝ ලොහොතලියෙක නාන සුණු බහා දිය ඉස ඉස පිඬු කරන්නේ ද, ඒ නාන සුණු පිඬ කාවැදුණු දිය ඇත්තේ හැම තැන ම දියෙන් යුක්ත වූයේ, ඇතුලත පිටත මුළුල්ල ම දියෙන් පැතිරැ ගියේ දිය නො වගුරුවන්නේත් වේද -
 
63.මහරජාණෙනි, එසේ ම මහණ තෙමේ මේ කරජ කය ම විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි. මුළුවල්ලම තෙමයි. පුරාලයි. මුළුල්ලම ස්පර්ශ කෙරෙයි. ඔහුගේ සියලු අඟ පසඟ ඇති මුළු කයෙහි විවේකජ ප්‍රීති සුඛයෙන් පැතිර වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි. මහරජ, මේ ද පලමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යපලයනට වඩා මනෝඥ වූ ද වඩා උතුම් වූ ද සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි.
 
64.මහරජාණෙනි, නැවැත ද (අනෙකක් කියමි.) මහණ තෙමේ විතර්ක විචාරයන්ගේ සංහිඳීමෙන්, සිය සතන්හි උපන්, සිය සතන් පහදවන, (ශ්‍රද්ධාව හා එක් වැ යෙදුණු) සිතැ එකඟ බව ඇති, විතර්කය නැති විචාරය නැති, සමාධියෙන් උපන්, ප්‍රීතියත් සුවයත් ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසෙයි හේ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීතියෙන් තෙමයි. මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම සපර්ශ කෙරෙයි. ඔහුගේ මුළුකයේ විවේකයෙන් උපන් ප්‍රීති සුවයෙන් පැතිරැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
 
65.මහරජ, යම් සේ යටැ උල්පතින් මතු වන දිය ඇති ගැඹුරු විලෙක් වේද , එයට පෙර දිගින් දිය ඇතුළු වන මඟෙක් නො වන්නේ ද, දකුණු දෙසින් දිය ඇතුළු වන මඟෙක් නොවන්නේ ද, පැසිම් දිගින් ද දිය ඇතුළු වන මඟෙක් නොවන්නේ ද, උතුරු දෙසින් ද දිය වැද ගන්නා මඟෙක් නොවන්නේ ද, වැස්ස ද, කලින් කලැ සුදුසු පරිදි නො වසින්නේ ද, එතෙකුදු වුවත් ඒ විලෙන් සිහිල් දියදහර මතු වී  ඒ විලම සිහිල් දියෙන් තෙමන්නේ ද, හැම පරිදි තෙමන්නේ ද, පුරා ලන්නේ ද, හැම තැනම වැද ගෙන පැතිර සිටින්නේ ද, ඒ මුළු විලෙහි සිසිල් දිය පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො මැත් ද-
මහරජ, එසේ ම මහණ තෙමේ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීති සුවයෙන් තෙමයි, හැම තැන ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම පැතිරැ වැද ගනී. ඔහුගේ ඒ සියලු කයේ සමාධියෙන් උපන් ප්‍රීති සුවය පැතිර වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
මහරජ, මේ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යපලය ද පලමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ ද වඩා උතුම් ද වේ.
 
66.නැවත ද (අනෙකක් කියමි:) මහරජ, මහණ තෙමේ ප්‍රීතියාගේ ද විරාගයෙන් (පහවීමෙන්, සංසිඳීමෙන්), උපෙක්ෂායෙන් ද යුක්ත වැ, සිහියෙන් හා නුවණින් හා යුක්ත වැ වෙසෙයි. සුවය ද කයින් විඳී. ආර්‍යයෝ යම් ධ්‍යානයක් හේතු කොට ගෙන ධ්‍යානලාභියා ඇරැබැ ‘උපෙක්ෂාව ඇත්තේ ය සිහි ඇත්තේ ය, සුඛ විහරණ ඇත්තේ යැ‘යි කියත් ද, හේ (එසේ වූ) ඒ තෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසේ.
හේ මේ කයම නිෂ්ප්‍රීතික සුවයෙන් තෙමයි, හැම පරිදි තෙත් කෙරෙයි, පුරාලයි, හැම තැන ම පැතිර වැද ගනී. ඔහුගේ කයෙහි ඒ නිෂ්ප්‍රීතික සුඛයෙන්  පැතිර නොගත් කිසි ද තැනෙක් නොවෙයි.
 
67.මහරජ, යම්සේ උපුල් විලෙක හෝ පියුම් විලෙක හෝ පඬෙර විලෙක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ පඬෙර හෝ දියෙහි උපන්නේ දියෙහි වැඩුණේ, දියෙන් නොනැගුණේ, දිය තුළෑම ගිලී වැඩුනුයේ ද, ඒ හැම අග දක්වාත් මුල් දක්වාත් සිහිල් දියෙන් තෙමුණේ, හැමපරිදි තෙත් වූයේ, පිරී ගියේ, හැම තැන් ම පැතිරැ වැද ගත්තේ වේ ද, ඒ විලෙහි සියලු උපුල්වල හෝ පියුම්වලැ හෝ පඬෙරවලැ හෝ සිසිල් දිය පැතිරැ නොගත් තැනෙක් නො වන්නේ ද-
මහරජ, එසේ ම මහණ තෙමේ මේ කය ම නිශ්ප්‍රීතික සුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි. පුරා ලයි, හැමපරිදි පැතිරැ වැද ගනී. ඔහුගේ සියලු කයෙහි නිෂ්ප්‍රීතික සුඛයෙන් පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
මහරජ, මේ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය ද පළමු කී සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූත් වඩා ප්‍රණීත වූත් එකකි.
 
68.මහරජ, නැවත ද (අනෙකක් කියමි:) මහණ තෙමේ සුඛ වේදනාව ද දුරැ ලීමෙන්, දුක්ඛ වේදනාව ද දුරැලීමෙන්, පලමු කොට ම සොම්නස් දොම්නස් දෙදෙනාගේ පහවීමෙන් දුක් ද නොවූ, සුව ද නොවූ, උපේක්ෂා ස්මෘති යන මොවුන්ගේ පිරිසිදු වූ ප්‍රභාස්ර සිතින් පැතිරැ වැදගෙන හුන්නේ වෙයි. ඔහුගේ සියලු කයෙහි පිරිසිදු වූ ප්‍රභාස්වර වූ සිතින් පැතිර වැද නො ගෙන සිටි කිසි ද තැනෙක් නො වෙයි.
මහරජ, යම්සේ පුරුෂයෙක් සුදු වතින් හිසින් වටා පෙරෙව හුන්නේ වේ නම් ඔහුගේ කයෙහි සුදු වතින් වැද නොගත් (නො වැසුණ) කිසි ද තැනෙක් නොවන්නේ ද, මහරජ එසේම මහණ තෙම මේ කය ම පිරිසිදු වූ ප්‍රභාස්වර වූ සිතින් පැහැර වැද ගෙන නොසිටි කිසිද තැනෙක් නොවෙයි.
මහරජ, මේ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය ද පලමු දැක්වුණ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ වඩා ප්‍රණීත වූ එකෙක.
 
69.තව ද (අනෙකක් කියමි:) මහරජ ඒ මහණ තෙමේ මෙසේ එකඟ වූ සිත පිරිසිදු වූ කල්හී දීප්තිමත් වූ කල්හී, කිලිටි නැති වූ කල්හී, පහ වූ චිත්තෝපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හී, විදර්ශණා භාවනාවට යෝග්‍යවූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හි විදර්ශනාඥාණය පිණිස (පරිකර්ම ) සිත එයට අඹිමුඛ කෙරෙයි, ඒ අතට නමා හරියි හේ “මගේ මේ කය වූ කලී රූපවත් ය, සතර මහාභූතයන්ගෙන් හැදුණේ ය, මව්පියන්ගේ ශුක්‍රශෝණිතයෙන් උපන්නේ ය, බත් කොමු ආදී අහරින් වැඩුණේ ය, අනිස බව ද දුගඳ බවද, හරනුවට සුවඳ විලෙවුන් ඉළියැ යුත් බව ද, ලෙඩ දුරැලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද, එසේ කළ ද බිඳෙන බව ද, විසිරෙන බව ද යන මේ දෑ ස්වභාව කොටැත්තේ ය. මගේ මේ සිත ද මෙහි ලැග්ගේ ය, මෙහි බැඳුණේ යැ” යි මෙසේ දැනගනී.
 
70.මහරජ, යම්සේ සොඳුරු වූ, පිරිසිදු ආකරයෙක පහළ වූ ඇටැස් වූ මොනවට පිරයම් කළ, සියුම් වූ වෙසෙසින් පහන් වූ, පිවිතුරු වූ, ධෝවනාදී සියලු අකාරයෙන් යුත් වෙරළුමිණෙක් වන්නේ ද, එහි නිල් වූ හෝ රන්වන් වූ හෝ රත්වන් හෝ සුදුවන් හෝ පඬුවන් හෝ හුයෙක් අමුනන ලද්දේ වන්නේ ද, එය ඇස් ඇති පුරුෂයෙක් අතෙහි කොට “මේ වූ කලි සොඳුරු වූ, පිරිසිදු ආකරයෙහි උපන් ඇටැස් වූ මොනවට පිරියම් කැරුණු, සියුම් වූ, වෙසෙසින් පහන් වූ, පිවිතුරු වූ, සියලු ධෝවනාදී ආකාරයෙන් සම්පූර්ණ වූ වෙරළු මිණෙක. මෙහි නිල් වූ හෝ රන්වන් වූ හෝ රත්වන් වූ හෝ සුදුවන් වූ හෝ යම් හුයෙක් අවුනන ලදුයේ වේ යැ”යි සලකා බලන්නේ ද-
මහරජ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාධිගත සිත පිරිසිදු වූ ක්ලහී දීප්තිමත් වූ කල්හී, කෙලෙස් යටපත් වූ ක්ල්හී, උපක්ලේශයන් පහ වූ කල්හී මෘදු වූ කල්හී, කර්මණ්‍ය වූ කල්හී සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හි, විදර්ශනාඥානය පිණිස සිත අභිමුඛ කෙරෙයි, එය අතට නමා හරියි. හෙ තෙම “මගේ මේ කය වූ කලී රූපී ය, සතර මහාභූතයන්ගෙන් හැදුණේ ය, මාපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් නිපන්නේ ය, බත් කොමු ආදී අහරින් වැඩුණේ ය, අනිසි බව ද, දුගඳ හරනට සුවඳ විලෙවුන් ඉළියැ යුතු බව ද ලෙඩ දුරැලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද ඒ කළත් බිඳෙන බව ද විසිරෙන බවද යන මේ දෑ ස්වභාව කොටැත්තේ ය. මගේ මේ සිත ද මෙහි ලැග ගත්තේ ය, මෙහි බැඳුණේ යැ”යි මෙසේ දැන ගනී.
මහරජ, මේ ද පලමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍ය ඵලයනට වඩා මනෝඥ වූ වඩා උතුම් වූ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍ය ඵලයෙකි.
 
71.හේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වු කල්හී, දීප්තිමත් කල්හී, කෙලෙස් නොමැති වූ කල්හී, උපක්ලේශ පහ වූ කල්හී, මෘදු වූ කල්හී, කර්මණ්‍ය වූ (සෘද්ධි ඉපදීවීමට යෝග්‍ය වූ) කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හී මනෝමය ශරීරයක් මවා පානු පිණිස සිත යොමු කෙරෙයි.  නැඹුරු කෙරෙයි. හේ මේ සිරුරෙන් රූපී වු, සියලු අඟපසඟින් යුත්, විකල නොවූ ඉඳුරන් ඇති මනෝමය ශරීරයක් මවා පායි.
මහරජ, යම්සේ පුරුෂයෙක් මුදුතණ ගසෙකින් තණකූර(තණබඩය)ඇද මෑත් කරන්නේ ද, ඔහුට “මේ මුදුතණගස ය, මේ එහි තණ බඩ ය, තණ ගස එකෙකි, එහි බඩය අනෙකෙකි. මුදු තණ කෙරෙන් ම එහි කූර (බඩය) මෑත් කරන ලද්දේ යැ”යි මෙසේ සිතෙක් වන්නේ ද,
මහරජ, යම්සේ වනාහී පුරුෂයෙක් කඩුවක් කොපුවෙන් ඇද මෑත් කරන්නේ ද,  ඔහුට “ මේ කඩුවය, මේ කොපුව ය, කඩුව එකෙක, කොපුව අනෙකක, කොපුයෙන් ම කඩුව ඇද මෑත් කරන ලද්දේ යැ” යි මෙසේ සිතෙක් වන්නේ ද,
මහරජ, යම්සේ වනාහී පුරුෂයෙක් නයකු සැවයෙන් ඇද වෙන කරන්නේ ද, ඔහුට “මේ නායා ය, මේ සැවය ය. නයා එකෙක, සැවය අනෙකක. සැවය කෙරෙන් ම නයා ඇද වෙන් කරන ලද්දේ යැ”යි මෙසේ සිතෙක් වන්නේ ද,
මහරජ එපරිද්දෙන්ම මහණ තෙමේ මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හී, දීප්තිමත් වූ කල්හී කෙලෙස් රහිත වූ කල්හී, උපක්ලේශයන් පහ වැ ගිය කල්හී, කර්මණ්‍ය වූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පත් කල්හී, මනෝමය ශරීරයක් මවා පානු පිණිස සිත යොමු කෙරෙයි, නුඹුරු කෙරෙයි. හේ මේ ශරීරයෙන් රූපී වූ මනෝමය වූ සියලු  අඟපසඟින් යුක්ත වූ අවිකල ඉඳුරන් ඇති අන් සිරුරක් මවා පායි. මහරජ මෙය ද පලමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයට වඩා මනෝඥ වූ ද වඩා උතුම් වූ ද සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි.
 
72.හේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු කල්හි, දීප්තිමත් වූ කල්හි කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්මණය වූ (=සෘද්ධියට යෝග්‍ය වු) කල්හී, සිටි කල්හී, නිශ්චලත්වයට පැමිණි කල්හී, සෘද්ධිවිධඥාණය පිණිස (අභිඥාපාදක) පරිකර්ම සිත මෙහෙයයි, නැඹුරු කෙරෙයි. හේ අනේකවිධ වූ සෘද්ධිවිධය (සෘද්ධි කොට්ටාසය) නැවත නැවත අනුභව කෙරෙයි. (හෙවත් නාම කයින් ස්පර්ශ කෙරෙයි, ප්‍රත්‍යක්ෂ කෙරෙයි ලබයි.) පියෙවියෙන් එකෙක් වැ සිටැ ද (සෘද්ධිබලයෙන්) බහු ප්‍රකාර ද වි යලිදු එකෙක් වෙයි. තමාගේ ප්‍රකට බව කෙරෙයි (පෙනීසිටී) අප්‍රකට බව කෙරෙයි. (=නොපෙනී සිටියි) බිත්තියේ පිටතට, පවුරෙන් පිටතට, පර්වතයෙන් පිටතට අහසෙහි මෙන් කිසිවෙක නොගැටෙනුයේ මැදින් විනිවිද ගෙන යෙයි. දියෙහි මෙන් පොළොවෙහි ද යටට බැසීම(=ගිලී) උඩට නැගීම (=මතුවීම) කෙරෙයි. නො බිඳෙන (යට නො බස්නා) දියෙහි පොළොවෙහි සේ යෙයි. පක්ෂ ඇති සකුණයෙකු මෙන් අහසෙහි ද පළඟින් (=ඌරුබද්ධාසනයෙන්)යෙයි. මේ සා මහර්ද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා ද, අතින් පරාමර්ශනය කෙරෙයි(=අල්ලයි) (ඔබමොබ අත යවා) පිරිමදියි. බඹලොව තෙක් ද (සියල්ල) කයින් වශයෙහි පවත්ව යි.
 
73.මහරජ, යම්සේ දක්ෂ කුඹලෙක් හෝ කුඹලක්හුගේ අතැවැස්සෙක් හෝ මොනවට පිරියම් කළ (=සකස් කළ) මැට්ටෙන් යම් යම් භාජන විශේෂයක් කැමැත්තේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද, මොනවට නිපදවන්නේ ද-
මහරජ යම්සේ දක්ෂ දන්තකාරයෙක් (ඇත්දත් ආදීයෙන් විසිතුරු කම් කරන්නෙක්) හෝ දන්තකාරයකුගේ අතැවැස්සෙක් හෝ මොනවට පිරියම් කළ (=දොස් ඉවත් කොට මොනවට සකස් කළ)දතෙක්හි යම් යම් දන්තවිකෘතියත් (දතෙහි කළ විසිතුරු රූපාදියක්) කැමැති වන්නේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද, වෙසෙසින් නිපදවන්නේ -
මහරජ, යම්සේ හෝ දක්ෂ රන්කරුවෙක් හෝ රන්කරුවෙකුගේ අතැවැස්සෙක් හෝ මොනවට සකස් කළ රනෙහි යම් යම ස්වර්ණ විකෘත්තියක් (ආභරණ ආදියක්) කැමැත්තේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද , නිපදවන්නේ ද,
මහරජ එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හී කෙළෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, සෘද්ධිවිධඥාණය පිණිස සිත මෙහෙයවයි නැඹුරු කෙරෙයි. හේ අනේකවිධ වූ සෘද්ධි කොට්ඨාසය නැවත නැවත විඳී. පියෙවියෙන් එකෙක් වැ සිට බොහෝ දෙනෙක් වෙයි. බොහෝ දෙනෙක් වැ සිට එකෙක් වෙයි. තෙමේ පෙනී සිටී, නො පෙනී ද සිටී. බිත්තියෙන් පිටතට, පව්වෙන් පිටතට, විනිවිදැ අහසෙහි මෙන් කිසිවකැ නො ලැගී යෙයි. දියෙහි මෙන් පොළොවෙහිත් ගිලීම් ද මතුවීම් ද කෙරෙයි. පොළව මතු පිටැ සේ නොබිඳෙන දියෙහි යෙයි. පක්ෂියෙකු සේ පළඟින් අහසෙහි යෙයි. මේ සා මහර්ද්ධිමත් මහත් අනුභාව ඇති සඳ හිරු දෙදෙනා පවා අල්ලයි, පිරිමදියි. බඹලොව තෙක් ද කයින් තමා වශයෙහි පවත්වයි.
මහරජ, මෙය ද පලමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ වඩා උතුම් වූ සන්දෘෂ්ටික ශ්‍රාමණය ඵලයෙකි.
 
74.හේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හි, දීප්තිමත් කල්හි, කෙලෙස් රහිත වූ කල්හී, උපක්ක්ලේශ පහ වැ ගිය කල්හි මෘදු වූ කල්හි, කර්මණ්‍ය වූ කල්හී සිටි කල්හි නිශ්චල බවට පැමිණි කල්හි, දිව්‍ය ශ්‍රෝත්‍රධාතුව පිණිස (දිවකන් නුවණ පිණිස) සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි, හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ ශ්‍රාවණෝපචාරය ඉක්මවා සිටි දිව කනින් දිව්‍ය වූද මානුසික වූ ද, දුරැ වූ ද, ළං වූ ද, යන ද්විවිධ ශබ්ද ම අසයි.
 
75.මහරජ, යමසේ මිනිසෙක් දික් මඟකට පිළිපන්නේ ද, හේ බෙරහඬක් මිහිඟු බෙර හඬත් පණාබෙර හඬත්, ගැටබෙර හඬත් යම්සේ අසන්නේ ද, ඒ අසන ඔහුට ‘මේ බෙර හඬැයි කියාත්, මේ මිහිඟු බෙර හඬයි කියාත්, මේ සක්පණාබෙර ගැටබෙර හඬයි කියාත්, මෙසේ සිතෙක් වන්නේ ද, මහරජ එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හී කෙලෙස් රහිත වූ කල්හි, උපක්කිලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්මණය (කර්මක්ෂම) වූ කල්හී, සිටි කල්හි, නිශ්චල බවට පැමිණි කල්හී, දිව්‍ය ශ්‍රෝත්‍රධාතුව පිණිස සිත යොමු කෙරෙයි. නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වූ මිනිසුන්ගේ ශ්‍රවණෝපචාරය, ඉක්ම වූ දිව කන් නුවණීන් දිව්‍ය වූත් මානුසික වූත් දුරැ වූත් ළඟැ වූත් ද්විවිධ ශබ්ද අසයි.
මහරජ, මේ ද පලමු කී සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ වඩා උතුම් වූ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍ය ඵලයෙකි.
 
76.හේ තෙමේ මෙසේ එකඟ වූ සිත පිරිසිදු වූ කල්හී, දීප්තිමත් වූ කල්හී, කෙලෙස් රහිත වූ කල්හී, උපක්කිලේශ පහ වැ ගිය කල්හී, මෘදු වූ කල්හී, කර්මක්ෂම වූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හි, චේතස්පර්‍යායඥානය පිණිස (අනුන්ගේ සිත් පිරිසිඳ දක්නා නුවණ පිණිස) සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ අන් සත්ත්වයන්ගේ අන් පුද්ගලයන්ගේ සිත සියසිතින් පිරිසිඳ දනියි. රාග සහිත සිත රාග සහිත සිතැ යි ද දනියි. රාග රහිත සිත රාග රහිත සිතැ යි ද දනියි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතැ යි ද දනී. මෝහ සහිත සිත මෝහ සහිත සිතැයි ද දනී. මෝහ රහිත සිත මෝහ රහිත සිතැයි ද දනී. සංක්ෂිප්ත (=හැකුළුණු) සිත හැකුළුණු සිතැ යි ද දනී. වික්ෂිප්ත (=විසිරුණු) සිත විසුරුණු සිතැ යි ද දනී. මහද්ගත සිත මහද්ගත සිතැ යි ද දනී. මහද්ගත සිත මහද්ගත සිතැ යි ද දනී. අමහද්ගත සිත අමහද්ගත සිතැ යි ද දනී. සෝත්තර සිත සෝත්තර සිතැ යි ද දනී. අනුත්තර සිත අනුත්තර සිතැ යි ද දනී.  සමාහිත සිත සමාහිත සිතැ යි ද දනී. අසමාහිත සිත අසමාහිත සිතැ යි ද දනී. විමුක්ත (=මිදුණු) සිත විමුක්ත සිතැ යි ද දනී. අවිමුක්ත (=නොමිදුණු) සිත අවිමුක්ත සිතැ යි ද දනී.
 
77.මහරජ, යම්සේ සැරැසෙන සුලු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ළදරුවෙක් හෝ තරුණයෙක් හෝ පිරිසිදු දීප්තිමත් කැඩ පතෙක හෝ පහන් දිය බඳුනෙක හෝ සිය මුව සටහන පිරික්සා බලන්නේ තලකැලැල් ආදී දොස් ඇති තැන් සදෝස් තැනැයි දන්නේ ද, එ කී දොස් නැති තැන දොස් නැතැයි දන්නේ ද-
මහරජ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වු කල්හී, කෙලෙස් නැති කල්හි, උපක්කිලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හී, කර්මක්ෂම වූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හී, පරසිත් දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි.
හේ අන් සතුන්ගේ, අන් පුඟුලන්ගේ සිත සියසිතින් පිරිසිඳ දනී. සරාග සිත සරාග සිතැයි ද දනී. වීතරාග සිත වීතරාග සිතැයි ද දනී. සද්වේෂ සිත සද්වේෂ සිතැ යි ද දනී. වීත දෝෂ සිත වීත දෝෂ සිතැ යි ද දනී. සංක්ෂිප්ත සිත සංක්ෂිප්ත සිතැ යි ද දනී. අමහග්ගත සිත අමහග්ගත සිතැ යි ද දනී. මහග්ගත සිත මහග්ගත සිතැයි ද දනී. සෝත්තර සිත සෝත්තර සිතැ යි ද දනී. අනුත්තර සිත අනුත්තර සිතැ යි ද දනී. සමාහිත සිත සමාහිත සිතැ යි ද දනී. අසමාහිත සිත අසමාහිත සිතැ යි ද දනී. විමුක්ත සිත විමුක්ත සිතැ යි ද දනී. අවිමුක්ත සිත අවිමුක්ත සිතැ යි ද දනී.
මහරජ, මේ ද පළමු දැකුවුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ, වඩා උතුම්, සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි.
 
78.හෙ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හී, දීප්ත වූ කල්හී, කෙලෙස් නැති වූ කල්හී, උපක්කිලේශ පහ වැ ගිය කල්හී, මෘදු වූ කල්හී, කර්මක්ෂම වු කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පත් කල්හී, පුර්වේනිවාසානුස්මෘති ඥාණය (=පෙර වුසු කඳ පිළිවෙළ දක්නා නුවණ) ලබනු පිණිස සිත යොමු කෙරෙයි. හේ එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පහක් ද ජාති දසයක් ද  ජාති විස්සක් ද ජාති තිහක් ද ජාති සතළිහක් ද ජාති පනසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති සුවහසක් ද බොහෝ සංවර්ත කල්ප ද බොහෝ විවර්ත කල්ප ද බොහෝ සංවර්ත විවර්ත කල්ප ද “ අසෝ තන්හි මේ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව අසෝ තැන උපනිමි. එහිද මෙ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව මෙහි උපනිමි” යි. මෙසේ අනේකවිධ වු පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මෙසේ වර්ණාදි වශයෙන් ආකාර සහිත වූ නම් ගොත් විසින් උද්දේශ සහිත වු බහුවිධ වු පුර්වේනිවාසය සිහි කෙරෙයි. 
 
79.මහරජ, යම්සේ පුරුෂයෙක් සිය ගමින් අන් ගමකට යන්නේ ද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේ ද, (නැවත ) හේ ඒ ගමින් සිය ගමට ම පෙරළා එන්නේ ද, එසේ වු ඔහුට “මම් වූ කලී සිය ගමින් අසෝ ගමට ගියෙමි. එහි මෙසේ සිටියෙමි, මෙසේ උපන්නේමි, මෙසේ කීමි, මෙසේ නිහඩ විමි. ඒ ගමිනුත් අසෝ ගමට ගියෙමි. එහි ද මෙසේ සිටියෙමි, මෙසේ උන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඩව සිටියෙමි, ඒ මම ඒ ගමින් සිය ගමට පෙරළා ආයම් වෙමි” යි මේ බඳු සිතෙක් වන්නේ ද -
මහරජ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හී, දීප්ත කල්හී, කෙලෙස් රහිත කල්හි, උපක්කිලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්මක්ෂම වු කල්හී, සිටි කල්හී නිශ්චල බවට පැමිණි කල්හී, පෙර වුසු කඳ පිළිවෙළ සිහි කරණ නුවණ පිණිස සිත මොනවට යොමු කෙරෙයි, මොනවට නැඹුරු කෙරෙයි, හේ “ අසෝ තන්හි මේ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව අසෝ තැන උපනිමි. එහිද මෙ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව මෙහි උපනිමි” යි. මෙසේ  එක් ජාතියක් ද , ජාති දෙකක් ද , ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දසයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතළිසක් ද, ජාති පනසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සුවහසක් ද, බොහෝ සංවර්ථ කල්ප ද, බොහෝ විවර්ත කල්ප ද, බොහෝ සංවර්ත විවර්ත කල්ප ද, මෙසේ අනේකවිධ වු පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මේ පරිද්දෙන් ආකාර සහිත වූ උද්දේස සහිත වූ පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරෙයි.  
මහරජ, මේ ද පළමු දැකුවණු සාන්දෘෂ්ක ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ වඩා උතුම් වූ සාන්දෘෂ්ටික ශ්‍රමණ්‍යඵලයෙකි.
 
80.හේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්ත වැ කෙලෙස් නැතිවැ උපක්කිලේශ පහ වැ මෘදු වැ කර්මක්ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, සත්ත්වයන්ගේ ච්‍යුති උප්පත්ති දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි, හේ පිරිසිදු වු, මිනිසුන්ගේ දර්ශනෝපචාරය ඉක් මැ දැක්කැ හැකි දිවැසිනින්, “අහෝ! මේ භවත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් සමන්විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්විතයහ, මනෝදුෂ්චරිතයෙන් සමන්විතයහ, ආර්යෝපවාද කළහ, මිසදිටු ගතුවහ, මිසදිටු වශයෙන් ගත් මිත්‍යාවෘත ඇතියහ, ඒ මොහු කරජ කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුෂ්ටකර්ම හේතුයෙන් හටගත් ගතිය වු, (කර්මයට තමන් පරවශ බැවින්) තමනට අවශ වැ වැටෙන තැන වු නිරයට වන්නාහ. මේ භවත් සත්ත්වයෝ වූ කලී කාය සුචරිතයෙන් සමන්විතයහ, වාක්සුචරිතයෙන් සමන්විතයහ, මනෝසුචරිතයෙන් සමන්විතයහ, ආර්‍යයනට උපවාද නො කළහ, සමදිටු ගත්තහ, සමදිටු වශයෙන් ගත් ශීලාදිය ඇත්තහ, ඒ මොහු කාබුන් මරණින් මතු ශෝභන වූ ගති ඇති සග ලොවට වන්නාහ” යි මරණාසන්න වූ ද, එකෙණෙහි පළිසිඳ, ගත්තා වූද , හීන වූද , උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වු ද , සුගතියට පැමිණියා වූ ද, දුගතියට පැමිණියා වූ ද, කර්මය වූ පරිදි ඒ ඒ භවයට ගියා වූ සත්ත්වයන් දකී. මෙසේ හේ පිරිසිදු වූ මානුෂක විෂය ඉක්මැ පැවැති දිවැසින් හීන ප්‍රණීත, සුවර්ණ දුර්වර්ණ, සුගත දුර්ගත, සත්ත්වයන් දකී. කර්මය වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සත්ත්වයන් දකී.
 
81.මහරජ. යම්සේ සතර මං හන්දියෙක මහල් සහිත ගෙයෙක් වන්නේ ද, එහි උඩු මහලෙහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ ගෙට පිවිසෙන්නවුනුත් ගෙන් නික්මෙනවුනුත් වීථියෙහි ඈත මෑත යන එනවුනුත්, සිව්මං හන්දියෙ මැද හුන්නුවුනුත් දක්නේ ද, ඒ දක්නා ඔහුට “මේ මිනිස්සු ගෙට පිවිසෙත්, මේ මිනිස්සු ගෙන් නික්මෙත්, මේ මිනිස්සු වීදියෙහි ඈත මෑත යෙත්, මොහු සිවුමංහන්දිය මැද උන්නෝ වෙත් යැ” යි මෙසේ සිතෙක් වන්නේ ද-
මහරජ, එපරිදි ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්ත වැ කෙලෙස් නැතිවැ උපක්කිලේශ පහ වැ මෘදු වැ කර්මක්ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, සත්ත්වයන්ගේ ච්‍යුති උප්පත්ති දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි, හේ පරිසිදු වු, මිනිසුන්ගේ දර්ශනෝපචාරය ඉක් මැ දැක්කැ හැකි දිවැසිනින්, “අහෝ! මේ භවත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් සමන්විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්විතයහ, මනෝදුෂ්චරිතයෙන් සමන්විතයහ, ආර්යෝපවාද කළහ, මිසදිටු ගතුවහ, මිසදිටු වශයෙන් ගත් මිත්‍යාවෘත ඇතියහ, ඒ මොහු කරජ කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුෂ්ටකර්ම හේතුයෙන් හටගත් ගතිය වු, (කර්මයට තමන් පරවශ බැවින්) තමනට අවශග වැ වැටෙන තැන වු නිරයට වන්නහ. මේ භවත් සත්ත්වයෝ වූ කලී කාය සුචරිතයෙන් සමන්විතයහ, වාක්සුචරිතයෙන් සමන්විතයහ, මනෝසුචරිතයෙන් සමන්විතයහ, ආර්‍යයනට උපවාද නො කළහ, සමදිටු ගත්තහ, සමදිටු වශයෙන් ගත් ශීලාදිය ඇත්තහ, ඒ මොහු කාබුන් මරණින් මතු ශෝභන වූ ගති ඇති සග ලොවට වන්නාහ” යි මරණාසන්න වූ ද, එකෙණෙහි පළිසිඳ, ගත්තා වූද , හීන වූද , උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වු ද , සුගතියට පැමිණියා වූ ද, දුගතියට පැමිණියා වූ ද, කර්මය වූ පරිදි ඒ ඒ භවයට ගියා වූ සත්ත්වයන් දකී. මෙසේ හේ පිරිසිදු වූ මානුෂක විෂය ඉක්මැ පැවැති දිවැසින් හීන ප්‍රණීත, සුවර්ණ දුර්වර්ණ, සුගත දුර්ගත, සත්ත්වයන් දකී. කර්මය වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සත්ත්වයන් දකී.
මහරජ, මේ ද පලමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ, වඩා උතුම් වූ, සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි.
 
82.හේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්තිමත් වැ නිකෙලෙස් වැ උපක්කිලේශ පහ වැ මෘදු වැ කර්මක්ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, ආස්‍රවයන්ගේ ක්ෂයය(විනාශය) පිණිස සිත මොනවට යොමු කෙරෙයි, මොනවට නැඹුරු කෙරෙයි. (එසේ වූ ) හෙ තෙමේ   ‘මේ දුකැ ’ යි ඇති සැටි ලෙස දනී.  ‘ මේ දුක් ඉපැත්මට කාරණයැ’යි ඇති සැටි ලෙස දනී.  ‘ මේ දුක් වැනැස්මැ’.(=දුක් නැස්මට අරමුනු වන නවනැ) යි ඇති සැටි ලෙස දනී. ‘මේ දුක් වැනැස්මට පමුණුවන පිළිවෙතැ’යි ඇති සැටි ලෙස දනී. ‘ මොහු ආස්‍රවයෝ යැ’ යි ඇති සැටියෙන් දනී. ‘ මේ ආස්‍රවයන් ඉපැද්මට කරුණැ’ ඇති සැටියෙන් දනී. ‘ මේ ආස්‍රව නිරෝධ යැ’යි(ආස්‍රවයන් වැනැස්මට ප්‍රත්‍ය වන නිවනැ)යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපත්තිය යැ ’යි ඇතිසැටියෙන් දනී. මෙසේ දන්නා මෙසේ දක්නවා ඔහුගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ. ඔහු සිත භවාස්‍රවය කෙරෙන්ද මිදෙ. (ඔහු)සිත අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ. (එසේ සිත මිදුණු කල්හී ‘ මා සිත ආස්‍රව කෙරෙන )මිදුණේ යැ’යි (ප්‍රත්‍යෙවක්ෂණ) ඥානය වේ. භවෝත්පත්තිය ක්ෂීන විය(හෙවත් නැවත භවයෙහි නොඋපදනා ස්භාවයට පැමිණියෙමි),  ‘ මඟ බඹසර වැස නිමැවිණි. මේ බව පිණිස (සිවු සස්හි සතර මඟින් කළයුතු සොළෝස් වැදෑරුම්)  කිස කොට නැමැවිණි. මේ බව පිණිස (=මේ ක්ලේශක්ෂය පිණිස) යලි දු කටයුතු දැයෙක් නැතැ’ යි හේ දනී.
 
83.මහරජ, යම්සේ කඳු මුදුනකැ වූ පහන් වු, වෙසෙසින් පහන් වූ, නොකැලැඹුණු (=බොර නොවූ) දිය විලෙක් වන්නේ ද, එහි ඉවුරෙහි ඇස් ඇති මිනිසෙක් සිටියේ, එහි තුල හැසිරෙන්නා වූත් සිටුනා වූත් ස්ප්පිබෙල්ලනුත්, සක්බෙල්ලනුත්, කැටකැබිලිතිත් මත්ස්‍යසමූහයාත් දක්නේ ද, (එසේ දක්නා) ඔහුට “මේ දියවිල පහන් ය, වෙසෙසින් පහන් ය, නොකැලැඹුණේ ය. මෙහි මේ සිප්පිහුත්, සක්බෙල්ලෝත්, කැට කැබිලිතිත් මත්ස්‍ය සමූහයෝත් හැසිරෙන්නොත් සිටින්නෝත් වෙති” යි මෙසේ සිතෙක් වන්නේ ද,
මහරජ, එපරිද්දෙන්ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්තිමත් වැ, නිකෙලෙස් වැ, උපක්කිලේශ පහ වැ, මෘදු වැ, කර්මණ්‍ය වැ, ස්ථිත වැ, නිශ්චලතාවට පැමිණි කල්හි ආස්‍රවක්ෂයඥානය පිණිස සිත යොමු කෙරෙයි. නැඹුරු කෙරෙයි. හේ ‘මේ දුකැ ’ යි ඇති සැටි ලෙස දනී.  ‘ මේ දුක් ඉපැත්මට කාරණයැ’යි ඇති සැටි ලෙස දනී.  ‘ මේ දුක් වැනැස්මැ’.(=දුක් නැස්මට අරමුනු වන නවනැ) යි ඇති සැටි ලෙස දනී. ‘මේ දුක් වැනැස්මට පමුණුවන පිළිවෙතැ’යි ඇති සැටි ලෙස දනී. ‘ මොහු ආස්‍රවයෝ යැ’ යි ඇති සැටියෙන් දනී. ‘ මේ ආස්‍රවයන් ඉපැද්මට කරුණැ’ ඇති සැටියෙන් දනී. ‘ මේ ආස්‍රව නිරෝධ යැ’යි(ආස්‍රවයන් වැනැස්මට ප්‍රත්‍ය වන නිවනැ)යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපත්තිය යැ ’යි ඇතිසැටියෙන් දනී. මෙසේ දන්නා මෙසේ දක්නවා ඔහුගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ. ඔහු සිත භවාස්‍රවය කෙරෙන්ද මිදෙ. (ඔහු)සිත අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ. (එසේ සිත මිදුණු කල්හී ‘ මා සිත ආස්‍රව කෙරෙන )මිදුණේ යැ’යි (ප්‍රත්‍යෙවක්ෂණ) ඥානය වේ. භවෝත්පත්තිය ක්ෂීන විය(හෙවත් නැවත භවයෙහි නොඋපදනා ස්භාවයට පැමිණියෙමි),  ‘ මඟ බඹසර වැස නිමැවිණි. මේ බව පිණිස (සිවු සස්හි සතර මඟින් කළයුතු සොළෝස් වැදෑරුම්)  කිස කොට නිමැවිණි. මේ බව පිණිස (=මේ ක්ලේශක්ෂය පිණිස) යලි දු කටයුතු දැයෙක් නැතැ’ යි හේ දනී.
මහරජ, මේ වූ කලි පළමුවෙන් දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ , වඩා උතුම් වූ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි.  “මහරජ, මේ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයන් අන්‍ය වූ, මෙයට වඩා මනෝඥ වූ හෝ මෙයට වඩා උතුම් වූ හෝ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙක් නැතැ” යි. (වදාළ සේක.)
 
84.මෙසේ වදාළ කල්හී මගධේශ්වර වෛදේහීපුත්‍ර අජාතශත්‍රැ රජ තෙම, “වහන්ස, ධර්ම දේශනාව අභිකාන්ත ය,(අතිමනෝඥ ය) වහන්ස, ධර්මදේශනාව අභිකාන්තය. වහන්සේ යම්සේ යටිකුරු කොට තැබූ (මුහුණින් නැමූ) බඳුනක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, වැසුණු දැයෙක් වැසුම් හැර දක්වන්නේ හෝ වේ ද. මං මූළා වූවකුට මග කියන්නේ හෝ වේ ද, ඇස් ඇතියෝ රූප දකිතැ යි අඳුරෙහි තෙල් පහනක් දල්වන්නේ හෝ වේ ද, වහන්ස, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් මට නොයෙක් අයුරින් ධර්මය පැවැසිණි. වහන්සේ, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද ධර්මය ද භික්ෂු සංඝයා ද සරණ යෙමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවි හිමි කොට සරණ ගිය උපාසකයකු කොට දන්නා සේක් වා. වහන්ස, යම් බඳු මම් සිය පිය වූ දැහැමි දැමිටු රජහු ඉසුරු කරුණින් දිවියෙන් තොර කෙළම් වෙම් ද වහන්ස, ඒ අපරාධය බාලබවට ගැළපෙනසේ මූඩ බවට අනුරූපසේ අදක්ෂ බවට නිසිසේ මා මැඩගෙන ගියේ ය. වහන්ස, මත්තෙහි මා මෙබඳු වරද නො කරනු පිණිස භාග්‍යවතුන් වහන්සේ මගේ වරද වරද වශයෙන් පිළිගන්නා සේක්වා ” යි භාග්‍යවතුන් වහන්සේට මෙබස් පැවැසී ය.
 
85.(එවිට භාග්‍යවතුන් වහන්සේ වදාරණ සේක්:) “මහරජ, යම්බඳු තෝ පිය වූ දැහැමි රජහු දිවියෙන් තොර කෙළෙහි වෙයි ද, ඒකාන්තයෙන් ඒ වරද බාල බවට, අනුරිවින් මූඩබවට අනුරිවින් අකුසලයට අනුරිවින් තා ඉක්මැ ගියේ යැ. (මැඩ ගෙන පැවැත්තේ ය.) මහරජ, යම් හෙයකින් යුෂ්මත් තෙමේ වරද වරද වශයෙන් දැක ධර්මය වූ පරිදි පිළියම් කෙරෙහි නම්, යුෂ්මත්හුගේ ඒ වරද අපි පිළිගනුම්හ (=ඉවසමු) මහරජ, යමෙක් වරද වරද විසින් දැක දහම් වූ පරිදි පිළියම් කරන්නේ නම් මත්තෙහි ඒ වැන්නක් නොකරනුවට සංවරයට පැමිණෙන්නේ නම්, (ආයතිසංවරයෙහි පිහිටන්නේ නම්) මෙය ආර්‍ය විනයයෙහි (බුදු සසුනෙහි) වෘද්ධිය (=වැඩීම) නම් වේ” යැ යි වදාළ සේක.
 
86.මෙසේ වදාළ කල්හි වෛදේහිපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්සේ, දැන් අපි යම්හ. අපි බොහෝ කෘත්‍ය ඇත්තමෝ බොහෝ කටයුතු ඇත්තමෝ වම්හ” යි කී ය.
“මහරජ, යුෂ්මත් තෙමේ යම් ගමනකට කල් දනිහි ද එය යුෂ්මත් ම කල් දැන ගන්නැ ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
ඉක්බිත්තෙන් වෛදේහිපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙන අනුමෝදන් වැ උනස්නෙන් නැඟිට පැදකුණු කොට නික්මැ ගියේ ය.
 
87.ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ වෛදේහිපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ නික්මැ ගිය නොබෝ වේලායෙහි භික්ෂුන් අමතා “මහණෙනි, මේ රජ සිය පියා නැසීමෙන් කළ කර්මාපරාධයෙන් උදුරාලු උපනික්ශ්‍රය සම්පත් නැමැති මුල් ඇත්තේ ඉදුරුණේ වෙයි. එහෙයින් ම (නටුවා වූ ප්‍රතිෂ්ඨා ඇත්තෙන්) නටුයේ වෙයි. මහණෙනි, ඉදින් මේ රජ දැහැමි වූ, දැහැමෙන් රජ බවට පැමිණි පියා ජිවිතයෙන් තොර නො කෙළේ වී නම්, මේ අස්නෙහි ම (මෙතන්හි දි ම) රාගාදි කෙලෙස් රජස් රහිත, පහ වූ කෙලෙස් මල ඇති දහම් ඇස (සෝවාන්මඟනැණ) මොහුට පහළ වූයේ වනැ”යි වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එ මහණහු සතුටු සිතැත්තෝ උන්වහන්සේගේ වචන පිළිගත්හ.
 
දෙවෙනි වූ ශ්‍රාමණ්‍යඵල සුත්‍රය නිමියේ ය.
 
1-3අම්බට්ඨ සුත්‍රය
 
1.මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වහන්සේ භික්ෂුන් පන්සියයක් පමණ වූ මහත් බික්සඟන හා කොසොල් රටැ සැරි සරණ සේක්, කොසොල් රැටියන්ගේ ඉච්ඡානඞ්ගල නම් බමුණු ගමට වැඩි සේක. එහි භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානඞ්ගල ගමට නොදුරෙ හි වූ ඉච්ඡානඞ්ගල වනළැහැබෙහි වැඩ වසන සේක.
 
2.එ සමයෙහි වනාහි පොක්ඛරසාති නම් බමුණු තෙමේ බහුජනාකිර්ණ වූ, තණ දඬු දිය යන මෙයින් යුක්ත වූ, බොහෝ ධාන්‍ය ඇති, රජහු කෙරෙන් ලත් තමාගේ පරිභෝග වස්තුව වූ, රජහුගේ දායාද්‍යය(දානය) වූ බ්‍රහ්මදේයය වූ, (රාජස්වරූපයෙන් පරිභෝග කටයුතු වූ), පසේනදී කොසොල් රජුහු දුන් ශ්‍රේෂ්ඨ ත්‍යාගය වූ උක්කට්ඨා නුවරැ වෙසෙයි. හෙ තෙමේ (රටෙහි පැතිරැ ගිය) මතු දැක්වෙන කථාව ඇසී ය:
 
“භවත්නි, ශාක්‍යපුත්‍ර වූ, ශාක්‍යකුලයෙන් නික්මැ පැවැදි වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වනාහි භික්ෂුන් පන්සියයක් පමණ වූ මහබික්සඟන හා කොසොල් රටැ සැරි සරන සේක්, කොසොල්රැටියන්ගේ ඉච්ඡානඞ්ගල නම් ගමට වැඩි සේක්, එයට නොදුරෙහි වූ ඉච්ඡානඞ්ගල වන ළෑහැබෙහි වසන සේක. ඒ භාගවතුන් වහන්සේ මේ මේ කරුණින් අරිහත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගත නම්හ, ලෝකවිත් (ලොව දන්නා)හ, නිරුත්තර පුරුෂදම්‍යසාරථීහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ. උන්වහන්සේ දෙවියන් මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකය, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත මේ සත්ත්වවර්ගයා, තමන් ම සිය විශිෂ්ට නුවණීන් දැන පසක් කොට, දන්වන සේක. ‘උන් වහන්සේ ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්යවසානකල්‍යාණ වූ, (සතිපට්ඨානාදි) මනා අර්ථ ඇති, මනා (සම්පූර්ණ) ව්‍යංජන ඇති, සර්වාකාර පරිපූර්ණ, පිරිසිදු ධර්මය දෙසන සේක.  එසේ දෙසන්නෝ ද (අධිශීල අධිචිත්ත අධිපඥා යන ත්‍රිශික්ෂායෙන් සංගෘහිත වූ)සකල ශාසන බ්‍රහ්මචර්‍යය පවසන සේක. එබඳු රහතුන් දැක් මූ කලී හිත වැඩ ගෙන දෙන්නෙකැ’යි ඒ භගවත් ගෞතමයන් වහන්සේ පිළිබඳ මෙසේ වූ භද්‍ර වූ කිර්තිශබ්දයෙක් උස් වැ නංගේ වේ” යනුයි.
 
3.එසමයෙහි වූ කලි පොක්ඛරසාති බමුණාට වේද හදාරන, වේදයන් මුඛපාඨයෙන් දරන, නිඝණ්ටු කෙටුභශාස්ත්‍ර සහිත අක්ෂර ප්‍රභේද (ශික්ෂා හා නිරුක්ති) සහිත, ඉතිහාසය පස්වනු කොටැති ත්‍රිවේදයන්ගේ පරතෙර පත්, පදපාඨ දන්නා, තදන්‍ය සියලු ව්‍යාකරණ ද දන්නා, ලෝකායතශාස්ත්‍රෙයහිත් මහා පුරුෂලක්ෂණශාස්ත්‍රයෙහිත් නිපුණ වූ, ඇදුරන් විසින් උගන්වන ලද තිවිද්‍යා සංඛ්‍යාත ශ්‍රේෂ්ඔවචනයෙහි, ‘මා දන්නා සියල්ල තෝ දනිහි’යැ යි ගුරුහු විසින් අනුදන්නා ලද, ‘ඔබ දන්නා සියල්ල මම් දනිමැ’යි තමා විසින් කරන ලද ප්‍රතිඥා ඇති අම්බට්ඨ නම් මාණවකයෙක් අතැවැසි වෙයි.
 
4.ඉක්බිති පොක්ඛරසාති බමුණු තෙම අම්බට්ඨ මාණවකයා බණවා මෙ සේ කී ය: “දරුව අම්බට්ඨය, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් නික්මැ පැවිදි වූ මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ භික්ෂූන් පන්සියයක් පමණ වූ මහ බික්සඟන හා කොසොල් රටැ සැරි සරන සේක්, ඉච්ඡානඞ්ගලයට පැමිණියෝ එයට නොදුරැ වූ ඉච්ඡානඞ්ගල වන ළැහැබෙහි වසන සේක.
 
“මෙසේ මෙසේ ඒ භාගයවතුන් වහන්සේ අරිහත්හ, අරිහත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගත නම්හ, ලෝකවිත් (ලොව දන්නා)හ, නිරුත්තර පුරුෂදම්‍යසාරථීහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ. උන්වහන්සේ දෙවියන් මරුන් සහිත බඹුන් සහි මේ ලෝකය, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත මේ සත්ත්වවර්ගයා, තමන් ම සිය විශිෂ්ට නුවණීන් දැන පසක් කොට, දන්වන සේක. ‘උන් වහන්සේ ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්යවසානකල්‍යාණ වූ, (සතිපට්ඨානාදි) මනා අර්ථ ඇති, මනා (සම්පූර්ණ) ව්‍යංජන ඇති, සර්වාකාර පරිපූර්ණ, පිරිසිදු ධර්මය දෙසන සේක.  එසේ දෙසන්නෝ ද (අධිශීල අධිචිත්ත අධිපඥා යන ත්‍රිශික්ෂායෙන් සංගෘහිත වූ)සකල ශාසන බ්‍රහ්මචර්‍යය පවසන සේක. එබඳු රහතුන් දැක් මූ කලී හිත වැඩ ගෙන දෙන්නෙකැ’යි ඒ භගවත් ගෞතමයන් වහන්සේ පිළිබඳ මෙසේ වූ භද්‍ර වූ කිර්තිශබ්දයෙක් උස් වැ නංගේ වේ”
 
දරුව අම්බට්ඨය, එන්නැ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කරා එළැඹෙන්නැ. එළැඹැ, “ඒ භාග්‍යවතුන් වහන්සේගේ එසේ විද්‍යාමාන වූ ම ගුණ පිළිබඳ කීර්තිශබ්දයෙක් නැංගේ වේ ද?. නැතහොත් එසේ විද්‍යාමාන නොවූ ගුණ පිළිබඳ හඬෙක් නැංගේ වේ ද? ඒ භවත් ගෞතමයන් වහන්සේ එබඳු ම ද ? නැතහොත් එබඳු නො වෙත් දැ?” යි ඒ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ දැක ගන්නැ. එසේ අපි ඒ භවත් ගෞතමයන් වහන්සේ දැන ගන්නම” යනුයි.
 
5.“භවත, ඒ භවත් ගෞතමයන් වහන්සේගේ එසේ විද්‍යාමාන වූ ගුණ පිළිබඳ කීර්තිශබ්දයෙක් නැංගේ වේ ද ? නැත හොත් එසේ විද්‍යාමාන නොවූ ගුණ පිළිබඳ හඬෙක් නැංගේ වේ ද? ඒ භවත් ගෞතමයන් වහන්සේ එබඳු  ම ද ? නැත හොත් එබඳු නො වෙත් දැ‘යි මම් කෙසේ නම් දැන ගත හෙන්නෙම් ද ?”යි (අම්බට්ඨ මාණවකයා කීය.)
 
6.“දරුව අම්බට්ඨය, යමෙකින් සමන්විත මහාපුරුෂයක්හට නිෂ්ඨා දෙකක් විනා එයින් අනෙකක් නැත් ද, - ඉදින් ගිහි ගෙහි වසන්නේ නම් දැහැමි වූ, දැහැමෙන් ම රජය ලත්, සිවු මුහුදු හිම් කොට ඇති සතර මහද්වීපයෙන් සැදුණු මුළු පොළවට අධිපති, පසමිතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත්රුවනින් සමන්විත සක්විති රඩෙක් වන්නේ ද, සක් රුවන ය, ඇත්රුවන ය, අස් රුවනය, මිණිරුවන ය, ඉතිරි රුවන ය, ගැහැවි රුවන ය, සත්වන පිරිනාරුවන ය, යන මේ සත් රුවන් කෙනෙක් යම් ඒ රජක් හට ඇත් ද, දහසකටත් වැඩි ශූර වූ (නොබාන සුලු), දෙව් කුමරුන් වැනි සිරුරු ඇති, සතුරු සෙන් මඬනට සමත් වූ, පුත්හු ඇත් ද, යම් ඒ මහාපුරිස්ලකුණින් යුත් හේ සයුර හිම් කොටැති මේ පොළොව දංඩෙන් සැතින් වෙන් වැ (පන්සිල්) දහමෙන් වෙසෙසින් දිනා එයට අධිපති වැ වෙසේ ද ; -
 
ඉදින් යම් මහපුරිෂ්ලකුණු කෙනකුන්ගෙන් සමන්විත හේ ගිහිගෙන් නික්මැ පැවිදි වදනේ නම් නැසූ පව්  සෙවෙණි ඇති. (නොහොත් තිවර්ගයෙන් හා තුන් සෙවෙණියෙන් මිදුණු) අර්හත් සම්‍යක්සම්බුද්ධෝත්තමයෙක් වන්නේ ද, දරුව අම්බට්ඨ ය, එසේ වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෝ අපගේ වේදයෙහි ආවහු ම ය. දරුව අම්බට්ඨ ය, මම වනාහි මන්ත්‍ර (වේද) දෙන (=උගන්වන) තැනැත්තෙම් වෙමි. තෝ මන්ත්‍ර පිළිගන්නා තැනැත්තෙහි”(යයි පොක්ඛරසාති තෙම කී ය.)
“පින්වත්නි, (යම්සේ තෙපි කියවු නම්) එසේ කරන්නෙමි” යි අම්බට්ඨ මාණවකායා පොක්ඛරසාති බමුණාට පිළිවදන් දී, හුනස්නෙන් නැගී සිටැ, ඔහු සකසා වැඳ පැදකුණු කොට වෙළඹුන් යෙදූ රියක් නැඟ බොහෝ මාණවකයන් හා ඉච්ඡානඞ්ගල වනළැහැබ බලා නික්මුණේ ය. යානයට බිම් යම් පමණෙක් ද එතෙක් (යානයෙන් යෑ හැකි තාක් ) යානයෙන් ගොස් එයින් බැස පාගමන් ඇතියේ ම (පයින් ම) ආරාමයට පිවිසියේ ය.
 
7.එසමයෙහි බොහෝ භික්ෂුහු එළිමහනෙහි සක්මන් කෙරෙත්. ඉක්බිති අම්බට්ඨ මාණවක තෙමේ ඒ භික්ෂුන් කරා එළෑඹියේ ය. එළැඹ ඒ භික්ෂූන් ගෙන් ‘භවත්නි, ඒ භවත් ගෞතමයෝ දැන් කොහි වසනන්නෝ ද ? ’ අපි වූ කලි ඒ භවද් ගෞතමයන් දක්නා පිණිස මෙහි එළැඹියම්හ” යි මෙය කී ය.
 
8.එකල්හී ඒ භික්ෂුන් හට “මේ අම්බට්ඨ මාණවකයා වූ කලි ප්‍රකට කුලයෙක උපන්නෙක් ද ප්‍රසිද්ධ පොක්ඛරසාති බමුණාගේ අතැවැස්සෙක් ද වේ. මේබඳු කුලපුතුන් හා කතාබස් කිරීම භාග්‍යවතුන් වහන්සේට බරෙක් නම් නො වේ ම යැ”යි මේ සිත විය. ඔහු අම්ට්ඨ මාණවකයාට “අම්බට්ඨය, මේ වැසූ දොර ඇතියේ විහාරය යි. නිශ්ශබ්ද වැ එතැනට ගොස්, සෙමෙන් පිලට පිවිස කාරා අගුල ළඟට නිය පිටින් ගසව.(එවිට) භාග්‍යවතුන් වහන්සේ දොර හරනා සේකැ”යි කීහ.
 
9.එවිට අම්බට්ඨ මාණවක තෙම වැසූ දොර ඇති ඒ වෙහෙරට නිහඬ වැ එළැඹ සෙමෙන් ගඳකිළි පිලට වැද උගුරපාදා(මද ශබ්ද කොට) අගුල සමීපයට නිය පිටින් ගැසී ය. (එවිට) භාග්‍යවතුන් වහන්සේ දොර හළ සේක. අම්බට්ඨය මාණවක තෙමේ (විහාරයට) පිවිසියේ ය. මාණවකයෝ ද පිවිසැ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටට කරුණු වූ සිහි කරනුවට (සිතැරදවනුවට) නිසා වූ කතා බස් අවසන් කොට, එක් පසෙක හිඳැ ගත්හ. අම්බට්ඨමාණවකයා වූ කලි තෙමේ සක්මන් කෙරෙමිනුත් වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ කරා හා යම් යම් කිසි සාරණීය කථා කෙරෙයි, සිටැ ගෙනත් වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ හා යම් යම් සාරණීය කථා කෙරෙයි.
 
10.එකලැ භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයා බණවා, “අම්බට්ඨය, යම්සේ යමිනුත් සිටිමිනුත් තෝ හුන් මා හා කිසි යම් සාරාණීය කථා කෙරෙහි නම් තගේ ආචාර්‍ය ප්‍රාචාර්‍ය වූ, වයසින් වැඩී සිටි, මහලු බමුණන් හාත් එපරිද්දෙන් ම තගේ කතා බස් කිරීම වේ දැ ?” යි ඇසූ සේක.
(එවිටැ අම්බට්ඨ මාණවක තෙම) “භවද් ගෞතමය, එසේ නොවේ ම ය. යන බමුණහු යන බමුණක්හු හා ම කතා කරනු හෝ වටී. සිටි බමුණක් හු සිටි බමුණක්හු හා ම කතා කිරීම හෝ වටී. හුන් බමුණා හුන් බමුණකු හා ම කතා කිරීම හෝ වටී. හෝනා බමුණහු හෝනා බමුණකු හා ම කතා කරනු හෝ වටී. එහෙත් භවත් ගෞතමය, ගැහැවි වූ, කළු වන් වූ බඹහු පතුලෙන් උපන් යම් මුඬු මහණ කෙනෙක් වෙත් නම්, ඔවුන් හාත් මගේ කථාසංලාපය භවත් ගෞතමයා හා කතා කරන පරිද්දෙන් ම වේ” (යැ යි කී ය.)
 
11.(එවිටැ භාග්‍යවතුන් වහන්සේ,) “අම්බට්ඨය, පැමිණ කළ යුතු වැඩක් සඳහා ම තගේ මෙහි පැමිණීම විය. යම් කරුණක් සඳහා ආයෙහි නම් ඒ කරුණ ම මැනවින් මෙනෙහි කරව. භවත්නී මේ අම්බට්ඨ මාණවක තෙමේ ඇදුරු කුලෙහි නො හික්මුණේ අල්පශ්‍රැත වූයේ ‘හික්මුණෙමි’යි බහුශ්‍රැතයෙමි’ යි යන මාන ඇත්තේ වෙයි. මොහු මේ පරොස් බස් දොඩනුයේ ඇදුරු කුලයෙහි නොහික්මුණු අල්පශ්‍රැතබැවින් විනා අන් කරුණෙකින් නො වේ” (යැ යි වාදාළ සේක.)
 
12.එකල්හි අම්බට්ඨ මාණවක තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් අවුසිතවාදයෙන්(නොහික්මුණෙක, නොඋගතෙක යන කථායෙන්) කියනු ලබනුයේ, කිපුණේ, නොසතුටු සිතැත්තේ භාග්‍යවතුන් වහන්සේට ම ආක්‍රෝශ කරනුයේ, භාග්‍යවතුන් වහන්සේට ම ගර්හා කරනුයේ, භාග්‍යවතුන් වහන්සේට ම දොස් නගනුයේ, ශ්‍රමණ ගෞතම තෙමේත් චණ්ඩවාදී දෝෂයට මා විසින් පමුණුවන ලද්දේ වන්නේ යැ යි සිතා, “භවද් ගෞතමය, ශාක්‍යජාතිය චණ්ඩ ය, භවද් ගෞතමය, ශාක්‍යජාතිය පරුෂ ය, භවද්ගෞතමය, ශාක්‍යජාතිය හෑල්ලූ ය (වහා පෙරැළෙන සුලු ය) ශාක්‍යජාතිය දොඩමලු ය, තුමූ (බමුණනට මෙහෙකරු විය යුතු) ගෘහපතීයෝ ම වන්නෝ නුමුදු බමුණනට සත්කාර නො කෙරෙත්, බමුණනට ගෞරව නො කෙරෙත්, බමුණනට බුහුමන් නො කෙරෙත්, බමුණන් නො පුදත්, බමුණනට යටත් පැවැතුම් නොදක්වත්, භවද් ගෞතමය, මේ ශාක්‍යෙයා් බමුණනට (මෙහෙකරු විය යුතු ) ගැහැවියෝ වන්නෝ ම බමුණනට සත්කාර නො කෙරෙත් ය, බමුණන් නො පුදත් ය, බමුණනට යටත් පැවැතුම් නොදක්වත් ය යන යමක් ඇද්ද, ඒ මේ කරුණ නො සුදුසු ය, ඒ මේ කරුණ නො නිසි යැ”යි භාග්‍යවතුන් වහන්සේට මෙබස් කී ය.
මෙසේ අම්බට්ඨ මාණවක තෙමේ ශාක්‍යයන් කෙරෙහි මේ පලමු ඉබ්භවාදය(බමුණන් ගේ දාසයෝ ය යන නිග්‍රහ කථාව) හෙළී ය.
 
13.එවිට භාග්‍යවතුන් වහන්සේ, ‘කිමේ ක අම්බට්ඨය, ශාක්‍යෙයා් තට කිසි වරදක් කළෝ දැ? ’යි වදාළ සේක.
“එසේ ය, භවද් ගෞතමය, මම් එක් කලෙක මා ඇදුරු පොක්ඛරසාති බමුණානන්ගේ කිසි කටයුත්තෙකින් කිඹුල්වත් නුවරට ගියෙමි. එහි ශාක්‍යයන්ගේ සන්ථාගාරය කරා එළැඹුණෙමි. එසමයෙහි වූ කලි බොහෝ ශාක්‍යෙයෝ ශාක්‍යකුමාරයොත් උනුනට අඟිලිවලින් කෙවිටි කරමින් මහත් සිනහ සෙමින්, ඇඟිලි එකට ගැටීම් ආදින් කෙළි කවට කම් පාමින්, ඒකාන්තයෙන් මට ම සිනා සෙන්නාක් මෙන් කෙරෙමින් සන්ථාගාරයෙහි උස් අසුන්හි හුන්නෝ වෙත්. කිසිවෙක් මට අස්නෙකින් නිමැතුම් පමණකුත් නො කෙළේ ය. භවත් ගෞතමය, මේ ශාක්‍යෙයෝ තුමූ ඉබ්භ (බමුණනට දාස වූ ගැහැවියෝ) වන්නෝ ම, බමුණනට සත්කාර ගරුකාර බහුමාන පුජා අපචායන (යටත් පැවැතුම්) නො කරන්නාහ යන මෙය නොසුදුසු ය, නො නිසි යැ” යි අම්බට්ඨ තෙමේ පැවැසී ය.
මෙසේ අම්බට්ඨ මාණවක තෙමේ ශාක්‍යයන් කෙරෙහි මේ දෙවෙනි උපවාද ය හෙළී ය.
 
14.එ විට භාගයවතුන් වහන්සේ වාදරණ සේක්, “අම්බට්ඨය, කැටකිරිල්ල පවා තමා ගේ කැදැල්ලෙහි දී කැමැති සේ හඬනසුලු වේ. අම්බට්ඨය, කිඹුල්වත් පුරය යන යමක් ඇද්ද, මෙය ශාක්‍යයන් සතු ස්වනගරය යි. එබැවින් ආයුෂ්මත් අම්බට්ඨ තෙමේ මේ ස්වල්ප මාත්‍රයෙහි වෙර බඳින්නට නො වටී” යැ යි වදාළ සේක.
 
15.එකලැ අම්බට්ඨ තෙමේ යලි දු ශාක්‍යයනට දොස් නගනුයේ, “භවද් ගෞතමය, ක්ෂත්‍රිය බ්‍රහාමණ වෛශ්‍ය ශුද්‍ර යැ යි මේ වර්ණ (කුල) සතරෙකි. භවද් ගෞතමය, මේ සතර වර්ණයන් අතුරෙන් ක්ෂත්‍රිය ද වෛශය ද ශුද්‍ර ද යන තුන් කුලයෝ ඒකාන්තයෙන් බ්‍රාහ්මණයාගේ ම මෙහෙකරු වෙත්. (එබැවින්) භවත් ගෞතමය, මේ ශාක්‍යෙයෝ බමුණනට මෙහෙකරු වූ ගැහැවියෝ වන්නෝ ම, බමුණනට සත්කාර ගරුකාර බහුමාන පූජන අපචායන (=යටත් පැවැත්ම්) නො කෙරෙත් යන මෙය නොසුදුසු ම ය, නොනිසි ම යැ” යි කී ය.
මෙසේ අම්බට්ඨ මාණවක තෙමේ ශාක්‍යයන් කෙරෙහි මේ තෙවෙනි ඉබ්භවාදය (බමුණන්ගේ මෙහෙකරු ගැහැවියෝ ය යන ගැරැහීම) හෙළී ය.
 
16.එවිට ‘මේ අම්බට්ඨ මාණවක තෙමේ ඉතා දැඩි ලෙස ශාක්‍යයන් කෙරෙහි ඉබ්භවාදයෙන් පිරිහෙළා කථා කෙරෙයි. මා ඔහු අතින් ගෝත්‍රය විචාළොත් යෙහෙකැ”යි භාග්‍යවතුන් වහන්සේට මේ සිත විය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයා අමතා “අම්බට්ඨය, තෝ කරව ගොත් ඇත්තෙහි දැ ?” යි විචාළ සේක.
“භවද්ගෞතමය, මම් කෘෂ්ණායනයෙක් (-කෘෂ්ණ නම් සෘෂිහුගේ පෙළපතට අයත්තෙක්) වෙමි” යි අම්බට්ඨ තෙමේ (තෙ වරක් උස් හඩින්) කී ය.
 
17.(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක): “අම්බට්ඨය, ඉකුත් කාලයට අයත් සිය මා පියන් අයත් නම්ගොත් සිහි කරන තාගේ ස්වාමිපුත්‍රයෝ ශාක්‍යයෝ වෙති. තෝ ශාක්‍යයන්ගේ දාසියක ගේ පුත්‍ර (පරම්පරාවට අයත්) වෙහි ය. (එබැවින් දාස වූ තා ස්වකීය ස්වමී වූ ශාක්‍යයන් කරා නොඑළැඹෙන්නහු දැක ශාක්‍යයෝ එදා සිනාසුනහ) අම්බට්ඨය, ශාක්‍යයෝ වනාහි ඔක්කාර (=ඉක්ෂවාකු)රජහු තමන් මීමුත්තනුවන් (=පූර්වපුරුෂයාණන්) කොට තබත් (=පූර්වපුරුෂයා කියත්).
“අම්බට්ඨය, තට පෙරැ වූවක් කියමි, (අතීතයෙහි) ඔක්කාක රජ තෙමේ තමහට ප්‍රිය වූ මනාප වූ යම් මෙහෙසියක් වූ නම් ඇයගේ පුතුට රජය පිරිනමනු කැමැත්තේ උක්කාමුඛ කරකණ්ඩ හත්ථනික නිපුර යන දෙටු කුමරුන් රටින් පිටත් කළේ ය. රටින් පිටත් කරනු ලැබූ ඔහු - හිමවත් පෙදෙසැ පොකුණක් අද්දර මහ ශාක ගස් ඇති වනයෙක් විය. - එහි වාසය කළහ. ඔහු ජාතිසම්භේදයට(අන්‍යකුල හා මිශ්‍ර වැ කිලිටි වීමට බියෙන්) සිය බිහිනියන් හා එක් වැ වුසූහ.
“අම්බට්ඨය, ඉක්බිති ඔක්කාක රජ තෙම මැතිමඬුල්ලට අයත් ඇමැතියන් අමතා “භවත්නි, කුමරුවෝ දැන් කොහි වෙසෙත් දැ?” යි විචාළේ ය.
“දේවයිනි, හිමවත පැත්තෙහි පොකුණු තෙරෙක මහා ශාක වනයෙක් ඇත. එහි කුමරුවෝ වෙසෙති. ඔහු ජාතිසම්මිශ්‍රණයෙන් වූ බියෙන් සිය බිහිනියන් හා එක් වැ වෙසෙත් යැ” යි ඇමතියෝ කීහ. 
අම්බට්ඨය, එවට ඔක්කාක රජ ‘භවත්නි, පුදුම යි. කුමරුවෝ ශක්‍යයෝ ය(සමත්තු ය)! කුමරුවෝ පරම ශාක්‍ය යෝයැ (මහත් ම සමත්තු යැ)! ” යි උදන් ඇනී ය. අම්බට්ඨය, එතැන් පටන් ඔහු ‘ශාක්‍යයෝ’ යි (ශාක්‍යයෝ යි) පැනෙත්. ඒ ඔක්කාර රජ ම ඔවුන්ගේ පුර්ව පුරුෂ විය.
“අම්බට්ඨය, මේ කලැ මිනිස්සු පිශාචයන් දැක ‘පිශාචයෝ’යි යම්සේ හඳුනත් ද, අම්බට්ඨය, එසේ ම එසමයෙහි, මිනිස්සු පිශාචයන් කළු පැහැත්තෝ යැ යි හඳුනත්. ඔහු  ‘මේ තෙමේ උපන්නේ (=උපන් කෙණෙහි) කථා කෙළේ ය. කෘෂ්ණයෙක් (=කළුවෙක්) උපන, පිශාචයෙක් උපනැ’ යි මෙසේ කීහ.
“අම්බට්ඨය,  එතැන් පටන් කෘෂ්ණ්‍යයනයෝ (=කෘෂ්ණ පරම්පරාවට අයත් වූවෝ යැ යි ඔහු පරපුරෙහි වුවෝ) පැනෙත්. හේ කෘෂ්ණායනයන්ගේ පූර්ව පුරුෂයා ය. අම්බට්ඨය, මෙසේ ම ශාක්‍යයෝ මාපිය පරපුරට අයත් අතීත නම් ගොත් සිහි කරන තාගේ ස්වාමිපුත්‍රයෝ ය, තෝ ශාක්‍යයන්ගේ දාසිපුත්‍රෙයකැ”යි යනුයි.
 
18.මෙසේ වදාළ කල්හී ඒ මාණවකයෝ කියන්නෝ “භවත් ගෞතම තෙමේ ඉතා දැඩි ලෙස දාසිපුත්‍රවාදයෙන් අම්බට්ඨ මාණවකයා නො පිරිහෙළා වා. භවද් ගෞතමයිනි, අම්බට්ඨ මාණවක තෙමේ සුජාත ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ කුලපුත්‍ර (මානා කුලයෙහි උපන්නෙක් ) ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ බහුශ්‍රැත ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ මිහිරි වචන ඇත්තේ ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ පණ්ඩිත ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ මේ වචනයෙහි (=මේ වේදත්‍රය පිළිබඳ කථායෙහි හෝ මේ දාසිපුත්‍ර කථායෙහි) භවද් ගෞතමයන් හා ප්‍රතිමන්ත්‍රණය කරන්නට (=මෙහිලා උත්තර දෙන්නට) පොහොසත් ද වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේට කීහ.
 
19.එකල්හී භාග්‍යවතුන් වහන්සේ ඒ මාණවකයන් අමතා, “මාණවකයෙනි, අම්බට්ඨ මාණවකයා දුර්ජාත ද වේ. අම්බට්ඨ මාණවකයා අකුලපුත්‍ර ද වේ. අම්බට්ඨ මාණවකයා අල්පශ්‍රැත ද වේ. අම්බට්ඨ මාණවකයා නොමිහිරි වචන ඇත්තේ ද වේ. අම්බට්ඨ මාණවකයා අපණ්ඩිත ද වේ. ශ්‍රමණ ගෞතමයා හා මේ වචනයෙහි සාකච්ඡා කරන්නට පොහොසත් ද නො වේ යැ යි ඉදින් තොර මෙසේ සිතෙක් වේ නම්, අම්බට්ඨ මාණවකයා සිටී වා. තෙපි මා හා මේ වචනයෙහි සාකච්ඡා කරවු. ඉදින් මාණවකයිනි, අම්බට්ඨ මාණවකයා පුජාත ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ කුලපුත්‍ර (මානා කුලයෙහි උපන්නෙක් ) ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ බහුශ්‍රැත ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ මිහිරි වචන ඇත්තේ ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ පණ්ඩිත ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ මේ වචනයෙහි (=මේ වේදත්‍රය පිළිබඳ කථායෙහි හෝ මේ දාසිපුත්‍ර කථායෙහි) භවද් ගෞතමයන් හා ප්‍රතිමන්ත්‍රණය කරන්නට (=මෙහිලා උත්තර දෙන්නට) පොහොසත් ද වේ” යැ යි තොපට මෙසේ සිතෙක් වේ නම්, තෙපි සිටිවු. අම්බට්ඨ මාණවක තෙමේ මා හා සාකච්ඡා කෙරේ වා” යි වදාළ සේක.
 
20.“භවද් ගෞතමය, අම්බට්ඨ මාණවක තෙමේ පුජාත ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ කුලපුත්‍ර (මානා කුලයෙහි උපන්නෙක් ) ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ බහුශ්‍රැත ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ මිහිරි වචන ඇත්තේ ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ පණ්ඩිත ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ මේ වචනයෙහි (=මේ වේදත්‍රය පිළිබඳ කථායෙහි හෝ මේ දාසිපුත්‍ර කථායෙහි) භවද් ගෞතමයන් හා ප්‍රතිමන්ත්‍රණය කරන්නට (=මෙහිලා උත්තර දෙන්නට) පොහොසත් ද වේ. අපි නිහඬ වන්නමු. අම්බට්ඨ මාණවක තෙමේ භවද් ගෞතමයන් හා මේ වචනයෙහි සාකච්ඡා කෙරේ වා(උත්තර පුත්‍යුත්තර කථා කෙරේ වා)”යි මාණවකයෝ කීහ.
 
21.ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයා අමතා  “අම්බට්ඨය, නොකැමැත්තෙන් වුව ද විසැඳිය යුතු මේ කරුණු සහිත පැණයෙක් තා කරා පැමිණෙයි. ඉඳින් තෝ නො විසඳන්නෙහි නම්, එක් වචනයෙකින් අන් වචනයක් වසා ලන්නෙහි නම්, තුෂ්ණීම්භූත හෝ වන්නෙහි නම්, උත්තර හෝ නොදී නැගී පලායන්නෙහි නම්, මෙහි ම තගේ හිස සත් කඩක් වැ පැළෙන්නේ ය, අම්බට්ඨ ය, එය කිමැ යි සිතහි ද? වයසින් වැඩි සිටි, මහලු වූ, (මෙහිලා) කරුණු කියන ආචාර්‍ය ප්‍රාචාර්‍ය වූ බමුණන්ගේ කථාව තා විසින් කෙසේ අසන ලද ද? (කියව,) කෘෂ්ණායනයෝ කවරක්හු මූලස්ථාන කොට ඇත්තෝ ද? (කවරුන්ගෙන් ඇති වූවෝ ද?) කෘෂ්ණායනයන්ගේ පුර්වපුරුෂයා කවරෙක් වී දැ?’ යි පුළුවුත් සේක.
මෙසේ ඇසු කල්හී අම්බට්ඨ මාණවක තෙමේ තුෂ්ණීම්භූත විය. දෙවෙනි වරද භාග්‍යවතුන් වහන්සේ. අම්බට්ඨ මාණවකයා අමතා “අම්බට්ඨය, කිමැ යි සිතහි ද? වයසින් වැඩි සිටි, මහලු වූ, (මෙහිලා) කරුණු කියන ආචාර්‍ය ප්‍රාචාර්‍ය වූ බමුණන්ගේ කථාව තා විසින් කෙසේ අසන ලද ද? (කියව,) කෘෂ්ණායනයෝ කවරක්හු මූලස්ථාන කොට ඇත්තෝ ද? (කවරුන්ගෙන් ඇති වූවෝ ද?) කෘෂ්ණායනයන්ගේ පුර්වපුරුෂයා කවරෙක් වී දැ?’ යි අසා වාදළ සේක. දෙවෙනි වරද අම්බට්ඨ මාණවක තෙමේ තුෂ්ණීම්භූත විය.
එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයාට වදාරන සේක්, “අම්බට්ඨය, දැන් විසඳව. දැන් තට නිහඬ වීමට කල් නො වේ. අම්බට්ඨය, යමෙක් වනාහි තථාගතයන් විසින් තෙවෙනි වර තෙක් කරුණු සහිත පැණයක් පිළිවිස්නා ලද්දේ උත්තර නො දේ නම්, මෙහි ම ඔහුගේ හිස සත් කඩෙක් වැ පැළෙන්නේ යැ”යි වදාළ සේක.
 
22.එ වේලෙහි වනාහි වජ්‍රාණි යක්ෂ තෙමේ ගිනි ගත් දිලියෙන ගිනි දැල් සහිත මහ යකුළක් අතින් ගෙන, ‘ඉදින් මේ අම්බට්ඨ මාණවකයා භාග්‍යවතුන් වහන්සේ විසින් තෙවෙනි වර තෙක් කරුණු සහිත පැනය පුළුවුස්නා ලද්දේ උත්තර නොදෙන්නේ නම්, මෙහි ම මොහුගේ හිස සත් කඩකට පළන්නෙමි’ යි කියා අම්බට්ඨ මාණවකයාට උඩින් අහසෙහි සිටියේ වෙයි. ඒ වජ්‍රපාණි යක්ෂයා වනාහි භාග්‍යවතුන් වහන්සේත් දක්නා සේක. අම්බට්ඨ මාණවකයාත් දක්නේ ය.
 
23.ඉක්බිති අම්බට්ඨ මාණවක තෙමේ තැති ගත්තේ, බිය පත් වූයේ, හටගත් ලොමුදහ ගැනුම් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ ම ආරක්ෂා ස්ථානය කොට සොයනුයේ, භාග්‍යවතුන් වහන්සේ ම තමාට සැඟවෙන තැන කොට සොයනුයේ, භාග්‍යවතුන් වහන්සේ ම පිහිට කොට සොයනුයේ, සමිපයෙහි හිඳ ගෙන  ‘භවත් ගෞතම් තෙමේ මට ඒ කුමක් කීයේ ද? යලිත් භවද් ගෞතම තෙමේ කියාවා”යි කී ය.
එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨය, එය කිමැ යි සිත හිද ? (මෙහිලා) කරුණු කියන වයසින් වැඩි සිටි, මහලු ආචාර්‍ය ප්‍රාචාර්‍යයන් ගේ කථාව තා විසින් කෙසේ අසන ලද ද? කෘෂ්ණායනයෝ කවරක්හු මූලස්ථාන කොට ඇත්තෝ ද ? කෘෂ්ණායනයන් ගේ පූර්වපුරුෂයා කවරෙක් වී දැ?” යි වදාළ සේක.
“භවද් ගෞතම තෙමේ යම්සේ ම කියේ ද, එසේ ම මා විසින් අසන ලදි. කෘෂ්ණායනයනයෝ ඒ කෘෂ්ණයා මූලස්ථාන කොට ඇත්තෝ ය. හේ ම කෘෂ්ණායනයන්ගේ ප්‍රථම පුරුෂයා වී යැ” යි අම්බට්ඨයා කී ය.
 
24.මෙසේ කී කලැ ඒ මාණවකයෝ  “භවත්නි, අම්බට්ඨ මාණවකයා පහත් ජාතියෙක උපන්නෙක් ල! භවත්නී අම්බට්ඨ මාණවකයා කුලපුත්‍රයෙක් නොවේ ල! භවත්නි, අම්බට්ඨ මාණවකයා ශාක්‍යයන්ගේ දාසිපුත්‍රයෙක් ල! භවත්නි ශාක්‍යයෝ අම්බට්ඨ මාණවකයාගේ ස්වාමීපුත්‍රයෝ වෙත් ල!  අපි ධර්මවාදි වූ ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගැරැහියැ යුත්තන් කොට සිතුවමු!” යි හඬ ගා කියන්නෝ උස්හඬ ඇත්තෝ මහ හඬ ඇත්තෝ වූහ.
 
25.එවිට  “මේ මාණවකයෝ අම්බට්ඨමාණවකයාට ඉතා දැඩි ලෙස දාසිපුත්‍ර වාදයෙන් පිරිහෙළා කියත්. මම් ඔහු එයින් මුදා ලන්නෙම් නම් යෙහෙකැ”යි භාග්‍යවතුන් වහන්සේට මේ සිත විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මාණවකයනට මෙසේ වදාළ සේක:
“මාණවකයෙනි, තෙපි ඉතා දැඩි කොට අම්බට්ඨ මාණවකයාට දාසීපුත්‍රවාදයෙන් නො ගරහවු. ඒ (ඔහු ගේ ආදී පුරුෂ වූ) කෘෂ්ණර්ෂී තෙමේ මහානුභාව ඇත්තෙක් වී ය. හේ දක්ෂීණාපථයට ගොස් බ්‍රහ්මමන්ත්‍රයන් ඉගෙන ඔක්කාක රජු කරා එළැඹ, මට්ඨරූපී නම් දියණියන් ඉල්ලී ය. ඔක්කාක රජ තෙමේ ‘එම්බල, මගේ දාසිපුත්‍ර වැ හිඳත් මූ කවරෙක් නම් (=මූ තමා තරම නොදැන) මට්ඨරූපි දුව ඉල්ලනුයේ දැ!’යි කිපුණේ නොසතුටු සිතැත්තේ (ඔහු විද මරණ පිණිස) ඊය දුන්නෙහි හිඳුවී ය. හේ ඒ ඊය දුන්නෙන් මුදන්නට ද (විඳින්නට) ඇද ගන්නට ද නොහැකි විය.
මාණවකයිනි, එ විටැ මැති මුඩුල්ලට අයත් ඇමැතියෝ කෘෂ්ණඊර්ෂීහු වෙත එළෑඹ  ‘පින්වතුන් වහන්ස. රජුට සෙත් වේවා, පින්වතුන් වහන්ස, රජුට සෙත් වේවා’යි කීහ.
(එවිට කෘෂ්ණ තෙමේ) “රජුට සෙත් වන්නේ ය, එතෙකුදු වුවත්, ඉඳින් රජ ඊය යට දෙසට මුදන්නේ නම්, රජුගේ රට යම් තාක් ද ඒ තාක් පොළොව බිඳී විසිරෙන්නේ යැ”යි කී ය.
‘පින්වතුන් වහන්ස, රජුට සෙත් වේවා රටට සෙත් වේ වා,’යි ඇමැතියෝ කීහ.
‘රජුට සෙත් වන්නේ ය, රටට සෙත් වන්නේ ය, එතෙකුදු වුවත් ඉඳින් රජ ඊය උඩ දෙසට මුදා හළොත් රජුගේ රට යම්තාක් ද එතෙක් පෙදෙසට සත් හවුරුද්දක් වැසි නො වස්නේ යැ’ යි කෘෂ්ණයා කී ය.
(එ විට ඇමැතියෝ ) ‘පින්වතුන් වහන්ස, රජුට සෙත් වේවා, රටට ද සෙත් වේවා, වැසි ද වසීවා’යි කීහ.
(කෘෂ්ණ තෙමේ) ‘රජුට සෙත් වන්නේ ය, රටට ද සෙත් වන්නේ ය, වැසි ද වස්නේ ය, එතෙකුදු වුවත් රජ තෙමේ දෙටු කුමරා කෙරෙහි ඊය පිහිටුවා වා (=දෙටු කුමරුට ඊයෙන් විදී වා), කුමර තෙමේ නිරුපද්‍රිත වන්නේ ය, ලොමුදහ ගැණුම් පමණකුදු නොමැතියේ වන්නේ යැ’ යි කී ය.
මණවකයිනි, ඉක්බිති ඇමැතියෝ  “රජ තෙමේ දෙටු කුමරා කෙරෙහි ඊය පිහිටුවා වා, කුමර තෙමේ නිරුපද්‍රිත වන්නේ ය, ලොමුදහ ගැණුම් පමණකුදු නැත්තෙක් වන්නේ යැ” යි ඔක්කාක රජුට කීහ. එවිටැ ඔක්කාක රජු දෙටු කුමාරයා කෙරෙහි ඊය පිහිටුවීය.(දෙටු කුමරු දෙසට ඊය මුදා හැරියේ ය.) කුමර තෙමේ නිරුපද්‍රිතව විය. ලොමුදහ ගැනුම් පමණකුදු ඇත්තේ නො වී ය.
ඉක්බිති ඔක්කාක රජු තැතිගත්තේ, බිය ගත්තේ, හටගත් ලොමුදහ ගැනුඹ් ඇත්තේ, බ්‍රහ්මදණ්ඩයෙන් තරවටු කරනු ලැබුයේ, ඔහුට මට්ඨරූපී නම් දියැණියන් දුන්නේ ය. මාණවකයිනි, තෙපි අම්බට්ඨ මාණවකයාට ඉතා දැඩි කොට දාසිපුත්‍රවාදයෙන් නො ගරහවු. ඒ කෘෂ්ණඊෂී තෙමේ මහානුභාව ඇත්තෙක් වී ය” යනුයි.
 
26.ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයා අමතා  “අම්බට්ඨය, මෙය කිමැයි සිතහි ද ? මෙහි කැත් කුමරෙක් බමුණුදැරියක හා එක් වැ වසන්නේ නම්, ඔවුන්ගේ එක් වැ විසීමෙන් පුතෙක් උපදනේ නම් ඒ කැත් කුමරා නිසා බමුණු දැරියට උපන් පුතා බමුණන් අතුරෙහි අග්‍රාසනය හෝ අග්‍රෝදකය ලබන්නේ දැ ?” යි ඇසූ සේක.
[අම්බට්ඨ:]“ගෞතමයෙනි, ලබන්නේ ය”
[භාග්‍යවතුන් වහන්සේ:]“බමුණෝ මලවුන් උදෙසා දෙන බතෙහි හෝ මඟුල් බතෙහි හෝ යාග බතෙහි හෝ ආගන්තුක දානයෙහි හෝ ඔහු වළදවන්නෝ ද?”
[අම්බට්ඨ:] “භවත් ගෞතමයෙනි, ඔහු වළදවන්නෝ ය.”
[භාග්‍යවතුන් වහන්සේ:] “බමුණෝ ඔහුට වේදයන් කියවන්නෝ ද, නො කියවන්නෝ ද?”
[අම්බට්ඨ:] “භවද් ගෞතමයෙනි, කියවන්නෝ ය.”
[භාග්‍යවතුන් වහන්සේ:] “ඒ කැත් කුමරුට බමුණු දැරියන් කෙරෙහි ආවරණයෙක් වන්නේ ද, නො වන්නේ ද, ? (බමුණු දැරියන් ලබත හැකි වන්නේ ද නොවන්නේ ද?)”
[අම්බට්ඨ:] “භවද් ගෞතමයිනි, ඔහුට බමුණු දැරියන් කෙරෙහි ආවරණයක් නැත”
[භාග්‍යවතුන් වහන්සේ:] “ක්ෂත්‍රියයෝ ඔහු ක්ෂත්‍රියාභිෂේකයෙන් අභිසේක කරන්නෝ ද?”
[අම්බට්ඨ:] “අභිෂේක නොකරන්නෝ ය, භවත් ගෞතමයෙනි,”
[භාග්‍යවතුන් වහන්සේ:] “ඒ කවර හෙයින් ද?”
[අම්බට්ඨ:] “භවත් ගෞතමයෙනි, හේ මවු පසින් අසම්පුර්ණ ය (අපිරිසිදු ය) එහෙයිනි.”
 
27.[භාග්‍යවතුන් වහන්සේ:] “අම්බට්ඨය, එය කිමැයි  සිතහි ද? මෙහි බමුණු කුමරෙක් කැත් දැරියක හා එක් වැ වසන්නේ නම්, ඔවුන්ගේ එක් වැ විසීමෙන් පුතෙක් උපදනේ නම්, ඒ බමුණු කුමරහු නිසා කැත් දැරියට උපන් යම් පුතෙක් වේ නම්, හේ බමුණන් අතුරෙහි අග්‍රාසන හෝ අග්‍රෝදක ලබන්නේ ද?”
[අම්බට්ඨ:] “ලබන්නේ ය, භවත් ගෞතමයෙනි,”
[භාග්‍යවතුන් වහන්සේ:] “බමුණෝ මලවුන් උදෙසා දෙන බතෙහි හෝ මඟුල් බතෙහි හෝ යාග බතෙහි හෝ අමුතු බතෙහි හෝ ඔහු වළදවන්නෝ ද?”
[අම්බට්ඨ:] “වළඳ වන්නෝ ය, භවද් ගෞතමයෙනි,”
[භාග්‍යවතුන් වහන්සේ:] “බමුණෝ ඔහුට වේද කියවන්නෝ ද නො කියවන්නෝ ද?”
[අම්බට්ඨ:] “කියවන්නෝ ය, භවද් ගෞතමයෙනි.”
[භාග්‍යවතුන් වහන්සේ:] “ඔහුට බමුණු දැරියන් කෙරෙහි ආවරණයෙක් වන්නේ ද, නො වන්නේ ද?”
[අම්බට්ඨ:] “භවත් ගෞතමයෙනි ආවරණයක් නොවන්නේ ය”
[භාග්‍යවතුන් වහන්සේ:] “ක්ෂත්‍රියයෝ ක්ෂත්‍රියාභිෂේකයෙන් ඔහු අභිෂේක කරන්නෝ ද?”
[අම්බට්ඨ:] “භවද් ගෞතමයෙනි, මෙය ඔහු නොකරන්නෝ ය.”
[භාග්‍යවතුන් වහන්සේ:] “ඒ කවර හෙයින් ද?”
[අම්බට්ඨ:] “භවද් ගෞතමයෙනි හේ පිය පසින් අසම්පූර්ණ ය(අශුද්ධ ය)”
 
28.[භාග්‍යවතුන් වහන්සේ:] “අම්බට්ඨය, මෙසේ වනාහි (කැත් බමුණු දෙකුලෙන් එක් කුලෙක) ස්ත්‍රියක හා (අන් කුලෙහි) ස්ත්‍රියක හා සැසැඳු කල්හි ද, කැත්හුම උසස් වෙත්, බමුනෝ පහත් වෙත්, අම්බට්ඨය, එය කිමැ යි සිතහි ද? මෙහි බමුණෝ බමුණකු කිසි නොකටයුත්තෙක්හි කරයෙන් හිස මුඩු කොට, අස්මපුටයෙන් වෙහෙසවා (=හෙවත් හිසැ අළු වගුරුවා) රටින් හෝ නුවරින් නෙරපන්නෝ නම්, හේ බමුණන් අතුරෙහි අග්‍රාසනය හෝ අග්‍රෝදකය ලබන්නේ ද?”
[අම්බට්ඨ:] “භවද් ගෞතමයෙනි මෙය නො වන්නේ යැ”
[භාග්‍යවතුන් වහන්සේ:] “බමුනෝ ශ්‍රාද්ධයෙහි(මතක බතෙහි) හෝ මඟුල් බතෙහි හෝ යාග බතෙහි හෝ අමුතු බතෙහි ඔහු වළඳවන්නෝ ද?”
[අම්බට්ඨ:] “නො වළඳවන්නෝ ය, භවද් ගෞතමයෙනි,”
[භාග්‍යවතුන් වහන්සේ:] “බමුනෝ ඔහුට වේදයන් කියවන්නෝ ද?”
[අම්බට්ඨ:] “නො කියවන්නෝ ය, භවද් ගෞතමයෙනි,”
[භාග්‍යවතුන් වහන්සේ:] “ඔහුට ස්ත්‍රීන් අතුරෙහි ආවරණයෙක් හෝ අනාවරණයෙක් වන්නේ ද?”
[අම්බට්ඨ:] “භවත් ගෞතමයෙනි, ආවරණයෙක් ම වන්නේ ය.”
 
29.[භාග්‍යවතුන් වහන්සේ:] “අම්බට්ඨය, ඒ කිමැයි සිතහි ද?  මෙහි ක්ෂත්‍රියයෝ ක්ෂිත්‍රියයෙකු කිසි කරුණෙක්හි කරයෙන් හිස මුඬුකොට හිසැ අළු වගුරුවා රටින් හෝ නුවරින් නෙරපන්නෝ නම්, හේ බමුණන් මැඳැ අග්‍රාසනය හෝ අග්‍රෝදකය හෝ ලබන්නේ ද, ”
[අම්බට්ඨ:] “ලබන්නේ ය භවත් ගෞතමයෙනි,”
[භාග්‍යවතුන් වහන්සේ:] “බමුණෝ ශ්‍රද්ධායෙහි හෝ මඟුල් බතෙහි හෝ යාග බතෙහි හෝ අමුතු බතෙහි හෝ ඔහු වළඳවන්නෝ ද?”
[අම්බට්ඨ:] “වළඳවන්නෝ ය, භවද් ගෞතමයෙනි,”
[භාග්‍යවතුන් වහන්සේ:] “ඔහුට බමුණු දැරියන් විෂයෙහි ආවරණයෙක් වන්නේ ද? නැත හොත් නො වන්නේ ද?”
[අම්බට්ඨ:] “ආවරණයෙක් නො වන්නේ ය, භවද් ගෞතමයෙනි.”
[භාග්‍යවතුන් වහන්සේ:] “අම්බට්ඨය, යම් කලෙක ක්ෂත්‍රියයෝ ක්ෂත්‍රියයකු කරමුඬු කොට (හිසකෙස් බා දමා) අළු පොදියෙන් ගසා (=හිස අළු වගුරුවා) රටින් හෝ නුවරින් හෝ නෙරපන්නෝ නම්, මෙතෙකින් ම ක්ෂත්‍රිය තෙම්(ක්ෂත්‍රියයන් අතුරෙහි ) පහත් ම බවට පැමිණියේ වෙයි. (එහෙත් එසේ වූ ක්ෂත්‍රියයා බමුණෝ උසස් කොට පිළිගනිත්) අම්බට්ඨය,මෙසේ යම් විටෙක ක්ෂත්‍රියයා පහත් ම බවට පැමිණියේ නම්, එ කල්හිත් බමුණන් අතුරෙහි කැත්හු උසස් හ බමුණෝ හීනය හ.
අම්බට්ඨය, සනත්කුමාර බඹුහු විසිනුත් මෙහි ලා මේ ගය ගැයිණ(ගයෙ අදහස:)
 “සිය පරපුර අනු ව පෙරළා අතීතයට ගොස් විමසන ජනයා අතුරෙහි ක්ෂත්‍රියයා ශ්‍රේෂ්ඨ ය, විද්‍යා චරණ දෙකින් යුත් යමෙක් වේ නම් හේ දෙවිමිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ ය.”
 
 30.“අම්බට්ඨය, සනත්කුමාර බඹුහු විසින් ඒ ගය මැනවින් ගයන ලද්දේ වේ. නොමනා වැ ගයන ලද්දේ නොවේ. මැනිවින් කියන ලද්දේ වේ. නොමනා වැ කියන ලද්දේ නොවේ. ඒ අර්ථ නිශ්‍රිතය, අනර්ථ නිශ්‍රිත නොවේ, මා විසින් අනුදන්නා ලද්දේ ය. අම්බට්ඨය, මම් ද මෙසේ කියමි:”
“ගෝත්‍රය ඔස්සේ පෙරළා ගොස් විමසන ජනයා අතුරෙහි ක්ෂත්‍රියයා ශේෂ්ඨ ය. විද්‍යා චරණ දෙකින් යුතු යමෙක් වේ නම්, හේ දෙව් මිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ ය ” යනුයි. 
                                                     පළමු බණවර යි.
 
31.[අම්බට්ඨ:] “භවද් ගෞතමයෙනි, ඒ චරණය කවර ද? ඒ විද්‍යාව කර ද?”
[භාග්‍යවතුන් වහන්සේ:] “අම්බට්ඨය, නිරුත්තර විද්‍යාචරණසම්පත්හි ‘තෝ මට සුදු වෙහි යැ’ යි කියා හෝ ‘තෝ මට නුසුදුසු වෙහි යැ’ යි කියා හෝ ජාතිවාදයෙක් කියනු නොලැබේ. ගෝත්‍රවාදයෙක් හෝ කියනු නො ලැබේ. මානවාදයෙක් හෝ කියනු නොලැබේ. අම්බට්ඨය, යම් තැනෙක වූ කලි ආවාහයෙක් හෝ වේද, විවාහයෙක් හෝ වේ ද, ආවාහවිවාහයෙක් හෝ වේද, මෙහි තෝ මට තරම් යැ‘තෝ මට තරම් යැ’යි.(සුදුස්සෙහි යැයි) කියා හෝ ‘තෝ මට නොතරම් යැ’ යි (නොසුදුස්සෙහි යැ යි) කියා හෝ යම් වචනයෙක් ලබ්ධියෙක් වේ ද, මෙය ජාතිවාදය යැ යි ද, ග්‍රෝත්‍රවාද යැ යි ද, මානවාද යැ යි ද කියන ලැබේ. අම්බට්ඨය, යම් කෙනෙක් තුමූ ජාතිවාදයෙහි බැඳුණෝ හෝ ග්‍රෝත්‍රවාදයෙහි බැඳණෝ හෝ මානවාදයෙහි බැඳුණෝ හෝ ආවාහවිවාහයෙහි බැඳුණෝ හෝ වෙත් ද, ඔහු නිරුත්තර විද්‍යාචරණ සම්පත්තියෙන් ඈත්හි වූවෝ ය. අම්බට්ඨය, ජාතිවාදයෙන් බැඳීම් ද ග්‍රෝත්‍ර වාදයෙන් බැඳීම ද මාන වාදයෙන් බැඳීම ද හැරැ දැමීමෙන් ම නිරුත්තර විද්‍යාචරණ සම්පත්තියගේ පසක් කිරීම වේ.”
 
32.[අම්බට්ඨ:] “භවද් ගෞතමයෙනි, ඒ චරණය කවර ද? ඒ විද්‍යාව කවර ද?”
[භාග්‍යවතුන් වහන්සේ:] “අම්බට්ඨය, අරිහත් වූ සම්‍යක්සම්බුද්ධ වූ විද්‍යාචරණ දෙකින් සම්පූර්ණ වූ මනා ගමන් හා මනා වචන ඇති ලෝකය දන්නා නිරුත්තර පුරුෂ දම්‍යසාරථී වූ දෙවිමිනිස්නට ශාස්තෘ වූ සිවු සස් දත්, භගවත් වූ තථාගත තෙමේ මේ ලොව පහළ වෙයි. හේ ආදී කල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ, පර්යවසාන කල්‍යාණ වු, මනා අරුත් ඇති, ව්‍යංජනයෙන් මනා ව සම්පුර්ණ, හැම ලෙසින් ම පිරිපුන් දහම් දෙසයි. පිරිසිදු වූ මාර්ග බ්‍රහ්මචර්‍යය ප්‍රකාශ කෙරෙයි.
 
33.කිසි යම් කුලයෙක උපන් ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ එක්තරා කුලයෙක උපන්නෙක් හෝ ඒ දහම් අසයි. හේ ඒ දහම් අසා, තථාගතයන් කෙරෙහි සැදැහැ ලබයි. (පහළ කෙරෙයි.) හේ ඒ සැදැහැ ලැබීමෙන් යුක්ත වූයේ ‘’ගිහිගෙහි විසීම අවහිර ඇති එකෙක, රජස් පථයෙක පැවිද්ද එළිමනෙක. ගිහිගෙහි වසන්නහු විසින් එකැතින් පිරිපුන් කොට, එකැතින් පිරිසිදු කොට, ශංඛලිඛිතයක් සේ කොට මේ බඹසර කරන්නට පහසු නො වේ. මා කෙහෙ රැවුලු බා දමා කසාවත් හැඳ ගිහිගෙන් පැවිද්දට වදිතොත් ඒ යෙහෙකැ” යි මෙසේ සලකයි.
හේ පසු කලෙක මඳ වු හෝ බොහෝ වූ හෝ වස්තු සම්පත් රාශිය හැරැ දමා, මඳ වූ හෝ බොහෝ වූ හෝ නෑ පිරිස හැර දමා, කෙහෙ රවුලු බා දමා, කසාවත් හැඳ ගිහිගෙන් පැවිද්දට වදී, මෙසේ පැවිදි වූ ම හේ පතිමොක්ඛසංවරයෙන් හැවුරුණේ, ආචාරයෙන් ගෝචරයෙන් සම්පුර්ණවැ, ස්වල්ප වූ ද වරදෙහි බිය දක්නා සුලු වැ වෙසෙයි. සිකපද සමාදන් වැ ගෙන, කුසල් වු කා  විසි කමින් යුත් වැ, පිරිසිදු දිවෙල ඇති වැ, සිල්වත් වැ, ඉඳුරන්හි වැසු දොරැති වැ, බොජුන්හි පමණ දන්නේ, සිහිණුවණින් යුතු වැ (සිවු පසයෙහි) ලද පමණින් සතුටු වැ වෙසේ.
 
34.අම්බට්ඨය, මහණ තෙමේ කෙසේ නම් සිල්වත් වේ ද ?
අම්බට්ඨය, මෙහි මහණ තෙමේ පණිවා හැර පණිවායෙන් තොර වැ බහා තැබූ දඬු ඇත්තේ බහා තැබූ අවි ඇත්තේ, පවෙහි ලජ්ජා ඇතියේ, කුළුණෙන් යුත් වූයේ, හැම දිවි ඇති සත් වග කෙරෙහි හිතානුකම්පා ඇති වැ වෙසේ. මේ ද ඔහුගේ සිල් වේ.
හේ අයිනාදන් හැර අයිනාදනින් තොර වූයේ වේ. දුන් දැය ම ගන්නා සුලු වූයේ දුන් දැය ම අවෙක්සනුයේ, නොසොර වු පිරිසිදු වු සිතින් වේසේ. මේ ද ඔහු ගේ සිල් වේ.
අබ්රම්සර හැර ගැමි දහම් වූ මෙවුන්දමින් දුරු වැ හැසිරෙනුයේ, එයින් වැළැක්කේ, බඹසර රක්නේ වේ. මේ ද ඔහුගේ සිල් වේ.
මුසවා හැර සබවස් ඇත්තේ, ඇත්තෙන් ඇත්ත ගළපා කියනුයේ තහවුරු බස් ඇත්තේ, හැඳහියැ යුතු බස් ඇත්තේ , ලොව නොරවටනුයේ, මුසවායෙන් වැළැක්කේ වේ. මේ ද ඔහුගේ සිල් වේ.
පිසුණු බස් හැරැ පිසුණු බසින් වැළැක්කේ වේ. මේ තැනින් අසා ගෙන, මොවුන් ගේ බිඳීම පිණිස එතන්හි නො කියන්නේ වේ. එ තැනින් හෝ අසා ගෙන ඔවුන්ගේ බිඳීම පිණිස මොවුනට කියන්නේ නො වේ. මෙසේ බිඳුණවුන් එකට ගළපන, එකට ගැළැපුණවුන් ගේ සමඟියට අනුබල දෙන, සමඟියෙන් වසනවුන් හා වසනු රිසි, සමඟිය ඇතියනට ඇලුණු, සමඟිය ඇතියවුනට සතුටු, සමඟිය ඇත්තවුන් කරන බස් තෙපන්නේ වේ. මේ ද ඔහු ගේ සිල් වේ.
පරොස් බස් හැරැ පරොස් බසින් වැළැක්කේ වෙයි. යම් බසෙක් නිවැරදි ද, කන්කලු ද, පෙම් කටයුතු ද, සිතැ කාවදනේ ද, නියැරියන් ගේ බස් සේ සිලුටු ද, බොහෝ දෙනාට පිය ද, බොහෝ දෙනා මන වඩනේ ද, එ බඳු වූ බස් තෙපලනුයේ වේ. මේ ද ඔහුගේ සිල් වේ.
බොල් බස් හැරැ දමා සුදුසු කල් වේලා බලා ම කතා කරනුයේ, ඇත්ත ම කියනුයේ, වැඩක් ම කියනුයේ, දහමක් ම කියනුයේ, හික්මෙනුවට සුදුසු බසක් ම කියනුයේ බොල් දෙඩැවිල්ලෙන් වැළැක්කේ වේ. සුදුසු කාලයෙහි කරුණු සිහත, ඉමක් කෙළවරක් ඇති, අරුත් සහිත, සිතැ තබා ගත යුතු බස් තෙපලනුයේ වෙයි. මේ ද ඔහුගේ සීල් වේ.
 
35.හේ බීජසමූහ(=පැළ වන දෑ) ද, භූතසමූහ (පැළ වුණු දෑ) ද, සිඳුමෙන් බිඳුමෙන් වැළැක්කේ වෙයි. රෑ බොජුනෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන බත් ඇත්තේ, නොකල් බොජුනෙන් වැළැක්කේ වෙයි. නටනු ගනු වයනු විසුළුදසුන් යන මෙයින් වැළැක්කේ වෙයි. ඇඟැ සැරැසීමට කරුණු වන මල්ගඳවිලෙවුන් දැරීමෙන් වැළැක්කේ වෙයි. පමණ ඉක්මැවූ උසසුන් ද, නොකැප වූ මහසුන් ද යන දෙකින් ම වැළැක්කේ වෙයි. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු ධාන්‍ය පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ස්ත්‍රීන් කුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. එළුවන් බැටෙළුවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැළැක්කේ  වෙයි. කෙත්වතු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ගිහියනට දූතමෙහෙවර කිරීමෙහි ද ගෙන් ගෙට පණිවිඩ පණත් ගෙන යෑමෙහි ද යෙදීමෙන් වැළැක්කේ වෙයි. වෙළෙඳ ගනුදෙනුයෙන් වැළැක්කේ වෙයි. හොර තරාදියෙන් කිරුමෙන්, බොරු රන් පෑමෙන්, හොර මිනුම්වලින් මිනුමෙන් වැළැක්කේ වෙයි. අල්ලස් ගෙන හිමියන් නොහිමි කිරීමෙන්, නානා උපායෙන් අනුන් රැවැටුමෙන්, අගනා දැයට හුරු නො අගනා දැයක් පෙන්නා කරන මායායෙන්, මේ කී නොකී හැම කෛරාටිකකම්වලින් ම වැළැක්කේ වෙයි. අත් පා ආදිය සිඳීමෙන් ද, මැරීමෙන් ද, රැහැන් ආදියෙන් බැඳීමෙන් ද, සැහැසිකම්වලින් ද වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සීල් වේ.
                                                                                                                                           චූල්ලසීලය නිමියේ ය.
 
36.යම්සේ වනාහී සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මූලබීජ, (හිඟුරු ආදී පැළ වන මුල් ද), ස්කන්ධබීජ ද(නුග ආදී පැළ වන කඳ ද), පරුවීජ ද (උක් උණ බට ආදී පැළ වන පුරුක් ද), අග්‍රවීජ (ඉරිවේරිය හා පැළවන දළු ද), පස් වනු වීජ වීජ ද(වී ආදී පැළ වෙන ඇට ද) යන මේ කී වීජසමූහ ද (පැළ වන දෑ ද) භූතසමූහ ද (පැළැවුණ දෑ ද) පෙළීමෙහි (සිඳුම් බිඳුම් තැලුම් තැවුම් යැ යි)කියන ලද සමාරම්භයෙහි යෙදුණෝ වෙසෙත් ද, හෙ තෙමේ මේ බඳු වීජග්‍රාම භූතග්‍රාම සමාරම්භයෙන් වැළැක්කේ වෙයි.  මේ ද ඔහුගේ සිල් වේ.
 
37.යම්සේ වනාහී ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, කෑම රැස් කොට තබා ගැන්ම, බොන දෑ රැස් කර තබා ගැන්ම,  වස්ත්‍ර රැස්කොට තබා ගැන්ම, රිය ගැල් ආදිය ද පාවහන් ආදිය ද යන යාන රැස් කොට තබා ගැන්ම, ඉහතැ කී දෑ හැර තවත් තල සහල් ඈ වුවමනා පසය රැස් කොට තබා ගැන්ම යන මෙසේ වූ සන්නිධිකාරපරිභොගයෙහි (පසය රැස් කොට තබාගෙන වැළඳීමෙහි) යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙබඳු වූ හෝ සන්නිධිකාර පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
 
38.යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා නැටුම් ගැයුම් වැයුම්, නටසමජ්ජා (නළුවන් සමූහයක් එක්ව ජන සමූහයා ඉදිරියේ දක්වන නැටුම්), ආඛ්‍යාන (මහාභාරතාදිය කීම හෝ ඇසීම), පාණිස්වර (අතින් ලොහොබෙර ගැයුම් හෝ අත්තල ගැසීම), වේතාල (දඬුමුවා තාළම්පට ගැසීම හෝ මතුරු දපා මළසිරුරු නැගිටුවීම), කුම්භථූන (සිව්රස් බෙර වැයුම්), ශෝභනක (රංගබලිකරණය හෙවත් රඟමඩුල්ලෙහි දී දේවතාවනට ස්තෝත්‍ර වශයෙන් නාන්දීගීත ගායනය හෝ ප්‍රතිභානචිත්‍ර කිරීම), සනදොවුන් කෙළිය (හෝ ආයොගුඩක්‍රීඩාව), උණගස් ඔසොවා ගෙන කරන ක්‍රීඩාව, අස්ථිධොවනය (මලවුන්ගේ ඇට සුවඳ කවා තබා නකත්සෙමෙහි ඊ වටා සිට උත්සව කිරීම), ඇත්පොර, අශ්පොර, මියුපොර, ගොන්පොර, එළුපොර, බැටෙළුපොර, කුකුළුපොර, වටුපොර, පොලුහරඹ, මිටුයුද, මල්ලපොර, යුද පවත්නා තැන් දක්නට යෑම, බළසෙන් ගණිනා තැන් දක්නට යෑම යන මෙබඳු විසුළු දස්නෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
 
39.යම්සේ වනාහී සමහර භවත් මහණබමුණෝ සදැහැයෙන් දුන් බොජුන් වළඳා, අටපාකෙළිය, දසපාකෙළිය, අහස්දූකෙළිය, මඩුලු පැනුම, සන්තිකාක්‍රිඩාව, දාදුකෙළිය, කල්ලි ගැසුම, සලාඅත්කෙළිය, ගුළකෙළිය, කොළ නළා පිඹුම, කෙළි නගුලින් හෑම, කරණම් ගැසුම, කන්නංගුරුවා කෙළිය, කොළ නැළියෙන් වැලි ඈ මැනුම, ක්‍රිඩාරථ පැදැවීම, කුඩා දුන්නෙන් විදීම, ඇකිරිකෙළිය, (පිටේ හෝ අහසේ අකුරු ඇඳ කියැවීම), සිතු දැය කීමේ ක්‍රීඩාව, විකලාංගානුකරණය (කනුන් කොරුන්  ආදීන් සේ ඉරියව් පැවැත්වීම.)  යන මෙබඳු වූ පමාවට කරුණු වූ දූ කෙළියෙහි යෙදී වෙසෙත් ද, හේ තෙමේ මේ හෝ මේ බඳු වූ පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදීමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
 
40.යම්සේ වනාහී ඇතැම් භවත් මහනබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, දික්සඟලා පුටුය, පලඟය, මහ කොඳුපලසය, වියමනෙන් විසිතුරු කළ එළුලොම්මුවා ඇතිරිය, දෙපැත්තේ ම ලොම් ඇති එළුලොම් ඇතිරිය, ගනමල් යෙදූ එළුලොම් ඇතිරිය. තිලිය(පුළුන් මෙත්තය), සිංහාදිරූපවලින් විසිතුරු කළ එළුලොම් ඇතිරිය, දෙපැත්තේ ම ලොම් ඇති එළුලොම් ඇතිරිය එක් පැත්තේ පමණක් ලොම් ඇති එළුලොම් මුවා ඇතිරිය, රන්කසුකම් කළ පසතුරුණ, අසු පිටැ එලන ඇතිරිය, රිය එලන ඇතිරිය, ඇඳට සරලන සේ අදුන් දිවිසමින් මසා කළ ඇතිරිය, කෙහෙල්මුවසමින් කළ මහඟු පසතුරුණ, ඉස්දොර පාමුල රතු කොට්ට තබා ඇති රතු උඩුවියන් සහිත මහඟු යහන යන බෙමඳු වූ උස් යහන් මහ යහන් පරිහරණය කිරීමෙහි යෙදී වෙසෙද්ද, හේ තෙමේ මේ හෝ මේ බඳු වූ උස් යහන් මහ යහන් පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ දඔහුගේ සිල් වේ.
 
41.යම්සේ වනාහි සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, සුවඳ සුණුයෙන් ඇඟ ඉලීම්, අත්පා ඇහි මනා සටහන් ගන්වනුවට තෙල් ගා මැඩීම, සුවඳ දියෙන් නෑවීම, උරහිස්ඇහිමස් වැඩෙනුවට මුඟුරින් තැළීම, කැඩපතින් මුහුණ බැලීම, අලංකාර වශයෙන් අඳුන් ගෑම, මල් පැලැඳීම හා විලෙවුන් දැරීම, මුවසුණු මුවවිළෙවුන් දැරීම, හස්තාභරණ දැරීම, හිසැ කුඩුම්බිය බැදීම, විසිතුරු සැරයටි දැරීම, විසිතුරු බෙහෙත්නළ දැරීම, කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නලල්පට බැඳීම, සිළුමිණ පැලැඳීම, විසිතුරු සෙමෙර විදුනා දැරීම, දික් දාවලු ඇති සුදු රෙදි හැදීම යන ආදී ඇඟ අඩු තැන් පිරවීමටත් ඇග සැරසීමටත්, කරුණු වන දෑ පරිභෝගකිරීමෙහි යෙදී වෙසෙත් ද, හේ මහණ තෙමේ මේ හෝ මේ බඳු දෑ පරිභෝග කිරීමෙන් වැළැක්කේ  වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
 
42.යම්සේ වනාහී සමහර භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, රාජකථා, චෝරකථා, මහාමත්‍ය කථා, සේනා කථා, භය කථා, යුද්ධ කථා, ආහාර කථා, පානකථා, වස්ත්‍රකථා, ශයනකථා, මාලා කථා, ගන්ධකථා, ඥාති කථා, යාන කථා, ග්‍රාම කථා, නිගම කථා, නගර කථා, ජනපද කථා, ස්ත්‍රී කථා, පුරුෂ කථා, කුමාර කථා, කුමාරී කථා, ශූර කථා, වීථි කථා, කුම්භස්ථාන කථා, නානාත්ව කථා, ලෝකාඛ්‍යායිකා කථා, සමුද්‍රාඛ්‍යායිකා කථා, ඉතිභවාභව කථා යන මේ බඳු වූ තිරශ්චින කථාවල යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මේ කී හෝ මෙයින් අන්‍ය වූ හෝ මේ බඳු කථාවලින් වැළැකකේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
 
43.යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “තෝ මේ දහම් විනය නො දනිහි. මම ම මේ දහම් විනය දනිමි. ‘මේ දහම් විනය කිමැ‘යි  තෝ දනිහි ද? තෝ වරදවා පිළිපන්නෙහි. මම් මැනවින් පිළිපන්නෙම් වෙමි. මා බස කරුණු සහිත ය. තා බස කරුණු රහිත ය. තෝ පලමුයෙන් කියැ යුත්ත පසු වැ කීයෙහි ය. පසු වැ කියැ යුත්ත පළමුයෙන් කීයෙහි ය. තා කලක් ම පුහුණු කළ දැය මගේ එක වචනයෙන් ම පෙරැළී ගියේ ය. මා විසින් තට දොස් නැගිණ. මා විසින් නිගන්නා ලද්දෙහි. මා නැගු දොසින් මිදෙන්නට හැසිරෙව (ඒ ඒ තැන ගොස් උගනුව). හැකි නම් එය විසඳව” යන ආදීන් මේ බඳු වූ උනුන් බැණ දොඩා ගැනුම්හි යෙදෙත් ද, ඒ මහණ තෙමේ මෙකී හෝ අන් මෙබඳු වූ හෝ බැණුම්දෙඩුම්වලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
 
44.යම්සේ සමහර භවත් මහණබමුණෝ “මෙහි යන්නැ, අසෝ තැනට එන්නැ, මෙය ගෙනැ යන්න, අසෝ තැනට මෙය ගෙනෙන්නැ”යි කළ නියෝග පිළිගෙන, රජුන්ගේ රජමහඇමතියන්ගේ ක්ෂත්‍රියයන්ගේ පණිවුඩ ගෙන යෑමෙහි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මේ කී හෝ අන් මෙ වැනි වූ දූත මෙහෙවරින්, පණිවුඩ ගෙන යෑමෙන් වැළැක්කේ  වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
 
45.යම්සේ සමහර පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළදා, කුහකකම් කරන්නෝ වෙත් ද, ලාභසත්කාර පතා අනුන් සිත් ඇදෙන සේ වූ චාටු බස් දොඩන්නෝ වෙත් ද, සිවු පසය ලබනු සඳහා කයින් හෝ බසින් ඇඟැවීම් කරන්නෝ වෙත් ද, ලාභාපේක්ෂායෙන් අනුනට ගරහන්නෝ වෙත් ද, ලාභයෙන් ලාභය සොයන්නෝ වෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ මෙබඳු වූ හෝ කුහනලපනවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ. 
                                           මධ්‍යමශීලය නිමියේ ය.
 
46.යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අංගශාස්ත්‍රය, නිමිත්තශාස්ත්‍රය, උත්පාතලක්ෂණය, ස්වප්නශාස්ත්‍රය, ලක්ෂණශාස්ත්‍රය, මූෂකච්ඡින්නවිද්‍යාව, අග්නිහෝමය, දර්වීහෝමය, තුෂහෝමය, කණහෝමය, තණ්ඩුලහෝමය, සර්පිෂ්හෝමය, තෛලහෝමය, මුඛහෝමය, ලෝහිතහෝමය, අංගවිද්‍යාව, වාස්තුවිද්‍යාව, ක්ෂාත්‍රවිද්‍යාව, ශිවවිද්‍යාව, භූතවිද්‍යාව, භූරිවිද්‍යාව, අහිවිද්‍යාව, විෂවිද්‍යාව, වෘශ්චිකවිද්‍යාව, මූෂකවිද්‍යාව, ශාකුනවිද්‍යාව, වායසවිද්‍යාව, පක්වධ්‍යානය, ශරපරිත්‍රාණය, මෘගපක්ෂය යන මෙකී හෝ මෙබඳු වූ හෝ තීරශ්චීනවිද්‍යායෙන්, මිත්‍යාජීවයෙන් දිවි පවත්වත්ද, ඒ මහණ තෙමේ එයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
 
47.යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මිණිලකුණුය, වත්ලකුණුය, දඬුලකුණුය, කඩුලකුණුය, ඊලකුණුය, දුනුලකුණුය, අවිලකුණුය, ඉතිරිලකුණුය, පුරිස්ලකුණුය, කුමරලකුණුය, කුමරිලකුණුය, දස් ලකුණු ය, දැසිලකුණුය, ඇත්ලකුණුය, අස් ලකුණුය, මියුලකුණුය, වහප්ලකුණුය, ගොන්ලකුණුය, එළුලකුණුය, බැටෙළුලකුණුය, කුකුළුලකුණුය, වටුලකුණුය, ගොය්ලකුණුය, කැණිලකුණුය, කසුබුලකුණුය, මුවලකුණුය, යන ආදී මෙබඳු තිරශ්චීන විද්‍යායෙන්,  මෙබඳු මිත්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ එයින් වැළැක්කේ  වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
 
48.යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “අසෝ දිනැ අසෝ නැකැතින් (යුද සඳහා) සිය නුවරින් අසෝ රජුන්ගේ නික්මීම වන්නේ ය, අසෝ නැකැතින් පෙරළා සිය නුවරට ඊම වන්නේ ය, අසෝ නැකතින් පිටතැ සිටින සතුරු රජුන් හමුවන්නට රට තුල සිටින සතුරු රජුන්ගේ යෑම වන්නේ ය, අසෝ නැකැතින් පිටතැ සිටින සතුරු රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය, අසෝ නැකතින් රට තුළැ සිටින රජුන් කරා පිටතැ සිටින සතුරු රජුන්ගේ පැමිණීම වන්නේ ය, අසෝ නැකතින් ඇතුළතැ සිටින රජුන්ගේ ඉවත් ව යෑම වන්නේ ය, රට ඇතුළතැ සිටන රජුනට ජය වන්නේ ය, පිටතැ සිටින සතුරු රජුනට ජය වන්නේ ය, රට තුළ සිටින රජුනට පරාජය වන්නේ යැ” යි මෙසේ ‘මොහුට ජය වන්නේ ය, මොහුට පරාජය වන්නේ යැ’යි කියමින් මේ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මෙබඳු වු මිත්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මේ මෙබඳු වූ තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
 
49.යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළදා “අසෝ දිනැ චන්ද්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සූර්‍යග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සඳ හිරු දෙදෙනා නිසි මඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ නකත් තරුන් නිසිමඟින් යෑම වන්නේ ය. අසෝ දින ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දින උල්කාපතනය වන්නේ ය. දිග්දාහය වන්නේ ය. භූමිකම්පනය වන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් වන්නේ ය. සඳහිරුන්ගේ ද, නකත් තරුන්ගේ ද, උදාව බැසීම කෙලෙසීම පිරිසිදුබව වන්නේ ය.චන්ද්‍රග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සුර්‍යග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නක්ෂත්‍රග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරුන් නිසි මඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරු දෙදෙනාගේ නොමඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නකත්තරුවල පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. ඔවුන්ගේ උප්පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. උල්කාපතනය මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය. දිග්දාහය මෙ බඳු ගෙනැ දෙන්නේ ය. භූමිකම්පනය මෙබදු පල ගෙන දෙන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් මෙබඳු පල දෙන්නේ ය. සඳහිරුන්ගේ ද නකත් තරුවලද උදාවත් බැසීමත් කෙළෙසීමත් පිරිසිදු වීමත් මෙ බඳු මේ බඳු පල දෙන්නේ යැ ” යි කියනුවෝ මෙ බඳු තිරශ්චීන විද්‍යායෙන්, මෙ බඳු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහන තෙමේ මේ හෝ මෙ බඳු තිරශ්චින විද්‍යායෙන්, මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
 
50.යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “මේ සමයෙහි වැසි වස්නේ ය. මේ සමයෙහි නියං වන්නේ ය. මේ සමයෙහි රට සුභික්ෂ වන්නේ ය. මේ සමයෙහි රට දුර්භික්ෂ වන්නේ ය. මේ සමයෙහි රටට උවදුරු වන්නේ ය. මේ සමයෙහි රටට බිය වන්නේ ය. මේ කලැ රෝග වන්නේ, මෙ කලැ රෝග නැති බව වන්නේ යැ” යි පලාපල කීම ද, මුද්‍රාව(ඇඟිලි පුරුක්හී සංඥා තබා ගිණීම )ද, ගණනාව (එක දෙක යන ආදීන් ගිණීම) ද, කාව්‍යශාස්ත්‍රය, ලෝකායත ශාස්ත්‍රය යන මේ හෝ මේබඳු තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාආජිවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ අන් මෙ බඳු වු හෝ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් වැළැක්කේ වෙයි.  මේ ද ඔහුගේ සිල් වේ.
 
51.යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ආවාහ සඳහා නකත් කීම, විවාහ සඳහා නකත් කීම, වෙන් වූ අඹුසැමියන් එක් වන්නට නකත් කීම, අඹුසැමියන් වෙන් වන්නට නකත් කීම, දුන් ණය රැස් කිරීමට නකත් කීම, මුදල් ණයට පොලියට දීමට නකත් කීම, සෞභාග්‍ය ඇති වනුවට යන්ත්‍ර මන්ත්‍රාදිය කැරැ දීම, බිම් පාලු වන්නට හදි හූනියම් කිරීම, නැසෙන්නට යන දරු ගබ් රැකෙන්නට පිළියම් කිරීම, දිවගුලු බැඳිම, මන්ත්‍රාදියේ බලයෙන් හනු තද කිරීම, අත් පෙරැළෙන්නට මතුරු දැපීම, හනු පෙරැළෙන්නට මතුරු දැපීම, කන් අගුලු වැටෙන්නට මතුරු දැපීම, කැඩපතෙහි දේවතාවේශය කොට ප්‍රශ්න ඇසීම, කුමරියක ලවා පේන කියැවීම, දෙව්දැස්සක ලවා පේන කියැවීම, ජිවිකා පිණිස හිරු පිදීම, මහබඹු පිදීම, මතුරු දපා මුවින් ගිනිජල් විහිදුවීම, මතුරු දපා සිරිකත කැඳවීම, යන මේ හෝ අන් මේ බඳු  වූ තිරශ්චීනවිද්‍යයෙන්, මිථ්‍යාජීවයෙන් දිවිපවත්වත් ද, ඒ මහණ තෙමේ මේ ද, අන් මෙබඳු වූ ද තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
 
52.යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ශාන්තිකර්ම, ප්‍රණිධිකර්ම, භූරිකර්ම, පණ්ඩකයා පිරිමියෙකු කිරීම, පිරිමියා පණ්ඩකයෙකු කිරීම, වාස්තුකර්ම, වාස්තු පරිකිරණ, මතුරු දපා වුම දෙවුම්, මතුරු දපා අනුන් නෑවිම, සෙත් පතා ගිනිපිදීම, ගිහියනට වමන කරවීම, බඩ විරේක කරවීම, ළය විරේකයට බේත් දීම, වස්ති කිරීම, ශිර්ෂවිරේචන බේත් දීම, කන් ලෙඩට තෙල් පිසැදීම, ගිහියන් සඳහා ඇස පටලයට සිහිල ගන්වන නෙත් තෙල් පිසීම, ගිහියනට නස්‍ය දීම, කාරම් අඳුන් සාදා දීම,  ඇස සිසිල ගන්වන අඳුන් සාදා දීම, ගිහියන්ගේ ඇසැ උල්ඇන ලෙඩට පිළියම් කිරීම, මුල් බෙහෙත් දීම( කාය චිකිත්සාව) , කාරම් බේත් බැඳ වණ සුව වූ පසු ඒවා ගවා දැමීම යැ”යි මේ ආදී වූ හෝ මෙබඳු වූ තිර්ශචීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන්, දිවි පවත් වත් ද, ඒ මහණ තෙමේ ඒ සියල්ලෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
 
53.අම්බට්ඨය, ඒ මහණ තෙමේ මෙසේ ශීලසම්පන්න වූයේ ශීලසංවරහෙතුයෙන් කිසිම එක ද අසංවරතායෙකින් පහළ වියැ හැකි බියක් නො දකී. අම්බට්ඨය, කෂ්ත්‍රියාභිෂේකයෙන් අභිෂේක ලත්, වැනසූ සතුරන් ඇති ක්ෂ්ත්‍රියයෙක් කිසි ම එකද සතුරෙකුගෙන් වියැ හැකි කිසිදු බියකුත් යම්සේ නොදක්නේ ද, අම්බට්ඨය, එසේ ම මහණ තෙමේ මේ පරිද්දෙන් ශීලසම්පන්න වූයේ ශීලසංවරහේතුයෙන් කිසිම එක ද අසංවරයෙකින් ඉපැදිය හැකි බියක් නොදකී.  හේ මේ ආර්‍ය ශීලස්ඛන්ධයෙන් සමන්විත වූයේ, සිය සතන්හි නිදොස් වූ කායික චෛතසික සුවය විඳී. අම්බට්ඨය, මෙසේ වනාහී මහණ තෙමේ ශීලසම්පන්න වේ.
 
54.අම්බට්ඨය, මහණ තෙමේ කෙසේ නම් ඉඳුරන්හී වැසූ දොර ඇත්තේ වේ ද? යත්: අම්බට්ඨය, මේ  සස්නෙහි මහණ තෙමේ ඇසින් රූපයක් දැක ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශූභාදිවශයෙන් අත් පා ආදී අවයවයන්ගේ ආකාර සිතට නොගන්නේ වේ. යම් කරුණෙකින් චක්ෂුරින්ද්‍රිය වසා නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ චක්ෂුරින්ද්‍රියයාගේ ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ චක්ෂුරින්ද්‍රියය රකී. ඒ චක්ෂුරින්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
කනින් හඬ අසා ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශූභාදිවශයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් සෝතඉන්ද්‍රිය වසා නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ සෝතඉන්ද්‍රියයාගේ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ සෝතඉන්ද්‍රිය රකී. ඒ සෝතඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
නාසායෙන් ගඳ ආඝ්‍රාණය කොට ශුභාදීවශයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදීවශයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් ඝාණඉන්ද්‍රිය වසා නොගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ ඝාණඉන්ද්‍රියයාගේ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ ඝාණඉන්ද්‍රියය රකී. ඒ ඝාණඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
දිවෙන් රස ආස්වාද කොට ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදීවසයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් ජිව්හින්ද්‍රිය වසා  නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ ජිව්හින්ද්‍රියයාගේ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ ජිව්හින්ද්‍රියය රකී. ඒ ජිව්හින්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
කයින් ස්ප්‍රෂ්ටව්‍යය (ඇඟට හැපෙන දෑ)ස්පර්ශ කොට ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදීවසයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් කායින්ද්‍රිය වසා  නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ කායින්ද්‍රියයාගේ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ කායින්ද්‍රියය රකී. ඒ කායින්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
සිතින් ධර්මාලම්බන දැන, ශුභාදී වසයෙන් එහි ලකුණු ගන්නේ නො වේ. ශුභාදීවසයෙන් ආකාර ගන්නේ නො වේ. යම් ආකාරයෙන් මනින්ද්‍රිය සංවර කර නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ මනින්ද්‍රියයාගේ ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ මනින්ද්‍රියය රකී. ඒ මනින්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
හේ මේ ආර්‍ය වූ ඉන්ද්‍රියසංවරයෙන් සමන්විත වූයේ සිය සතන්හි අව්‍යාසේක සුඛය (කෙලෙසුන් ගෙන් තෙත් නොවීමෙන් වූ පිරිසිදු අධිචිත්ත සුඛය) විඳී. අම්බට්ඨය,  මෙසේ වනාහී මහණ තෙමේ ඉන්ද්‍රියයන්හී වැසූ දොර ඇත්තේ වේ.
අම්බට්ඨය,  මෙසේ මහණ තෙම ඉඳුරන්හි වැසු දොරැත්තේ වෙයි.
 
55.අම්බට්ඨය, මහණ තෙමේ කෙසේ නම් ස්මෘතිසම්ප්‍රජානනයෙන් (සිහිනුවණින්) සමන්විත වේ ද? යත්:
අම්බට්ඨය, මේ සස්නෙහි මහණ තෙමේ ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි (ආපසු හැරීමෙහි) මනා නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. ඉදිරි බැලීමෙහි, අනුදික් බැලීමෙහි, (වටපිට බැලීමෙහි) මනා නුවණින් දැනම (එය) කරනුයේ වෙයි. අත් පා ආදිය හැකිලීමෙහි, දිගු කිරීමෙහි නුවණීන් දැන ම (එය) කරනුයේ වෙයි.  සඟළසිවුර ද පාත්‍රය ද සෙසු සිවුරු ද දැරීමෙහි නුවණින් දැන ම කරන්නේ වෙයි. ආහාර ගැන්මෙහි, පැන් පීමෙහි, පිටි කැවිලි ආදිය කෑමෙහි, මී පැණී ආදිය රස විඳීමෙහි, නුවණීන් දැන ම කරනුයේ වෙයි. මල මූ පහ කිරීමෙහි නුවණීන් දැන ම කරනුයේ වෙයි. ගමනෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි කථා කිරීමෙහි, නො බිණීමෙහි නුවණින් දැන කරනුයේ වෙයි. අම්බට්ඨය, මෙසේ වනාහී මහණ තෙමේ සිහි නුවණින් සමන්විත වෙයි.
 
56.අම්බට්ඨය, කෙසේ නම් මහණ තෙමේ ලද පමණෙහි සතුටු වේද ? යත්:
අම්බට්ඨය, මේ සස්නෙහි මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට නික් මැ යේ ද, අට පිරිකර පමණක් ගෙන ම නික්මෙයි. අම්බට්ඨය, (පියා හඹනුවට තරම්) අත්තටු ඇති කුරුලු තෙමේ යම් යම් තැනක පියා හඹා යේ නම්, පියාපත්බර සහිත ව ම යම් සේ පියාහඹා යේ ද, එසේ ම, අම්බට්ඨය, ඒ මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට යේ ද පා සිවුරු (ආදී අට පිරිකර පමණක්) රැගෙන ම යෙයි. අම්බට්ඨය, මෙසේ වනාහි තෙමේ ලද පසයෙහි සතුටු වේ.
 
57.අම්බට්ඨය, ඒ මහණ තෙමේ මේ ආර්‍ය ශීලස්ඛන්ධයෙන් ද සමන්විත වූයේ, මේ ආර්‍ය ඉන්ද්‍රියසංවරයෙන් ද සමන්විත වූයේ, මේ ආර්‍ය ස්මෘතිසම්ප්‍රජන්නයෙන් ද සමන්විත වූයේ, මේ ආර්‍ය සන්තුෂ්ටියෙන් ද සමන්විත වූයේ, අරණ්‍ය වෘක්ෂමූල පර්වත කඳුරැලි ගිරිගුහා සොහොන් වනපෙත් (වනප්‍රස්ථ) අභ්‍යවකාශ (එළිමහන්) පිදුරුලෙන් යන මෙ කී ජනශූන්‍ය කිසි සෙනස්නක් භජනය කෙරෙයි. හේ පිඬු  සෙවීමෙන් පෙරළා ආයේ, පසුබත් සෙමෙහි, පලක් බැඳ උඩු කය කෙළින් පිහිටුවා, කමටහනට අභිමුඛ කොට සිහිය එළවා හිඳී.
 
58.හේ ලොවැ (පඤ්ච උපාදානස්කන්ධය කෙරෙහි) ඇල් ම හැර, විෂ්කම්භණප්‍රහාණයෙන් (යට පත් කිරීමෙන්) පහ වූ අභිජඣායෙන් යුත් සිතින් වෙසෙයි.  අභිජ්ඣාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාදප්‍රද්වේෂය (ක්‍රෝධය) හැර, ව්‍යාපාද රහිත සිතැත්තේ, සියලු පණ ඇති සතුන් කෙරේ හිතානුකම්පා ඇති වැ වෙසෙයි. ක්‍රෝධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය  හැර, පහ වූ ස්ත්‍යානමිද්ධය ඇත්තේ දිව රෑ දෙක්හි ම දුටු එළිය හඳුනනු හැකි පිරිසිදු සංඥාව ඇත්තේ, සිහියෙනුත් නුවණිනුත් යුක්ත වූයේ වෙසෙයි. ස්ත්‍යානමිද්ධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. උදහසත් (සිතැ නොසංහුන් බවත්) කුකුසත්(කළ නො කළ දැයෙහි පසුතැවිල්ලත්) සිතින් දුරැ ලා, අනුද්ධත වැ (නොසංහුන් බැවින් තොර වැ) සංසිඳුනු ස්වකීය චිත්තසන්තානය ඇත්තේ, උදහස් කුකුස් දෙක කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. සැකය දුරැ ලා, පහ වූ සැක ඇත්තේ, කුසල් දහම්හි සැක  නො කරනුයේ, සැකය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.
 
59.අම්බට්ඨය, යම්සේ පුරුෂයෙක් (පොලියට)ණය මුදලක් ගෙනැ කර්මාන්ත කරන්නේ ද, ඔහුගේ ඒ කර්මාන්ත සමෘද්ධ වන්නේ නම්, හේ යම් පරණ ණය මුදල් වී නම්, ඒ සියල්ල ගෙවා අවසන් කරන්නේ ද, මත්තෙහි ඉතිරි වූ යමක් ඇත් නම් එය අඹුදරුවන් රක්නා පිණිස වන්නේ ද, එසේ වූ ඔහුට “මම් පලමුයෙන් ණයට මුදල් ගෙන කර්මාන්ත කළෙමි. ඒ මගේ කර්මාන්ත සමෘද්ධ විය. ඒ මම්, යම් පරණ ණය මුදල් වී නම් එය ගෙවා අවසන් කෙළෙමි. අඹුදරුවන් රක්නට වැඩිපුර ඉතිරි වූ මුදලෙක් ද මට ඇතැ” යි. මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ ණයනැතිබව කරණ කොට ගෙන සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
 
60.අම්බට්ඨය, යම් සේ පුරුෂයෙක් රෝගී වූයේ, දුකට පැමිණියේ, දැඩි ලෙස ගිලන් වන්නේ ද, ඔහුට බතුත් නො රිසියෙන්නේ ද, ඔහුගේ ඇඟපත ශක්ති පමණකුත් නො වන්නේ ද, හේ මෑත කාලයෙහි ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට බතුත් රිසියේ නම්, ඔහු ඇඟපත ශක්තිය ද වන්නේ නම්, “මම් වූ කලී පෙරැ දුකට පත්, දැඩිව ගිලන් බව් ඇති ලෙඩෙක් වීමි. මට ආහාර ද රිසි නොවී ය. මා ඇඟපත ශක්තිය ද නො වී ය. ඒ මම් දැන් ඒ ලෙඩින් මිදුනෙම් වෙමි. ඒ මට ආහර ද රිසියෙයි. මා ඇඟ පත ශක්තිය ද ඇතැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ නම්, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
 
61.අම්බට්ඨය, යම් සේ පුරුෂයෙක් හිර ගෙහි බැඳුණේ වන්නේ ද, හේ පසු කලෙක ධනය වියදම් නො කොට පහසුවෙන් ඒ හිර ගෙන් මිදෙන්නේ ද, (ඒ හේතුයෙන්) ඔහුගේ කිසි භෝග විනාශයෙක් නො වන්නේ ද, “මම් වූ කලී පෙරැ හිර ගෙහි බැඳුණෙම් වීමි. ඒ මම් දැන් ධන වියදම් නො කොට පහසුවෙන් ඒ හිර ගෙන් මිදුණෙම් වෙමි. මගේ භෝගයනට කිසි විනාශයෙක් ද නැතැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
 
62.අම්බට්ඨය, යම්සේ තමා අයත් පැවැතුම් නැති, අනුන් අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යන්නට අවසර නැති දාස පුරුෂයෙක් වන්නේ ද, හේ මෑත භාගයෙහි තමා අයත් පැවැතුම් ඇතියේ, පරා අයත් පැවැතුම් නැත්තේ, නිදහස් වූයේ , කැමැති අතෙක යා හැකි වූයේ ඒ දාසභාවයෙන් මිදෙන්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලී පෙරැ තමා අයත් පැවැතුම් නැති, පරා අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යා නොහැකි නොහැකි දාසයෙක් විමී. ඒ මම් දැන් ඒ දාසභාවයෙන් මිදුණෙම්, මා අයත්. පැවැතුම් ඇතියෙම්, පරා අයත් පැවැතුම් නැතියෙම්, නිදහස් වූයෙම් කැමැති අතෙක යා හැකියෙම් වෙමි” යි මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
 
63.අම්බට්ඨය, යම්සේ ධනවත් වූ භෝගසම්පත් ඇති පුරුෂයෙක් දුර්ලභ වූ ආහාර ඇති, උවදුරු ඇති, දිය නැති දික් කතරමඟකට බස්නේ ද, හේ පසු කෙලක සුවසේ ඒ නිරුදක පෙදෙස ඉක් මැ යන්නේ ද, උවදුරු නැති විපත් නැති ගම්මානයකට බස්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලී පෙර ධන ඇතියෙම්, භෝග සම්පත් ඇතියෙම්, දිය නැති, ආහාර දුර්ලභ, ප්‍රතිභය සහිත දික් මඟකට බටුයෙමි. ඒ මම් දැන් සුවසේ ඒ කාන්තාරය තරණය කෙළමි. නිරුපද්‍රැත භය රහිත ගමකට පැමිණෙයෙම් වෙමි” යි සිතෙක් වන්නේ ද, හේ ඒ කරුනින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.  අම්බට්ඨය, එසේ ම මහණ තෙමේ ණයක් මෙන් ලෙඩක් මෙන් හිරගෙයක් මෙන් වහල් බවක් මෙන් දිය නැති දික් මඟක් මෙන් (පිළිවෙලින්) මේ පහ නොවූ නීවරණ පස තමා කෙරෙහි දකී. අම්බට්ඨය, ණය නැති බව යම්සේද, ලෙඩ නැති බව යම්සේ ද, උවදුරු නැති බිම යම්සේ ද, එසේම (පිළිවෙලින්) මේ පහ වූ නිරවණ පස(හෙවත් නීවරණ පසේ දුරු වීම) තමා කෙරෙහි දකී.
 
64.තමා කෙරෙහි පහවු මේ නීවරණ පස දක්නා ඔහුට සතුට උපදී.  සතුටු වූවහුට ප්‍රීතිය උපදී. සිතැ ප්‍රීතිය ඇත්තහුගේ නාම කය සංහිඳේ. සංහුන් නාම කය ඇත්තේ සුව විඳී. සුවැතියහු සිත සමාධිගත වේ. (එකඟ වේ.)
 
65.හේ කාමයන්ගෙන් වෙන් ව ම, සෙසු අකුසල දහමුන් ගෙන් ද වෙන් ව ම, විතර්කසහිත, විචාරසහිත, විවේකයෙන් (නීවරණ පහවීමෙන්) උපන් ප්‍රීතියත් සුවයත් ඇති පලමු ධ්‍යානය ලැබ වෙසේ,
හේ මේ කරජ කය ම විවේකයෙන් උපන් ප්‍රීති සුඛයෙන් තෙමෙයි. මුළුල්ල ම තෙමෙයි. පුරා ලයි, මුළුල්ල ම ස්පර්ශ කෙරෙයි සියලු අඟ පසඟ ඇති ඔහුගේ මුළු කයෙහි ඒ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් පැතිරැ වැද නොගත් (නොපහස්නා ලද) කිසි ද තැනෙක් නො වෙයි.
 
66.අම්බට්ඨය, යම් සේ කපුවෙක් (කිලිඟෙක්) හෝ කපුවකුගේ (කිලිඟකුගේ) අතැවැස්සෙක් හෝ ලොහොතලියෙක නාන සුණු බහා දිය ඉස ඉස පිඬු කරන්නේ ද, ඒ නාන සුණු පිඬ කාවැදුණු දිය ඇත්තේ හැම තැන ම දියෙන් යුක්ත වූයේ, ඇතුලත පිටත මුළුල්ල ම දියෙන් පැතිරැ ගියේ දිය නො වගුරුවන්නේත් වේද,  අම්බට්ඨය, එසේ ම මහණ තෙමේ මේ කරජ කය ම විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි. මුළුල්ලම තෙමයි. පුරාලයි. මුළුල්ලම ස්පර්ශ කෙරෙයි. ඔහුගේ සියලු අඟ පසඟ ඇති මුළු කයෙහි විවේකජ ප්‍රීති සුඛයෙන් පැතිර වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
 
67.අම්බට්ඨය, තවද  මහණ තෙම විතර්ක විචාර සංහිඳීමෙන්, සිය සතන්හි උපන්, සිය සතන් පහදවන, (ශ්‍රද්ධාව හා එක් වැ යෙදුණු) සිතැ එකඟ බව ඇති, විතර්කය නැති විචාරය නැති, සමාධියෙන් උපන්, ප්‍රීතියත් සුවයත් ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසෙයි හේ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීතියෙන් තෙමයි. මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම සපර්ශ කෙරෙයි. ඔහුගේ මුළුකයේ විවේකයෙන් උපන් ප්‍රීති සුවයෙන් පැතිරැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
 
68.අම්බට්ඨය, යම් සේ යටැ උල්පතින් මතු වන දිය ඇති ගැඹුරු විලෙක් වේද , එයට පෙර දිගින් දිය ඇතුළු වන මඟෙක් නො වන්නේ ද, දකුණු දෙසින් දිය ඇතුළු වන මඟෙක් නොවන්නේ ද, පැසිම් දිගින් ද දිය ඇතුළු වන මඟෙක් නොවන්නේ ද, උතුරු දෙසින් ද දිය වැද ගන්නා මඟෙක් නොවන්නේ ද, වැස්ස ද, කලින් කලැ සුදුසු පරිදි නො වසින්නේ ද, එතෙකුදු වුවත් ඒ විලෙන් සිහිල් දියදහර මතු වී  ඒ විලම සිහිල් දියෙන් තෙමන්නේ ද, හැම පරිදි තෙමන්නේ ද, පුරා ලන්නේ ද, හැම තැනම වැද ගෙන පැතිර සිටින්නේ ද, ඒ මුළු විලෙහි සිසිල් දිය පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො මැත් ද, අම්බට්ඨය, එසේ ම මහණ තෙමේ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීතියෙන් තෙමයි. මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරා ලයි, ප්‍රීතිසුවයෙන් හැම තැන ම සපර්ශ කෙරෙයි. ඔහුගේ මුළුකයේ සමාධියෙන්  උපන් ප්‍රීති සුවයෙන් පැතිරැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි මේ ද ඔහුගේ චරණ ධර්මයකි.
 
69.අම්බට්ඨය, තවද මහණ තෙමේ ප්‍රීතියාගේ ද විරාගයෙන් (පහවීමෙන්, සංසිඳීමෙන්), උපෙක්ෂායෙන් ද යුක්ත වැ, සිහියෙන් හා නුවණින් හා යුක්ත වැ වෙසෙයි. සුවය ද කයින් විඳී. ආර්‍යයෝ යම් ධ්‍යානයක් හේතු කොට ගෙන ධ්‍යානලාභියා ඇරැබැ ‘උපෙක්ෂාව ඇත්තේ ය සිහි ඇත්තේ , සුඛ විහරණ ඇත්තේ යැ‘යි කියත් ද, හේ (එසේ වූ) ඒ තෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසේ.
හේ මේ කයම නිෂ්ප්‍රීතික සුවයෙන් තෙමයි, හැම පරිදි තෙත් කෙරෙයි, පුරාලයි, හැම තැන ම පැතිර වැද ගනී. ඔහුගේ කයෙහි ඒ නිෂ්ප්‍රීතික සුඛයෙන් පැතිර නොගත් කිසි ද තැනෙක් නොවෙයි.
අම්බට්ඨය, යම්සේ උපුල් විලෙක හෝ පියුම් විලෙක හෝ පඬෙර විලෙක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ පඬෙර හෝ දියෙහි උපන්නේ දියෙහි වැඩුණේ, දියෙන් නොනැගුණේ, දිය තුළැම ගිලී වැඩුනුයේ ද, ඒ හැම අග දක්වාත් මුල් දක්වාත් සිහිල් දියෙන් තෙමුණේ, හැමපරිදි තෙත් වූයේ, පිරී ගියේ, හැම තැන් ම පැතිරැ වැද ගත්තේ වේ ද, ඒ විලෙහි සියලු උපුල්වල හෝ පියුම්වලැ හෝ පඬෙරවලැ හෝ සිසිල් දිය පැතිරැ නොගත් තැනෙක් නො වන්නේ ද, අම්බට්ඨය, එසේ ම මහණ තෙමේ මේ කය ම නිශ්ප්‍රීතික සුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි. පුරා ලයි, හැමපරිදි පැතිරැ වැද ගනී. ඔහුගේ සියලු කයෙහි නිෂ්ප්‍රීතික සුඛයෙන් පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි. මේ ද ඔහුගේ චරණ ධර්මයකි.
 
70.තවද අම්බට්ඨය, මහණ තෙමේ සුඛ වේදනාව ද දුරැ ලීමෙන්, දුක්ඛ වේදනාව ද දුරැලීමෙන්, පලමු කොට ම සොම්නස් දොම්නස් දෙදෙනාගේ පහවීමෙන් දුක් ද නොවූ, සුව ද නොවූ, උපේක්ෂා ස්මෘති යන මොවුන්ගේ පිරිසිදු බව ඇති සිව් වන ධ්‍යානය ලැබ වෙසෙයි. හේ මේ කය ම පිරිසිදු පැහැසර සිතින් පැතිරැ වැද ගෙන හුන්නේ වෙයි.
ඔහු මුළු කයෙහි පිරිසිදු පැහැසර සිතින් පැතිරැ වැද නො ගෙන සිටි කිසි ද තැනෙක් නොවෙයි.
යම්සේ පුරුෂයෙක් සුදු වතින් හිස සහිත වැ වසා පෙරැව ගෙන හුන්නේ වේ නම් ඔහුගේ කයෙහි සුදු වතින් නො වැසුණු  කිසි ද තැනෙක් නොවන්නේ ද, අම්බට්ඨය, එසේම මහණ තෙම මේ කය ම පිරිසිදු වූ ප්‍රභාස්වර වූ සිතින් පැහැර වැද ගෙන නොසිටි කිසිද තැනෙක් නොවෙයි. මේ ද ඔහුගේ චරණධර්මයෙක් වේ.
 
71.තව ද අම්බට්ඨය, ඒ මහණ තෙමේ මෙසේ එකඟ වූ සිත පිරිසිදු වූ කල්හී දීප්තිමත් වූ කල්හී, කිලිටි නැති වූ කල්හී, පහ වූ චිත්තෝපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හී, විදර්ශණා භාවනාවට යෝග්‍යවූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හි විදර්ශනාඥාණය පිණිස (පරිකර්ම) සිත එයට අඹිමුඛ කෙරෙයි, ඒ අතට නමා හරියි හේ  “මගේ මේ කය වූ කලී රූපවත් ය, සතර මහාභූතයන්ගෙන් හැදුණේ ය, මව්පියන්ගේ ශුක්‍රශෝණිතයෙන් උපන්නේ ය, බත් කොමු ආදී අහරින් වැඩුණේ ය, අනිස බව ද දුගඳ බවද, හරනුවට සුවඳ විලෙවුන් ඉළියැ යුත් බව ද, ලෙඩ දුරැලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද, එසේ කළ ද බිඳෙන බව ද, විසිරෙන බව ද යන මේ දෑ ස්වභාව කොටැත්තේ ය. මගේ මේ සිත ද මෙහි ලැග්ගේ ය, මෙහි බැඳුණේ යැ” යි මෙසේ දැනගනී.
 අම්බට්ඨය, යම්සේ සොඳුරු වූ, පිරිසිදු ආකරයෙක පහළ වූ ඇටැස් වූ මොනවට පිරයම් කළ, සියුම් වූ වෙසෙසින් පහන් වූ, පිවිතුරු වූ, ධෝවනාදී සියලු අකාරයෙන් යුත් වෙරළුමිණෙක් වන්නේ ද, එහි නිල් වූ හෝ රන්වන් වූ හෝ රත්වන් හෝ සුදුවන් හෝ පඬුවන් හෝ හුයෙක් අමුනන ලද්දේ වන්නේ ද, එය ඇස් ඇති පුරුෂයෙක් අතෙහි කොට “මේ වූ කලි සොඳුරු වූ, පිරිසිදු ආකරයෙහි උපන් ඇටැස් වූ මොනවට පිරියම් කැරුණු, සියුම් වූ, වෙසෙසින් පහන් වූ, පිවිතුරු වූ, සියලු ධෝවනාදී ආකාරයෙන් සම්පූර්ණ වූ වෙරළු මිණෙක. මෙහි නිල් වූ හෝ රන්වන් වූ හෝ රත්වන් වූ හෝ සුදුවන් වූ හෝ යම් හුයෙක් අවුනන ලදුයේ වේ යැ”යි සලකා බලන්නේ ද, අම්බට්ඨය, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාධිගත සිත පිරිසිදු වූ ක්ලහී දීප්තිමත් වූ කල්හී, කෙලෙස් යටපත් වූ ක්ල්හී, උපක්ලේශයන් පහ වූ කල්හී මෘදු වූ කල්හී, කර්මණ්‍ය වූ කල්හී සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හි, විදර්ශනාඥානය පිණිස සිත අභිමුඛ කෙරෙයි, එය අතට නමා හරියි. හෙ තෙම “මගේ මේ කය වූ කලී රූපී ය, සතර මහාභූතයන්ගෙන් හැදුණේ ය, මාපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් නිපන්නේ ය, බත් කොමු ආදී අහරින් වැඩුණේ ය, අනිසි බව ද, දුගඳ හරනට සුවඳ විලෙවුන් ඉළියැ යුතු බව ද ලෙඩ දුරැලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද ඒ කළත් බිඳෙන බව ද විසිරෙන බවද යන මේ දෑ ස්වභාව කොටැත්තේ ය. මගේ මේ සිත ද මෙහි ලැග ගත්තේ ය, මෙහි බැඳුණේ යැ”යි මෙසේ දැන ගනී. මේ ද ඔහුගේ විද්‍යාවෙක් වෙයි.
 
72.හේ මෙසේ සිත සමාහිත කල්හි පිරිසිදු වු කල්හී, දීප්තිමත් කල්හී, කෙලෙස් නොමැති වූ කල්හී, උපක්ලේශ පහ වූ කල්හී, මෘදු වූ කල්හී, කර්මණ්‍ය වූ (සෘද්ධි ඉපදීවීමට යෝග්‍ය වූ) කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හී මනෝමය ශරීරයක් මවා පානු පිණිස සිත යොමු කෙරෙයි.  නැඹුරු කෙරෙයි. හේ මේ සිරුරෙන් රූපී වු, සියලු අඟපසඟින් යුත්, විකල නොවූ ඉඳුරන් ඇති මනෝමය ශරීරයක් මවා පායි.
අම්බට්ඨය, යම්සේ පුරුෂයෙක් මුදුතණ ගසෙකින් තණකූර(තණබඩය)ඇද මෑත් කරන්නේ ද, ඔහුට “මේ මුදුතණගස ය, මේ එහි තණ බඩ ය, තණ ගස එකෙකි, එහි බඩය අනෙකෙකි. මුදු තණ කෙරෙන් ම එහි කූර (බඩය) මෑත් කරන ලද්දේ යැ”යි මෙසේ සිතෙක් වන්නේ ද, අම්බට්ඨය, යම්සේ වනාහී පුරුෂයෙක් කඩුවක් කොපුවෙන් ඇද මෑත් කරන්නේ ද,  ඔහුට “ මේ කඩුවය, මේ කොපුව ය, කඩුව එකෙක, කොපුව අනෙකක, කොපුයෙන් ම කඩුව ඇද මෑත් කරන ලද්දේ යැ” යි මෙසේ සිතෙක් වන්නේ ද,  අම්බට්ඨය, යම්සේ වනාහී පුරුෂයෙක් නයකු සැවයෙන් ඇද වෙන කරන්නේ ද, ඔහුට “මේ නායා ය, මේ සැවය ය. නයා එකෙක, සැවය අනෙකක. සැවය කෙරෙන් ම නයා ඇද වෙන් කරන ලද්දේ යැ”යි මෙසේ සිතෙක් වන්නේ ද, අම්බට්ඨය, එපරිද්දෙන්ම මහණ තෙමේ මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හී, දීප්තිමත් වූ කල්හී කෙලෙස් රහිත වූ කල්හී, උපක්ලේශයන් පහ වැ ගිය කල්හී, කර්මණ්‍ය වූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පත් කල්හී, මනෝමය ශරීරයක් මවා පානු පිණිස සිත යොමු කෙරෙයි, නුඹුරු කෙරෙයි. හේ මේ ශරීරයෙන් රූපී වූ මනෝමය වූ සියලු  අඟපසඟින් යුක්ත වූ අවිකල ඉඳුරන් ඇති අන් සිරුරක් මවා පායි. මේ ද ඔහුගේ විද්‍යාවෙක් වේ.
 
73.හේ මෙසේ සිත සමාහිත කල්හී, පිරිසිදු කල්හි, දීප්තිමත් වූ කල්හි කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්මණය වූ (=සෘද්ධියට යෝග්‍ය වු) කල්හී, සිටි කල්හී, නිශ්චලත්වයට පැමිණි කල්හී, සෘද්ධිවිධඥාණය පිණිස (අභිඥාපාදක) පරිකර්ම සිත මෙහෙයයි, නැඹුරු කෙරෙයි. හේ අනේකවිධ වූ සෘද්ධිවිධය (සෘද්ධි කොට්ටාසය) නැවත නැවත අනුභව කෙරෙයි. (හෙවත් නාම කයින් ස්පර්ශ කෙරෙයි, ප්‍රත්‍යක්ෂ කෙරෙයි ලබයි.) පියෙවියෙන් එකෙක් වැ සිටැ ද (සෘද්ධිබලයෙන්) බහු ප්‍රකාර ද වි යලිදු එකෙක් වෙයි. තමාගේ ප්‍රකට බව කෙරෙයි (පෙනීසිටී) අප්‍රකට බව කෙරෙයි. (=නොපෙනී සිටියි) බිත්තියේ පිටතට, පවුරෙන් පිටතට, පර්වතයෙන් පිටතට අහසෙහි මෙන් කිසිවෙක නොගැටෙනුයේ මැදින් විනිවිද ගෙන යෙයි. දියෙහි මෙන් පොළොවෙහි ද යටට බැසීම(=ගිලී) උඩට නැගීම (=මතුවීම) කෙරෙයි. නො බිඳෙන (යට නො බස්නා) දියෙහි පොළොවෙහි සේ යෙයි. පක්ෂ ඇති සකුණයෙකු මෙන් අහසෙහි ද පළඟින් (=ඌරුබද්ධාසනයෙන්)යෙයි. මේ සා මහර්ද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා ද, අතින් පරාමර්ශනය කෙරෙයි(=අල්ලයි) (ඔබමොබ අත යවා) පිරිමදියි. බඹලොව තෙක් ද (සියල්ල) කයින් වශයෙහි පවත්ව යි.
අම්බට්ඨය, යම්සේ දක්ෂ කුඹලෙක් හෝ කුඹලක්හුගේ අතැවැස්සෙක් හෝ මොනවට පිරියම් කළ (=සකස් කළ) මැට්ටෙන් යම් යම් භාජන විශේෂයක් කැමැත්තේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද, මොනවට නිපදවන්නේ ද,  අම්බට්ඨය, යම්සේ දක්ෂ දන්තකාරයෙක් (ඇත්දත් ආදීයෙන් විසිතුරු කම් කරන්නෙක්) හෝ දන්තකාරයකුගේ අතැවැස්සෙක් හෝ මොනවට පිරියම් කළ (=දොස් ඉවත් කොට මොනවට සකස් කළ)දතෙක්හි යම් යම් දන්තවිකෘතියත් (දතෙහි කළ විසිතුරු රූපාදියක්) කැමැති වන්නේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද, වෙසෙසින් නිපදවන්නේ ද, අම්බට්ඨය, යම්සේ හෝ දක්ෂ රන්කරුවෙක් හෝ රන්කරුවෙකුගේ අතැවැස්සෙක් හෝ මොනවට සකස් කළ රනෙහි යම් යම ස්වර්ණ විකෘත්තියක් (ආභරණ ආදියක්) කැමැත්තේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද , නිපදවන්නේ ද,
අම්බට්ඨය, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හී කෙළෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, සෘද්ධිවිධඥාණය පිණිස සිත මෙහෙයවයි නැඹුරු කෙරෙයි. හේ අනේකවිධ වූ සෘද්ධි කොට්ඨාසය නැවත නැවත විඳී. පියෙවියෙන් එකෙක් වැ සිට බොහෝ දෙනෙක් වෙයි. බොහෝ දෙනෙක් වැ සිට එකෙක් වෙයි. තෙමේ පෙනී සිටී, නො පෙනී ද සිටී. බිත්තියෙන් පිටතට, පව්වෙන් පිටතට, විනිවිදැ අහසෙහි මෙන් කිසිවකැ නො ලැගී යෙයි. දියෙහි මෙන් පොළොවෙහිත් ගිලීම් ද මතුවීම් ද කෙරෙයි. පොළව මතු පිටැ සේ නොබිඳෙන දියෙහි යෙයි. පක්ෂියෙකු සේ පළඟින් අහසෙහි යෙයි. මේ සා මහර්ද්ධිමත් මහත් අනුභාව ඇති සඳ හිරු දෙදෙනා පවා අල්ලයි, පිරිමදියි. බඹලොව තෙක් ද කයින් තමා වශයෙහි පවත්වයි. මේ ද ඔහුගේ විද්‍යාවෙක් වේ.
හේ මෙසේ සිත සමාහිත කල්හී, පිරිසිදු කල්හි, දීප්තිමත් කල්හි, කෙලෙස් රහිත වූ කල්හී, උපක්ක්ලේශ පහ වැ ගිය කල්හි මෘදු වූ කල්හි, කර්මණ්‍ය වූ කල්හී සිටි කල්හි නිශ්චල බවට පැමිණි කල්හි, දිව්‍ය ශ්‍රෝත්‍රධාතුව පිණිස (දිවකන් නුවණ පිණිස) සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි, හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ ශ්‍රාවණෝපචාරය ඉක්මවා සිටි දිව කනින් දිව්‍ය වූද මානුසික වූ ද, දුරැ වූ ද, ළං වූ ද, යන ද්විවිධ ශබ්ද ම අසයි.
අම්බට්ඨය, යමසේ මිනිසෙක් දික් මඟකට පිළිපන්නේ ද, හේ බෙරහඬක් මිහිඟු බෙර හඬත් පණාබෙර හඬත්, ගැටබෙර හඬත් යම්සේ අසන්නේ ද, ඒ අසන ඔහුට ‘මේ බෙර හඬැයි කියාත්, මේ මිහිඟු බෙර හඬයි කියාත්, මේ සක්පණාබෙර ගැටබෙර හඬයි කියාත්, මෙසේ සිතෙක් වන්නේ ද, අම්බට්ඨය, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හී කෙලෙස් රහිත වූ කල්හි, උපක්කිලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්මණය (කර්මක්ෂම) වූ කල්හී, සිටි කල්හි, නිශ්චල බවට පැමිණි කල්හී, දිව්‍ය ශ්‍රෝත්‍රධාතුව පිණිස සිත යොමු කෙරෙයි. නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වූ මිනිසුන්ගේ ශ්‍රවණෝපචාරය, ඉක්ම වූ දිව කන් නුවණීන් දිව්‍ය වූත් මානුසික වූත් දුරැ වූත් ළඟැ වූත් ද්විවිධ ශබ්ද අසයි. මේ ද ඔහුගේ විද්‍යාවෙකි.
හේ මෙසේ  එකඟ වූ සිත පිරිසිදු වූ කල්හී, දීප්තිමත් වූ කල්හී, කෙලෙස් රහිත වූ කල්හී, උපක්කිලේශ පහ වැ ගිය කල්හී, මෘදු වූ කල්හී, කර්මක්ෂම වූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හි, චේතස්පර්‍යායඥානය පිණිස (අනුන්ගේ සිත් පිරිසිඳ දක්නා නුවණ පිණිස) සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ අන් සත්ත්වයන්ගේ අන් පුද්ගලයන්ගේ සිත සියසිතින් පිරිසිඳ දනියි. රාග සහිත සිත රාග සහිත සිතැ යි ද දනියි. රාග රහිත සිත රාග රහිත සිතැ යි ද දනියි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතැ යි ද දනී. මෝහ සහිත සිත මෝහ සහිත සිතැයි ද දනී. මෝහ රහිත සිත මෝහ රහිත සිතැයි ද දනී. සංක්ෂිප්ත (=හැකුළුණු) සිත හැකුළුණු සිතැ යි ද දනී. වික්ෂිප්ත (=විසිරුණු) සිත විසුරුණු සිතැ යි ද දනී. මහද්ගත සිත මහද්ගත සිතැ යි ද දනී. අමහද්ගත සිත අමහද්ගත සිතැ යි ද දනී. සෝත්තර සිත සෝත්තර සිතැ යි ද දනී. අනුත්තර සිත අනුත්තර සිතැ යි ද දනී.  සමාහිත සිත සමාහිත සිතැ යි ද දනී. අසමාහිත සිත අසමාහිත සිතැ යි ද දනී. විමුක්ත (=මිදුණු) සිත විමුක්ත සිතැ යි ද දනී. අවිමුක්ත (=නොමිදුණු) සිත අවිමුක්ත සිතැ යි ද දනී.
 අම්බට්ඨය, යම්සේ සැරැසෙන සුලු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ළදරුවෙක් හෝ තරුණයෙක් හෝ පිරිසිදු දීප්තිමත් කැඩ පතෙක හෝ පහන් දිය බඳුනෙක හෝ සිය මුව සටහන පිරික්සා බලන්නේ තලකැලැල් ආදී දොස් ඇති තැන් සදෝස් තැනැයි දන්නේ ද, එ කී දොස් නැති තැන දොස් නැතැයි දන්නේ ද, අම්බට්ඨය, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වු කල්හී, කෙලෙස් නැති කල්හි, උපක්කිලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හී, කර්මක්ෂම වූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හී, පරසිත් දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි.
එසේ වූ හේ අන් සතුන්ගේ, අන් පුඟුලන්ගේ සිත සියසිතින් පිරිසිඳ දනී.
“ සරාග සිත සරාග සිතැයි ද දනී. වීතරාග සිත වීතරාග සිතැයි ද දනී. සද්වේෂ සිත සද්වේෂ සිතැ යි ද දනී. වීත දෝෂ සිත වීත දෝෂ සිතැ යි ද දනී. සංක්ෂිප්ත සිත සංක්ෂිප්ත සිතැ යි ද දනී. අමහග්ගත සිත අමහග්ගත සිතැ යි ද දනී. මහග්ගත සිත මහග්ගත සිතැයි ද දනී. සෝත්තර සිත සෝත්තර සිතැ යි ද දනී. අනුත්තර සිත අනුත්තර සිතැ යි ද දනී. සමාහිත සිත සමාහිත සිතැ යි ද දනී. අසමාහිත සිත අසමාහිත සිතැ යි ද දනී. විමුක්ත සිත විමුක්ත සිතැ යි ද දනී. අවිමුක්ත සිත අවිමුක්ත සිතැ” යි ද දනී. මේ ද ඔහුගේ විද්‍යාවෙකි.
හේ තෙමේ මෙසේ සිත සමාහිත කල්හී, පිරිසිදු කල්හී, දීප්ත වූ කල්හී, කෙලෙස් නැති වූ කල්හී, උපක්කිලේශ පහ වැ ගිය කල්හී, මෘදු වූ කල්හී, කර්මක්ෂම වු කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පත් කල්හී, පුර්වේනිවාසානුස්මෘති ඥාණය (=පෙර වුසු කඳ පිළිවෙළ දක්නා නුවණ) ලබනු පිණිස සිත යොමු කෙරෙයි. හේ එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පහක් ද ජාති දසයක් ද  ජාති විස්සක් ද ජාති තිහක් ද ජාති සතළිහක් ද ජාති පනසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති සුවහසක් ද බොහෝ සංවර්ත කල්ප ද බොහෝ විවර්ත කල්ප ද බොහෝ සංවර්ත විවර්ත කල්ප ද “ අසෝ තන්හි මේ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව අසෝ තැන උපනිමි. එහිද මෙ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව මෙහි උපනිමි” යි. මෙසේ අනේකවිධ වු පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මෙසේ වර්ණාදි වශයෙන් ආකාර සහිත වූ නම් ගොත් විසින් උද්දේශ සහිත වු බහුවිධ වු පුර්වේනිවාසය සිහි කෙරෙයි. 
 අම්බට්ඨය, යම්සේ පුරුෂයෙක් සිය ගමින් අන් ගමකට යන්නේ ද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේ ද, (නැවත) හේ ඒ ගමින් සිය ගමට ම පෙරළා එන්නේ ද, එසේ වු ඔහුට “මම් වූ කලී සිය ගමින් අසෝ ගමට ගියෙමි. එහි මෙසේ සිටියෙමි, මෙසේ උනිමි, මෙසේ කීමි, මෙසේ නිහඩ විමි. ඒ ගමිනුත් අසෝ ගමට ගියෙමි. එහි ද මෙසේ සිටියෙමි, මෙසේ උන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඩව සිටියෙමි, ඒ මම ඒ ගමින් සිය ගමට පෙරළා ආයම් වෙමි” යි මේ බඳු සිතෙක් වන්නේ ද ,
අම්බට්ඨය, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හී, දීප්ත කල්හී, කෙලෙස් රහිත කල්හි, උපක්කිලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්මක්ෂම වු කල්හී, සිටි කල්හී නිශ්චල බවට පැමිණි කල්හී, පෙර වුසු කඳ පිළිවෙළ සිහි කරණ නුවණ පිණිස සිත මොනවට යොමු කෙරෙයි, මොනවට නැඹුරු කෙරෙයි, හේ “ අසෝ තන්හි මේ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව අසෝ තැන උපනිමි. එහිද මෙ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව මෙහි උපනිමි” යි. මෙසේ  එක් ජාතියක් ද , ජාති දෙකක් ද , ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දසයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතළිසක් ද, ජාති පනසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සුවහසක් ද, බොහෝ සංවර්ථ කල්ප ද, බොහෝ විවර්ත කල්ප ද, බොහෝ සංවර්ත විවර්ත කල්ප ද, මෙසේ අනේකවිධ වු පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මේ පරිද්දෙන් ආකාර සහිත වූ උද්දේස සහිත වූ පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරෙයි.   මේ ද ඔහුගේ විද්‍යාවෙකි
හේ  මෙසේ සිත සමාහිත කල්හී,  පිරිසිදු වැ දීප්ත වැ කෙලෙස් නැතිවැ උපක්කිලේශ පහ වැ මෘදු වැ කර්මක්ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, සත්ත්වයන්ගේ ච්‍යුති උප්පත්ති දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි, හේ පිරිසිදු වු, මිනිසුන්ගේ දර්ශනෝපචාරය ඉක් මැ දැක්කැ හැකි දිවැසිනින්, “අහෝ! මේ භවත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් සමන්විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්විතයහ, මනෝදුෂ්චරිතයෙන් සමන්විතයහ, ආර්යෝපවාද කළහ, මිසදිටු ගතුවහ, මිසදිටු වශයෙන් ගත් මිත්‍යාවෘත ඇතියහ, ඒ මොහු කරජ කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුෂ්ටකර්ම හේතුයෙන් හටගත් ගතිය වු, (කර්මයට තමන් පරවශ බැවින්) තමනට අවශඟ වැ වැටෙන තැන වු නිරයට වන්නාහ. මේ භවත් සත්ත්වයෝ වූ කලී කාය සුචරිතයෙන් සමන්විතයහ, වාක්සුචරිතයෙන් සමන්විතයහ, මනෝසුචරිතයෙන් සමන්විතයහ, ආර්‍යයනට උපවාද නො කළහ, සමදිටු ගත්තහ, සමදිටු වශයෙන් ගත් ශීලාදිය ඇත්තහ, ඒ මොහු කාබුන් මරණින් මතු ශෝභන වූ ගති ඇති සග ලොවට වන්නාහ” යි මරණාසන්න වූ ද, එකෙණෙහි පිළිසිඳ ගත්තා වූද , හීන වූද , උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වූ ද , සුගතියට පැමිණියා වූ ද, දුගතියට පැමිණියා වූ ද, කර්මය වූ පරිදි ඒ ඒ භවයට ගියා වූ සත්ත්වයන් දකී. මෙසේ හේ පිරිසිදු වූ මානුෂක විෂය ඉක්මැ පැවැති දිවැසින් හීන ප්‍රණීත, සුවර්ණ දුර්වර්ණ, සුගත දුර්ගත, සත්ත්වයන් දකී. කර්මය වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සත්ත්වයන් දකී.
   අම්බට්ඨය, යම්සේ සතර මං හන්දියෙක මහල් සහිත ගෙයෙක් වන්නේ ද, එහි උඩු මහලෙහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ ගෙට පිවිසෙන්නවුනුත් ගෙන් නික්මෙනවුනුත් වීථියෙහි ඈත මෑත යන එනවුනුත්, සිව්මං හන්දියෙ මැද හුන්නුවුනුත් දක්නේ ද, ඒ දක්නා ඔහුට “මේ මිනිස්සු ගෙට පිවිසෙත්, මේ මිනිස්සු ගෙන් නික්මෙත්, මේ මිනිස්සු වීදියෙහි ඈත මෑත යෙත්, මොහු සිවුමංහන්දිය මැද උන්නෝ වෙත් යැ” යි මෙසේ සිතෙක් වන්නේ ද,
එසේ ම අම්බට්ඨය, මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්ත වැ කෙලෙස් නැතිවැ උපක්කිලේශ පහ වැ මෘදු වැ කර්මක්ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, සත්ත්වයන්ගේ ච්‍යුති උප්පත්ති දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි, හේ පරිසිදු වු, මිනිසුන්ගේ දර්ශනෝපචාරය ඉක් මැ දැක්කැ හැකි දිවැසිනින්, “අහෝ! මේ භවත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් සමන්විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්විතයහ, මනෝදුෂ්චරිතයෙන් සමන්විතයහ, ආර්යෝපවාද කළහ, මිසදිටු ගතුවහ, මිසදිටු වශයෙන් ගත් මිත්‍යාවෘත ඇතියහ, ඒ මොහු කරජ කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුෂ්ටකර්ම හේතුයෙන් හටගත් ගතිය වු, (කර්මයට තමන් පරවශ බැවින්) තමනට අවශඟ වැ වැටෙන තැන වු නිරයට වන්නාහ. මේ භවත් සත්ත්වයෝ වූ කලී කාය සුචරිතයෙන් සමන්විතයහ, වාක්සුචරිතයෙන් සමන්විතයහ, මනෝසුචරිතයෙන් සමන්විතයහ, ආර්‍යයනට උපවාද නො කළහ, සමදිටු ගත්තහ, සමදිටු වශයෙන් ගත් ශීලාදිය ඇත්තහ, ඒ මොහු කාබුන් මරණින් මතු ශෝභන වූ ගති ඇති සග ලොවට වන්නාහ” යි මරණාසන්න වූ ද, එකෙණෙහි පිළිසිඳ, ගත්තා වූද , හීන වූද , උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වු ද , සුගතියට පැමිණියා වූ ද, දුගතියට පැමිණියා වූ ද, කර්මය වූ පරිදි ඒ ඒ භවයට ගියා වූ සත්ත්වයන් දකී. මෙසේ හේ පිරිසිදු වූ මානුෂක විෂය ඉක්මැ පැවැති දිවැසින් හීන ප්‍රණීත, සුවර්ණ දුර්වර්ණ, සුගත දුර්ගත, සත්ත්වයන් දකී. කර්මය වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සත්ත්වයන් දකී. අම්බට්ඨය, මේද ඔහුගේ විද්‍යාවෙකි.
හේ  මෙසේ සිත සමාහිත කල්හී, පිරිසිදු වැ දීප්තිමත් වැ නිකෙලෙස් වැ උපක්කිලේශ පහ වැ මෘදු වැ කර්මක්ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, ආස්‍රවයන්ගේ ක්ෂයය(විනාශය) පිණිස සිත මොනවට යොමු කෙරෙයි, මොනවට නැඹුරු කෙරෙයි. (එසේ වූ ) හෙ තෙමේ   ‘මේ දුකැ ’ යි ඇති සැටි ලෙස දනී.  ‘ මේ දුක් ඉපැත්මට කාරණයැ’යි ඇති සැටි ලෙස දනී.  ‘ මේ දුක් වැනැස්මැ’.(=දුක් නැස්මට අරමුනු වන නිවනැ) යි ඇති සැටි ලෙස දනී. ‘මේ දුක් වැනැස්මට පමුණුවන පිළිවෙතැ’යි ඇති සැටි ලෙස දනී. ‘ මොහු ආස්‍රවයෝ යැ’ යි ඇති සැටියෙන් දනී. ‘ මේ ආස්‍රවයන් ඉපැද්මට කරුණැ’ ඇති සැටියෙන් දනී. ‘ මේ ආස්‍රව නිරෝධ යැ’යි(ආස්‍රවයන් වැනැස්මට ප්‍රත්‍ය වන නිවනැ)යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපත්තිය යැ ’යි ඇතිසැටියෙන් දනී. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ. ඔහු සිත භවාස්‍රවය කෙරෙන්ද මිදෙ. (ඔහු)සිත අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ. (එසේ සිත මිදුණු කල්හී ‘ මා සිත ආස්‍රව කෙරෙන )මිදුණේ යැ’යි (ප්‍රත්‍යෙවක්ෂණ) ඥානය වේ. භවෝත්පත්තිය ක්ෂීන විය(හෙවත් නැවත භවයෙහි නොඋපදනා ස්භාවයට පැමිණියෙමි),  ‘ මඟ බඹසර වැස නිමැවිණි. මේ බව පිණිස (සිවු සස්හි සතර මඟින් කළයුතු සොළෝස් වැදෑරුම්)  කිස කොට නිමැවිණි. මේ බව පිණිස (=මේ ක්ලේශක්ෂය පිණිස) යලි දු කටයුතු දැයෙක් නැතැ’ යි හේ දනී.
අම්බට්ඨය, යම්සේ කඳු මුදුනකැ වූ පහන් වු, වෙසෙසින් පහන් වූ, නොකැලැඹුණු (=බොර නොවූ) දිය විලෙක් වන්නේ ද, එහි ඉවුරෙහි ඇස් ඇති මිනිසෙක් සිටියේ, එහි තුල හැසිරෙන්නා වූත් සිටුනා වූත් ස්ප්පිබෙල්ලනුත්, සක්බෙල්ලනුත්, කැටකැබිලිතිත් මත්ස්‍යසමූහයාත් දක්නේ ද, (එසේ දක්නා) ඔහුට “මේ දියවිල පහන් ය, වෙසෙසින් පහන් ය, නොකැලැඹුණේ ය. මෙහි මේ සිප්පිහුත්, සක්බෙල්ලෝත්, කැට කැබිලිතිත් මත්ස්‍ය සමූහයෝත් හැසිරෙන්නොත් සිටින්නෝත් වෙති” යි මෙසේ සිතෙක් වන්නේ ද, අම්බට්ඨය, එපරිද්දෙන්ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්තිමත් වැ, නිකෙලෙස් වැ, උපක්කිලේශ පහ වැ, මෘදු වැ, කර්මණ්‍ය වැ, ස්ථිත වැ, නිශ්චලතාවට පැමිණි කල්හි ආස්‍රවක්ෂයඥානය පිණිස සිත යොමු කෙරෙයි. නැඹුරු කෙරෙයි.
හේ ‘මේ දුකැ ’ යි ඇති සැටි ලෙස දනී.  ‘ මේ දුක් ඉපැත්මට කාරණයැ’යි ඇති සැටි ලෙස දනී.  ‘ මේ දුක් වැනැස්මැ’.(=දුක් නැස්මට අරමුනු වන නවනැ) යි ඇති සැටි ලෙස දනී. ‘මේ දුක් වැනැස්මට පමුණුවන පිළිවෙතැ’යි ඇති සැටි ලෙස දනී. ‘ මොහු ආස්‍රවයෝ යැ’ යි ඇති සැටියෙන් දනී. ‘ මේ ආස්‍රවයන් ඉපැද්මට කරුණැ’ ඇති සැටියෙන් දනී. ‘ මේ ආස්‍රව නිරෝධ යැ’යි(ආස්‍රවයන් වැනැස්මට ප්‍රත්‍ය වන නිවනැ)යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපත්තිය යැ ’යි ඇතිසැටියෙන් දනී. මෙසේ දන්නා මෙසේ දක්නවා ඔහුගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ. ඔහු සිත භවාස්‍රවය කෙරෙන්ද මිදෙ. (ඔහු)සිත අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ. (එසේ සිත මිදුණු කල්හී ‘ මා සිත ආස්‍රව කෙරෙන )මිදුණේ යැ’යි (ප්‍රත්‍යෙවක්ෂණ) ඥානය වේ. භවෝත්පත්තිය ක්ෂීන විය(හෙවත් නැවත භවයෙහි නොඋපදනා ස්භාවයට පැමිණියෙමි),  ‘ මඟ බඹසර වැස නිමැවිණි. මේ බව පිණිස (සිවු සස්හි සතර මඟින් කළයුතු සොළෝස් වැදෑරුම්)  කිස කොට නැමැවිණි. මේ බව පිණිස (=මේ ක්ලේශක්ෂය පිණිස) යලි දු කටයුතු දැයෙක් නැතැ’ යි හේ දනී. අම්බට්ඨය, මේ වූ කලි ඒ විද්‍යාව ය
අම්බට්ඨය,  මේ මහණ තෙමේ විද්‍යායෙන් යැ යි ද, චරණයෙන් යුක්ත යැ යි ද, විද්‍යාචරණයෙන් යුක්ත යැ යි ද කියනු ලැබේ. අම්බට්ඨය, තව ද මේ විද්‍යාසම්පතිනුත් අන්‍ය වූ මෙයට වඩා උසස් වූ හෝ මනෝඥ වූ හෝ අන් විද්‍යාසම්පතෙක් ද චරණසම්පතෙක් ද නැත.
අම්බට්ඨය, මේ නිරුත්තර විද්‍යාචරණසම්පතට විනාශ මුඛ සතරෙක් වෙති. කවර සතරෙක් ද? යත්: අම්බට්ඨය, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ මේ නිරුත්තර විද්‍යාචරණසම්පතට නො පැමිණෙනුයේ, (හෝ වැර වඩා එය ලබන්නට නොසමත් වනුයේ), තවුස් පිරිකර කද ගෙන ‘පවත්තඵලභෝජී වත්තෙමි’ (=වැටුනු ගෙඩි වළඳා දිවි රකින්නෙක් වන්නෙමි) යි සිතා වන පෙදෙසකට බැස ගනී. හෙ තෙමේ ඒකාන්තයෙන් විද්‍යා චරණ දෙකින් යුක්තයක්හුගේ සේවකයෙක් වේ. අම්බට්ඨය, මෙ කී නිරුත්තර විද්‍යාචරණසම්පතට මේ පළමු වන විනාශමුඛය වේ.
අම්බට්ඨය, තව ද මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ නිරුත්තර විද්‍යාචරණසම්පතටත් නො පැමිණෙනුයේ, පවත්තඵලභොජී බවටත් නොපැමිණෙනුයේ, උදැල්ලකුත් පැසකුත් ගෙන ‘අල මුල් ගෙඩි වළඳන්නෙක් වන්නෙමි’ යි සිතා වනපෙදෙසකට බැස ගනී.
හේ ඒකාන්තයෙන් විද්‍යා චරණ දෙකින් යුක්තයාගේ සේවකයෙක් ම වේ. අම්බට්ඨය, මෙ කී නිරුත්තර විද්‍යාචරණසම්පන්නහුගේ මේ දෙවෙනි විනාශමුඛය වේ.
තව ද අම්බට්ඨය, මෙහි කිසි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ නිරුත්තර විද්‍යාචරණසම්පත්තියට ද නො පැමිණෙනුයේ, පවත්තඵලභෝජනයට ද නො පැමිණෙනුයේ, අල මුල් පල බොජුන් කොට ඇති බවට ද නොපැමිණෙනුයේ, ගමක් සමීපයේ හෝ නියම් ගමක් සමීපයේ හෝ ගිනි පුදනා ගෙයක් කොට , ගිනි පුදමින් හිඳී. හේ ඒකාන්තයෙන් විද්‍යාචරණ දෙකින් යුක්තයක්හුගේ සේවකයෙක් ම වේ. අම්බට්ඨය, මේ නිරුත්තර විද්‍යාචරණසම්පත්හුගේ තෙවෙනි විනාශ මුඛය වේ.
තව ද අම්බට්ඨය, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ නිරුත්තර විද්‍යාචරණසම්පතටත් නො පැමිණෙනුයේ, අල මුල් පල බොජුන් කොට ඇති බවට ද නො පැමිණෙනුයේ, ගිනි පිදීමට ද නොබස්නේ, ‘යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ සිවු දිසායෙන් එන්නේ ද, ඔහු මම් හැකි සේ පිළිවන් සේ පුදන්නෙමි’යි සිවුමංහන්දියෙක දොර සතරක් ඇති (සිව්දිගට දොර ඇති.) දන්හලක් කොට හිඳී. හේ ඒකාන්තයෙන් විද්‍යාචරණ දෙකින් යුක්තයක්හුගේ සේවකයෙක් ම වේ. අම්බට්ඨය, මේ විද්‍යාචරණසම්පත්හුගේ සතර වන විනශමුඛය වේ.
අම්බට්ඨය, මොහු මේ විද්‍යාචරණසම්පත්හුගේ සතර විනාශමුඛයෝ වෙත්.
ඒ කිමැයි සිතයි ද අම්බට්ඨය, මේ නිරුත්තරවිද්‍යාචරණසම්පත්හි තෝ සිය ඇදුරා සහිත වැ දක්නා ලැබෙහි
(පෙනෙහි) ද?
“භවත්  ගෞතමයිනි, මෙය නො වේ මය, භවද් ගෞතමයිනි, ඇදුරා සහිත මම් කවරෙකිම් වෙම් ද? නිරුත්තර විද්‍යාචරණසම්පත් කවරේ ද? භවද් ගෞතමයිනි, ඇදුරා සහිත මම විද්‍යාචරණ සම්පත කෙරෙන් දුරින් ම සිටියෙම් වෙමි” යි (අම්බට්ඨයා කීය.)
[භාග්‍යවතුන් වහන්සේ:]“ අම්බට්ඨය, එය කැමැ යි සිතයි ද? තෝ මේ විද්‍යාචරණ සම්පතට නො පැමිණියෙක් වනුයෙහි, තවුස්පිරිකර _කඳ ගෙන, පවත්තඵලභෝජි වන්නෙමි” යි සිය ඇදුරා සහිත වැ වන පෙදෙසකට බට තැනැත්තෙහි වත් වෙහි ද?
[අම්බට්ඨ:]“භවත් ගෞතමයිනි, මේත් නො වේ ම ය.”
[භාග්‍යවතුන් වහන්සේ:]“අම්බට්ඨය, එය කැමැ යි සිතයි ද? ඇදුරා සහිත තෝ මේ විද්‍යාචරණ සම්පතට නො පැමිණියෙක් වනුයෙහි, තවුස්පිරිකර _කඳ ගෙන, පවත්තඵලභෝජි බවට ද නොපැමිණෙන්නෙහි, ‘අල් මුල් පල බොජුන් කොටැත්තෙම්  වන්නෙමි” යි  උදැල්ලකුත් පැසකුත් ගෙන වන පදෙසකට බටුයෙහි හෝ වෙහි ද?
[අම්බට්ඨ:]“භවත් ගෞතමයිනි, මේත් නො වේ ම ය.”
[භාග්‍යවතුන් වහන්සේ:]“අම්බට්ඨය, එය කැමැ යි සිතයි ද? ඇදුරා සහිත තෝ මේ විද්‍යාචරණ සම්පතට නො පැමිණියෙක් වනුයෙහි, තවුස්පිරිකර _කඳ ගෙන, පවත්තඵලභෝජි බවට ද නොපැමිණෙන්නෙහි, ‘අල් මුල් පල බොජුන් කොටැති බවට ද නොපැමිණෙනුයෙහි, ගමක් අසල හෝ නියම් ගමක් අසල හෝ ගිනි පුදනා ගෙයක් කොට ගිනි පුදමින් හෝ ඉඳිනෙහි ද?
[අම්බට්ඨ:]“භවත් ගෞතමයිනි, මේත් නො වේ ම ය.”
[භාග්‍යවතුන් වහන්සේ:]“ අම්බට්ඨය, එය කිමැ යි සිතහි ද? මේ නිරුත්තර විද්‍යාචරණසම්පතටත් නො පැමිණෙන්නෙහි, පවත්ඵලභෝජිත් නො වන්නෙහි, අල මුල් පල බොජුන් කොටැති බවට ද නො පැමිණෙන්නෙහි, ගිනි පිදීම ද නොකරන්නෙහි, සිවුමංහන්දියෙක දොර සතරක් ඇති දන්හලක් කොට මේ සිවු දෙසින් එන තාක් මහණබමුණන් හැකි පරිදි සිළිවන් පරිදි පුදන්නෙමි යි සිතා තෝ ඇදුරා සහිත වැ ඉඳිනෙහි ද?
[අම්බට්ඨ:]“භවත් ගෞතමයිනි, මේත් නො වේ ම ය.”
[භාග්‍යවතුන් වහන්සේ:]“අම්බට්ඨය, ඇදුරා සහිත තෝ මේ නිරුත්තර විද්‍යාචරණසම්පතිනුත් පිරිහුණෙහි ය, මේ නිරුත්තර විද්‍යාචරණසම්පතට විනාශ මුඛ වූ යම් තපශ්චර්‍යා කෙනෙක් වෙත්  නම් එයිනුත් පිරිහුණෙහි ය. එහෙත් අම්බට්ඨය, තගේ ඇදුරු වූ පොක්ඛරසාදී බමුණා විසින් තමා විද්‍යාචරණසම්පතට විනාශමුඛ වූ දහම් පමණකුත් නොපුරන්නකු වැ හිඳ, “බමුණනට මෙහෙකරු වූ, කළු වූ, බඹුහුගේ පයින් උපන්, ගර්හිත මුඬු මහණහු කවුරු ද? එවැන්නන් හා ත්‍රෛවිද්‍යාක බමුණන්ගේ කවර සාකච්ඡා දැ? ” යි මේ වචනය කියන ලද්දේ ම ය. බලව, අම්බට්ඨය, තගේ ආචාර්‍ය වූ පොක්ඛරසාදී බමුණුහු විසින් කොතරම් මහත් වරදෙක් කරන ලද්දේ ද?
අම්බට්ඨය, පොක්ඛරසාදී බමුණු තෙමේ වූ කලි පසේනදී කොසොල් රජුහු විසින් දුන් දෑ බුක්ති විඳී. කොසොල් රජ ඔහුට මුහුණ පෑම ද නො කෙරෙයි. යම් විටෙක ඔහු හා සාකච්ඡා කෙරේ නම් කඩතුරාවෙකින් මුවහ වී හිඳ කථා කෙරෙයි. අම්බට්ඨය, යමකු විසින් තමහට එළැවු දැහැමි බොජුන් (පොක්ඛරසාදි තෙමේ) පිළිගන්නේ නම්, ඒ පසේනදී කොසොල් රජ ඔහුට තමා මුහුණ පවා කෙසේ නම් නො කරන්නේ ද? අම්බට්ඨය, බලව, මේ තගේ ඇදුරු වූ පොක්ඛරසාදී බමුණා විසින් කොතරම් මහත් වරදෙක් කරන ලද ද?
අම්බට්ඨය. එය කිමැ යි සිතන්නෙහි ද? මෙහි පසේනදී කොසොල් රජ තෙමේ ඇතු ගෙල මතුයෙහි හෝ හුන්නේ, අසු පිටැ හෝ හුන්නේ, රිය තුළ ඇතිරිය මතැ හෝ සිටියේ, උසස් මහ ඇමැතියන් හෝ අභිසේක නොලත් රජ දරුවන් හෝ සමඟ කිසි යම් මන්ත්‍රණයක් කරන්නේ නම්, හේ ඒ රජු සිටි තැනින් ඉවත් වැ එක් පසෙක සිටින්නේ ය. එකල්හී ශුද්‍රයෙක් හෝ ශුද්‍රයෙකුගේ දාසයෙක් හෝ එන්නේ නම්, හේ ඒ පෙදෙසෙහි සිටියේ.  ‘පසේනදී කොසොල් රජ මෙසේත් කීයේ ය, පසේනදී කොසොල් රජ මෙසේත් කීයේ යැ’ යි ඒ මන්ත්‍රණය ම කියන්නේ නම්, හේ රජවචනය කියන්නේ ද? රාජමන්ත්‍රණය කරන්නේ ? මෙතෙකින් හේ රජ හෝ රජමහඇමැතියෙක් හෝ වන්නේ ද?
[අම්බට්ඨ:] “භවද්ගෞතමයිනි මෙය නොවේ ම ය”
[භාග්‍යවතුන් වහන්සේ:] “අම්බට්ඨය. එපරිද්දෙන් ම, වෙදකතෘ වූ වේද පැවැත්වූ, බ්‍රාහ්මණයන්ගේ පූර්වපුරුෂ වූ අට්ඨක (ආත්‍රෙය), වාමක, වාමදේව, වෙස්සාමිත්ත (විශ්වමිත්‍ර), යමතග්ගි(ජමදග්නි), අංගිරස, භාරද්වාජ, වාසෙට්ඨ (වාසිට්ඨ), කස්සප(කාශ්‍යප), භඟු(බෘගු) යන සෘෂි කෙනෙක් වුහු ද, යම් කෙනෙකුන් විසින් ගයන ලද (-සජ්ඣායනා කරන ලද), කියවන ලද, රැස් කොට තබන ලද, මේ මන්ත්‍රපද (වේදයයි) මෙ කළ බමුණෝ ඔවුන් අනුවැ ගයත් ද, කියැවු දැය අනුවැ කියවත් ද, ‘ඇදුරාණන් සහිත මම් ඒ වේද හදාරමි’යි යන මෙපමණෙකින් තෝ සෘෂිවරයෙක් හෝ සෘෂි බවට පිළිපන්නෙක් හෝ වන්නෙහි ය යන මේ කාරණය විද්‍යාමාන නොවේ.
අම්බට්ඨය ඒ කැමැයි සිතහි ද? ඒ සෘෂීන් ගැන කියන වෘද්ධ වූ මහලු වූ තගේ ආචාර්‍ය ප්‍රාචාර්‍ය වූ බමුණන්ගේ වචනය තා විසින් කෙසේ නම් අසන ලද ද? වේත කතෘ වූ, වේද පැවැත්වූ, බමුණන්ගේ පූර්වපූරුෂ වූ, අට්ඨක වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගි අංගිරස භාරද්වාජ වාසෙට්ඨ කස්සප භගු යන යම් සෘෂි කෙනෙකුන් විසින් ගයන ලද, රැස් කොට තබන ලද, මේ මන්ත්‍රපද දැන් සිටිනා බමුණෝ ඔවුන් අනුව ගයත් නම්, ඔවුන් අනුව කියත් නම්, ඔවුන් කී වචනය අනුවැ කියත් නම්, කියැවූ වචන ය අනුවැ කියවත් නම් මෙ කල්හී වු ඇදුරු සහිත තා සේ ඒ සෘෂිවරුන් මොනවට නා ගත්තෝ වැ, මොනවට සුවඳ විලෙවුන් පැලැඳ ගත් මිණිකොඩොල් අබරණ ඇත්තෝ වැ, සුදු වස්ත්‍ර හඳින්නෝ වැ පස් කම් සුවෙන් ඇලී යෙදී එහි ඉඳුරන් මෙහෙයවන්නෝ වූහු ද?”
[අම්බට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙය නොවූයෙකි”
 [භාග්‍යවතුන් වහන්සේ:] “දැන් ඇදුරා සහිත තා කරන්නා සේ, ඒ සෘෂිහු අවුලා ඉවත් කළ කළු සහල් ඇති, බොහෝ සූප ඇති, බොහෝ ව්‍යංජන ඇති මසවුළු ඇති, පිරිසිදු හැල් බත් වළඳන්නෝ වූහු ද?
[අම්බට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙය නො වී ය.”
[භාග්‍යවතුන් වහන්සේ:] “දැන් ඇදුරා සහිත තා කරන පරිදි ඔහු ‍වෙළුම් පිටින් බැඳ සිහින් කළ ඉඳ ඇති ස්ත්‍රීන් ලවා මෙහෙ කරවා ගන්නෝ වූහු ද?
[අම්බට්ඨ:] “මේ නො වී ය භවද් ගෞතමයිනි”
[භාග්‍යවතුන් වහන්සේ:] “ දැන් ඇදුරා සහිත තා කරන්නා සේ ඔහු සැරැසු වලග ඇති වෙළෙඹුන් යෙදූ රියවලින්, දික් කැවිටි ලී වලින් එය අදනා සත්නට අනින්නාහු, ඔබ මොබ ගියෝ ද?
[අම්බට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙය නො වී ය.”
[භාග්‍යවතුන් වහන්සේ:] “දැන් ඇදුරා සහිත තා කරන සේ, ඒ සෘෂිහු කැණු අගල් ඇති, තැබූ කණයම් ඇති, උපකාරීකාවන්ගෙන් යුත් නුවරවලැ දික් කඩු ගත් පුරුෂයන් ලවා රකවල් කැරැවූහු ද?”
[අම්බට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙය නො වී ය.”
[භාග්‍යවතුන් වහන්සේ:] “අම්බට්ඨය, මෙසේ ඇදුරා සහිත තෝ සෘෂියෙකුත් නො ම වෙහි ය. සෘෂි බව සඳහා පිළිපන්නෙකුත් නො ම වෙහි ය. අම්බට්ඨය, යමකුට මා කෙරෙහි සැකයෙක් විමතියෙක් වේ නම්, හේ ප්‍රශ්නයෙන් මා විචාරා වා. මම ඔහුගේ ප්‍රශ්න විසැඳීමෙන් ඔහු සැක දුරැ ලන්නෙමි”
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ වෙහෙරින් නික්මැ, සක්මන් මලුවට නැංග සේක. අම්බට්ඨ මාණවක ද වෙහෙරින් නික් මැ සක්මන් මලුවට නැංගේ ය. ඉන් පසු අම්බට්ඨ මාණවක තෙමේ සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ අනුවැ සක්මන් කරනුයේ, භාග්‍යවතුන් වහන්සේ ගේ කයෙහි දෙතිස් මහපුරිෂ්ලකුණු සෙවී ය. අම්බට්ඨ මාණවක තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ කයෙහි බෙහෙවින් දෙකක් හැර දෙතිස් මහ පුරිෂ් ලකුණු දිටී ය. හේ කෞශාවහිත අංගජාතයෙහි ද පුළුල් දිව ඇතිබව් ද යන මහා පුරිෂලක්ෂණ දෙක්හි සැක කෙරෙයි. එයින් සනිටුහනකට නො බසී. ‘මේ තෙමේ පිරිපුන් මහපුරිස්ලකුනු ඇත්තෙකැ’ යි පැහැදීමට නො පැමිණේ.
එකල්හි “මේ අම්බට්ඨ මානවක තෙමේ මා සිරුරෙහි බෙහෙවින් දෙකක් හැර දෙතිස් මහ පුරුස් ලකුණු දැකී ම ය, කොශාවහිත අංගජාතයත් පුළුල් දිවත් යන මහපුරිස් ලකුණු දෙක්හි සැක කෙරෙයි, සනිටුහනට නො බසී. නො පැහැදෙයි. (එබැවින් මොහුට ඒ මහපුරිස් ලකුනු දෙක පෙන්වීම් නම් යෙහෙකැ)” යි භාග්‍යවතුන් වහන්සේට මේ සිත විය.
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ කොශාවහිත අංගජාතය යම්සේ අම්බට්ඨ මාණවකයා දක්නේ ද, එසේ වූ සෘද්ධ්‍යාභිසංස්කාරයක් කළ සේක. එයින් පසුව දිව නිකුත් කොට දෙකන් සිදුරු ස්පර්ශ කල සේක දෙනාස්පුඩු පිරිමැද්ද සේක. සියලු නලල් මඩල දිවෙන් වැසූ සේක.
එවිට ‘ශ්‍රමණ ගෞතම තෙමේ නො අඩු පිරිපුන් දෙතිස් මහ පුරිස්ලකුණින් සමන්විත යැ’යි අම්බට්ඨ මාණවකයාට මේ සිත විය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට “භවද් ගෞතමයෙනි, දැන් අපි යම්හ, අපි බොහෝ කෘත්‍ය ඇත්තමෝ, බොහෝ කටයුතු ඇත්තමෝ වම්හ” යි කී ය.
 “අම්බට්ඨය, යම් ගමනකට තෝ කාලය සිතහි නම්, ඒ ගමන කරන්නැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
ඉක්බිති අම්බට්ඨ මාණවක තෙමෙ වෙළෙඹුන් යෙදූ රියෙක නැඟ නික්මුණේ ය.
ඒ සමයෙහි වූ කලි පොක්ඛරසාදී බමුණු තෙමේ උක්කට්ඨා නුවරින් නික්මැ, අම්බට්ඨ මාණවකයා(ගේ ඊම) බලාපොරොත්තු වනුයේ, මහත් බමුණුමුළුවක් හා සිය අරමෙහි හුන්නේ වෙයි. එ කල්හී අම්බට්ඨ මාණවක තෙමේ සිය අර ම කරා එළැඹියේ ය. රියෙන් යෑ හැකි තාක් රියෙන් ගොස් එයින් බැස, පා ගමන් ඇත්තේ ම පොක්ඛරසාදි බමුණා වෙත එළැඹියේ ය. එළැඹ ඔහු වැඳ පසෙක හිඳ ගත්තේ ය.
පසෙක හුන් අම්බට්ඨ මාණවකයාගෙන් පොක්ඛරසාදි බමුණු තෙමේ “කිමෙක් ද? දරුව අම්බට්ඨය, ඒ භවද්ගෞතමයන් දුටු දෑ?” යි විචාළේ ය.
 “භවතාණනි, ඒ භවද්ගෞතමයන් අපි දුටුම්හ” යි අම්බට්ඨ කී ය.
[පොක්ඛරසාදි:] “කිමෙක් ද ? දරුව අම්බට්ඨය, ඒ භවත් ගෞතමයන්ගේ එසේ ඇත්තාවූ ම ගුණ පිළිබඳ වූ කීර්තිශබ්දයෙක් නැගුණේ ද? අන් පරිද්දෙකින් නොවේ ද? (නැති ගුණ පිළිබඳ හඬෙක් නො නැඟුණේ ද?) භවත ඒ භවද්ගෞතම තෙමේ එබඳුම ද ? අන් සැටි නො වේ ද?”
[අම්බට්ඨ:] “භවතාණනි, ඒ භවද්ගෞතමයන්ගේ එසේ ඇත්තාවූූ ම ගුණ පිළිබඳ වූ කීර්තිඝෝෂයෙක් නැඟිණ. අන් පරිදි වූ (නැති ගුණ පිළිබඳ වූ ඝෝෂ)යෙක් නො වේ. භවතාණෙනි, ඒ භවත්ගෞතම තෙමේ එබඳු ම ය අන් සැටි නො වේ. භවතාණෙනි, ඒ භවද්ගෞතම තෙමේ අඬු නො වූ පිරිපුන් දෙතිස් මහපුරිස්ලකුණින් යුතු වේ.”
[පොක්ඛරසාදි:] “දරුව අම්බට්ඨය. ශ්‍රමණ ගෞතමයන් හා තගේ කිසියම් කතාබහෙක් වී ද?”
[අම්බට්ඨ:] “භවතාණෙනි, ශ්‍රමණ ගෞතමයන් හා මගේ කිසි යම් කතාබහෙක් වී ය”
[පොක්ඛරසාදි:] “අම්බට්ඨය, ශ්‍රමණ ගෞතමයන් හා තගේ ඒ ස්වල්ප කථාසංලාපය කෙසේ වූ එකෙක් ද?”
ඉක්බිති අම්බට්ඨ මාණවකයා භාග්‍යවතුන් වහන්සේ හා යම් පමණ තමාගේ කථාසංලාපයෙක් වී ද ඒ සියල්ල පොක්ඛරසාදී බමුණාට සැළ කළේ ය.
එසේ සැළ කළ කල්හි, පොක්ඛරසාදී තෙමේ අම්බට්ඨ මාණවකයා අමතා, “යහහා, කොළ අප ඊනියා පණ්ඩිතය! යහහා , කොළ අප ඊණිය මහ උගත! යහහා, කොළ අප ඊණියා ත්‍රිවිද්‍යා දතුව! එම්බල, මෙබඳු තා වැනි ඊණියා වැඩ සලසන්නකු කරණ කොට ගෙන(තා වැන්නකු ඇති කල්හි ඇසුරු කරන) මිනාස කාබුන් මරණින් මතු සැප නැති දුර්ගති වූ තමාට අවශග වැ වැටෙන තැන වූ නිරයට පැමිණෙන්නේ ම ය. යම් හෙයකින් ම, අම්බට්ඨය, තෝ මෙසේ ඒ භවද් ගෞතමයනට ගට ගටා කීයෙහි ද, එ හෙයින් ම භවද් ගෞතමයෝ මෙසේ අපටත් සැඟවුණු දෑ මතු කොට ශුද්‍රාදී බව නඟ නඟා මෙසේ කීහ. යහහා, කොළ, අප ඊණීය පණ්ඩිතය! යහහා, කොළ අප ඊණීයා උගත! යහහා, කොළ අප තෙවිදු දතුව! භවත්නි මේ වැනි වැඩ සලසන්නකු කරණ කොට ගෙන මිනිසා කාබුන් මරණින් මතු සැප නැති, දුර්ගති වූ, විනිපාතයක් වූ නිරයට පැමිණෙන්නේ ම යැ!”යි. මේ බස් කී ය. මෙසේ කියා, කිපුණේ, නොසතුටු සිතැත්තේ පයින් පැහැරැ ඔහු බිම පෙරැළී ය. එ කෙණෙහි ම භාග්‍යවතුන් වහන්සේ දක්නට යනු කැමැති ද විය.
එවිටැ ඒ බමුණෝ පොක්ඛරසාදී බමුණට “භවත, අද (දැන්)ශ්‍රමණ ගෞතමයන් දක්නට යන්නට ඉතා නොකල් වෙයි. භවත් පොක්ඛරසාදි තෙමේ හෙට දිනැ ශ්‍රමණ ගෞතමයන් දක්නට එළැඹියැ හැකි වන්නේ යැ” යි කීහ.
ඉක්බිති පොක්ඛරසාදී බමුණු තෙම සිය නිවසෙහි මිහිරි වූ කෑ යුතු බුදිය යුතු දෑ පිළියෙළ කරවා, යනයන්හි නංවා දඬුවැට පහන් දරනු ලබන කල්හී උක්කට්ඨා නුවරින් නික්මුණේ ය. ඉච්ඡානඞ්ගල වන ලැහැබ කරා එළැඹියේ ය. යානයෙන් යා හැකි තාක් දුර යානයෙන් ගොස්, එයින් බැස පයින් ම භාග්‍යවතුන් වහන්සේ කරා එළෑඹීයේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු විය. සතුටට කරුණු වූ සිතැ රැඳවිය යුතු වූ (සිහි කටයුතු වූ) කථාව නිමවා පසෙක හිඳ ගත්තේ ය, පසෙක හුන්නේ ම පොක්ඛරසාදී බමුණු තෙමෙ, “භවද්ගෞතමයිනි, අප අතැවැසි අම්බට්ඨ මාණවකයා මෙහි ආයේ දැ?”යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසී ය.
[භාග්‍යවතුන් වහන්සේ:] “ බමුණ, තා අතැවැසි අම්බට්ඨ මාණවකයා මෙහි ආයේ ම ය.”
[පොක්ඛරසාදි:] “භවද්ගෞතමයිනි, අම්බට්ඨ මාණවකයා හා ඔබේ කිසි කථාසංලාපයක් වූයේ ද?”
[භාග්‍යවතුන් වහන්සේ:] “ බමුණ අම්බට්ඨ මාණවකයා හා මගේ කිසි කථාසංලාපයක් වූයේ ම ය.”
[පොක්ඛරසාදි:] “ භවද්ගෞතමයිනි, අම්බටඨ මාණවකයා හා ඔබගේ කෙබඳු වු කිසි කථාසංලාපයක් වූයේ ද?”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයා හා යම් පමණ කථා සංලාපය වී ද, ඒ සියල්ල පොක්ඛරසාදි බමුණාට වදාළ සේක.
මෙසේ වදාළ කල්හී පොක්ඛරසාදි බමුණු තෙමේ. “භවද්ගෞතමින්, අම්බට්ඨ මාණවකයා ලාමක ය. භවද්ගෞතමයෝ අම්බට්ඨ මාණවකයාට ක්ෂමා කරෙත්වා” යි කී ය.
 “බමුණ, අම්බට්ඨ මාණවක තෙමේ සුවපත් වේ වා යි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
ඉක්බිති පොක්ඛරසාදි බමුනු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි දෙතිස් මහ පුරිස්ලකුණු පිරික්සී ය, පොක්ඛරසාදී බමුණු වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි දෙතිස් මහපුරිස් ලකුණු අතුරෙන් දෙකක් හැර සෙස්ස බෙහෙවින් දීටී ය. හේ කොශාවහිත අංගජාත ලක්ෂණයෙහිත් ප්‍රහූතජිව්හලක්ෂයෙහිත් දැ යි මේ මහපුරිස්ලකුණු දෙක්හි සැක කෙරෙයි, තීරණයකට නො බසී. එ හෙයින් ම නො පැහැදෙයි.
එවිට භාග්‍යවතුන් වහන්සේ. “මේ පොක්ඛරසාදි බමුණු තෙමේ දෙතිස් මහා පුරිස්ලකුණු වලින් දෙකක් හැර සෙස්ස බෙහෙවින් දකී ම ය. කොශාවහිත අංගජාතලක්ෂණයෙහිත්, ප්‍රහූතජිව්හ ලක්ෂණයෙහිත් යන මහා පුරිස් ලකුණු දෙක්හි සැක කෙරෙයි, තීරණයකට නො බසී, නො පැහැදෙයි. (ඒ දෙ ලකුනු මොහුට දක්වන්නෙම් නම් යෙහෙකැ)” යි මේ සිත විය.
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ කොශාවහිත අංගජාතය  පොක්ඛරසාදී බමුණාට පැනෙන සේ වු සෘද්ධ්‍යාභිසංකාරයක් කළ සේක. ඉන් පසු දිව නික්මවා දෙකන් සිදුරු ස්පර්ෂ කරල සේක. පිරිමැද්ද සේක. දෙනාස් පුඬු ස්පර්ශ කල සේක. පිරිමැද්ද සේක. මුළු නලල් තලය ම දිවෙන් වැසූ සේක.
එවිටැ පොක්ඛරසාදී බමුණාට “ශ්‍රමණ ගෞතම තෙමේ අඩු නොවූ පිරිපුන් දෙතිස් මහපුරිස්ලකුණින් සමන්විත යැ”යි මේ සිත විය. හේ  “භවත් ගෞතම තෙමේ බික් සඟන හා අදට මගේ බත ඉවසා වා”යි කී ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් එය ඉවසු සේක.
ඉක්බිති පොක්ඛරසාදී බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවැසීම(සිතින් පැළිගැන්ම) දැන, භාග්‍යවතුන් වහන්සේට “භවද් ගෞතමයිනි, දැන් කල් පැමිණියේ ය, බත පිළියෙල කොට නිමැවිණැ”යි කල් දැන්වීය.
එවිට භාග්‍යවතුන් වහන්සේ (ඒ) පෙරවරුයෙහි සිවුරු හැඳ පෙරෙවැ පාසිව්රු ගෙන බික්සඟන සමඟ පොක්ඛරසාදි බමුණාගේ පිරිවෙස්න(බොජුන් වළදනා තැන) කරා වැඩි සේක. වැඩ, පැණැවුනු අස්නෙහි හුන් සේක. ඉක්බිති පොක්ඛරසාදි බමුනු තෙම මිහිරි වූ කෑයුතු බුදිය යුතු දැයින් සියතින් භාග්‍යවතුන් වහන්සේ සැතප්වීය, මැනවින් පැවරැවී ය. මාණවකයෝ ද බික්සඟන සතැප්වූහ, මැනවින් පැවැරැවූහ.
එයින් පසු පොක්ඛරසාදී බමුණහුට භාග්‍යවතුන් වහන්සේ දානකථා, ශීලකථා, සවර්ගකථා, කාමාදීනව, කාමයන්ගේ ලාමක බව, කාමයන්ගේ කෙලෙසීම, නෙක්ඛම්මයෙහි(කාමයන්ගෙන් නික්මුනුබව්හි)අනුසස් පැවැසූ සේක. භාග්‍යවතුන් වහන්සේ යම් විටෙක පොක්ඛරසාදි බමුණුහු(ඒ බණ ඇසීමෙන්)නිරෝග සිතැති වූවහු, මොළොක් සිතැති වූවහු, නීවරණ කෙරෙන් පහ වූ සිතැත්තහු ඔද වැඩී ගිය සිතැත්තහු, පහන් සිතැත්තහු, දත් සේක් ද, එ කල්හී, දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන බුදුවරුන්ගේ යම් සාමුත්කර්ෂක ධර්මදේශනාවෙක් වේ නම් එය පැවැසූ සේක.
යම්සේ පහ වූ කළුබව ඇති , පිරිසිදු වතෙක් මොනවට රජන්(පඬු) උරා ගන්නේ ද, එසේ ම පොක්ඛරසාදී බමුණාට එ අස්නෙහි ම ‘යමෙක් උපදනා සුලු නම් ඒ සියල්ල  නැසෙන සුලු ය’ යි කෙලෙස් රජස් නැති. පහ වූ කෙලෙස් මල ඇති. දහ් ඇස පහළ විය.
ඉක්බිති පොක්ඛරසාදි බමුණු තෙමේ දුටු ආර්‍යසත්‍යය ධර්ම ඇත්තේ, ලැබූ අර්‍යසත්‍යාවබෝධය ඇත්තේ, දැන ගත් ආර්‍යසත්‍ය ධර්ම ඇත්තේ, බැසගත් ආර්‍යසත්‍ය ධර්ම ඇත්තේ, ඉක්මැවූ සැකක ඇත්තේ, පහ වු සැක ඇත්තේ, බුදු සස්නැ විසාරද බවට පැමිණීයේ, තමාම පසක් කළ බැවින් හැදෑහිය යුතු අනෙකක්හු නැත්තේ, භාග්‍යවතුන් වහන්සේට මෙය කීය:
 “භවද්ගෞතමයිනි, අභිකාන්ත ය,(විසෙසින් සිත්කලුය) භවද් ගෞතමයිනි, අභිකාන්තය, භවද්ගෞතමයිනි, මුනින් නමා තුබු දැයක් උඩුකුරු කරන්නේ යම්සේ ද, වැසුණු දෙයක් විවෘත කරනුයේ යම්සේ ද, මං මූළා වූවකුට මඟ කියන්නේ යම්සේ ද, ඇස් ඇත්තෝ රූප දක්නාහ යි සිතා තෙල් පහනක් දල්වන්නේ යම් සේද, එසේ ම භවද් ගෞතමයන් විසින්, නොයෙක් කරුණින් ධර්මය පැවැසිණි, භවද් ගෞතමයිනි, ඒ මම භාර්‍යාව සහිත වැ, පිරිස් සහිතැ ව, මෙහෙකරුවන් සහිත වැ, භවද්ගෞතමයන් ද ධර්මය ද, බික්ෂුසංඝයා ද සරණ යෙමි. අද පටන් දිවි හිමි කොට සරණ ගිය උවසකු කොට භවද් ගෞතම තෙමේ මා සලකා වා. යම්සේ භවද් ගෞතම තෙමේ උක්කට්ඨා නුවරෙහි අන් උපාසක කුලයන් කරා එළැඹේ ද, එසේ ම පොක්ඛරසාදී කුලයට ද එළැඹේවා, එහි යම් මාණවක කෙනෙක් හෝ මාණවිකා කෙනෙක් හෝ භවද් ගෞතමයන් ආදරයෙන් වඳින්නෝ ද, දැක හුනස්නෙන් නැගී සිටින්නෝ ද, අසුන් හෝ දිය හෝ දෙන්නෝ ද, සිත හෝ පහදවන්නෝ ද, එය ඔවුනට දික් කලක් වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.”
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ, “බ්‍රාහ්මණය, මනා දැයෙක් තොප කී සේ මැනැවැ” යි වදාළ සේක.
                                                                                                                                                                    අම්බට්ඨ සුත්‍රය නිමියේ ය.
1-4සෝණදණ්ඩ සූත‍්‍රය
 
1.මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුන් පන්සියක් පමණ වූ මහත් පැවිදිමුළුවක් හා අංග රටෙහි සැරිසරන සේක්. චම්පා  නුවරට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි ඒ චම්පා නුවර සමීපයෙහි ගර්ගරා පොකුණු තෙරැ වසන සේක.
ඒ  සමයෙහි සොණදණ්ඩ බමුණු තෙමේ බහුජනාකිර්ණ වු  තණ දඬුදිය සුලභ වු,  බොහෝ ධන ධාන්‍ය ඇති, රජුහූගෙන් ලත් නින්දගම් වු (රාජ ස්වරූපයෙන් පරිභෝග කටයුතු වු) මගධ රටට අධිපති සේනීය බිම්බිසාර රජු විසින් දුන් රාජදායාද්‍යය වු,  ශ්‍රේෂ්ඨ ත්‍යාගය වු චම්පා නුවරැ වෙසෙයි.
 
2.චම්පානුවරැ වැසි බමුණු ගැහැවියෝ (රටෙහි පැතිරැ පැවැති) මතු දැක්වෙන කථාව ඇසූහ:  ‘‘ භවත්නි, ශාක්‍යපුත‍්‍ර වු,  ශාක්‍යකුලයෙන් නික්මැ පැවිදි වු,  ශ‍්‍රමණ ගෞතම තෙමේ වු කලි භික්‍ෂුන් පන්සියක් පමණ වු මහපැවිදිමුළුවක් හා අඟුරට  සැරි සරනුයේ,  චම්පාවට පැමිණියේ, ඒ අසලැ ගර්ගරා පොකුණු තෙරැ වෙසෙයි.    ඒ  භගවත් තෙමේ මේ මේ කරුණින් අර්හත්ය, සම්‍යක්සම්බුද්ධ ය, විජ්ජාචරණසම්පන්නය, සුගත ය,  ලොකවිත්ය, නිරුතතර පුරුෂදම්‍යසාරථි ය,  දෙව්මිනිසුනට ශාස්තෘ ය,  බුද්ධ ය, භගවත් ය,  හේ  දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලොව, මහණබමුණන් සහිත දෙව් මිනිසුන් සහිත මේ සත්ත්වවර්ගයා, තමා ම සිය විශිෂ්ඨ නුවණින් දැන පසක් කොට ලොවට දන්වයි.  ආදිකළ්‍යාණ මධ්‍යකල්‍යාණ පර්යවසානකල්‍යාණ වු (සතිපට්ඨානාදි)  මනා අර්ථ ඇති,  මනා (සම්පුර්ණ) ව්‍යංජන ඇති, සර්වාකාර පරිපූර්ණ,  පිරිසිදු දහමක් දෙසයි,  එසේ දෙසනුයේ ද,  සියලු සසුන්බඹසර පවසයි,  එබඳු රහතුන් දැකිම වු කලි හිත වැඩ ගෙනැ දෙන්නෙකැ’යි ඒ භවද් ගෞතමයන් වහන්සේ පිළිබද මෙසේ උතුම් වු කීර්තිශබ්දයෙක් උස් වැ නැංගේ ය” යනු යි.
 
3.ඉක්බිති චම්පාපුර වැසි බමුණෝත් ගැහැටියෝත් චම්පා යෙන් නික්මැ බොහෝ බෝහෝ වැ රැස් වුවෝ,  එකි එකී පැත්තෙහි මුළු මුළු වැ නුවරින් පිටතැ දී මහ මුළුවෙක් වැ එකතුවුවෝ, ගර්ගරා පොකුණ අතට යෙති.
 
4.ඒ සමයෙහි සොණදණ්ඩ බමුණු තෙමේ තමා පහයැ උඩු මහලෙහි දවයහනට පැමිණියේ වෙයි.  හේ (කවළියෙන් බලනුයේ) චම්පායෙන් නික්මැ බොහෝ බොහෝ වී රැස් වැ එක් එක් පසැ මුළු මුළු ව, නුවරින් පිටතැ දී මහ මුළුවක් වැ එකතු වැ ගර්ගරා පොකුණ අතට යන චම්පා වාසී බමුණන් ද ගැහැටියන් දැක්කේය.   දැක ක්ෂත්තාහු  බණවා ‘‘භවත් ක්ෂත්තෘව, කවර හෙයින් චම්පාවාසී බමුණෝත් ගැහැටියෝත් චම්පායෙන් නික්මැ බොහො බොහෝ වී රැස් වැ එකි එකී පසැ මුළු මුළු වැ නුවරින් පිටතැ දී මහ මුළුවෙක් වැ එකතු වැ ගර්ගරා  පොකුණ කරා යෙත් ද?” යි විචාළේ ය.
‘‘භවත කාරණයෙක් ඇත: ශාක්‍යපුත‍්‍ර වු, ශාකකුලයෙන් නික්මැ පැවිදි වු ශ‍්‍රමණ ගෞතම තෙමේ අංග රටැ සැරි සරනුයේ භික්ෂුන් පන්සීයක් පමණ වු මහත් මහණමුළුවක් හා චම්පාවට පැමිණියේ, චම්පා පුර සමීපයේ වු ගර්ගරා නම් පොකුණ අද්දරැ වෙසෙයි, ඒ භගවත් තෙමේ මේ මේ කරුණින් අර්හත් ය, සම්‍යක්සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගත ය, ලොකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථි ය, දෙව්මිනිසුනට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැයි මෙසේ ඒ භවද් ගෞතමයා පිළිබද හටගත්තා  වු ගුණඝොෂයෙක් උස් වැ නැංගේ ය.  මොහු ඒ භවත්ගෞතමයා දක්නා පිණිස එහි යෙත්, යැ යි ක්ෂත්තෘ තෙම කී ය.
 
5.‘‘භවත් ක්ෂත්තෘව,  එසේ වී නම්, ඒ චම්පාවාසී බමණු ගැහැටියන් වෙත එළැඹ ඔවුනට  භවත්හු (මොහොතක්) බලා පොරොත්තු වෙත්වා” සොණදණ්ඩ බමුණාත් ශ‍්‍රමණ ගෞතමයන් දක්නට එහි යන්නේයැ’යි සැළ කරව”යි කී ය. එසේ ය භවතැ’යි කියා  ක්ෂ්ත්තෘ තෙමේ සොණදණ්ඩ බමුණාට පිළිවදන් දී, චම්පාවාසී ඒ බමුණු ගැහැටියන් කරා එළැඹ  ‘‘භවත්නි භවත්හු බලා පොරාත්තු වෙත් වා. සොණදණ්ඩ බමුණු ද ශ‍්‍රමණ ගෞතමයා දක්නට එහි යන්නේ” යැයි දැන්වීය.
 
6.එ සමයෙහි වනාහි නොයෙන් විදෙසින් පැමිණි පන්සියක් පමණ බමුණෝ කිසි කටයුත්තක් පිණිස චම්පා නුවරැ වෙසෙත්. ඒ බමුණෝ  ‘සොණදණ්ඩ බමුණා මහණ ගොයුම්හු දක්නට යෙත් ලු’යි ඇසුහ. ඉක්බිති ඔහු සොණදණ්ඩ බමුණා කරා ගියහ.  ගොස්  භවත් සොණදණ්ඩ තෙමේ මහණ ගොයුමන් දක්නට යන්නේ ල යනු සැබෑදැ” යි විචාළහ.
‘‘භවත්නි  (සැබෑ ය) ‘මමත් මහණ ගොයුමන් දක්නට යන්නෙමි’යි මට මෙසේ සිතෙක් වේ”යැ යි  සොණදණ්ඩ තෙමේ කීය.
 
7.ඒ බස් අසා ඔහු කියන්නෝ, ‘‘ භවත් සොණදණ්ඩ තෙමේ මහණ ගොයුමන් දක්නට නො යේ වා. භවත් සොණදණ්ඩ තෙමේ මහණ ගොයුමන් දක්නට නො නිසි වේ.  ඉදින් භවත් සණදණ්ඩ තෙමේ මහණ ගොයුමන් දක්නට යන්නේ නම්, භවත් සොණදණ්ඩයාගේ යශස් පිරිහෙන්නේ ය, මහණ ගොයුමන්ගේ යශස් වැඩෙන්නේය. ‘භවත් සොණදණ්ඩයාගේ යශස් පිරිහෙන්නේ ය,  මහණ ගොයුමන්ගේ යශස් වැඩෙන්නේය,  යන යමෙක් ඇද්ද මේ කරුණින් භවත් සොණදණ්ඩ තෙමේ මහණ ගොයුමන් දක්නා පිණිස එහි යන්නට නො නිසි ය.  මහණ ගොයුමාණන් ම භවත් සොණදණ්ඩයන් දකින්නට එනු නිසිය.
‘භවත් සොණදණ්ඩ තෙමේ මවුපසින් ද පියපසින් ද යන දෙපසින් මැ අභිජාත ය.  සත්වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇත්යේය. ජාතිවාදයෙන් ඉවත නො හෙළන ලද්දේය.   නො ගරහන ලද්දේ ය. භවත් සෝණදණ්ඩ තෙමේ මව් පිය දෙපසින් ම අභිජාත ය, ජාතිවාදයෙක් නොහෙළන ලද්දේ ය. නො ගරහන ලද්දේ ය යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් භවත් සොණදණ්ඩ තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම භවත් සොණදණ්ඩයා දක්නට එනු වටී.
තවද භවත් සොණදණ්ඩ තෙමේ වු කලි ආඪ්‍ය ය,  මහත් ධන ඇත්තේ ය, මහද්භෝග ඇත්තේ ය. භවත් සොණදණ්ඩ තෙමේ වූ කලි අඩ්‍ය ය, මහත් ධඇත්තේ ය, මහද්භෝග ඇත්තේ ය, යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් භවත් සොණදණ්ඩ තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම භවත් සොණදණ්ඩයා දක්නට එනු වටී.
භවත් සොණදණ්ඩ තෙමේ වු කලි වේද හදාරන්නෙක. වෙදයන් සිතැ ලා දරන්නෙක. නිඝණ්ටු කෛටහශාස්ත‍්‍ර සහිත, අඏරප‍්‍රභෙද (ශික්ෂා හා නිරුක්ති) සහිත” ඉතිහාසය පස්වනු කොටැති ති‍්‍රවෙදයන් ගේ පරතෙර පැමිණියෙක,  පදපාඨ දන්නෙක,  එයින් අන්‍ය සියලු ව්‍යාකරණ විධි ද දන්නෙක.  ලොකායන ශාස්ත‍්‍රයෙහිත් මහාපුරුෂ ලක්ෂණශාස්ත‍්‍රයෙහිත් නිපුණයෙක. භවත් සොණදණ්ඩ තෙමේ වු කලි වේද හදාරන්නෙක. වෙදයන් සිතැ ලා දරන්නෙක. නිඝණ්ටු කෛටහශාස්ත‍්‍ර සහිත, අඏරප‍්‍රභෙද (ශික්ෂා හා නිරුක්ති) සහිත” ඉතිහාසය පස්වනු කොටැති ති‍්‍රවෙදයන් ගේ පරතෙර පැමිණියෙක,  පදපාඨ දන්නෙක,  එයින් අන්‍ය සියලු ව්‍යාකරණ විධි ද දන්නෙක.  ලොකායන ශාස්ත‍්‍රයෙහිත් මහාපුරුෂ ලක්ෂණශාස්ත‍්‍රයෙහිත් නිපුණයෙක යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් භවත් සොණදණ්ඩ තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම භවත් සොණදණ්ඩයා දක්නට එනු වටී.
භවත් සොණදණ්ඩ තෙමේ වු කලි විශිෂ්ඨ රූපශොභා ඇත්තෙක,  දකුම් කටයුතු ය, ප‍්‍රසාද එළවන සුලු ය, උතුම් වර්ණසෞණ්දර්ය්‍යයෙන් සමන්විත ය, උතුම් රන්වන් පැහැත්තෙක,  උතුම් ශරීරප‍්‍රභා ඇත්තෙක.  (ආරොහපරිණාහසම්පත්තියෙන් ද අවයවයන්ගේ පරිපුණත්වයෙන් ද)  සිරුරෙහි දැක්මට නොමඳ වු අවකාශ ඇත්තෙක.  භවත් සොණදණ්ඩ තෙමේ වු කලි විශිෂ්ඨ රූපශොභා ඇත්තෙක,  දකුම් කටයුතු ය, ප‍්‍රසාද එළවන සුලු ය, උතුම් වර්ණසෞණ්දර්ය්‍යයෙන් සමන්විත ය, උතුම් රන්වන් පැහැත්තෙක,  උතුම් ශරීරප‍්‍රභා ඇත්තෙක.  (ආරොහපරිණාහසම්පත්තියෙන් ද අවයවයන්ගේ පරිපුණත්වයෙන් ද)  සිරුරෙහි දැක්මට නොමඳ වු අවකාශ ඇත්තෙක. යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් භවත් සොණදණ්ඩ තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම භවත් සොණදණ්ඩයා දක්නට එනු වටී.
භවත් සොණදණ්ඩ තෙමේ සිල්වත් ය, වැඩුණු සිල් ඇත්තේ ය,  වැඩුණු ශීලයෙන් යුක්ත ය. භවත් සොණදණ්ඩ තෙමේ සිල්වත් ය, වැඩුණු සිල් ඇත්තේ ය,  වැඩුණු ශීලයෙන් යුක්ත ය, යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් භවත් සොණදණ්ඩ තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී. මහණ ගොයුමන් ම භවත් සොණදණ්ඩයා දක්නට එනු වටී.
භවත් සොණදණ්ඩ තෙමේ කලණ තෙපුල් ඇත්තේ,  කලණ මිහිරි බස් කියන්නේ,  නිදොස් වු කෙලතොලු නොවු, කී අරුත අඟවනු සමත් සිලිටි බසින් සමන්විත ය.  භවත් සොණදණ්ඩ තෙමේ කලණ තෙපුල් ඇත්තේ,  කලණ මිහිරි බස් කියන්නේ,  නිදොස් වු කෙලතොලු නොවු, කී අරුත අඟවනු සමත් සිලිටි බසින් සමන්විත ය.යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් භවත් සොණදණ්ඩ තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම භවත් සොණදණ්ඩයා දක්නට එනු වටී.
භවත් සොණදණ්ඩ තෙමේ බොහෝ දෙනාට ආචාර්‍ය් ද, ප්‍රාචාර්‍ය ද වුයේ,  තුන්සියක් මාණවකයනට වෙදයන් කියවයි.  වෙදයන් ප‍්‍රයොජන කොටැති, වෙද හදාරනු කැමැති බොහෝ මාණවකයෝ නන් දෙසින් නන්රටින් භවත් සොණදණ්ඩ වෙත එත්.  භවත් සොණදණ්ඩ තෙමේ බොහෝ දෙනාට ආචාර්‍ය් ද, ප්‍රාචාර්‍ය ද වුයේ,  තුන්සියක් මාණවකයනට වෙදයන් කියවයි.  වෙදයන් ප‍්‍රයොජන කොටැති, වෙද හදාරනු කැමැති බොහෝ මාණවකයෝ නන් දෙසින් නන්රටින් භවත් සොණදණ්ඩ වෙත එත්. යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් භවත් සොණදණ්ඩ තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම භවත් සොණදණ්ඩයා දක්නට එනු වටී.
භවත් සොණදණ්ඩ තෙමේ වු කලි ජරාජීර්ණ ය,  වයොවෘද්ධ ය, මහලු ය,  බොහෝ කල් ඉක්මැවුයෙක, පැසිම් වයසට පැමිණියෙක, මහණ ගොවුම් තෙමේ තරුණ ද වේ.  තරුණ පැවිද්දෙක් ද වේ.  භවත් සොණදණ්ඩ තෙමේ වු කලි ජරාජීර්ණ ය,  වයොවෘද්ධ ය, මහලු ය,  බොහෝ කල් ඉක්මැවුයෙක, පැසිම් වයසට පැමිණියෙක, මහණ ගොවුම් තෙමේ තරුණ ද වේ.  තරුණ පැවිද්දෙක් ද වේ.යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් භවත් සොණදණ්ඩ තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම භවත් සොණදණ්ඩයා දක්නට එනු වටී.
භවත් සොණදණ්ඩ තෙමේ වු කලි මගධාධිපති සෙනිය බිම්බිසාර රජහු විසින් සත්කාර කරන ලද්දෙක, ගුරුකාර කරන ලද්දෙක, බුහුමන් කරන ලද්දෙක,  පුදන ලද්දෙක, යටත් පැවැතුම් දක්වන ලද්දෙක.  භවත් සොණදණ්ඩ තෙමේ වු කලි මගධාධිපති සෙනිය බිම්බිසාර රජහු විසින් සත්කාර කරන ලද්දෙක, ගුරුකාර කරන ලද්දෙක, බුහුමන් කරන ලද්දෙක,  පුදන ලද්දෙක, යටත් පැවැතුම් දක්වන ලද්දෙක.යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් භවත් සොණදණ්ඩ තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම භවත් සොණදණ්ඩයා දක්නට එනු වටී.
භවත් සොණදණ්ඩ තෙමේ වු කලි පොකුරුසැත් බමුණා විසින් සත්කෘත ද ගුරුකෘත ද මාතීත ද පුජිත ද අපචිත ද වේ.  භවත් සොණදණ්ඩ තෙමේ වු කලි පොකුරුසැත් බමුණා විසින් සත්කෘත ද ගුරුකෘත ද මාතීත ද පුජිත ද අපචිත ද වේ. යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් භවත් සොණදණ්ඩ තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම භවත් සොණදණ්ඩයා දක්නට එනු වටී.
භවත් සොණදණ්ඩ තෙමේ වු කලි බහුජනාකීර්ණ තණ දඬු දිය යන මෙයින් යුක්ත, බොහෝ ධාන්‍ය ඇති, රජුගෙන් ලත් ස්වකීය පරිභෝග වස්තු වු, රජුගේ දායාද්‍යය වු, සෙනිය බිම්බිසාර මහරජුහු දුන් ශ්‍රෙෂ්ඨ ත්‍යාගය වු චම්පානුවරට අධිපති වැ වෙසෙයි.  භවත් සොණදණ්ඩ තෙමේ වු කලි බහුජනාකීර්ණ තණ දඬු දිය යන මෙයින් යුක්ත, බොහෝ ධාන්‍ය ඇති, රජුගෙන් ලත් ස්වකීය පරිභෝග වස්තු වු, රජුගේ දායාද්‍යය වු, සෙනිය බිම්බිසාර මහරජුහු දුන් ශ්‍රෙෂ්ඨ ත්‍යාගය වු චම්පානුවරට අධිපති වැ වෙසෙයි. යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් භවත් සොණදණ්ඩ තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම භවත් සොණදණ්ඩයා දක්නට එනු වටී.
භවත් සොණදණ්ඩ තෙමේ බහුජනාකීර්ණ චම්පානුවරට අධිපති වැ වෙසේ යි. භවත් සොණදණ්ඩ තෙමේ බහුජනාකීර්ණ චම්පානුවරට අධිපති වැ වෙසේ ය යන යම් කරුණෙක් ඇද්ද, මේ කරුණිනුත් භවත් සොණදණ්ඩ තෙමේ මහණ ගොයුම්හු දක්නට යනු නොනිසි ය.  මහණ ගොයුම් තෙමේ ම භවත් සොණදණ්ඩයා දක්නට එනු සුදුසු යැ”යි කීහ.
 
8.මෙසේ කී කල්හි සොණදණ්ඩ බමුණු තෙමේ ඒ බමුණනට කියනුයේ, භවත්නි,  එසේ වී නම් ඒ භවද්ගෞතමයන් අප දක්නට ඊම නොවැ අප ම ඔබ දක්නට යනු සුදුසු බවට මා කියන බස් ද අසවු: ‘භවත්නි, මහණ ගොයුම්හු වු කලි මවුපසින් ද පියපසින් ද යන දෙපසින් මැ අභිජාතයහ, සත් වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇත්තෝ ය.  ජාතිවාදයෙන් නො හෙළන ලද්දෝ ය, නො ගරහන ලද්දේය.
‘මහණ ගොයුම්හු මවුපසින් ද පියපසින් ද යන දෙපසින් මැ අභිජාත ය.  සත්වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇත්යේය. ජාතිවාදයෙන් ඉවත නො හෙළන ලද්දේය.   නො ගරහන ලද්දේ ය.’ යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි, මහණ ගොයුම්හු වු කලි මහත් නෑමුළුව පියා පැවිදි වුවෝ ය. භවත්නි, මහණ ගොයුම්හු වු කලි පොළොව යට ද පොළොව මත්තෙහි ද වු මහත් හිරණ්‍යස්වර්ණ, හැරැ පියා පැවිදි වුවෝ ය යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.භවත්නි,  මහණ ගොයුම්හු වු කලි සොඳුරු යොවුනෙන්, (තුන් වයසින්) පළමු වයසින් යුත් වුවෝ ම,  තරුණ වුවෝ ම, මනා කළු කෙහෙ ඇති වැ යොවුන් වියෙහි සිටියෝ ම ගිහි ගෙන් නික්මැ පැවිදි බිමට වන්නෝ ය. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි, මහණ ගොයුම්හු වු කලි මවුපියන් ඔබ පැවිදි වනුවට නොකැමැති වැ කඳුළු පිරුණු මුහුනු ඇති වැ හඩද්දී එය නොතකා කෙහෙ රවළු බා දමා කසා වත් හැඳ ගිහි ගෙන් නික්මැ පැවිද්දට වන්නෝ ය.  භවත්නි, මහණ ගොයුම්හු වු කලි මවුපියන් ඔබ පැවිදි වනුවට නොකැමැති වැ කඳුළු පිරුණු මුහුනු ඇති වැ හඩද්දී එය නොතකා කෙහෙ රවළු බා දමා කසා වත් හැඳ ගිහි ගෙන් නික්මැ පැවිද්දට වන්නෝ ය.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි,  මහණ ගොයුම්හු වු කලි විශිෂ්ථ රූප සම්පත් ඇත්තෝ ය, දැකුම් කටයුතු ය,  ප‍්‍රසාදජනක හ,  උතුම් වර්ණසෞන්දර්ය්‍යයෙන් සමන්විත හ, බඹහු සේ උතුම් රන් පැහැ ඇත්තෝ ය, උත්තම ශරීරප‍්‍රභා ඇත්තෝ ය, සිය සිරුරෙහි දැක්මට නොමද’ වු අවකාශ ඇත්තෝ ය. භවත්නි,  මහණ ගොයුම්හු වු කලි විශිෂ්ථ රූප සම්පත් ඇත්තෝ ය, දැකුම් කටයුතු ය,  ප‍්‍රසාදජනක හ,  උතුම් වර්ණසෞන්දර්ය්‍යයෙන් සමන්විත හ, බඹහු සේ උතුම් රන් පැහැ ඇත්තෝ ය, උත්තම ශරීරප‍්‍රභා ඇත්තෝ ය, සිය සිරුරෙහි දැක්මට නොමද’ වු අවකාශ ඇත්තෝ ය.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි, මහණ ගොයුම්හු වු කලි සිල්වත් හ, පිරිසිදු  සිල් ඇත්තෝ ය, නිදොස් සිල් ඇත්තෝ ය, නිදොස් ශිලයෙන් සමන්විත හ. භවත්නි, මහණ ගොයුම්හු වු කලි සිල්වත් හ, පිරිසිදු  සිල් ඇත්තෝ ය, නිදොස් සිල් ඇත්තෝ ය, නිදොස් ශිලයෙන් සමන්විත හ.  යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
මහණ ගොයුම්හු වු කලි කලණ තෙපුල් ඇත්තෝ ය,  කලණ මිහිරි බස් කියන්නෝ ය,  නිදොස් වු,  කෙලතොලු නොවු,  කී අරුත හඟවනු සමත් සිලිටි බසින් සමන්විතයෝ ය. මහණ ගොයුම්හු වු කලි කලණ තෙපුල් ඇත්තෝ ය,  කලණ මිහිරි බස් කියන්නෝ ය,  නිදොස් වු,  කෙලතොලු නොවු,  කී අරුත හඟවනු සමත් සිලිටි බසින් සමන්විතයෝ ය. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි, මහණ ගොයුම්හු වු කලි බොහෝ දෙනාට ආචාර්‍ය ද ප‍්‍රාචාර්‍ය ද වෙති. භවත්නි, මහණ ගොයුම්හු වු කලි බොහෝ දෙනාට ආචාර්‍ය ද ප‍්‍රාචාර්‍ය ද වෙති.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි,  මහණ ගොයුම්හු වු කලි පහ වු කාමරාග ඇත්තෝ ය, පහ වු චපල බව ඇත්තෝ ය. භවත්නි,  මහණ ගොයුම්හු වු කලි පහ වු කාමරාග ඇත්තෝ ය, පහ වු චපල බව ඇත්තෝ ය.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි,  මහණ ගොයුම්හු වු කලි කර්මවාදි ද ක‍්‍රියාවාදි ද වෙති.  ලොවුතුරා දහම් පුරඃසර කොට පවතිති.  සැරියුත් මුගලන් ඈ බමුණු පිරිසට නායක වැ හැදිරෙති (නොහොත් තමනට විරුද්ධ වු බමුණු පිරිසට පවා අහිතක් නොසිතා හිත සුව ම පතන්නෝ හැසිරෙති). භවත්නි,  මහණ ගොයුම්හු වු කලි කර්මවාදි ද ක‍්‍රියාවාදි ද වෙති.  ලොවුතුරා දහම් පුරඃසර කොට පවතිති.  සැරියුත් මුගලන් ඈ බමුණු පිරිසට නායක වැ හැදිරෙති (නොහොත් තමනට විරුද්ධ වු බමුණු පිරිසට පවා අහිතක් නොසිතා හිත සුව ම පතන්නෝ හැසිරෙති).  යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි, මහණ ගොයුම්හු වු කලි අමිශ‍්‍ර (පිරිසිදු) කැත්කුලය වු උසස් කුලයෙන් නික්මැ පැවිදි වුවෝ ය. භවත්නි, මහණ ගොයුම්හු වු කලි අමිශ‍්‍ර (පිරිසිදු) කැත්කුලය වු උසස් කුලයෙන් නික්මැ පැවිදි වුවෝ ය.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි, මහණ ගොයුම්හු වු කලි මහත් ධන ඇති මහත් භොග ඇති සමෘද්ධ කුලයෙන් නික් මැ පැවිදි වුවෝ ය. භවත්නි, මහණ ගොයුම්හු වු කලි මහත් ධන ඇති මහත් භොග ඇති සමෘද්ධ කුලයෙන් නික් මැ පැවිදි වුවෝ ය.  යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.භවත්නි, මහණ ගොයුමන් කරා පිට රටින් පිට දනවුයෙන් පැණ පුළුවුස්නට එති. මහණ ගොයුමන් කරා පිට රටින් පිට දනවුයෙන් පැණ පුළුවුස්නට එති යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි, නොයෙක් දහස් ගණන් දෙවියෝ මහන ගෙයුමන් දිවිහිමියෙන් සරණ ගියහ. භවත්නි, නොයෙක් දහස් ගණන් දෙවියෝ මහන ගෙයුමන් දිවිහිමියෙන් සරණ ගියහ. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි, මේ මේ කරුණින් ඒ භගවත් තෙමේ අර්හත් ය,  සම්‍යක්සම්බුද්ධ ය,  විජ්ජාචරණසම්පන්න ය, සුගතය, ලොකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථි ය, දෙව්මිනිසුන්ට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ’ යි මහණ ගොයුමාණන් පිළිබඳ වැ මෙසේ වු යහපත් ගුණඝොෂයෙක් ඉතා උස් වැ නැංගේ ය. භවත්නි, මේ මේ කරුණින් ඒ භගවත් තෙමේ අර්හත් ය,  සම්‍යක්සම්බුද්ධ ය,  විජ්ජාචරණසම්පන්න ය, සුගතය, ලොකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථි ය, දෙව්මිනිසුන්ට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ’ යි මහණ ගොයුමාණන් පිළිබඳ වැ මෙසේ වු යහපත් ගුණඝොෂයෙක් ඉතා උස් වැ නැංගේ ය.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි, මහණ ගොයුම්හු වු කලි දෙතිස් මහපුරිස්ලකුණුවලින් සමන්විත හ. භවත්නි, මහණ ගොයුම්හු වු කලි දෙතිස් මහපුරිස්ලකුණුවලින් සමන්විත හ. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි,  මහණ ගොයුම්හු වු කලි තමන් වෙත පැමිණෙන්නවුන් එන්න, මෙහි ආ සේ මැනැවැ’ යි කියා පිළිගන්නා සුලු හ, කනට සුව එළවන තෙපුල් බණන්නෝ ය,  පිළිසද’රෙහි දක්ෂ හ, බැම නො හකුළුවන්නෝ ය, සුලභ කථා ඇත්තෝ ය,  පැමිණියවුනට තුමු පළමුයෙන් කථා කරන සුලු හ. භවත්නි,  මහණ ගොයුම්හු වු කලි තමන් වෙත පැමිණෙන්නවුන් එන්න, මෙහි ආ සේ මැනැවැ’ යි කියා පිළිගන්නා සුලු හ, කනට සුව එළවන තෙපුල් බණන්නෝ ය,  පිළිසද’රෙහි දක්ෂ හ, බැම නො හකුළුවන්නෝ ය, සුලභ කථා ඇත්තෝ ය,  පැමිණියවුනට තුමු පළමුයෙන් කථා කරන සුලු හ.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි,  මහණ ගොයුම්හු වු කලි (මහණ මෙහෙණි උවසු උවැසි යන) සිවු පිරිස් විසින් සත්කාර කරන ලදුහ, ගුරුකාර කරන ලදු හ,  බුහුමන් කරන ලදුහ,  යටත් පැවැතුම් දක්වන ලදුහ. භවත්නි,  මහණ ගොයුම්හු වු කලි (මහණ මෙහෙණි උවසු උවැසි යන) සිවු පිරිස් විසින් සත්කාර කරන ලදුහ, ගුරුකාර කරන ලදු හ,  බුහුමන් කරන ලදුහ,  යටත් පැවැතුම් දක්වන ලදුහ. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි,  මහණ ගොයුමන් කෙරෙහි වනාහි බොහෝ දෙවියෝත් මිනිස්සුත් වෙසෙසින් පහන් හ. භවත්නි,  මහණ ගොයුමන් කෙරෙහි වනාහි බොහෝ දෙවියෝත් මිනිස්සුත් වෙසෙසින් පහන් හ. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි,  මහණ ගොයුම්හු තුමු යම් ගමෙක් නියම්ගමෙක හෝ වෙසෙත් නම්,  එ ගමැ හෝ නියම්ගමැ හෝ වසන මිනිස්නට යක්කු පීඩා කො කෙරෙත්. භවත්නි,  මහණ ගොයුම්හු තුමු යම් ගමෙක් නියම්ගමෙක හෝ වෙසෙත් නම්,  එ ගමැ හෝ නියම්ගමැ හෝ වසන මිනිස්නට යක්කු පීඩා කො කෙරෙත්. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි,  මහණ ගොයුම්හු වු කලි මහ සග’පිරිස් ඇත්තෝ ය,  ගණනායක හ, ගණාචාර්‍ය,  බොහෝ තීර්ථංකරයන් අතුරෙහි අග‍්‍ර හ යි කියනු ලැබෙති. භවත්නි,  මහණ ගොයුම්හු වු කලි මහ සග’පිරිස් ඇත්තෝ ය,  ගණනායක හ, ගණාචාර්‍ය,  බොහෝ තීර්ථංකරයන් අතුරෙහි අග‍්‍ර හ යි කියනු ලැබෙති. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
යම් සේ වනාහි ඇතැම් මහණබමුණන්ගේ යශස අචේලකතා ආදි පිටතට පෙන්වන යම්තම් ව‍්‍රතමාත‍්‍රයෙකින් වැඩෙතත් මහණ ගොයුමන් ගේ වු කලි යශස එසේ වැඩුණෙක් නො වේ.  වැලි තමන් තුළැ ම වු නිරුත්තර විජ්ජාචරණසම්පතින් වැඩුණේ වෙයි. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි,  මහණ ගොයුම්හු වු කලි මගධාධිපති සෙනිය බිම්බිසාර රජ තෙමේ දරුවන් හා බිරියන් හා පිරිස් හා ඇමැත්තන් හා සමග, දිවි හිමි කොට සරණ ගියේ ය. භවත්නි,  මහණ ගොයුම්හු වු කලි මගධාධිපති සෙනිය බිම්බිසාර රජ තෙමේ දරුවන් හා බිරියන් හා පිරිස් හා ඇමැත්තන් හා සමග, දිවි හිමි කොට සරණ ගියේ ය. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි, මහණ ගොයුම්හු වු කලි කොශලාධිපති පසේනදී රජ තෙමේ දරුවන් හා බිරියන් හා පිරිස් හා ඇමැත්තන් හා සමග,  දිවි හිමි කොට සරණ ගියේ ය. භවත්නි, මහණ ගොයුම්හු වු කලි කොශලාධිපති පසේනදී රජ තෙමේ දරුවන් හා බිරියන් හා පිරිස් හා ඇමැත්තන් හා සමග,  දිවි හිමි කොට සරණ ගියේ ය.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි,  මහණ ගොයුම්හු වු කලි පොකුරුසැත් බමුණු තෙමේ දරුවන් හා බිරියන් හා පිරිස් හා ඇමැත්තන් හා සමග, දිවි හිමි කොට සරණ ගියේ ය. භවත්නි,  මහණ ගොයුම්හු වු කලි පොකුරුසැත් බමුණු තෙමේ දරුවන් හා බිරියන් හා පිරිස් හා ඇමැත්තන් හා සමග, දිවි හිමි කොට සරණ ගියේ ය.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි,  මහණ ගොයුම්හු වු කලි මගධාධිපති සේනීය බිම්බිසාර මහරජුහු විසින් සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පුජිත ද අපචිත ද වෙති.  භවත්නි, මහණ ගොයුම්හු වු කලි මගධාධිපති සේනීය බිම්බිසාර මහරජුහු විසින් සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පුජිත ද අපචිත ද වෙති. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි, මහණ ගොයුම්හු වු කලි කොශලාධිපති පසෙනදී රජුහු විසින් සත්කෘත ද ගුරුකෘත ද අපචිත ද වෙති. භවත්නි, මහණ ගොයුම්හු වු කලි කොශලාධිපති පසෙනදී රජුහු විසින් සත්කෘත ද ගුරුකෘත ද අපචිත ද වෙති. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි, මහණ ගොයුම්හු වු කලි පොකුරුසැත් බමුණුහු විසින් සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පුජිත ද අපචිත ද වෙති. භවත්නි, මහණ ගොයුම්හු වු කලි පොකුරුසැත් බමුණුහු විසින් සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පුජිත ද අපචිත ද වෙති.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි,  මහණ ගොයුම්හු වනාහි (දැන්) චම්පාවට පැමිණියෝ චම්පාවට නොදුරු තන්හි වු ගර්ගරා  පොකුණතෙරැ වෙසෙති.  ‘භවත්නි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ අපේ ගම්කෙතට එත් නම් උහු අපට අමුත්තෝ වෙත්, අමුත්තෝ වනාහි අප විසින් සත්කාර කළ යුත්තෝ ය, ගුරුකාර කළ යුත්තෝ ය, බුහුමන් කළ යුත්තෝ ය, පිදියැ යුත්තෝ ය, යටත් පැවැතුම් දැක්වියැ යුත්තෝ ය.  යම් හෙයෙකින් මහණ ගොයුම්හු චම්පාවට පැමිණියෝ චම්පාව සමීපයේ ගර්ගරා  පොකුණ තෙරැ වෙසෙත් ද, එ හෙයින් ඔබ අපේ අමුත්තෝය. ඒ අමුත්තෝ වනාහි අප විසින් සත්කාර කටයුතු හ, ගරු කටයුතු හ, බුහුමන් කටයුතු හ, පිදියැ යුතු හ, යටත් පැවැතුම් දැක්වියැ යුතුහ.  මේ කරුණිනුත් ඒ භවද්ගෞතමයන් අප දක්නට එනු නො වටී.  වැළි අපි ම ඔබ දක්නට යෑ යුතු වමු.
භවත්නි, ඒ භවද්ගෞතමයන් පිළිබඳ වු මෙ පමණක් ගුණ මම දනිමි.  එහෙත් ඒ භවත් ගෞතමයෝ නම් මෙ පමණක් ම ගුණ ඇත්තෝ නො වෙති. වැළි දු ඔබ පමණ කට නොහැකි ගුණ ඇත්තෝ ”ය යනු යි.
 
9.මෙසේ කී කල්හි ඒ බමුණෝ සොණදණ්ඩ බමුණා බණවා, භවත් සොණදණ්ඩ ය, භවත් සොණදණ්ඩයා මහණ ගොයුමන්ගේ ගුණ කියන සැටියෙන් ඒ භවද්ගෞතමයන් මෙයින් යොදුන් සීයක් දුරැ වසතත්, සැදැහැති කුලපුතුහු විසින් පාථෙය (මග වියදම්) ගෙන ද, ඔබ දක්නට එළැඹෙනු වටී ම ය එ බැවින් භවත්නි, අපි සියල්ලෝ ම ඒ මහණ ගොයුමන් දක්නට යන්නමු“යි කීහ.
ඉක්බිති සොණදණ්ඩ බමුණු තෙමේ මහත් බමුණු ගණයා හා ගර්ගරා  පොකුණ අතට ගියේ ය.
 
10.එ කල්හි වනාහි වනලැහැබ තුළට පිවිසි සොණදණ්ඩ බමුණාට මෙසේ චිත්තසංකල්පනාවෙක් පහළ විය:
‘‘ ඉදින් මම මහණ ගොයුමන් අතින් ප‍්‍රශ්නයක් විචාරන්නෙමි නම්, (එවිට) බමුණ, මේ පැණය මෙසේ නොවිචාළ මනා යැ’යි මහණ ගොයුමහු මට කියන්නෝ නම්, එයින් මේ පිරිස සොණදණ්ඩයා අනුවණ ය, නොවියත් ය, මහණ ගොයුමන් අතින් නුවණින් පැණ විචාරන්නට නො හැකි වී යැ’යි මා නිගන්නාහ.  මේ පිරිස යමකු නිගන්නාහු නම්. ඔහුගේ යශස් ද පිරිහෙන්නේ ය.  යමක්හුගේ යශස් පිරිහෙන්නේ නම්, ඔහුගේ භෝග සම්පත් ද පිරිහෙන්නේ ය.  අපේ භොගයෝ වනාහි යශස් හේතුවෙන් ලැබුණෝ ය.  තව ද මහණ ගොයුම්හු මා අතින් පැණ විචාරන්නෝ නම්, ඒ පැණ විසදීමෙන් මම ඔවුන්ගේ සිත් නො ගත්තෙම් නම්, එහි දි මහණ ගොයුම්හු බමුණ, මේ පැණය මෙසේ විසඳියැ යුතු නොවේ,  බමුණ, මෙය විසඳිය යුත්තේ මෙසේ ම යැ’යි මට කියන්නෝ නම්, එයින් මේ පිරිස මට සොණදණ්ඩ බමුණා අනුවණ ය, නොවියත් ය, පැණ විසඳීමෙන් මහණ ගොයුමන්ගේ සිත ගන්නට නො හැකි වී ය යි නිගා කරන්නාහ.   මේ පිරිස යමක්හට නිගා කරන්නාහු නම්, ඔහු ගේ යශස් ද පිරිහෙන්නේ ය.  යමකු ගේ යශස පිරිහෙන්නේ නම්, ඔහු ගේ භෝග ද පිරිහෙන්නේ ය.  අපේ භොගසම්පත් වනාහි යශස් හෙතුයෙන් ලැබුණු දෑ .  මමත් මෙසේ ළඟට පැමිණියෙම් ම මහණ ගොයුමන් නොදැක පෙරළා යන්නෙම් නම්, එයින් මේ පිරිස, සොණදණ්ඩ බමුණා අනුවණ ය, නොවියත් ය, දැඩි මන් ඇත්තේ ය, බිය ගත්තේ ද වේ.  මහණ ගොයුමන් දකිනු පිණිස එළැඹෙන්නට නො හැකි විය.  මෙසේ ළගට පැමිණියේ ම මහණ ගොයුමන් නොදැක කෙසේ නම් පෙරළා යෑ හැකි වන්නේ දැ?’ යි මට පරිභව කරන්නාහ. මේ පිරිස යමකුට පරිභව කරන්නාහු නම් ඔහු ගේ යශස් ද පිරිහෙන්නේ ය. යමෙකුගේ යශස් පිරිහෙන්නේ නම්, ඔහුගේ භොගයෝ ද පිරිහෙන්නාහ.  අපේ භොගයෝ යශස්හෙතුවෙන් ලද්දේ ය (එ බැවිනි)”යනු යි.
 
11.ඉක්බිති සොණදණ්ඩ බමුණා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය.  එළැඹ, භාග්‍යවතුන් වහන්සේ හා පිළිසඳර කතා කෙළේය.  සිතැ රැඳවිය යුතු වු පිළිසඳර කතා අවසන් කොට පසෙක ඉදගත්තේ ය.  චම්පානගරවාසී බමුණෝත් ගැහැවියෝත් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ පසෙක ඉඳගත්හ.  කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා පිළිසඳර කතා කළහ.  සිතැ රැඳවියැ යුතු පිළිසඳර කොට නිමවා පසෙක හිඳගත්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි නමා වැඳ පසෙක ඉඳගත්හ.  කෙනෙක් නම් ගොත් අස්වා පසෙක ඉඳගත්හ.  කෙනෙක් නිහඩ’ වැ පසෙක ඉඳගත්හ.
 
12.එහි ද සොණදණ්ඩ තෙමේ ‘‘ මම්  මහණ ගොයුමන් අතින් ප‍්‍රශ්න විචාරන් නෙම් නම්, (එ විටැ)බමුණ, මේ පැණය මෙසේ නො විචාළ මනා යැ’යි මහණ ගොයුම්හු මට කියන්නෝ නම්, එයින් මේ පිරිස සොණදණ්ඩයා අනුවණ ය, නොවියැත් යැ’යි  මට පරිභව කරන්නාහ. මේ පිරිස යමකුට පරිභව කරන්නාහු නම් ඔහුගේ යශස ද පිරිහෙන්නේය. යමකුගේ යශස පිරිහෙන්නේ  නම්, ඔහුගේ භොගයෝ ද පිරිහෙන්නාහ. අපේ භොගයෝ යශස්හෙතුයෙන් ලද්දේ ය. (එ බැවිනි.) මහණ ගොයුමන් ස්වකීය ආචාර්‍යවාදය වු ති‍්‍රවිද්‍යාවිෂයයෙහි පැණ විචාරතොත් යෙහෙක. එසේ කලැ පැණ විසැදීමෙන් ඒකාන්තයෙන් ම ඔබ සිත් ගත හැකි වන්නෙමි”යි මේ සිතිවිල්ල ම බෙහෙවින් සිතමින් හුන්නේ වෙයි.
 
13.එ කලැ වනාහි භාග්‍යවතුන් වහන්සේට සිය සිතින් සොණදණ්ඩ බමුණාගේ සිත දැක්මෙන්  ‘‘ මේ සොණදණ්ඩ බමුණා සිය සිතිවිල්ලෙන් වෙහෙසෙයි. මම් මොහුගෙන් සිය ආචාර්‍යවාද වු ති‍්‍රවිද්‍යාවිෂයයෙහි ප‍්‍රශ්නයක්  විචාරන්නෙම් නම් යෙහෙකැ” යි මේ සිත වී ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සොණදණ්ඩ බමුණා අමතා,  ‘‘ බමුණ, අංග කීයෙකින් සමන්විතයහු බමුණකු කොට බමුණෝ පණවත්ද ? (අංග කීයෙකින් සමන්විතයා) මම් බමුණෙකිමි’යි කියන්නේ ද ? බොරු කීමකට නො පැමිණෙන්නේ දැ ?”යි මෙය අසා වදාළ සේක.
 
14.එ විටැ සොණදණ්ඩ බමුණාට  ‘‘ මහණ ගොයුමන් මගෙන් සිය ආචාර්‍යවාදය වු ති‍්‍රවිද්‍යාවිෂයයෙහි පැණ විචාළොත් යෙහෙක” පැණ විසැදීමෙන් ඒකාන්තයෙන් ඔවුන් සිත ගත හෙන්නෙමි’යි යමක් අප විසින් රුස්නා ලද ද, යමක් ඇවෙක්සිණි ද, යමක් අදහස් කරණලද ද, යමක් වෙසෙසින් පැතිණි ද, එහි ලා ඔබ මගෙන් සිය ඇදුරන් ඉගැන්වු ති‍්‍රවිද්‍යාවිෂයයෙහි ප‍්‍රශ්න විචාරති. ඒකාන්තයෙන් මම් පැණ විසෑදීමෙන් ඔබ සිත සතුටු කරන්නෙමි”යි මේ සිත වී ය.
 
15.ඉක්බිති සොණදණ්ඩ බමුණු තෙමේ කය ඝෘජු කොට,  හාත්පස බමුණු ගැහැටි පිරිස දෙස බලා, භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය:  ‘‘ භවත් ගෞතමයිනි,  බමුණෝ අංග පසෙකින් යුත්තහු බමුණකු කොට පණවත්. හේ ‘මම් බමුණුමි’යි කියනුයේ (එය) මැනැවින් ම කියන්නේ ය. බොරු කීමකට නො පැමිණෙන්නේ ය. කවර අංග පසෙකින් ද ? යත්:
‘‘ භවද්ගෞතමයිනි, මෙහි බමුණු තෙමේ මවු පසින් ද පිය පසින් ද යන දෙපසින් මැ අභිජාතය, සත්වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවු කුස ඇතියේය. ජාතිවාදයෙන් නො හෙළන ලද්දේ ය. නො ගරහන ලද්දේ ය. වේද හදාරන්නෙක් වෙයි, වේදයන් සිතැ ලා දරන්නෙක් වෙයි, නිඝණ්ඩු ද කෛටභශාස්ත‍්‍ර ද සහිත, ශික්ෂා හා නිරුක්ති සහිත, ඉතිහාසය පස්වනු කොටැති, ත‍්‍රිවෙදයන්ගේ පර තෙරට පැමිණියෙක් වෙයි. පදපාඨ දන්නෙක් වෙයි සියලු ව්‍යාකරණ විධි ද දන්නෙක් වෙයි ලෝකායත ශාස්ත‍්‍රයෙහිත් මහාපුරුෂලක්ෂණ ශාස්ත‍්‍රයෙහිත් නිපුණයෙක් වෙයි.
විශිෂ්ට රුපශොභා ඇත්තේ, දැකුම් කටයුත්තේ, ප‍්‍රසාද එළවන සුලු වුයේ, උතුම් වර්ණසෞණ්දර්යෙන් සමන්විත වුයේ වෙයි. උතුම් රන්වන් පැහැ ඇතියේ ය. උතුම් ශරිරප‍්‍රභා ඇතියේ ය. ආරොහ පරිණාහ සම්පත්තියෙන් හා අවයවයන් ගේ පරිපුණත්‍වයෙන් හා සිරුරෙහි දැකීමට නොමද වු අවකාශ ඇතියේ වෙයි. වැඩුණු සිල් ඇත්තේ, වැඩුණු ශිලයෙන් සමන්විත වුයේ, සිල්වත් වෙයි. පණ්ඩිත ද නුවණැත්තේ ද එහෙයින් ම යාග සැන්ද ඔසොවන්නවුන් අතුරෙහි පළමු වැන්නා හෝ දෙවැන්නා වෙයි. භවද්ගෞතමයිනි, මේ අංග පසින් සමන්විතයා, බමුණකු කොට බමුණෝ පණවත් හේ ‘මම් බමුණෙකිමි’යි කියන්නේ මොනොවට කියන්නේ, බොරු කීමට නො වැටෙන්නේ ය යනුයි.
 
16.[භාග්‍යවතුන් වහන්සේ:]         ‘‘බමුණ, මේ අංග පස අතුරෙන් එක් අංගයක් හැර අංග සතරෙකින් සමන්විතයක්හු බමුණකු කොට පණවන්නට හැක්කේ ද ? (එසේ පැණැවීමෙන්) ‘මම් බමුණෙකිමි’යිත් කියන්නේ නො වැරැදිලෙස කිය හැකි වන්නේ ද ? බොරු කීමකට නො පැමිණෙන්නේ ද ?”
 
17.[සොණදණ්ඩ:]        ‘‘ හැකිය, භවද් ගෞතමයිනි. භවද්ගෞතමයිනි, මේ අංග පස අතුරෙන් වර්ණසෞණ්දර්‍ය ය හැරලමු. වර්ණය කුමක් කරන්නේද ? භවද් ගෞතමයිනි, යම් හෙයකින් බමුණු තෙමේ මවුපියදෙපසින් අභිජාත වේ නම්, සත්වන මිමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇතියේ නම් ජාතිවාදයෙන් නො හෙළන ලද්දේ නම්, නො ගරහන ලද්දේ නම් වේද හදාරන්නෙක්, වේද සිතැ ලා දරන්නෙක්, නිඝණ්ඩු කෛටහශාසත‍්‍ර ද සහිත, ශික්ෂා හා නිරුක්ති සහිත, ඉතිහාසය පස්වනු කොටැති, තුන් වේදයන්ගේ පරතෙර පැමිණියෙක් වේ නම්, පාදපාඨ ද සියලු ව්‍යාකරණ විධි ද දන්නෙක්, ලොකායත ශාස්ත‍්‍රයෙහිත් මහාපුරුෂලක්ෂණවිද්‍යායෙහිත් නිපුණයෙක් වේ නම්; වැඩුණු සිල් ඇත්තේ, වැඩුණු ශීලයෙන් යුක්ත වුයේ සිල්වත් වේ නම්; පණ්ඩිතත් නුවණැත්තේත්, එ හෙයින් ම යාග සැන්ද ඔසොවන්නන් අතුරෙහි පළමු හෝ දෙවෙනිත් වේ නම්, භවද් ගෞතමයිනි, මේ කී අංග සතරින් සමන්විතයා බමුණකු කොට බමුණෝ පණවත්. හේ ‘බමුණෙකිමි’යි කියන්නේ ද මොනොවට ම කියන්නේ ය, බොරු කීමටකට නො වැටෙන්නේ ය.”
 
18.[භාග්‍යවතුන් වහන්සේ:]       ‘‘ බමුණ, මේ අංග සතරින් එකක් හැර අංග තුනෙකින් යුක්තයක්හු බමුණකු කොට පණවන්නට හැක්කේ ද? හේ ‘මම් බමුණෙකිමි’යිත් කියන්නේ නොවැරැදි ලෙස කිය හැකි වන්නේ ද ? බොරු කීමකට නො වැටෙන්නේ ද ?
 
19.[සොණදන්ඩ:]         ‘‘ භවද් ගෞතමයිනි, හැක්කේ ය. භවද්ගෞතමයිනි, මේ අංග සතරින් වේදයන් හැරැ දමමු. වෙදයෝ කුමක් කරන්නෝ ද ? භවද් ගෞතමයිනි, යම් හෙයකින් බමුණු තෙමේ මාපිය දෙපසින් අභිජාත වේ නම්, සත්වන මිමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇතියේ නම්, ජාතිවාදයෙන් නො හෙළන ලදුයේ නොගරහන ලදුයේ  නම්; වැඩුණු සිල් ඇති වැඩුණු සිලින් යුත් සිල්වතෙක් වේ නම්; පණ්ඩිතත් නුවණැතිත් එ හෙයින් ම යාග සැන්ද ඔසොවන්නන් අතුරෙහි පළමු හෝ දෙවෙනිත් වේ නම්, භවද් ගෞතමයිනි, මේ  අංග තුනින් සමන්විතයා බමුණකු කොට බමුණෝ පණවත්. හේ මම්‘බමුණුමි’යි කියනුයේ ද කරුණු සහිත වැ ම කියන්නේ ය, බොරු කීමකට ද නො පැමිණෙන්නේ  ය”.
 
20.[භාග්‍යවතුන් වහන්සේ:]      ‘‘ බමුණ, මේ අංග තුනින් එක් අංගයක් හැරැ දමා අංග දෙකෙකින් සමන්විතයහු බමුණකු කොට පැණැවියැ හැක්කේ ද? හේ ‘මම් බමුණෙකිමි’යිත් කියනුයෙ, කරුණු සහිත වැ කියැ හැකි වන්නේ ද? බොරු කීමකට නො පැමිණෙන්නේ  ද?”
 
21.[සොණදණ්ඩ:]       ‘‘ භවද්ගෞතමයිනි, හැක්කේ ය. භවද්ගෞතමයිනි, මේ අංග තුනෙන් ජාතිය හැරැදමමු.  ජාතිය කුමක් කරන්නේ ද ? භවද්ගෞතමයිනි, යම් හෙයෙකින් බමුණු තෙමේ වැඩුණු සිල් ඇත්තේ, වැඩුණු සිලින් යුත් වුයේ සිල්වත් වේ ද, පණ්ඩිතත් නුවණැත්තේත් එහෙයින් ම යාග සැන්ද ඔසොවන්නන් අතුරෙහි පළමු හෝ දෙවෙනිත් වේ ද, භවද්ගෞතමයිනි, මේ  අංග දෙකින් සමන්විතයක්හු බමුණකු කොට බමුණෝ පණවත්. හේ ද ‘මම් බමුණුමි’ යිත්  කියනුයේ ද කරුණු සහිත වැ කියන්නේ ය, බොරු කීමකට නො පැමිණෙන්නේ  ය”.
 
22.මෙසේ කී කල්හි ඒ බමුණෝ සොණදණ්ඩ බමුණහුට  ‘‘ භවත් සොණදණ්ඩ තෙමේ මෙසේ නො කියා වා. භවත් සොණදණ්ඩ තෙමේ මෙසේ නො කියා වා. භවත් සොණදණ්ඩ තෙමේ වර්ණසෞණ්දර්ය්‍ය ය බැහැර කෙරේ ම ය,  භවත් සොණදණ්ඩ තෙමේ වේදයන් බැහැර කෙරේ ම ය. ජාතිය බැහැර  කෙරේ ම ය. භවත් සොණදණ්ඩ තෙමේ එකාන්තයෙන් ශ‍්‍රමණ ගෞතමයන්ගේ සමයයට වැදැ ගනී” යැ යි මේ වචන කීහ.
 
23.එ විට භාග්‍යවතුන් වහන්සේ ඒ බමුණනට වදාරන සේක්:  ‘‘ බමුණනි, ඉදින් සොණදණ්ඩ බමුණා අල්පශ‍්‍රැත යැ යි ද නොමනා බස් දොඩන්නෙකැ යි ද නුවණ නැත්තෙකැ යි දෙ, මේ වචනයෙහි ශ‍්‍රමණ ගෞතමයන් හා සාකච්ඡා කරන්නට  සමත් නො වෙතැ’යි ද කියා තොපට මෙසේ සිතෙක් වේ නම්, සොණදණ්ඩ බමුණු තෙමේ සිටී වා. තෙපි  මා හා සාකච්ඡා  කරවු. බමුණනි, ඉදින් සොණදණ්ඩ බමුණු තෙමේ බහුශ‍්‍රැත යැ යි ද, මනා වචන කියන්නෙකැ යි ද, පණ්ඩිත යැ යි ද, මේ වචනයෙහි ශ‍්‍රමණගෞතමයන් හා සාකච්ඡා කරන්නට  සමත් වෙතැ යි ද කියා මෙසේ තොපට සිතෙක් වේ නම්, තෙපි සිටිවු. සොණදණ්ඩ බමුණු තෙමේ ම මා හා සාකච්ඡා කෙරේවා” යි මෙය වදාළ සේක.
 
24.මෙසේ වදාළ කල්හි, සොණදණ්ඩ බමුණු තෙම   ‘‘ භවද්ගෞතම තෙමේ සිටී වා, භවද්ගෞතම තෙමේ නිහඩ වේ වා. මම ම ඔවුනට කරුණු සහිත වැ උත්තර දෙන්නෙමි” යි භාග්‍යවතුන් වහන්සේ ට කී ය.
ඉක්බිති සොණදණ්ඩ බමුණු ඒ බමුණන් බණවා  ‘‘ භවත්හු ‘භවත් සොණදණ්ඩයා වර්ණය බැහැර කෙරෙයි, වේදයන් බැහැර කෙරෙයි, ජාතිය බැහැර කෙරෙයි, එකාන්තයෙන් භවත් සොණදණ්ඩ තෙමේ ශ‍්‍රමණගෞතමයන්ගේ සමයයට වැද ගනී’ යැ යි මෙසේ නො කියත් වා. මම් වර්ණය හෝ වේදයන් හෝ ජාතිය හෝ බැහැර නො  කරමි”යි කී ය.
 
25.එ වෙලෙහි සොණදණ්ඩ බමුණාගේ බෑනණු වු අඞ්ඟක නම් මාණවක තෙමේ ඒ පිරිසෙහි හුන්නේ වෙයි. ඉක්බිති සොණදණ්ඩ බමුණු  ‘‘ භවත්හු අප බෑනණු වු අංගක මාණවකයා දකිත්දැ?” යි කීය’
 ‘‘භවත, එසේ යැ” යි බමුණෝ කීහ.
(එවිට සොණදණ්ඩ බමුණු මෙසේ කී ය:)
‘‘භවත්නි, අංගක මාණවක තෙමේ විශිෂ්ඨ රූපය ඇත්තේය. දැකුම් කටයුතු ය, උතුම් වර්ණසෞණදර්‍යයයෙන් යුක්ත ය, උතුම් රත් පැහැ ඇත්තේ ය, උතුම් සිරුරුපැහැ ඇත්තේ ය, සිය සිරුර දැක්මට නොමඳ අවකාශ ඇත්තේ ය, ශ‍්‍රමණ ගෞතමයන්ට හැර මේ පිරිසෙහි හැම අයුරින් ම ඔහුට සම එකෙක් නැත.
භවත්නි, අඬ්ඟක මාණවක තෙමේ වේද හදාරන්නෙක, වේදමන්ත‍්‍රනයන් සිත්හි ලා දරන්නෙක, නිඝණ්ඩු ද කෛටභශාස්ත‍්‍ර ද සහිත අක්‍ෂරප‍්‍රභෙද සහිත ත‍්‍රිවෙදයෙහි පාරප‍්‍රාප්තයෙක, පදපාඨ දන්නෙක,  සියලු ව්‍යාකරණ විධිත් දන්නෙක, ලොකායතශාස්ත‍්‍රයෙහි ද මහාපුරුෂ ලක්‍ෂණවිද්‍යායෙහි ද නිපුණයෙක. මොහුට වේද කියුවු තැනැත්තේ මම ය.
භවත්නි, අංගක මාණවක තෙමේ මවු පිය යන දෙ පසින් ම අභිජාත ය. සත් වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇත්තෙක, ජාතිවාදයෙන් නොහෙළන ලද්දෙක, නොගරහන ලද්දෙක.  මම මොහුගේ මවු පියන් දනිමි.
භවත්නි, අඞ්ඟක මාණවකයා වනාහි ප‍්‍රාණඝාත ද කරන්නේ නම්. නොදුන් දැත් ගන්නේ නම්, පරඹුවන් කරාත් යන්නේ නම්, බොරුත්  කියන්නේ නම්, මත්පැනුත් බොන්නේ නම්, භවත්නි, මෙහි වර්ණසෞණදර්යයෙන් කුමක් කරන්නේද? (බමුණු බව රකින්නට සමත් වන්නේද?) වේදයෝ කුමක් කරන්නෝද? ජාතිය කුමක් කරන්නේද?
භවත්නි, යම් හෙයෙකින් බමුණු තෙමේ වැඩුණු සිල් ඇත්තේ, වැඩුණු සිලින් යුත් වුයේ, සිල්වත් වේ ද, පණ්ඩිත වේ ද,  නුවණැති වේ ද, යාග සැන්ද ඔසොවන්නන්  අතුරෙහි  පළමු හෝ දෙවෙනි වේද, භවත්නි, මේ අංග දෙකින් සමන්විතයා වු කලි බමුණකු කොට බමුණෝ පණවත්. හේ ‘මම් බමුණුමි’ යි කියන්නේ ද කරුණු සහිත වැ කියන්නේ ය. බොරු කීමකට නොපැමිණෙන්නේ ය”.
 
26.[භාග්‍යවතුන් වහන්සේ:]       බ‍්‍රාහ්මණය, මේ අංග දෙකින් එක් අංගයක් හැරැ දමා  එක් අංගයකින් සමන්විතයා  බමුණකු කොට පණවන්නට හැක්කේ ද? හේිබමුණෙකිමි’ යි කියන්නේල කරුණු සහිත වැ කියන්නේ ද? බොරු කීමකට නො පැමිණෙන්නේ ද?”
[සොණදණ්ඩ:]                          භවද්ගෞතමයිනි,  මෙය නො වේ ම ය. භවද් ගෞතමයිනි,  ප‍්‍රඥාව ශීලයෙන් පිරිසිදු වෙයි. ශිලය ප‍්‍රඥායෙන්  පිරිසිදු වෙයි. යම් තැනක ශිලය වේ නම්, එහි ප‍්‍රඥාව වේ. යම් තැනක ප‍්‍රඥාව වේ නම්ල එහි ශිලය වේ.  සිල්වත්හට නුවණ වේ. නුවණැත්තාට සිල් ඇති වේ. ශීල ප‍්‍රඥා දෙක වු කලි  ලොවැ අග‍්‍ර යැයි කියනු ලැබෙ. භවද් ගෞතමයිනි,  යම් සේ අතින් අත  හෝ පයින් පය හෝ සෝදන්නේද, එසේම ප‍්‍රඥාව ශිලයෙන් පරිශොධිත වේ. ශිලය ප‍්‍රඥායෙන් පරිශොධිත වේ. යම් තැනක ශිලය වේ නම් ....... ශිල ප‍්‍රඥා දෙක වු කලි ලොවැ අග‍්‍ර යැයි කියනු ලැබේ.
[භාග්‍යවතුන් වහන්සේ:]                         බ‍්‍රාහ්මණය, මෙය එසේ ය, බ‍්‍රාහ්මණය, ප‍්‍රඥාව ශිලයෙන් පිරිසිදු වේ.  ශිලය ප‍්‍රඥායෙන් පිරිසිදුවේ.  සිල් ඇති තැන ප‍්‍රඥාව වේ. ප‍්‍රඥාව ඇති තැන සිල් වේ. සිල් ඇත්තහුට ප‍්‍රඥාව ඇත. ප‍්‍රඥාව ඇත්තහුට සිල් ඇත.  ශිල ප‍්‍රඥා දෙක වනාහි ලොවැ අග‍්‍රයැ යි කියනු ලැබේ.  බ‍්‍රාහ්මණය, ඒ ශිලය කවර යැ? ඒ ප‍්‍රඥාව කවර යැ? 
[සොණදණ්ඩ:]                          භවද් ගෞතමයිනි, මේ කරුණෙහි මේ ශිල ප‍්‍රඥා යන වචන දෙක දැනිම පරම කොටැත්තමු. (මේ වචන දනු විනා එහි අර්ථාදි වශයෙන් මෙයින් වැඩියක් නො දනිමු.) යාක්ඥා කරම්හ. භවද් ගෞතමයනට ම මේ වචනයේ අර්ථ වැටහේ වා. (භවද්ගෞතමයෝ ම මෙහි අර්ථ වදාරත්වා.)
[භාග්‍යවතුන් වහන්සේ:]             ‘‘ බමුණ, එසේ නම් අසන්නැ. මොනොවට මෙනෙහි කරන්නැ. එය කියන්නෙමි.
සොණදණ්ඩ තෙමේ භවත, එසේ යැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ  මතු දැක්වෙන  ධර්මය වදාළ සේක.
 
25.‘‘බමුණ, අරිහත් වූ සම්‍යක්සම්බුද්ධ වූ විද්‍යාචරණ දෙකින් සම්පූර්ණ වූ මනා ගමන් හා මනා වචන ඇති ලෝකය දන්නා නිරුත්තර පුරුෂ දම්‍යසාරථී වූ දෙවිමිනිස්නට ශාස්තෘ වූ සිවු සස් දත්, භගවත් වූ තථාගත තෙමේ මේ ලොව පහළ වෙයි. හේ ආදී කල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ, පර්යවසාන කල්‍යාණ වු, මනා අරුත් ඇති, ව්‍යංජනයෙන් මනා ව සම්පුර්ණ, හැම ලෙසින් ම පිරිපුන් දහම් දෙසයි. පිරිසිදු වූ මාර්ග බ්‍රහ්මචර්‍යය ප්‍රකාශ කෙරෙයි.
 
26.කිසි යම් කුලයෙක උපන් ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ එක්තරා කුලයෙක උපන්නෙක් හෝ ඒ දහම් අසයි. හේ ඒ දහම් අසා, තථාගතයන් කෙරෙහි සැදැහැ ලබයි. (පහළ කෙරෙයි.) හේ ඒ සැදැහැ ලැබීමෙන් යුක්ත වූයේ ‘’ගිහිගෙහි විසීම අවහිර ඇති එකෙක, රජස් පථයෙක පැවිද්ද එළිමනෙක. ගිහිගෙහි වසන්නහු විසින් එකැතින් පිරිපුන් කොට, එකැතින් පිරිසිදු කොට, ශංඛලිඛිතයක් සේ කොට මේ බඹසර කරන්නට පහසු නො වේ. මා කෙහෙ රැවුලු බා දමා කසාවත් හැඳ ගිහිගෙන් පැවිද්දට වදිතොත් ඒ යෙහෙකැ” යි මෙසේ සලකයි.
හේ පසු කලෙක මඳ වු හෝ බොහෝ වූ හෝ වස්තු සම්පත් රාශිය හැරැ දමා, මඳ වූ හෝ බොහෝ වූ හෝ නෑ පිරිස හැර දමා, කෙහෙ රවුලු බා දමා, කසාවත් හැඳ ගිහිගෙන පැවිද්දට වදී, මෙසේ පැවිදි වූ ම හේ පතිමොක්ඛසංවරයෙන් හැවුරුණේ, ආචාරයෙන් ගෝචරයෙන් සම්පුර්ණවැ, ස්වල්ප වූ ද වරදෙහි බිය දක්නා සුලු වැ වෙසෙයි. සිකපද සමාදන් වැ ගෙන, කුසල් වු කා  විසි කමින් යුත් වැ, පිරිසිදු දිවෙල ඇති වැ, සිල්වත් වැ, ඉඳුරන්හි වැසු දොරැති වැ, බොජුන්හි පමණ දන්නේ, සිහිණුවණින් යුතු වැ (සිවු පසයෙහි) ලද පමණින් සතුටු වැ වෙසේ.
 
27.බමුණ,  මහණ තෙමේ කෙසේ නම් සිල්වත් වේ ද ?
බමුණ,  මෙහි මහණ තෙමේ පණිවා හැර පණිවායෙන් තොර වැ බහා තැබූ දඬු ඇත්තේ බහා තැබූ අවි ඇත්තේ, පවෙහි ලජ්ජා ඇතියේ, කුළුණෙන් යුත් වූයේ, හැම දිවි ඇති සත් වග කෙරෙහි හිතානුකම්පා ඇති වැ වෙසේ. මේ ද ඔහුගේ සිල් වේ.
හේ අයිනාදන් හැර අයිනාදනින් තොර වූයේ වේ. දුන් දැය ම ගන්නා සුලු වූයේ දුන් දැය ම අවෙක්සනුයේ, නොසොර වු පිරිසිදු වු සිතින් වේසේ. මේ ද ඔහු ගේ සිල් වේ.
අබ්රම්සර හැර ගැමි දහම් වූ මෙවුන්දමින් දුරු වැ හැසිරෙනුයේ, එයින් වැළැක්කේ, බඹසර රක්නේ වේ. මේ ද ඔහුගේ සිල් වේ.
මුසවා හැර සබවස් ඇත්තේ, ඇත්තෙන් ඇත්ත ගළපා කියනුයේ තහවුරු බස් ඇත්තේ, හැඳහියැ යුතු බස් ඇත්තේ , ලොව නොරවටනුයේ, මුසවායෙන් වැළැක්කේ වේ. මේ ද ඔහුගේ සිල් වේ.
පිසුණු බස් හැරැ පිසුණු බසින් වැළැක්කේ වේ. මේ තැනින් අසා ගෙන, මොවුන් ගේ බිඳීම පිණිස එතන්හි නො කියන්නේ වේ. එ තැනින් හෝ අසා ගෙන ඔවුන්ගේ බිඳීම පිණිස මොවුනට කියන්නේ නො වේ. මෙසේ බිඳුණවුන් එකට ගළපන, එකට ගැළැපුණවුන් ගේ සමඟියට අනුබල දෙන, සමඟියෙන් වසනවුන් හා වසනු රිසි, සමඟිය ඇතියනට ඇලුණු, සමඟිය ඇතියවුනට සතුටු, සමඟිය ඇත්තවුන් කරන බස් තෙපන්නේ වේ. මේ ද ඔහු ගේ සිල් වේ.
පරොස් බස් හැරැ පරොස් බසින් වැළෑක්කේ වෙයි. යම් බසෙක් නිවැරදි ද, කන්කලු ද, පෙම් කටයුතු ද, සිතැ කාවදනේ ද, නියැරියන් ගේ බස් සේ සිලුටු ද, බොහෝ දෙනාට පිය ද, බොහෝ දෙනා මන වඩනේ ද, එ බඳු වූ බස් තෙපලනුයේ වේ. මේ ද ඔහුගේ සිල් වේ.
බොල් බස් හැරැ දමා සුදුසු කල් වේලා බලා ම කතා කරනුයේ, ඇත්ත ම කියනුයේ, වැඩක් ම කියනුයේ, දහමක් ම කියනුයේ, හික්මෙනුවට සුදුසු බසක් ම කියනුයේ බොල් දෙඩැවිල්ලෙන් වැළැක්කේ වේ. සුදුසු කාලයෙහි කරුණු සිහත, ඉමක් කෙළවරක් ඇති, අරුත් සහිත, සිතැ තබා ගත යුතු බස් තෙපලනුයේ වෙයි. මේ ද ඔහුගේ සීල් වේ.
 
28.හේ බීජසමූහ(=පැළ වන දෑ) ද, භූතසමූහ (පැළ වුණු දෑ) ද, සිඳුමෙන් බිඳුමෙන් වැළැක්කේ වෙයි. රෑ බොජුනෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන බත් ඇත්තේ, නොකල් බොජුනෙන් වැළැක්කේ වෙයි. නටනු ගනු වයනු විසුළුදසුන් යන මෙයින් වැළැක්කේ වෙයි. ඇඟැ සැරැසීමට කරුණු වන මල්ගඳවිලෙවුන් දැරීමෙන් වැළැක්කේ වෙයි. පමණ ඉක්මැවූ උසසුන් ද, නොකැප වූ මහසුන් ද යන දෙකින් ම වැළැක්කේ වෙයි. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු ධාන්‍ය පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ස්ත්‍රීන් කුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. එළුවන් බැටෙළුවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැළෑක්කේ වෙයි. කෙත්වතු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ගිහියනට දූතමෙහෙවර කිරීමෙහි ද ගෙන් ගෙට පණිවිඩ පණත් ගෙන යෑමෙහි ද යෙදීමෙන් වැළැක්කේ වෙයි. වෙළෙඳ ගනුදෙනුයෙන් වැළැක්කේ වෙයි. හොර තරාදියෙන් කිරුමෙන්, බොරු රන් පෑමෙන්, හොර මිනුම්වලින් මිනුමෙන් වැළැක්කේ වෙයි. අල්ලස් ගෙන හිමියන් නොහිමි කිරීමෙන්, නානා උපායෙන් අනුන් රැවැටුමෙන්, අගනා දැයට හුරු නො අගනා දැයක් පෙන්නා කරන මායායෙන්, මේ කී නොකී හැම කෛරාටිකකම්වලින් ම වැළැක්කේ වෙයි. අත් පා ආදිය සිඳීමෙන් ද, මැරීමෙන් ද, රැහැන් ආදියෙන් බැඳීමෙන් ද, සැහැසිකම්වලින් ද වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සීල් වේ.
 
චූල්ලසීලය නිමියේ ය.
 
29.යම්සේ වනාහී සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මූලබීජ, (හිඟුරු ආදී පැළ වන මුල් ද), ස්කන්ධබීජ ද(නුග ආදී පැළ වන කඳ ද), පරුවීජ ද (උක් උණ බට ආදී පැළ වන පුරුක් ද), අග්‍රවීජ (ඉරිවේරිය හා පැළවන දළු ද), පස් වනු වීජ වීජ ද(වී ආදී පැළ වෙන ඇට ද) යන මේ කී වීජසමූහ ද (පැළ වන දෑ ද) භූතසමූහ ද (පැළැවුණ දෑ ද) පෙළීමෙහි (සිඳුම් බිඳුම් තැලුම් තැවුම් යැ යි)කියන ලද සමාරම්භයෙහි යෙදුණෝ වෙසෙත් ද, හෙ තෙමේ මේ බඳු වීජග්‍රාම භූතග්‍රාම සමාරම්භයෙන් වැළැක්කේ වෙයි.  මේ ද ඔහුගේ සිල් වේ.
 
30.යම්සේ වනාහී ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, කෑම රැස් කොට තබා ගැන්ම, බොන දෑ රැස් කර තබා ගැන්ම,  වස්ත්‍ර රැස්කොට තබා ගැන්ම, රිය ගැල් ආදිය ද පාවහන් ආදිය ද යන යාන රැස් කොට තබා ගැන්ම, ඉහතැ කී දෑ හැර තවත් තල සහල් ඈ වුවමනා පසය රැස් කොට තබා ගැන්ම යන මෙසේ වූ සන්නිධිකාරපරිභොගයෙහි (පසය රැස් කොට තබාගෙන වැළඳීමෙහි) යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙබඳු වූ හෝ සන්නිධිකාර පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
 
31.යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා නැටුම් ගැයුම් වැයුම්, නටසමජ්ජා (නළුවන් සමූහයක් එක්ව ජන සමූහයා ඉදිරියේ දක්වන නැටුම්), ආඛ්‍යාන (මහාභාරතාදිය කීම හෝ ඇසීම), පාණිස්වර (අතින් ලොහොබෙර ගැයුම් හෝ අත්තල ගැසීම), වේතාල (දඬුමුවා තාළම්පට ගැසීම හෝ මතුරු දපා මළසිරුරු නැගිටුවීම), කුම්භථූන (සිව්රස් බෙර වැයුම්), ශෝභනක (රංගබලිකරණය හෙවත් රඟමඩුල්ලෙහි දී දේවතාවනට ස්තෝත්‍ර වශයෙන් නාන්දීගීත ගායනය හෝ ප්‍රතිභානචිත්‍ර කිරීම), සනදොවුන් කෙළිය (හෝ ආයොගුඩක්‍රීඩාව), උණගස් ඔසොවා ගෙන කරන ක්‍රීඩාව, අස්ථිධොවනය (මලවුන්ගේ ඇට සුවඳ කවා තබා නකත්සෙමෙහි ඊ වටා සිට උත්සව කිරීම), ඇත්පොර, අශ්පොර, මියුපොර, ගොන්පොර, එළුපොර, බැටෙළුපොර, කුකුළුපොර, වටුපොර, පොලුහරඹ, මිටුයුද, මල්ලපොර, යුද පවත්නා තැන් දක්නට යෑම, බළසෙන් ගණිනා තැන් දක්නට යෑම යන මෙබඳු විසුළු දස්නෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
 
32.යම්සේ වනාහී සමහර භවත් මහණබමුණෝ සදැහැයෙන් දුන් බොජුන් වළඳා, අටපාකෙළිය, දසපාකෙළිය, අහස්දූකෙළිය, මඩුලු පැනුම, සන්තිකාක්‍රිඩාව, දාදුකෙළිය, කල්ලි ගැසුම, සලාඅත්කෙළිය, ගුළකෙළිය, කොළ නළා පිඹුම, කෙළි නගුලින් හෑම, කරණම් ගැසුම, කන්නංගුරුවා කෙළිය, කොළ නැළියෙන් වැලි ඈ මැනුම, ක්‍රිඩාරථ පැදැවීම, කුඩා දුන්නෙන් විදීම, ඇකිරිකෙළිය, (පිටේ හෝ අහසේ අකුරු ඇඳ කියැවීම), සිතු දැය කීමේ ක්‍රීඩාව, විකලාංගානුකරණය (කනුන් කොරුන්  ආදීන් සේ ඉරියව් පැවැත්වීම.)  යන මෙබඳු වූ පමාවට කරුණු වූ දූ කෙළියෙහි යෙදී වෙසෙත් ද, හේ තෙමේ මේ හෝ මේ බඳු වූ පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදීමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
 
33.යම්සේ වනාහී ඇතැම් භවත් මහනබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, දික්සඟලා පුටුය, පලඟය, මහ කොඳුපලසය, වියමනෙන් විසිතුරු කළ එළුලොම්මුවා ඇතිරිය, දෙපැත්තේ ම ලොම් ඇති එළුලොම් ඇතිරිය, ගනමල් යෙදූ එළුලොම් ඇතිරිය. තිලිය(පුළුන් මෙත්තය), සිංහාදිරූපවලින් විසිතුරු කළ එළුලොම් ඇතිරිය, දෙපැත්තේ ම ලොම් ඇති එළුලොම් ඇතිරිය එක් පැත්තේ පමණක් ලොම් ඇති එළුලොම් මුවා ඇතිරිය, රන්කසුකම් කළ පසතුරුණ, අසු පිටැ එලන ඇතිරිය, රිය එලන ඇතිරිය, ඇඳට සරලන සේ අදුන් දිවිසමින් මසා කළ ඇතිරිය, කෙහෙල්මුවසමින් කළ මහඟු පසතුරුණ, ඉස්දොර පාමුල රතු කොට්ට තබා ඇති රතු උඩුවියන් සහිත මහඟු යහන යන බෙමඳු වූ උස් යහන් මහ යහන් පරිහරණය කිරීමෙහි යෙදී වෙසෙද්ද, හේ තෙමේ මේ හෝ මේ බඳු වූ උස් යහන් මහ යහන් පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ දඔහුගේ සිල් වේ.
 
34.යම්සේ වනාහි සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, සුවඳ සුණුයෙන් ඇඟ ඉලීම්, අත්පා ඇහි මනා සටහන් ගන්වනුවට තෙල් ගා මැඩීම, සුවඳ දියෙන් නෑවීම, උරහිස්ඇහිමස් වැඩෙනුවට මුඟුරින් තැළීම, කැඩපතින් මුහුණ බැලීම, අලංකාර වශයෙන් අඳුන් ගෑම, මල් පැලැඳීම හා විලෙවුන් දැරීම, මුවසුණු මුවවිළෙවුන් දැරීම, හස්තාභරණ දැරීම, හිසැ කුඩුම්බිය බැදීම, විසිතුරු සැරයටි දැරීම, විසිතුරු බෙහෙත්නළ දැරීම, කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නලල්පට බැඳීම, සිළුමිණ පැලැඳීම, විසිතුරු සෙමෙර විදුනා දැරීම, දික් දාවලු ඇති සුදු රෙදි හැදීම යන ආදී ඇඟ අඩු තැන් පිරවීමටත් ඇග සැරසීමටත්, කරුණු වන දෑ පරිභෝගකිරීමෙහි යෙදී වෙසෙත් ද, හේ මහණ තෙමේ මේ හෝ මේ බඳු දෑ පරිභෝග කිරීමෙන් වැළෑක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
 
35.යම්සේ වනාහී සමහර භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, රාජකථා, චෝරකථා, මහාමත්‍ය කථා, සේනා කථා, භය කථා, යුද්ධ කථා, ආහාර කථා, පානකථා, වස්ත්‍රකථා, ශයනකථා, මාලා කථා, ගන්ධකථා, ඥාති කථා, යාන කථා, ග්‍රාම කථා, නිගම කථා, නගර කථා, ජනපද කථා, ස්ත්‍රී කථා, පුරුෂ කථා, කුමාර කථා, කුමාරී කථා, ශූර කථා, වීථි කථා, කුම්භස්ථාන කථා, නානාත්ව කථා, ලෝකාඛ්‍යායිකා කථා, සමුද්‍රාඛ්‍යායිකා කථා, ඉතිභවාභව කථා යන මේ බඳු වූ තිරශ්චින කථාවල යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මේ කී හෝ මෙයින් අන්‍ය වූ හෝ මේ බඳු කථාවලින් වැළැකකේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
 
36.යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “තෝ මේ දහම් විනය නො දනිහි. මම ම මේ දහම් විනය දනිමි. ‘මේ දහම් විනය කිමැය‘යි  තෝ දනිහි ද? තෝ වරදවා පිළිපන්නෙහි. මම් මැනවින් පිළිපන්නෙම් වෙමි. මා බස කරුණු සහිත ය. තා බස කරුණු රහිත ය. තෝ පලමුයෙන් කියැ යුත්ත පසු වැ කීයෙහි ය. පසු වැ කියැ යුත්ත පළමුයෙන් කීයෙහි ය. තා කලක් ම පුහුණු කළ දැය මගේ එක වචනයෙන් ම පෙරැළී ගියේ ය. මා විසින් තට දොස් නැගිණ. මා විසින් නිගන්නා ලද්දෙහි. මා නැගු දොසින් මිදෙන්නට හැසිරෙව (ඒ ඒ තැන ගොස් උගනුව). හැකි නම් එය විසඳව” යන ආදීන් මේ බඳු වූ උනුන් බැණ දොඩා ගැනුම්හි යෙදෙත් ද, ඒ මහණ තෙමේ මෙකී හෝ අන් මෙබඳු වූ හෝ බැණුම්දෙඩුම්වලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
 
37.යම්සේ සමහර භවත් මහණබමුණෝ “මෙහි යන්නැ, අසෝ තැනට එන්නැ, මෙය ගෙනැ යන්න, අසේ තැනට මෙය ගෙනෙන්නැ”යි කළ නියෝග පිළිගෙන, රජුන්ගේ රජමහඇමතියන්ගේ ක්ෂත්‍රියයන්ගේ පණිවුඩ ගෙන යෑමෙහි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මේ කී හෝ අන් මෙ වැනි වූ දූත මෙහෙවරින්, පණිවඩි ගෙන යෑමෙන් වැළෑක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
38.යම්සේ සමහර පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළදා, කුහකකම් කරන්නෝ වෙත් ද, ලාභසත්කාර පතා අනුන් සිත් ඇදෙන සේ වූ චාටු බස් දොඩන්නෝ වෙත් ද, සිවු පසය ලබනු සඳහා කයින් හෝ බසින් ඇඟැවීම් කරන්නෝ වෙත් ද, ලාභාපේක්ෂායෙන් අනුනට ගරහන්නෝ වෙත් ද, ලාභයෙන් ලාභය සොයන්නෝ වෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ මෙබඳු වූ හෝ කුහනලපනවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
 
මධ්‍යමශීලය නිමියේ ය.
 
39.යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අංගශාස්ත්‍රය, නිමිත්තශාස්ත්‍රය, උත්පාතලක්ෂනය, ස්වප්නශාස්ත්‍රය, ලක්ෂණශාස්ත්‍රය, මූෂකච්ඡින්නවිද්‍යාව, අග්නිහෝමය, දර්වීහෝමය, තුෂහෝමය, කණහෝමය, තණ්ඩුලහෝමය, සර්පිෂ්හෝමය, තෛලහෝමය, මුඛහෝමය, ලෝහිතහෝමය, අංගවිද්‍යාව, වාස්තුවිද්‍යාව, ක්ෂාත්‍රවිද්‍යාව, ශිවවිද්‍යාව, භූතවිද්‍යාව, භූරිවිද්‍යාව, අහිවිද්‍යාව, විෂවිද්‍යාව, වෘශ්චිකවිද්‍යාව, මූෂකවිද්‍යාව, ශාකුනවිද්‍යාව, වායසවිද්‍යාව, පක්වධ්‍යානය, ශරපරිත්‍රාණය, මෘගපක්ෂය යන මෙකී හෝ මෙබඳු වූ හෝ තීරශ්චීනවිද්‍යායෙන්, මිත්‍යාජීවයෙන් දිවි පවත්වත්ද, ඒ මහණ තෙමේ එයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
 
40.  යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මිණිලකුණුය, වත්ලකුණුය, දඬුලකුණුය, කඩුලකුණුය, ඊලකුණුය, දුනුලකුණුය, අවිලකුණුය, ඉතිරිලකුණුය, පුරිස්ලකුණුය, කුමරලකුණුය, කුමරිලකුණුය, දස් ලකුණු ය, දැසිලකුණුය, ඇත්ලකුණුය, අස් ලකුණුය, මියුලකුණුය, වහප්ලකුණුය, ගොන්ලකුණුය, එළුලකුණුය, බැටෙළුලකුණුය, කුකුළුලකුණුය, වටුලකුණුය, ගොය්ලකුණුය, කැණිලකුණුය, කසුබුලකුණුය, මුවලකුණුය, යන ආදී මෙබඳු තිරශ්චීන විද්‍යායෙන්,  මෙබඳු මිත්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ එයින් වැළෑක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
 
41.යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “අසෝ දිනැ අසෝ නැකැතින් (යුද සඳහා) සිය නුවරින් අසෝ රජුන්ගේ නික්මීම වන්නේ ය, අසෝ නැකැතින් පෙරළා සිය නුවරට ඊම වන්නේ ය, අසෝ නැකතින් පිටතැ සිටින සතුරු රජුන් හමුවන්නට රට තුල සිටින සතුරු රජුන්ගේ යෑම වන්නේ ය, අසෝ නැකැතින් පිටතැ සිටින සතුරු රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය, අසෝ නැකතින් රට තුළැ සිටින රජුන් කරා පිටතැ සිටින සතුරු රජුන්ගේ පැමිණීම වන්නේ ය, අසෝ නැකතින් ඇතුළතැ සිටින රජුන්ගේ ඉවත් ව යෑම වන්නේ ය, රට ඇතුළතැ සිටන රජුනට ජය වන්නේ ය, පිටතැ සිටින සතුරු රජුනට ජය වන්නේ ය, රට තුළ සිටින රජුනට පරාජය වන්නේ යැ” යි මෙසේ ‘ මොහුට ජය වන්නේ ය, මොහුට පරාජය වන්නේ යැ’යි කියමින් මේ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මෙබඳු වු මිත්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මේ මෙබඳු වූ තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
 
42.යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළදා “අසෝ දිනැ චන්ද්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සූර්‍යග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සඳ හිරු දෙදෙනා නිසි මඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ නකත් තරුන් නිසිමඟින් යෑම වන්නේ ය. අසෝ දින ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දින උල්කාපතනය වන්නේ ය. දිග්දාහය වන්නේ ය. භූමිකම්පනය වන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් වන්නේ ය. සඳහිරුන්ගේ ද, නකත් තරුන්ගේ ද, උදාව බැසීම කෙලෙසීම පිරිසිදුබව වන්නේ ය.චන්ද්‍රග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සුර්‍යග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නක්ෂත්‍රග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරුන් නිසි මඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරු දෙදෙනාගේ නොමඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නකත්තරුවල පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. ඔවුන්ගේ උප්පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. උල්කාපතනය මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය. දිග්දාහය මෙ බඳු ගෙනැ දෙන්නේ ය. භූමිකම්පනය මෙබදු පල ගෙන දෙන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් මෙබඳු පල දෙන්නේ ය. සඳහිරුන්ගේ ද නකත් තරුවලද උදාවත් බැසීමත් කෙළෙසීමත් පිරිසිදු වීමත් මෙ බඳු මේ බඳු පල දෙන්නේ යැ ” යි කියනුවෝ මෙ බඳු තිරශ්චීන විද්‍යායෙන්, මෙ බඳු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහන තෙමේ මේ හෝ මෙ බඳු තිරශ්චින විද්‍යායෙන්, මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
 
43.යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “මේ සමයෙහි වැසි වස්නේ ය. මේ සමයෙහි නියං වන්නේ ය. මේ සමයෙහි රට සුභික්ෂ වන්නේ ය. මේ සමයෙහි රට දුර්භික්ෂ වන්නේ ය. මේ සමයෙහි රටට උවදුරු වන්නේ ය. මේ සමයෙහි රටට බිය වන්නේ ය. මේ කලැ රෝග වන්නේ, මෙ කලැ රෝග නැති බව වන්නේ යැ” යි පලාපල කීම ද, මුද්‍රාව(ඇඟිලි පුරුක්හී සංඥා තබා ගිණීම )ද, ගණනාව (එක දෙක යන ආදීන් ගිණීම) ද, කාව්‍යශාස්ත්‍රය, ලෝකායත ශාස්ත්‍රය යන මේ හෝ මේබඳු තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාආජිවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ අන් මෙ බඳු වු හෝ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් වැළැක්කේ වෙයි.  මේ ද ඔහුගේ සිල් වේ.
 
44.යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ආවාහ සඳහා නකත් කීම, විවාහ සඳහා නකත් කීම, වෙන් වූ අඹුසැමියන් එක් වන්නට නකත් කීම, අඹුසැමියන් වෙන් වන්නට නකත් කීම, දුන් ණය රැස් කිරීමට නකත් කීම, මුදල් ණයට පොලියට දීමට නකත් කීම, සෞභාග්‍ය ඇති වනුවට යන්ත්‍ර මන්ත්‍රාදිය කැරැ දීම, බිම් පාලු වන්නට හදි හූනියම් කිරීම, නැසෙන්නට යන දරු ගබ් රැකෙන්නට පිළියම් කිරීම, දිවගුලු බැඳිම, මන්ත්‍රාදියේ බලයෙන් හනු තද කිරීම, අත් පෙරැළෙන්නට මතුරු දැපීම, හනු පෙරැළෙන්නට මතුරු දැපීම, කන් අගුලු වැටෙන්නට මතුරු දැපීම, කැඩපතෙහි දේවතාවේශය කොට ප්‍රශ්න ඇසීම, කුමරියක ලවා පේන කියැවීම, දෙව්දැස්සක ලවා පේන කියැවීම, ජිවිකා පිණිස හිරු පිදීම, මහබඹු පිදීම, මතුරු දපා මුවින් ගිනිජල් විහිදුවීම, මතුරු දපා සිරිකත කැඳවීම, යන මේ හෝ අන් මේ බඳු  වූ තිරශ්චීනවිද්‍යයෙන්, මිථ්‍යාජීවයෙන් දිවිපවත්වත් ද, ඒ මහණ තෙමේ මේ ද, අන් මෙබඳු වූ ද තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
 
45.යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ශාන්තිකර්ම, ප්‍රණිධිකර්ම, භූරිකර්ම, පණ්ඩකයා පිරිමියෙකු කිරීම, පිරිමියා පණ්ඩකයෙකු කිරීම, වාසුතුකර්ම, වාස්තු පිරිකිරණ, මතුරු දපා වුම දෙවුම්, මතුරු දපා අනුන් නෑවිම, සෙත් පතා ගිනිපිදීම, ගිහියනට වමන කරවීම, බඩ විරේක කරවීම, ළය විරේකයට බේත් දීම, වස්ති කිරීම, ශිර්ෂවිරේචන බේත් දීම, කන් ලෙඩට තෙල් පිසැදීම, ගිහියන් සඳහා ඇස පටලයට සිහිල ගන්වන නෙත් තෙල් පිසීම, ගිහියනට නස්‍ය දීම, කාරම් අඳුන් සාදා දීම,  ඇස සිසිල ගන්වන අඳුන් සාදා දීම, ගිහියන්ගේ ඇසැ උල්ඇන ලෙඩට පිළියම් කිරීම, මුල් බෙහෙත් දීම( කාය චිකිත්සාව) , කාරම් බේත් බැඳ වණ සුව වූ පසු ඒවා ගවා දැමීම යැ”යි මේ ආදී වූ හෝ මෙබඳු වූ තිර්ශචීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන්, දිවි පවත් වත් ද, ඒ මහණ තෙමේ ඒ සියල්ලෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
 
46.බමුණ,  ඒ මහණ තෙමේ මෙසේ ශීලසම්පන්න වූයේ ශීලසංවරහෙතුයෙන් කිසිම එක ද අසංවරතායෙකින් පහළ වියැ හැකි බියක් නො දකී. බමුණ,  කෂ්ත්‍රියාභිෂේකයෙන් අභිෂේක ලත්, වැනසූ සතුරන් ඇති ක්ෂ්ත්‍රියයෙක් කිසි ම එකද සතුරෙකුගෙන් වියැ හැකි කිසිදු බියකුත් යම්සේ නොදක්නේ ද, බමුණ,  එසේ ම මහණ තෙමේ මේ පරිද්දෙන් ශීලසම්පන්න වූයේ ශීලසංවරහේතුයෙන් කිසිම එක ද අසංවරයෙකින් ඉපැදිය හැකි බියක් නොදකී.  හේ මේ ආර්‍ය ශීලස්ඛන්ධයෙන් සමන්විත වූයේ, සිය සතන්හි නිදොස් වූ කායික චෛතසික සුවය විඳී. බමුණ,  මෙසේ වනාහී මහණ තෙමේ ශීලසම්පන්න වේ.
 
47.බමුණ,  මහණ තෙමේ කෙසේ නම් ඉඳුරන්හී වැසූ දොර ඇත්තේ වේ ද? යත්: බමුණ,  මේ  සස්නෙහි මහණ තෙමේ ඇසින් රූපයක් දැක ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශූභාදිවශයෙන් අත් පා ආදී අවයවයන්ගේ ආකාර සිතට නොගන්නේ වේ. යම් කරුණෙකින් චක්ෂුරින්ද්‍රිය වසා නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ චක්ෂුරින්ද්‍රියයාගේ ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ චක්ෂුරින්ද්‍රියය රකී. ඒ චක්ෂුරින්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
කනින් හඬ අසා ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශූභාදිවශයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් සෝතඉන්ද්‍රිය වසා නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ සෝතඉන්ද්‍රියයාගේ  ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ සෝතඉන්ද්‍රිය රකී. ඒ සෝතඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
නාසායෙන් ගඳ ආඝ්‍රාණය කොට ශුභාදීවශයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදීවශයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් ඝාණඉන්ද්‍රිය වසා නොගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ ඝාණඉන්ද්‍රියයාගේ ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ ඝාණඉන්ද්‍රියය රකී. ඒ ඝාණඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
දිවෙන් රස ආස්වාද කොට ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදීවසයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් ජිව්හින්ද්‍රිය වසා නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ ජිව්හින්ද්‍රියයාගේ ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ ජිව්හින්ද්‍රියය රකී. ඒ ජිව්හින්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
කයින් ස්ප්‍රෂ්ටව්‍යය (ඇඟට හැපෙන දෑ)ස්පර්ශ කොට ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදීවසයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් කායින්ද්‍රිය වසා  නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ කායින්ද්‍රියයාගේ ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ කායින්ද්‍රියය රකී. ඒ කායින්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
සිතින් ධර්මාලම්බන දැන, ශුභාදී වසයෙන් එහි ලකුණු ගන්නේ නො වේ. ශුභාදීවසයෙන් ආකාර ගන්නේ නො වේ. යම් ආකාරයෙන් මනින්ද්‍රිය සංවර කර නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ මනින්ද්‍රියයාගේ ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ මනින්ද්‍රියය රකී. ඒ මනින්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
හේ මේ ආර්‍ය වූ ඉන්ද්‍රියසංවරයෙන් සමන්විත වූයේ සිය සතන්හි අව්‍යාසේක සුඛය (කෙලෙසුන් ගෙන් තෙත් නොවීමෙන් වූ පිරිසිදු අධිචිත්ත සුඛය) විඳී. බමුණ,   මෙසේ වනාහී මහණ තෙමේ ඉන්ද්‍රියයන්හී වැසූ දොර ඇත්තේ වේ.
බමුණ,   මෙසේ මහණ තෙම ඉඳුරන්හි වැසු දොරැත්තේ වෙයි.
 
48.බමුණ,  මහණ තෙමේ කෙසේ නම් ස්මෘතිසම්ප්‍රජානනයෙන් (සිහිනුවණින්) සමන්විත වේ ද? යත්:
බමුණ,  මේ සස්නෙහි මහණ තෙමේ ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි (ආපසු හැරීමෙහි) මනා නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. ඉදිරි බැලීමෙහි, අනුදික් බැලීමෙහි, (වටපිට බැලීමෙහි) මනා නුවණින් දැනම (එය) කරනුයේ වෙයි. අත් පා ආදිය හැකිලීමෙහි, දිගු කිරීමෙහි නුවණීන් දැන ම (එය) කරනුයේ වෙයි.  සඟළසිවුර ද පාත්‍රය ද සෙසු සිවුරු ද දැරීමෙහි නුවණින් දැන ම කරන්නේ වෙයි. ආහාර ගැන්මෙහි, පැන් පීමෙහි, පිටි කැවිලි ආදිය කෑමෙහි, මී ආදිය රස විඳීමෙහි, නුවණීන් දැන ම කරනුයේ වෙයි. මල මූ පහ කිරීමෙහි නුවණීන් දැන ම කරනුයේ වෙයි. ගමනෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි කථා කිරීමෙහි, නො බිණීමෙහි නුවණින් දැන කරනුයේ වෙයි. බමුණ,  මෙසේ වනාහී මහණ තෙමේ සිහි නුවණින් සමන්විත වෙයි.
 
49.බමුණ,  කෙසේ නම් මහණ තෙමේ ලද පමණෙහි සතුටු වේද ? යත්:
බමුණ,  මේ සස්නෙහි මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට නික් මැ යේ ද, අට පිරිකර පමණක් ගෙන ම නික්මෙයි. බමුණ,  (පියා හඹනුවට තරම්) අත්තටු ඇති කුරුලු තෙමේ යම් යම් තැනක පියා හඹා යේ නම්, පියාපත්බර සහිත ව ම යම් සේ පියාහඹා යේ ද, එසේ ම, බමුණ,  ඒ මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට යේ ද පා සිවුරු (ආදී අට පිරිකර පමණක්) රැගෙන ම යෙයි. බමුණ,  මෙසේ වනාහි තෙමේ ලද පසයෙහි සතුටු වේ.
 
50.බමුණ,  ඒ මහණ තෙමේ මේ ආර්‍ය ශීලස්ඛන්ධයෙන් ද සමන්විත වූයේ, මේ ආර්‍ය ඉන්ද්‍රියසංවරයෙන් ද සමන්විත වූයේ, මේ ආර්‍ය ස්මෘතිසම්ප්‍රජන්නයෙන් ද සමන්විත වූයේ, මේ ආර්‍ය සන්තුෂ්ටියෙන් ද සමන්විත වූයේ, අරණ්‍ය වෘක්ෂමූල පර්වත කඳුරැලි ගිරිගුහා සොහොන් වනපෙත් (වනප්‍රස්ථ) අභ්‍යවකාශ (එළිමහන්) පිදුරුලෙන් යන මෙ කී ජනශූන්‍ය කිසි සෙනස්නක් භජනය කෙරෙයි. හේ පිඬු  සෙවීමෙන් පෙරළා ආයේ, පසුබත් සෙමෙහි, පලක් බැඳ උඩු කය කෙළින් පිහිටුවා, කමටහනට අභිමුඛ කොට සිහිය එළවා හිඳී.
 
51.හේ ලොවැ (පඤ්ච උපාදානස්කන්ධය කෙරෙහි) ඇල් ම හැර, විෂ්කම්භණප්‍රහාණයෙන් (යට පත් කිරීමෙන්) පහ වූ අභිජඣායෙන් යුත් සිතින් වෙසෙයි.  අභිජ්ඣාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාදප්‍රද්වේෂය (ක්‍රෝධය) හැර, ව්‍යාපාද රහිත සිතැත්තේ, සියලු පණ ඇති සතුන් කෙරේ හිතානුකම්පා ඇති වැ වෙසෙයි. ක්‍රෝධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය  හැර, පහ වූ ස්ත්‍යානමිද්ධය ඇත්තේ දිව රෑ දෙක්හි ම දුටු එළිය හඳුනනු හැකි පිරිසිදු සංඥාව ඇත්තේ, සිහියෙනුත් නුවණිනුත් යුක්ත වූයේ වෙසෙයි. ස්ත්‍යානමිද්ධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. උදහසත් (සිතැ නොසංහුන් බවත්) කුකුසත්(කළ නො කළ දැයෙහි පසුතැවිල්ලත්) සිතින් දුරැ ලා, අනුද්ධත වැ (නොසංහුන් බැවින් තොර වැ) සංසිඳුනු ස්වකීය චිත්තසන්තානය ඇත්තේ, උදහස් කුකුස් දෙක කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. සැකය දුරැ ලා, පහ වූ සැක ඇත්තේ, කුසල් දහම්හි සැක  නො කරනුයේ, සැකය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.
 
52.බමුණ,  යම්සේ පුරුෂයෙක් (පොලියට)ණය මුදලක් ගෙනැ කර්මාන්ත කරන්නේ ද, ඔහුගේ ඒ කර්මාන්ත සමෘද්ධ වන්නේ නම්, හේ යම් පරණ ණය මුදල් වී නම්, ඒ සියල්ල ගෙවා අවසන් කරන්නේ ද, මත්තෙහි ඉතිරි වූ යමක් ඇත් නම් එය අඹුදරුවන් රක්නා පිණිස වන්නේ ද, එසේ වූ ඔහුට “මම් පලමුයෙන් ණයට මුදල් ගෙන කර්මාන්ත කළෙමි. ඒ මගේ කර්මාන්ත සමෘද්ධ විය. ඒ මම්, යම් පරණ ණය මුදල් වී නම් එය ගෙවා අවසන් කෙළෙමි. අඹුදරුවන් රක්නට වැඩිපුර ඉතිරි වූ මුදලෙක් ද මට ඇතැ” යි. මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ ණයනැතිබව කරණ කොට ගෙන සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ය.
53.බමුණ,  යම් සේ පුරුෂයෙක් රෝගී වූයේ, දුකට පැමිණියේ, දැඩි ලෙස ගිලන් වන්නේ ද, ඔහුට බතුත් නො රිසියෙන්නේ ද, ඔහුගේ ඇඟපත ශක්ති පමණකුත් නො වන්නේ ද, හේ මෑත කාලයෙහි ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට බතුත් රිසියේ නම්, ඔහු ඇඟපත ශක්තිය ද වන්නේ නම්, “මම් වූ කලී පෙරැ දුකට පත්, දැඩිව ගිලන් බව් ඇති ලෙඩෙක් වීමි. මට ආහාර ද රිසි නොවී ය. මා ඇඟපත ශක්තිය ද නො වී ය. ඒ මම් දැන් ඒ ලෙඩින් මිදුනෙම් වෙමි. ඒ මට ආහර ද රිසියෙයි. මා ඇඟ පත ශක්තිය ද ඇතැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ නම්, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ය.
 
54.බමුණ,  යම් සේ පුරුෂයෙක් හිර ගෙහි බැඳුණේ වන්නේ ද, හේ පසු කලෙක ධනය වියදම් නො කොට පහසුවෙන් ඒ හිර ගෙන් මිදෙන්නේ ද, (ඒ හේතුයෙන්) ඔහුගේ කිසි භෝග විනාශයෙක් නො වන්නේ ද, “මම් වූ කලී පෙරැ හිර ගෙහි බැඳුණෙම් වීමි. ඒ මම් දැන් ධන වියදම් නො කොට පහසුවෙන් ඒ හිර ගෙන් මිදුණෙම් වෙමි. මගේ භෝගයනට කිසි විනාශයෙක් ද නැතැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ය.
 
55.බමුණ,  යම්සේ තමා අයත් පැවැතුම් නැති, අනුන් අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යන්නට අවසර නැති දාස පුරුෂයෙක් වන්නේ ද, හේ මෑත භාගයෙහි තමා අයත් පැවැතුම් ඇතියේ, පරා අයත් පැවැතුම් නැත්තේ, නිදහස් වූයේ , කැමැති අතෙක යා හැකි වූයේ ඒ දාසභාවයෙන් මිදෙන්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලී පෙරැ තමා අයත් පැවැතුම් නැති, පරා අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යා නොහැකි නොහැකි දාසයෙක් විමී. ඒ මම් දැන් ඒ දාසභාවයෙන් මිදුණෙම්, මා අයත්. පැවැතුම් ඇතියෙම්, පරා අයත් පැවැතුම් නැතියෙම්, නිදහස් වූයෙම් කැමැති අතෙක යා හැකියෙම් වෙමි” යි මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ය.
56.බමුණ,  යම්සේ ධනවත් වූ භෝගසම්පත් ඇති පුරුෂයෙක් දුර්ලභ වූ ආහාර ඇති, උවදුරු ඇති, දිය නැති දික් කතරමඟකට බස්නේ ද, හේ පසු කෙලක සුවසේ ඒ නිරුදක පෙදෙස ඉක් මැ යන්නේ ද, උවදුරු නැති විපත් නැති ගම්මානයකට බස්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලී පෙර ධන ඇතියෙම්, භෝග සම්පත් ඇතියෙම්, දිය නැති, ආහාර දුර්ලභ, ප්‍රතිභය සහිත දික් මඟකට බටුයෙමි. ඒ මම් දැන් සුවසේ ඒ කාන්තාරය තරණය කෙළමි. නිරුපද්‍රැත භය රහිත ගමකට පැමිණෙයෙම් වෙමි” යි සිතෙක් වන්නේ ද, හේ ඒ කරුනින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ය. බමුණ,  එසේ ම මහණ තෙමේ ණයක් මෙන් ලෙඩක් මෙන් හිරගෙයක් මෙන් වහල් බවක් මෙන් දිය නැති දික් මඟක් මෙන් (පිළිවෙලින්) මේ පහ නොවූ නීවරණ පස තමා කෙරෙහි දකී. බමුණ,  ණය නැති බව යම්සේද, ලෙඩ නැති බව යම්සේ ද, උවදුරු නැති බිම යම්සේ ද, එසේම (පිළිවෙලින්) මේ පහ වූ නිරවණ පස(හෙවත් නීවරණ පසේ දුරු වීම) තමා කෙරෙහි දකී.
 
57.තමා කෙරෙහි පහවු මේ නීවරණ පස දක්නා ඔහුට සතුට උපදී.  සතුටු වූවහුට ප්‍රීතිය උපදී. සිතැ ප්‍රීතිය ඇත්තහුගේ නාම කය සංහිඳේ. සංහුන් නාම කය ඇත්තේ සුව විඳී. සුවැතියහු සිත සමාධිගත වේ. (එකඟ වේ.)
 
58.හේ කාමයන්ගෙන් වෙන් ව ම, සෙසු අකුසල දහමුන් ගෙන් ද වෙන් ව ම, විතර්කසහිත, විචාරසහිත, විවේකයෙන් (නීවරණ පහවීමෙන්) උපන් ප්‍රීතියත් සුවයත් ඇති පලමු ධ්‍යානය ලැබ වෙසේ,
හේ මේ කරජ කය ම විවේකයෙන් උපන් ප්‍රීති සුඛයෙන් තෙමෙයි. මුළුල්ල ම තෙමෙයි. පුරා ලයි, මුළුල්ල ම ස්පර්ශ කෙරෙයි සියලු අඟ පසඟ ඇති ඔහුගේ මුළු කයෙහි ඒ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් පැතිරැ වැද නොගත් (නොපහස්නා ලද) කිසි ද තැනෙක් නො වෙයි.
 
59.බමුණ,  යම් සේ කපුවෙක් (කිලිඟෙක්) හෝ කපුවකුගේ (කිලිඟකුගේ) අතැවැස්සෙක් හෝ ලොහොතලියෙක නාන සුණු බහා දිය ඉස ඉස පිඬු කරන්නේ ද, ඒ නාන සුණු පිඬ කාවැදුණු දිය ඇත්තේ හැම තැන ම දියෙන් යුක්ත වූයේ, ඇතුලත පිටත මුළුල්ල ම දියෙන් පැතිරැ ගියේ දිය නො වගුරුවන්නේත් වේද,  බමුණ,  එසේ ම මහණ තෙමේ මේ කරජ කය ම විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි. මුළුවල්ලම තෙමයි. පුරාලයි. මුළුල්ලම ස්පර්ශ කෙරෙයි. ඔහුගේ සියලු අඟ පසඟ ඇති මුළු කයෙහි විවේකජ ප්‍රීති සුඛයෙන් පැතිර වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
 
60.බමුණ,  තවද  මහණ තෙම විතර්ක විචාර සංහිඳීමෙන්, සිය සතන්හි උපන්, සිය සතන් පහදවන, (ශ්‍රද්ධාව හා එක් වැ යෙදුණු) සිතැ එකඟ බව ඇති, විතර්කය නැති විචාරය නැති, සමාධියෙන් උපන්, ප්‍රීතියත් සුවයත් ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසෙයි හේ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීතියෙන් තෙමයි. මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම සපර්ශ කෙරෙයි. ඔහුගේ මුළුකයේ විවේකයෙන් උපන් ප්‍රීති සුවයෙන් පැතිරැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
 
61.බමුණ,  යම් සේ යටැ උල්පතින් මතු වන දිය ඇති ගැඹුරු විලෙක් වේද , එයට පෙර දිගින් දිය ඇතුළු වන මඟෙක් නො වන්නේ ද, දකුණු දෙසින් දිය ඇතුළු වන මඟෙක් නොවන්නේ ද, පැසිම් දිගින් ද දිය ඇතුළු වන මඟෙක් නොවන්නේ ද, උතුරු දෙසින් ද දිය වැද ගන්නා මඟෙක් නොවන්නේ ද, වැස්ස ද, කලින් කලැ සුදුසු පරිදි නො වසින්නේ ද, එතෙකුදු වුවත් ඒ විලෙන් සිහිල් දියදහර මතු වී  ඒ විලම සිහිල් දියෙන් තෙමන්නේ ද, හැම පරිදි තෙමන්නේ ද, පුරා ලන්නේ ද, හැම තැනම වැද ගෙන පැතිර සිටින්නේ ද, ඒ මුළු විලෙහි සිසිල් දිය පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො මැත් ද, බමුණ,  එසේ ම මහණ තෙමේ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීතියෙන් තෙමයි. මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරා ලයි, ප්‍රීතිසුවයෙන් හැම තැන ම සපර්ශ කෙරෙයි. ඔහුගේ මුළුකයේ සමාධියෙන්  උපන් ප්‍රීති සුවයෙන් පැතිරැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි මේ ද ඔහුගේ චරණ ධර්මයකි.
 
62.බමුණ,  තවද මහණ තෙමේ ප්‍රීතියාගේ ද විරාගයෙන් (පහවීමෙන්, සංසිඳීමෙන්), උපෙක්ෂායෙන් ද යුක්ත වැ, සිහියෙන් හා නුවණින් හා යුක්ත වැ වෙසෙයි. සුවය ද කයින් විඳී. ආර්‍යයෝ යම් ධ්‍යානයක් හේතු කොට ගෙන ධ්‍යානලාභියා ඇරැබැ ‘උපෙක්ෂාව ඇත්තේ ය සිහි ඇත්තේ , සුඛ විහරණ ඇත්තේ යැ‘යි කියත් ද, හේ (එසේ වූ) ඒ තෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසේ.
හේ මේ කයම නිෂ්ප්‍රීතික සුවයෙන් තෙමයි, හැම පරිදි තෙත් කෙරෙයි, පුරාලයි, හැම තැන ම පැතිර වැද ගනී. ඔහුගේ කයෙහි ඒ නිෂ්ප්‍රීතික සුඛයත් පැතර නොගත් කිසි ද තැනෙක් නොවෙයි.
බමුණ,  යම්සේ උපුල් විලෙක හෝ පියුම් විලෙක හෝ පඬෙර විලෙක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ පඬෙර හෝ දියෙහි උපන්නේ දියෙහි වැඩුණේ, දියෙන් නොනැගුණේ, දිය තුළෑම ගිලී වැඩුනුයේ ද, ඒ හැම අග දක්වාත් මුල් දක්වාත් සිහිල් දියෙන් තෙමුණේ, හැමපරිදි තෙත් වූයේ, පිරී ගියේ, හැම තැන් ම පැතිරැ වැද ගත්තේ වේ ද, ඒ විලෙහි සියලු උපුල්වල හෝ පියුම්වලැ හෝ පඬෙරවලැ හෝ සිසිල් දිය පැතිරැ නොගත් තැනෙක් නො වන්නේ ද, බමුණ,  එසේ ම මහණ තෙමේ මේ කය ම නිශ්ප්‍රීතික සුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි. පුරා ලයි, හැමපරිදි පැතිරැ වැද ගනී. ඔහුගේ සියලු කයෙහි නිෂ්ප්‍රීතික සුඛයෙන් පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි. මේ ද ඔහුගේ චරණ ධර්මයකි.
 
63.තවද බමුණ,  මහණ තෙමේ සුඛ වේදනාව ද දුරැ ලීමෙන්, දුක්ඛ වේදනාව ද දුරැලීමෙන්, පලමු කොට ම සොම්නස් දොම්නස් දෙදෙනාගේ පහවීමෙන් දුක් ද නොවූ, සුව ද නොවූ, උපේක්ෂා ස්මෘති යන මොවුන්ගේ පිරිසිදු බව ඇති සිව් වන ධ්‍යානය ලැබ වෙසෙයි. හේ මේ කය ම පිරිසිදු පැහැසර සිතින් පැතිරැ වැද ගෙන හුන්නේ වෙයි.
ඔහු මුළු කයෙහි පිරිසිදු පැහැසර සිතින් පැතිරැ වැද නො ගෙන සිටි කිසි ද තැනෙක් නොවෙයි.
යම්සේ පුරුෂයෙක් සුදු වතින් හිස සහිත වැ වසා පෙරැව ගෙන හුන්නේ වේ නම් ඔහුගේ කයෙහි සුදු වතින් නො වැසුණු  කිසි ද තැනෙක් නොවන්නේ ද, බමුණ,  එසේම මහණ තෙම මේ කය ම පිරිසිදු වූ ප්‍රභාස්වර වූ සිතින් පැහැර වැද ගෙන නොසිටි කිසිද තැනෙක් නොවෙයි. මේ ද ඔහුගේ චරණධර්මයෙක් වේ.
 
64.තව ද බමුණ,  ඒ මහණ තෙමේ මෙසේ එකඟ වූ සිත පරිසිදු වූ කල්හී දීප්තිමත් වූ කල්හී, කිලිටි නැති වූ කල්හී, පහ වූ චිත්තෝපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හී, විදර්ශණා භාවනාවට යෝග්‍යවූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හි විදර්ශනාඥාණය පිණිස (පරිකර්ම) සිත එයට අඹිමුඛ කෙරෙයි, ඒ අතට තමා හරියි හේ  “මගේ මේ කය වූ කලී රූපවත් ය, සතර මහාභූතයන්ගෙන් හැදුණේ ය, මව්පියන්ගේ ශුක්‍රශෝණිතයෙන් උපන්නේ ය, බත් කොමු ආදී අහරින් වැඩුණේ ය, අනිස බව ද දුගඳ බවද, හරනුවට සුවඳ විලෙවුන් ඉළියැ යුත් බව ද, ලෙඩ දුරැලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද, එසේ කළ ද බිඳෙන බව ද, විසිරෙන බව ද යන මේ දෑ ස්වභාව කොටැත්තේ ය. මගේ මේ සිත ද මෙහි ලැග්ගේ ය, මෙහි බැඳුණේ යැ” යි මෙසේ දැනගනී.
බමුණ,  යම්සේ සොඳුරු වූ, පිරිසිදු ආකරයෙක පහළ වූ ඇටැස් වූ මොනවට පිරයම් කළ, සියුම් වූ වෙසෙසින් පහන් වූ, පිවිතුරු වූ, ධෝවනාදී සියලු අකාරයෙන් යුත් වෙරළුමිණෙක් වන්නේ ද, එහි නිල් වූ හෝ රන්වන් වූ හෝ රත්වන් හෝ සුදුවන් හෝ පඬුවන් හෝ හුයෙක් අමුනන ලද්දේ වන්නේ ද, එය ඇස් ඇති පුරුෂයෙක් අතෙහි කොට “මේ වූ කලි සොඳරු වූ, පිරිසිදු ආකරයෙහි උපන් ඇටැස් වූ මොනවට පිරියම් කැරුණු, සියුම් වූ, වෙසෙසින් පහන් වූ, පිවිතුරු වූ, සියලු ධෝවනාදී ආකාරයෙන් සම්පූර්ණ වූ වෙරළු මිණෙක. මෙහි නිල් වූ හෝ රන්වන් වූ හෝ රත්වන් වූ හෝ සුදුවන් වූ හෝ යම් හුයෙක් අවුනන ලදුයේ වේ යැ”යි සලකා බලන්නේ ද,
බමුණ,  එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාධිගත සිත පිරිසිදු වූ ක්ලහී දීප්තිමත් වූ කල්හී, කෙලෙස් යටපත් වූ ක්ල්හී, උපක්ලේශයන් පහ වූ කල්හී මෘදු වූ කල්හී, කර්මණ්‍ය වූ කල්හී සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හි, විදර්ශනාඥානය පිණිස සිත අභිමුඛ කෙරෙයි, එය අතට නමා හරියි. හෙ තෙම “මගේ මේ කය වූ කලී රූපී ය, සතර මහාභූතයන්ගෙන් හැදුණේ ය, මාපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් නිපන්නේ ය, බත් කොමු ආදී අහරින් වැඩුණේ ය, අනිසි බව ද, දුගඳ හරනට සුවඳ විලෙවුන් ඉළියැ යුතු බව ද ලෙඩ දුරැලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද ඒ කළත් බිඳෙන බව ද විසිරෙන බවද යන මේ දෑ ස්වභාව කොටැත්තේ ය. මගේ මේ සිත ද මෙහි ලැග ගත්තේ ය, මෙහි බැඳුණේ යැ”යි මෙසේ දැන ගනී. මේ ද ඔහුගේ විද්‍යාවෙක් වෙයි.
 
64.හේ මෙසේ සිත සමාහිත කල්හි පිරිසිදු වු කල්හී, දීප්තිමත් කල්හී, කෙලෙස් නොමැති වූ කල්හී, උපක්ලේශ පහ වූ කල්හී, මෘදු වූ කල්හී, කර්මණ්‍ය වූ (සෘද්ධි ඉපදීවීමට යෝග්‍ය වූ) කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හී මනෝමය ශරීරයක් මවා පානු පිණිස සිත යොමු කෙරෙයි.  නැඹුරු කෙරෙයි. හේ මේ සිරුරෙන් රූපී වු, සියලු අඟපසඟින් යුත්, විකල නොවූ ඉඳුරන් ඇති මනෝමය ශරීරයක් මවා පායි.
බමුණ,  යම්සේ පුරුෂයෙක් මුදුතණ ගසෙකින් තණකූර(තණබඩය)ඇද මෑත් කරන්නේ ද, ඔහුට “මේ මුදුතණගස ය, මේ එහි තණ බඩ ය, තණ ගස එකෙකි, එහි බඩය අනෙකෙකි. මුදු තණ කෙරෙන් ම එහි කූර (බඩය) මෑත් කරන ලද්දේ යැ”යි මෙසේ සිතෙක් වන්නේ ද, බමුණ,  යම්සේ වනාහී පුරුෂයෙක් කඩුවක් කොපුවෙන් ඇද මෑත් කරන්නේ ද,  ඔහුට “ මේ කඩුවය, මේ කොපුව ය, කඩුව එකෙක, කොපුව අනෙකක, කොපුයෙන් ම කඩුව ඇද මෑත් කරන ලද්දේ යැ” යි මෙසේ සිතෙක් වන්නේ ද,  බමුණ,  යම්සේ වනාහී පුරුෂයෙක් නයකු සැවයෙන් ඇද වෙන කරන්නේ ද, ඔහුට “මේ නායා ය, මේ සැවය ය. නයා එකෙක, සැවය අනෙකක. සැවය කෙරෙන් ම නයා ඇද වෙන් කරන ලද්දේ යැ”යි මෙසේ සිතෙක් වන්නේ ද, බමුණ,  එපරිද්දෙන්ම මහණ තෙමේ මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හී, දීප්තිමත් වූ කල්හී කෙලෙස් රහිත වූ කල්හී, උපක්ලේශයන් පහ වැ ගිය කල්හී, කර්මණ්‍ය වූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පත් කල්හී, මනෝමය ශරීරයක් මවා පානු පිණිස සිත යොමු කෙරෙයි, නුඹුරු කෙරෙයි. හේ මේ ශරීරයෙන් රූපී වූ මනෝමය වූ සියලු  අඟපසඟින් යුක්ත වූ අවිකල ඉඳුරන් ඇති අන් සිරුරක් මවා පායි. මේ ද ඔහුගේ විද්‍යාවෙක් වේ.
 
65.හේ මෙසේ සිත සමාහිත කල්හී, පිරිසිදු කල්හි, දීප්තිමත් වූ කල්හි කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්මණය වූ (=සෘද්ධියට යෝග්‍ය වු) කල්හී, සිටි කල්හී, නිශ්චලත්වයට පැමිණි කල්හී, සෘද්ධිවිධඥාණය පිණිස (අභිඥාපාදක) පරිකර්ම සිත මෙහෙයයි, නැඹුරු කෙරෙයි. හේ අනේකවිධ වූ සෘද්ධිවිධය (සෘද්ධි කොට්ටාසය) නැවත නැවත අනුභව කෙරෙයි. (හෙවත් නාම කයින් ස්පර්ශ කෙරෙයි, ප්‍රත්‍යක්ෂ කෙරෙයි ලබයි.) පියෙවියෙන් එකෙක් වැ සිටැ ද (සෘද්ධිබලයෙන්) බහු ප්‍රකාර ද වි යලිදු එකෙක් වෙයි. තමාගේ ප්‍රකට බව කෙරෙයි (පෙනීසිටී) අප්‍රකට බව කෙරෙයි. (=නොපෙනී සිටියි) බිත්තියේ පිටතට, පවුරෙන් පිටතට, පර්වතයෙන් පිටතට අහසෙහි මෙන් කිසිවෙක නොගැටෙනුයේ මැදින් විනිවිද ගෙන යෙයි. දියෙහි මෙන් පොළොවෙහි ද යටට බැසීම(=ගිලී) උඩට නැගීම (=මතුවීම) කෙරෙයි. නො බිඳෙන (යට නො බස්නා) දියෙහි පොළොවෙහි සේ යෙයි. පක්ෂ ඇති සකුණයෙකු මෙන් අහසෙහි ද පළඟින් (=ඌරුබද්ධාසනයෙන්)යෙයි. මේ සා මහර්ද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා ද, අතින් පරාමර්ශනය කෙරෙයි(=අල්ලයි) (ඔබමොබ අත යවා) පිරිමදියි. බඹලොව තෙක් ද (සියල්ල) කයින් වශයෙහි පවත්ව යි.
බමුණ,  යම්සේ දක්ෂ කුඹලෙක් හෝ කුඹලක්හුගේ අතැවැස්සෙක් හෝ මොනවට පිරියම් කළ (=සකස් කළ) මැට්ටෙන් යම් යම් භාජන විශේෂයක් කැමැත්තේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද, මොනවට නිපදවන්නේ ද,  බමුණ,  යම්සේ දක්ෂ දන්තකාරයෙක් (ඇත්දත් ආදීයෙන් විසිතුරු කම් කරන්නෙක්) හෝ දන්තකාරයකුගේ අතැවැස්සෙක් හෝ මොනවට පිරියම් කළ (=දොස් ඉවත් කොට මොනවට සකස් කළ)දතෙක්හි යම් යම් දන්තවිකෘතියත් (දතෙහි කළ විසිතුරු රූපාදියක්) කැමැති වන්නේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද, වෙසෙසින් නිපදවන්නේ ද, බමුණ,  යම්සේ හෝ දක්ෂ රන්කරුවෙක් හෝ රන්කරුවෙකුගේ අතැවැස්සෙක් හෝ මොනවට සකස් කළ රනෙහි යම් යම ස්වර්ණ විකෘත්තියක් (ආභරණ ආදියක්) කැමැත්තේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද , නිපදවන්නේ ද,
බමුණ,  එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හී කෙළෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, සෘද්ධිවිධඥාණය පිණිස සිත මෙහෙයවයි නැඹුරු කෙරෙයි. හේ අනේකවිධ වූ සෘද්ධි කොට්ඨාසය නැවත නැවත විඳී. පියෙවියෙන් එකෙක් වැ සිට බොහෝ දෙනෙක් වෙයි. බොහෝ දෙනෙක් වැ සිට එකෙක් වෙයි. තෙමේ පෙනී සිටී, නො පෙනී ද සිටී. බිත්තියෙන් පිටතට, පව්වෙන් පිටතට, විනිවිදැ අහසෙහි මෙන් කිසිවකැ නො ලැගී යෙයි. දියෙහි මෙන් පොළොවෙහිත් ගිලීම් ද මතුවීම් ද කෙරෙයි. පොළව මතු පිටැ සේ නොබිඳෙන දියෙහි යෙයි. පක්ෂියෙකු සේ පළඟින් අහසෙහි යෙයි. මේ සා මහර්ද්ධිමත් මහත් අනුභාව ඇති සඳ හිරු දෙදෙනා පවා අල්ලයි, පිරිමදියි. බඹලොව තෙක් ද කයින් තමා වශයෙහි පවත්වයි. මේ ද ඔහුගේ විද්‍යාවෙක් වේ.
 
66.හේ මෙසේ සිත සමාහිත කල්හී, පිරිසිදු කල්හි, දීප්තිමත් කල්හි, කෙලෙස් රහිත වූ කල්හී, උපක්ක්ලේශ පහ වැ ගිය කල්හි මෘදු වූ කල්හි, කර්මණ්‍ය වූ කල්හී සිටි කල්හි නිශ්චල බවට පැමිණි කල්හි, දිව්‍ය ශ්‍රෝත්‍රධාතුව පිණිස (දිවකන් නුවණ පිණිස) සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි, හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ ශ්‍රාවණෝපචාරය ඉක්මවා සිටි දිව කනින් දිව්‍ය වූද මානුසික වූ ද, දුරැ වූ ද, ළං වූ ද, යන ද්විවිධ ශබ්ද ම අසයි.
බමුණ,  යමසේ මිනිසෙක් දික් මඟකට පිළිපන්නේ ද, හේ බෙරහඬක් මිහිඟු බෙර හඬත් පණාබෙර හඬත්, ගැටබෙර හඬත් යම්සේ අසන්නේ ද, ඒ අසන ඔහුට ‘මේ බෙර හඬැයි කියාත්, මේ මිහිඟු බෙර හඬයි කියාත්, මේ සක්පණාබෙර ගැටබෙර හඬයි කියාත්, මෙසේ සිතෙක් වන්නේ ද, බමුණ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හී කෙලෙස් රහිත වූ කල්හි, උපක්කිලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්මණය (කර්මක්ෂම) වූ කල්හී, සිටි කල්හි, නිශ්චල බවට පැමිණි කල්හී, දිව්‍ය ශ්‍රෝත්‍රධාතුව පිණිස සිත යොමු කෙරෙයි. නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වූ මිනිසුන්ගේ ශ්‍රවණෝපචාරය, ඉක්ම වූ දිව කන් නුවණීන් දිව්‍ය වූත් මානුසික වූත් දුරැ වූත් ළඟැ වූත් ද්විවිධ ශබ්ද අසයි. මේ ද ඔහුගේ විද්‍යාවෙකි.
 
67.හේ මෙසේ  එකඟ වූ සිත පිරිසිදු වූ කල්හී, දීප්තිමත් වූ කල්හී, කෙලෙස් රහිත වූ කල්හී, උපක්කිලේශ පහ වැ ගිය කල්හී, මෘදු වූ කල්හී, කර්මක්ෂම වූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හි, චේතස්පර්‍යායඥානය පිණිස (අනුන්ගේ සිත් පිරිසිඳ දක්නා නුවණ පිණිස) සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ අන් සත්ත්වයන්ගේ අන් පුද්ගලයන්ගේ සිත සියසිතින් පිරිසිඳ දනියි. රාග සහිත සිත රාග සහිත සිතැ යි ද දනියි. රාග රහිත සිත රාග රහිත සිතැ යි ද දනියි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතැ යි ද දනී. මෝහ සහිත සිත මෝහ සහිත සිතැයි ද දනී. මෝහ රහිත සිත මෝහ රහිත සිතැයි ද දනී. සංක්ෂිප්ත (=හැකුළුණු) සිත හැකුළුණු සිතැ යි ද දනී. වික්ෂිප්ත (=විසිරුණු) සිත විසුරුණු සිතැ යි ද දනී. මහද්ගත සිත මහද්ගත සිතැ යි ද දනී. මහද්ගත සිත මහද්ගත සිතැ යි ද දනී. අමහද්ගත සිත අමහද්ගත සිතැ යි ද දනී. සෝත්තර සිත සෝත්තර සිතැ යි ද දනී. අනුත්තර සිත අනුත්තර සිතැ යි ද දනී.  සමාහිත සිත සමාහිත සිතැ යි ද දනී. අසමාහිත සිත අසමාහිත සිතැ යි ද දනී. විමුක්ත (=මිදුණු) සිත විමුක්ත සිතැ යි ද දනී. අවිමුක්ත (=නොමිදුණු) සිත අවිමුක්ත සිතැ යි ද දනී.
බමුණ,  යම්සේ සැරැසෙන සුලු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ළදරුවෙක් හෝ තරුණයෙක් හෝ පිරිසිදු දීප්තිමත් කැඩ පතෙක හෝ පහන් දිය බඳුනෙක හෝ සිය මුව සටහන පිරික්සා බලන්නේ තලකැලැල් ආදී දොස් ඇති තැන් සදෝස් තැනැයි දන්නේ ද, එ කී දොස් නැති තැන දොස් නැතැයි දන්නේ ද, බමුණ,  එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වු කල්හී, කෙලෙස් නැති කල්හි, උපක්කිලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හී, කර්මක්ෂම වූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හී, පරසිත් දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි.
එසේ වූ හේ අන් සතුන්ගේ, අන් පුඟුලන්ගේ සිත සියසිතින් පිරිසිඳ දනී.
“ සරාග සිත සරාග සිතැයි ද දනී. වීතරාග සිත වීතරාග සිතැයි ද දනී. සද්වේෂ සිත සද්වේෂ සිතැ යි ද දනී. වීත දෝෂ සිත වීත දෝෂ සිතැ යි ද දනී. සංක්ෂිප්ත සිත සංක්ෂිප්ත සිතැ යි ද දනී. අමහග්ගත සිත අමහග්ගත සිතැ යි ද දනී. මහග්ගත සිත මහග්ගත සිතැයි ද දනී. සෝත්තර සිත සෝත්තර සිතැ යි ද දනී. අනුත්තර සිත අනුත්තර සිතැ යි ද දනී. සමාහිත සිත සමාහිත සිතැ යි ද දනී. අසමාහිත සිත අසමාහිත සිතැ යි ද දනී. විමුක්ත සිත විමුක්ත සිතැ යි ද දනී. අවිමුක්ත සිත අවිමුක්ත සිතැ ” යි ද දනී. මේ ද ඔහුගේ විද්‍යාවෙකි.
 
67.හේ තෙමේ මෙසේ සිත සමාහිත කල්හී, පිරිසිදු කල්හී, දීප්ත වූ කල්හී, කෙලෙස් නැති වූ කල්හී, උපක්කිලේශ පහ වැ ගිය කල්හී, මෘදු වූ කල්හී, කර්මක්ෂම වු කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පත් කල්හී, පුර්වේනිවාසානුස්මෘති ඥාණය (=පෙර වුසු කඳ පිළිවෙළ දක්නා නුවණ) ලබනු පිණිස සිත යොමු කෙරෙයි. හේ එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පහක් ද ජාති දසයක් ද  ජාති විස්සක් ද ජාති තිහක් ද ජාති සතළිහක් ද ජාති පනසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති සුවහසක් ද බොහෝ සංවර්ත කල්ප ද බොහෝ විවර්ත කල්ප ද බොහෝ සංවර්ත විවර්ත කල්ප ද “ අසෝ තන්හි මේ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව අසෝ තැන උපනිමි. එහිද මෙ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව මෙහි උපනිමි” යි. මෙසේ අනේකවිධ වු පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මෙසේ වර්ණාදි වශයෙන් ආකාර සහිත වූ නම් ගොත් විසින් උද්දේශ සහිත වු බහුවිධ වු පුර්වේනිවාසය සිහි කෙරෙයි. 
බමුණ,  යම්සේ පුරුෂයෙක් සිය ගමින් අන් ගමකට යන්නේ ද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේ ද, (නැවත) හේ ඒ ගමින් සිය ගමට ම පෙරළා එන්නේ ද, එසේ වු ඔහුට “මම් වූ කලී සිය ගමින් අසෝ ගමට ගියෙමි. එහි මෙසේ සිටියෙමි, මෙසේ උනිමි, මෙසේ කීමි, මෙසේ නිහඩ විමි. ඒ ගමිනුත් අසෝ ගමට ගියෙමි. එහි ද මෙසේ සිටියෙමි, මෙසේ උන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඩව සිටියෙමි, ඒ මම ඒ ගමින් සිය ගමට පෙරළා ආයම් වෙමි” යි මේ බඳු සිතෙක් වන්නේ ද ,
බමුණ,  එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හී, දීප්ත කල්හී, කෙලෙස් රහිත කල්හි, උපක්කිලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්මක්ෂම වු කල්හී, සිටි කල්හී නිශ්චල බවට පැමිණි කල්හී, පෙර වුසු කඳ පිළිවෙළ සිහි කරණ නුවණ පිණිස සිත මොනවට යොමු කෙරෙයි, මොනවට නැඹුරු කෙරෙයි, හේ “ අසෝ තන්හි මේ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව අසෝ තැන උපනිමි. එහිද මෙ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව මෙහි උපනිමි” යි. මෙසේ  එක් ජාතියක් ද , ජාති දෙකක් ද , ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දසයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතළිසක් ද, ජාති පනසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සුවහසක් ද, බොහෝ සංවර්ථ කල්ප ද, බොහෝ විවර්ත කල්ප ද, බොහෝ සංවර්ත විවර්ත කල්ප ද, මෙසේ අනේකවිධ වු පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මේ පරිද්දෙන් ආකාර සහිත වූ උද්දේස සහිත වූ පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරෙයි.   මේ ද ඔහුගේ විද්‍යාවෙකි
 
68.හේ  මෙසේ සිත සමාහිත කල්හී,  පිරිසිදු වැ දීප්ත වැ කෙලෙස් නැතිවැ උපක්කිලේශ පහ වැ මෘදු වැ කර්මක්ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, සත්ත්වයන්ගේ ච්‍යුති උප්පත්ති දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි, හේ පිරිසිදු වු, මිනිසුන්ගේ දර්ශනෝපචාරය ඉක් මැ දැක්කැ හැකි දිවැසිනින්, “අහෝ! මේ භවත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් සමන්විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්විතයහ, මනෝදුෂ්චරිතයෙන් සමන්විතයහ, ආර්යෝපවාද කළහ, මිසදිටු ගතුවහ, මිසදිටු වශයෙන් ගත් මිත්‍යාවෘත ඇතියහ, ඒ මොහු කරජ කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුෂ්ටකර්ම හේතුයෙන් හටගත් ගතිය වු, (කර්මයට තමන් පරවශ බැවින්) තමනට අවශ වැ වැටෙන තැන වු නිරයට වන්නාහ. මේ භවත් සත්ත්වයෝ වූ කලී කාය සුචරිතයෙන් සමන්විතයහ, වාක්සුචරිතයෙන් සමන්විතයහ, මනෝසුචරිතයෙන් සමන්විතයහ, ආර්‍යයනට උපවාද නො කළහ, සමදිටු ගත්තහ, සමදිටු වශයෙන් ගත් ශීලාදිය ඇත්තහ, ඒ මොහු කාබුන් මරණින් මතු ශෝභන වූ ගති ඇති සග ලොවට වන්නාහ” යි මරණාසන්න වූ ද, එකෙණෙහි පළිසිඳ, ගත්තා වූද , හීන වූද , උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වු ද , සුගතියට පැමිණියා වූ ද, දුගතියට පැමිණියා වූ ද, කර්මය වූ පරිදි ඒ ඒ භවයට ගියා වූ සත්ත්වයන් දකී. මෙසේ හේ පිරිසිදු වූ මානුෂක විෂය ඉක්මැ පැවැති දිවැසින් හීන ප්‍රණීත, සුවර්ණ දුර්වර්ණ, සුගත දුර්ගත, සත්ත්වයන් දකී. කර්මය වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සත්ත්වයන් දකී.
බමුණ,  යම්සේ සතර මං හන්දියෙක මහල් සහිත ගෙයෙක් වන්නේ ද, එහි උඩු මහලෙහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ ගෙට පිවිසෙන්නවුනුත් ගෙන් නික්මෙනවුනුත් වීථියෙහි ඈත මෑත යන එනවුනුත්, සිව්මං හන්දියෙ මැද හුන්නුවුනුත් දක්නේ ද, ඒ දක්නා ඔහුට “මේ මිනිස්සු ගෙට පිවිසෙත්, මේ මිනිස්සු ගෙන් නික්මෙත්, මේ මිනිස්සු වීදියෙහි ඈත මෑත යෙත්, මොහු සිවුමංහන්දිය මැද උන්නෝ වෙත් යැ” යි මෙසේ සිතෙක් වන්නේ ද,
එසේ ම බමුණ,  මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්ත වැ කෙලෙස් නැතිවැ උපක්කිලේශ පහ වැ මෘදු වැ කර්මක්ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, සත්ත්වයන්ගේ ච්‍යුති උප්පත්ති දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි, හේ පරිසිදු වු, මිනිසුන්ගේ දර්ශනෝපචාරය ඉක් මැ දැක්කැ හැකි දිවැසිනින්, “අහෝ! මේ භවත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් සමන්විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්විතයහ, මනෝදුෂ්චරිතයෙන් සමන්විතයහ, ආර්යෝපවාද කළහ, මිසදිටු ගතුවහ, මිසදිටු වශයෙන් ගත් මිත්‍යාවෘත ඇතියහ, ඒ මොහු කරජ කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුෂ්ටකර්ම හේතුයෙන් හටගත් ගතිය වු, (කර්මයට තමන් පරවශ බැවින්) තමනට අවශග වැ වැටෙන තැන වු නිරයට වන්නහ. මේ භවත් සත්ත්වයෝ වූ කලී කාය සුචරිතයෙන් සමන්විතයහ, වාක්සුචරිතයෙන් සමන්විතයහ, මනෝසුචරිතයෙන් සමන්විතයහ, ආර්‍යයනට උපවාද නො කළහ, සමදිටු ගත්තහ, සමදිටු වශයෙන් ගත් ශීලාදිය ඇත්තහ, ඒ මොහු කාබුන් මරණින් මතු ශෝභන වූ ගති ඇති සග ලොවට වන්නාහ” යි මරණාසන්න වූ ද, එකෙණෙහි පිළිසිඳ, ගත්තා වූද , හීන වූද , උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වු ද , සුගතියට පැමිණියා වූ ද, දුගතියට පැමිණියා වූ ද, කර්මය වූ පරිදි ඒ ඒ භවයට ගියා වූ සත්ත්වයන් දකී. මෙසේ හේ පිරිසිදු වූ මානුෂක විෂය ඉක්මැ පැවැති දිවැසින් හීන ප්‍රණීත, සුවර්ණ දුර්වර්ණ, සුගත දුර්ගත, සත්ත්වයන් දකී. කර්මය වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සත්ත්වයන් දකී. බමුණ,  මේද ඔහුගේ විද්‍යාවෙකි.
 
69.හේ  මෙසේ සිත සමාහිත කල්හී, පිරිසිදු වැ දීප්තිමත් වැ නිකෙලෙස් වැ උපක්කිලේශ පහ වැ මෘදු වැ කර්මක්ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, ආස්‍රවයන්ගේ ක්ෂයය(විනාශය) පිණිස සිත මොනවට යොමු කෙරෙයි, මොනවට නැඹුරු කෙරෙයි. (එසේ වූ ) හෙ තෙමේ   ‘මේ දුකැ ’ යි ඇති සැටි ලෙස දනී.  ‘ මේ දුක් ඉපැත්මට කාරණයැ’යි ඇති සැටි ලෙස දනී.  ‘ මේ දුක් වැනැස්මැ’.(=දුක් නැස්මට අරමුනු වන නවනැ) යි ඇති සැටි ලෙස දනී. ‘මේ දුක් වැනැස්මට පමුණුවන පිළිවෙතැ’යි ඇති සැටි ලෙස දනී. ‘ මොහු ආස්‍රවයෝ යැ’ යි ඇති සැටියෙන් දනී. ‘ මේ ආස්‍රවයන් ඉපැද්මට කරුණැ’ ඇති සැටියෙන් දනී. ‘ මේ ආස්‍රව නිරෝධ යැ’යි(ආස්‍රවයන් වැනැස්මට ප්‍රත්‍ය වන නිවනැ)යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපත්තිය යැ ’යි ඇතිසැටියෙන් දනී. මෙසේ දන්නා මෙසේ දක්නවා ඔහුගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ. ඔහු සිත භවාස්‍රවය කෙරෙන්ද මිදෙ. (ඔහු)සිත අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ. (එසේ සිත මිදුණු කල්හී ‘ මා සිත ආස්‍රව කෙරෙන )මිදුණේ යැ’යි (ප්‍රත්‍යෙවක්ෂණ) ඥානය වේ. භවෝත්පත්තිය ක්ෂීන විය(හෙවත් නැවත භවයෙහි නොඋපදනා ස්භාවයට පැමිණියෙමි),  ‘ මඟ බඹසර වැස නිමැවිණි. මේ බව පිණිස (සිවු සස්හි සතර මඟින් කළයුතු සොළෝස් වැදෑරුම්)  කිස කොට නිමැවිණි. මේ බව පිණිස (=මේ ක්ලේශක්ෂය පිණිස) යලි දු කටයුතු දැයෙක් නැතැ’ යි හේ දනී.
 
70.මෙසේ වදාළ කල්හි සොණදණ්ඩ බ‍්‍රාහ්මණ තෙම, ‘‘ භවද්ගෞතමයිනි, ධර්මදෙශනාව අභිකාන්ත ය. භවද් ගෞතමයිනි, ධර්මදෙශනාව අභිකාන්ත ය. යම්සේ යැටිකුරු කොට තැබු බඳුනක් උඩුකුරු කරන්නේ හෝ වේ ද,  වැසුණු දැයක් විවෘත කරන්නේ හෝ වේ ද, මංමුළා වුවකුට මඟ හෝ කියන්නේ වේ ද,ඇස් ඇතියන් රූප දකිතැ’යි අඳුරෙහි තෙල්පහනක් දල්වන්නේ හෝ වේ ද,  භවද්ගෞතමයිනි, එ පරිද්දෙන් ම, භවද්ගෞතමයින් විසින් මට නොයෙක් අයුරින් ධර්මය පැවැසිණ’ භවද්ගෞතමයිනි,  ඒ මම භවද් ගෞතමයන් වහන්සේ ද    ධර්මය ද භික්ෂුසංඝයා ද සරණ යෙමි. භවද් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවි හිමි කොට සරණ ගිය උපාසකයකු කොට සළකන සේක් වා.  භවද්ගෞතමයන් වහන්සේ භික්‍ෂුසංඝයා හා සෙට දවසට මාගේ බත ඉවසන සේක් වා”. යී කියේ ය. භාග්‍යවතුන් වහන්සේ නිහඬ බැවින්  එය ඉවැසු සේක.
 
71.ඉක්බිත්තෙන් සොණදණ්ඩ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ ගේ ඉවැසීම දැන, හුනස්නෙන් නැගී සිට, භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ පැදැකුණු කොට නික්මැ ගියේය. ඉන් පසු සොණදණ්ඩ බමුණු තෙමේ ඒ රැය ඇවැමෙන් සිය ගෙහි ප‍්‍රණිත ඛාද්‍ය භොජ්‍ය පිළියෙළ කරවා භවද්ගෞතමයන් වහන්ස, බත පිළියෙළ කොට නිමියේ ය’ දැන් වඩින්නට කාලය වේ යැ’ යි. භාග්‍යවතුන් වහන්සේට කල් දන්වා යැවි ය.
 
72.ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන බික්සඟන හා සොණදණ්ඩ බමුණාගේ ගෙට එළැඹි සේක. එළැඹ පණවා තුබුණු අස්නෙහි වැඩ හුන් සේක. එ කල්හි සොණදණ්ඩ බමුණු තෙමේ බුදුපාමොක් සඟන ප‍්‍රණිත ඛාද්‍යභොජ්‍යයෙන් සියතින් සැතැප්වී ය. පැවැරැවී ය.
 
73.එයට පසු සොණදණ්ඩ බමුණු තෙම වළඳා අවසන් කළ,  පාත‍්‍රයෙන් ඉවතට ගත් අතැති භාග්‍යවතුන් වහන්සේට එක් පසෙක එක්තරා මිටි අස්නක් ගෙන හිඳ ගත්තේය.  එකත්පසෙක හුන් සොණදණ්ඩ තෙම භාග්‍යවතුන් වහන්සේට මේ බස් පැවසීය.
‘‘ භවද්ගෞතමයිනිල මම වු කලි පිරිස් මැදට පැමිණියෙම් ම අස්නෙන් නැගී සිට භවත් ගෞතමයන් වැන්දෙම් වීම් නම්,  එයින් ඒ පිරිස මට බැණ වදිති. යමෙකුට  ඒ පිරිස බැණ වදිත් නම් ඔහුගේ යශස් ද පිරිහෙන්නේය. යමක්හුගේ යශස් පිරිහෙන්නේ ද, ඔහුගේ  භොග සම්පත් ද පිරිහෙන්නේ ය. අපේ භොග සම්පත් වු කලි යශසින් ලබන ලද්දේ ය.
තව ද භවද්ගෞතමයිනි, මම පිරිසට පැමිණියෙම් ම දොහොත් මුදුන් තැබුයෙම් වීම් නම්, එය මා හුනස්නෙන් නැගි සිටීම කොට භවද්ගෞතමයන් වහන්සේ සලකන සේක් වා.
තව ද භවද්ගෞතමයිනි, මම පිරිස් මැදට ගියෙම්  ම  හිස්වෙළුම මුදා හෙළුයෙම් වීම් නම්, භවද්ගෞතමයන්  වහන්සේ එය මා හිස නමා කළ වැඳීමක් කොට සලකන සේක් වා.
තව ද භවද්ගෞතමයිනි,  මම යානයක් නැඟ උන්නෙම් ම එයින් බැස,  භවද්ගෞතමයන්  වහන්සේ වැන්දෙම් නම්,  එයින් ඒ පිරිස  මට පරිභව කරති, එසේ පරිභව ලද්දහුගේ යශස් ද පිරිහේ, යශසින් පිරිහුණහුගේ භෝග ද පිරිහෙන්නේ යො. අපේ භොගයෝ ද යශසින් ලබන ලද්දෝ ය. :(එ බැවින්)
භවද්ගෞතමයිනි, මම වනාහි යානයක් නැඟ උන්නෙම් ම කෙවිට ඉදිරියට නමා ලීම් නම්,  එය  මා  යානයෙන් බැසීම කොට භවද්ගෞතමයන්  වහන්සේ සලකන සේක් වා. තව ද මම යානයෙක උන්නෙම් ම ඡත්‍රය ඉවතට හෙළීම් නම්, එය මා හිස නමා කළ වැඳීමක් කොට භවද්ගෞතමයන් වහන්සේ සලකන සේක් වා.
ඉන් පසු  භාග්‍යවතුන් වහන්සේ සොණදණ්ඩ බමුණාට දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්වා, කුසල් දහම් ගන්වා,  කුසල් වැඩුමහි උත්සාහවත් කොට, ඔහු තුළැ වු ගුණ දක්වා සතුටු කොට, හුන්ස්නෙන් නැගි නික්මැ වැඩි සේක.
                                                                                                                                                                 සිවුවන සොණදණ්ඩ සූත‍්‍රය නිමියේ ය.
 
1-5කූටදන්ත සුත්‍රය.
 
1.මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් භික්ෂුන් පමණ වු මහත් පැවැදිමුළුවක් හා මගධ රටැ සැරිසරන සේක්, මගධ රටැ ඛාණුත නම් බමුණු ගමට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ වහන්සේ ඒ ඛාණුමත ගමැ අඹයැටිඋයනේහි වැඩ වසන සේක.
එසමයෙහි වනාහි කුළුදත්(කූටදන්ත) බමුණු තෙමේ මගධාධිපති  සේනිය බිම්බිසාර රජුහු විසින් දුන් රාජදායාද්‍යය වු, ශ්‍රෙෂ්ඨ ත්‍යාගය වූ, බහු ජනාකිර්ණ වූ, තණ දඬු දිය සුලභ වූ, බොහෝ ධන ධාන්‍ය ඇති, රාජස්වරූපයෙන් පරිභෝග කටයුතු වූ ඛාණුමත ගමැ වෙසෙයි.
එ සමයෙහි කුළුදත් බමුණුහුගේ මහායාගයෙක් පිළියෙල කැරුණේ වෙයි. සත්සියයක් ගොන් ද, සත්සියයක් නාඹුවස්සෝ ද, සත්සියයක් නාඹුවැස්සියෝ ද, සත්සියයක් එළුවෝ ද, සත්සියයක් තරුණ බැටළුවෝ ද,(පොරගසන එළුවෝ ද, තවත් සත්සියයක් බැගින් බොහෝ මෘගපක්ෂීහු ද) යාග පිණිස යාග ටැඹ වෙතට පමුණුවන ලදහ.
 
2.ඛාණුමත ගමැ වැසි බමණෝ ද ගැහැවියෝ ද රටෙහි පැතිරැ පැවැති භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ මතු දැක්වෙන යස ගී ඇසූහ: “භවත්නි, ශාක්‍යපුත්‍ර වූ, ශාක්‍යකුලයෙන් නික්මැ පැවිදි වූ, මහණ ගොයුම්හු භික්ෂුන් පන්සියයක් පමණ වූ මහත් පැවිදිමුළුවක් හා මගධ රටැ සැරි සරනුවෝ ඛාණුමතයට පැමිණියෝ ඛාණුමතයට සමීපයෙහි වූ අඹයැටිවෙනෙහි වෙසෙති.”
ඒ භාග්‍යවත් තෙමේ මේ මේ කරුණින් අර්හත් ය, සම්‍යග්සම්බුද්ධය, විද්‍යාචරණසම්පන්න ය, සුගත ය, ලෝකවිත් ය, නිරුත්තර පුරුසදම්‍යසාරථී ය, දෙවිමිනිස්නට ශාස්තෘ ය, බුද්ධය, භගවත් ය, හේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලොව, අවශේෂ මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත මේ සත්ත්වවර්ගයා තෙමේ ම සිය විශිෂ්ට ණුවනින් දැන පසක් කොට ලොවට දන්වයි. ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පරියවසානකල්‍යාණ වූ, (සතිපට්ඨානාදි) මනා අරුත් ඇති, සම්පූර්ණ ව්‍යඤ්ජන ඇති, හැම අයුරින්  පිරිපුන්, පිරිසිදු දහම් දෙසයි. එසේ දෙසනුයේ සියලු සසුන් බඹසර පවසයි. එබඳු රහතුන් දැක්ම වූ කලී හිත වැඩ සලසන්නෙකැ යි ඒ භවද්ගෞතමයන් පිළිබඳ මෙසේ වූ උතුම් යසගීයෙක් උස් වැ නැංගේ ය” යනුයි.
“ඉක්බිති ඛාණුමත ගමැ වැසි බමුණෝ ද, ගැහැවියෝ ද, ඛාණුමතයෙන් නික්මැ, බොහෝ බොහෝ වැ මුළු මුළුු වූවෝ, එකි එකී පැත්තෙහි මුළු දුන්නෝ, ගමින් පිටතැ දී  මහ මුළුකේ වැ එකතු වූවෝ අඹයැටි උයන අතට යෙති.
 
3.එ සමයෙහි කුළුදත් බමුණු තෙමේ තමා පහයැ උඩු මහලෙහි දවයහන් පැමිණියේ වේ. හේ (කවළියෙන් බලනුයේ) ඛාණුමතයෙන් නික්මැ බොහෝ බොහෝ රැස් වැ එක් එකී පසැ මුළු වැ, ගමින් පිටතැ දී මහ මුළුවෙක් වැ එකතු වැ එඹයැටිය කරා යන ඛාණුම ගමැ වැසි බමුණන් ද ගැහැවියන් දිටීය. දැක ඛත්තුහු (අසන තැන්බණුවා) බණවා “භවත් ඛත්තුව, කවර හෙයින් ඛානුමත ගමැ වැසි බමුණොත් ගැහැවියෝත්  ඛාණුමත යෙන් නික්මැ බොහෝ බොහෝ වැ රැස් වී තැනින් තැන මුළු මුළු වැ ගමින් පිටතැ දී මහ මුළුවක් වැ එකතු වැ අඹයැටිය දෙසට යෙත් දැ” යි විචාළේ ය.
“භවත, කරුණෙක් ඇත. සැහැපුත් වු, සැහැකුලයෙන් නික්මැ පැවිදි වු, මහණ ගොයුම්හු භික්ෂුන් පන්සියයක් පමණ වු මහ පැවිදි මුළුවක් හා මගද රටැ සැරි සරනුවෝ ඛාණුමත ගමට පැමිණියෝ එය අසලැ අඹයැටි උයන්හි වෙසෙති, ඒ පින්වත් ගොයුම් තෙමේ මේ මේ කරුණින් රහත් ය, සම්මා සම්බුදුය, විදුසරණ දෙකින් යුතු ය, සුගත ය, ලොව දන්නේ යැ, නොදැමුනන් දමනුයෙහි හැමට වැඩි සැරි දෑ ය, දෙවිමිනිස්නට සසු ය, බුදු ය, බගවත් යැ ’යි මෙසේ ඔබ පිළිබඳ උතුම් යසගීයෙක් උස් වැ නැංගේ ය. මොහු පින්වත් ගොයුමාණන් දක්නට එහි යෙත්”යැ යි ඛත්තු තෙමේ කීය.
 
4.එ විටැ, කුළුදත් බමුණාට, “මහණ ගොයුම්හු තුන් යාගසම්පත් හා සොළොස් පිරිකර දනිතැ යි මා විසින් ඇසිණ. මම් වූ කලී තෙවැදෑරුම් යාගසම්පතත් සොළොස් පිරිකරත් නො දනිමි. වැලිදු මහා යාගයක් යදනට මම් රිසියෙමි. මහණ ගොයුමාණන් කරා එළැඹ තෙවැදෑරුම් යාගසම්පතත් සොළොස් පිරිකරත් විචාළෙම් නම් යෙහෙකැ” යි මේ සිත විය.
ඉක්බිති, කුළුදත් බමුණා ඛත්තුහු බණවා, “භවත් ඛත්තුව, එසේ වී නම් ඛාණුමත ගමැ වැසි ඒ බමුණු ගැහැවියන් වෙත එළැඹෙන්න. එළැඹ ‘භවත්නී, භවත්හු කුඩා තමක් බලා පොරොත්තු වෙත්වා. කුළුදත් බමුණා ද මහණ ගොයුමාණන් දක්නට එන්නේ යැ යි මෙසේ කීයේ යැ’යි මේ පරිදි සැළ කරන්නැ ” යි කී ය.
‘භවත, එසේ යැ’ යි කියා ඒ ඛත්තු තෙම කුළුදත් බමුණාට පිළිවදන් දී ඛාණුමතැ ගමැ වැසි බමුණන් ද ගැහැවියන් ද කරා එළැඹියේ ය. එළැඹ, ඔවුනට “භවත්නී, භවත්හු කුඩා තමක් බලාපොරොත්තු වෙත් වා, කුළුදත් බමුණා ද මහණ ගොයුමාණන් දක්නට එන්නේ යැ’යි කුළුදත් බමුණු මෙසේ කීහ”යි මේ පවත් සැළ කළේ ය.
 
5.එ සමයෙහි වනාහි බොහෝ සිය ගණන් බමුණෝ ‘කුළුදත් බමුණාගේ මහා යාගය වළදන්නෙමු’යි ඛාණුමතයෙහි වෙසෙත්. ඒ බමුණෝ ‘කුළුදත් බමුණා මහණ ගොයුමාණන් දක්නාට ඔබ කරා යෙතැ’ යි ඇසූහ. ඉක්බිති ඔහු කුළුදත් බමුණු කරා එළැඹුණහ. එළැඹ ‘පින්වත් කුළුදත් තෙමේ මහණ ගොයුමාණන් දක්නට යන්නේල. ඒ සැබෑ දැ’ යි ඇසූහ.
“භවත්නි, මමත් මහණ ගොයුමාණන් දක්නට ඔබ වෙත යන්නෙමැ යි මට මෙසේ සිතෙක් වේ ම යැ”යි කුළුදත් පැවැසී ය.
 
6.[එබස් සා ඒ බමුණෝ කුළුදතුට මෙසේ කීහු:]              “පින්වත් කුළුදත් තෙමේ මහණ ගොයුමන් දක්නට නොයේ වා. පින්වත් කුළුදත් තෙමේ මහණ ගොයුමාණන් දක්නට යන්නට නො නිස්සේ ය. ඉදින් පින්වත් කුළුදත් තෙමේ මහණ ගොයුමාණන් දක්නට යන්නේ නම්, පින්වත් කුළුදතුගේ යශස් පිරිහෙන්නේ ය, මහණ ගොයුමාණන්ගේ යශස් වැඩෙන්නේ ය. ‘පින්වත් කුවදතුගේ යසස් පිරිහෙන්නේ ය, මහණ ගොයුමාණන්ගේ යශස් වැඩෙන්නේ ’ ය යන යමෙක් ඇද්ද මේ කරුණිනුත් පින්වත් කුළුදත් තෙමේ මහණ ගොයුමාණන් දක්නට යනුවට නො නිස්සේ ය. මහණ ගොයුම්හු ම පින්වත් කුළුදතු දක්නට එනුවට නිස්සෙ ය.
‘පින්වත් කුළුදත්  තෙමේ මවුපසින් ද පියපසින් ද යන දෙපසින් මැ අභිජාත ය.  සත්වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇත්යේය. ජාතිවාදයෙන් ඉවත නො හෙළන ලද්දේය.   නො ගරහන ලද්දේ ය. පින්වත් කුවදත් තෙමේ මව් පිය දෙපසින් ම අභිජාත ය, ජාතිවාදයෙක් නොහෙළන ලද්දේ ය. නො ගරහන ලද්දේ ය යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් පින්වත් කුළුදත්  තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම පින්වත් කුළුදත් යා දක්නට එනු වටී.
තවද පින්වත් කුළුදත්  තෙමේ වු කලි ආඪ්‍ය ය,  මහත් ධන ඇත්තේ ය, මහද්භෝග ඇත්තේ ය. පින්වත් කුළුදත්  තෙමේ වූ කලි අඩ්‍ය ය, මහත් ධඇත්තේ ය, මහද්භෝග ඇත්තේ ය, යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් පින්වත් කුළුදත්  තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම පින්වත් කුළුදත් යා දක්නට එනු වටී.
පින්වත් කුළුදත්  තෙමේ වු කලි වේද හදාරන්නෙක. වෙදයන් සිතැ ලා දරන්නෙක. නිඝණ්ටු කෛටහශාස්ත‍්‍ර සහිත, අඏරප‍්‍රභෙද (ශික්ෂා හා නිරුක්ති) සහිත” ඉතිහාසය පස්වනු කොටැති ති‍්‍රවෙදයන් ගේ පරතෙර පැමිණියෙක,  පදපාඨ දන්නෙක,  එයින් අන්‍ය සියලු ව්‍යාකරණ විධි ද දන්නෙක. ලොකායන ශාස්ත‍්‍රයෙහිත් මහාපුරුෂ ලක්ෂණශාස්ත‍්‍රයෙහිත් නිපුණයෙක. පින්වත් කුළුදත්  තෙමේ වු කලි වේද හදාරන්නෙක. වෙදයන් සිතැ ලා දරන්නෙක. නිඝණ්ටු කෛටහශාස්ත‍්‍ර සහිත, අඏරප‍්‍රභෙද (ශික්ෂා හා නිරුක්ති) සහිත” ඉතිහාසය පස්වනු කොටැති ති‍්‍රවෙදයන් ගේ පරතෙර පැමිණියෙක,  පදපාඨ දන්නෙක,  එයින් අන්‍ය සියලු ව්‍යාකරණ විධි ද දන්නෙක.  ලොකායන ශාස්ත‍්‍රයෙහිත් මහාපුරුෂ ලක්ෂණශාස්ත‍්‍රයෙහිත් නිපුණයෙක යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් පින්වත් කුළුදත්  තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම පින්වත් කුළුදත් යා දක්නට එනු වටී.
පින්වත් කුළුදත්  තෙමේ වු කලි විශිෂ්ඨ රූපශොභා ඇත්තෙක,  දකුම් කටයුතු ය, ප‍්‍රසාද එළවන සුලු ය, උතුම් වර්ණසෞණ්දර්ය්‍යයෙන් සමන්විත ය, උතුම් රන්වන් පැහැත්තෙක,  උතුම් ශරීරප‍්‍රභා ඇත්තෙක.  (ආරොහපරිණාහසම්පත්තියෙන් ද අවයවයන්ගේ පරිපුණත්වයෙන් ද)  සිරුරෙහි දැක්මට නොමඳ වු අවකාශ ඇත්තෙක.  පින්වත් කුළුදත්  තෙමේ වු කලි විශිෂ්ඨ රූපශොභා ඇත්තෙක,  දකුම් කටයුතු ය, ප‍්‍රසාද එළවන සුලු ය, උතුම් වර්ණසෞණ්දර්ය්‍යයෙන් සමන්විත ය, උතුම් රන්වන් පැහැත්තෙක,  උතුම් ශරීරප‍්‍රභා ඇත්තෙක.  (ආරොහපරිණාහසම්පත්තියෙන් ද අවයවයන්ගේ පරිපුණත්වයෙන් ද)  සිරුරෙහි දැක්මට නොමඳ වු අවකාශ ඇත්තෙක. යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් පින්වත් කුළුදත්  තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම පින්වත් කුළුදත් යා දක්නට එනු වටී.
පින්වත් කුළුදත්  තෙමේ සිල්වත් ය, වැඩුණු සිල් ඇත්තේ ය,  වැඩුණු ශීලයෙන් යුක්ත ය. පින්වත් කුළුදත්  තෙමේ සිල්වත් ය, වැඩුණු සිල් ඇත්තේ ය, වැඩුණු ශීලයෙන් යුක්ත ය, යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් පින්වත් කුළුදත්  තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම පින්වත් කුළුදත් යා දක්නට එනු වටී.
පින්වත් කුළුදත්  තෙමේ කලණ තෙපුල් ඇත්තේ,  කලණ මිහිරි බස් කියන්නේ,  නිදොස් වු කෙලතොලු නොවු, කී අරුත අඟවනු සමත් සිලිටි බසින් සමන්විත ය.  පින්වත් කුළුදත්  තෙමේ කලණ තෙපුල් ඇත්තේ,  කලණ මිහිරි බස් කියන්නේ,  නිදොස් වු කෙලතොලු නොවු, කී අරුත අඟවනු සමත් සිලිටි බසින් සමන්විත ය.යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් පින්වත් කුළුදත්  තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම පින්වත් කුළුදත් යා දක්නට එනු වටී.
පින්වත් කුළුදත්  තෙමේ බොහෝ දෙනාට ආචාර්‍ය් ද, ප්‍රාචාර්‍ය ද වුයේ,  තුන්සියක් මාණවකයනට වෙදයන් කියවයි.  වෙදයන් ප‍්‍රයොජන කොටැති, වෙද හදාරනු කැමැති බොහෝ මාණවකයෝ නන් දෙසින් නන්රටින් පින්වත් කුළුදත්  වෙත එත්.  පින්වත් කුළුදත්  තෙමේ බොහෝ දෙනාට ආචාර්‍ය් ද, ප්‍රාචාර්‍ය ද වුයේ,  තුන්සියක් මාණවකයනට වෙදයන් කියවයි.  වෙදයන් ප‍්‍රයොජන කොටැති, වෙද හදාරනු කැමැති බොහෝ මාණවකයෝ නන් දෙසින් නන්රටින් පින්වත් කුළුදත්  වෙත එත්. යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් පින්වත් කුළුදත්  තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම පින්වත් කුළුදත් යා දක්නට එනු වටී.
පින්වත් කුළුදත්  තෙමේ වු කලි ජරාජීර්ණ ය,  වයොවෘද්ධ ය, මහලු ය,  බොහෝ කල් ඉක්මැවුයෙක, පැසිම් වයසට පැමිණියෙක, මහණ ගොවුම් තෙමේ තරුණ ද වේ.  තරුණ පැවිද්දෙක් ද වේ.  පින්වත් කුළුදත්  තෙමේ වු කලි ජරාජීර්ණ ය,  වයොවෘද්ධ ය, මහලු ය,  බොහෝ කල් ඉක්මැවුයෙක, පැසිම් වයසට පැමිණියෙක, මහණ ගොවුම් තෙමේ තරුණ ද වේ.  තරුණ පැවිද්දෙක් ද වේ.යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් පින්වත් කුළුදත් තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම පින්වත් කුළුදත් යා දක්නට එනු වටී.
පින්වත් කුළුදත්  තෙමේ වු කලි මගධාධිපති සෙනිය බිම්බිසාර රජහු විසින් සත්කාර කරන ලද්දෙක, ගුරුකාර කරන ලද්දෙක, බුහුමන් කරන ලද්දෙක, පුදන ලද්දෙක, යටත් පැවැතුම් දක්වන ලද්දෙක.  පින්වත් කුළුදත්  තෙමේ වු කලි මගධාධිපති සෙනිය බිම්බිසාර රජහු විසින් සත්කාර කරන ලද්දෙක, ගුරුකාර කරන ලද්දෙක, බුහුමන් කරන ලද්දෙක,  පුදන ලද්දෙක, යටත් පැවැතුම් දක්වන ලද්දෙක.යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් පින්වත් කුළුදත්  තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම පින්වත් කුළුදත් යා දක්නට එනු වටී.
පින්වත් කුළුදත්  තෙමේ වු කලි පොකුරුසැත් බමුණා විසින් සත්කෘත ද ගුරුකෘත ද මාතීත ද පුජිත ද අපචිත ද වේ.  පින්වත් කුළුදත්  තෙමේ වු කලි පොකුරුසැත් බමුණා විසින් සත්කෘත ද ගුරුකෘත ද මාතීත ද පුජිත ද අපචිත ද වේ. යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් පින්වත් කුළුදත්  තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම පින්වත් කුළුදත් යා දක්නට එනු වටී.
පින්වත් කුළුදත්  තෙමේ වු කලි බහුජනාකීර්ණ තණ දඬු දිය යන මෙයින් යුක්ත, බොහෝ ධාන්‍ය ඇති, රජුගෙන් ලත් ස්වකීය පරිභෝග වස්තු වු, රජුගේ දායාද්‍යය වු, සෙනිය බිම්බිසාර මහරජුහු දුන් ශ්‍රෙෂ්ඨ ත්‍යාගය වු චම්පානුවරට අධිපති වැ වෙසෙයි.  පින්වත් කුළුදත්  තෙමේ වු කලි බහුජනාකීර්ණ තණ දඬු දිය යන මෙයින් යුක්ත, බොහෝ ධාන්‍ය ඇති, රජුගෙන් ලත් ස්වකීය පරිභෝග වස්තු වු, රජුගේ දායාද්‍යය වු, සෙනිය බිම්බිසාර මහරජුහු දුන් ශ්‍රෙෂ්ඨ ත්‍යාගය වු චම්පානුවරට අධිපති වැ වෙසෙයි. යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් පින්වත් කුළුදත්  තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම පින්වත් කුළුදත් යා දක්නට එනු වටී.
පින්වත් කුළුදත්  තෙමේ බහුජනාකීර්ණ චම්පානුවරට අධිපති වැ වෙසේ යි. පින්වත් කුළුදත්  තෙමේ බහුජනාකීර්ණ චම්පානුවරට අධිපති වැ වෙසේ ය යන යම් කරුණෙක් ඇද්ද, මේ කරුණිනුත් පින්වත් කුළුදත්  තෙමේ මහණ ගොයුම්හු දක්නට යනු නොනිසි ය.  මහණ ගොයුම් තෙමේ ම පින්වත් කුළුදත් යා දක්නට එනු සුදුසු යැ”යි කීහ.
 
7.මෙසේ කී කල්හි කුළුදත්  බමුණු තෙමේ ඒ බමුණනට කියනුයේ, භවත්නි,  එසේ වී නම් ඒ භවද්ගෞතමයන් අප දක්නට ඊම නොවැ අප ම ඔබ දක්නට යනු සුදුසු බවට මා කියන බස් ද අසවු: ‘භවත්නි, මහණ ගොයුම්හු වු කලි මවුපසින් ද පියපසින් ද යන දෙපසින් මැ අභිජාතයහ, සත් වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇත්තෝ ය.  ජාතිවාදයෙන් නො හෙළන ලද්දෝ ය, නො ගරහන ලද්දේය.
‘මහණ ගොයුම්හු මවුපසින් ද පියපසින් ද යන දෙපසින් මැ අභිජාත ය.  සත්වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇත්යේය. ජාතිවාදයෙන් ඉවත නො හෙළන ලද්දේය.   නො ගරහන ලද්දේ ය.’ යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි, මහණ ගොයුම්හු වු කලි මහත් නෑමුළුව පියා පැවිදි වුවෝ ය. භවත්නි, මහණ ගොයුම්හු වු කලි පොළොව යට ද පොළොව මත්තෙහි ද වු මහත් හිරණ්‍යස්වර්ණ, හැරැ පියා පැවිදි වුවෝ ය යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.භවත්නි,  මහණ ගොයුම්හු වු කලි සොඳුරු යොවුනෙන්, (තුන් වයසින්) පළමු වයසින් යුත් වුවෝ ම,  තරුණ වුවෝ ම, මනා කළු කෙහෙ ඇති වැ යොවුන් වියෙහි සිටියෝ ම ගිහි ගෙන් නික්මැ පැවිදි බිමට වන්නෝ ය. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි, මහණ ගොයුම්හු වු කලි මවුපියන් ඔබ පැවිදි වනුවට නොකැමැති වැ කඳුළු පිරුණු මුහුනු ඇති වැ හඩද්දී එය නොතකා කෙහෙ රවළු බා දමා කසා වත් හැඳ ගිහි ගෙන් නික්මැ පැවිද්දට වන්නෝ ය.  භවත්නි, මහණ ගොයුම්හු වු කලි මවුපියන් ඔබ පැවිදි වනුවට නොකැමැති වැ කඳුළු පිරුණු මුහුනු ඇති වැ හඩද්දී එය නොතකා කෙහෙ රවළු බා දමා කසා වත් හැඳ ගිහි ගෙන් නික්මැ පැවිද්දට වන්නෝ ය.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි,  මහණ ගොයුම්හු වු කලි විශිෂ්ථ රූප සම්පත් ඇත්තෝ ය, දැකුම් කටයුතු ය,  ප‍්‍රසාදජනක හ,  උතුම් වර්ණසෞන්දර්ය්‍යයෙන් සමන්විත හ, බඹහු සේ උතුම් රන් පැහැ ඇත්තෝ ය, උත්තම ශරීරප‍්‍රභා ඇත්තෝ ය, සිය සිරුරෙහි දැක්මට නොමද’ වු අවකාශ ඇත්තෝ ය. භවත්නි,  මහණ ගොයුම්හු වු කලි විශිෂ්ථ රූප සම්පත් ඇත්තෝ ය, දැකුම් කටයුතු ය,  ප‍්‍රසාදජනක හ,  උතුම් වර්ණසෞන්දර්ය්‍යයෙන් සමන්විත හ, බඹහු සේ උතුම් රන් පැහැ ඇත්තෝ ය, උත්තම ශරීරප‍්‍රභා ඇත්තෝ ය, සිය සිරුරෙහි දැක්මට නොමද’ වු අවකාශ ඇත්තෝ ය.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි, මහණ ගොයුම්හු වු කලි සිල්වත් හ, පිරිසිදු  සිල් ඇත්තෝ ය, නිදොස් සිල් ඇත්තෝ ය, නිදොස් ශිලයෙන් සමන්විත හ. භවත්නි, මහණ ගොයුම්හු වු කලි සිල්වත් හ, පිරිසිදු  සිල් ඇත්තෝ ය, නිදොස් සිල් ඇත්තෝ ය, නිදොස් ශිලයෙන් සමන්විත හ.  යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
මහණ ගොයුම්හු වු කලි කලණ තෙපුල් ඇත්තෝ ය,  කලණ මිහිරි බස් කියන්නෝ ය,  නිදොස් වු,  කෙලතොලු නොවු,  කී අරුත හඟවනු සමත් සිලිටි බසින් සමන්විතයෝ ය. මහණ ගොයුම්හු වු කලි කලණ තෙපුල් ඇත්තෝ ය,  කලණ මිහිරි බස් කියන්නෝ ය,  නිදොස් වු,  කෙලතොලු නොවු,  කී අරුත හඟවනු සමත් සිලිටි බසින් සමන්විතයෝ ය. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි, මහණ ගොයුම්හු වු කලි බොහෝ දෙනාට ආචාර්‍ය ද ප‍්‍රාචාර්‍ය ද වෙති. භවත්නි, මහණ ගොයුම්හු වු කලි බොහෝ දෙනාට ආචාර්‍ය ද ප‍්‍රාචාර්‍ය ද වෙති.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි,  මහණ ගොයුම්හු වු කලි පහ වු කාමරාග ඇත්තෝ ය, පහ වු චපල බව ඇත්තෝ ය. භවත්නි,  මහණ ගොයුම්හු වු කලි පහ වු කාමරාග ඇත්තෝ ය, පහ වු චපල බව ඇත්තෝ ය.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි,  මහණ ගොයුම්හු වු කලි කර්මවාදි ද ක‍්‍රියාවාදි ද වෙති.  ලොවුතුරා දහම් පුරඃසර කොට පවතිති.  සැරියුත් මුගලන් ඈ බමුණු පිරිසට නායක වැ හැදිරෙති (නොහොත් තමනට විරුද්ධ වු බමුණු පිරිසට පවා අහිතක් නොසිතා හිත සුව ම පතන්නෝ හැසිරෙති). භවත්නි,  මහණ ගොයුම්හු වු කලි කර්මවාදි ද ක‍්‍රියාවාදි ද වෙති.  ලොවුතුරා දහම් පුරඃසර කොට පවතිති.  සැරියුත් මුගලන් ඈ බමුණු පිරිසට නායක වැ හැදිරෙති (නොහොත් තමනට විරුද්ධ වු බමුණු පිරිසට පවා අහිතක් නොසිතා හිත සුව ම පතන්නෝ හැසිරෙති).  යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි, මහණ ගොයුම්හු වු කලි අමිශ‍්‍ර (පිරිසිදු) කැත්කුලය වු උසස් කුලයෙන් නික්මැ පැවිදි වුවෝ ය. භවත්නි, මහණ ගොයුම්හු වු කලි අමිශ‍්‍ර (පිරිසිදු) කැත්කුලය වු උසස් කුලයෙන් නික්මැ පැවිදි වුවෝ ය.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි, මහණ ගොයුම්හු වු කලි මහත් ධන ඇති මහත් භොග ඇති සමෘද්ධ කුලයෙන් නික් මැ පැවිදි වුවෝ ය. භවත්නි, මහණ ගොයුම්හු වු කලි මහත් ධන ඇති මහත් භොග ඇති සමෘද්ධ කුලයෙන් නික් මැ පැවිදි වුවෝ ය.  යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.භවත්නි, මහණ ගොයුමන් කරා පිට රටින් පිට දනවුයෙන් පැණ පුළුවුස්නට එති. මහණ ගොයුමන් කරා පිට රටින් පිට දනවුයෙන් පැණ පුළුවුස්නට එති යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි, නොයෙක් දහස් ගණන් දෙවියෝ මහන ගෙයුමන් දිවිහිමියෙන් සරණ ගියහ. භවත්නි, නොයෙක් දහස් ගණන් දෙවියෝ මහන ගෙයුමන් දිවිහිමියෙන් සරණ ගියහ. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි, මේ මේ කරුණින් ඒ භගවත් තෙමේ අර්හත් ය,  සම්‍යක්සම්බුද්ධ ය,  විජ්ජාචරණසම්පන්න ය, සුගතය, ලොකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථි ය, දෙව්මිනිසුන්ට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ’ යි මහණ ගොයුමාණන් පිළිබඳ වැ මෙසේ වු යහපත් ගුණඝොෂයෙක් ඉතා උස් වැ නැංගේ ය. භවත්නි, මේ මේ කරුණින් ඒ භගවත් තෙමේ අර්හත් ය,  සම්‍යක්සම්බුද්ධ ය,  විජ්ජාචරණසම්පන්න ය, සුගතය, ලොකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථි ය, දෙව්මිනිසුන්ට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ’ යි මහණ ගොයුමාණන් පිළිබඳ වැ මෙසේ වු යහපත් ගුණඝොෂයෙක් ඉතා උස් වැ නැංගේ ය.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි, මහණ ගොයුම්හු වු කලි දෙතිස් මහපුරිස්ලකුණුවලින් සමන්විත හ. භවත්නි, මහණ ගොයුම්හු වු කලි දෙතිස් මහපුරිස්ලකුණුවලින් සමන්විත හ. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි,  මහණ ගොයුම්හු වු කලි තමන් වෙත පැමිණෙන්නවුන් එන්න, මෙහි ආ සේ මැනැවැ’ යි කියා පිළිගන්නා සුලු හ, කනට සුව එළවන තෙපුල් බණන්නෝ ය,  පිළිසද’රෙහි දක්ෂ හ, බැම නො හකුළුවන්නෝ ය, සුලභ කථා ඇත්තෝ ය,  පැමිණියවුනට තුමු පළමුයෙන් කථා කරන සුලු හ. භවත්නි,  මහණ ගොයුම්හු වු කලි තමන් වෙත පැමිණෙන්නවුන් එන්න, මෙහි ආ සේ මැනැවැ’ යි කියා පිළිගන්නා සුලු හ, කනට සුව එළවන තෙපුල් බණන්නෝ ය,  පිළිසද’රෙහි දක්ෂ හ, බැම නො හකුළුවන්නෝ ය, සුලභ කථා ඇත්තෝ ය,  පැමිණියවුනට තුමු පළමුයෙන් කථා කරන සුලු හ.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි,  මහණ ගොයුම්හු වු කලි (මහණ මෙහෙණි උවසු උවැසි යන) සිවු පිරිස් විසින් සත්කාර කරන ලදුහ, ගුරුකාර කරන ලදු හ,  බුහුමන් කරන ලදුහ,  යටත් පැවැතුම් දක්වන ලදුහ. භවත්නි,  මහණ ගොයුම්හු වු කලි (මහණ මෙහෙණි උවසු උවැසි යන) සිවු පිරිස් විසින් සත්කාර කරන ලදුහ, ගුරුකාර කරන ලදු හ,  බුහුමන් කරන ලදුහ,  යටත් පැවැතුම් දක්වන ලදුහ. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි,  මහණ ගොයුමන් කෙරෙහි වනාහි බොහෝ දෙවියෝත් මිනිස්සුත් වෙසෙසින් පහන් හ. භවත්නි,  මහණ ගොයුමන් කෙරෙහි වනාහි බොහෝ දෙවියෝත් මිනිස්සුත් වෙසෙසින් පහන් හ. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි,  මහණ ගොයුම්හු තුමු යම් ගමෙක් නියම්ගමෙක හෝ වෙසෙත් නම්,  එ ගමැ හෝ නියම්ගමැ හෝ වසන මිනිස්නට යක්කු පීඩා කො කෙරෙත්. භවත්නි,  මහණ ගොයුම්හු තුමු යම් ගමෙක් නියම්ගමෙක හෝ වෙසෙත් නම්,  එ ගමැ හෝ නියම්ගමැ හෝ වසන මිනිස්නට යක්කු පීඩා කො කෙරෙත්. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි,  මහණ ගොයුම්හු වු කලි මහ සග’පිරිස් ඇත්තෝ ය,  ගණනායක හ, ගණාචාර්‍ය,  බොහෝ තීර්ථංකරයන් අතුරෙහි අග‍්‍ර හ යි කියනු ලැබෙති. භවත්නි,  මහණ ගොයුම්හු වු කලි මහ සග’පිරිස් ඇත්තෝ ය,  ගණනායක හ, ගණාචාර්‍ය,  බොහෝ තීර්ථංකරයන් අතුරෙහි අග‍්‍ර හ යි කියනු ලැබෙති. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
යම් සේ වනාහි ඇතැම් මහණබමුණන්ගේ යශස අචේලකතා ආදි පිටතට පෙන්වන යම්තම් ව‍්‍රතමාත‍්‍රයෙකින් වැඩෙතත් මහණ ගොයුමන් ගේ වු කලි යශස එසේ වැඩුණෙක් නො වේ.  වැලි තමන් තුළැ ම වු නිරුත්තර විජ්ජාචරණසම්පතින් වැඩුණේ වෙයි. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි,  මහණ ගොයුම්හු වු කලි මගධාධිපති සෙනිය බිම්බිසාර රජ තෙමේ දරුවන් හා බිරියන් හා පිරිස් හා ඇමැත්තන් හා සමග, දිවි හිමි කොට සරණ ගියේ ය. භවත්නි,  මහණ ගොයුම්හු වු කලි මගධාධිපති සෙනිය බිම්බිසාර රජ තෙමේ දරුවන් හා බිරියන් හා පිරිස් හා ඇමැත්තන් හා සමග, දිවි හිමි කොට සරණ ගියේ ය. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි, මහණ ගොයුම්හු වු කලි කොශලාධිපති පසේනදී රජ තෙමේ දරුවන් හා බිරියන් හා පිරිස් හා ඇමැත්තන් හා සමග,  දිවි හිමි කොට සරණ ගියේ ය. භවත්නි, මහණ ගොයුම්හු වු කලි කොශලාධිපති පසේනදී රජ තෙමේ දරුවන් හා බිරියන් හා පිරිස් හා ඇමැත්තන් හා සමග,  දිවි හිමි කොට සරණ ගියේ ය.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි,  මහණ ගොයුම්හු වු කලි පොකුරුසැත් බමුණු තෙමේ දරුවන් හා බිරියන් හා පිරිස් හා ඇමැත්තන් හා සමග, දිවි හිමි කොට සරණ ගියේ ය. භවත්නි,  මහණ ගොයුම්හු වු කලි පොකුරුසැත් බමුණු තෙමේ දරුවන් හා බිරියන් හා පිරිස් හා ඇමැත්තන් හා සමග, දිවි හිමි කොට සරණ ගියේ ය.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි,  මහණ ගොයුම්හු වු කලි මගධාධිපති සේනීය බිම්බිසාර මහරජුහු විසින් සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පුජිත ද අපචිත ද වෙති.  භවත්නි, මහණ ගොයුම්හු වු කලි මගධාධිපති සේනීය බිම්බිසාර මහරජුහු විසින් සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පුජිත ද අපචිත ද වෙති. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි, මහණ ගොයුම්හු වු කලි කොශලාධිපති පසෙනදී රජුහු විසින් සත්කෘත ද ගුරුකෘත ද අපචිත ද වෙති. භවත්නි, මහණ ගොයුම්හු වු කලි කොශලාධිපති පසෙනදී රජුහු විසින් සත්කෘත ද ගුරුකෘත ද අපචිත ද වෙති. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි, මහණ ගොයුම්හු වු කලි පොකුරුසැත් බමුණුහු විසින් සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පුජිත ද අපචිත ද වෙති. භවත්නි, මහණ ගොයුම්හු වු කලි පොකුරුසැත් බමුණුහු විසින් සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පුජිත ද අපචිත ද වෙති.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි,  මහණ ගොයුම්හු වනාහි (දැන්) චම්පාවට පැමිණියෝ චම්පාවට නොදුරු තන්හි වු ගර්ගරා  පොකුණතෙරැ වෙසෙති.  ‘භවත්නි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ අපේ ගම්කෙතට එත් නම් උහු අපට අමුත්තෝ වෙත්, අමුත්තෝ වනාහි අප විසින් සත්කාර කළ යුත්තෝ ය, ගුරුකාර කළ යුත්තෝ ය, බුහුමන් කළ යුත්තෝ ය, පිදියැ යුත්තෝ ය, යටත් පැවැතුම් දැක්වියැ යුත්තෝ ය.  යම් හෙයෙකින් මහණ ගොයුම්හු චම්පාවට පැමිණියෝ චම්පාව සමීපයේ ගර්ගරා  පොකුණ තෙරැ වෙසෙත් ද, එ හෙයින් ඔබ අපේ අමුත්තෝය. ඒ අමුත්තෝ වනාහි අප විසින් සත්කාර කටයුතු හ, ගරු කටයුතු හ, බුහුමන් කටයුතු හ, පිදියැ යුතු හ, යටත් පැවැතුම් දැක්වියැ යුතුහ.  මේ කරුණිනුත් ඒ භවද්ගෞතමයන් අප දක්නට එනු නො වටී.  වැළි අපි ම ඔබ දක්නට යෑ යුතු වමු.
භවත්නි, ඒ භවද්ගෞතමයන් පිළිබඳ වු මෙ පමණක් ගුණ මම දනිමි.  එහෙත් ඒ භවත් ගෞතමයෝ නම් මෙ පමණක් ම ගුණ ඇත්තෝ නො වෙති. වැළි දු ඔබ පමණ කට නොහැකි ගුණ ඇත්තෝ ”ය යනු යි.
 
8.මෙසේ කී කල්හි ඒ බමුණෝ කුළුදත්  බමුණා බණවා, පින්වත් කුළුදත්  ය, පින්වත් කුළුදත් යා මහණ ගොයුමන්ගේ ගුණ කියන සැටියෙන් ඒ භවද්ගෞතමයන් මෙයින් යොදුන් සීයක් දුරැ වසතත්, සැදැහැති කුලපුතුහු විසින් පාථෙය (මග වියදම්) ගෙන ද, ඔබ දක්නට එළැඹෙනු වටී ම ය එ බැවින් භවත්නි, අපි සියල්ලෝ ම ඒ මහණ ගොයුමන් දක්නට යන්නමු”යි කීහ.
 
9.ඉක්බිත්තෙන් කුළුදත් බමුණා මහත් බමුණු ගණයා හා අඹයැටියට භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු විය. සතුටට කරුණු වූ, සිතැ රැඳවිය යුතු වු කථාව කැරැ නිමවා, පසෙක ඉඳ ගත්තේ ය. ඛාණුමත ගමැ වැසි බමුණෝ ද ගැහැවියෝ ද කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ පසෙක ඉඳ ගත්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටු විය යුතු සිතැ රැඳවිය යුතු වූ කථා නිමවා පසෙක ඉඳ ගත්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දසාවට අඳිලි බැඳගෙන පසෙක හුන්හ. කෙනෙක් නම්ගොත් අස්වා පසෙක ඉඳ ගත්හ. කෙනෙක් නිහඬ වැ පසෙක ඉඳ ගත්හ.
 
10.එක් පසෙකැ හුන්නා වූ ම කුළුදත් බමුණා, “පින්වත්, ගොයුමාණනි, ‘මහණ ගොයුම්හු තෙවැදෑරුම් යාග සම්පතත් සොළොස් පිරිකරත් දනිති’ යි මෙය මා විසින් අසන ලදි. මම් වූ කලි තෙවැදෑරුම් යාග සම්පතත් සොළොස් පිරිකරත් නොම දනිමි. වැලිදු මහයාගයක් යජනට මම් කැමැතියෙමි. යාච්ඥා කරම්. මට පින්වත් ගොයුම්හු තෙවැදෑරුම් යාග සම්පතුත් සොළොස් පිරිකත් දෙසත්වා ”යි භාග්‍යවතුන් වහන්සේට කීය.
“බමුන, එසේ වී නම් අසන්නැ. මොනවට මෙනෙහි කරන්නැ. කියන්නෙමි”යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
‘එසේ ය පින්වතැ’ යි කුළුදත් බමුණු භාග්‍යවතුන් වහන්සේට පිලිවඳන් ඇස්වී ය. භාග්‍යවතුන් වන්සේ මෙය වදාළ සේක.
 
11.“පෙර වූවක් කියමි. බමුණ, ආඩ්‍ය වූ මහත් ධන ඇති, මහත් භෝග ඇති, බොහෝ රන් රිදී ඇති, බොහෝ වස්තූපකරණ ඇති භෝග ධන ධාණ්‍ය ඇති, පිරිපුන් ගබඩා කොටුගුල් ඇති මහා විජිත නම් රජෙක් විය. බමුණු එ කලැ හුදෙකලා වැ චිත්ත විවේකයෙන් හුන් මහා විජිත රජුට ‘මානුෂක වූ මහත් භෝගසම්පත්හු මා විසන් ලබන ලද්දෝ ම ය. ඒ මම් මහත් පොළෝමඬුල්ල වෙසෙසින් දිනා හැමට අධිපතිව වෙසෙමි. මට දික් කලක් හිත සුව පිනිස පවත්නා මහා යඥයක් යදින්නෙම් නම් මැනැවැ” යි මෙසේ චිත්ත සංකල්පනාවෙක් පහළ විය.
බමුණ, ඉක්බිත්තෙන් මහාවිජිත රජ තෙම පෙරවියා අමතා “බමුණ, මෙහි හුදකලා වැ චිත්ත විවේකයෙන් හුන් මට ‘මානුසක වූ මහත් භෝගයෝ මා විසින් ලදහ. ඒ මම් මහත් මිහිමඬල දිනා එයට අධිපති වැ වෙසෙමි. මට දික් කලක් හිත සුව පිණිස පවත්නා මහා යඥයක් කළොත් මැනැවැ යි මේ චිත්තසංකල්පනාවෙක් උපන. බමුණ,මහා යඥයක් කරන්නට කැමැත්තෙමි එහි ලා භවත් තෙමේ මට දික් කලක් හිත සුව පිණිස අනුසාසනා කෙරේ වා”යි මේ බස් පැවැසී ය.
 
12.බමුණ, මෙසේ කී කල්හි පෙරෙවි බමුණු මහා විජිත රජුට මෙය කීය: “භවත් රජුහුගේ රට කටු සහිත(සොර උවදුරු සහිත) වෙයි, සොර උවදුරින් මිරිකුණේ වෙයි. ගම් පැහැරුම් දක්නා ලැබේ. නියම් ගම් පැහැරුම් දක්නා ලැබේ. නුවර පැහැරුම් දක්නා ලැබේ. මං පැහැරුම් දක්නා ලැබේ. භවත් රජ තෙමේ ඉදින් මෙසේ සොර උවදුරු ඇති සොර උවදුරින් මිරිකුනු රටෙහි බඳු කරවුවර ගන්නේ නම්, එයින් නොකටයුත්තක් කරන්නේ වන්නේ ය. ‘වධ කිරීමෙන් හෝ බැඳලීමෙන් හෝ දඩ ගැසීමෙන් හෝ හිස මුඬු කැරැවීම් ආදි ගැරැහුමෙන් හෝ රටින් නෙරැපීමෙන් හෝ මේ දෘශ්‍යුකීලය (සොර හුල) මුලින් ම උදුරා ලන්නෙමි’ යි පින්වත් රජුට මෙසේ සිතක් විය හැක්ක. මෙසේ මේ සොර හුල මැනවින් ඉදීරීමක් නොවේ ම ය. නසන ලද්දවුන් ගෙන් ඉතිරි ව යම් සොරසතුරු කෙනෙක් වන්නේ වන්නෝ ද, ඔහු පසු වැ රජුගේ රට පෙළන්නාහ. එතෙකුදු වුවත් මේ මතු දැක්වෙන සංවිධානයට පැමිණ (මතු දැක්වෙන් සේ පිළිපැදීමෙන්) මෙසේ මේ සොර හුල මොනවට ඉදිරි යෑම වේ. එ බැවින් සිය රටෙහි යම් කෙනෙක් ගොවිතැන්හි ගෙරි රැකුම්හි උත්සාහ කෙරෙත් නම්, පින්වත් රජ තෙමේ ඔවුනට ධාන්‍ය බිජුවට ද, බත් ද දේවා. යම් කෙනෙක් පින්වත් රජුහු ගේ රටෙහි වෙළදාම පිණිස උත්සාහ කෙරෙත් ද, ඔවුනට රජ තෙමේ බඩුමිල දේ වා. පින්වත් රජුහුගේ රටෙහි යම් කෙනෙක් රාජකාර්‍යෙයහි උත්සාහ කෙරෙත් ද, ඔවුනට පින්වත් රජ තෙමේ බත් වැටුප් දේ වා. ඒ මිනිස්සුත් තමන්ගේ වැඩපලෙහි යෙදුණෝ රජුගේ රට නො පෙළන්නෝ ය. රජුගේ ධනධාණ්‍ය රැස ද, මහත් වන්නේ ය. ජනපදයෝ සොර උවදුරු නැත්තෝ, නොමිරිකුණෝ, නිරුපද්‍රතවභාවයේ සිටියෝ වන්නාහ. මිනිස්සු ද උනුන් කෙරෙහි සතුටු වන්නෝ, ඔරෙහි දරුවන් නටවන්නෝ, දොර  නොවැ සූ ගෙවල් ඇත්තවුන් මෙන් (බිය සැක නැති ව) වසන්නෝ ය.”
 
13.බමුණ ‘භවත එසේ යැ’ යි කියා ම ඒ මහා විජිත රජ පිළිවදන් දී, රජුගේ රටෙහි ගොවිතැන්හි ගෙරිරැකුම්හි උත්සුක වූවනට බිජු ද බත් ද දෙවී ය. වෙළෙඳාමෙහි උත්සුක වූවනට බඩුමිල දෙවී ය. රාජකාර්‍යයෙහි යෙදුනවුනට බත් වැටුප් දෙවී ය. ඒ මිනිස්සු ද මෙසේ රජුගේ රට නො පෙළූහ. රජුගේ ද ධන ධාන්‍ය රාශිය මහත් විය. ජනපදයෝ සොරසතුරු උවදුරින් මිදුණෝ නොමිරිකුණෝ නිරුපද්‍රත බව්හි සිටියෝ වූහ. මිනිස්සු ඔවුනොවුන් හා සතුටු වන්නෝ දරුවන් ඔරෙහි නටවනුවො දොර නොවැසූ ගෙවල් ඇතියන් සේ (බිය සැක නැති වැ) වුසූහ.
 
14.බමුණ, ඉක්බිත්තෙන් මහාවිජිත රජ තෙමේ පෙරෙවියා අමතා, “භවත, මා විසින් භවත්හුගේ සංවිධානය පිළිපැද ඒ සොරසතුරු හුල මුලින් උදුරන ලද්දේ ය. මගේ ධන ධාන්‍ය රැස ද මහත් ම ය. ජනපදයෝ අකණ්ටක වූවෝ, (සොර සතුරු උවදුරු නැත්තෝ) උවදුරින් නොමිරිකුණෝ, උවදුරු නැති බව්හි සිටියෝ ය. මිනිස්සු ඔවුනොවුන් හා සතුටු වන්නෝ, ඔරෙහි දරුවන් නටවන්නෝ, දොර නොවැසූ ගෙවල් ඇත්තවුන් සේ වෙසෙත්. බමුණ, මට දික් කලක් හිත සුව පිණිස පවත්නා මහා යඥයක් යදනට (මහා දනක් දෙන්නට) මම් කැමෙත්තෙමි. පින්වත් තෙමේ මට අනුශාසන කෙරේ වා” යි මෙ බස් කී ය.
            එ විට පෙරෙවි තෙමේ මෙසේ රජුට අනුශාසන කෙළේ ය: “එසේ නම්, පින්වත් රජුගේ රටෙහි තමා අනුව පවත්නා නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් යම් ක්‍ෂත්‍රිය කෙනෙක් වෙත් නම්, පින්වත් රජ තෙමේ ඔවුන් අමතා, ‘භවත්ති, මට බොහෝ කල් හිත සුව පිණිස මම් මහ දනක් දෙනු කැමෙත්තෙමි. භවත්හු එයට මට අනුදනිත් වා’යි කියා වා. පින්වත් වූ රජුගේ රටෙහි නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් රාජසභාවට අයත් ඇමතියෝ වෙත් ද,...නියම්ගම් වැසි දනවුවැසි බමුණු මහසල්හු වෙත් ද...නියම්ගම්වැසි දනවුවැසි මහා දනවත් ගැහැවි කෙනෙක් වෙත් ද, පින්වත් රජ තෙමේ ඔවුන් අමතා ‘භවන්ති, මට බොහෝ කල් හිත සුව පිණිස මම් මහා දනක් දෙනු රිසියෙමි. භවත්හු එයට මට අනුදනිත්වා’යි කියා වා”.
            “බමුණ, ‘එසේ ය පින්වතැ’යි කියා ම මහාවිජිත රජ තෙමේ පෙරෙවි බමුණාට පිළිවදන් දී, සිය රටෙහි නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් තමා අනුව පවත්නා ක්‍ෂ්ත්‍රිය කෙනෙක් වූහු නම්, ඔවුන් අමතා, ‘පින්වන්ති, යමක් මට බොහෝ කල් හිත සුව පවත්නේ ද, මම් එසේ වූ යඥයක් යජන්නට (මහා දනක් දෙන්නට) කැමැත්තෙමි. පින්වත්හු එයට මට අනුදනිත්වා’යි කී ය.
            ‘පින්වත් රජ තුමෝ යඥය යජත් වා (මහ දන් දෙත් වා). මහ රජාණනි, මේ යඥයට කාලය වේ යැ”යි ඔහු කීහ. සිය රටෙහි නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් රාජසභාසද ඇමති කෙනෙක් වූහු ද... නියම්ගම්වැසි දනවුවැසි බමුණු මහසල් කුල කෙනෙක් වූහු ද,... නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් දන රැස් කරන ගැහැවි මහසල් කුල කෙනෙක් වූහු ද, මහාවිජිත රජ තෙමේ ඔවුන් හැම අමතා, ‘භවන්ති, යමක් මට බොහෝ කල් හිත සුව පිණිස පවත්නේ ද, එසේ වූ මහායඥයක් යජනු රිසියෙමි. පින්වත්හු මට එයට අනුදනිත් වා’යි දැන්වී ය.
            ‘මහරජාණනි, මේ යඥයට කාලය ය. පින්වත් රජ තුමෝ යඥය කෙරෙත් වා’යි ඔහු කීහ.
            මෙසේ මේ අනුමති පක්ෂ සතර (අවසරය දෙන්නන් සතර වගය) එ ම යඥයට පිරිවර වෙත්.
 
15.මහා විජිත රජ තෙමේ අංග අටෙකින් සමන්විත ය. (කවර  අටගින් ද ? යත්:)
            හේ මාපිය දෙපසින් ම අභිජාත ය, සත්වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස අත්තෙක.
               ජාතිවාදයෙන් නොහෙළන ලද්දෙක, ගැරහුම් නොලද්දෙක.
            විශිෂ්ට රූප ශොභා ඇත්තෙක, දැකුම් කටයුත්තෙක, ප්‍රසාද එලවන සුලු ය.
            උතුම් වර්‍ණසෞන්දර්‍යයෙන් යුක්ත ය, උතුම් රන් පැහැ ඇත්තෙක, උතුම් සිරුරු පැහැ ඇත්තෙක, සිය සිරුර අනුන් විසින් දක්නට නොමඳ අවකාශ ඇත්තෙක.
            ආඪ්‍ය ය, මහද් ධන ඇත්තේ ය, මහද්භොග ඇත්තේ ය, බොහෝ රන් රිදී ඇත්තේ ය, වස්තුපකරණ ඇත්තේ ය, බොහෝ ධන ධාන්‍ය ඇත්තේ ය, පිරිපුන් ගබඩා කොටාර ඇත්තේය.
            බලවත් වුයේ, අණට කන් දෙන, ඔවා පිළිපදනා සිවුරඟ සෙනඟින් සමන්විත වුයේ, පසමිතුරන් සිය යස තෙදින් තවාලන්නාක් මෙන් වේ.
            සැදැහැත්තේ ය, දීමෙහි හුරු ය, දානපති ය, මහණුනට බමුණනට දුගියනට මගියනට පුලනුනට යදියනට නොවැසූ දොර ඇත්තේ ය, සිවුමං හන්දියෙක කැණූ පොකුණක් මෙන් වැ දන් පින් කෙරෙයි.
            ඒ ඒ ඇසු දෑ පිලිබඳ වැ බහුශ්‍රත ය, මේ මෙබසෙහි අරුත ය, මේ මෙබසෙහි අරුත යැ යි ඒ ඒ කී බසෙහි අරුත් දනී.
            නුවනැත්තේ ය, වියත් ය, අයුනා වත්මන් අරුත්හි සමත් ය.
            මහවිජිත රජ තෙමේ මෙ අටඟින් සමන්විත ය. මෙසේ මේ අංග අට ද එම යඥයට පිරිවර වෙත්.
             
16.පෙරෙවි බමුණු ද සතර අංගයෙකින්  යුත් වෙයි. (කවර සතෙරෙකින් ද යත්:) මා පිය දෙපසින් ම අභිජාත ය, සතර වන මීමුතු යුවල තෙක් ම පිරිසිදු මවුකුස ඇත්තේ ය, ජාතිවාදයෙන් නො හෙළන ලද්දේ ය, නො ගරහන ලද්දේ ය. වේද හදාරන්නේ ය, නිඝණ්ඩු ද  කෛටභශාස්ත්‍ර ද සහිත ශික්ෂා හා නිරුක්ති හා සහිත ඉතිහාසය පස්වනු කොටැති තුන් වේදයේ පර තෙරට පැමිණියේ ය, පදපාඨ දන්නේ ය, සෙසු සියලු වියරණ විදි ද දන්නේ ය, ලෝකායත ශාස්ත්‍රයෙහිත් මහපුරුෂලක්ෂණ විද්‍යායෙහිත් නිපුණ ය. සිල්වත් ය, ව්‍යක්ත ය, නුවණැත්තේ ය. යාග සැන්ද ඔසොවන්නවුන් අතුරෙහි පළමු හෝ දෙවෙනි තැනැත්තේ ය.
            පෙරෙවි බමුණු තෙමේ මේ සතර අංගයෙන් සමන්විත වෙයි. මෙසේ මේ සතර අංගයෝ ද එම යාගයට පිරිවර වෙත්.
 
17.බමුණ, ඉක්බිත්තෙන් පෙරෙවි බමුණු තෙමේ යඥයෙන් පෙරාතු ව ම මහාවිජිත රජුට තුන් විධාවන් දැක්වී ය: “මහා යාගයක් යජනු කැමැති පින්වත් රජහට “අහෝ! මා සතු භොග රැසක් මතු නැසෙතැ’යි කිසි විපිළිසරක් විය හැක්ක. පින්වත් රජුහු විසින් එසේ වූ විපිළිසරක් නො කටයුතු ය. මහා යාගයක් යජන පින්වත් රජුට ‘අහෝ මා සතු මහත් භොග රැසක් දන් නැසෙතැ’යි කිසි විපිළිසරක් වියැ හැක්ක. පින්වත් රජු විසින් එසේ වූ විපිළිසරක් නො කටයුත්තේ ය. මහායාගය යැජූ පින්වත් රජුට ‘අහෝ මා සතු මහත් භොග රැසක් නැසී ගියේ වනැ’යි විපිළිසරක් වියැ හැක්ක. පින්වත් රජුහු විසින් එසේ වූ විපිළිසරක් නොකටයුත්තේ ය”.
            බමුණ, පෙරෙවි බමුණු තෙමේ යඥයෙන් පෙරාතු ව ම මහාවිජිත රජුට මේ තුන් විධාවන් දෙසී ය.
 
18.බමුණ, ඉක්බිත්තෙන් පෙරෙවි බමුණු තෙම මහාවිජිත රජුට යඥයෙන් පෙරාතු ව ම දන් පිළිගන්නවුන් කෙරෙහි විපිළිසර දස අයුරෙකින් දුරැ  ලී ය. (ඒ මෙසේ ය:) “පින්වත්හුගේ යඥයට පණිවා කරන්නෝ ද පණිවායෙන් වැළැකුනෝ ද එන්නාහු ම ය. ඔවුන් අතුරෙහි යම් කෙනෙක් පණිවා කරන්නෝ නම් එයින් වරද ඔවුනට ම ය. ඔවුන් අතුරෙහි යම් කෙනෙක් පණිවායෙන් වැළැක්කෝ නම් භවත් තෙමේ ඔවුන් ඇරැබැ යජා වා. භවත් තෙමේ ඔවුන් ඇරැබැ පරිත්‍යාග කෙරේවා. භවත් තෙමේ සතුටු වේ වා. භවත් තෙමේ ඇතුලත සිත ම පහදා වා. පින්වත්හුගේ යඥයට අයිනාදන් කරන්නෝ ද අයිනාදනින් වැළැක්කෝ ද,...කාමයන්හි වරදවා හැසිරෙන්නෝ ද එයින් වැළැක්කෝ ද...මුසාවා කියන්නෝ ද එයින් වැළැක්කෝ ද...පෙහෙසුන් තෙපලන්නෝ  ද එයින් වැළැක්කෝ ද...පරොස්බස් බනින්නෝ ද එයින් වැළැක්කෝ ද...බොල් බස් දොඩන්නෝ ද එයින් වැළැක්කෝ ද...දැඩි ලොහොබියෝ ද දැඩිලොහොබි නොවන්නෝ ද...ද්වේෂ සහිත සිතැත්තෝ ද එබඳු සිත් නැත්තෝ ද...මිසදිටුවෝ ද සම්දිටුවෝ ද එන්නහු ම ය. ඔවුනතුරෙහි යම් කෙනෙක් මිසදිටු ගතුවෝ නම් එයින් අවැඩ ඔවුනට ම ය. ඔවුනතුරෙහි යම් කෙනෙක් සම්දිටුහු නම් ඔවුන් අරමුණු කොට පින්වත් තෙමේ යාගය කෙරේ වා. පින්වත් තෙමේ සතුටු වේ වා. ඇතුළත සිත ම පින්වත් තෙමේ පහදා වා”යනු යි.
     බමුණ, පෙරෙවි බමුණු තෙමේ මහාවිජිත රජුට යාගයෙන් පෙරාතු ව ම මේ දසඅයුරින් යාග පිළිගන්නවුන් කෙරේ (වියැ හැකි) විපිළිසර දුරැ ලී ය.
 
19.බමුණ, ඉක්බිති පෙරෙවි බමුණු තෙම මහායඥය යජන මහාවිජිත රජුගේ සිතට සොළොස් අයුරෙකින් කරුණු දැක්වී ය, කරුණු ගැන්වී ය, එහි සිත තියුණු කළේ ය, එහි සිත තුටුපහුටු කෙළේ ය. (ඒ මෙසේ ය:) “මහායඥයක් යජන පින්වත් රජහට ‘මහා විජිත රජ වනාහි මහායඥයක් යජයි. එහෙත් ඔහු විසින් නියම්ගම්වැසි වූ ද දනවුවැසි වූ ද අනුයුක්ත ක්‍ෂත්‍රියයෝ නො ම කැඳවන ලද්දාහ. එතෙකුදු වුවත් රජ තෙමේ මෙ බඳු මහායඥයක් යජා’යැ යි මෙසේ කියන්නකු ඇති වියැ හැකි ද, පින්වත් රජුට දහම් තයින් එසේ කියන්නෙක් නම් නැත. (කවර හෙයින? යත්:) පින්වත් රජුහු විසින් නියම්ගම් වැසි වූ ද දනවුවැසි වූ ද අනුයුක්ත  ක්‍ෂත්‍රියයෝ කැඳවන ලද්දාහ. (එ හෙයිනි ).
            මේ කරුණින් ද, මෙය පින්වත් රජ තෙමේ දැන ගනී වා. පින්වත් තෙමේ යාගය කෙරේ වා, පින්වත් තෙමේ දන් දේ වා, පින්වත් තෙමේ යාගයට සතුටු වේ වා, පින්වත් තෙමේ ඇතුලත සිත පහදා වා.
 
20.මහාවිජිත රජ මහායාගයක් කරයි. එහෙත් එහු විසින් නියම්ගම්වැසි, දනවුවැසි පොහොසත් බමුණෝත් නො දන්වන ලදුහ. නියම්ගම්වැසි, දනවුවැසි පොහොසත් ගැහැවියෝත් නො දන්වන ලදුහ. එතෙකුදු වුවත් ‘පින්වත් රජු මෙබඳු මහායාගයක් කරතැ යි මහායාගයක් කරනු කැමති පින්වත් රජුට කියන කිසිවෙක් ඇති විය හැක්කේ ද, පින්වත් රජුට කරැණු සහිත ව එසේ කියන්නෙක් නැත. පින්වත් රජුහු විසින් වනාහි නියම්ගම්වැසි දනවුවැසි සිය යහළුවෝත් අණ පිළිපදනා සෙස්සෝත් දන්වන ලදහ...පොහොසත් බමුණෝත්...පොහොසත් ගැහැවියෝත් දන්වන ලදුහ. මේ කාරණයෙනුත්, මෙය භවත් මහරජ තෙමේ දැනැ ගනී වා. පින්වත් තෙමේ යාගය කෙරේ වා, පින්වත් තෙමේ දානය දේ වා, පින්වත් තෙමේ සතුටු වේ වා, පින්වත් තෙමේ ඇතුළත සිත ම පහදා වා.
 
21.මහාවිජිත රජ මහායාගයක් කරයි. එහෙත් හේ මාපිය දෙපසින් අභිජාත නො වේ. සත් වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇත්තේ නො වේ. ජාතිවාදියෙන් නො හෙලන ලද්දේ නො වේ. නොගරහන ලද්දේ නො වේ. එහෙත් භවත් මහරජු මෙ බඳු මහායාගයක් කරතැ,යි මහායාගය කරන භවත් රජුට කියන කිසිවෙක් ඇති විය හැක්ක. එහෙත් භවත් රජහට කරුණු සහිත වැ එසේත් කියන්නෙක් නැත. පින්වත් රජ තෙමේ වූ කලි මාපිය දෙපසින් අභිජාත ය, සත් වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇත්තේ ය, ජාතිවාදියෙන් නො හෙලන ලද්දේ ය, නොගරහන ලද්දේ ය. මේ කාරුණිනුත් මෙය භවත් රජ තෙමේ දැනගනී වා. භවත් තෙමේ යාගය කෙරේ වා, භවත් තෙමේ දානය දේ වා, භවත් තෙමේ සතුටු වේ වා, භවත් තෙමේ ඇතුළත සිත ම පහදා වා.
 
22.මහා යාගයක් යජනා පින්වත් රජහට “මහාවිජිත රජ වූ කලි මහා යාගයක් යදී. එහෙත් හේ මනා රූ ඇත්තේ නො වේ, දැකුම්කලු නො වේ. උතුම් පැහැ ඇත්තේ නො වේ. බඹහු වැනි කය ඇත්තේ නො වේ. දැක්මට මහත් ඹවස් ඇත්තේ නො වේ...ආඨ්‍ය ද නො වේ.  මහත් ධන ඇත්තේ නො වේ. මහත් භොග ඇතේ නො වේ. බොහෝ රන් රිදී ඇත්තේ නො වේ. බොහෝ වස්තූපකරණ ඇත්තේ නො වේ. බොහෝ ධනධාන්‍ය ඇත්තේ නො වේ. පිරිපුන් බඩුගුල් හා කොටුගුල් ඇත්තේ නො වේ. ...බසට කන් දෙන, ඔවා පිළිපදනා, බලවත් සිවුරඟ සෙනගින් සමන්විත නො වේ. සතුරන් සිය යසසින් තවතැ යි නොසිත ම්...සැදැහැවත් දායකයෙක් දානපතියෙක් හළ දොරැත්තෙක් නො වෙයි. මහණ බමුණනට දුගියනට මගියනට යදිනට පුලනුනට සිවුමංහන්දියෙකැ පිහිටි ළිඳක් මෙන් වැ දන් පින් නො කෙරෙයි...ඒ ඒ ඇසූ දෑ පිළිබඳ ඇසූ පිරූ තැන් ඇත්තේ නො වෙයි...මේ මෙ කියන ලද්දෙහි අරුත් ය, මේ මෙ කියන ලද්දෙහි අරුත් යැ යි ඒ ඒ භාෂිතයේ අරුත් නො දනී...පණ්ඩිත ද ව්‍යක්ත ද නුවණැති ද අයුනාවත්මන් දෑ සිතනු සමත් ද නොවේ...එහෙත් භවත් රජු මෙ බඳු මහා යඥයක් යජතැ”යි මෙසේ දොස් කියන්නෙකු වියැ හැක්කේ ද, පින්වත් රජුහට එසේ කරැණු සහිත වැ කියන්නෙක් නම් නැත.
             පින්වත් රජ තෙමේ වනාහි...පණ්ඩිත ය, ව්‍යක්ත ය, නුවණැත්තේ ය. අයුනාවත්මන්හි අරුත් සිතන්නට සමත් ය. මෙ කරුණින් ද පින්වත් රජ තෙමේ (යඥයට කලැ යි) මෙය දනී වා. පින්වත් තෙමේ යඥය කෙරේ වා. පින්වත් තෙමේ දානය දේවා. පින්වත් තෙමේ (ස්වකීය යඥයෙහි) සතුටු වේවා, පින්වත් තෙමේ සිත ඇතුළත පැහැදැවීම ම කෙරේ වා.
 
23.මහා යඥයක් යජනා පින්වත් රජුට “මහාවිජිත රජ වනාහි මහා යඥයක් කරයි. එහෙත් ඔහු පෙරෙවි බමුණු තෙමේ මාපිය දෙපසින් පිරිසිදු උපත ඇතියෙක් නො වේ. සත් වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇතියෙක් නො වේ. ජාතිවාදියෙන් බැහැර නොකරන ලදුයෙක්, නොගරහන ලදුයෙක් නො වේ. එතෙකුදු වුවත් පින්වත් රජු මෙ බඳු මහායඥයක් කරතැ”යි කියන කිසිවකු ඇති වියැ හැකි වතොත්, පින්වත් රජුට කරුණු සහිත වැ එසේ කියන්නෙක් නම් නැත. පින්වත් රජුහුගේ පෙරෙවි බමුණු තෙමේ මවු පසින් ද පිය පසින් ද යන දෙ පසින් ම පිරිසිදු උපත ඇතියෙක් ය. සත් වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවු කුස ඇතියෙක් ය. ජාතිවාදයෙන් බැහැරැ නො කැරු‍‍ණෙක් ය. ගැරහුම් නොලදුයෙක් ය. මේ කරුණින් ද පින්වත් රජ තෙමේ (යඥයට කලැ යි) මෙය දනී වා. පින්වත් තෙමේ යඥය කෙරේ වා. පින්වත් තෙමේ යාගය කෙරේ වා. පින්වත් තෙමේ ස්වකීය යඥයෙහි සතුටු වේ වා. පින්වත් තෙමේ සිත ඇතුළත පැහැදීම ම කෙරේ වා.
 
24.මහා යඥයක් කරන පින්වත් රජුට, “මහාවිජිත රජ වනාහි මහා යඥයක් කෙරෙයි. එහෙත් ඔහු පෙරෙවි බමුණු තෙමේ වේද හදාරන්නෙක්, වේදය සිතැ දරන්නෙක්, නිඝණ්ටු කෙටුභශාස්ත්‍ර සහිත, අක්ෂරප්‍රභේද සහිත, ඉතිහාසය පස්වනු කොටැති තුන් වේදයන්හි පරතෙරට ගියෙක් නො වේ යැ යි ද, පද දන්නෙක්, වියරණෙහි නිපුනයෙක්, ලොකායන ශාස්ත්‍රයෙහිත් මහාපුරුෂලක්ෂණ ශාස්ත්‍රයෙහිත් අනූනයෙක් නො වේ යැ යි ද...
            ඔහු පෙරෙවි බමුණා සිල්වතෙක්, වැඩුණු සිල් ඇත්තෙක්, වැඩුණු ශීලයෙන් සමන්විතයෙක් නො වේ යැ යි ද...
            ඔහු පෙරෙවි බමුණා පණ්ඩිත ද නො වේ යැ යි, ව්‍යක්ත ද නො වේ යැ යි, නුවණැති ද නො වේ යැ යි, හෝම සැන්ද ඔසොවන්නවුන් ගෙන් පළමු වැන්නා හෝ දෙවැන්නා හෝ නො වේ යැ යි, එතෙකුදු වුවත් පින්වත් මහරජ මෙ බඳු මහා යඥයක් කෙරේ යැ’ යි ද කියන කිසිවකු ඇති වියැ හැක්ක. එහෙත් කරුණු සහිත වැ එසේ කියන්නෙක් නම් නැත.
            පින්වත් රජුගේ පෙරෙවි බමුණා වනාහි පණ්ඩිත ය, ව්‍යක්ත ය, නුවණැත්තේ ය. හෝම සැන්ද ඔසොවන්නවුන් ගෙන් පළමු වැන්නා හෝ දෙවැන්නා ය. පින්වත් රජ තෙමේ මෙයිනුත් (යඥයට කාලය යැ යි) මෙය දනී වා. පින්වත් තෙමේ යාගය කෙරේ වා. පින්වත් තෙමේ යාගයෙහි සතුටු වේ වා. පින්වත් තෙමේ සිත ඇතුළත පැහැදීම ම කෙරේ වා”.
            බමුණ, ඒ පෙරෙවි බමුණා මහා යාගයක් කරන්නට සැරසෙන මහාවිජිත රජුහුගේ සිත මේ සොළොස් අයුරින් කරුණු දක්වා මෙහෙයී ය, සිතට ගැන්වී ය, සිත උනන්දු කළේ ය, පැසැසීමෙන් සිත සතුටු කෙ‍ළේ ය.
 
25.ඒ යාගයෙහි වු කලි ගෙරිහු නො මරණ ලදහ. එළුතිරෙළුවෝ නො මරණ ලදහ. කුකුළෝ හූරෝ නො මරණ ලදහ. නොයෙක් ලිහිණි ඈ සත්තු වනසට නො පැමිණියහ. යාග කණු පිණිස රුක්හූ නො සිඳින ලදහ. යාගශාලාව පිරිකෙවීම පිණිස හෝ යාග බිමැ ඇතිරීම පිණිස කුස තණ නො සිඳින ලද්දේ ය. ඔහුගේ දාසයෝ යි හෝ මෙහෙකරුවෝ යි හෝ කම්නරුවෝ යි කියන ලද යම් කෙනෙක් වූහු නම්, ඔහුත් දඬු ගැන්මෙන් නො තෙජනු ලදුවෝ, බිය දැනැවීමෙන් නො තෙජනු ලදුවෝ, කඳුළෙන් තෙමුණු මුහුනු ඇති වැ නොම හඬනුවෝ, (පිය බසින් ම මෙහෙයුණෝ) කටයුතු දෑ කළහ. වැලි දු යම් කෙනෙක් කැමැත්තෝ නම්, ඔහු එහි කටයුතු දැය කළහ. යම් කෙනෙක් නොකැමැත්තෝ නම්, ඔහු එය නොකළහ... ගිතෙල් තලතෙල් වෙඬරු දිහි මී සකුරින් මුසු වූ කැඳ බත් ආදියෙන් ම ඒ යඥය නිමාවට පැමිණියේ ය.
 
26.එ කල්හි නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් එ රජුගේ කටයුතුවලැ යෙදී වසන බමුණෝ ද ක්ෂත්‍රියයෝද, නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් ඇමැත්තෝ ද පිරිස්වැස්සෝ ද, නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් බමුණු මහසල්කුල වැස්සෝ ද නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් ගැහැවි මහසල්කුල වැස්සෝ ද බොහෝ ධනය (ගැල් පුරා) නඟා ගෙන මහා විජිත රජු කරා එළැඹැ, “දේවයන් වහන්ස, මේ බොහෝ ධනය දේවයන් වහන්සේ ම උදෙසා ගෙනෙන ලද්දේය. එය දේවයන් වහන්සේ පිළිගන්නා සේක් වා” යි මෙසේ කීහ.
(එයසා,) “පින්වත්නි,(තොප ධනයෙන්) කම් නැත. මගේ ද දැහැමි කරවුවරින් රැස් කළ මේ බොහෝ ධනය ඇත්තේය. (එබැවින් තොප ගෙනා) ඒ ධනයත් තොපට ම වේ වා. මොබිනුත් තවත් ගෙන යවු” යි රජ කී ය.
 
27.ඔහු රජු විසින් නොගිවිස්නා ලද්දෝ එක් පැත්තකට ගොස්, “මේ ධන නැවැත අප ගෙවලට ගෙනැ යෑම අපට නො  හොබනේ ය. මහාවිජිත රජු වූ කලී මහා යාගයක් කෙ‍රෙයි. එ බැවින් අපි ඔහුට අනුයාග කරන්නමෝ වමු යි” මෙසේ කතා කැරැ ගත්හ.
බමුණ, ඉක්බිති (රජුගේ) දන්හලට පැදුම් දිගැ නිගම්වැසි වූත් දනවුවැසි වූත් රාජසේවක ක්ෂත්‍රියයෝ දන් (හල්) පිහිටුවූහ. රජුගේ දන්හලට දකුණු දිගැ නිගම්වැසි වූත් ජනවුවැසි වූත් ඇමැත්තෝත් පිරිස්වැස්සෝත් දන් (හල්) පිහිටුවූහ. (රජුගේ) දන්හලට ජැසිම් දිගැ නිගම්වැසි වූත් ජනවුවැසි වූත් බමුණුමහසල්වැසියෝ දන් (හල්) පිහිටුවූහ. (රජුගේ) දන්හලට උතුරු දිගැ නිගම්වැසිවූත් ජනවුවැසි වූත් ගැහැවි මහසල් වැසියෝ දන් (හල්) පිහිටුවූහ.
බමුණ, ඒ යාගයන්හි (දානයන්හි) ද ගෙරිහු නො ම මරන ලදහ. එළුතිරෙළුවෝ නො ම මරණ ලදහ. කුකුළොත් නො ම මරණ ලදහ. නන් සත්තු මරණයට නො පැමිණියහ. යාග සඳහා රුක්හු නො ම සිඳුනා ලදහ. වනමල් අවුණා මල් දම් කොටැ දන්හල වටා ලනු පිණිසත් හිඳ ගන්නට යාග බිමැ අතුරනු පිණිසත් කුස තණ නො ම සිඳුනා ලද්දේය. ඔවුන්ගේ දාසයෝ යි හෝ මෙහෙකරුවෝ යි හෝ කම්කරුවෝ යි කියන ලද යම් කෙනෙක් වූහු නම්, ඔහු දු දඬුයෙන් තෙජනා ලදුවෝ හෝ බිය දැනැවීමෙන් තෙජනා ලදුවෝ හෝ කඳුළු මුසු මුහුනැති වැ හඬන්නෝ හෝ එහි කටයුතු නොකළහ. වැලි කටයුතු කරනු කැමැතියෝ ම කටයුතු  කළහ. නොකැමැතියෝ නො ම කළහ. ඒ යඥයෝ (දානයෝ) ගිතෙල් තලෙතල් වෙඬරු දිහි මී සකුරෙන් හා කැඳ බත් ආදියෙන් ම නිමාවට ගියහ.
 
28.බමුණ, මෙසේ යාගය කිරීමට අනුමතිය දුන් පක්ෂ සතර ද , අටඟින් යුත් මහා විජිත රජ ද, සිවුරඟින් යුත් පෙරවි බමුණා ද, තර ව පිහිටි යැ යුතු තුන් තැන් ද යන මොහු තුන් වැදැරුම් යාග සම්පතුත් සොළොස් යාග පිරිකරත් ය.
 
29.භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කල්හි, ඒ බමුණෝ “යාග නම් මෙසේ වුව මැනව, යාගසම්පත් නම් මේ මැ යැ”යි ගුගුරන්නෝ උස් හඬ ඇත්තෝ, මහ හඬ ඇත්තෝ වූහ. කුළුදත් බමුණු වනාහි නිහඬ ව ම උන්නේ වෙයි. එ කලැ ඒ බමුණෝ කුළුදත් බමුණාට “පින්වත් කුළුදත් තෙමේ කවර හෙයින් මහණ ගොයුමාණන්ගේ සුබැසිය සුබැසි විසින් නො අනුමොවී දැ?” යි කීහ.
“මම් මහණ ගොයුමන් වහන්සේගේ සුබැසිය සුබැසි විසින් නොඅනුමෙවුනෙම් නො වෙමි. යමෙක් මහණ ගොයුමන් වහන්සේගේ සුබැසිය සුබැසි විසින් නො අනුමෙවුනේ වී නම්, ඔහු හිස ගිලි හෙන්නේය. වැලි ‘මා විසින් මෙය ඇසිණැ’යි හෝ ‘මෙසේ වියැ යුතු යැ’ යි හෝ මහණ ගොයුමන් වහන්සේ මෙසේ නො වදාළ සේක‍. එහෙත් උන් වහන්සේ ‘එදා මෙසේ වීය. ඒදා මෙ පරිද්දෙන් වී යැ’ යි ම වදාරන සේක. භවත්නි, ඒ මට ‘ඒකාන්තයෙන් මහණ ගොයුමන් වහන්සේ එ කලැ යාගස්වාමි’ වූ මහාවිජිත රජ හෝ වුව මැනව, ඔහු යාගය කැරැවූ පෙරවි බමුණා හෝ වුව මැනැවැ’යි මෙසේ සිතෙක් වෙයි. පින්වත් ගොයුමාණන් වහන්සේ ‘මෙ බඳු යඥයක් යැදැ හෝ යදවා (දනක් දී හෝ දෙවා) කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙන්නේ යැ’යි පිළින කරන සේක් දැ?”යි කුළුදත් බමුණු කීය.
“බමුණ මෙ බඳු යාගයක් කොට හෝ කරවා කාබුන්මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිනෙන්නේ යැ’යි පිළින කෙරෙමි. එ සමයෙහි ඒ යාගය කරවූ පෙරෙවි බමුණා මම් වීමි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
 
30.“පින්වත් ගෞතමයන් වහන්ස, සොළොස් පිරිකරක් ඇති මේ තුන් වැදෑරුම් යාග සම්පතට
වඩා අල්ප කටයුතු ඇති, අල්ප උත්සාහයෙන් සිදු කට හැකි (එහෙත්) වඩා මහත් පල ඇති, වඩා මහත්
අනුසස් ඇති අන් යාගයෙක් ඇත්තේ දැ?”යි කුළුදත් බමුණා විචාළේය.
“බමුණ, සොළොස් පිරිකරක් ඇති මේ තුන් යාග සම්පතට වඩා අල්ප කටයුතු ඇති, අල්ප උත්සාහයෙන් සිදු කට හැකි, වඩා මහත් පල ඇති, වඩා මහත් අනුසස් ඇති අන් යාගයෙක් ඇත්තේ යැ”යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
 
31.“පින්වත් ගෞතමයන් වහන්ස, සොළොස් පිරිකරක් ඇති මේ තුන් යාග සම්පතට වඩා අල්ප කෘත්‍ය ඇති, වඩා අල්ප උත්සාහයෙන් සිදු කට හැකි, එහෙත් එයට වඩා මහත් පල ඇති, වඩා මහත් අනුසස් ඇති ඒ යාගය කවරේ දැ?”යී (කුළුදත් ඇසී ය.)
“බමුණ, සිල්වත් පැවිද්දන් උදෙසා කුලපරපුරෙහි දෙන යම් නිති දන් (හැම දා ම දෙන දන්) කෙනෙක් වෙත් නම්, බමුණ, ඒ මේ යාගය මෙ කී සොළොස් පිරිකරක් ඇති තුන් යාග සම්පතට වඩා අල්ප කෘත්‍ය ඇති අල්ප උත්සාහයෙන් සිදු කට හැකි, එහෙත් එයට වඩා මහත් පලත් මහත් අනුසසුත් ඇති එකෙකැ”යී (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක).
 
32.“පින්වත් ගෞතමයන් වහන්ස, ඒ නිති දෙන අනුකූල යඥය යමෙකින් සොළොස් පිරිකරක් ඇති මේ ත්‍රිවිධ යඥසම්පතට වඩා අල්ප කෘත්‍ය ඇතියෙක්, වඩා අල්පොත්සාහයෙන් සිදු කට හැකියෙක්, එහෙත් එයට වඩා මහත් පලක් මහත් අනුසසුත් ඇතියෙක් වන්නේ නම්, ඒ හේතුව ඒ ප්‍රත්‍යයය කවරේ දැ?” (යී කුළුදත් පුළුවුත.)
“බමුණ, එ බඳු යාගයකට (දානයකට) රහත්හු හෝ රහත්මඟ පිළිපන්නෝ හෝ නො ම එළැඹෙත්. ඒ කවර හෙයින් ද? යත්: බමුණ, එ බඳු මහා යඥයෙහි ‘පිළිවෙළින් සිටිවු’ යන ආදීන් කියා දන් ලබන්නවුනට දඬුයෙන් පැහැරුම් ද ගෙල ගැනුම් ද දක්නා ලැබේ. එහෙයින් එබඳු යඥයට රහත්හු හෝ රහත්මඟට පිළිපන්නෝ හෝ නො එළැඹෙත්. බමුණ, සිල්වත් පැවිද්දන් උදෙසා කුලපරපුරෙහි දෙන යම් නිතිදන් කෙනෙක් වෙත් නම්, එබඳු යඥයට රහත්හු ද රහත්මඟට පිළිපන්නෝ ද එළැඹෙත්. ඒ කවර හෙයින? යත්: බමුණ, මෙ බඳු යඥයෙහි දඬුයෙන් පැහැරුම් හෝ ගෙල ගැනුම් හෝ දක්නා නො ලැබේ එහෙයින් මෙබඳු යඥයට රහත්හු ද රහත්මඟ වන්නෝ ද එළැඹෙත්. බමුණ, ඒ කුලපරපුරැ දෙන නිති දන යමෙකින් මෙ කී සොළොස් පිරිකරක් ඇති ත්‍රිවිධ යඥසම්පතට, වඩා අල්ප කටයුතු ඇති, අල්ප උත්සාහයෙන් සිදු කට හැකි, එහෙත් වඩා අල්ප මහත්පල ද මහත් අනුසස් ද ඇති එකෙක් වේ නම්, මේ එයට හේතුව ය, මේ ප්‍රත්‍යය ය.’
 
33.(කුළුදත්:) “පින්වත් ‍ගෞතමයන් වහන්ස, මේ සොළොස් පිරිකරක් ඇති තුන් වැදැරුම් යාගසම්පතටත් මේ කුලපරපුරෙහි දෙන නිති දනටත් වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ උත්සාහයෙකින් සිදු කට හැකි, එහෙත් මේ හැමට වඩා මහත් පලත් මහත් අනුසසුත් ඇති අන් යඥයෙක් ඇත් ද ?”
(භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ, මේ සොළොස් පිරිකරක් තුන් වැදැරුම් යාගසම්පතටත් කුලපරපුරෙහි දෙන නිති දනටත් වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ උත්සාහයෙකින් සිදු කට හැකි, එහෙත් ඒ හැමට වඩා මහත් පලත් මහත් අනුසසුත් ඇති අන් යඥයෙක් ඇත.”
(කුළුදත්:) “පින්වත් ‍ගෞතමයන් වහන්ස, මේ සොළොස් පිරිකරක් ඇති තුන්වැදැරුම් යාගසම්පතටත්...නිති දනටත් වඩා මඳ කටයුතු ඇති...වඩා මහත් අනුසස් ඇති ඒ යඥය කවරේ ද? ”
(භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ, යමෙක් වනාහි සතර දිගින් වඩනා භික්ෂුසංඝයා උදෙසා වෙහෙරක් කෙරේ නම්, ඒ මේ යඥය මෙහි පළමු කී ... තුන්වැදැරුම්යාග සම්පතටත්...නිති දනටත් වඩා මද කටයුතු ඇති, වඩා මද උත්සාහයෙකින් සිදු කට හැකි, එහෙත් වඩා මහත් පල හා අනුසස් හා ඇති යඥයෙකි.”
 
34.(කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස, මේ...ත්‍රිවිධ යඥසම්පතයත්...මේ විහාරදානයටත් වඩා මඳ කටයුතු ඇති...වඩා මහත් පල හා අනුසස් හා ඇති අන් යඥයෙක් ඇත් ද ?”
(භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ, මේ...ත්‍රිවිධ යඥසම්පතයත්...මේ විහාරදානයටත් වඩා මඳ කටයුතු ඇති... වඩා මහත්ඵල හා අනුසස් හා ඇති අන් යඥයෙක් ඇත.”
(කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස, මේ...ත්‍රිවිධ යඥසම්පතටත්...මේ විහාරදානයටත් වඩා මඳ කටයුතු ඇති... වඩා මහත් පල හා අනුසස් හා ඇති අන් යඥය කවරේ ද  ?”
(භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ, යමෙක් පහන් සිතැත්තේ බුදුන් සරණ හේ ද, දහම් සරණ යේ ද, සඟ සරණ යේ ද, බමුණ, ඒ මේ යඥය වූ කලී මේ පළමු කී...ත්‍රිවිධ යඥසම්පතටත්...විහාරදානයටත් වඩා මඳ කටයුතු ඇති...වඩා මහත් පල හා අනුසස් හා ඇති එකෙකි.”
 
35.(කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස, මේ ත්‍රිවිධ යඥසම්පතටත්...මේ සරණ ගමනයටත් වඩා මඳ කටයුතු ඇති...වඩා මහත් පල හා අනුසස් හා ඇති අන් යඥයෙක් ඇත්තේ ද?”
(භාග්‍යවතුන් වහන්සේ:) “මේ ත්‍රිවිධ යඥසම්පතටත්...මේ සරණගමනයටත් වඩා මඳ කටයුතු ඇති...වඩා මහත් පල හා අනුසස් හා ඇති අන් යඥයෙක් ඇත.”
(කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස, මේ...ත්‍රිවිධ යඥසම්පතටත්...මේ සරණ ගමනයටත් වඩා මඳ කටයුතු ඇති...වඩා මහත් පල හා අනුසස් හා ඇති ඒ අන් යඥය කවරේ ද?”
(භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ යමෙක් පහන් සිතැති වැ (තිසරණයෙහි පිහිටා) පණිවායෙන් වැළැක්ම, අයිනාදනින් වැළැක්ම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළැක්ම, මුසවායෙන් වැළැක්ම, මදට පමාවට කරුණු වූ රහමෙරින් වැළැක්ම යන මේ සික කොටස් සමාදන් කොට ගන්නේ නම්, බමුණ මෙය මේ පළමු කී ත්‍රිවිධ යඥසම්පතටත්...මේ සරණගමනයටත් වඩා මඳ කටයුතු ඇති, ...වඩා මහත් පල හා අනුසස් හා ඇති යඥයෙක.”
 
36.(කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස,  මේ ත්‍රිවිධ යඥසම්පතටත්...මේ සික කොටස් සමාදන් කොට ගැන්මටත් වඩා මද කටයුතු ඇති...වඩා මහත්පල හා අනුසස් හා ඇති අන් යඥයෙක් ඇත් ද ?”
(භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ, මේ...ත්‍රිවිධ යඥසම්පතටත්...මේ සිල් කොටස් සමාදන් කොට ගැන්මටත් වඩා මද කටයුතු ඇති...මහත්පල හා අනුසස් හා ඇති අන් යඥයෙක් ඇත.”
(කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස, මේ ත්‍රිවිධ යඥසම්පතටත්...මේ සිල් කොටස් සමාදන් කොට ගැන්මටත් වඩා මද කටයුත් ඇති...වඩා මහත්පල හා අනුසස් හා ඇති ඒ  අන් යඥය කවරේද ?”
 
37.(භාග්‍යවතුන් වහන්සේ) “බමුණ, අර්හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ විද්‍යාචරණසම්පන්න වූ, සුගත වූ, ලෝකවිත් වූ, නිරුත්තර පුරුෂදම්‍යසාරථි වූ, දෙව්මිනිසුන්හට ශාස්තෘ වූ, සිවුසස් අවබෝධ කළ, භාග්‍යවත් වූ, තථාගත තෙමේ මෙ ලොවැ උපදී. හේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත මේ ලොව, - මහණබමුණන් සහිත, දෙව්මිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාව - තෙමේ ම විශිෂ්ට නුවණින් දැනැ පසක් කොට (ලොවට) දන්වයි. හේ මුල යහපත් මැද යහපත් අග යහපත්, අරුත් සහිත, ව්‍යංජනයෙන් නොඅඩු, හැම අතින් ම පිරිපුන් දහම් දෙසයි. පිරිසිදු සසුන් බඹසර හෙළි කෙරෙයි.
 
38.ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ අන් එක්තරා කුලයෙකැ උපන්නෙක් හෝ ඒ දහම අසයි. හේ එ දහම අසා තථාගතයන් කෙරෙහි සැදැහැව ලබයි. හේ ඒ සැදැහැ ලැබීමෙන් යුත් වැ “ගිහි ගෙයි විසීම හිරිහැර සහිතය. ‍කෙලෙස් දූලි ගැවැසි මගෙක. පැවිද්ද වූ කලී (කිසි අවහිර නැති) එළි මහනෙක. ගිහි ගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට, මේ සංඛලිඛිතක බ්‍රහ්මචර්‍යය පුරන්නට පහසු නොවේ. එ බැවින් මම් කෙහෙ රවුලු බහා කාසාවත් හැඳ, ගිහි ගෙන් නික්ම පැවිද්දට වදනෙම් නම් යෙහෙකැ”යි මෙසේ නුවණින් සලකයි.
හේ පසු කලෙකැ මඳ වූ හෝ ධනසම්පත් හැරැ, බොහෝ වූ හෝ ධනසම්පත් හැරැ, මඳ වු හෝ නෑපිරිස හැරැ, මහත් වූ හෝ නෑ පිරිස හැරැ, කෙහෙ රවුලු බා, කසාවත් හැඳ, ගිහි ගෙන් පැවිදි බිමට වදී. හේ මෙසේ පැවිදි වූයේ ම, පාතිමොක්ඛසංවරයෙන් ඇවුරුණේ, ආචාරයෙන් හා ගෝචරයෙන් හා සම්පූර්‍ණ වූයේ, මඳ වූ ද වරදෙහි බිය දක්නා සුලු වූයේ, සිකකොටස්හි සමාදන් කොටැ ගෙන හික්මෙයි. නිවැරැදි වූ කාවිසිකමින් යුත් වෙයි. පිරිසිදු දිවෙල ඇත්තේ වෙයි. සිල්වත් වෙයි. ඉඳුරන්හි වැසූ දොරැත්තේ වෙයි. බොජුනෙහි පමණ දන්නේ වෙයි. සිහිනුවණින් යුත් වෙයි. ලද පමණින් සතුටු වෙයි.
 
39.බමුණ. කෙසේ නම් මහණ තෙමේ ශීලසම්පන්න වේ ද ? යත්: බමුණ, මෙහි  මහණ තෙමේ පණිවා හැරැ පණිවායෙන් වැළැක්කේ, ඉවතැ ලූ දඬු ඇත්තේ, ඉවත ලූ අවි ඇත්තේ, ලජ්ජා ඇත්තේ, මෙත් සිතින් යුත් වූයේ, සියලු සතුන් කෙරෙහි ඉත සිතැති වැ වෙසෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
අයිනාදන් හැරැ අයිනාදනින් වැළැක්කේ වෙයි. දුන් දැය ම ගන්නේ, දුන් දැය ම කැමැති වන්නේ, නොසොර වූ පිරිසිදු වූ සිතින් වෙසෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
නොබඹසර හැරැ බඹසර රක්නේ, නොබඹසරින් දුරැවැ වසනුයේ, ගැමිදහම් වූ මෙවුන්දමින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙකි.
මුසවා හැරැ මුසවායෙන් වැළැක්කේ,ඇත්ත කියන සුලු වූයේ, ඇත්තෙන් ඇත්ත ගළපනුයේ, තහවුරු කතා ඇත්තේ, හැදැහියැ යුතු බස් ඇත්තේ, ලොව නො රවටනුයේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
පෙහෙසුන් බස් හැරැ, පෙහෙසුන් බසින් වැළැක්කේ වෙයි. මොවුන් ඔවුන්ගෙන් බි‍‍‍‍ඳෙනු පිණිස මොබින් අසා ඔබ්බෙහි නො කියන්නේ වෙයි. ඔවුන් මොවුන්ගෙන් බි‍ඳෙනු පිණිස ඔබින් අසා මොබ්බෙහි කියන්නේ හෝ නො වෙයි. මෙසේ බිඳුණවුන් ගළපන්නේ ද ගැළැපුණවුනට අනුබල දෙන්නේ ද වෙයි. සමගියෙන් වසන්නවුන් කෙරෙහි වසන්නට කැමැත්තේ, සමගියෙන් වසන්නවුන් කෙරෙහි ඇලුණේ, සමගියෙන් වසන්නවුනට සතුටු වූයේ, සමගියේ ගුණ දක්වන වචන කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
පරොස් බස් හැරැ, පරොස් බසින් වැළැක්කේ වෙයි. යම් බසෙක් නිදොස් ද, කන්කලු ද, පෙම් උපදවා ද, සුවසේ ළෙහි වදනේ ද, සියුමැලි ද, බොහෝ දෙනාට ප්‍රිය ද, බෙහෝ දෙනාට මනාප ද, එ බඳු බස් තෙපලන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
බොල් දෙඩැවිලි හැරැ, බොල් දෙඩැවිල්ලෙන් වැළැක්කේ වෙයි. කල් දැනැ කියනුයේ, සබ වස් ම කියනුයේ, වැඩ ඇති බස් ම කියනුයේ, දහම් අසළ බස් ම කියනුයේ, විනය අසළ බසු ම කියනුයේ, සුදුසු කලැ කරුණු සහිත, සීමා සහිත, අරුත් සහිත, සිතැ ලා දැරියැ යුතු බස් කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
 
40.හේ පැල වන දෑ ද පැල වුණු දෑ ද සිඳුම ඈ විකොවුනෙන් වැළැක්කේ වෙයි.  රෑ බොජුනෙන් වැළැක්කේ, විකල් බොජුනෙන් වෙන් වූයේ, එක් බතක් ඇත්තේ වෙයි. නටනු ගනු වයනු විසුළුදස්නෙන් වැළැක්කේ වෙයි. සැරැසීමටත් උනු තැන් පිරැවුමටත් කරුණු වූ මල් ගඳ විලෙවුන් දැරුමෙන් වැළැක්කේ වෙයි. උසස්නෙන් මහ අස්නෙන් වැළැක්කේ වෙයි. රන් රිදී පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු ධාන්‍ය පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ගැහැණුන් දැරියන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. එළුවන් තිරෙළුවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ඇතුන් ගෙරින් අසුන් වෙළෙඹුන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කෙත් වත් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ගිහිනට දූත මෙහෙවර කිරීමෙන් ගෙන් ගෙට යන කුඩා මෙහෙවරින් යන දෙකෙන් ම වැළැක්කේ වෙයි. ගනුදෙනුයෙන් වැළැක්කේ වෙයි. උක්කොටන වංචන නිකති සාචියොගයෙන් වැළැක්කේ වෙයි. ඡෙදන වධ බන්ධන විපරාමොස ආලොප සහසාකාර යන මෙයින් වැළැක්කේ වෙයි. ඡෙදන වධ බන්ධන විපරාමොස ආලොප සහසාකාර යන මෙයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
                                    (සුළු සිල් නිමියේ ය.)
 
41.යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළදා, පැල වන මුල්, පැල වන කඳ, පැල වන පුරුක්, පැළ වන කොළිස්, පස් වනු පැල වන ඇට යන මෙබඳු පැල වන දැයත් පැල වුණු දැයත් සිඳුම් බිඳුම් ආදියෙහි යෙදී වෙසෙත් ද, මෙසේ මේ හෝ මෙබඳු වූ පැල වන දැය පැල වුණු දැය සිඳුම් බිඳුම් ඈ විකොපනයෙන් හේ වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
 
42.යම් සේ වනාහි ඇතැම් භවත් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළදා, අන්නසන්නිධි පාතසන්නිධි වස්ත්‍රසන්නිධි යානසන්නි ධි ශයනසන්නිධි ගන්ධසන්නිධි ආමිෂසන්නිධි යන මෙබඳු වූ සන්නිධිකාර පරිභොගයෙහි යෙදුණෝ වෙසෙත් ද, හේ මේ ආදි වූ හෝ අන් මෙබඳු වූ හෝ සන්නිධිකාර පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
 
43.යම්සේ වනාහි ඇතැම් භවත් මහනබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළදා, නැටුම් ගැයුම්, නට සමජ්ජා, ආඛ්‍යාන, පාණිස්වර, වෙතාල, කුම්භථූන, ශොභනක, සණදොවුන්කෙළි, උන ගස් ඔසොවා ගෙන කැරෙන ක්‍රීඩා, අස්ථිධාවන, ඇත්පොර, අස්පොර, මියුපොර, ගොන්පොර, එළුපොර, බැටෙළුපොර, කුකුළුපොර, වටුපොර, පොලුහරඹ, මිටුයුද, මල්ල පොර, යුද පවත්නා තැන් දක්නට යැම, බලසෙන් ගණිනා තැන් දක්නට යැම, බලසෙන් බෙදන තැනට යැම, බල ඇණි දක්නට යැම  යන විසුළු දසුන්හි යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ ආදි වූ හෝ මෙබඳු වූ විසුළු දස්නෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
 
44.යම් සේ වනාහි ඇතැම් භවත් මහණ බමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළදා අටපාකෙළිය, දසපාකෙළිය, අහස් දූකෙළිය, මඬුලු පැනුම්, සන්තිකාක්‍රීඩාව, දාදු කෙළිය, කල්ලි ගැසුම්, සලාඅත්කෙළිය, ගුළකෙළිය, කොළනලා පිඹීම, කෙළිනගුලින් හැම, කරනම් ගැසුම්, කන්නන්ගුරුවා කෙළිය, කොළනැලියෙන් වැලි ඇ මැනුම්, කෙළිරිය පැදැවීම, කුඩා දුන්නේන් විදීම, ඇකිරිකෙළිය, සිතූ දැ කීමේ ක්‍රීඩාව, විකලාංගානුකරණය යන මේ ආදී වූ හෝ මෙබඳු වූ, පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ ආදි හෝ මෙබඳු වූ දූකෙළියෙහි යෙදීමෙන් වැළැකියේ වෙයි.
මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
 
45.යම් සේ වනාහි ඇතැම් භවත් මහණ බමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළදා, දික්සඟලාපුටු ය, පලඟ ය, මහකොඳුපලස ය, වියම්නෙන් විසිතුරු කළ එළුලොම්මුවා ඇතිරිය, රන්කසුකම් කළ පසතුරුණය, කොසෙය්ය හුයින් වියු ඇතිරිය, අසු පිටැ එළන ඇතිරිය, රියැ එළන ඇතිරිය, ඇඳට සරිලන සේ අඳුන් දිවිසමින් මසා කළ ඇතිරිය, කෙහෙල්මුවසමින් කළ මහඟු පසතුරුණ, ඉස්දොරැ පාමුලැ රතු කොට්ට තබා ඇති රතු උඩු වියන් සහිත මහඟු යහන යන මේ ආදි වූ හෝ මෙබඳු වූ උස්යහන් මහයහන් පරිහරණය කැරුමෙහි යෙදී වෙසෙද්ද හෙ තෙමේ මේ ආදි වූ හෝ මෙ බඳු වූ උස් යහන් මහ යහන් පරිභොගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
 
46.යම් සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදහැයෙන් දුන් බොජුන් වළදා කුඩා දරුවන් කිරි සුවඳ හරනට සුවඳ සුණුයෙන් ඉළීම, මනා සටහන් ගන්වනුවට අත් පා ඈහි තෙල් ගා මැඩීම, සුවඳ දියෙන් නැවීම, මස් වැඩෙනුවට මුගුරින් තැළීම, කැඩපතින් මුහුණ බැලීම, සැරැසුම් විසින් අඳුන් ගෑම, මල් හා විලෙවුන් හා දැරීම, මුව සුණු හා මුවවිලෙවින් හා දැරීම, අත්බරණ දැරීම, හිසැ කුඩුම්බිය බැඳීම, විසිතුරු සැරයැටි දැරීම, විසිතුරු බෙහෙත් නළ දැරීම, කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නළල්පට බැඳීම, සිළුමිණි පැලැඳීම, විසිතුරු සෙමෙර වල්විදුනා දැරීම, දික් දාවලු ඇති සුදු රෙදි හැඳීම යන ආදි ඇඟ අඩු තැන් පිරැවීමටත් ඇඟ සැරැසීමටත් කරුණු වූ දෑ පරිභොග කැරුමෙහි යෙදී වෙසෙද්ද, හේ මහණ එබඳු දැය පරිභොග කිරීමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
 
47.යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, රාජකථා චොරකථා මහාමාත්‍රකථා සෙනාකථා භයකථා යුද්ධකථා ආහාරකථා පානකථා වස්ත්‍රකථා ශයනකථා ගන්ධකථා ඥාතිකථා යානකථා ග්‍රාමකථා නිගමකථා නගරකථා ජනපදකථා ස්ත්‍රීකථා පුරුෂකථා කුමාරකථා කුමාරිකථා ශූරකථා කුම්භස්ථානකථා පූර්‍වප්‍රේතකථා නානාත්වකථා ලොකාඛ්‍යායිකාකථා සමුද්‍රාඛ්‍යායිකාකථා ඉතිභවාභවකථා යන මේ හෝ මෙබඳු වූ තිරිසන් කතාවලැ යෙදී වෙසෙත් ද, ඒ මහණ මේ ආදි හෝ මෙයින් අන්‍ය වූ හෝ මෙබඳු කථාවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
 
48.යම්සේ වනාහි ඇතැම් භවත් මහණ බමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, “තෝ මේ දහම් විනය නො දනිහි. මම ම මේ දහම් විනය දනිමි. ‘කිමැ යි මේ දහම් විනය තෝ දනිහි ද ? තෝ වරදවා පිළිපන්නෙහි. මම් මැනැවින් පිළිපන්නෙම් වෙමි. මා බස කරුණු සහිත ය. තා බස කරුණු රහිත ය. තෝ පළමුයෙන් කියැ යුත්ත පසු වැ කීයෙහි ය. පසු වැ කියැ යුත්ත පළමුයෙන් කීයෙහි ය. තා කලක් ම පුහුණු කළ දැය මගේ එක් වචනයෙන් ම පෙරැළී ගියේ ය. මා විසින් තට දොස් නැගිණ. මා විසින් තෝ නිගැනුණෙහි‍. මා නැගූ දොසින් මිදෙන්නට හැසිරෙව. හැකි නම් එය විසඳව” යන ආදීන් මෙ බඳු වූ උනුන් බැණ දොඩා ගැනුම්හි යෙදී වෙසෙත් ද, එ මහණ තෙමේ මෙ කී හෝ අන් මෙබඳු වූ හෝ බැණ දොඩා ගැනුම්වලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වෙයි.
 
49.යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළදා, “මෙහි යන්නැ, අසෝ තැනට එන්නැ. මෙය ගෙන යන්නැ. අසෝ තැනට මෙය ගෙනෙන්නැ” යි කළ නියොග පිළිගෙන, රජුන්ගේ රජමහමැතියන්ගේ ක්ෂත්‍රියයන්ගේ බමුණන්ගේ ගැහැවියන්ගේ රජකුමරුවන්ගේ මෙබඳු දූත මෙහෙවරෙහි පණිවුඩ ගෙනැ යෑමෙහි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මෙකී හෝ අන් මෙ වැනි හෝ දූත මෙහෙවරින් පණිවුඩ ගෙනැ යෑමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
 
50.යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා කුහක කම් කරන්නෝ වෙත් ද, ලාභ සත්කාර පතා අනුන් සිත් ඇදෙන සේ වූ චාටු බස් දොඩන්නෝ වෙත් ද, සිවු පසය ලබනු සඳහා කයින් හෝ බසින් ඇඟැවීම් කරන්නෝ වෙත් ද, ලාභාපෙක්ෂායෙන් අනුනට ගරහන්නෝ වෙත් ද, ලාභයෙන් ලාභය සොයන්නෝ වෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ මෙබඳු වූ හෝ කුහනලපනවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
                 (මැදුම් සිල් නිමියේ ය.)
 
51.යම්සේ වනාහි සමහර මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා අංගශාස්ත්‍රය, නිමිත්ත ශාස්ත්‍රය, උත්පාතලක්ෂණය, ස්වප්නශාස්ත්‍රය, පුරුෂලක්ෂණශාස්ත්‍රය, මුෂකච්ඡින්නවිද්‍යාව, අග්නිහොමය, දර්විහොමය, තුෂහොමය, කණහොමය, තණ්ඩුලහොමය, සර්පිෂ්හොමය, තෛලහොමය, මුඛහොමය, ලොහිතහොමය, අංගවිද්‍යාව, වාස්තුවිද්‍යාව, ක්ෂාත්‍රවිද්‍යාව, ශිවවිද්‍යාව, භූතවිද්‍යාව, භූරිවිද්‍යාව, අභිවිද්‍යාව, විෂවිද්‍යාව, වෘශ්චිකවිද්‍යාව, මූෂකවිද්‍යාව, ශාකුනවිද්‍යාව, වායසවිද්‍යාව, පක්වධ්‍යානය, ශරපරිත්‍රාණය, මෘගපක්ෂය යන මෙකී හෝ මෙබඳු වූ හෝ තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මෙකී හෝ මෙබඳු තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වේ. මේ ද ඔහුගේ ශීලය වේ.
 
52.යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මිණිලකුණුය. දඬුලකුණුය, වත්ලකුණුය, කඩුලකුණුය, ඊලකුණුය, දුනුලකුණුය, අවිලකුණුය, ඉතිරිලකුණුය, පුරිස්ලකුණුය, කුමරලකුණුය, කුමරිලකුණුය, දස්ලකුණුය, දැසිලකුණුය, ඇත්ලකුණුය, අස්ලකුණුය, මියුලකුණුය, වහප්ලකුණුය, ගොන්ලකුණුය, එළුලකුණුය, බැටෙළුලකුණුය, කුකුළුලකුණුය, වටුලකුණුය, ගොය්ලකුණුය, කැණිලකුණුය, කසුබුලකුණුය, මුවලකුණුය යන ආදි මෙබඳු තිරශ්චීන විද්‍යායෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ මෙබඳු දැයින්  වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
 
53.යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ‘අසෝ දිනැ අසෝ නැකැතින් අසෝ රජුන් (යුද සඳහා) සිය නුවරින් නික්මීම වන්නේ ය, අසෝ නැකැතින් පෙරළා සිය නුවරට ඊම වන්නේ ය. අසෝ නැකැතින් රට තුළැ හුන් රජුන් පිටතැ සිටින සතුරු රජුන් හමු වන්නට යෑම වන්නේ ය. අසෝ නැකැතින් පිටතැ සිටින සතුරු රජුන් ඉවත් වැ යෑම වන්නේ ය. අසෝ නැකැතින් පිටතැ සිටින සතුරු රජුන් රට තුළැ සිටින රජුන් කරා පැමිණීම වන්නේ ය. අසෝ නැකැතින් ඇතුළතැ සිටින රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ‍ය...රට තුළැ රජුනට ජය වන්නේ ය. පිටතැ සිටින සතුරු රජුනට පරාජය වන්නේ ය. පිටතැ සිටින සතුරු රජුනට ජය වන්නේ ය. ඇතුළතැ සිටින රජුනට පරාජය වන්නේ යැ”යී මෙසේ ‘මොහුට ජය වන්නේ ය, මොහුට පරාජය වන්නේයැ’යී  කියමින් මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන්, මෙබඳු මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙබඳු වූ තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාආජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
 
54.යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැ‍හෙන් දුන් බොජුන් වළඳා, “අසෝ දිනැ චන්ද්‍රග්‍රහණය වන්නේ ය, අසෝ දිනැ සූර්යග්‍රහණය වන්නේ ය, අසෝ දිනැ නක්ෂත්‍රග්‍රහණය වන්නේ ය, අසෝ දිනැ සඳහිරුන් නිසි මඟින් යෑම වන්නේ ය, අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය, අසෝ දිනැ නකත්තරුන් සුමඟින් යෑම වන්නේ ය, අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය, අසෝ දිනැ උල්කාපතනය වන්නේ ය,...දිග්දාහය වන්නේ ය,...භූමිකම්පා වන්නේ ‍ය,... වැසි නැති වැ අහස් ගෙරැවුම් වන්නේ ය,...සඳහිරුන් නකත්තරුන් උදාව, බැසීම, කෙලෙසීම, පිරිසිදු බව වන්නේ ය, සූර්‍යග්‍රහණය ලොවට මෙබදු පල දෙන්නේ ය, චන්ද්‍රග්‍රහණය මෙබඳු පල දෙන්නේ ය, සඳුහිරුන් සුමඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ‍ය, ඔවුන් නොමඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ‍ය, උල්කාපතනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය, දිග්දාහය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය, භූමිකම්පනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය, වැසි නැති වැ අහස් ගෙරැවුම මෙබඳු පල ගෙන දෙන්නේ ය, සඳහිරුන්ගේ ද නකත්තරුන්ගේ ද උදාවත් බැසීමත් කෙලෙසීමත් පිරිසිදු වීමත් මෙබඳු මෙබඳු පල ගෙන දෙන්නේ යැ” යි කියනුවෝ, මෙබඳු තිරශ්චීන විද්‍යායෙන් මෙබඳු මිථ්‍යා ආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යා ආජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
 
55.යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළදා,“මෙ සමයෙහි වැසි වන්නේ ය, මෙ සමයෙහි නියං වන්නේ ය, මෙ සමයෙහි රට සුභික්ෂ වන්නේ ය. මෙ සමයෙහි රට දුර්භික්ෂ වන්නේ ය, මෙ සමයෙහි රටට උවදුරු නැති වන්නේ ය, මෙ සමයෙහි රටට උවදුරු ඇති වන්නේ ය, මෙ කලැ රොග වන්නේ ය, මෙ කලැ රොග නැති බව වන්නේ යැ යී පලාපල කීම ද, මුද්‍රාව (ඇඟිලි පුරුක්හි සංඛ්‍යා තබා ගිණීම) ද, ගණනාව (එක දෙක යන ආදීන් ගණන් කිරීම) ද, සංඛ්‍යානය (පිණ්ඩගණනාව) ද, කවි සතර ද, ලොකායත ශාස්ත්‍රය ද යන මේ හෝ අන් මෙබඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
 
56.යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, ආවාහ සඳහා නකත් කීම, විවාහ සඳහා නකත් කීම, වෙන් වූ අඹු සැමියන් එක් වන්නට නකත් කීම, දුන් ණය රැස් කිරීමට නකත් කීම, මුදල් ණයට පොලියට දීමට නකත් කීම, සෞභාග්‍යය ඇති වනුවට යන්ත්‍රාදිය කැරැ දීම, බිම් පාලු වන්නට හදි හූනියම් කිරීම, නැසෙන්නට යන දරු ගබ් රැකෙන්නට පිළියම් කිරීම, දිවගුළු බැදීම, මන්ත්‍රාදි බලයෙන් හනු තද කිරීම, අත් පෙරැළෙන්නට මතුරු දැපීම, කන් අගුළු වැටෙන්නට මතුරු දැපීම, කැඩපතැ දෙවතාවෙශය කොටැ ප්‍රශ්න ඇසීම, කුමරියක ලවා පේන කියැවීම, දෙව්දැස්සක ලවා පේන කියවීම, ජීවිකා පිණිස හිරු පිදීම, මහබඹු පිදීම, මතුරු දපා මුවින් ගිනි ජල් විහිදුවීම, මතුරු දපා සිරිකත කැඳැවීම යන මේ හෝ අන් මෙ බඳු වූ හෝ තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ ආදි වූ ද, අන් මෙබඳු වූ ද ඒ තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහු ගේ ශීලය වේ.
 
57.යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා ශාන්තිකර්ම, වාස්තුපරිකිරණ, මතුරු දපා අනුන් නෑවීම, සෙත්පතා ගිනි පිදීම, ගිහියනට වමන කැරැවීම, ළය විරේක කැරැවීම, වස්ති කිරීම, ශීර්‍ෂ විරෙචන බේත් දීම, කන් ලෙඩට තෙල් පිසැ දීම, ගිහිනට ඇසැ සිසිල ගන්වන බේත් තෙල් පිසීම, ගිහියනට නශ්‍ය දීම, ගිහියනට ඇස පටලයට කාරම් අඳුන් සාදා දීම, ඇසට සිසිල ගන්වන අඳුන් සාදා දීම, ගිහියන්ගේ ඇසැ උල්ඇන ලෙඩට බේත් දීම, ගිහියනට ශල්‍යකර්ම කිරීම, ළදරුවන්ගේ ලෙඩවලට පිළියම් කිරීම, මුල් බෙහෙත් දීම, කාරම් බෙහෙත් දීම, කාරම් බේත් බැඳ වණ සුව වූ පසු ඒවා ගලවා දැමීම යැ’යි මේ ආදි අන් හෝ මෙබඳු තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ ඒ සියල්ලෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
 
58.බමුණ, මහණ තෙමේ මෙසේ ශීලසම්පන්න වූයේ, ශීලසංවර හේතුයෙන් කිසි ම එක ද අසංවරතායෙකින් ඇති වියැ හැකි බියක් නො දකී. බමුණ, කැත් අබිසෙස්නෙන් මුදුනැ අබිසෙස් ලත්, වැනැසූ සතුරන් ඇති කැත් රජෙක් කිසි ම එක ද සතුරකුගෙන් වියැ හැකි මොන ම බියකුත් යම් සේ නො දක්නේ ද, බමුණ, එසේ ම මහණ තෙමේ මෙ පරිද්දෙන් ශීල සම්පන්න වූයේ, ශීලසංවර හෙතුයෙන් කිසි ම එක ද අසංවරයෙකින් ඉපදියැ හැකි බියක් නො දකී. හේ මේ ආර්‍ය ශීලසක්කන්ධයෙන් සමන්විත වූයේ, සිය සතන්හි නිදොස් වූ කායික චෛතසික සුව විඳී. බමුණ, මෙසේ වනාහි මහණ තෙමේ ශීල සම්පන්න වේ.
                                  (මහ සිල් නිමියේ ය.)
 
59.බමුණ, මහණ තෙමේ කෙසේ නම් ඉඳුරන්හි වැසූ දොරැත්තේ වේ ද? යත්: බමුණ, මෙ සස්නැ මහණ තෙමේ ඇසින් රුවක් දැක සුබ ඈ විසින් එහි ලකුණු නොගන්නේ වේ. සුබ ඈ විසින් අත් පා ඈ අවයවවල අයුරු සිතට නො ගන්නේ වේ. යම් කරුණෙකින් චක්ෂුරින්ද්‍රියය නොවසාගෙන වසන්නහුගේ සිත්සතනට විසම ලොබ දොම්නස් ඈ ලාමක අකුසල් දහම්හු පුන පුනා වෑස්සෙත් ද, එහි ඒ චක්ෂුරින්ද්‍රියයාගේ සංවරය පිණිස හේ පිළිපදී. එය රැක ගනී එහි සංවරයට පැමිණේ. කනින් හඬ අසා ...නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට...දිවෙන් රස ආස්වාද කොට...කයින් ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්ශ කොට...සිතින් දහම් අරමුණු දැන...සුබ ඈ විසින් එහි ලකුණු ගන්නේ නොවේ. යම් කරුණෙකින් ශ්‍රොත්‍රෙන්ද්‍රියය... ඝ්‍රාණන්ද්‍රියය... ජිහ්වෙන්ද්‍රියය... කායෙන්ද්‍රියය... මනඉන්ද්‍රියය සංවර කොට නොගෙන වසන්නහුගේ සිත්සතනට විසම ලොබ දොම්නස ආදි ලාමක අකුසල්දහම්හු පුන පුනා වෑස්සෙන්නෝ ද, ඒ ඉන්ද්‍රියයන්ගේ සංවරය පිණිස පිළිපදී. ශ්‍රොත්‍ර...ඝ්‍රාණ ජිහ්වා...කාය... මන ඉන්ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදී.... ඒ මනින්ද්‍රියය රැකැ ගනී. එහි සංවරයට පැමිණේ. හේ මේ ආර්‍ය වූ ඉන්ද්‍රියසංවරයෙන් සමන්විත වූයේ සිය සතන්හි කෙලෙසුන්ගෙන් තෙත් නොවීමෙන් වූ පිරිසිදු අධිචිත්තසුඛය විඳී. බමුණ, මෙසේ වනාහි මහණ තෙම ඉන්ද්‍රියයන්හි වැසූ දොරැතියේ වේ.
 
60.බමුණ, මහණ තෙම කෙසේ නම් සතිසම්පජඤඤයෙන් සමන්විත වේ ද ? යත්: බමුණ, මේ සස්නැ මහණ ඉදිරි ගමනෙහි, පෙරළා ඊමෙහි, අත්පා ඈ හැකිළීමෙහි, දික් කිරීමෙහි, නුවණින් දැන ම එය කරනුයේ වෙයි. සඟළ සිවුර ද පාත්‍රය ද සෙසු සිවුරු ද දැරීමෙහි නුවණින් දැන ම කරන්නේ වෙයි. අහර ගැන්මෙහි, පැන් පීමෙහි, පිටි කැවිලි ඈ කෑමෙහි, රස විඳීමෙහි, මල මූ පහ කිරීමෙහි, යැමෙහි, සිටුමෙහි, හිඳුමෙහි, පිබිදුමෙහි, බිණුමෙහි, නොබිණුමෙහි නුවණින් දැන කරනුයේ වෙයි. බමුණ, මෙසේ වනාහි මහණ තෙම සිහි නුවණින් සමන්විත වෙයි.
 
61.බමුණ, කෙසේ නම් මහණ තෙමේ ලද පමණෙහි සතුටු වේ ද ? බමුණ, මෙහි මහණ තෙමේ කය වසා රක්නට පමණ වූ සිවුරෙන් ද, කුස ගිනි නිවන්නට පමණ වූ අහරින් ද සතුටු වෙයි. හේ යන යන අතැ අටපිරිකර පමණක් ගෙන ම නික්මෙයි. බමුණ, යම් සේ පියා හඹන කුරුළු තෙමේ යන යන තැනට පියාපත් බර ඇති ව ම පියා හඹා ද, එසේ ම මහණ තෙමේ කය වසා රක්නට පමණ වූ සිවුරින් ද කුස ගිනි නිවන්නට පමණ වූ අහරින් ද සතුටු වෙයි. හේ තමා යන තැනට පාසිවුරු ඈ අටපිරිකර පමණක් ගෙන ම යෙයි. බමුණ, මෙසේ මහණ තෙමේ ලත් පසයෙහි සතුටු වේ.
62.බමුණ, ඒ මහණ මේ ආර්‍ය ශීලස්කන්ධයෙන් ද සමන්විත වූයේ, මේ ආර්‍ය ඉන්ද්‍රියසංවරයෙන් ද...මේ ආර්යස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් ද...මේ ආර්‍ය සන්තුෂ්ටියෙන් ද සමන්විත වූයේ, අරන් පවු කඳුරැලි ගිරිගුහා සොහොන් වනපෙත් එළිමහන් පිදුරුලෙන් යන මෙකී මිනිසුන්ගෙන් හිස් කිසි සෙනස්නක් බජයි. හේ පිඬු සෙවීමෙන් පෙරළා ආයේ පසුබතැ පලක් බැඳ උඩු කය කෙළින් තබා සිහිය කමටහනට යොමු කොට එළවා හිඳී.
 
63.හේ ලොවැ ඇල්ම හැර, පහ වූ අභිජ්ඣා‍යෙන් යුත් සිතින් වෙසෙයි. අභිජ්ඣාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ප්‍රද්වේෂය හැර, ව්‍යාපාද රහිත සිතැත්තේ හැම පණ ඇති සතුන් කෙරේ හිතානුකම්පා ඇති වැ වෙසෙයි. ක්‍රොධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය හැර, පහ වූ ස්ත්‍යානමිද්ධය ඇත්තේ, දව රැ දෙක්හි ම දුටු එළිය අඳුනනු හැකි පිරිසිදු සංඥාව ඇත්තේ සිහියෙනුත් යුතුව වෙසෙයි. මිද්ධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. උදහසත් කුකුසත් සිතින් දුරැ ලා, නො උදහස් ව, සංහුන් සිය සිත් සතන් ඇත්තේ, උසහස් කුකුස් දෙක කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. සැකය දුරැ ලා, පහ වූ සැක ඇත්තේ, කුසල් දහම්හි සැක නොකරනුයේ, සැකය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.
 
64.බමුණ, යම්සේ මිනිසෙක් පොලියට ණය මුදලක් ගෙන කර්‍මාන්ත කරන්නේ ද, ඔහු ගේ ඒ කර්‍මාන්ත සමෘද්ධ වන්නේ නම් හේ වූ තාක් හැම පරණ ණය ගෙවා අවසන් කරන්නේ ද, මත්තෙහි ඉතිරි වූ යමක් ඇතොත් එය අඹුදරුවන් රක්නා පිණිස වන්නේ ද, එසේ වූ ඔහුට “මම් පළමුවෙන් ණයට මුදල් ගෙන කර්‍මාන්ත කෙළෙමි. ඒ මාගේ කර්‍මාන්ත සමෘද්ධ විය. ඒ මම් වූ තාක් සියලු පරණ ණය ගෙවා අවසන් කෙළෙමි. අඹුදරුවන් රක්නා පිණිස ඉතිරි වූ මුදලෙක් ද මට ඇත්තේ යැ”යි මෙසේ සිතෙක් වන්නේය. හේ ඒ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
 
65.බමුණ, යම්සේ මිනිසෙක් රොගී වුයේ, දුකට පැමිණියේ, දැඩි ගිලන් වන්නේ ද, ඔහුට බතුත් නො රිසියෙන්නේ ද, ඔහුගේ ඇඟපත සවි පමණකුත් නො වන්නේ ද, හේ මෑත කලැ ඒ ලෙඩින් මිදෙන්නේ නම්, ඔහුට බතුත් රිසියේ නම්, ඔහු ඇඟ පත සවිය ද වන්නේ නම්, ඔහුට “මම් වූ කලි පෙරැ දුකට පත්, දැඩි ගිලන් ලෙඩෙක් වීමි. මට අහරත් නොරිසි වී ය. ඇඟපතත් සවිය නො වී ය. ඒ මම් දැන් ඒ ලෙඩින් මිදුණෙම් වෙමි. ඒ මට අහරත් රිසියෙයි. ඇඟපතැ සවියත් ඇත්තේ යැ”යී මෙසේ සිතක් වතොත්, හේ එ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
 
66.බමුණ, යම්සේ මිනිසෙක් හිරගෙහි බැඳුණේ වන්නේ ද, හේ පසු කලෙක ධනය නො විසදා පහසුයෙන් එයින් මිදෙන්නේ ද, එයින් ඔහුගේ කිසි භොග විනාශයෙක් නො වන්නේ ද, ඔහුට “මම් වූ කලි පෙරැ හිර ගෙහි බැඳුණෙම් වීමි. ඒ මම් දැන් ධන නො විසදා පහසුයෙන් එයින් මිදුණෙම් වෙමි. මාගේ භොගයනට කිසි විනාශයෙකුත් නැතැ’යි මෙසේ සිතෙක් වන්නේ ද, හේ එ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
67.බමුණ, තමා අයත් පැවැතුම් නැති, මෙරමා අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යන්නට අවසර නැති, දාස පුරුෂයෙක් යම්සේ වන්නේ ද, හේ පසු කලෙක තමා අයත් පැවතුම් ඇතියේ, මෙරමා අයත් පැවතුම් නැතියේ, නිදහස් වූයේ, කැමති අතෙකැ යෑ හැකි වූයේ, ඒ දාසභාවයෙන් මිදෙන්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලි පෙරැ තමා අයත් පැවැතුම් නැති, මෙරමා අයත් පැවතුම් ඇති, කැමැති අතෙක යෑ නොහැකි, දාසයෙකිම් වීමි. ඒ මම් දැන් ඒ දාස භාවයෙන් මිදුණෙම්, තමා අයත් පැවැතුම් ඇතියෙම්, මෙරමා අයත් පැවැතුම් නැතියෙම්, නිදහස් වූයෙම්, කැමැති අතෙක යෑ හැකියෙම් වෙමි”යි මෙසේ සිතෙක් වන්නේ ද, හේ එ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
 
68.බමුණ, යම්සේ ධනවත්  භොගසම්පත් ඇති පුරුෂයෙක් අහර හිඟ, උවදුරැති, දිය නැති දික් මඟකට බස්නේ ද, හේ පසු කලෙක සුව සේ ඒ නිරුදක පෙදෙස ඉක්මැ යන්නේ ද, උවදුරු නැති ගම්මානකට බස්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලි පෙරැ ධන ඇතියෙම්, භොගසම්පත් ඇතියෙම්, දිය නැති අහර හිඟ බිය ඇති දික් මගකට බටිමි. ඒ මම් දැන් සුවසේ ඒ කතර තිණූයෙමි. උවදුරු නැති බිය නැති ගමකට බටුයෙම් වෙමි’යි මෙසේ සිතෙක් වන්නේ ද, හේ එ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
 
69.බමුණ, එසේ ම මහණ තෙමේ ණයක් මෙන්, ලෙඩක් මෙන්, හිර ගෙයක් මෙන්, වහල් බවක් මෙන්, දිය නැති දික් මඟක් මෙන් (පිළිවෙළින්) මේ නොපහවූ නීවරණ පස තමා කෙරෙහි දකී. ණය නැති බව සේ, නො ලෙඩ බව සේ, හිරෙන් මිදුණු බව සේ, උවදුරු නැති සේ (පිළිවෙළින්) මේ පහ වූ නීවරණ පස (හෙවත් මේ නීවරණ පසේ දුරු වූ අවස්ථාව) තමා කෙරෙහි දකී.
 
70.මේ නීවරණ පස තමා කෙරෙහි පහ වූවා දක්නා ඔහුට සතුට උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිය සිතැ ඇත්තහුගේ නම්කය සංහි‍‍ඳේ. සංහුන් නම්කය ඇත්තේ සුව විඳී. සුවැත්තහු සිත අරමුණෙහි එකඟ වේ.
71.හේ කාමයන්ගෙන් වෙන් ව ම සෙසු අකුසල් දහමුන්ගෙන් ද වෙන් ව ම, විතර්‍ක සහිත, විචාරසහිත, විවෙකයෙන් (නීවරණ පහ වීමෙන්) ප්‍රීතියත් සුවයත් ඇති, පළමු දහන ලැබ වෙසෙයි. හේ මේ කරජ කය ම විවෙකයෙන් උපන් පීති සුවයෙන් තෙමයි, මුළුල්ල ම තෙමයි. පුරාලයි, මුළුල්ල ම ස්පර්‍ශ කෙරෙයි. සියලු අඟ පසඟ ඇති ඔහු මුළු කයෙහි (ඒ පීති සුවයෙන් පැතිර නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
 
72.බමුණ, යම්සේ දක්ෂ කිලි‍ඟෙක් හෝ කිලිඟකුගේ අතැවැස්සෙක් හෝ ලොහො තලියෙක නාන සුණු බහා දිය ඉස ඉස පිඬු කරන්නේ ද, ඒ නාන සුණු පිඩ කාවැදුණු දියැත්තේ, හැම තැන ම දියෙන් යුත් වූයේ, ඇතුළත පිටත සහිත ව මුළුල්ල ම දියෙන් පැතිරැ ගියේ, දියත් නො වගුරුවන්නේ වේ ද,
බමුණ, එසේ ම මහණ තෙමේ මේ කරජ කය ම විවේකයෙන් උපන් පීතිසුවයෙන් තෙමයි. මුළුල්ල ම තෙමයි, පුරා ලයි, මුළුල්ල ම ස්පර්‍ශ කෙරෙයි. ඔහුගේ සියලු අඟ පසඟ ඇති කයෙහි විවෙකජ ප්‍රීතිසුඛයෙන් පැතිරැ වැදැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි. බමුණ, මේ වූ කලි පළමු දැක්වුණු යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ  තැනින් සිදු කට හැකි, එහෙත් වඩා මහත් පල ඇති වූත් වඩා මහත් අනුසස් ඇති වූත් යඥයෙකි.
 
73.බමුණ, නැවැත ද (අනෙකක් කියම්.) මහණ තෙමේ විතර්‍ක විචාර දෙකේ සංහිඳීමෙන් සිය සතන්හි උපන්, සිය සතන් පහදවන, සිතැ එකඟ බව ඇති, විතර්‍කය නැති, විචාරය නැති, සමාධියෙන් උපන්, ප්‍රීතියත් සුවයත් ඇති දෙවෙනි දහනට පැමිණ වෙසෙයි. හේ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි, මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම පහසී. විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් පැතිරැ නොගත් ඔහු සියලු කයේ කිසි ද තැනෙක් නො වෙයි.
 
74.බමුණ, යම් සේ උල්පතින් මතුවන දිය ඇති විලෙක් වේ ද, එයට පෙර දිගින් දිය ඇතුළු වන මගක් නොවතත්, දකුණු දිගිනුත් දිය වදිනා මඟක් නොවතත්, පැසිම් දිගිනුත් දිය වදිනා මඟක් නොවතත්, උතුරු දිගිනුත් දිය වදිනා මඟක් නොවතත්, වැස්සත් කලින් කලැ සුදුසු පරිදි නො වසිතත්, එහෙත් ඒ විලෙන් සිහිල් දිය දහර මතු වී ඒ විල ම සිහිල් දියෙන් තෙමන්නේ ද, මුළුල්ල තෙමන්නේ ද, පුරාලන්නේ ද, හැම තැන ම වැද ගෙන සිටී ද, එයින් පැතිරැ වැද නොගත් තැනෙක් නො වන්නේ ද, එසේ ම, බමුණ, මහණ තෙමේ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීති සුවයෙන් තෙමයි. හැම තැන ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම පැතිරැ වැද ගනී. ඔහුගේ කයේ සමාධියෙන් උපන් පීති සුවය පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
     බමුණ, මේ වූ කලි පළමු දැක්වුණු යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැනින් සිදු කට හැකි, එහෙත් එ හැමට වඩා මහත් පල ද මහත් අනුහස් ද ඇති යඥයෙක.
 
75.තව ද බමුණ, මහණ තෙමේ ප්‍රීතිය සංහිඳීමෙන් උපෙක්ෂායෙන් යුතු ව, සිහියෙන් හා නුවණින් හා යුතු වැ වෙසෙයි. සුවය ද කයින් විඳී. අරී පුඟුලෝ යම් දහනක් හෙතු කොට ගෙන දහන් ලැබුවහු ඇරැබ ‘මෙ තෙමේ උපෙක්ෂාව ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුව විසුම් ඇත්තේ යැ’යි කියත් ද. හේ (එසේ වූ) ඒ තෙවෙනි දහන්  පැමිණ (ලැබ) වෙසෙයි. හේ මේ කය ම ප්‍රීති රහිත සුවයෙන් තෙමයි, මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම පැතිර වැද ගනී. ඔහුගේ කයෙහි ඒ ප්‍රීතිරහිත සුවයෙන් පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
 
76.බමුණ, යම් සේ උපුල් විලෙක හෝ පියුම් විලෙක හෝ ප‍ඬෙර විලෙක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ ප‍ඬෙර හෝ දියෙහි වැඩුණේ දියෙන් නොනැඟුණේ, දිය තුළැ ම ගිලී වැඩෙනුයේ ද, ඒ සියල්ල අග තෙක් ද මුල් තෙක් ද සිසිල් දියෙන් තෙමුණේ, මුළුල්ල ම තෙමුණේ පිරී ගියේ, හැම තැන ම පැතිරැ වැද ගත්තේ වේ ද, ඒ විලෙහි සියලු උපුල්වලැ හෝ පියුම්වලැ හෝ ප‍ඬෙරවලැ හෝ සිසිල් දිය පැතිරැ වැදැ නොගත් තැනෙක් නො වන්නේ ද, බමුණ, මහණ තෙමේ එසේ ම මේ කය ම නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරා ලයි, මුළුල්ල ම පැතිරැ වැදැ ගනී. ඔහුගේ සියලු කයෙහි ඒ නිෂ්ප්‍රීතික සුඛයෙන් පැතිරැ වැදැ නොගත් කිසි ද තැනෙක් නො වන්නේ ය.
බමුණ, මේ වනාහි පළමු දැක්වුණු යඥයනට වඩා මඳ කට‍යුතු ඇති, වඩා මඳ තැනින් සිදු කට හැකි, එහෙත් ඒ හැමට වඩා මහත් පල ද මහත් අනුසස් ද ඇති යඥයෙක.
 
77.තව ද බමුණ, මහණ තෙමේ සුව විඳුමත් දුරැලීමෙන්, දුක් විඳුමත් දුරැ ලීමෙන්, පළමු කොට ම සොම්නස් දොම්නස් දෙක දුරු වීමෙන්, නොදුක් ද නොසුව ද වූ, උපෙක්ෂා ස්මෘති දෙකේ පිරිසිදු බව ඇති, සිවුවන දහන  ලැබ වෙසෙයි. හේ මේ කය ම පිරිසිදු පබසර සිතින් පැතිරැ වැද ගෙන හුන්නේ වෙයි. ඔහුගේ සියලු කයෙහි පිරිසිදු පබසර සිතින් පැතිරැ වැදැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
 
78.යම්සේ, බමුණ, මිනිසෙක් හිස සහිත මුළු කය ම සුදු වතින් වසා ගෙන හුන්නේ වී නම්, ඔහුගේ ඒ මුළු කයෙහි සුදු වතින් වැදැ නොගත් (නොවැසුණු) කිසිදු තැනෙක් නො වන්නේ ද, බමුණ, එසේ ම මහණ තෙම මේ කය ම පිරිසිදු පබසර සිතින් පැතිරැ වැදැ ගෙන නොසිටි කිසි දු තැනෙක් නො වෙයි.
බමුණ, මේ වූ කලි පළමු කී යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැනින් සිදු කට හැකි, එහෙත් එ හැමට වඩා මහත් පල ද මහත් අනුහස් ද ඇති යඥයෙක.
 
79.(බමුණ) ඒ මහණ තෙමේ මෙසේ සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්ත වූ කල්හි, කිලිටි පහ වූ කල්හි, පහ වැ ගිය චිත්තොපක්ලේශ ඇති කල්හි, මොළොක් වූ කල්හි, විවසුන් වඩනුවට යුහු වැ සිටි කල්හි, නිසල බවට පැමිණි කල්හි, විවසුන් නුව ණ පිණිස (පිරියම්) සිත එයට යොමු කෙරෙයි, එයට නතු කෙරෙයි. (එසේ වූ) හේ ‘මා කය වූ කලි රූපවත් ය, සිවු මහාභූතයන්ගෙන් නිපන්නේ ය, මාපියන්ගේ ශුක්‍රශොනිතයෙන් උපන්නේ ය. බත් කොමු ඈ අහරින් වැඩුණේ ය. අනිසබව ද දුගඳ හරනුවට සුවඳ විලෙවුන් ඉළියැ යුතු බව ද, ලෙඩ දුරැ ලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද, එසේ කළත් බි‍ඳෙන බව ද, විසිරෙන බව ද යන මෙ කී දැය ස්වභාව කොට ඇත්තේ ය. මා සිත ද මේ කයෙහි ලැග්ගේ ය. මෙහි බැඳුණේ ය”යි මෙසේ දැනැ ගනී.
 
80.බමුණ, යම්සේ සොඳුරු පිරිසිදු ආකරයෙක පහළ වූ, අටැස් වූ, මොනොවට පිරියම් කළ, සියුම් වූ, වෙසෙසින් පහන් වූ, පිවිතුරු වූ, දෙවුම් විදුම් ඈ හැම අයුරින් යුත් වෙරළුමිණෙක් වන්නේ ද, එහි නිල්වන් හෝ රන්වන් හෝ රත්වන් හෝ සුදුවන් හෝ පඬුවන් හෝ හුයෙක් අවුනන ලද්දේ වන්නේ නම් ඇස් ඇති පුරුෂයෙක් එය අතෙහි කොට, “මේ වූ කලි සොඳුරු, පිරිසිදු ආරෙක උපන්, අටැස්, මෙනොවට පිරියම් කළ, සියුම්, වෙසෙසින් පහන්, පිවිතුරු, දෙවුම් විදුම් ඈ සියලු අයුරින් යුත් වෙරෙළු මිණෙක. මෙහි නිල්වන් හෝ රන්වන් හෝ රත්වන් හෝ සුදුවන් හෝ පඬුවන් හෝ මේ හුයෙක් අවුනන ලදුයේ වේ” ය යි සලකා බලන්නේ ද,
බමුණ, එසේ ම මහණ තෙමේ මෙසේ සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දිමුත් වූ කල්හි, කෙලෙස් යට පත් වූ කල්හි, උපක්ලේශ පහ වූ කල්හි, මොළොක් වූ කල්හි, (විවසුන් බවුනට) යුහු වැ සිටි කල්හි, නිසල බවට පැමිණි කල්හි, විවසුන් නුවණ පිණිස සිත යොමු කෙරෙයි. එයට නතු කෙරෙයි. (එසේ වූ) හෙ තෙම ‘මේ මා කය වූ කලි රූපවත් ය, සිවු මහාභූතයන්ගෙන් නිපන්නේ ය, මා පියන්ගේ ශුක්‍රශොනිතයෙන් උපන්නේය, බත් කොමු අහරින් වැඩුණේ ය, අනිසබව ද, දුගඳ හරනට සුවඳ විලෙවුන් ඉළිය යුතු බව ද, ලෙඩ දුරැ ලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද, එය කළත් බි‍ඳෙන බව ද, විසිරෙන බව ද යන මෙකී දෑ ස්වභාව කොටැත්තේ ය. මා සිත ද මේ කයෙහි ලැග්ගේ ය. මෙහි බැඳුණේ යැ’යි දැන ගනී.
බමුණ,මේ වූ කලි පළමු කී යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැනින් සිදු කට හැකි, (එහෙත්) වඩා මහත් පල හා අනුසස් හා ඇති යඥයෙක.
 
81.හේ මෙසේ සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දිමුත් වූ කල්හි, කෙලෙස් රහිත කල්හි, දුරු වූ උපක්ලේශ ඇති කල්හි, මොළොක් වූ කල්හි, ඉදුහු ඉපැදැවීමට යුහු වැ සිටි කල්හි, නිසල බව් පත් කල්හි, මන්මුවා (මනොමය) සිරිරක් මවා පානු පිණිස සිත යොමු කෙරෙයි, නතු කෙරෙයි. හේ (මෙසේ) මේ සිරිරින් රූමත්, හැම අඟ පසඟ ඇති, නොවිකළ ඉඳුරන් ඇති මන්මුවා සිරුරක් මවා පියයි.
බමුණ, යම්සේ පුරුෂයෙක් මුදුතණ ගසෙකින් මුදුකිලිල ඇද මෑත් කරන්නේ නම්, ඔහුට “මේ මුදුතණ ගස ය, මේ එහි මුදුකිලිල ය, තණ ගස එකෙක, එහි මුදු කිලිල අනෙකෙක, මුදු තණ ගසින් එහි කිලිල මෑත් කරනලදැ”යි මෙසේ සිතෙක් වන්නේ ද,
බමුණ, යම්සේ හෝ පුරුෂයෙක් කඩුවක් කොපුවෙන් ඇදැ මෑත් කරන්නේ නම්, ඔහුට “මේ කඩුව ‍ය, මේ කොපුව ය, කඩුව එකෙක, කොපුව අනෙකෙක, කොපුයෙන් ම කඩුව ඇද මෑත් කරන ලදැ”යි මෙසේ සිතෙක් වන්නේ ද,
    බමුණ, යම්සේ වනාහි පුරුෂයෙක් නයකු සැවෙන් (සිතින්) ඇද නඟා ගන්නේ ද, ඔහුට “මේ නයා ය, මේ සැව ය, නයා එකෙක, සැවය අනෙකෙක, සැවයෙන් ම නයා ඉදිරිණැ”යී මෙසේ සිතෙක් වන්නේ ද,
බමුණ, එසේ ම මහණ තෙමේ මේ උඩ කී පරිදි සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි දීප්ත වූ කල්හි, කෙලෙස් රහිත කල්හි, පහ වූ උපක්ලෙශ ඇති කල්හි, මොළොක් වූ කල්හි, ඉදුහු වඩනුවට යුහු වැ සිටි කල්හි, නිසල බව් පත් කල්හි මන්මුවා සිරුරක් මවා පානුවට සිත යොමු කෙරෙයි. නමා හරියි. (එසේ වූ) හේ මේ සිරිරින් රූපවත් වූ, සියලු අඟපසඟින් යුත්, නොවිකළ ඉඳුරන් ඇති, මන්මුවා අන් සිරුරක් මවා පියයි.
බමුණ, මේ වනාහි උඩ දැක්වුණු යඥයනට වඩා මද කටයුතු ඇති, වඩා මඳ තැනින් සිදු කට හැකි, (එහෙත්) එයට වඩා මහත් පල ද වඩා මහත් අනුසස් ද ඇති යඥයෙක.
 
82.හේ උඩ කී පරිදි සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දිමුත් වූ කල්හි, නිකෙලෙස් වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මොළොක් වූ කල්හි, (ඉදුහු වඩනුවට) යුහු වැ සිටි කල්හි, නිසල බව් පත් කල්හි, ඉදුවිද නුවණ පිණිස පිරියම් සිත මෙහෙයයි, නතු කෙ‍රෙයි. (එසේ) හේ නොයෙක් වැදෑරුම් ඉදු කොටස් පුන පුනා පසක් කෙරෙයි. පියෙවියෙන් එකෙක් වැ සිට ද ඉදුබෙලෙන් බොහෝ වැදෑරුම් වෙයි. බොහෝ වැදෑරුම් විත් යලි එ‍කෙක් ම වෙයි. තමාගේ පෙහෙළි බව කෙරෙයි, යලි නොපෙහෙළි බව කෙරෙයි. බිතුයෙන් පිටතට පවුරින් පිටතට පව්වෙන් පිටතට අහසෙහි මෙන් කිසිවෙකත් නොගැටෙනුයේ  විනිවිදැ ගෙන යෙයි. දියෙහි මෙන්  පොළොව්හි ද ගිලීම ස මතු වීම ද කෙරෙයි. නොබි‍ඳෙන දියෙහි පොළොව්හි සේ යෙයි. පියාපත් ඇති සකුනයකු සේ අහස්හි ද පලඟින් යෙයි. මේ සා මහත් ඉදු ඇති, මහත් තෙද ඇති මේ සඳ හිරු දෙදෙනා ද අල්ලයි. අත යවා ඔබ මොබ පිරිමදී. බඹලොව දක්වා ද (මුළු ලොව) කයින් විසී කෙරෙයි.
බමුණ, යම් සේ කුඹලෙක් හෝ කුඹලක්හු අතැවැස්සෙක් හෝ මොනොවට පිරියම් කළ මැටියෙන් යම් යම් බදුන් වෙසෙසක් තෙමේ කැමැත්තේ නම් එය එය ම කරන්නේ ද, මෙනොවට නිපදවන්නේ ද;
බමුණ, යම් සේ හෝ සමත් දත්වඩුවෙක් හෝ ඔහු අතැවැස්සෙක් හෝ මෙනොවට සකස් කළ දතෙක්හි යම් යම් විසිතුරු රූපාදියක් (දන්තවිකෘතියක්) කැමැත්තේ නම් එය එය ම කරන්නේ ද, මොනොවට නිපදවන්නේ ද;
බමුණ, යම්සේ හෝ සමත් රන්කරුවෙක් හෝ ඔහු අතැවැස්සෙක් හෝ මොනොවට සකස් කළ රනෙහි යම් යම් අබරණ ආදියක් (ස්වර්‍ණවිකෘතියක්) කැමැත්තේ නම් එය එය ම කරන්නේ ද, නිපදවන්නේ ද;
බමුණ, එ පරිද්දෙන් ම මෙසේ (උඩ කී පරිදි) සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, පබසර වූ කල්හි, නිකෙලෙස් වූ කල්හි, පහ වූ උපක්ලේශ ඇති කල්හි, මොළොක් වූ කල්හි, ඉදුහ වඩනුවට යුහු වූ කල්හි, ස්ථිත කල්හි, නිසලබව් පත් කල්හි ඉදුවිද නුවණ පිණිස සිත මෙහෙයයි, මොනොවට නතු කෙරෙයි. (එසේ වූ) හේ නොයෙක් වැදෑරුම් ඉදු කොටස් පුන පුනා විඳී (ලබයි, පසක් කෙරෙයි). පියෙවියෙන් එකක් වැ ම සිට  බොහෝ දෙනෙක් වෙයි. බෙහෝ දෙනක් වැ යලි එකෙක් ම වෙයි. තෙමේ පෙනී සිටී, නොපෙනී ද සිටී. බිතුයෙන් පිටතට පවුරින් පිටතට පව්වෙන් පිටතට විනිවිදැ කිසිවෙක නොලැගී අහසෙහි සෙයින් යෙයි. පොළොව්හි ද දියෙහි මෙන් ගිලීමත් මතු වීමත් කෙරෙයි. පොළොව මතු පිටැ සේ නොබි‍ඳෙන දියෙහි යෙයි. ඉගිලෙන පක්ෂියකු සේ පලඟින් අහසැ යෙයි. මේ සා මහත් ඉදුහ ඇති මේසා මහත් තෙද ඇති සඳ හිරුන් පවා අල්ලයි, පිරිමදියි. බඹලොව දක්වා ද කයින් තමා වසයෙහි පවත්වයි.
බමුණ, මේ වනාහි මෙයින් පළමු කී සියලු යඥයනට වඩා මඳ කටයුතු ඇති ද වඩා මඳ තැනින් සිදු කට හැකි ද වූ, එහෙත් ඒ හැමට වඩා මහ පල ද වඩා මහ අනුසස් ද ඇති යඥයෙක.
 
83.හේ මෙසේ සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, නිකෙලෙස් වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මොළොක් වූ කල්හි, (දිවකන් නුවණ වඩනුවට) යුහු වූ කල්හි, ස්ථිත කල්හි, නිසල බව් පත් කල්හි, දිවකන් නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. (එසේ වූ) හේ පිරිසිදු වූ මිනිසුන්ගේ ඇසුම් ඉම ඉක්මැ සිටි දිව කනින් දෙවියන් අයත් වූ ද මිනිසුන් අයත් වූ ද දුරැ වූ ද ළඟැ වූ ද යන දෙවැදැරුම් හැම හඬ ම අසයි.
 
84.බමුණ, යම්සේ මිනිසෙක් දික් මඟකට පිළිපන්නේ නම්, හේ බෙර හඬත් මිහිඟු බෙර හඬත් සක් පණා ගැටබෙර හඬත් අසන්නේ නම්, එය අසන ඔහුට ‘මේ බෙර හඬැ’යිත් ‘මේ මිහිඟු බෙර හඬැ’ යි ත් මේ සක් පණා ගැටබෙර හඬැ’යිත් මෙසේ සිතෙක් වන්නේ නම්, බමුණ, එ පරිද්දෙන් ම මහණ තෙමේ මෙ ලෙස සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, නිකෙලෙස් වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මොළොක් වු කල්හි, කර්‍මක්ෂම වැ සිටි කල්හි, නිසල බව පත් කල්හි, දිවකන් නුවණ පිණිස සිත ‍යොමු කෙරෙයි. හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ දැකුම් ඉම ඉක්මැ වූ දිවකන් නුවණින් දිව්‍ය වූත් මානුෂ වූත් දුරැ වුත් ළඟැ වූත් දැයි මෙසේ දෙවැදැරුම් වූ සියලු හඬ අසයි.
බමුණ, මෙය පළමු දැක්වුණු යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැනෙකින් සිදු කට හැකි, ඒ හැමට වඩා මහත් පල ද ඇති මහත් අනුසස් ද ඇති යාගයෙකි.
 
85.හේ මෙසේ සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, නිකෙලෙස් වූ කල්හි, උපක්ලේශ පහ වූ කල්හි, මොළොක් වු කල්හි, කර්‍මක්ෂම කල්හි, ස්ථිත කල්හි, නිසල බව් පත් කල්හි, පර සිත් දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි. නැඹුරු කෙරෙයි. (එසේ වූ) හේ අන් සතුන්ගේ අන් පුගුලන්ගේ සිත සිය සිතින් පිරිසිඳැ දනියි. සරාග සිත සරාග සිතැ යි දනි. රාගරහිත සිත රාගරහිත සිතැ යි ද දනියි. සද්වේෂ සිත සද්වේෂ සිතැ යි ද දනී. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතැ යි ද දනියි. සමොහ සිත සමොහ සිතැ යි දනී. මොහරහිත සිත මොහරහිත සිතැ යි ද දනියි. හැකිළුණු සිත හැකිළුණු සිතැ යි ද දනියි. විසිරුණු සිත විසිරුණු සිතැ යි ද දනියි. මහද්ගත සිත මහද්ගත සිතැ යි ද දනියි. අමහද්ගත සිත අමහද්ගත සිතැ යි ද දනියි. සොත්තර සිත සොත්තර සිතැ යි ද දනියි. නිරුත්තර සිත නිරුත්තර සිතැ යි ද දනියි. එකඟ සිත එකඟ සිතැ යි ද දනී. නොඑකඟ සිත නොඑකඟ සිතැ යි ද දනියි. මිදුණු සිත මිදුණු සිතැ යි ද දනී. නොමිදුණු සිත නොමිදුණු සිතැ යි ද දනියි.
86.බමුණ, ළදරු වේවයි තරුණ වේවයි සැරැසෙන සුලු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ පිරිසිදු පිවිතුරු කැඩපතෙක හෝ පහන් දියැති බඳුනෙක හෝ සිය මුව සටහන පිරික්සා බලන්නේ තලකැලැල් ඈ දොස් ඇති තැන් දොස් ඇති තැනැ යි දන්නේ ද, ඒ දොස් නැති තැන් දොස් නැති තැනැ යි දන්නේ ද ,
      බමුණ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ (උඩ කී පරිදි) සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, නිකෙලෙස් වු කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මොළොක් වූ කල්හි, කර්‍මක්ෂම කල්හි, ස්ථිත කල්හි, නිසලබව් පත් කල්හි, පරසිත් දන්නා නුවණ පිණිස සිත මොනොවට යොමු කෙරෙයි, මෙනොවට නතු කෙරෙයි.
හේ අන් සතුන්ගේ අන් පුගුලන්ගේ සිත සිය සිතින් පිරිසිඳැ දනී:  සරාග සිත සරාග සිතැ යි දනී. වීතරාග සිත වීතරාග සිතැ යි ද දනී. සද්වේෂ සිත සද්වේෂ සිතැ යි ද ... වීතද්වේෂ  සිත වීතද්වේෂ  සිතැ යි ද ... සමොහ සිත සමොහ සිතැ යි ... වීතමොහ සිත වීතමොහ සිතැ යි ද ... සංක්ෂිප්ත සිත  සංක්ෂිප්ත සිතැ යි ද ... වික්ෂිප්ත සිත විසක්ෂිප්ත සිතැ යි ද ... මහද්ගත සිතැ මහද්ගත සිතැ යි ද ... අමහද්ගත සිත අමහද්ගත සිතැ යි ද ... සොත්තර සිත සොත්තර සිතැ යි ද ... නිරුත්තර සිත නිරුත්තර සිතැ යි ද ... සමාහිත සිත සමාහිත සිතැ යි ද ..., අසමාහිත සිත අසමාහිත සිතැ යි ද ..., විමුක්ත සිත විමුක්ත සිතැ යි ද ..., අවිමුක්ත සිත අවිමුක්ත සිතැ යි ද  දනී.
බමුණ, මේ වනාහි පළමු කී යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැනෙකින් සිදු කට හැකි ඒ හැමට වඩා මහත් පල ද ඇති, වඩා මහත් අනුසස් ද ඇති යාගයෙක.
 
87.හේ මෙසේ සිත එකඟ වු කල පිරිසිදු වැ දිප්ත වැ නිකෙලෙස් වැ, උපක්ලේශ පහ වැ මෘදු වැ කර්‍මක්ෂම වැ නිසලබව් පත් වැ තහවුරු වැ සිටි කලැ පෙරැ වුසු කඳ පිළිවෙළ දක්නා නුවණ පිණිස සිත මොනොවට යොමු කෙරෙයි, මොනොවට නතු කෙරෙයි. (එසේ වූ) හේ “අසෝ තැනැ මෙ නම් ඇතියෙම් වීමි, මෙ ගොත් ඇතියෙම් වීම්, මෙබඳු පැහැසටහන් ඇතියෙම් වීමි, මෙබඳු අහරැතියෙම් වීමි, මෙබඳු සුව දුක් විදිනුයෙම් විම්, මෙබඳු ආයු කෙළවර ඇතියෙම් වීමි, ඒ මම් එයින් සැවැ අසෝ තැනැ උපනිමි. එහි දු මෙ නම් ඇතියෙම් වීමි. මෙ ගොත් ඇතියෙම් වීමි. මෙබඳු පැහැ සටහන් ඇතියෙම් වීමි, මෙබඳු අහරැතියෙම් වීමි, මෙ බඳු සුව දුක් විඳිනුයෙම් වීමි. මෙබඳු ආයු සීමා ඇතියෙම් වීමි. ඒ මම් එයින් සැවැ මෙහි උපනිමි” යි මෙසේ එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පසක් ද ජාති දසයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතළිහක් ද ජාති පනසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති සුවහසක් ද, බොහෝ සංවර්‍ත කල්ප ද බොහෝ විවර්‍ත කල්ප ද බොහෝ සංවර්‍ත විවර්‍ත කල්ප ද මෙසේ නෙයෙක් වැදැරුම් කඳපිළිවෙළ සිහි කෙරෙයි. මෙසේ පැහැ සටහන් ඈ විසින් අයුරු සහිත, නම් ගොත් විසින් උදෙසුම් සහිත බොහෝ වැදැරුම් පෙර වුසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි‍.
 
88.බමුණ, යම්සේ පුරුෂයෙක් සිය ගමින් අන් ගමකට යන්නේ ද, එ ගමිනුත් අන් ගමකට යන්නේ ද, යලි ඒ ගමින් සිය ගමට පෙරළා එන්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලි සිය ගමින් අසෝ ගමට ගියෙමි, එහි මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඬ වීමි. එ ගමිනුත් අසෝ ගමට ගියෙමි, එහි දු මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඬ වීමි, ඒ මම් එ ගමින් සිය ගමට ම පෙරළා ආයෙම් වෙමි” යි ඔහුට මෙබඳු සිතෙක් වන්නේ ද,
බමුණ, එ පරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සිත සමාහිත වැ පිරිසිදු වැ දීප්ත වැ නිකෙලෙස් වැ උපක්ලේශ පහ වැ මොළොක් වැ කර්‍මක්ෂම වැ නිසල බව් පත් වැ තහවුරු වැ සිටි කල්හි පෙරැ වුසු කඳපිළිවෙළ සිහි කරන නුවණ පිණිස සිත මොනොවට යොමු කෙරෙයි. මොනොවට නතු කෙරෙයි. හේ “අසෝ තැනැ මෙ බඳු නම් ඇතියෙම් වීමි, මෙ බඳු ගොත් ඇතියෙම් වීමි. මෙ බඳු පැහැ සටහන් ඇතියෙම් වීමි, මෙ බඳු අහර ඇතියෙම් වීමි, මෙ බඳු සුව දුක් විඳුනෙම් වීමි, මෙ බඳු ආයු සීමා ඇතියෙම් වීමි. ඒ මම් එයින් සැවැ අසෝ තැනැ උපනිමි, එහි ද මෙබඳු නම් ඇතියෙම් වීමි, මෙබඳු ගොත් ඇතියෙම් වීමි, මෙබඳු  පැහැ සටහන් ඇතියෙම් වීමි, මෙ බඳු අහර ඇතියෙම් වීමි, මෙ බඳු සුවදුක් විඳුනෙම් වීමි. මෙතෙක් ආයු සීමා ඇතියෙම් වීමි. ඒ මම් එයින් සැවැ මෙහි උපනිමි”යී මෙසේ එක් දැයක් ද දෙ දැයක් ද තෙ දැයක් ද සිවු දැයක් ද පස් දැයක් ද දස දැයක් ද විසි දැයක් ද තිස් දැයක් ද සාළිස් දැයක් ද පනස් දැයක් ද සිය දැයක් ද දහස් දැයක් ද සුවහස් දැයක් ද බොහෝ පිරිහෙන කප් ද ‍බොහෝ වැඩෙන කප් ද බොහෝ පිරිහෙන වැඩෙන කප් දැ යී මෙසේ නොයෙක් වැදෑරුම් පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මෙ පරිද්දෙන් අයුරු සහිත උදෙසුම් සහිත පෙරැ වුසූ නොයෙක් වැදෑරුම් කඳපිළිවෙළ සිහි කෙරෙයි.
බමුණ, මේ පළමු දැක්වුණු යඥයනට වඩා මඳ ක‍ටයුතු ඇති වඩා මඳ තැනින් සිදු කට හැකි, වඩා මහත් පල ද වඩා මහත් අනුහස් ද ඇති යඥයෙක.
 
89.ඒ මහණ මෙසේ සිත සමාහිත වැ පිරිසිදු වැ දීප්ත වැ කෙලෙස් නැති වැ උපක්ලේශ පහ වැ මෘදු වැ කර්‍මක්ෂම වැ නිසල බව් පත් වැ තහවුරු වැ සිටි කල්හි සත්ත්වයන්ගේ ච්‍යුති උප්පත්ති දක්නා නුවණ පිණිස සිත මොනොවට යොමු කෙරෙයි, මොනොවට නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ දැකුම් ඉම ඉක්මැ දැක්කැ හැකි දිවැසින්, ‘අහෝ මේ භවත් සත්ත්වයෝ කායදුශ්චරිතයෙන් සමන්විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්විතයහ, මනොදුශ්චරිතයෙන් සමන්විතයහ, ආර්‍යොපවාද කළෝ  ය. මිසදිට් ගතුවහ, මිසදිට් විසින් ගත් මිථ්‍යාව්‍රත ඇතියහ. ඔහු කා බුන් මරණින් මතු සුවින් තොර, නපුරු කමින් උපන් ගති වූ (කර්‍මයට තමන් යටත් බැවින්) තමනට අවශ්‍ය වැ වැටෙන තැන් වූ නිරයට වන්නෝ ය. මේ භවත් සත්ත්වයෝ වූ කලි කායසුචරිතයෙන් වාක්සුචරිතයෙන් මනස්සුචරිතයෙන් සමන්විතයහ. ආර්‍යයනට උපවාද නො කොළෝ ය. සම්දිටු ගතුවහ. සම්දිට් විසින් ගත් සිල් ඈ ඇතියහ. ඔහු කාබුන් මරණින් මතු හොබනා ගති ඇති සග ලොව් වන්නෝ යැ”යී මරණාසන්න වූ ද එ කෙ‍ණෙහි පිළිසඳ ගතුවන් වූ ද හීන වූ ද උසස් වූ ද මනා පැහැසටහන් ඇති වූ ද නොමනා පැහැසටහන් ඇති වූ ද සුගතියට පැමිණි ද දුගතියට පැමිණි ද කම් වූ පරිදි ඒ ඒ භවයට ගිය සතුන් දකී. මෙසේ හේ පිරිසිදු වූ, මිනිස් විසා ඉක්මැ සිටි දිවැසින් පහත් උසස් සුවන් දුවන් සුගී දුගී සතුන් දකී. කම් වු පරිදි ඒ ඒ බව කරා එළඹැ  සිටි සතුන් දකී.
 
90.බමුණ, යම්සේ සිවුමං හන්දියෙකැ මහල් ඇති ගෙයෙක් වන්නේ ද. එහි උඩු මහලෙහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ, ගෙ වදිනාවුනුත් ගෙන් නික්මෙනවුනුත් වීථියෙහි ඈත මෑත යන එනවුනුත් සිවුමංහන්දිය මැදැ හුන්නවුනුත් දක්නේ ද, ඒ දක්නා ඔහුට “මේ මිනිස්සු ගෙ වදිත්, මොහු ගෙන් නික්මෙත්. මොහු වෙයෙහි ඈත මෑතයෙත්. මොහු සිවුමංහන්දිය මැදැ හුන්නාහැ’යි මෙසේ සිතෙක් වන්නේ ද,
බමුණ, එසේ ම මහණ තෙමේ සිත මෙ පරිද්දෙන් එකඟ වැ පිරිසිදු වැ දිමුත් වැ නිකෙලෙස් වැ උපක්ලේශ නැති වැ මොළොක් වැ කර්‍මක්ෂම වැ නිසල බව් පත් වැ තහවුරු වැ සිටි කල්හි, සතුන් ගේ මැරුම් දිනුම් දක්නා නුවණ ලබනුවට සිත මොනොවට යොමු කෙරෙයි, මොනොවට නැඹුරු කෙරෙයි. හේ මිනිස් විසා ඉක්මැවූ පිරිසිදු දිවැසින් ‘අහෝ මේ භවත් සත්ත්වයෝ කාදුසිරියෙන් විසීදුසිරියෙන් මන්දුසිරියෙන් යුතුහ. අරීපුඟුලනට දොස් නැඟුහ. මිසදිට් ගතුවහ. මිසදිට් විසින් ගත් සදොස් වත් ඇතියහ. ඒ මොහු කාබුන් මරණින් මතු සුවෙන් පහ වූ නපුරු කමින් උපන් තමනට තමන් අවශග වැ වැටෙන තැන් වූ නිරා වන්නහ. -
එහෙත් මේ භවත් සත්ත්වයෝ වූ කලි කාසුසිරියෙන් විසීසුසිරියෙන් මන්සුසිරියෙන් යුතුවහ, අරීනට දොස් නොනැඟුවහ, සම්දිටුහ, සම්දිටු විසින් ගත් සිල් ඈ ඇතියහ. මොහු කා බුන් මරණින් මතු මනා ගති ඇති සග ලොව් වන්නහැ’යි මෙසේ මැරෙනු ළං වූ ද , පිළිසඳ ගත් කෙණෙහි වූ ද, පහත් වූ ද, උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වූ ද, සුගති පැමිණි ද, දුගති පැමිණි ද, කම් වූ පරිදි ඒ ඒ භවයට ගිය සතුන් දකී. මෙසේ පිරිසිදු වූ මිනිස් විසා ඉක්මැ පැවැති දිවැසින් උස් පහත් මනා පැහැති නොමනා පැහැති සුගී දුගී සතුන් දකී. කම් වු පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සතුන් දකී.
බමුණ, මේ වූ කලි පළමු දැක්වුණු යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැනින් සිදු කට හැකි, එහෙත් වඩා මහත් පල ද ඇති වඩා අනුහස් ද ඇති යඥයෙක.
 
91.හේ මෙසේ සිත එකඟ වැ පිරිසිදු වැ දිමුත් වැ නිකෙලෙස් වැ උපක්ලේශ පහ වැ මොළොක් වැ කර්‍මක්ෂම වැ නිසලබව් පත් වැ තහවුරු වැ සිටි කල්හි, ආස්‍රවයන්ගේ වැනැස්ම පිණිස සිත මොනොවට යොමු කෙරෙයි, මොනොවට නතු කෙරෙයි. එසේ වූ හෙ තෙමේ ‘මේ දුකැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක් උපදනා කරුණු යැ’යී ඇති සැටියෙන් දනී. මේ (දුක් වැනැස්මට අරමුණු වන) නිවනැ’යි ඇති සැටියෙන් දනී. මේ දුක් වැනැස්මට පමුණුවන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දනී. මොහු ආස්‍රවහ යී ඇති සැටියෙන් දනී, මේ ආස්‍රව ඉපැත්මට කරුණු යැ යි ඇති සැටියෙන් දනී. මේ ආස්‍රවනිරොධයට අරමුණු වන නිවනැ යි ඇති සැටියෙන් දනී. මේ ආස්‍රවනිරොධයට පමුණුවන පිළිවෙතැ යි ඇති සැටියෙන් දනියි. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහු ගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ, භවාස්‍රවය කෙරෙන් ද මිදේ, අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ. එසේ මිදුණු කල්හි ‘මා සිත ආස්‍රව කෙරෙන් මිදිණැ’යී පස්විකුම් නුවණ වේ. බව උපත නැවැතිණ. මඟ බඹසර වැසැ නිමැවිණ. සිවු සස්හි සිවු මඟින් කළ යුතු සොළොස් වැදෑරුම් කිස කොටැ නිමැවිණ. මේ කොලස් නසනු පිණිස තවත් කළ යුතු දැයෙක් නැතැ’යි හේ දනී.
 
92.බමුණ, යම්සේ කඳු මුදුනෙක වූ, පහන්, වෙසෙසින් පහන්, නොබොර විලෙක් වන්නේ නම්, එහි ඉවුරැ ඇස් ඇති මිනිසෙක් සිටියේ, එය තුළැ හැසිරෙන ද සිටුනා ද සිප්පිබෙල්ලනුත් සක් බෙල්ලනුත් කැට කැබලිතිත් මස්කැලත් දක්නේ ද, (එසේ දක්නා) ඔහුට මේ විල පහන් ය, වෙසෙසින් පහන් ය, නොබොර ය. මෙහි “මේ සිප්පිහුත් සක්බෙල්ලෝත් කැටකැබැලිතිත් මස් කැලත් හැසිරෙන්නෝත් සිටින්නෝත් වෙති”යී මෙසේ සිතෙක් වන්නේ ද,
බමුණ, එසේ ම මහණ තෙමේ මෙසේ සිත එකඟ වැ පිරිසිදු වැ දිමුත් වැ නිකෙලෙස් වැ උපක්ලේශ පහ වැ මොළොක් වැ කර්‍මක්ෂම වැ නිසලබව් පත් වැ තහවුරු වැ සිටි කල්හි ආස්‍රවක්ෂයඥානය පිණිස සිත මෙනොවට යොමු කෙරෙයි, මෙනොවට නැඹුරු කෙරෙයි. හේ ‘මේ දුකැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ දුකට කරුණැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක් වැනැස්මැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක්වැනැස්මට පමුණුවන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවහ’ යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවසමුදය යැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරොධය යැ’යී ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරොධගාමිනී පිළිවෙතැ’යී ඇති සැටියෙන් දනී.
මෙසේ දන්නා මෙසේ දක්නා ඔහු සිත කාමාස්‍රවයෙන් ද මිදෙයි. භවාස්‍රවයෙන් ද මිදෙයි. අවිද්‍යාස්‍රවයෙන් ද මිදෙයි. මිදුණු කල්හි ‘මිදුණේ ය’යී දැනීම වේ. “භවෝත්පත්තිය ක්ෂීණ විය. මගබඹසර වැස නිමැවිණ. සිවුමඟින් කළ යුතු සොළොස් කිස කොටැ නිමැවිණ. මේ බව් පිණිස කළ යුතු තව කිසිත් නැතැ”යී හේ දනී.
“බමුණ, මේ පළමු දැකුවුණු(සියලු)යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැනින් සිදු කට හැකි, (එහෙත්) වඩා මහත් පල ද ඇති, වඩා මහත් අනුසස් ද ඇති යඥය ය. බමුණ, මේ යාග සම්පතට වඩා මනොඥවූ උතුම් වූ අන් යාගසම්පතෙක් නැත.”
 
93.භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කල්හි කුළුදත් බමුණු තෙමේ, “වහන්ස, දෙසුම මනා ම ය. වහන්ස, දෙසුම මනා ම ය. වහන්ස, යම්සේ යැටිකුරු කොට තැබුණූ බඳුනක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, වැසුණු යමක් වැසුම් හැර දක්වන්නේ හෝ වේ ද, මං මුළාවූවකුට මඟ කියන්නේ හෝ වේ ද, ‘ඇස් ඇතියත් රූප දකිතැ’යි අඳුරෙහි තෙල් පහනක් දල්වන්නේ හෝ වේ ද, වහන්ස, එසේ ම භාග්‍යවතුන් වහන්සේ විසින් මට නොයෙක් අයුරින් දහම පැවැසිණ, වහන්ස, ඒ මම් භාග්‍යවත් ගෞතමයන් වහන්සේ ද දහම ද බික් සඟන ද සරණ යෙමි. වහන්ස, අද පටන් දිව්හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවද් ගෞතමයන් වහන්සේ මා දැන වදාරණ සේක් වා. භවද් ගෞතමයන් වහන්ස, ඒ මම් සත්සියක් ගොනුන් ද සත්සියක් තරුණ නාඹු වස්සන් ද සත්සියක් නාඹු වැස්සියන් ද සත් සියක් එළුවන් ද සත්සියක් තරුණ බැටළුවන් ද මුදා ලමි. ඔවුනට දිවි දෙමි. නිල්තණ බුදිත්ව යි ද, සිහිල් පැන් බොත්ව යි ද, ඔවුනට සිහිල් පවන ද හමත්ව’යි කියායි.
 
94.ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කුළුදත් බමුණුහට දානකථා, ශීලකථා, ස්වර්‍ගකථා, කාමාදීනව, කාමයන්ගේ ලාමකබව, කාමයන්ගේ කෙලෙසීම, නෙක්ඛම්මයෙහි අනුසස් පැවසූ සේක. භාග්‍යවකුන් වහන්සේ යම් විටෙක කුළුදත් බමුණහු (ඒ දහම් ඇසීමෙන්) නීරොග සිතැති වූවහු, මොළොක් සිතැති වූවහු, නීවරණයන්ගෙන් පහ වූ සිතැත්තහු, ඔදවැඩීගිය පහන් සිතැත්තහු දත් සේක් ද, එකල්හි දුක්ඛ සමුදය නිරොධ මාර්‍ග යන බුදුවරුන්ගේ යම් සාමුත්කර්ෂකී ධර්‍මදේශනාවක් වේ නම් එය පැවසූ සේක.
යම් සේ පිරිසිදු  වූ පහ වූ කළු බව් ඇති වතෙක් මොනොවට ම රඳන් පිළිගන්නේ ද, එසේ ම කුළුදත් බමුණුහට එ අස්නෙහි ම, යමෙක් උපදනා සුලු නම් ඒ සියල්ල නැසෙන සුලු වේ යැ යි කෙලෙස් රජස් රහිත, කෙලෙස් මල රහිත දහම් ඇස පහළ විය.
 
95.ඉක්බිති (මෙසේ) දුටු අරීසස් දහම් ඇති, පැමිණි අරීසස් දහම ඇති, ප්‍රකට වූ අරීසස් දහම් ඇති, බැසැ ගත් අරීසස්  දහම් ඇති, තිණු විසිකිස් ඇති, පහ වූ සැක ඇති, බුදුසස්නැ විසාරද බවට පැමිණි, පරප්‍රත්‍යය රහිත වූ කුළුදත් බමුණු තෙමේ ‘පින්වත් ගෞතම තෙමේ සෙට දිනට මගේ බත බික් සඟන හා ඉවසා වා’යි භාග්‍යවතුන් වහන්සේට කී ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් එය ඉවැසූ සේක.
 
97.ඉක්බිති කුළුදත් බමුණු භාග්‍යවතුන් වහන්සේ ඉවැසූ නියා දැනැ හුනස්නෙන් නැගී ඔබ වැඳැ පැදැකුණු කොට නික්මුණේ ය. ඉන් පසු කුළුදත් බමුණු ඒ රැය ඇවෑමෙන් සිය යාගශාලායෙහි ප්‍රණීත ඛාද්‍ය භොජ්‍ය පිළියෙල කරවා, ‘පින්වත් ගෞතමයිනි, දැන් කල් ය. බත නිමියේ යැ”යි භාග්‍යවතුන් වහන්සේය කල් දැන්වීය.
 
98.ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳැ පෙරෙවැ පා සිවුරු ගෙනැ බික් සඟන කැටුව කුළුදත් බමූණුගේ යාගාවාටය කරා එළැඹි සේක. එළැඹැ පැනැවූ අස්නැ වැඩැහුන් සේක. එකල්හි කුළුදත් බමුණු බුදුපාමොක් බික්සඟන ප්‍රණීත ඛාද්‍ය භොජ්‍යයෙන් සියතින් සැතැප්වී ය. පැවැරැවීය. ඉන් පසු කුළුදත් බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වළඳා පාත්‍රයෙන් ඉවතට ගත් අත්ඇත්තවුන් දැනැ, මිටි අස්නක් ගෙන එක් පසෙක හිඳැගත්තේ ය. එසේ හුන් කුළුදත් බමුණුට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් කරුණු දක්වා ගුණදහම් ගන්වා ගුණදහම් වැඩීමෙහි උනන්දු කොට ගුණ වදාරා සිත සතුටු කොට හුනස්නෙන් නැගී නික්මි සේක.
                                                                          පස්වනු කුළුදත් සුතුර නිමියේ ය.
 
1-6මහාලී සූත්‍රය
1.මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල්පුර අසල මහවෙනෙහි කුළාරහල් මහ වෙහෙරෙහි වැඩැ වසන සේක.
එ සමයෙහි වු කලී කොසොල් රට වැසි බොහෝ බමුණු දූතයෝ ද මගද රට වැසි බොහෝ බමුණු දූතයෝ ද කිසි යම් ඇවැසි කටයුත්තෙකින් විසල් පුරැ (අවුත්) වෙසෙති.  කොසොල් රටින් පැමිණි ද මගද රටින් පැමිණි ද එ බමුණු දූතයෝ රටේ පැතිරැ පැවැති මේ කතාව ඇසුහ: (මෙබඳු කතාවෙක් ඔවුන් කනැ වැටිණ.) “සැහැකුලෙන් නික් මැ පැවිදි වු සැහැපුත් මහණ ගොයුම් තෙමේ වනාහි (මෙ සමයෙහි) විසල්පුරැ මහවෙනෙහි කුළාරහල් වෙහෙරැ වෙසෙයි. ‘ඒ භගවත් තෙමේ මේ මේ කරැණිනුත් රහත් ය, සම්මා සම්බුදූ ය, විද්‍යාචරණ සම්පන්න ය, සුගත ය, ලොකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථී ය, දෙව්මිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ‘ යී ඒ පින්වත් ගොයුම්හු පිළිබඳ කළණ කිත් හඬ උස්වැ නැංගේ ය. ඒ පින්වත් ගොයුම් තෙමේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලොව, මහණ බමුණන් සහිත දෙව් මිණිසුන් සහිත සත් වග තෙමේ ම වෙසෙසින් දැන පසක් කොට (ලොවට) දන්වයි. හේ මුල කළණ වු මැද කළණ වු අග කළණ වු අරුත් සහිත අකුරු සපුව සහිත හැම ලෙසින් පිරිපුන් දහම් දෙසයි, පිරිසිදූ බඹසර පවසයි, එ බඳු වු රහතුන් දැක්ම වු කලී හිත වැඩ එළවනුයේ වෙයි, යනු යි.
 
2.ඉක්බිති කොසොල් රටින් ද මගද රටින් ද පැමිණි ඒ බමුණු දූතයෝ මහවෙනෙහි කුළාරහල් වෙහෙරට එලැඹියහ. එ සමයෙහි නාගිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ උවටු වෙති. ඉක්බිති ඒ දෙරටින්ම ආ බමුණු දූතයෝ නාගිත තෙරුණ් කරා ගියහ. ගොස් ‘පින්වත් නාගිතයිනි, දැන් ඒ පින්වත් ගොයුමානෝ කොහි වෙසෙත් ද? අපි වනාහි ඒ භවත් ගොයුමාණන් දක්නා රිසියෙම්හ.යි කීහ.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ දක්නට (දැන්) කල් නො වේ ම ය. භාග්‍යවතුන් වහන්සේ (දැන්) පිළිසලනෙහි යෙදූණු සේක් වෙති,යි (නාගික තෙරණුවෝ වදාළහ.)
එ විටැ ඒ බමුණු දූතයෝ ‘අපි ඒ පින්වත් ගොයුමානන් දැකැ ම යන්නම්හ. යි එහි ම එක් පසෙකැ හිඳ ගත්හ.
 
3.ඔට්ඨද්ධ ලිච්ඡවි තෙමේ ද මහත් ලිච්ඡවි පිරිසක් හා මහවනයට කුළාරහලට, එහි නාගිත තෙරුන් වෙත එළැඹියේය.  එළඹැ නාගිත තෙරුන් වැඳ පසෙකැ සිටියේ ය. පසෙකැ සිටි ඔට්ඨදධ ලිච්ඡවි තෙමේ ද නාගිත තෙරුනට “වහන්ස, දැන් ඒ භාග්‍යයවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ කොහි වසන සේක් ද? අපි ඒ බගවත් රහත් සම්මාසම්බුදූන් දක්නා රිස්සමෝ,යි මෙ බස් කී ය.
          “මහාලිය, භාග්‍යවතුන් වහන්සේ දක්නට දැන් නොකල්ය. භාග්‍යවතුන් වහන්සේ දැන් පිළිසලනෙහි යෙදී සිටිනා සේකැ, තෙරණුවෝ වදාළහ. ඔටඨද්ධ ලිච්ඡවි තෙමේත් “ඒ භාග්‍යයවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දැකැ ම යන්නෙමි,යි එහි ම එක් පසෙකැ හිඳැ ගත්තේ ය.
 
4.එකල්හි වනාහි සිංහ නම් හෙරණ නාගිත තෙරුන් කරා ගියේ ය. ගොස් තෙරුන් වැඳ, පසෙකැ සිටියේ ය. පසෙකැ සිටි හෙරණ තෙම “කාශ්‍යපයන් වහන්ස, මේ කොසොල් රටින් ද මගද රටින් ද පැමිණැ සිටින බමුණු දූතයෝ භාග්‍යවතුන් වහන්සේ දක්නට මෙහි එළැඹියාහ. ඔට්ඨද්ධ ලිච්ඡවි ද මහත් ලිච්ඡවි පිරිසක් හා කැටුව භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස මෙහි එළැඹියේ වෙයි. කාශ්‍යපයන් වහන්ස, මේ ජනමුළුව භාග්‍යවතුන් වහන්සේ දක්නට ලැබුනොත් මැනැවැ,යි සැළ කෙළේ ය.
          “සිංහය, එසේ වී නම්, තෙපිම භාග්‍යවතුන් වහන්සේට සැළ කරව,යි (තෙරණුවෝ වදාලහ.) “එසේ ය, වහන්සැ,යී ම සිංහ හෙරණ තෙම නාගිත තෙරුවනට පිළිවදන්දී  භාග්‍යවතුන් වහන්සේ කරා ගියේ ය, ගොස්, භාග්‍යවතුන් වහන්සේ වැඳැ පසෙක සිටියේ ය. එසේ සිටැ “වහන්ස, කොසොල් මගද යන දෙරටින් පැමිණි මේ බොහෝ වු බමුණු දූතයෝ භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස මෙහි එළැඹියෝ වෙති. ඔට්ඨද්ධ ලිච්ඡවි ද මහත් ලිච්ඡවි පිරිසක් කැටුව භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස මෙහි එළැඹියේ වෙයි. වහන්ස, මේ ජනමුළුව භාග්‍යවතුන් වහන්සේ දක්නට ලැබුනොත් මැනැවැ,යි කී ය.
          “සිංහය, එසේ නම් විහාරප්‍රාක්ඡායාවෙහි (වෙහෙර ඉදිරි පසැ සෙවණෙහි) අස්නක් පණවව,යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක).
          “එසේ ය වහන්සැ,යි සිංහ හෙරණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී වෙහෙර ඉදිරියේ සෙවණෙහි අස්නක් පැණවී ය. එවිටැ භාග්‍යවතුන් වහන්සේ වෙහෙරින් නික්මැ වෙහෙර ඉදිරි පසැ සෙවණෙහි පැනැවුණු අස්නැ වැඩැහුන් සේක.
 
5.ඉක්බිති කොසොල් මගද යන දෙරටින් ආ බමුණු දූතයෝ භාග්‍යවතුන් වෙත එළඹියාහ, එළැඹැ ඔබ හා සතුටු වුහ. සතුටු වියැ යුතු සිහි කටයුතු (සිතැ රැඳැවියැ යුතු) කතා නිමවා පසෙකැ හිඳ ගත්හ. ඔට්ඨද්ධ ලිච්ඡවි ද මහත් ලිච්ඡවි පිරිස හා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේය. එළැඹැ ඔබ වැඳ පසෙක හිඳැ ගත්තේය. එසේ පසෙකැ හිඳැ ගත්ම ඔටඨද්ධ ලිච්ඡවි තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කී  ය:
          “වහන්ස, ඊයේ දවසැ ද එයිනුත් පෙර දිනවල ද ලිච්ඡවී පුත්‍ර සුනක්ඛත්ථ තෙමේ මා වෙත ආයේ ය. අවුත් මට ‘මහාලිය, යම් දිනෙක පටන් තුන් හවුරුදූ පමණ වු නොබෝ කලක් මම භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කොටැ විසිම් ද, ඒ කාලය තුළැ කම්රස යුත් මිහිරි වු, සිත් අලවන දෙව් රූ වු කලි දිටිමි. වැලි කම්රස ඇති, මිහිරි වු, සිත් අලවන දෙව් හඬ නොම ඇසීමි.යි කී ය.  වහන්ස, ලිච්ඡවි පුත්‍ර සුනක්ඛත්තයා ඇත්තා වු ම මිහිරි කම්රස ඇති සිත් අලවන දෙව් හඬ නො ඇසී ද? නැත හොත් නැත්තාවු ම එසේ වු දෙව්හඬ නො ඇසී ද?, (යනු යී).
          “මහාලිය, නැත්තා වු දෙව්හඬ නො ව ඇත්තා වු ම මිහිරි වු, කම්රස යුත් සිත් අදනා දෙව්හඬ ලිච්ඡවි පුත්‍ර සුනක්ඛත්ත තෙම නො ඇසී යැ,යී (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
 
6.“වහන්ස, යම් හෙයකින් ලිච්ඡවි පුත්‍ර සුනක්ඛත්ථයා නැත්තා වු හඬක් නො ව ඇත්තා වු ම, මිහිරි වු, කම්රස යුත් සිත්, අදනා දෙව්හඬ නො ඇසී නම්, එයට හෙතු කවර යැ? ප්‍රත්‍යයය කවරයැ?, (යී මහාලී පුළුවුත).
          “මහාලිය, මෙහි මහණක්හු විසින් මිහිරි වු, කම් රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස පෙර දිගට සමාධිය එක්කොටසක් වඩන ලද්දේ වෙයි ද, මිහිරි වු කම් රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස සමාධිය වඩන ලද්දේ නො වෙයි ද, හේ එසේ මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස නො වැ දෙව් රූ දක්නා පිණිස පෙර දිගට සමාධිය එක් කොටසක් වඩනා ලද කල්හි පෙර දිගැ වු මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දකී. එහෙත් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ නො අසයි. ඒ කවර හෙයින යත්: මහාලිය, මහණ විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස නො වැ මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ පිළිබඳ එක් කොටසක් ම පිණිස පෙර දිගට සමාධිය වඩන ලද කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
 
7.තවද  “මහාලිය, මෙහි මහණක්හු විසින් මිහිරි වු, කම් රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස දකුණු දිගට සමාධිය එක්කොටසක් වඩන ලද්දේ වෙයි ද, මිහිරි වු කම් රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස සමාධිය වඩන ලද්දේ නො වෙයි ද, හේ එසේ මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස නො වැ දෙව් රූ දක්නා පිණිස දකුණු දිගට සමාධිය එක් කොටසක් වඩනා ලද කල්හි දකුණු දිගැ වු මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දකී. එහෙත් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ නො අසයි. ඒ කවර හෙයින යත්: මහාලිය, මහණ විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස නො වැ මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ පිළිබඳ එක් කොටසක් ම පිණිස දකුණු දිගට සමාධිය වඩන ලද කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
තවද  “මහාලිය, මෙහි මහණක්හු විසින් මිහිරි වු, කම් රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස පැසුම් දිගට සමාධිය එක්කොටසක් වඩන ලද්දේ වෙයි ද, මිහිරි වු කම් රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස සමාධිය වඩන ලද්දේ නො වෙයි ද, හේ එසේ මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස නො වැ දෙව් රූ දක්නා පිණිස පැසුම් දිගට සමාධිය එක් කොටසක් වඩනා ලද කල්හි පැසුම් දිගැ වු මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දකී. එහෙත් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ නො අසයි. ඒ කවර හෙයින යත්: මහාලිය, මහණ විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස නො වැ මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ පිළිබඳ එක් කොටසක් ම පිණිස පැසුම් දිගට සමාධිය වඩන ලද කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
තවද “මහාලිය, මෙහි මහණක්හු විසින් මිහිරි වු, කම් රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස උතුරු දෙසට  සමාධිය එක්කොටසක් වඩන ලද්දේ වෙයි ද, මිහිරි වු කම් රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස සමාධිය වඩන ලද්දේ නො වෙයි ද, හේ එසේ මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස නො වැ දෙව් රූ දක්නා පිණිස උතුරු දෙසට  සමාධිය එක් කොටසක් වඩනා ලද කල්හි උතුරු දෙසට  වු මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දකී. එහෙත් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ නො අසයි. ඒ කවර හෙයින යත්: මහාලිය, මහණ විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස නො වැ මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ පිළිබඳ එක් කොටසක් ම පිණිස උතුරු දෙසට  සමාධිය වඩන ලද කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
තවද “මහාලිය, මෙහි මහණක්හු විසින් මිහිරි වු, කම් රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස උඩ දෙසට   සමාධිය එක්කොටසක් වඩන ලද්දේ වෙයි ද, මිහිරි වු කම් රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස සමාධිය වඩන ලද්දේ නො වෙයි ද, හේ එසේ මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස නො වැ දෙව් රූ දක්නා පිණිස උඩ දෙසට   සමාධිය එක් කොටසක් වඩනා ලද කල්හි උඩ දෙසට   වු මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දකී. එහෙත් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ නො අසයි. ඒ කවර හෙයින යත්: මහාලිය, මහණ විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස නො වැ මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ පිළිබඳ එක් කොටසක් ම පිණිස උඩ දෙසට   සමාධිය වඩන ලද කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
තවද “මහාලිය, මෙහි මහණක්හු විසින් මිහිරි වු, කම් රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස යට දෙසට   සමාධිය එක්කොටසක් වඩන ලද්දේ වෙයි ද, මිහිරි වු කම් රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස සමාධිය වඩන ලද්දේ නො වෙයි ද, හේ එසේ මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස නො වැ දෙව් රූ දක්නා පිණිස යට දෙසට   සමාධිය එක් කොටසක් වඩනා ලද කල්හි යට දෙසට   වු මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දකී. එහෙත් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ නො අසයි. ඒ කවර හෙයින යත්: මහාලිය, මහණ විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස නො වැ මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ පිළිබඳ එක් කොටසක් ම පිණිස යට දෙසට   සමාධිය වඩන ලද කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
“මහාලිය, මෙහි මහණක්හු විසින් මිහිරි වු, කම් රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස සරසට  සමාධිය එක්කොටසක් වඩන ලද්දේ වෙයි ද, මිහිරි වු කම් රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස සමාධිය වඩන ලද්දේ නො වෙයි ද, හේ එසේ මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස නො වැ දෙව් රූ දක්නා පිණිස සරසට  සමාධිය එක් කොටසක් වඩනා ලද කල්හි සරස  වු මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දකී. එහෙත් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ නො අසයි. ඒ කවර හෙයින යත්: මහාලිය, මහණ විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස නො වැ මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ පිළිබඳ එක් කොටසක් ම පිණිස සරසට සමාධිය වඩන ලද කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි. 
 
8.මහාලිය, මහණහු විසින් මිහිරි වු කම් රසයෙන් යුත්, සිත් අලවන දෙව්රූ දක්නා පිණිස නො වැ, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් හඬ අසනු පිණිස පෙර දිගට සමාධිය එක්කොටසක් වඩන ලද්දේ වෙයි නම්, එසේ හෙතෙම, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස නොවැ මිහිරි දෙව්හඬ අසනු පිණිස පෙර දිගට එක් කොටසක් සමාධිය වැඩු කල්හි, පෙර දිගැ මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසයි. මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ නොම දකී. ඒ කවර හෙයින යත්: මහාලිය, මහණහු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස නො වැ, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස පෙර දිගට සමාධිය එක් කොටසක් වැඩු කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
 
9.තව ද මහාලිය, මහණහු විසින් මිහිරි වු කම් රසයෙන් යුත්, සිත් අලවන දෙව්රූ දක්නා පිණිස නො වැ, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් හඬ අසනු පිණිස දකුණු දිගට සමාධිය එක්කොටසක් වඩන ලද්දේ වෙයි නම්, එසේ හෙතෙම, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස නොවැ මිහිරි දෙව්හඬ අසනු පිණිස දකුණු දිගට එක් කොටසක් සමාධිය වැඩු කල්හි, දකුණු දිගැ මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසයි. මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ නොම දකී. ඒ කවර හෙයින යත්: මහාලිය, මහණහු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස නො වැ, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස දකුණු දිගට සමාධිය එක් කොටසක් වැඩු කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
තවද, මහාලිය, මහණහු විසින් මිහිරි වු කම් රසයෙන් යුත්, සිත් අලවන දෙව්රූ දක්නා පිණිස නො වැ, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් හඬ අසනු පිණිස පැසිම්  දිගට සමාධිය එක්කොටසක් වඩන ලද්දේ වෙයි නම්, එසේ හෙතෙම, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස නොවැ මිහිරි දෙව්හඬ අසනු පිණිස පැසිම්  දිගට එක් කොටසක් සමාධිය වැඩු කල්හි, පැසිම්  දිගැ මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසයි. මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ නොම දකී. ඒ කවර හෙයින යත්: මහාලිය, මහණහු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස නො වැ, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස පැසිම්  දිගට සමාධිය එක් කොටසක් වැඩු කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
මහාලිය, මහණහු විසින් මිහිරි වු කම් රසයෙන් යුත්, සිත් අලවන දෙව්රූ දක්නා පිණිස නො වැ, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් හඬ අසනු පිණිස උතුරු දිගට සමාධිය එක්කොටසක් වඩන ලද්දේ වෙයි නම්, එසේ හෙතෙම, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස නොවැ මිහිරි දෙව්හඬ අසනු පිණිස උතුරු දිගට එක් කොටසක් සමාධිය වැඩු කල්හි, උතුරු දිගැ මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසයි. මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ නොම දකී. ඒ කවර හෙයින යත්: මහාලිය, මහණහු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස නො වැ, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස උතුරු දිගට සමාධිය එක් කොටසක් වැඩු කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
තව ද මහාලිය, මහණහු විසින් මිහිරි වු කම් රසයෙන් යුත්, සිත් අලවන දෙව්රූ දක්නා පිණිස නො වැ, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් හඬ අසනු පිණිස උඩ දෙසට  සමාධිය එක්කොටසක් වඩන ලද්දේ වෙයි නම්, එසේ හෙතෙම, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස නොවැ මිහිරි දෙව්හඬ අසනු පිණිස උඩ දෙසට  එක් කොටසක් සමාධිය වැඩු කල්හි, උඩ දෙස මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසයි. මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ නොම දකී. ඒ කවර හෙයින යත්: මහාලිය, මහණහු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස නො වැ, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස උඩ දෙසට  සමාධිය එක් කොටසක් වැඩු කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
මහාලිය, මහණහු විසින් මිහිරි වු කම් රසයෙන් යුත්, සිත් අලවන දෙව්රූ දක්නා පිණිස නො වැ, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් හඬ අසනු පිණිස යට දෙසට  සමාධිය එක්කොටසක් වඩන ලද්දේ වෙයි නම්, එසේ හෙතෙම, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස නොවැ මිහිරි දෙව්හඬ අසනු පිණිස යට දෙසට  එක් කොටසක් සමාධිය වැඩු කල්හි, යට දෙස මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන  දෙව්හඬ අසයි. මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ නොම දකී. ඒ කවර හෙයින යත්: මහාලිය, මහණහු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස නො වැ, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස යට දෙසට  සමාධිය එක් කොටසක් වැඩු කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
මහාලිය, මහණහු විසින් මිහිරි වු කම් රසයෙන් යුත්, සිත් අලවන දෙව්රූ දක්නා පිණිස නො වැ, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් හඬ අසනු පිණිස සරසට දෙසට  සමාධිය එක්කොටසක් වඩන ලද්දේ වෙයි නම්, එසේ හෙතෙම, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස නොවැ මිහිරි දෙව්හඬ අසනු පිණිස සරසට දෙසට  එක් කොටසක් සමාධිය වැඩු කල්හි, සරස දෙස මිහිරි දෙව්හඬ අසයි. මිහිරි දෙව් රූ නොම දකී. ඒ කවර හෙයින යත්: මහාලිය, මහණහු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස නො වැ, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස සරසට දෙසට  සමාධිය එක් කොටසක් වැඩු කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි
 
10.මහාලිය, මෙහි මහණක්හු විසින් මිහිරි වු කම් රසයෙන් යුත් සිත් අලවන දෙව්රූ දක්නා පිණිස ද, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස ද යන දෙ කොටස ම පිණිස පෙර දිගට සමාධිය වඩන ලද්දේ වෙයි. ද, හේ මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස ද මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස දැ යි මෙසේ දෙකොටසම පිණිස (තමා විසින්) වඩනා ලද සමාධිය ඇති කල්හි මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන පෙර දිගැ දෙව් රූ ද දකී, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන පෙර දිගැ දෙව්හඬ ද අසයි. ඒ කවර හෙයින? යත්: මහාලියමහණහු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නට ද, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනුවට දැ යි මෙසේ මේ දෙ කොටස ම පිණිස පෙර දිගට වඩන ලද සමාධිය ඇති කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
 
11.මහාලිය, මහණහු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස ද, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස දැ යි මේ දෙ කොටස ම පිණිස දකුණු දෙසට  සමාධිය එක්කොටසක් වඩන ලද්දේ වෙයි නම්, එසේ හෙතෙම, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස ද, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස දැ යි මේ දෙ කොටස ම පිණිස දකුණු දෙසට  එක් කොටසක් සමාධිය වැඩු කල්හි, දකුණු දෙස මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ  ද අසයි. මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ ද දකී. ඒ කවර හෙයින යත්: මහාලිය, මහණහු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස ද, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස දැ යි මේ දෙ කොටස ම පිණිස දකුණු දෙසට  සමාධිය එක් කොටසක් වැඩු කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
තව ද මහාලිය, මහණහු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස ද, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස දැ යි මේ දෙ කොටස ම පිණිස පැසිම් දෙසට  සමාධිය එක්කොටසක් වඩන ලද්දේ වෙයි නම්, එසේ හෙතෙම, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස ද, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස දැ යි මේ දෙ කොටස ම පිණිස පැසිම් දෙසට  එක් කොටසක් සමාධිය වැඩු කල්හි, පැසිම් දෙස මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ  ද අසයි. මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ ද දකී. ඒ කවර හෙයින යත්: මහාලිය, මහණහු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස ද, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස දැ යි මේ දෙ කොටස ම පිණිස පැසිම් දෙසට  සමාධිය එක් කොටසක් වැඩු කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
මහාලිය, මහණහු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස ද, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස දැ යි මේ දෙ කොටස ම පිණිස උතුරු  දෙසට  සමාධිය එක්කොටසක් වඩන ලද්දේ වෙයි නම්, එසේ හෙතෙම, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස ද, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස දැ යි මේ දෙ කොටස ම පිණිස උතුරු  දෙසට  එක් කොටසක් සමාධිය වැඩු කල්හි, උතුරු  දෙස මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ  ද අසයි. මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ ද දකී. ඒ කවර හෙයින යත්: මහාලිය, මහණහු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස ද, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස දැ යි මේ දෙ කොටස ම පිණිස උතුරු  දෙසට  සමාධිය එක් කොටසක් වැඩු කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
තවද මහාලිය, මහණහු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස ද, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස දැ යි මේ දෙ කොටස ම පිණිස උඩ  දෙසට  සමාධිය එක්කොටසක් වඩන ලද්දේ වෙයි නම්, එසේ හෙතෙම, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස ද, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස දැ යි මේ දෙ කොටස ම පිණිස උඩ  දෙසට  එක් කොටසක් සමාධිය වැඩු කල්හි, උඩ  දෙස මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ  ද අසයි. මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ ද දකී. ඒ කවර හෙයින යත්: මහාලිය, මහණහු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස ද, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස දැ යි මේ දෙ කොටස ම පිණිස උඩ  දෙසට  සමාධිය එක් කොටසක් වැඩු කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
තව ද මහාලිය, මහණහු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස ද, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස දැ යි මේ දෙ කොටස ම පිණිස යට  දෙසට  සමාධිය එක්කොටසක් වඩන ලද්දේ වෙයි නම්, එසේ හෙතෙම, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස ද, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස දැ යි මේ දෙ කොටස ම පිණිස යට  දෙසට  එක් කොටසක් සමාධිය වැඩු කල්හි, යට  දෙස මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ  ද අසයි. මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ ද දකී. ඒ කවර හෙයින යත්: මහාලිය, මහණහු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස ද, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස දැ යි මේ දෙ කොටස ම පිණිස යට  දෙසට  සමාධිය එක් කොටසක් වැඩු කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
තවද මහාලිය, මහණහු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස ද, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස දැ යි මේ දෙ කොටස ම පිණිස සරස  දෙසට  සමාධිය එක්කොටසක් වඩන ලද්දේ වෙයි නම්, එසේ හෙතෙම, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස ද, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස දැ යි මේ දෙ කොටස ම පිණිස සරස  දෙසට  එක් කොටසක් සමාධිය වැඩු කල්හි, සරස  දෙස මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ  ද අසයි. මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ ද දකී. ඒ කවර හෙයින යත්: මහාලිය, මහණහු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස ද, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස දැ යි මේ දෙ කොටස ම පිණිස සරස  දෙසට  සමාධිය එක් කොටසක් වැඩු කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
          මහාලිය, යම් හෙයකින් ලිච්ඡවිපුත්‍ර සුනක්ඛත්තයා නැත්තා වු නොවැ ඇත්තා වු ම මිහිරි, කම්රෙසෙන් යුත් සිත් අදනා දෙව් හඬ නො ඇසීද, මේ එයට හෙතුව යැ, මේ එයට ප්‍රත්‍යය යැ, (යී භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
 
12.“වහන්ස, භික්‍ෂුහු මෙසේ මේ සමාධීන් පසක් කරණු පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර රකිත් යැ යි සිතමි, යී (මහාලී කීය).
 
13.“මහාලිය, මහණහු මේ සමාධීන් පසක් කරණු පිණිස මා කෙරෙහි බඹසර නොරකිත්, මහාලිය, යම් දෑ පසක් කරණු පිණිස මහණහු මා වෙත බඹසර රකිත් නම්, ඒ වඩා උසස් වු වඩා උතුම් වු අන්‍ය වු ම දහම් කෙනෙක් ඇතියහ, (යී භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
 
14.“වහන්ස, යමක් පසක් කරණු පිණිස භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේ කෙරේ බඹසර රකිත් නම්, ඒ වඩා උසස් වු වඩා උතුම් වු අන් දහම්හු කවුරු දැ, (යී මහාලී පුළුවුත.)
 
15.“මහාලිය, මේ සස්නැ මහණ තෙමේ තුන් සංයෝජනයන් (සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන තුන) නැසීමෙන් අපායනට නොවැටෙන සුලු, මාර්‍ගධර්‍මනියාමයෙන් නිශ්චිත ගති ඇති, සම්බොධිය (මතු තුන් මග) පරම ගතිය කොටැති, සෝවාන් පුගුලෙක් වේ ද, මහාලිය, යම් දහමක් පසක් කරණු පිණිස මහණහු මා කෙරෙහි බඹසර සරත් නම්, ඒ මේ දහම ද (සෝවාන් මග ද) යට කී සමාධීන්ට වඩා උසස් ය, වඩා උතුම් ය.
          තච ද මහාලිය, මහණ තෙමේ තුන් සංයෝජනයන් නැසී යාමෙන් රා දොස් මොහො තුන තුනී වීමෙන් සෙදැගැමි වේ. එක් වරක් ම මෙ ලොවට අවුත් දූක් කෙළවර කෙරෙයි. මහාලිය, යම් දහමක් පසක් කරණු පිණිස මහණහු මා වෙතැ බඹසර සරත් නම්, මේ දහම ද යට කී සමාධීන්ට වඩා උසස් ය, වඩා උතුම් ය.
          තව ද මහාලිය, මහණ තෙමේ ඔරම්භාගිය (කාමභවය භජනය කරන) සංයෝජන පස මුළුල්ල ම නැසීමෙන් ඹපපාතක අත්බව ලබන්නෙකි වෙයි, (ශුද්ධාවාස බඹලොවැ උපදින්නෙක් වෙයි.) එ බඹලොව්හිම පිරිනිවෙන සුලු වෙයි. මහාලිය, යම් දහමක් පසක් කරණු පිණිස මහණහු මා වෙතැ බඹසර සරත් නම්, මෙයද උඩ කී සමාධීන්ට වඩා උසස් ය, වඩා උතුම් ය.
          තව ද මහාලිය, මහණ තෙමේ ආස්‍රවයන් ක්‍ෂීණවීමෙන් ආස්‍රව රහිත වු අර්හත්ත්‍වඵල ඥානය ද මෙ අත්බව්හිම තෙමේ විශිෂ්ඨඥානයෙන් පසක් කොටැ ලැබ ගෙන වෙසෙයි. මහාලිය, යමක් පසක් කරණු පිණිස මහණහු මා වෙතැ බඹසර සරත් නම්, මෙයද යට කී සමාධීන්ට වඩා උසස් ය, වඩා උතුම් ය.
          මහාලිය, මහණහු යම් දහම් කෙනෙකුන් පසක් කරන කරුණින් (පසක් කරණු පිණිස) මා වෙතැ බඹසර සෙරෙත් නම්, මේ යට කී සමාධීන්ට වඩා උසස් වු, වඩා උතුම් වු ඒ දහම්හු,යැයී (වදාළ සේක.)
 
16.(එවිටැ මහාලි තෙම) “වහන්ස, (ඔබ වදාල) මෙකී දහමුන් පසක් කරනුවට  මඟෙක් ඇත්තේ ද? පිළිපැදීමෙක් ඇත්තේ දැ, (යී විචාලේ ය.)
          “මහාලිය, මේ දහම් පසක් කරනුවට  මඟෙක් ඇත්තේ ය. පිළිපැද්මෙක් ඇත්තේ යැ, යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
 
17.“වහන්ස, මේ දහම් පසක් කරනුවට ඇති ඒ මඟ, ඒ පිළිපැදීම කවරේ දැ, (යී මහාලී පුළුවුත.)
          එ විට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
          “ඒ මේ අරි අටැඟි මග ම ය. එ නම්: සම්‍යඟදෘෂ්ටිය, සම්‍යක්සංකල්පය, සම්‍යඟවචනය, සම්‍යඟකර්‍මාන්තය, සම්‍යගාජීවය, සම්‍යඟව්‍යායාමය, සම්‍යඟසමෘතිය, සම්‍යඟසමාධිය යන අට ය. මහාලිය, එකී දහම් පසක් කරනුවට මේ ම මඟ ය, මේ ම පිළිපැදීම ය.
 
18.මහාලිය, මම එක් කලෙක කොසොඹෑ නුවරට නොදූරෙහිවු ඝොසිතාරාමයෙහි වෙසෙමි. එ කලැ මණ්ඩිස්ස නම් පිරිවැජි ද, ලීමුවා පයක් දරන පිරිවැජ්ජක්හු අතැවැසි ජාලිය නම් පිරිවැජි දැ යි මේ දෙ පැවිද්දෝ මා වෙත එළැඹැ මා හා සතුටු වුහ. සතුටු වියැ යුතු සිතැ රැඳැවියැ යුතු කතා නිමවා පසෙකැ සිටියහ. පසෙකැ සිටි ඒ දෙ පැවිද්දෝ “කිමෙක් ද ඇවැත්නි, ගොයුම් තෙමේ ‘ජීවයත් හේ ම ද? ශරීරයත් හේ ම ද? (ජීවයත් ශරීරයත් දෙක ම එකක් ද?) නො හොත් ජීවය එකකුත් ශරීරය අනෙකකුත් වේ ද?, යි විචාළහ.
          “ඇවැත්නි, එසේ වී නම් අසවු. මොනොවට මෙනෙහි කරවු. කියන්නෙමි,යී (මම කීමි.) ‘එසේ ය. ඇවැත්නි.යි ඒ දෙ පැවිද්දෝ මට පිළිවදන් දූන්හ. මම මතු දැක්වෙන මේ දෑ කීයෙමි.
 
19.“ඇවැත්නි, අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ විද්‍යාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිත් වූ නිරුත්තරපුරුෂදම්මසාරථී වු දෙව්මිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භගවත් වූ තථාගත තෙමේ ලොවැ පහළ වෙයි. හේ දෙවියන් සහිත මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ ලෝකය ද, මහණබමුණන් සහිත, සම්මත දෙවියන්(රජුන්) හා සෙසු මිනිසුන් හා සහිත සත්ත්වප්‍රජාව ද තෙමේ විශිෂ්ට නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඔවුනට අවබෝධ කරවයි. හේ දහම් දෙසනුයේ ආදියෙහි භද්‍රක (නිවරද)කොට, මධ්‍යෙයහි භද්‍රක( නිවරද)කොට, අවසන භද්‍රක (නිවරද) කොට  අර්ථ සහිත කොට, ව්‍යඤ්ජනයෙන් සහිත කොට, සර්වප්‍රකාරයෙන් පූර්ණ කොට, පිරිසිදු කොට, දහම් දෙසයි. (එසේ දෙසනුයේ ශික්ෂාත්‍රයයෙන් සංගෘහීත වූ සියලු) ශාසනබ්‍රහ්මචර්‍යය ප්‍රකාශ කෙරෙයි.
ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ අන් එක්තරා කුලයක උපන්නෙක් හෝ ඒ ධර්මය අසයි. හේ ඒ දහම් අසා තථාගත බුදුහු කෙරෙහි සැදැහැ ඇති කෙරෙයි. හේ ඒ ශ්‍රද්ධාලාභයෙන් මන්විත වූයේ,  ‘ගිහිගෙයි විසීම් සම්බාධයෙකි (අවහිරයෙකි). (රාගාදී රජස් නැගෙන) රජස් පථයකි. පැවිද්ද (සම්බාධ නැති) අභ්‍යවකාශය (එළි මහන) වැන්න. ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරසිදු කොට, ශංඛලිඛිතයක් සේ මේ බඹසර සරන්නට පහසු නොවේ. (එබැවින්) මම කෙහෙරවුලු බහවා කසාවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් පැවිදිබිමට වදනෙම් නම් යෙහෙකැ’ යි මෙසේ නුවණින් සලකයි.
හේ පසු කලෙක අල්ප වූ හෝ සම්පත් රැස හැර, මහත් වූ හෝ සම්පත් රැස හැර, මඳ වු හෝ නෑ පිරිස හැර, මහත් වූ හෝ නෑ පිරිසි හැර, කෙහෙරැවුලු බහවා, කසාවත් හැඳ පෙරෙවැ, ගිහිගෙන් පැවිදිබිමට වදී. හේ මෙසේ පැවිදි වූයේ ම ප්‍රාතිමෝක්ඛසංවරයෙන් සමන්විත වූයේ, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වූයේ, ස්වල්පමාත්‍ර වූද වරදෙහි බිය දක්නේ, නිවැරද වූ කායවාඟකර්මයෙන් සමන්විත වූයේ, එහෙයින් ම පිරිසිදු ආජීව ඇතියේ, සිල්වත් වූයේ ඉන්ද්‍රියයන්හි වැසූ දොර ඇතියේ, බොජුන්හි පමණ දන්නේ( සත් තන්හි) සිහියෙන් හා නුවණීන් හා යුක්ත වූයේ සිව්පසයෙහි තුන්වැදෑරුම් සතුටින් සතුටු වූයේ. ශික්ෂාපදයන්හී සමාදන් වැ හික්මෙයි.
. මහරජ, මහණ තෙමේ කෙසේ නම් සිල්වත් වේද ? යත්: මහරජ, මෙහි මහණ තෙමේ ප්‍රණඝාතය හැරැ දමා, ප්‍රාණඝාතයෙන් වෙසෙසින් වැළැක්කේ වෙයි. බහා තැබූ දඬුමුගුරු ඇත්තේ (දඬුමුගුරු නොදරන්නේ), බහා තැබූ ආයුධ ඇත්තේ (ආයුධ නොදරන්නේ) පවට පිළිකුල් කරන්නේ, මෛත්‍රියට පැමිණියේ (මෛත්‍රියෙන් යුක්ත වූයේ), සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති වැ වෙසේ. මේ ද ඔහුගේ එක් ශීලයෙක් වේ.
හේ අදත්තාදානය දුරැ ලා බඹසර සරන්නේ වෙයි. ගැමිදහමක් වූ මෙවුන්දමින් දුරු වැ හැසිරෙන්නේ, එයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
හේ අබ්රම්සර දුරැලා බඹසර සරන්නේ වෙයි. ගැමිදහමක් වූ මෙවුන්දමින් දුරු වැ ඉවසනසුලු වූයේ, නොසොර වූ පිරිසිදුසිතින් යුතු වැ වෙසේ. මේ ද ඔහුගේ ශිලයෙක් වේ.
හේ බොරු කීම දුරැ ලා, බොරු කීමෙන් වැළැක්කේ වෙයි. ඇත්ත කියනසුලු වූයේ, ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නේ, තහවුරු වැ පිහිටි කථා ඇත්තේ, ඇදහිය යුතු කථා ඇත්තේ, ලොව නො රවටන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
හේ කේළාම් කීම් දුරැ ලා, කේලාම් කීමෙන් වැළැක්කේ වේ. මේ තැනින් අසා මොවුන් (ඔවුන් ගෙන්) බිඳවනු පිණිස එතැන්හි නො කියනසුලු වූයේ, එ තැනින් අසා ඔවුන් (මොවුන්ගෙන්) බිඳුවනු පිණිස මෙතන්හි නො කියන සුලු වූයේ,  මෙසේ බිඳුනවුන් ගළපන්නේ (සමඟකරන්නේ) ද, එකට ගැළැපුනවුන් (සමඟියටපැමිණියවුන්) හට රුකුල් දෙන්නේ ද වෙයි. සමඟිය ඇති කරන බස් කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
හේ රළු බිණුම් දුරැ ලා, රළු බස් දෙඩුමෙන් වැළැක්කේ වෙයි. නිදොස්, කන්කලු, පෙම් උපදවන, පහසුවෙන් සිතැ වැදැගන්නා, නො ගැමි, බොහෝ දෙනාට ප්‍රිය, බොහෝ දෙනාගේ මන වඩන යම් බසෙක් වේද, එබඳු වූ බස් කියන්නේ වෙයි. මේ ද ඔහුගේ සීලයෙක් වේ.
හේ බොල් හිස් දෙඩැවිලි හැරැදමා, බොල් දෙඩැවිල්ලෙන් වැළැක්කේ වෙයි. සුදුසු කාල වේලායෙහි කථා කරන සුලු වූයේ, ඇත්තම කියන සුලු වූයේ, වැඩ සලසන බසක් ම කියන සුලු වූයේ,  නව ලොවුතුරුදහම් ඇසුරු කොට ම කියනසුලු වූයේ, හික්මීම ඇති කරන බසක්ම කියනසුලු වූයේ, සිතැ තබා ගන්නට සුදුසු වූ, කරුණු සහිත වූ, ඉමක් කොනක් ඇති (ප්‍රමාණවත් වූ), දෙලෝ වැඩ හා සම්බද්ධ වූ ම බසක් සුදුසු කාලයෙහි කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
 
20.හේ බීජසමූහ(=පැළ වන දෑ) ද, භූතසමූහ (පැළ වුණු දෑ) ද, සිඳුමෙන් බිඳුමෙන් වැළැක්කේ වෙයි. රෑ බොජුනෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන බත් ඇත්තේ, නොකල් බොජුනෙන් වැළැක්කේ වෙයි. නටනු ගනු වයනු විසුළුදසුන් යන මෙයින් වැළැක්කේ වෙයි. ඇඟැ සැරැසීමට කරුණු වන මල්ගඳවිලෙවුන් දැරීමෙන් වැළැක්කේ වෙයි. පමණ ඉක්මැවූ උසසුන් ද, නොකැප වූ මහසුන් ද යන දෙකින් ම වැළැක්කේ වෙයි. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු ධාන්‍ය පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ස්ත්‍රීන් කුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. එළුවන් බැටෙළුවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැළැක්කේ  වෙයි. කෙත්වතු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ගිහියනට දූතමෙහෙවර කිරීමෙහි ද ගෙන් ගෙට පණිවිඩ පණත් ගෙන යෑමෙහි ද යෙදීමෙන් වැළැක්කේ වෙයි. වෙළෙඳ ගනුදෙනුයෙන් වැළැක්කේ වෙයි. හොරතරාදියෙන් කිරුමෙන්, බොරු රන් පෑමෙන්, හොර මිනුම්වලින් මිනුමෙන් වැළැක්කේ වෙයි. අල්ලස් ගෙන හිමියන් නොහිමි කිරීමෙන්, නානා උපායෙන් අනුන් රැවැටුමෙන්, අගනා දැයට හුරු නො අගනා දැයක් පෙන්නා කරන මායායෙන්, මේ කී නොකී හැම කෛරාටිකකම්වලින් ම වැළැක්කේ වෙයි. අත් පා ආදිය සිඳීමෙන් ද, මැරීමෙන් ද, රැහැන් ආදියෙන් බැඳීමෙන් ද, සැහැසිකම්වලින් ද වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
                                                                                                                                                       චූල්ලසීලය නිමියේ ය.
 
21.යම්සේ වනාහී සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මූලබීජ, (හිඟුරු ආදී පැළ වන මුල් ද), ස්කන්ධබීජ ද(නුග ආදී පැළ වන කඳ ද), පරුවීජ ද (උක් උණ බට ආදී පැළ වන පුරුක් ද), අග්‍රවීජ (ඉරිවේරිය හා පැළවන දළු ද), පස් වනු වීජ වීජ ද(වී ආදී පැළ වෙන ඇට ද) යන මේ කී වීජසමූහ ද (පැළ වන දෑ ද) භූතසමූහ ද (පැළැවුණ දෑ ද) පෙළීමෙහි (සිඳුම් බිඳුම් තැලුම් තැවුම් යැ යි)කියන ලද සමාරම්භයෙහි යෙදුණෝ වෙසෙත් ද, හෙ තෙමේ මේ බඳු වීජග්‍රාම භූතග්‍රාම සමාරම්භයෙන් වැළැක්කේ වෙයි.  මේ ද ඔහු ගේ ශීලයෙක් වේ.
 
22.යම්සේ වනාහී ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, කෑම රැස් කොට තබා ගැන්ම, බොන දෑ රැස් කර තබා ගැන්ම,  වස්ත්‍ර රැස්කොට තබා ගැන්ම, රිය ගැල් ආදිය ද පාවහන් ආදිය ද යන යාන රැස් කොට තබා ගැන්ම, ඉහතැ කී දෑ හැර තවත් තල සහල් ඈ වුවමනා පසය රැස් කොට තබා ගැන්ම යන මෙසේ වූ සන්නිධිකාරපරිභොගයෙහි (පසය රැස් කොට තබාගෙන වැළඳීමෙහි) යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙබඳු වූ හෝ සන්නිධිකාර පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
 
23.යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා නැටුම් ගැයුම් වැයුම්, නටසමජ්ජා (නළුවන් සමූහයක් එක්ව ජන සමූහයා ඉදිරියේ දක්වන නැටුම්), ආඛ්‍යාන (මහාභාරතාදිය කීම හෝ ඇසීම), පාණිස්වර (අතින් ලොහොබෙර ගැයුම් හෝ අත්තල ගැසීම), වේතාල (දඬුමුවා තාළම්පට ගැසීම හෝ මතුරු දපා මළසිරුරු නැගිටුවීම), කුම්භථූන (සිව්රස් බෙර වැයුම්), ශෝභනක (රංගබලිකරණය හෙවත් රඟමඩුල්ලෙහි දී දේවතාවනට ස්තෝත්‍ර වශයෙන් නාන්දීගීත ගායනය හෝ ප්‍රතිභානචිත්‍ර කිරීම), සනදොවුන් කෙළිය (හෝ ආයොගුඩක්‍රීඩාව), උණගස් ඔසොවා ගෙන කරන ක්‍රීඩාව, අස්ථිධොවනය (මලවුන්ගේ ඇට සුවඳ කවා තබා නකත්සෙමෙහි ඊ වටා සිට උත්සව කිරීම), ඇත්පොර, අශ්පොර, මියුපොර, ගොන්පොර, එළුපොර, බැටෙළුපොර, කුකුළුපොර, වටුපොර, පොලුහරඹ, මිටුයුද, මල්ලපොර, යුද පවත්නා තැන් දක්නට යෑම, බළසෙන් ගණිනා තැන් දක්නට යෑම යන මෙබඳු විසුළු දස්නෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයක් වේ.
 
24.යම්සේ වනාහී සමහර භවත් මහණබමුණෝ සදැහැයෙන් දුන් බොජුන් වළඳා, අටපාකෙළිය, දසපාකෙළිය, අහස්දූකෙළිය, මඩුලු පැනුම, සන්තිකාක්‍රිඩාව, දාදුකෙළිය, කල්ලි ගැසුම, සලාඅත්කෙළිය, ගුළකෙළිය, කොළ නළා පිඹුම, කෙළිනගුලින් හෑම, කරණම් ගැසුම, කන්නංගුරුවා කෙළිය, කොළ නැළියෙන් වැලි ඈ මැනුම, ක්‍රිඩාරථ පැදැවීම, කුඩා දුන්නෙන් විදීම, ඇකිරිකෙළිය, (පිටේ හෝ අහසේ අකුරු ඇඳ කියැවීම), සිතු දැය කීමේ ක්‍රීඩාව, විකලාංගානුකරණය (කනුන් කොරුන්  ආදීන් සේ ඉරියව් පැවැත්වීම.)  යන මෙබඳු වූ පමාවට කරුණු වූ දූ කෙළියෙහි යෙදී වෙසෙත් ද, හේ තෙමේ මේ හෝ මේ බඳු වූ පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදීමෙන් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ.
 
25.යම්සේ වනාහී ඇතැම් භවත් මහනබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, දික්සඟලා පුටුය, මහ කොඳුපලසය, වියමනෙන් විසිතුරු කළ එළුලොම්මුවා ඇතිරිය, දෙපැත්තේ ම ලොම් ඇති එළුලොම් ඇතිරිය, ගනමල් යෙදූ එළුලොම් ඇතිරිය. තිලිය(පුළුන් මෙත්තය), සිංහාදිරූපවලින් විසිතුරු කළ එළුලොම් ඇතිරිය, දෙපැත්තේ ම ලොම් ඇති එළුලොම් ඇතිරිය එක් පැත්තේ පමණක් ලොම් ඇති එළුලොම් මුවා ඇතිරිය, අසු පිටැ එලන ඇතිරිය, රිය එලන ඇතිරිය, ඇඳට සරලන සේ අදුන් දිවිසමින් මසා කළ ඇතිරිය, කෙහෙල්මුවසමින් කළ මහඟු පසතුරුණ, ඉස්දොර පාමුල රතු කොට්ට තබා ඇති රතු උඩුවියන් සහිත මහඟු යහන යන බෙමඳු වූ උස් යහන් මහ යහන් පරිහරණය කිරීමෙහි යෙදී වෙසෙද්ද, හේ තෙමේ මේ හෝ මේ බඳු වූ උස් යහන් මහ යහන් පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ.
 
26.යම්සේ වනාහි සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, සුවඳ සුණුයෙන් ඇඟ ඉලීම්, අත්පා ඇහි මනා සටහන් ගන්වනුවට තෙල් ගා මැඩීම, සුවඳ දියෙන් නෑවීම, උරහිසඈහි මස් වැඩෙනුවට මුඟුරින් තැළීම, කැඩපතින් මුහුණ බැලීම, අලංකාර වශයෙන් අඳුන් ගෑම, මල් පැලැඳීම හා විලෙවුන් දැරීම, මුවසුණු මුවවිළෙවුන් දැරීම, හස්තාභරණ දැරීම, හිසැ කුඩුම්බිය බැදීම, විසිතුරු සැරයටි දැරීම, විසිතුරු බෙහෙත්නළ දැරීම, කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නලල්පට බැඳීම, සිළුමිණ පැලැඳීම, විසිතුරු සෙමෙර විදුනා දැරීම, දික් දාවලු ඇති සුදු රෙදි හැදීම යන ආදී ඇඟ අඩු තැන් පිරවීමටත් ඇග සැරසීමටත්, කරුණු වන දෑ පරිභෝගකිරීමෙහි යෙදී වෙසෙත් ද, හේ මහණ තෙමේ මේ හෝ මේ බඳු දෑ පරිභෝග කිරීමෙන් වැළැක්කේ  වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
 
27.යම්සේ වනාහී සමහර භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, රාජකථා, චෝරකථා, මහාමත්‍ය කථා, සේනා කථා, භය කථා, යුද්ධ කථා, ආහාර කථා, පානකථා, වස්ත්‍රකථා, ශයනකථා, මාලා කථා, ගන්ධකථා, ඥාති කථා, යාන කථා, ග්‍රාම කථා, නිගම කථා, නගර කථා, ජනපද කථා, ස්ත්‍රී කථා, පුරුෂ කථා, කුමාර කථා, කුමාරී කථා, ශූර කථා, වීථි කථා, කුම්භස්ථාන කථා, නානාත්ව කථා, ලෝකාඛ්‍යායිකා කථා, සමුද්‍රාඛ්‍යායිකා කථා, ඉතිභවාභව කථා යන මේ බඳු වූ තිරශ්චින කථාවල යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ මෙයින් අන්‍ය වූ හෝ මේ බඳු කථාවලින් වැළැකකේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
 
28.යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “තෝ මේ දහම් විනය නො දනිහි. මම ම මේ දහම් විනය දනිමි. ‘මේ දහම් විනය කිමැය‘යි  තෝ දනිහි ද? තෝ වරදවා පිළිපන්නෙහි. මම් මැනවින් පිළිපන්නෙම් වෙමි. මා බස කරුණු සහිත ය. තා බස කරුණු රහිත ය. තෝ පලමුයෙන් කියැ යුත්ත පසු වැ කීයෙහි ය. පසු වැ කියැ යුත්ත පළමුයෙන් කීයෙහි ය. තා කලක් ම පුහුණු කළ දැය මගේ එක වචනයෙන් ම පෙරැළී ගියේ ය. මා විසින් තට දොස් නැගිණ. මා විසින් නිගන්නා ලද්දෙහි. මා නැගු දොසින් මිදෙන්නට හැසිරෙව (ඒ ඒ තැන ගොස් උගනුව). හැකි නම් එය විසඳව” යන ආදීන් මේ බඳු වූ උනුන් බැණ දොඩා ගැනුම්හි යෙදෙත් ද, ඒ මහණ තෙමේ මෙකී හෝ අන් මෙබඳු වූ හෝ බැණුම්දෙඩුම්වලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
 
29.යම්සේ සමහර භවත් මහණබමුණෝ “මෙහි යන්නැ, අසෝ තැනට එන්නැ, මෙය ගෙනැ යන්න, අසෝ තැනට මෙය ගෙනෙන්නැ” යි කළ නියෝග පිළිගෙන, රජුන්ගේ රජමහඇමතියන්ගේ ක්ෂත්‍රියයන්ගේ පණිවුඩ ගෙන යෑමෙහි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මේ කී හෝ අන් මේ වැනි වූ දූත මෙහෙවරින්, පණිවිඩ ගෙන යෑමෙන් වැළැක්කේ  වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ.
 
30.යම්සේ සමහර පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළදා, කුහකකම් කරන්නෝ වෙත් ද, ලාභසත්කාර පතා අනුන් සිත් ඇදෙන සේ වූ චාටු බස් දොඩන්නෝ වෙත් ද, සිවු පසය ලබනු සඳහා කයින් හෝ බසින් ඇඟැවීම් කරන්නෝ වෙත් ද, ලාභාපේක්ෂායෙන් අනුනට ගරහන්නෝ වෙත් ද, ලාභයෙන් ලාභය සොයන්නෝ වෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ මෙබඳු වූ හෝ කුහනලපනවලින් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ.
                        මධ්‍යමශීලය නිමියේ ය.
 
31.යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අංගශාස්ත්‍රය, නිමිත්තශාස්ත්‍රය, උත්පාතලක්ෂණය, ස්වප්නශාස්ත්‍රය, ලක්ෂණශාස්ත්‍රය, මූෂකච්ඡින්නවිද්‍යාව, අඟනිහෝමය, දර්වීහෝමය, තුෂහෝමය, කණහෝමය, තණ්ඩුලහෝමය, සර්පිෂ්හෝමය, තෛලහෝමය, මුඛහෝමය, ලෝහිතහෝමය, අංගවිද්‍යාව, වාස්තුවිද්‍යාව, ක්ෂාත්‍රවිද්‍යාව, ශිවවිද්‍යාව, භූතවිද්‍යාව, භූරිවිද්‍යාව, අහිවිද්‍යාව, විෂවිද්‍යාව, වෘශ්චිකවිද්‍යාව, මූෂකවිද්‍යාව, ශාකුනවිද්‍යාව, වායසවිද්‍යාව, පක්වධ්‍යානය, ශරපරිත්‍රාණය, මෘගපක්ෂය යන මෙකී හෝ මෙබඳු වූ හෝ තීරශ්චීනවිද්‍යායෙන්, මිත්‍යාජීවයෙන් දිවි පවත්වත්ද, ඒ මහණ තෙමේ එයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
 
32.යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මිණිලකුණුය, වත්ලකුණුය, දඬුලකුණුය, කඩුලකුණුය, ඊලකුණුය, දුනුලකුණුය, අවිලකුණුය, ඉතිරිලකුණුය, පුරිස්ලකුණුය, කුමරලකුණුය, කුමරිලකුණුය, දස් ලකුණු ය, දැසිලකුණුය, ඇත්ලකුණුය, අස් ලකුණුය, මියුලකුණුය, වහප්ලකුණුය, ගොන්ලකුණුය, එළුලකුණුය, බැටෙළුලකුණුය, කුකුළුලකුණුය, වටුලකුණුය, ගොය්ලකුණුය, කැණිලකුණුය, කසුබුලකුණුය, මුවලකුණුය, යන ආදී මෙබඳු තිරශ්චීන විද්‍යායෙන්,  මෙබඳු මිත්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ එයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
 
33.ම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “අසෝ දිනැ අසෝ නැකැතින් (යුද සඳහා) සිය නුවරින් අසෝ රජුන්ගේ නික්මීම වන්නේ ය, අසෝ නැකැතින් පෙරළා සිය නුවරට ඊම වන්නේ ය, අසෝ නැකතින් පිටතැ සිටින සතුරු රජුන් හමුවන්නට රට තුල සිටින සතුරු රජුන්ගේ යෑම වන්නේ ය, අසෝ නැකැතින් පිටතැ සිටින සතුරු රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය, අසෝ නැකතින් රට තුළැ සිටින රජුන් කරා පිටතැ සිටින සතුරු රජුන්ගේ පැමිණීම වන්නේ ය, අසෝ නැකතින් ඇතුළතැ සිටින රජුන්ගේ ඉවත් ව යෑම වන්නේ ය, රට ඇතුළතැ සිටන රජුනට ජය වන්නේ ය, පිටතැ සිටින සතුරු රජුනට ජය වන්නේ ය, රට තුළ සිටින රජුනට පරාජය වන්නේ යැ” යි මෙසේ ‘මොහුට ජය වන්නේ ය, මොහුට පරාජය වන්නේ යැ’යි කියමින් මේ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මෙබඳු වු මිත්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මේ මෙබඳු වූ තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
 
34.යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළදා “අසෝ දිනැ චන්ද්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සූර්‍යග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සඳ හිරු දෙදෙනා නිසි මඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ නකත් තරුන් නිසිමඟින් යෑම වන්නේ ය. අසෝ දින ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දින උල්කාපතනය වන්නේ ය. දිඟදාහය වන්නේ ය. භූමිකම්පනය වන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් වන්නේ ය. සඳහිරුන්ගේ ද, නකත් තරුන්ගේ ද, උදාව බැසීම කෙලෙසීම පිරිසිදුබව වන්නේ ය.චන්ද්‍රග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සුර්‍යග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නක්ෂත්‍රග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරුන් නිසි මඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරු දෙදෙනාගේ නොමඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නකත්තරුවල පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. ඔවුන්ගේ උප්පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. උල්කාපතනය මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය. දිඟදාහය මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය. භූමිකම්පනය මෙබදු පල ගෙන දෙන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් මෙබඳු පල දෙන්නේ ය. සඳහිරුන්ගේ ද නකත් තරුවලද උදාවත් බැසීමත් කෙළෙසීමත් පිරිසිදු වීමත් මෙ බඳු මේ බඳු පල දෙන්නේ යැ” යි කියනුවෝ මෙ බඳු තිරශ්චීන විද්‍යායෙන්, මෙ බඳු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහන තෙමේ මේ හෝ මෙ බඳු තිරශ්චින විද්‍යායෙන්, මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
 
35.යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “මේ සමයෙහි වැසි වස්නේ ය. මේ සමයෙහි නියං වන්නේ ය. මේ සමයෙහි රට සුභික්ෂ වන්නේ ය. මේ සමයෙහි රට දුර්භික්ෂ වන්නේ ය. මේ සමයෙහි රටට උවදුරු වන්නේ ය. මේ සමයෙහි රටට බිය වන්නේ ය. මේ කලැ රෝග වන්නේ, මෙ කලැ රෝග නැති බව වන්නේ යැ” යි පලාපල කීම ද, මුද්‍රාව(ඇඟිලි පුරුක්හී සංඥා තබා ගිණීම )ද, ගණනාව (එක දෙක යන ආදීන් ගිණීම) ද, කාව්‍යශාස්ත්‍රය, ලෝකායත ශාස්ත්‍රය යන මේ හෝ මේබඳු තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාආජිවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ අන් මෙ බඳු වු හෝ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
 
36.යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ආවාහ සඳහා නකත් කීම, විවාහ සඳහා නකත් කීම, වෙන් වූ අඹුසැමියන් එක් වන්නට නකත් කීම, අඹුසැමියන් වෙන් වන්නට නකත් කීම, දුන් ණය රැස් කිරීමට නකත් කීම, මුදල් ණයට පොලියට දීමට නකත් කීම, සෞභාග්‍ය ඇති වනුවට යන්ත්‍ර මන්ත්‍රාදිය කැරැ දීම, බිම් පාලු වන්නට හදි හූනියම් කිරීම, නැසෙන්නට යන දරු ගබ් රැකෙන්නට පිළියම් කිරීම, දිවගුලු බැඳිම, මන්ත්‍රාදියේ බලයෙන් හනු තද කිරීම, අත් පෙරැළෙන්නට මතුරු දැපීම, හනු පෙරැළෙන්නට මතුරු දැපීම, කන් අගුලු වැටෙන්නට මතුරු දැපීම, කැඩපතෙහි දේවතාවේශය කොට ප්‍රශ්න ඇසීම, කුමරියක ලවා පේන කියැවීම, දෙව්දැස්සක ලවා පේන කියැවීම, ජිවිකා පිණිස හිරු පිදීම, මහබඹු පිදීම, මතුරු දපා මුවින් ගිනිජල් විහිදුවීම, මතුරු දපා සිරිකත කැඳවීම, යන මේ හෝ අන් මේ බඳු  වූ තිරශ්චීනවිද්‍යයෙන්, මිථ්‍යාජීවයෙන් දිවිපවත්වත් ද, ඒ මහණ තෙමේ මේ ද, අන් මෙබඳු වූ ද තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
 
37.යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ශාන්තිකර්ම, ප්‍රණිධිකර්ම, භූරිකර්ම, පණ්ඩකයා පිරිමියෙකු කිරීම, පිරිමියා පණ්ඩකයෙකු කිරීම, වාස්තුකර්ම, වාස්තු පරිකිරණ, මතුරු දපා මුව දෙවුම, මතුරු දපා අනුන් නෑවිම, සෙත් පතා ගිනිපිදීම, ගිහියනට වමන කරවීම, බඩ විරේක කරවීම, ළය විරේකයට බේත් දීම, වස්ති කිරීම, ශිර්ෂවිරේචන බේත් දීම, කන් ලෙඩට තෙල් පිසැදීම, ගිහියන් සඳහා ඇස පටලයට සිහිල ගන්වන නෙත් තෙල් පිසීම, ගිහියනට නස්‍ය දීම, කාරම් අඳුන් සාදා දීම,  ඇස සිසිල ගන්වන අඳුන් සාදා දීම, ගිහියන්ගේ ඇසැ උල්ඇන ලෙඩට පිළියම් කිරීම, මුල් බෙහෙත් දීම( කාය චිකිත්සාව) , කාරම් බේත් බැඳ වණ සුව වූ පසු ඒවා ගවා දැමීම යැ” යි මේ ආදී වූ හෝ මෙබඳු වූ තිර්ශචීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන්, දිවි පවත් වත් ද, ඒ මහණ තෙමේ ඒ සියල්ලෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශිලයෙක් වේ.
 
38.මහරජාණෙනි, ඒ මහණ තෙමේ මෙසේ ශීලසම්පන්න වූයේ ශීලසංවරහෙතුයෙන් කිසිම එක ද අසංවරතායෙකින් පහළ වියැ හැකි බියක් නො දකී. මහරජාණෙනි, කෂ්ත්‍රියාභිෂේකයෙන් අභිෂේක ලත්, වැනසූ සතුරන් ඇති ක්ෂ්ත්‍රියයෙක් කිසි ම එකද සතුරෙකුගෙන් වියැ හැකි කිසිදු බියකුත් යම්සේ නොදක්නේ ද, මහරජාණෙනි, එසේ ම මහණ තෙමේ මේ පරිද්දෙන් ශීලසම්පන්න වූයේ ශීලසංවරහේතුයෙන් කිසිම එක ද අසංවරයෙකින් ඉපැදිය හැකි බියක් නොදකී.  හේ මේ ආර්‍ය ශීලස්ඛන්ධයෙන් සමන්විත වූයේ, සිය සතන්හි නිදොස් වූ කායික චෛතසික සුවය විඳී. මහරජ, මෙසේ වනාහී මහණ තෙමේ ශීලසම්පන්න වේ.
 
39.මහරජාණෙනි, මහණ තෙමේ කෙසේ නම් ඉඳුරන්හී වැසූ දොර ඇත්තේ වේ ද? යත්: මහරජාණෙනි, මේ  සස්නෙහි මහණ තෙමේ ඇසින් රූපයක් දැක ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශූභාදිවශයෙන් අත් පා ආදී අවයවයන්ගේ ආකාර සිතට නොගන්නේ වේ. යම් කරුණෙකින් චක්ෂුරින්ද්‍රිය වසා නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ චක්ෂුරින්ද්‍රියයාගේ ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ චක්ෂුරින්ද්‍රියය රකී. ඒ චක්ෂුරින්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
කනින් හඬ අසා ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශූභාදිවශයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් සෝතඉන්ද්‍රිය වසා නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ සෝතඉන්ද්‍රියයාගේ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ සෝතඉන්ද්‍රිය රකී. ඒ සෝතඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
නාසායෙන් ගඳ ආඝ්‍රාණය කොට ශුභාදීවශයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදීවශයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් ඝාණඉන්ද්‍රිය වසා නොගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද) එහි (ඒ ඝාණඉන්ද්‍රියයාගේ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ ඝාණඉන්ද්‍රියය රකී. ඒ ඝාණඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
දිවෙන් රස ආස්වාද කොට ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදීවසයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් ජිව්හින්ද්‍රිය වසා නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ ජිව්හින්ද්‍රියයාගේ ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ ජිව්හින්ද්‍රියය රකී. ඒ ජිව්හින්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
කයින් ස්ප්‍රෂ්ටව්‍යය (ඇඟට හැපෙන දෑ) ස්පර්ශ කොට ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදීවසයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් කායින්ද්‍රිය වසා  නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ කායින්ද්‍රියයාගේ ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ කායින්ද්‍රියය රකී. ඒ කායින්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
සිතින් ධර්මාලම්බන දැන, ශුභාදී වසයෙන් එහි ලකුණු ගන්නේ නො වේ. ශුභාදීවසයෙන් ආකාර ගන්නේ නො වේ. යම් ආකාරයෙන් මනින්ද්‍රිය සංවර කර නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ මනින්ද්‍රියයාගේ ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ මනින්ද්‍රියය රකී. ඒ මනින්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
හේ මේ ආර්‍ය වූ ඉන්ද්‍රියසංවරයෙන් සමන්විත වූයේ සිය සතන්හි අව්‍යාසේක සුඛය (කෙලෙසුන් ගෙන් තෙත් නොවීමෙන් වූ පිරිසිදු අධිචිත්ත සුඛය) විඳී. මහරජාණෙනි,  මෙසේ වනාහී මහණ තෙමේ ඉන්ද්‍රියයන්හී වැසූ දොර ඇත්තේ වේ.
 
40.මහරජාණෙනි, මහණ තෙමේ කෙසේ නම් ස්මෘතිසම්ප්‍රජානනයෙන් (සිහිනුවණින්) සමන්විත වේ ද? යත්:
මහරජාණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි (ආපසු හැරීමෙහි) මනා නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. ඉදිරි බැලීමෙහි, අනුදික් බැලීමෙහි, (වටපිට බැලීමෙහි) මනා නුවණින් දැනම (එය) කරනුයේ වෙයි. අත් පා ආදිය හැකිලීමෙහි, දිගු කිරීමෙහි නුවණීන් දැන ම (එය) කරනුයේ වෙයි.  සඟළසිවුර ද පාත්‍රය ද සෙසු සිවුරු ද දැරීමෙහි නුවණින් දැන ම කරන්නේ වෙයි. ආහාර ගැන්මෙහි, පැන් පීමෙහි, පිටි කැවිලි ආදිය කෑමෙහි, මී ආදිය රස විඳීමෙහි, නුවණීන් දැන ම කරනුයේ වෙයි. මල මූ පහ කිරීමෙහි නුවණීන් දැන ම කරනුයේ වෙයි. ගමනෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි කථා කිරීමෙහි, නො බිණීමෙහි නුවණින් දැන කරනුයේ වෙයි. මහරජාණෙනි, මෙසේ වනාහී මහණ තෙමේ සිහි නුවණින් සමන්විත වෙයි.
 
41.මහජරාණෙනි, කෙසේ නම් මහණ තෙමේ ලද පමණෙහි සතුටු වේද ? යත්:
මහරජාණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට නික් මැ යේ ද, අට පිරිකර පමණක් ගෙන ම නික්මෙයි. මහරජාණෙනි, (පියා හඹනුවට තරම්) අත්තටු ඇති කුරුලු තෙමේ යම් යම් තැනක පියා හඹා යේ නම්, පියාපත්බර සහිත ව ම යම් සේ පියාහඹා යේ ද, එසේ ම, මහරජාණෙනි, ඒ මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට යේ ද පා සිවුරු (ආදී අට පිරිකර පමණක්) රැගෙන ම යෙයි. මහරජාණනි, මෙසේ වනාහි තෙමේ ලද පසයෙහි සතුටු වේ.
 
42.මහරජාණෙනි, ඒ මහණ තෙමේ මේ ආර්‍ය ශීලස්ඛන්ධයෙන් ද සමන්විත වූයේ, මේ ආර්‍ය ඉන්ද්‍රියසංවරයෙන් ද සමන්විත වූයේ, මේ ආර්‍ය ස්මෘතිසම්ප්‍රජන්නයෙන් ද සමන්විත වූයේ, මේ ආර්‍ය සන්තුෂ්ටියෙන් ද සමන්විත වූයේ, අරණ්‍ය වෘක්ෂමූල පර්වත කඳුරැලි ගිරිගුහා සොහොන් වනපෙත් (වනප්‍රස්ථ) අභ්‍යවකාශ (එළිමහන්) පිදුරුලෙන් යන මෙ කී ජනශූන්‍ය කිසි සෙනස්නක් භජනය කෙරෙයි. හේ පිඬු  සෙවීමෙන් පෙරළා ආයේ, පසුබත් සෙමෙහි, පලක් බැඳ උඩු කය කෙළින් පිහිටුවා, කමටහනට අභිමුඛ කොට සිහිය එළවා හිඳී.
 
43.හේ ලොවැ (පඤ්ච උපාදානස්කන්ධය කෙරෙහි) ඇල් ම හැර, විෂ්කම්භණප්‍රහාණයෙන් (යට පත් කිරීමෙන්) පහ වූ අභිජඣායෙන් යුත් සිතින් වෙසෙයි.  අභිජ්ඣාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාදප්‍රද්වේෂය (ක්‍රෝධය) හැර, ව්‍යාපාද රහිත සිතැත්තේ, සියලු පණ ඇති සතුන් කෙරේ හිතානුකම්පා ඇති වැ වෙසෙයි. ක්‍රෝධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය  හැර, පහ වූ ස්ත්‍යානමිද්ධය ඇත්තේ දිව රෑ දෙක්හි ම දුටු එළිය හඳුනනු හැකි පිරිසිදු සංඥාව ඇත්තේ, සිහියෙනුත් නුවණිනුත් යුක්ත වූයේ වෙසෙයි. ස්ත්‍යානමිද්ධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. උදහසත් (සිතැ නොසංහුන් බවත්) කුකුසත්(කළ නො කළ දැයෙහි පසුතැවිල්ලත්) සිතින් දුරැ ලා, අනුද්ධත වැ (නොසංහුන් බැවින් තොර වැ) සංසිඳුනු ස්වකීය චිත්තසන්තානය ඇත්තේ, උදහස් කුකුස් දෙක කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. සැකය දුරැ ලා, පහ වූ සැක ඇත්තේ, කුසල් දහම්හි සැක  නො කරනුයේ, සැකය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.
 
44.යම්සේ පුරුෂයෙක් (පොලියට)ණය මුදලක් ගෙනැ කර්මාන්ත කරන්නේ ද, ඔහුගේ ඒ කර්මාන්ත සමෘද්ධ වන්නේ නම්, හේ යම් පරණ ණය මුදල් වී නම්, ඒ සියල්ල ගෙවා අවසන් කරන්නේ ද, මත්තෙහි ඉතිරි වූ යමක් ඇත් නම් එය අඹුදරුවන් රක්නා පිණිස වන්නේ ද, එසේ වූ ඔහුට “මම් පලමුයෙන් ණයට මුදල් ගෙන කර්මාන්ත කළෙමි. ඒ මගේ කර්මාන්ත සමෘද්ධ විය. ඒ මම්, යම් පරණ ණය මුදල් වී නම් එය ගෙවා අවසන් කෙළෙමි. අඹුදරුවන් රක්නට වැඩිපුර ඉතිරි වූ මුදලෙක් ද මට ඇතැ” යි. මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ ණයනැතිබව කරණ කොට ගෙන සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද-
 
45.මහරජාණෙනි, යම් සේ පුරුෂයෙක් රෝගී වූයේ, දුකට පැමිණියේ, දැඩි ලෙස ගිලන් වන්නේ ද, ඔහුට බතුත් නො රිසියෙන්නේ ද, ඔහුගේ ඇඟපත ශක්ති පමණකුත් නො වන්නේ ද, හේ මෑත කාලයෙහි ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට බතුත් රිසියේ නම්, ඔහු ඇඟපත ශක්තිය ද වන්නේ නම්, “මම් වූ කලී පෙරැ දුකට පත්, දැඩිව ගිලන් බව් ඇති ලෙඩෙක් වීමි. මට ආහාර ද රිසි නොවී ය. මා ඇඟපත ශක්තිය ද නො වී ය. ඒ මම් දැන් ඒ ලෙඩින් මිදුනෙම් වෙමි. ඒ මට ආහර ද රිසියෙයි. මා ඇඟ පත ශක්තිය ද ඇතැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ නම්, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
 
46.මහරජාණෙනි, යම් සේ පුරුෂයෙක් හිර ගෙහි බැඳුණේ වන්නේ ද, හේ පසු කලෙක ධනය වියදම් නො කොට පහසුවෙන් ඒ හිර ගෙන් මිදෙන්නේ ද, (ඒ හේතුයෙන්) ඔහුගේ කිසි භෝග විනාශයෙක් නො වන්නේ ද, “මම් වූ කලී පෙරැ හිර ගෙහි බැඳුණෙම් වීමි. ඒ මම් දැන් ධන වියදම් නො කොට පහසුවෙන් ඒ හිර ගෙන් මිදුණෙම් වෙමි. මගේ භෝගයනට කිසි විනාශයෙක් ද නැතැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
 
47.මහරජාණෙනි, යම්සේ තමා අයත් පැවැතුම් නැති, අනුන් අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යන්නට අවසර නැති දාස පුරුෂයෙක් වන්නේ ද, හේ මෑත භාගයෙහි තමා අයත් පැවැතුම් ඇතියේ, පරා අයත් පැවැතුම් නැත්තේ, නිදහස් වූයේ , කැමැති අතෙක යා හැකි වූයේ ඒ දාසභාවයෙන් මිදෙන්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලී පෙරැ තමා අයත් පැවැතුම් නැති, පරා අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යා නොහැකි නොහැකි දාසයෙක් විමී. ඒ මම් දැන් ඒ දාසභාවයෙන් මිදුණෙම්, මා අයත්. පැවැතුම් ඇතියෙම්, පරා අයත් පැවැතුම් නැතියෙම්, නිදහස් වූයෙම් කැමැති අතෙක යා හැකියෙම් වෙමි” යි මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද-
 
48.මහරජාණෙනි, යම්සේ ධනවත් වූ භෝගසම්පත් ඇති පුරුෂයෙක් දුර්ලභ වූ ආහාර ඇති, උවදුරු ඇති, දිය නැති දික් කතරමඟකට බස්නේ ද, හේ පසු කෙලක සුවසේ ඒ නිරුදක පෙදෙස ඉක් මැ යන්නේ ද, උවදුරු නැති විපත් නැති ගම්මානයකට බස්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලී පෙර ධන ඇතියෙම්, භෝග සම්පත් ඇතියෙම්, දිය නැති, ආහාර දුර්ලභ, ප්‍රතිභය සහිත දික් මඟකට බටුයෙමි. ඒ මම් දැන් සුවසේ ඒ කාන්තාරය තරණය කෙළමි. නිරුපද්‍රැත භය රහිත ගමකට පැමිණෙයෙම් වෙමි” යි සිතෙක් වන්නේ ද, හේ ඒ කරුනින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද-
 
49.  මහරජාණෙනි, එසේ ම මහණ තෙමේ ණයක් මෙන් ලෙඩක් මෙන් හිරගෙයක් මෙන් වහල් බවක් මෙන් දිය නැති දික් මඟක් මෙන් (පිළිවෙලින්) මේ පහ නොවූ නීවරණ පස තමා කෙරෙහි දකී. මහරජ ණය නැති බව යම්සේද, ලෙඩ නැති බව යම්සේ ද, උවදුරු නැති බිම යම්සේ ද, එසේම (පිළිවෙලින්) මේ පහ වූ නිරවණ පස(හෙවත් නීවරණ පසේ දුරු වීම) තමා කෙරෙහි දකී.
          තමා කෙරෙහි මේ නීවරණ පස නැසුණවුන් දක්නා ඔහුට සතුට උපදී. සතුටු වුවහට ප්‍රීතිය උපදී. ප්‍රීත සිතැත්තහුගේ කය සංසිඳෙයි. සංසුන් කයැත්තේ සුව විඳී. සුවැත්තහු ගේ සිත එකඟ වේ.
 
50.හේ කාමයන්ගෙන් වෙන්වැ ම සෙසු අකුසල් දහමුන් ගෙන් (ද) වෙන් වැ ම, විතර්‍ක සහිත විචාර සහිත, විවේකයෙන් උපන්, ප්‍රීතියත් සුවයත් ඇති පළමු දහන් ලැබැ වෙසේ. හේ මේ කයම විවෙකයෙන් උපන් ප්‍රීති සුවයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරා ලයි, හාත්පසින් ස්පර්‍ශ කෙරෙයි.  ඔහුගේ සියලු අඟ පසඟින් යුත් මුළුකයෙහි විවේකජ ප්‍රීති සුවය පැතිරැ වැදැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
          ඇවැත්නි, යම් සේ සමත් කිලිඟෙක් හෝ කිලිඟකුගේ අතවැස්සෙක් හෝ ලොහොතලියෙක නානසුණු බහා දිය ඉස ඉස පිඬු කරන්නේ ද, ඒ නානසුණු පිඬ කා වැදූණු දිය ඇත්තේ හැම තැනම දියෙන් යුක්ත වුයේ, ඇතුළතත් පිටතත් සහිත වැ හැම තැනම දියෙන් පැතිරැ ගියේ, දියත් නො වගුරුවන්නේ වේ ද,
          ඇවැත්නි, එසේ ම මහණ තෙමේ මේ කරජ කයම විවේකජ ප්‍රීතිසුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරා ලයි හාත්පසින් ස්පර්‍ශ කෙරෙයි. සියලු අඟ පසඟ ඇති ඔහුගේ මුළුකයෙහි විවේකජ ප්‍රීතිසුඛයෙන් පැතිරැ වැදැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
          ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ‘ඒ ම ජීව යැ ඒ මැ ශරීරයැ. යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ. යී හෝ ඔහු විසින් කියන්නට යුතු දැ?, යි මම ඇසීමි.
          “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ‘ජීවයත් ශරීරයත් එකක් මැ යැ. යි හෝ ‘ඒ වෙන වෙන දෙකෙකැ. යී හෝ කියනු ඔහුට යුතු යැ?, යි (දෙ පැවිද්දෝ කීහ.)
          ඇවැත්නි, මම වු කලී මෙසේ දනිමි මෙසේ දකිමි. එහෙත් මම් ‘හේ ම ජීව යැ, හේ ම ශරීර යැ. යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ. යී හෝ නොකියමි යී (මම කීමි.)
 
51.ඇවැත්නි, තව ද මහණ තෙමේ විතර්‍ක විචාර සංහිඳීමෙන් සිය සතන්හි උපන්, සිය සතන් පහද වන සිත එකඟ බව ඇති, විතර්‍කය නැති විචාරය නැති, සමාධියෙන් උපන් ප්‍රීතියත් සුවයත් ඇති, දෙවෙනි දහමට පැමිනැ වෙසෙයි. හේ මේ කරජ කයම සමාධියෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි. හාත්පසින් තෙමයි, පුරා ලයි. හැම තැනම ස්පර්‍ශ කෙරෙයි. ඔහු කයැ විවෙකජ ප්‍රීතිසුඛයෙන් පැතිරැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
 
52.මහරජ, යම් සේ යටැ උල්පතින් මතු වන දිය ඇති ගැඹුරු විලෙක් වේද , එයට පෙර දිගින් දිය ඇතුළු වන මඟෙක් නො වන්නේ ද, දකුණු දෙසින් දිය ඇතුළු වන මඟෙක් නොවන්නේ ද, පැසිම් දිගින් ද දිය ඇතුළු වන මඟෙක් නොවන්නේ ද, උතුරු දෙසින් ද දිය වැද ගන්නා මඟෙක් නොවන්නේ ද, වැස්ස ද, කලින් කලැ සුදුසු පරිදි නො වසින්නේ ද, එතෙකුදු වුවත් ඒ විලෙන් සිහිල් දියදහර මතු වී  ඒ විලම සිහිල් දියෙන් තෙමන්නේ ද, හැම පරිදි තෙමන්නේ ද, පුරා ලන්නේ ද, හැම තැනම වැද ගෙන පැතිර සිටින්නේ ද, ඒ මුළු විලෙහි සිසිල් දිය පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො මැත් ද-
මහරජ, එසේ ම මහණ තෙමේ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීති සුවයෙන් තෙමයි, හැම තැන ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම පැතිරැ වැද ගනී. ඔහුගේ ඒ සියලු කයේ සමාධියෙන් උපන් ප්‍රීති සුවය පැතිර වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
 
53.තවද ඇවැත්නි, මහණ තෙමේ ප්‍රීතියෙන් ද සංහිඳීමෙන් උපෙක්‍ෂායෙන් ද යුතු වැ, සිහියෙන් හා නුවණින් හා යුතු වැ වෙසෙයි. සුවය ද කයින් විඳී. ආර්‍යයෝ යම් ධ්‍යානයක් හෙතු කොට ගෙන ධ්‍යානලාභියා ඇරැබැ ‘උපෙක්‍ෂාව ඇත්තේය, සිහි ඇත්තේය, සුඛ විහරණ ඇත්තේ යැ.යි කියත් ද, හේ එසේ වු ඒ තෙවෙනි දහනට පැම්ණැ වෙසෙයි. හේ මේ කයම නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමයි. මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරාලයි, හැම තැනම ස්පර්‍ශ කෙරෙයි, ඔහුගේ කයෙහි ඒ නිෂ්ප්‍රීතික සුඛයෙන් පැතිරැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
 
 54.මහරජ, යම්සේ උපුල් විලෙක හෝ පියුම් විලෙක හෝ පඬෙර විලෙක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ පඬෙර හෝ දියෙහි උපන්නේ දියෙහි වැඩුණේ, දියෙන් නොනැගුණේ, දිය තුළෑම ගිලී වැඩුනුයේ ද, ඒ හැම අග දක්වාත් මුල් දක්වාත් සිහිල් දියෙන් තෙමුණේ, හැමපරිදි තෙත් වූයේ, පිරී ගියේ, හැම තැන් ම පැතිරැ වැද ගත්තේ වේ ද, ඒ විලෙහි සියලු උපුල්වල හෝ පියුම්වලැ හෝ පඬෙරවලැ හෝ සිසිල් දිය පැතිරැ නොගත් තැනෙක් නො වන්නේ ද-
මහරජ, එසේ ම මහණ තෙමේ මේ කය ම නිශ්ප්‍රීතික සුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි. පුරා ලයි, හැමපරිදි පැතිරැ වැද ගනී. ඔහුගේ සියලු කයෙහි නිෂ්ප්‍රීතික සුඛයෙන් පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
          ඇවැත්නි, යමෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ‘ජීවයත් හේ ම යැ ශරීරයත් හේ මැ යැ. යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ.යී හෝ ඔහු විසින් කියන්නට යුතු වේ දැ?, යි [මම ඇසීමි.]
          “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දන්නේ නම්, මෙසේ දක්නේ නම්, ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ.යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ. යී හෝ කියන්නට ඔහුට යුතු යැ?, යි [දෙ පිරිවැජියො කීහ.]
          ඇවැත්නි, මම වු කලී මෙසේ දනිමි, මෙසේ දකිමි. එහෙත් මම් ‘ජීවයත් හේ ම ය, ශරීරයත් හේ මැ යැ. යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ. යී හෝ නොකියමි.
 
55.තච ද ඇවැත්නි, මහණ තෙම  සුඛ වේදනාව ද දූක් වේදනාව ද දූරැ ලීමෙන්, පළමු කොට ම සොම්නස් දොම්නස් දෙක පහ වීමෙන්, දූක් නොවු සුඛ ද නොවු, උපේක්‍ෂාස්මෘතියෙන් පිරිසිදූ වු සිවු වන දහන ලැබැ වෙසෙයි. හේ මේ කයම පිරිසිදූ පබසර සිතින් පැතිරැ ගෙන හුන්නේ වෙයි. ඔහු සියලු කයැ පිරිසිදූ පබසර සිතින් නොපහස්නා ලද කිසි ද තැනෙක් නො වෙයි.
ඇවැත්නි, යම්සේ පුරුෂයෙක් සුදූ වතින් හිස ඇතුළු මුළු කයම වසා ගෙන හුන්නේ වේ නම්, ඔහු මුළු කයෙහි සුදූ වතින් වැද නොගත් (නොවැසුනු) කිසි ද තැනෙක් නො වන්නේ ද, ඇවැත්නි, එසේ ම මහණතෙම මේ කය ම පිරිසිදූ පබසර සිතින් පැතිරැ ගෙන ගෙන හුන්නේ වෙයි.  ඔහු මුළු කය පිරිසිදූ පබසර සිතින් නොපහස්නා ලද කිසි ද තැනෙක් නො වෙයි.
ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ‘ජීවයත් හේ මැ යැ ශරීරයත් හේ මැ. යැ යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ.යී හෝ මෙය් කියන්නට ඔහුට යුතු දැ? යි [මම ඇසීමි.]
          “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ.යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ. යී හෝ මෙය කියන්නට ඔහුට යුතු යැ?, යී [දෙ පිරිවැජියො කීහ.]
          ඇවැත්නි, මම වු කලී මෙසේ දනිමි, මෙසේ දකිමි. එතෙකුදූ වුවත් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ. යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ. යී හෝ මම නොකියමි යී (මම් කීමි.)
 
56.ඇවැත්නි, තව ද ඒ මහණ තෙම මෙසේ සමාධිගත කල්හි, පිරිසිදූ වු කල්හි, දීප්තිමත් වු කල්හි, කිලිටි පහ වැ ගිය කල්හි, පහවු චිත්තෝපක්ලේශ ඇති කල්හි, මොලොක්වු කල්හි, විදර්‍ශනාභාවනාවට යෝග්‍ය වු කල්හි, ස්ථිත කල්හි, නිසලබවට පැමිණි කල්හි, විවසුන්නුවණ පිණිස සිත අභිමුඛ කෙරෙයි. එය අතට නමා හරී. හෙතෙම ‘මගේ මේ කය වු කලී රූපවත් ය. සිවු මහාභුතයන්ගෙන් සැදූනේ ය. මාපියන්ගේ ශුක්‍රශොණිතයෙන් උපන්නේ ය. බත් කොමු ඈ අහරින් වැඩුනේ ය. අනිස බව ද, දූගඳ හරනුවට සුවඳවිලෙවුන් ඉලියැ යුතු බව ද, ලෙඩ දූරැලනුවට පිරිමැදූම් ඈ කළ යුතු බව ද, එසේ කළ ද බිඳෙන බව ද, විසිරෙන බව ද යන මේ දෑ ස්වභාවය කොටැත්තේ ය. මගේ මේ සිත ද මෙහි ලැඟගේ ය. මෙහි බැඳුනේ යැ.යි මෙසේ දැන ගනී. මහරජ, යම්සේ සොඳුරු වූ, පිරිසිදු ආකරයෙක පහළ වූ ඇටැස් වූ මොනවට පිරයම් කළ, සියුම් වූ වෙසෙසින් පහන් වූ, පිවිතුරු වූ, ධෝවනාදී සියලු අකාරයෙන් යුත් වෙරළුමිණෙක් වන්නේ ද, එහි නිල් වූ හෝ රන්වන් වූ හෝ රත්වන් හෝ සුදුවන් හෝ පඬුවන් හෝ හුයෙක් අමුනන ලද්දේ වන්නේ ද, එය ඇස් ඇති පුරුෂයෙක් අතෙහි කොට “මේ වූ කලි සොඳුරු වූ, පිරිසිදු ආකරයෙහි උපන් ඇටැස් වූ මොනවට පිරියම් කැරුණු, සියුම් වූ, වෙසෙසින් පහන් වූ, පිවිතුරු වූ, සියලු ධෝවනාදී ආකාරයෙන් සම්පූර්ණ වූ වෙරළු මිණෙක. මෙහි නිල් වූ හෝ රන්වන් වූ හෝ රත්වන් වූ හෝ සුදුවන් වූ හෝ යම් හුයෙක් අවුනන ලදුයේ වේ යැ”යි සලකා බලන්නේ ද-
මහරජ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාධිගත සිත පිරිසිදු වූ ක්ලහී දීප්තිමත් වූ කල්හී, කෙලෙස් යටපත් වූ ක්ල්හී, උපක්ලේශයන් පහ වූ කල්හී මෘදු වූ කල්හී, කර්මණ්‍ය වූ කල්හී සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හි, විදර්ශනාඥානය පිණිස සිත අභිමුඛ කෙරෙයි, එය අතට නමා හරියි. හෙ තෙම “මගේ මේ කය වූ කලී රූපී ය, සතර මහාභූතයන්ගෙන් හැදුණේ ය, මාපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් නිපන්නේ ය, බත් කොමු ආදී අහරින් වැඩුණේ ය, අනිසි බව ද, දුගඳ හරනට සුවඳ විලෙවුන් ඉළියැ යුතු බව ද ලෙඩ දුරැලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද ඒ කළත් බිඳෙන බව ද විසිරෙන බවද යන මේ දෑ ස්වභාව කොටැත්තේ ය. මගේ මේ සිත ද මෙහි ලැග ගත්තේ ය, මෙහි බැඳුණේ යැ”යි මෙසේ දැන ගනී.
ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දන්නේ නම්, මෙසේ දක්නේ නම්, ‘එය ම ජීවයැ, එය ම ශරීර යැ. යි හෝ ‘අනෙකෙක් ජීවයැ, අනෙකෙක් ශරීර යැ.යී හෝ මෙය කියන්නට ඔහුට යුතු දැ? යි [මම් ඇසීමි.]
          “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ. යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ. යී හෝ මෙය කියන්නට යුතු යැ?, යී දෙපිරිවැජියෝ  කීහ.]
          ඇවැත්නි, මම වු කලී මෙය දනිමි, මෙය දකිමි. එහෙත් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ. යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ. යී හෝ නොකියමි.
 
57.ඇවැත්නි, තව ද මහණ තෙම මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වු කල්හී, දීප්තිමත් කල්හී, කෙලෙස් නොමැති වූ කල්හී, උපක්ලේශ පහ වූ කල්හී, මෘදු වූ කල්හී, කර්මණ්‍ය වූ (සෘද්ධි ඉපදීවීමට යෝග්‍ය වූ) කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හී මනෝමය ශරීරයක් මවා පානු පිණිස සිත යොමු කෙරෙයි.  නැඹුරු කෙරෙයි. හේ මේ සිරුරෙන් රූපී වු, සියලු අඟපසඟින් යුත්, විකල නොවූ ඉඳුරන් ඇති මනෝමය ශරීරයක් මවා පායි.
මහරජ, යම්සේ පුරුෂයෙක් මුදුතණ ගසෙකින් තණකූර(තණබඩය)ඇද මෑත් කරන්නේ ද, ඔහුට “මේ මුදුතණගස ය, මේ එහි තණ බඩ ය, තණ ගස එකෙකි, එහි බඩය අනෙකෙකි. මුදු තණ කෙරෙන් ම එහි කූර (බඩය) මෑත් කරන ලද්දේ යැ”යි මෙසේ සිතෙක් වන්නේ ද,
මහරජ, යම්සේ වනාහී පුරුෂයෙක් කඩුවක් කොපුවෙන් ඇද මෑත් කරන්නේ ද,  ඔහුට “ මේ කඩුවය, මේ කොපුව ය, කඩුව එකෙක, කොපුව අනෙකක, කොපුයෙන් ම කඩුව ඇද මෑත් කරන ලද්දේ යැ” යි මෙසේ සිතෙක් වන්නේ ද,
මහරජ, යම්සේ වනාහී පුරුෂයෙක් නයකු සැවයෙන් ඇද වෙන කරන්නේ ද, ඔහුට “මේ නායා ය, මේ සැවය ය. නයා එකෙක, සැවය අනෙකක. සැවය කෙරෙන් ම නයා ඇද වෙන් කරන ලද්දේ යැ”යි මෙසේ සිතෙක් වන්නේ ද,
මහරජ එපරිද්දෙන්ම මහණ තෙමේ මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හී, දීප්තිමත් වූ කල්හී කෙලෙස් රහිත වූ කල්හී, උපක්ලේශයන් පහ වැ ගිය කල්හී, කර්මණ්‍ය වූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පත් කල්හී, මනෝමය ශරීරයක් මවා පානු පිණිස සිත යොමු කෙරෙයි, නුඹුරු කෙරෙයි. හේ මේ ශරීරයෙන් රූපී වූ මනෝමය වූ සියලු  අඟපසඟින් යුක්ත වූ අවිකල ඉඳුරන් ඇති අන් සිරුරක් මවා පායි.
ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ. යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ.යි හෝ මෙය කියන්නට යුතු දැ? යි [මම් ඇසීමි.]
          “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ. යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ. යී හෝ කියන්නට යුතු යැ?, යී දෙපිරිවැජියෝ  කීහ.]
          ඇවැත්නි, මම වු කලී මෙය දනිමි, මෙය දකිමි. එහෙත් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ.යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ.යි හෝ නොකියමි.
 
58.ඇවැත්නි, තව ද මහණ තෙම මෙසේ සමාහිත වූ සිත පිරිසිදු කල්හි, දීප්තිමත් වූ කල්හි කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්මණය වූ (=සෘද්ධියට යෝග්‍ය වු) කල්හී, සිටි කල්හී, නිශ්චලත්වයට පැමිණි කල්හී, සෘද්ධිවිධඥාණය පිණිස (අභිඥාපාදක) පරිකර්ම සිත මෙහෙයයි, නැඹුරු කෙරෙයි. හේ අනේකවිධ වූ සෘද්ධිවිධය (සෘද්ධි කොට්ටාසය) නැවත නැවත අනුභව කෙරෙයි. (හෙවත් නාම කයින් ස්පර්ශ කෙරෙයි, ප්‍රත්‍යක්ෂ කෙරෙයි ලබයි.) පියෙවියෙන් එකෙක් වැ සිටැ ද (සෘද්ධිබලයෙන්) බහු ප්‍රකාර ද වි යලිදු එකෙක් වෙයි. තමාගේ ප්‍රකට බව කෙරෙයි (පෙනීසිටී) අප්‍රකට බව කෙරෙයි. (=නොපෙනී සිටියි) බිත්තියේ පිටතට, පවුරෙන් පිටතට, පර්වතයෙන් පිටතට අහසෙහි මෙන් කිසිවෙක නොගැටෙනුයේ මැදින් විනිවිද ගෙන යෙයි. දියෙහි මෙන් පොළොවෙහි ද යටට බැසීම(=ගිලී) උඩට නැගීම (=මතුවීම) කෙරෙයි. නො බිඳෙන (යට නො බස්නා) දියෙහි පොළොවෙහි සේ යෙයි. පක්ෂ ඇති සකුණයෙකු මෙන් අහසෙහි ද පළඟින් (=ඌරුබද්ධාසනයෙන්)යෙයි. මේ සා මහර්ද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා ද, අතින් පරාමර්ශනය කෙරෙයි(=අල්ලයි) (ඔබමොබ අත යවා) පිරිමදියි. බඹලොව තෙක් ද (සියල්ල) කයින් වශයෙහි පවත්ව යි.
59.     මහරජ, යම්සේ දක්ෂ කුඹලෙක් හෝ කුඹලක්හුගේ අතැවැස්සෙක් හෝ මොනවට පිරියම් කළ (=සකස් කළ) මැට්ටෙන් යම් යම් භාජන විශේෂයක් කැමැත්තේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද, මොනවට නිපදවන්නේ ද-
මහරජ යම්සේ දක්ෂ දන්තකාරයෙක් (ඇත්දත් ආදීයෙන් විසිතුරු කම් කරන්නෙක්) හෝ දන්තකාරයකුගේ අතැවැස්සෙක් හෝ මොනවට පිරියම් කළ (=දොස් ඉවත් කොට මොනවට සකස් කළ)දතෙක්හි යම් යම් දන්තවිකෘතියත් (දතෙහි කළ විසිතුරු රූපාදියක්) කැමැති වන්නේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද, වෙසෙසින් නිපදවන්නේ -
මහරජ, යම්සේ හෝ දක්ෂ රන්කරුවෙක් හෝ රන්කරුවෙකුගේ අතැවැස්සෙක් හෝ මොනවට සකස් කළ රනෙහි යම් යම ස්වර්ණ විකෘත්තියක් (ආභරණ ආදියක්) කැමැත්තේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද , නිපදවන්නේ ද,
මහරජ එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හී කෙළෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, සෘද්ධිවිධඥාණය පිණිස සිත මෙහෙයවයි නැඹුරු කෙරෙයි. හේ අනේකවිධ වූ සෘද්ධි කොට්ඨාසය නැවත නැවත විඳී. පියෙවියෙන් එකෙක් වැ සිට බොහෝ දෙනෙක් වෙයි. බොහෝ දෙනෙක් වැ සිට එකෙක් වෙයි. තෙමේ පෙනී සිටී, නො පෙනී ද සිටී. බිත්තියෙන් පිටතට, පව්වෙන් පිටතට, විනිවිදැ අහසෙහි මෙන් කිසිවකැ නො ලැගී යෙයි. දියෙහි මෙන් පොළොවෙහිත් ගිලීම් ද මතුවීම් ද කෙරෙයි. පොළව මතු පිටැ සේ නොබිඳෙන දියෙහි යෙයි. පක්ෂියෙකු සේ පළඟින් අහසෙහි යෙයි. මේ සා මහර්ද්ධිමත් මහත් අනුභාව ඇති සඳ හිරු දෙදෙනා පවා අල්ලයි, පිරිමදියි. බඹලොව තෙක් ද කයින් තමා වශයෙහි පවත්වයි.
 
ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ. යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ.යි හෝ ඔහු විසින් මෙය කියන්නට යුතු දැ? යි [මම් ඇසීමි.]
          “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ ශරීරයත් හේ මැ යැ.යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ.යී හෝ කියන්නට යුතු යැ?, යී දෙපිරිවැජියෝ  කීහ.]
          ඇවැත්නි, මම වු කලී මෙය දනිමි, මෙය දකිමි. එහෙත් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ.යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ.යි හෝ නොකියමි.
 
60.ඇවැත්නි, තව ද මහණ තෙම මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හි, දීප්තිමත් කල්හි, කෙලෙස් රහිත වූ කල්හී, උපක්ක්ලේශ පහ වැ ගිය කල්හි මෘදු වූ කල්හි, කර්මණ්‍ය වූ කල්හී සිටි කල්හි නිශ්චල බවට පැමිණි කල්හි, දිව්‍ය ශ්‍රෝත්‍රධාතුව පිණිස (දිවකන් නුවණ පිණිස) සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි, හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ ශ්‍රාවණෝපචාරය ඉක්මවා සිටි දිව කනින් දිව්‍ය වූද මානුසික වූ ද, දුරැ වූ ද, ළං වූ ද, යන ද්විවිධ ශබ්ද ම අසයි.
 
61.මහරජ, යමසේ මිනිසෙක් දික් මඟකට පිළිපන්නේ ද, හේ බෙරහඬක් මිහිඟු බෙර හඬත් පණාබෙර හඬත්, ගැටබෙර හඬත් යම්සේ අසන්නේ ද, ඒ අසන ඔහුට ‘මේ බෙර හඬැයි කියාත්, මේ මිහිඟු බෙර හඬයි කියාත්, මේ සක්පණාබෙර ගැටබෙර හඬයි කියාත්, මෙසේ සිතෙක් වන්නේ ද, මහරජ එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හී කෙලෙස් රහිත වූ කල්හි, උපක්කිලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්මණය (කර්මක්ෂම) වූ කල්හී, සිටි කල්හි, නිශ්චල බවට පැමිණි කල්හී, දිව්‍ය ශ්‍රෝත්‍රධාතුව පිණිස සිත යොමු කෙරෙයි. නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වූ මිනිසුන්ගේ ශ්‍රවණෝපචාරය, ඉක්ම වූ දිව කන් නුවණීන් දිව්‍ය වූත් මානුසික වූත් දුරැ වූත් ළඟැ වූත් ද්විවිධ ශබ්ද අසයි.
ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ. යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ.යි හෝ කියන්නට යුතු දැ?,යි [මම් ඇසීමි.]
          “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ ශරීරයත් හේ මැ යැ.යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ.යි හෝ කියන්නට යුතු යැ?, යී දෙපිරිවැජියෝ  කීහ.]
          ඇවැත්නි, මම් වු කලි මෙය දනිමි, මෙය දකිමි. එහෙත් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ.යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ.යි හෝ නොකියමි.
 
62.ඇවැත්නි, තව ද මහණ තෙම මෙසේ එකඟ වූ සිත පිරිසිදු වූ කල්හී, දීප්තිමත් වූ කල්හී, කෙලෙස් රහිත වූ කල්හී, උපක්කිලේශ පහ වැ ගිය කල්හී, මෘදු වූ කල්හී, කර්මක්ෂම වූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හි, චේතස්පර්‍යායඥානය පිණිස (අනුන්ගේ සිත් පිරිසිඳ දක්නා නුවණ පිණිස) සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ අන් සත්ත්වයන්ගේ අන් පුද්ගලයන්ගේ සිත සියසිතින් පිරිසිඳ දනියි. රාග සහිත සිත රාග සහිත සිතැ යි ද දනියි. රාග රහිත සිත රාග රහිත සිතැ යි ද දනියි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතැ යි ද දනී. මෝහ සහිත සිත මෝහ සහිත සිතැයි ද දනී. මෝහ රහිත සිත මෝහ රහිත සිතැයි ද දනී. සංක්ෂිප්ත (=හැකුළුණු) සිත හැකුළුණු සිතැ යි ද දනී. වික්ෂිප්ත (=විසිරුණු) සිත විසුරුණු සිතැ යි ද දනී. මහද්ගත සිත මහද්ගත සිතැ යි ද දනී. මහද්ගත සිත මහද්ගත සිතැ යි ද දනී. අමහද්ගත සිත අමහද්ගත සිතැ යි ද දනී. සෝත්තර සිත සෝත්තර සිතැ යි ද දනී. අනුත්තර සිත අනුත්තර සිතැ යි ද දනී.  සමාහිත සිත සමාහිත සිතැ යි ද දනී. අසමාහිත සිත අසමාහිත සිතැ යි ද දනී. විමුක්ත (=මිදුණු) සිත විමුක්ත සිතැ යි ද දනී. අවිමුක්ත (=නොමිදුණු) සිත අවිමුක්ත සිතැ යි ද දනී.
 
63.මහරජ, යම්සේ සැරැසෙන සුලු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ළදරුවෙක් හෝ තරුණයෙක් හෝ පිරිසිදු දීප්තිමත් කැඩ පතෙක හෝ පහන් දිය බඳුනෙක හෝ සිය මුව සටහන පිරික්සා බලන්නේ තලකැලැල් ආදී දොස් ඇති තැන් සදෝස් තැනැයි දන්නේ ද, එ කී දොස් නැති තැන දොස් නැතැයි දන්නේ ද-
මහරජ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වු කල්හී, කෙලෙස් නැති කල්හි, උපක්කිලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හී, කර්මක්ෂම වූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හී, පරසිත් දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි.
හේ අන් සතුන්ගේ, අන් පුඟුලන්ගේ සිත සියසිතින් පිරිසිඳ දනී. සරාග සිත සරාග සිතැයි ද දනී. වීතරාග සිත වීතරාග සිතැයි ද දනී. සද්වේෂ සිත සද්වේෂ සිතැ යි ද දනී. වීත දෝෂ සිත වීත දෝෂ සිතැ යි ද දනී. සංක්ෂිප්ත සිත සංක්ෂිප්ත සිතැ යි ද දනී. අමහග්ගත සිත අමහග්ගත සිතැ යි ද දනී. මහග්ගත සිත මහග්ගත සිතැයි ද දනී. සෝත්තර සිත සෝත්තර සිතැ යි ද දනී. අනුත්තර සිත අනුත්තර සිතැ යි ද දනී. සමාහිත සිත සමාහිත සිතැ යි ද දනී. අසමාහිත සිත අසමාහිත සිතැ යි ද දනී. විමුක්ත සිත විමුක්ත සිතැ යි ද දනී. අවිමුක්ත සිත අවිමුක්ත සිතැ යි ද දනී.
ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ.යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ.යි හෝ කියන්නට යුතු දැ?යි [මම ඇසීමි.]
          “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ.යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ.යි හෝ කියන්නට යුතු යැ, යි දෙපිරිවැජියෝ  කීහ.]
          ඇවැත්නි, මම් වු කලි මෙය දනිමි, මෙය දකිමි. එහෙත් ‘ජීවයත් හේ මැ යැ ශරීරයත් හේ මැ යැ.යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ.යි හෝ නොකියමි.
 
64.ඇවැත්නි, තව ද මහණ තෙම මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හී, දීප්ත වූ කල්හී, කෙලෙස් නැති වූ කල්හී, උපක්කිලේශ පහ වැ ගිය කල්හී, මෘදු වූ කල්හී, කර්මක්ෂම වු කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පත් කල්හී, පුර්වේනිවාසානුස්මෘති ඥාණය (=පෙර වුසු කඳ පිළිවෙළ දක්නා නුවණ) ලබනු පිණිස සිත යොමු කෙරෙයි. හේ එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පහක් ද ජාති දසයක් ද  ජාති විස්සක් ද ජාති තිහක් ද ජාති සතළිහක් ද ජාති පනසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති සුවහසක් ද බොහෝ සංවර්ත කල්ප ද බොහෝ විවර්ත කල්ප ද බොහෝ සංවර්ත විවර්ත කල්ප ද “ අසෝ තන්හි මේ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව අසෝ තැන උපනිමි. එහිද මෙ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව මෙහි උපනිමි” යි. මෙසේ අනේකවිධ වු පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මෙසේ වර්ණාදි වශයෙන් ආකාර සහිත වූ නම් ගොත් විසින් උද්දේශ සහිත වු බහුවිධ වු පුර්වේනිවාසය සිහි කෙරෙයි.
 
65.මහරජ, යම්සේ පුරුෂයෙක් සිය ගමින් අන් ගමකට යන්නේ ද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේ ද, (නැවත ) හේ ඒ ගමින් සිය ගමට ම පෙරළා එන්නේ ද, එසේ වු ඔහුට “මම් වූ කලී සිය ගමින් අසෝ ගමට ගියෙමි. එහි මෙසේ සිටියෙමි, මෙසේ උපන්නේමි, මෙසේ කීමි, මෙසේ නිහඩ විමි. ඒ ගමිනුත් අසෝ ගමට ගියෙමි. එහි ද මෙසේ සිටියෙමි, මෙසේ උන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඩව සිටියෙමි, ඒ මම ඒ ගමින් සිය ගමට පෙරළා ආයම් වෙමි” යි මේ බඳු සිතෙක් වන්නේ ද -
මහරජ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හී, දීප්ත කල්හී, කෙලෙස් රහිත කල්හි, උපක්කිලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්මක්ෂම වු කල්හී, සිටි කල්හී නිශ්චල බවට පැමිණි කල්හී, පෙර වුසු කඳ පිළිවෙළ සිහි කරණ නුවණ පිණිස සිත මොනවට යොමු කෙරෙයි, මොනවට නැඹුරු කෙරෙයි, හේ “ අසෝ තන්හි මේ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව අසෝ තැන උපනිමි. එහිද මෙ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව මෙහි උපනිමි” යි. මෙසේ  එක් ජාතියක් ද , ජාති දෙකක් ද , ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දසයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතළිසක් ද, ජාති පනසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සුවහසක් ද, බොහෝ සංවර්ථ කල්ප ද, බොහෝ විවර්ත කල්ප ද, බොහෝ සංවර්ත විවර්ත කල්ප ද, මෙසේ අනේකවිධ වු පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මේ පරිද්දෙන් ආකාර සහිත වූ උද්දේස සහිත වූ පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරෙයි.  
ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ.යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ.යි හෝ මෙය කියන්නට යුතු දැ?යි [මම ඇසීමි.]
          “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ.යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ.යි හෝ කියන්නට යුතු යැ, යි දෙපිරිවැජියෝ  කීහ.]
          ඇවැත්නි, මම් වු කලි මෙය දනිමි, මෙය දකිමි. එහෙත් ‘ජීවයත් හේ මැ යැ ශරීරයත් හේ මැ යැ.යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ.යි හෝ මම නොකියමි.
 
66.ඇවැත්නි, තව ද මහණ තෙම මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්ත වැ කෙලෙස් නැතිවැ උපක්කිලේශ පහ වැ මෘදු වැ කර්මක්ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, සත්ත්වයන්ගේ ච්‍යුති උප්පත්ති දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි, හේ පිරිසිදු වු, මිනිසුන්ගේ දර්ශනෝපචාරය ඉක් මැ දැක්කැ හැකි දිවැසිනින්, “අහෝ! මේ භවත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් සමන්විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්විතයහ, මනෝදුෂ්චරිතයෙන් සමන්විතයහ, ආර්යෝපවාද කළහ, මිසදිටු ගතුවහ, මිසදිටු වශයෙන් ගත් මිත්‍යාවෘත ඇතියහ, ඒ මොහු කරජ කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුෂ්ටකර්ම හේතුයෙන් හටගත් ගතිය වු, (කර්මයට තමන් පරවශ බැවින්) තමනට අවශ වැ වැටෙන තැන වු නිරයට වන්නාහ. මේ භවත් සත්ත්වයෝ වූ කලී කාය සුචරිතයෙන් සමන්විතයහ, වාක්සුචරිතයෙන් සමන්විතයහ, මනෝසුචරිතයෙන් සමන්විතයහ, ආර්‍යයනට උපවාද නො කළහ, සමදිටු ගත්තහ, සමදිටු වශයෙන් ගත් ශීලාදිය ඇත්තහ, ඒ මොහු කාබුන් මරණින් මතු ශෝභන වූ ගති ඇති සග ලොවට වන්නාහ” යි මරණාසන්න වූ ද, එකෙණෙහි පළිසිඳ, ගත්තා වූද , හීන වූද , උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වු ද , සුගතියට පැමිණියා වූ ද, දුගතියට පැමිණියා වූ ද, කර්මය වූ පරිදි ඒ ඒ භවයට ගියා වූ සත්ත්වයන් දකී. මෙසේ හේ පිරිසිදු වූ මානුෂක විෂය ඉක්මැ පැවැති දිවැසින් හීන ප්‍රණීත, සුවර්ණ දුර්වර්ණ, සුගත දුර්ගත, සත්ත්වයන් දකී. කර්මය වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සත්ත්වයන් දකී.
 
67.මහරජ. යම්සේ සතර මං හන්දියෙක මහල් සහිත ගෙයෙක් වන්නේ ද, එහි උඩු මහලෙහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ ගෙට පිවිසෙන්නවුනුත් ගෙන් නික්මෙනවුනුත් වීථියෙහි ඈත මෑත යන එනවුනුත්, සිව්මං හන්දියෙ මැද හුන්නුවුනුත් දක්නේ ද, ඒ දක්නා ඔහුට “මේ මිනිස්සු ගෙට පිවිසෙත්, මේ මිනිස්සු ගෙන් නික්මෙත්, මේ මිනිස්සු වීදියෙහි ඈත මෑත යෙත්, මොහු සිවුමංහන්දිය මැද උන්නෝ වෙත් යැ” යි මෙසේ සිතෙක් වන්නේ ද-
මහරජ, එපරිදි ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්ත වැ කෙලෙස් නැතිවැ උපක්කිලේශ පහ වැ මෘදු වැ කර්මක්ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, සත්ත්වයන්ගේ ච්‍යුති උප්පත්ති දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි, හේ පරිසිදු වු, මිනිසුන්ගේ දර්ශනෝපචාරය ඉක් මැ දැක්කැ හැකි දිවැසිනින්, “අහෝ! මේ භවත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් සමන්විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්විතයහ, මනෝදුෂ්චරිතයෙන් සමන්විතයහ, ආර්යෝපවාද කළහ, මිසදිටු ගතුවහ, මිසදිටු වශයෙන් ගත් මිත්‍යාවෘත ඇතියහ, ඒ මොහු කරජ කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුෂ්ටකර්ම හේතුයෙන් හටගත් ගතිය වු, (කර්මයට තමන් පරවශ බැවින්) තමනට අවශග වැ වැටෙන තැන වු නිරයට වන්නහ. මේ භවත් සත්ත්වයෝ වූ කලී කාය සුචරිතයෙන් සමන්විතයහ, වාක්සුචරිතයෙන් සමන්විතයහ, මනෝසුචරිතයෙන් සමන්විතයහ, ආර්‍යයනට උපවාද නො කළහ, සමදිටු ගත්තහ, සමදිටු වශයෙන් ගත් ශීලාදිය ඇත්තහ, ඒ මොහු කාබුන් මරණින් මතු ශෝභන වූ ගති ඇති සග ලොවට වන්නාහ” යි මරණාසන්න වූ ද, එකෙණෙහි පළිසිඳ, ගත්තා වූද , හීන වූද , උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වු ද , සුගතියට පැමිණියා වූ ද, දුගතියට පැමිණියා වූ ද, කර්මය වූ පරිදි ඒ ඒ භවයට ගියා වූ සත්ත්වයන් දකී. මෙසේ හේ පිරිසිදු වූ මානුෂක විෂය ඉක්මැ පැවැති දිවැසින් හීන ප්‍රණීත, සුවර්ණ දුර්වර්ණ, සුගත දුර්ගත, සත්ත්වයන් දකී. කර්මය වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සත්ත්වයන් දකී.
ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ.යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ.යි හෝ මෙය කියන්නට යුතු දැ?යි [මම ඇසීමි.]
          “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ.යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ.යි හෝ කියන්නට යුතු යැ, යි දෙපිරිවැජියෝ  කීහ.]
          ඇවැත්නි, මම් වු කලි මෙය දනිමි, මෙය දකිමි. එහෙත් ‘ජීවයත් හේ මැ යැ ශරීරයත් හේ මැ යැ.යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ.යි හෝ මම නොකියමි.
මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්තිමත් වැ නිකෙලෙස් වැ උපක්කිලේශ පහ වැ මෘදු වැ කර්මක්ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, ආස්‍රවයන්ගේ ක්ෂයය(විනාශය) පිණිස සිත මොනවට යොමු කෙරෙයි, මොනවට නැඹුරු කෙරෙයි. (එසේ වූ ) හෙ තෙමේ   ‘මේ දුකැ ’ යි ඇති සැටි ලෙස දනී.  ‘ මේ දුක් ඉපැත්මට කාරණයැ’යි ඇති සැටි ලෙස දනී.  ‘ මේ දුක් වැනැස්මැ’.(=දුක් නැස්මට අරමුනු වන නවනැ) යි ඇති සැටි ලෙස දනී. ‘මේ දුක් වැනැස්මට පමුණුවන පිළිවෙතැ’යි ඇති සැටි ලෙස දනී. ‘ මොහු ආස්‍රවයෝ යැ’ යි ඇති සැටියෙන් දනී. ‘ මේ ආස්‍රවයන් ඉපැද්මට කරුණැ’ ඇති සැටියෙන් දනී. ‘ මේ ආස්‍රව නිරෝධ යැ’යි(ආස්‍රවයන් වැනැස්මට ප්‍රත්‍ය වන නිවනැ)යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපත්තිය යැ ’යි ඇතිසැටියෙන් දනී. මෙසේ දන්නා මෙසේ දක්නවා ඔහුගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ. ඔහු සිත භවාස්‍රවය කෙරෙන්ද මිදෙ. (ඔහු)සිත අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ. (එසේ සිත මිදුණු කල්හී ‘ මා සිත ආස්‍රව කෙරෙන )මිදුණේ යැ’යි (ප්‍රත්‍යෙවක්ෂණ) ඥානය වේ. භවෝත්පත්තිය ක්ෂීන විය(හෙවත් නැවත භවයෙහි නොඋපදනා ස්භාවයට පැමිණියෙමි),  ‘ මඟ බඹසර වැස නිමැවිණි. මේ බව පිණිස (සිවු සස්හි සතර මඟින් කළයුතු සොළෝස් වැදෑරුම්)  කිස කොට නැමැවිණි. මේ බව පිණිස (=මේ ක්ලේශක්ෂය පිණිස) යලි දු කටයුතු දැයෙක් නැතැ’ යි හේ දනී.
 
68.මහරජ, යම්සේ කඳු මුදුනකැ වූ පහන් වු, වෙසෙසින් පහන් වූ, නොකැලැඹුණු (=බොර නොවූ) දිය විලෙක් වන්නේ ද, එහි ඉවුරෙහි ඇස් ඇති මිනිසෙක් සිටියේ, එහි තුල හැසිරෙන්නා වූත් සිටුනා වූත් ස්ප්පිබෙල්ලනුත්, සක්බෙල්ලනුත්, කැටකැබිලිතිත් මත්ස්‍යසමූහයාත් දක්නේ ද, (එසේ දක්නා) ඔහුට “මේ දියවිල පහන් ය, වෙසෙසින් පහන් ය, නොකැලැඹුණේ ය. මෙහි මේ සිප්පිහුත්, සක්බෙල්ලෝත්, කැට කැබිලිතිත් මත්ස්‍ය සමූහයෝත් හැසිරෙන්නොත් සිටින්නෝත් වෙති” යි මෙසේ සිතෙක් වන්නේ ද,
මහරජ, එපරිද්දෙන්ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්තිමත් වැ, නිකෙලෙස් වැ, උපක්කිලේශ පහ වැ, මෘදු වැ, කර්මණ්‍ය වැ, ස්ථිත වැ, නිශ්චලතාවට පැමිණි කල්හි ආස්‍රවක්ෂයඥානය පිණිස සිත යොමු කෙරෙයි. නැඹුරු කෙරෙයි. හේ ‘මේ දුකැ ’ යි ඇති සැටි ලෙස දනී.  ‘ මේ දුක් ඉපැත්මට කාරණයැ’යි ඇති සැටි ලෙස දනී.  ‘ මේ දුක් වැනැස්මැ’.(=දුක් නැස්මට අරමුනු වන නවනැ) යි ඇති සැටි ලෙස දනී. ‘මේ දුක් වැනැස්මට පමුණුවන පිළිවෙතැ’යි ඇති සැටි ලෙස දනී. ‘ මොහු ආස්‍රවයෝ යැ’ යි ඇති සැටියෙන් දනී. ‘ මේ ආස්‍රවයන් ඉපැද්මට කරුණැ’ ඇති සැටියෙන් දනී. ‘ මේ ආස්‍රව නිරෝධ යැ’යි(ආස්‍රවයන් වැනැස්මට ප්‍රත්‍ය වන නිවනැ)යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපත්තිය යැ ’යි ඇතිසැටියෙන් දනී. මෙසේ දන්නා මෙසේ දක්නවා ඔහුගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ. ඔහු සිත භවාස්‍රවය කෙරෙන්ද මිදෙ. (ඔහු)සිත අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ. (එසේ සිත මිදුණු කල්හී ‘ මා සිත ආස්‍රව කෙරෙන )මිදුණේ යැ’යි (ප්‍රත්‍යෙවක්ෂණ) ඥානය වේ. භවෝත්පත්තිය ක්ෂීන විය(හෙවත් නැවත භවයෙහි නොඋපදනා ස්භාවයට පැමිණියෙමි),  ‘ මඟ බඹසර වැස නිමැවිණි. මේ බව පිණිස (සිවු සස්හි සතර මඟින් කළයුතු සොළෝස් වැදෑරුම්)  කිස කොට නිමැවිණි. මේ බව පිණිස (=මේ ක්ලේශක්ෂය පිණිස) යලි දු කටයුතු දැයෙක් නැතැ’ යි හේ දනී.
 
69.ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ.යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ.යි හෝ මෙය කියන්නට ඔහුට යුතු දැ?යි [මම ඇසීමි.]
          “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ. යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ. යි හෝ කියන්නට ඔහුට යුතු නොවේ, [මෙසේ ඒ දෙපිරිවැජියෝ  කීහ.]
          ඇවැත්නි, මම් වු කලි මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි. එහෙත් ‘ජීවයත් හේ මැ යැ ශරීරයත් හේ මැ යැ.යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ.යි කියා හෝ මම නොකියමි. [මෙසේ ඒ දෙපිරිවැජියනට මම කීමි.]
 
 70.භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ඔට්ඨද්ධ ලිච්ඡවී තෙමේ සතුටු සිතැත්තේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගත්තේය.
 
                                                                     සවන මහාලි සුත්‍රය නිමියේ ය.
 
 
 
 
 
 
 
 

—————

Indietro