Pace a tutti coloro che entrano qui....
පොහොය දින 12
02.08.2013 17:57දුරුතු පසළොස්වක පොහොය
ලක්වාසී බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට ඇති අතර නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසී බොදුනුවන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු මිටක් ලබාදුන් බවත් එම ධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බවත් ශාසන ඉතිහාසයේ සඳහන්ය. එහෙයින් මහියංගණ සෑය අද ද බෞද්ධයින්ගේ මහත් ගෞරවාදරයට පත් වූ ස්ථූපයකි.
බිමිබිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද දුරුතු පොහොය දිනයේදී බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.
දුරුතු මාසය එළැඹෙන්නේ බැතිබර හැඟුම් වඩ වඩාත් බෞද්ධ ජනී ජනයාගේ සිත් සතන් තුළ පහළ කැරවමිනි. සිරිපා සමය ඇරැඹුණේ පසුගිය උඳුවප් පුර පසළොස්වක පෝය දිනයේ ය.
ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වූ සමයෙහි අප රටේ වාසය කළේ යක්ෂ, නාග, දේව ගෝත්‍රිකයන් ය. ඌව පළාතේ පිහිටි මහියංගණය අවට යක්ෂ ගෝත්‍රිකයන්ද, කැලණි ගඟ ආශි‍්‍රතව නාග ගෝත්‍රිකයන්ද, කඳුකර ප්‍රදේශයේ දේව ගෝත්‍රිකයන්ද විසූ බව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙයි. එසමයෙහි මහියංගණයේ වාසය කළ යක්ෂ ගෝත්‍රිකයන් පිරිසක් මිනිබේ (අදමිනිපේ) ජනපදයේ මහානාග නම් වූ උයනට රැස්ව දෙපිරිසකට බෙදී මහා සටනකට සැරැසුණු අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එය නුවණින් දැක සිදුවන්නට යන මහා ජීවිත විනාශය වළකනු වස් ඍද්ධියෙන් ඒ ස්ථානයට වැඩම කළ සේක. ඒ වන විට උන්වහන්සේ වැඩ සිටියේ දඹදිව උරුවෙල්දනව්වේය. එදා බුද්ධත්වයෙන් නව වන මස එළැඹි දුරුතු පසළොස්වක පෝය උදාවී තිබිණි.
අහසෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ පත්කඩය එළා බිම වාඩිවීමට යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් අවසර ඉල්ලී ය. ඔවුන්ගේ අවසරය මත පත්කඩය එළා වාඩි වී ඍද්ධි ප්‍රාතිහාර්ය පෑ සේක. බියට පත් එම යුද්ධාභිමුඛ මහ දෙපිරිස ඈතට පලා ගිය හ. යුද්ධය නවතා සන්සුන් වූ පිරිසට බුදුහිමියෝ දහම් දෙසූහ. අද අපට දක්නට ලැබෙන මහියංගණ මහ සෑය පිහිටුවා ඇත්තේ එම ස්ථානයේ යැයි එදා සිට ප්‍රචලිතය. මෙම අවස්ථාවේ ධර්ම ශ්‍රවණයට සුමන සමන් දිව්‍ය රාජයා ප්‍රධාන දිව්‍ය සමූහයාද රැස්ව සිටියහ. දහම් අසා සෝවාන් ඵලයට සපැමිණි සුමන සමන් දිව්‍ය රාජයා වැඳුම් පිදුම් කරන්නට බුදුහිමිගෙන් පූජනීය වස්තුවක් ඉල්ලා සිටියේය. බුදුහිමියෝ හිස පිරි මැද කේශ ධාතු මිටක් සුමන සමන් දිව්‍ය රාජයන් අත තැබූහ. ඔහු එය රන් කරඬුවක බහා එතැන සත් රියන් උස ඉඳුනිල් මිණි වෙහෙරක් ඉදි කළ බව පැවැසේ. බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ පසු ඉදිකළ ප්‍රථම ස්තූපය වන්නේ මහියංගණ මහා සෑයයි. අද එය පඨමක චෛත්‍ය මියුගුණ සෑය, මහියංගණ මහා සෑය යන නම් වලින් හැඳින්වෙයි.
මියුගුණ සෑයේ නිදන් වස්තු සම්බන්ධයෙන් තවත් විස්තරයක් අන් තැනෙක සඳහන්වේ. එනම් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු පැවැති ආදාහනෝත්සවයේ දී බුදු සිරුර දැවෙමින් තිබිය දී සැරියුත් මහ තෙරුන්ගේ ශිෂ්‍යයෙකු වූ සරභු මහ තෙරුන් වහන්සේ ලබාගත් ගී‍්‍රවා ධාතුව (ගෙල පෙදෙසින්) මහියංගණ සෑයේ නිදන් කළ බව ය. ඒ අනුව මහියංගණ සෑයේ කේශ ධාතු හා ගී‍්‍රවා ධාතු වහන්සේ යන දෙනමම වැඩ සිටීම විශේෂ කරුණක් වශයෙන් ගැනේ. ඒ වන විට මෙම සෑය දොළොස් රියන් උස මේඝ වර්ණයෙන් ඉදිකළ බව කියැවේ.
කාලයක් තිස්සේ නිහඬ බවේ සිටි මියු ගුණ සෑ රද පිළිබඳව යළිත් කියැවෙන්නේ දෙවන පෑ තිස් නරනිඳු සමයේ ය. එනම් ක්‍රිස්තු පූර්ව තුන්වන සිය වසැ දී පමණ මෙම සෑය තිස් රියන් උසට ඉදිකරන ලදී. ඒ පෑතිස් නිරිඳුන්ගේ මලණුවන් වූ ශුද්ධ චූලාභය කුමරුන් විසිනි. අනතුරුව දුටුගැමුණු මහ රජතුමා අසූරියන් උසට මෙම සෑය ඉදි කළේ ය. එසමයෙහි එළාර නම් ද්‍රවිඩ රජතුමාගේ යුද බලකොටුවක් මෙහි විය. දුටුගැමුණු රජු එය වනසා දමා මෙම පෙදෙස සිය බලයට නතු කැර ගත්තේ ය. දමිළ බලය පරදා ලද මෙම ජයග්‍රහණය ගැමුණු රජුගේ යුද සටන්වල මූලාරම්භය ද වේ. මෙලෙසට සෑ රජුට ගෞරවය පුද කළේ එම ජයග්‍රහණය නිමිති කැරගෙනය.
තවත් වැදගත් ඓතිහාසික කරුණකට මෙම පෙදෙස මූලාශ්‍රය වෙයි. එනම්, සිරිසඟ බෝ කුමරු නන්ද තෙරුන් යටතේ හැදී වැඩුණේ ද මෙම පින් බිමේ ය. තවද මානවම්ම කුමරු, දෙවැනි සේන, හතරවැනි කාශ්‍යප යන නම් දරන රජවරු මෙම පූජා භූමියේ දියුණුවට කටයුතු කළහ. පොළොන්නරු රාජ්‍ය සමයේ දී පළමුවැනි විජයබාහු රජතුමා මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකැර තිබේ. කෝට්ටේ යුගයේ දී හය වන පැරකුම්බා රජ මෙම දාගැබ යළි ප්‍රතිසංස්කරණය කළ බව සඳහන් ය. මහනුවර යුගය වන විට වීර වික්‍රම ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, විජය රාජසිංහ , කීර්ති ශ්‍රී රාජසිංහ යන නරපතියන් මෙම දාගැබ විවිධ පුද පූජාවන්ට හා දියුණුවට බඳුන් කළහ.
විදේශීය ආක්‍රමණ අබියස මෙම පින්බිම විටින් විට වන ගත විය. එහෙත් සෑ රජුගේ වර්තමාන පුනර්ජීවයට අඩිතාලම වැටුණේ 1953 වර්ෂයේ දීය. එම වර්ෂයේදී එහි ප්‍රතිසංස්කරණයට මුල්ගල තැබිණි. නැවැත 1955 වර්ෂයේ දී ධාතු නිදානෝත්සවය, 1956 හතරැස් කොටුවේ ධාතු නිදානෝත්සවය, 1961 දී කොත් කැරැල්ල මුදුණේ චූඩා මාණික්‍ය පැළැඳවීම ආදි පිළිසකර කටයුතු සිදුවීමත් සමඟ ඉතා වටිනා ඓතිහාසික පුද බිමක සිරියෙන් විරාජමාන වන්නට යෙදුණේ ය.
නවම් පසළොස්වක පොහොය
සම්මා සම්බුද්ධ ශාසනයෙහි සුවිශේෂී වූ සිද්ධීන් රැසක් සිදුවුණා වූ උතුම් පූජනීය දිනයක් වශයෙන් නවම් පුණු පොහෝ දින හඳුන්වන්නට හැකිය
ධර්ම සේනාධිපති සාරිපුත්ත මහ රහතන් වහන්සේ හා මහාර්ධිලාභී මුගලන් මහ රහතන් වහන්සේ යන රහතන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබුයේ නවම් පුනු පොහෝ දිනකදීය. රජගහ නුවර වේළුවනාරාම පුණ්‍ය භූමිය මුල් කරගෙන බුද්ධ ශාසනයෙහි ප්‍රථම මහා සංඝසන්නිපාතයත් සිදු වූයේ එවන් දිනකදීය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් භික්‍ෂු සංඝයා හට ඕවාද ප්‍රාතිමෝක්ෂය, දේශනා කොට වදාළේ ද නවම් පුනු පොහෝ දිනකදීය.
එමෙන්ම තථාගයන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර තුන් මසකට පෙර ආයුසංස්කාරය කළේත් නවම් පුනු පොහෝ දිනකදීය.
සම්බුද්ධ ශාසනයෙහි මෙවැනි වූ ඓතිහාසික සිදුවීම් රැසක් සිදු වූ නවම් පොහෝ දිනය බොදුනුවන්ට විශේෂිත වූ ශාසනික වශයෙන් වැදගත් වන දිනයකි. මහා කාරුණික තථාගත බුදුපියාණන් වහන්සේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට පිළිවෙළින් දකුණත් සවු සහ වමත් සවුයන ශාසනික තනතුරු පිරිනැමීම අප මනාව දන්නා සදහම් කාරණයකි. ඒ සඳහා උන්වහන්සේ දෙපළ සසර මහත් පාරමී පිරූහ.
බුදුරජාණන් වහන්සේ වැඩ සිටි වේළුවනාරාමය උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්‍ෂූන් වහන්සේ ප්‍රධාන භික්‍ෂූන් දහසක් ද, සැරියුත් හිමියන් හා මුගලන් හිමියන් ප්‍රධාන කොටගත් දෙසිය පනහක් භික්‍ෂූන් වහන්සේ ද යන එක් දහස් දෙසිය පනහක් මහ රහතන් වහන්සේගෙන් සෝභාමත් විය. මේ භික්‍ෂූන් වහන්සේ පිරිස අතරේදී සැරියුත් හිමියන් හා මුගලන් හිමියන් හට අග්‍ර ශ්‍රාවක තනතුරු පිරිනැමීම සිදුවිය.
බුදු සසුනෙහි මුලින් පැවිදි උපසම්පදා ලත් භික්‍ෂූන් වහන්සේ සිටියදී තථාගතයන් වහන්සේ විසින්, මෑත කාලයේ බුදුසසුනෙහි පැවිදි උපසම්පදා ලත් මේ සැරියුත් හා මුගලන් හිමිවරුන්ට අග්‍රශාවක තනතුරු පිරිනමන ලදැයි සමහර භික්‍ෂූන් වහන්සේ අතර කතාබහක් මතුවිය.
නවම් පොහොය දිනය අපට වැදගත් වන අනෙක් විශේෂ කාරණය නම් බුදුන්වහන්සේ ආය සංස්කාරය හළේ නවම් පොහොය දිනකදී වීමයි. බුදුරජාණන් වහන්සේ රජගහ නුවරින් නික්ම චාපල චෛත්‍ය වෙත එළඹුණ සේක. එහි වැඩම කර පැනවූ අසුනෙහි වැඩහුන් සේක. එහිදී ආනන්ද හිමියන් අමතා සතර සෘද්ධිපාද වැඩු තැනැත්තහුට කැමැති නම් ආයු කල්පයක් හෝ ඊට වැඩි කලක් ජීවත් විය හැකි බව තෙවරක්ම ප්‍රකාශ කළහ. ආනන්ද හිමියන්ට මාරාවේශය වී සිටිය හෙයින් සිහි එළවා ගත නොහී ආයුකල්පයක් වැඩ සිටිනා මෙන් බුදු හිමියනට ආරධනා කරන්නට අමතක විය.
ඉන් පසු නොබෝ වේලාවකින් වසවත් මරුන් බුදුරජාණන් වහන්සේ වෙත ළඟා වී නුඹ වහන්සේට පරිනිර්වාණයට කාලය මෙය යැයි දන්වා සිටීය. බුදුරජාණන් වහන්සේ වසවත්මරුන් අමතා ප්‍රකාශ කළේ එතැන් පටන් තුන් මසක් ගත වූ තැනදී පිරිනිවන් පානා බවයි.
ඉන්පසු බුදුරජාණන් වහන්සේ ආයුසංස්කාරය හළ සේක. බුදුරජාණන් වහන්සේ ආයුසංස්කාරය හළ එ කෙණෙහිම මහ පොළොව කම්පා විය. අහසෙහිද ගිගුරුම් ඇති වන්නට විය.
මෙවැනි කරුණු කාරණා හේතුවෙන් නවම් පොහොය බෞද්ධයනට සුවිශේෂ වැදගත්කමක් ගෙනදෙයි.
මැදින් පසළොස්වක පොහොය
බුදුරදුන් 20000ක් ආර්ය මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝධන රජතුමා හා සිය ඥාතීන්ව අමාමහ නිවන්සුව ලබාදෙනු වස් කිඹුල්වත් පුරයට වැඩම කිරීමට ගමනාරම්භය.
රහල් කුමරු පැවිදි වීම
නන්ද කුමරු පැවිදි වීම
බක් පසළොස්වක පොහොය
ලක්දිව දෙවන වරට බුදු සිරිපා පහසින් පිවිතුරු බවට පත්වූයේත්,බුදුරදුන්ගේ සවනක් රැස් කඳින් මුළු හෙළදිව ආලෝකමත් වූයේත් දහම් අමා මිහිරෙන්නොයෙක් සනා නිවී සැනසී ගියේත් මේ පොහෝදා වේ.
බුදුරදුන් ලක්දිව නාගදීපයට වැඩමකොට මැණික් පුටුවට යුධ වදිමින් සිටි චුල්ලෝධර - මහෝදර නා රජුන් දෙදෙනාට ධර්ම දේශනා කොට ඔවුන් සාමදාන කිරීම.
සතර පෙරනිමිති වලින් පළමු පෙරනිමිත්ත සිදුහත් කුමරු ඇස ගැටීම.
වෙසක් පසළොස්වක පොහොය
සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම, සිද්ධාර්ථ තාපසයාගේබුදුවීම, සහ බුදුන් වහන්සේ ගේපරිනිර්වානය යන අසිරිමත් මංගල කරුණු රැසකින් පූජනීයත්වයටත්,ඓතිහාසිකත්වයටත් පත් වූ වෙසක් දිනය බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ආගමික දිනයක් වීම.
දීපංකර බුදුරදුන් හමුවේ සම්මා සම්බුද්ධ පදවිය සඳහා ගෞතම බුදුරදුන් නියත විවරණ ලැබීම.
කිසාගෝතමී දේවිය විසින් "නිබ්බුතා නූන සා මාතා"යන නිබ්බුත පද පැවසීම.
බුදුවීමෙන් පසු ප්‍රථම වරට කිඹුල්වත් පුරයට පැමිණ යමාමහ පෙළහර පෑම.
බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මනිඅක්ඛිත නාරදුගේ ඇරයුමෙන් කැලණියට වැඩීම,එදවසම සුමන සමන් දෙව්රදුන්ගේ ඇරයුමින් සමනළ පව්වට වැඩම කොට බුදුසිරිපා පිහිටුවා තෙවන වරටත් සිරිලක පුන්‍ය භූමියක් බවට පත් කිරීම.
විජය කුමරු ලංකාවට පැමිනීම.
පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුරදුන් වෙත පැමිනි සක්දෙව් රදුට ලංකාවත් සිංහලජාතියත් රක්නා ලෙස පැවරීම.
දෙවනපෑතිස් රජු ධර්මාශෝක චක්‍රවර්තීන් විසින් තිළිණකොට එවන ලද පංච කකුධ භාණ්ඩයන් සහිතව නියම උදාර රජකු ලෙස ද්විතීයාභිශේක ලැබීම.
අනුරපුර මහමෙවුනා උයනේ රුවන්වැලි සෑ රදුන් සැදීමට වීසා නැකතින් වැඩ ඇරඹීම.
ආනන්ද හිමියන් පිරිනිවන් පෑම.
මහා විහාරවංශික භික්‍ෂූන්ගේ වර්ෂයක් පාසා පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවය ප්‍රථමවරට පැවැත්වීම.
ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකය සිදුකිරීම.
පොසොන් පසළොස්වක පොහොය
අනුබුදු මහා මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස ධර්මවිජය පිළිබඳ අනගිතම පනිවිඩය මූර්ථිමත් කරමින් ශාන්තීය දූතයන් වශයෙන් ලංකාකවේ උතුරුමැද නිම්නයේ අනුරපුර මිස්සක පව්වට වැඩමකර බු:ව 236 දී ලක්දිව බුදුසසුන පිහිටුවීම.
බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම.
ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ උපසම්පදාව සිදුවීම.
ඇසළ පසළොස්වක පොහොය
සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම
සිදුහත් කුමුරු අභිනිෂ්ක්‍රමණය කිරීම.
රාහුල කුමරුගේ උපත.
බරණැස් පුර ඉසිපතනාරාමයේදී පස්වග මහනුන්ට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම.
ගණ්ඩබ්බ රුක්මුල්හිදී තිර්ථකයන්ගේ මානය මර්ධනය කිරීමට යමාමහ පෙළහර පෑම.
මාතා දිව්‍යරාජයා ඇතුළු දෙවියන්ට විජම්බණ දේශනා කිරීම.
ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට රජගහ නුවරට වැඩමකර වස් එලැඹ මූලික කටයුතු ඇරඹීම.
ප්‍රථම ඛණ්ඩ සීමාව සාංඝික කිරීම.
අරිට්ඨ කුමරු ප්‍රධාන සිංහලයන් සපනස් දෙනාගේ මහණ උපසම්පදාව තුම්බුරු සීමා මාලකයේදී සිදු කිරීම.
ලංකාවේ දෙසැටක් රහතන් වහන්සේලාගේ ප්‍රථම වස්සූපගමනය.
බු.ව 382 දී දුටුගැමුණු රජු විසින්රුවන්වැලි සෑ රදුන් තනන්නට මගුල් ගල තැබීම.
මහ සෑයේ ධාතු නිධානය අනේප්‍රකාර ප්‍රාතිහාර්ය මැද සිදුවීම.
කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ(කිත්සිරි මෙවන්) දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් ලංකාවට ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භය.
ලක්දිව සාමනේර හිමිවරුන්ට උපසම්පදාව ලබා දීම.
නිකිණි පසළොස්වක පොහොය
පසු වස් එළඹීම ඇරඹීම.
ආනන්ද හිමියන් රහත් වීම.
භික්ෂුණී සාසනය පිහිටවීම.
බිනර පසළොස්වක පොහොය
මෙහෙනි සස්නේ ආරම්භය.
බුදුරදුන් විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වෙසෙන සමයේ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය රෝහිනී නදී තීරයේදී පැවිදි වූ කුමරුවන්ගේ භාර්යාවන් 500 දෙනා සමඟ කෙස් සිඳ, කසාවත් හැඳ කිඹුල්වත් පුරයේ සිට පා ගමනින්ම විශාලා මහනුවරට පැමිණියාය.අනඳ හිමියන්ගේ මාර්ගයෙන් කාන්තාවන්ට සසුන් පැවිද්ද දෙනලෙස ඉල්ලා සිටියහ.අනඳ හිමි බුදුරදුන්ට මේ බව සැලකලද උන්වහන්සේ තෙවරක්ම එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළහ.පසුව අනඳ හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත විය.පැවිද්ද අවශ්‍යනම් අෂ්ඨගරු ධර්ම පිළිගත යුතුය,එයම ඇයට පැවිද්ද හා උපසම්පදාව වන්නේයි බුදුරදුන් ප්‍රකාශ කලහ.එය පිළිගෙන එවලෙහිම පැවිද්ද හා උපසම්පදාව ලැබීය.
මාපලගම සෝමිස්සර හිමි
‘පොහොය වර්ණනාව’ කෘතියෙනි
වස්සාන සමයෙහි එළඹෙන පෝය දින අතුර බිනර පෝය ද ශාසනික අංශයෙන් හා සාහිත්‍ය අතින් වැදගත් පෝය දිනයකි. අවුරුද්දේ එළඹෙන වැසි සාර මාසය අමුතු ශාන්ත ස්වරූපයක් උසුලන සමයක් වශයෙන් ප්‍රකට ය. භික්‍ෂූන් වහන්සේ බුද්ධ නියමය අනුව විහාරාරාමයන්හි නිබඳ ව වැඩ වෙසෙමින් බණ භාවනා කර්මයන් හි යෙදෙමින් ස්වකීය ශාසන පරමාර්ථ ඉටු කරගන්නා කාල පරිච්ඡේදයක් බව බෞද්ධ සාහිත්‍යය දෙස විමසන විට, මැනැවින් පැහැදිලි වෙයි.
බුදුරජාණන් වහන්සේ වෙතින් අවවාද අනුශාසනා ලබාගෙන තම තමන් ගේ චරිතයනට සරිලන කර්මස්ථාන ඉල්ලාගෙන, විවේකී ප්‍රදේශ සොයා වැඩම කොට සුදුසු ස්ථානයන් හි වස් වසා භාවනා කර්මයන් හි යෙදී මාර්ග ඵලාවබෝධය ලබාගෙන පෙර වස් පවාරණය කොට බුදුරදුන් වෙත පෙරළා වැඩම කොට ස්වකීය ශාසන පරමාර්ථ ඉටුකරගත් අයුරු ප්‍රකාශ කොට උදන් ඇනූ භික්‍ෂූන් වහන්සේ පිළිබඳ විස්තර සිය දහස් ගණනින් සොයා ගන්නට හැකි ය. විශේෂයෙන් වෙන කාලවලටත් වඩා විශේෂ වගකීමකින් යුතු ව උත්සාහයෙන් මහණ දම් පුරන, තමන්ට සිවු පසයෙන් උපස්ථාන කරන සැදැහැබර දායකයනට ද ශ්‍රද්ධාදී ගුණ ධර්ම වර්ධනයට හා මාර්ගඵලාවබෝධයට හේතුවන දැහැමි අනුශාසනා කරන කාලයකි, වස් සමය. හැම වෙහෙර විහාරස්ථානයකම දිනපතා ම වාගේ නොයෙක් බණ පින්කම්වලින් හා වෙනත් සසුන් වැඩ වලින් පිරී ගිය, සොම්නස් සුවය දනවන කාලයකි.
එසේ ම සරත් කාලයේ ආරම්භය ද බිනර පසළොස්වක් පෝයෙහි සිට එළඹෙයි. සරත් කාලය හැම කවියෙකු විසින් ම වර්ණනා කරන ලද, කවි සිත පුබුදු කරවන ලද, ස්වාභාවික සෞන්දර්ය රසයෙන් අවට පරිසරය පවා ආලෝකවත් වී ගිය සමයෙකි. සරත් සෘතුවේ දක්නට ලැබෙන ස්වාභාවික දර්ශනයන් කවියන් කවි ඇසින් බලා නොයෙක් විසිතුරු ලෙස වර්ණනා කර ඇති අයුරු ගද්‍ය පද්‍ය සාහිත්‍ය කෘති වලින් පැහැදිලි වෙයි. මේ නයින් සලකා බලන කල්හි බිනර මාසය ශාසනික වශයෙන් ද සාහිත්‍ය අගය වශයෙන් ද සංස්කෘතික වශයෙන් ද වැදගත්කමකින් යුත් මාසයක් බව කිව හැකි ය.
බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුරයෙහි වූ නිග්‍රොධාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි මහාප්‍රජාපතී ගෞතමී තොමෝ උන්වහන්සේ වෙත අවුත් වැඳ එකත් පසෙක සිට අනගාරික ශාසනයෙහි පැවිද්ද මාගමුන් හට ඉල්ලා සිටියා ය.
බුදුරජාණන් වහන්සේ ගෝතමිය ගේ ඉල්ලීම පළමු දෙවැනි තුන්වැනි වරටත් ප්‍රතික්‍ෂේප කළහ. ඉක්බිති බුදුරදුන් කිඹුල්වත් නුවරින් නික්ම විශාලා මහනුවර කූටාගාර ශාලාව වෙත වැඩි සේක. මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ රෝහිණී නදී තීරයෙහි දී පැවිදි වූ කුමරුවන් ගේ භාර්යාවන් පන්සිය දෙනා සමග කෙස් කපා කසාවත් හැඳ කිඹුල්වත් නුවරින් පිටත් ව යොදුන් පනස් එකක් පමණ වූ දීර්ඝ මාර්ගය පා ගමනින්ම ගෙවා කූඨාගාර ශාලාව වෙත පැමිණියා ය. ආනන්ද හිමියන් හට කරුණු කියා උන්වහන්සේ ගේ මාර්ගයෙන් කාන්තාවන් හට සසුන් පැවිද්ද ලබාදෙන ලෙස ඉල්ලා සිටියා ය. ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මහාප්‍රජාපතී ගෞතමී තොමෝ පන්සියයක් බිසෝවරුන් පිරිවරා මෙහි පැමිණ බුදුරදුන් වහන්සේ ස්ත්‍රීන්ට පැවිද්ද නො දෙත් යි අඬ අඬා දොරටුව සමීපයෙහි සිටින්නී ය. ස්වාමීනි, ස්ත්‍රීහු බුද්ධ ශාසනයෙහි අනගාරික වූ පැවිද්ද ලබත් නම් මැනවැයි අයැද සිටියහ. බුදුහු ආනන්ද හිමියන්ගේ ඉල්ලීම තෙවරක්ම ප්‍රතික්‍ෂේප කළහ. පසුව ආනන්ද හිමියන්ගේ බලවත් උත්සාහය නිසා කරුණු කියූ පසු මහා ප්‍රජාපතී ගෞතමිය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත විය. ආනන්දය, ඉදින් මහ ප්‍රජාපතී ගෞතමී තොමෝ පැවිදි වනු කැමැත්තී නම් පෙර බුදුවරයන් ගේ ශ්‍රාවිකාවන් විසින් පිරූ අෂ්ට ගරු ධර්ම ඇය විසින් ද පිළිගත යුතු ය. එයම ඇයට පැවිද්ද හා උපසම්පදාව වන්නේ ය.
ගරු ධර්ම අට
1. උපසම්පත්තියෙන් වස් සියයක් වූ මෙහෙණක විසින් වුව ද එදින ම උපසපන් වූ භික්‍ෂූන් දැකත් වැඳීම් ආදී ගෞරව දැක්විය යුතු ය.
2. භික්‍ෂූන් නැති ප්‍රදේශයෙක් හි මෙහෙණක විසින් වස් නොවැසිය යුතු ය.
3. අඩ මසක් පාසා, මෙහෙණක විසින් භික්‍ෂු සංඝයාගෙන් පොහොය විචාළ යුතු යි. අවවාද දීමට පැමිණීම ද බලාපොරොත්තු විය යුතු යි.
4. වස් අවසානයෙහි දී භික්‍ෂු භික්‍ෂුණී යන උභතො සංඝයා ඉදිරියේ පවාරණය කටයුතු යි.
5.ගරු ඇවතකට පැමිණි මෙහෙණක විසින් උභතො සංඝයා කෙරෙහි අඬ මසක් මානත පිරිය යුතු යි.
6. අවුරුද්දක් පුහුණු වෙමින් ශික්ෂමානාවක් ව සිට පසුව උභතො සංඝයාගෙන් උපසම්පදාව ලැබිය යුතු යි.
7. කවර කාරණයක් නිසා හෝ මෙහෙණක විසින් භික්‍ෂු කෙනකු හට ආක්‍රොෂ පරිභව නො කටයුතුයි.
8. මෙහෙණින් විසින් භික්‍ෂූන් හට අවවාද නො කටයුතු ය. භික්‍ෂූන් විසින් භික්‍ෂුණීන්ට අවවාද කටයුතු ය.
ආනන්ද හිමියෝ මේ ගරු ධර්ම අට බුදුරදුන්ගෙන් උගෙන මහා ප්‍රජාපතී ගෞතමිය වෙත එළඹ ගරු ධර්ම විස්තරකොට කියා, ඉදින් ඔබ මේ ගරු ධර්ම පිළිගන්නෙහි නම් එය ම ඔබට පැවිදි උපසම්පදාව වන්නේ යැයි ද කීහ. එබසට ගෝතමිය සකල ශරීරය ලොමු දහ ගන්වමින් පස්වනක් පී‍්‍රතීන් පිනා බුදුරදුන් දිශාවට දොහොත් මුදුන් දී සිට ‘ආනන්ද ස්වාමීනි’ යම් සේ අලංකාරයට කැමැති තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ජලස්නානය කොට, සමන් මල් දමක් ලදින් දෙඅතින් පිළිගෙන සන්තෝෂයෙන් සිරසෙහි තබා ගනී ද, එසේ ම මම භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ධර්ම අට දෙන පිළිගනිමි, යි තුන්වරක් කීවා ය. ඒ වචනය සමඟ ම මහා ප්‍රජාපතී ගෞතමිය ගේ මහණකම විය. උපසම්පදා ශීලය ද විය. බුදුරජාණන් වහන්සේගේ නියමය පරිදි පන්සියයක් ක්‍ෂත්‍රිය කුමාරිකාවෝ ද භික්‍ෂු සංඝයාගෙන් උපසම්පදාව ලැබූහ.
මෙසේ මෙහෙණ සස්නේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදු විය.
වප් පසළොස්වක පොහොය
සත්වන වස් කාලය ගතකිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සකස්පුරයට පැමිණ මහා පෙළහර පාමින් වැඩ සිටි සේක.
සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම.
කල්ප ලක්‍ෂයකින් මතුයෙහි බුදුවීමට සිටින මෛත්‍රී බෝසතානන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වීම.
අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භක්‍ෂුණී සංඝයාත්,ජය ශ්‍රී මහා බෝධි ධාමයේ දක්‍ෂිණ ශාඛාවත් ලක්දිවට වැඩමවා ගැනීමට අනුබුදු මිහිදු හිමියන්ගේ නියමයෙන් දෙවනපෑතිස් රජුගේ සංදේශයත් සතුටු පඬුරුත් රැගෙන අරිෂ්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිස දඹදිව සැලලුප් නුවර ධර්මාශෝක චක්‍රවර්තීන් හමුවීමට පිටත්කොට යවන ලද්දේ වප් පෝ දායි.
මහාරිෂ්ඨ මහ රහතන් වහන්සේ විසින් ලංකා ශාසන ඉතිහාසයේ අමරණිය සිද්ධයක් වන විනය පිටකය සංඝායනා කිරීම.
ඉල් පසළොස්වක පොහොය
මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබීම.
ප්‍රථම ධර්මදූත පිරිස වන රහත් හැටනමගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම.
බුදුරදුන් තුන්බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම.
පසුවස් ප්‍රාවරණය කලයුතු දිනය වීම.
චීවර මාසයේ අන්තිම පොහොය එනම් කඨිනාස්කරණ විනය කර්මය කළහැකි අවසන් දිනය වීම.
අගසව් සැරියුත් මාහිමියන් පිරිනිවන් පෑම.
උඳුවප් පසළොස්වක පොහොය
උඳුවප් පුර පසළොස්‌වක පොහොය අදට යෙදී ඇත. ව්‍යවහාර වර්ෂයෙන් අවසාන පසළොස්‌වක පොහෝ දිනය ශ්‍රී ලාංකික අපට විශේෂයෙන් වැදගත් වන්නේ අප රටේ භික්‌ෂුණී ශාසනයේ ආරම්භය සහ අසදෘෂ බෝධිරාජයාණන් වහන්සේගේ ආගමනය නිසයි.
ධර්මාශෝක අධිරාජයාගේ මෙහෙයවීමෙන් මිහිඳු මහරහතන් වහන්සේ ලක්‌දිව සම්බුද්ධ ශාසනය පොසොන් පොහෝ දින පිහිටු වූ සේක. ඒ අවස්‌ථාවේදී දහම් ඇසීමට පැමිණි අනුලා දේවිය ප්‍රධාන කාන්තාවන් 500 ක් දෙනා පැවිදිවීමට අවසර ඉල්ලා තිබේ. එම ඉල්ලීම ගැන මිහිඳු මාහිමියන් දෙවන පෑතිස් රජතුමාට අවවාද කරනු ලැබුවේ තමන්ට කාන්තාවන් පැවිදි කළ නොහැකි බවයි.
තම සොහොයුරිය වූ සංඝමිත්තා මහරහත් මෙහෙණිය දඹදිව සිට වැඩමවාගැනීම වඩාත්ම උචිත බවද උන්වහන්සේ පෙන්වා දුන්හ. ඒ සමගම ජීවමාන බුදුන් හා සමානව සැළකෙන, වන්දනාමානයට පාත්‍රව තිබූ ජයශ්‍රී මහා බෝධි ශාඛාවක්‌ද වැඩමවාගෙන එන ලෙසද රජතුමාට උපදෙස් දී ඇත.
ඒ අනුව රාජදූතයන් අත දෙවන පෑතිස් රජතුමා විසින් හසුනක් පිළියෙල කොට තෑගි බෝගද සමග දඹදිව ධර්මාශෝක මහ රජතුමා වෙත යවා මේ ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබීය. ධර්මාශෝක රජුද මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි සංඝමිත්තා තෙරණියට, ජයශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාවක් සහ බෝධීන් වහන්සේගේ ආරක්‌ෂාවට ආරක්‌ෂක පිරිසකුත් සමග දඹදිව සිට ශ්‍රී ලංකාවට එවන ලදී. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් ලංකාවට එවීම සඳහා බුදුරජාණන් වහන්සේගේද අධිෂ්ඨානයක් තිබූ බව බෝධි වංශ කතා ප්‍රවෘත්තියේ සඳහන්ව ඇත.
අද ලෝකයේ තිබෙන ඓතිහාසික වශයෙන් වැදගත් ඉතාමත් පැරැණිතම වෘක්‌ෂය හැටියටත්, ලක්‌ෂ සංඛ්‍යාත බෞද්ධයන්ගේ අප්‍රමාණ ගෞරවයටත් පාත්‍ර වී ඇති ජය ශ්‍රී මහ බෝ රජුන් ජීවමාන බුදුන් හා සමානකොට බෞද්ධයන් විසින් සලකනු ලැබේ. මේ බෝධීන් වහන්සේගේ මව් බෝධිය අද ඉන්දියාවේ දක්‌නට නැත.
ඒ නිසා අපගේ ජයශ්‍රී මහා බෝධියේ වැදගත්කම අතිශයින් වැඩිය. මේ පුවත් දෙක නිසාම උඳුවප් පුර පසළොස්‌වක පොහොය ශ්‍රී ලාංකික බෞද්ධයන්ට අතිශයින් වැදගත්ය. එපමණක් නොව උඳුවප් පොහොයේ සිට වෙසක් පුර පසළොස්‌වක පොහොය දක්‌වා උදාවන බුදුරජාණනන් වහන්සේගේ ශ්‍රී පාදය සලකුණු කොට ඇති ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන්නේද අද සිටය. ශ්‍රී ලාංකික කාන්තාවන්ට පැවිදි බව ලැබුණු නිසා උඳුවප් පොහොය අපගේ කාන්තා පක්‌ෂයට ද බෙහෙවින් වැදගත්ය.
—————